Tuesday, February 14, 2017

චාරු චාරු අච්චාරු...!!!

නෙළුම් කොලවල දැමූ පේර, දිවුල්, වෙරළු, ජම්බු..... අච්චාරු

අච්චාරු කියද්දිත් කටට කෙළ උනන තරම්. අඹ, අන්නාසි, වෙරළු, ඇඹරැල්ලා හීනියට තලල ලුණු, කෑලි මිරිස්, සීනි ටිකක් පදමට එකතු කරල ගත්තම... එහෙමත් නැත්නම් ජම්බෝල රේණුවලට ගම්මිරිස් කුඩු ටිකක්, සීනි ලුණු පදමට අනල ගත්තම... වාව්... පැණි රස, ඇඹුල් රස, ලුණු රස, කහට රස එකී නොකී සියලු රස එකතුවෙලා කැලතිලා මැවෙන අලුත්ම රසයට දෙන්න වචනයක් නැති තරම්. පැල් බැඳගෙන අච්චාරු කන්න රුසියො මාත් එක්ක එකඟ වේවි...

ඒ වගේ රස කැලතුණු අපූරු කෙටි කතා එකතුවක් කියවන්නට ලැබුණා. ඒ විරාජිනී තෙන්නකෝන්ගෙ "අච්චාරු සහ තවත් කතා". එහි එන මුල්ම කෙටි කතාවත් ‘අච්චාරු‘. ඒකත් රස පදමට ගැළපුණු අච්චාරුවක් වගේ තමයි. කතාව නිමවෙද්දි විඳගත්ත රසයත් එක්කම නොදන්නා රහසකුත් ඉතිරි කරල. නොදන්නවමත් නෙවෙයි. ඒත් හරියට අච්චාරුවෙ රසය මෙන්න මේකයි කියල ටක්කෙටම කියන්න බැහැ වගේ ගතියක්... ඒක හරි අපූරුයි.

කෘතියේ කවරය... ඩොමිනික් චන්ද්‍රසාලි නිමැවුමක්

‘තිර නොතිර‘ කතාව මින් පෙර පත්තර පිටුවක පළ වී තිබුණා මතකයි. එය එදත් සිත් ගත් කතාවක්. කලා ක්ෂේත්‍රෙය් පමණක්ම නෙවෙයි, අනිත් ඕනෑම ක්ෂේත්‍රයකට අදාළයි මේ හෘදය සාක්ෂියේ කතාව. ඉහළට යන්න, ජනප්‍රිය වෙන්න, ධනය බලය දිනාගන්න නොකරන දෙයක් නැති ලෝකෙක අවසානයේ සම්මාන, උපහාර, තාන්න මාන්න, නම්බු නාම එක්ක තනිවන්නට සිදුවුණාම දරාගන්නම අමාරු වෙන්නෙ හෘදය සාක්ෂියේ වැළපිල්ල. 
  
‘බලු කතාවක්‘ ඇසුරෙන් මතු කරන පවුල් සංස්ථාවේ අවුලත් සිත් ගන්නා වියමනක්. තවදුරටත් මෙවැනි ව්‍යාජ සම්බන්ධතාවන් නඩත්තු කරන්නෙ මොකටද කියන ප්‍රශ්නය ඉතිරි කරනවා. බැඳගත්ත බෙරේ ගහන්නම එපැයි. සයිබර් අවකාශය තුළ හිටි පිනුම්, බඩ පිනුම්, කරනම් ගහන අතර අවුලෙන් අවුලට යන පවුල් සංස්ථාව. නිදසුන් අපි අවටම ඕන තරම්.   

 ‘අච්චාරු‘ ළගන්නා සුළු කෙටි කතා එකතුවක් වෙන්නෙ තේමා විවිධත්වය, භාෂා භාවිතය, ආකෘතික වෙනස්කම්, චරිත සහ සිද්ධි නිරූපණ අපූර්වත්වයෙන් ගොඩනගන නිසා කියලයි හිතෙන්නෙ. ඇය ව්‍යවහර බසත්, ලේඛන බසත් මැනවින් හසුරුවනවා. බැලු බැල්මට බරපතල සාහිත්‍යයක් නෙවෙයි වගේ හිතෙන්නෙ. නමුත් හිතට දැනෙන සාහිත්‍ය වෑයමක්. ජීවිතයේ බරපතල ගැඹුර තියෙන්නෙම ඒ සරල, අපුරු සාහිත්‍ය වෑයම තුළමයි. හරියට පදම ගැළපුණු අච්චාරුවකින් මතුවෙන රසය වගේ.

‘තිර නොතිර‘, ‘අච්චාරු‘, ‘මණ්ඩුක සහ උපාසක‘ වගේ කතා තවත් ගැඹුරට දිගාරින්න තිබුණ කියලත් හිතෙනවා. කෙටිම කෙටි කතා නොවී තවත් ඉදිරියට යාමේ උවමනාවක් ඒ කතා ඇතුළෙන්ම මතුවෙන ගතියක් දැනෙනවා. ‘චිත්ත වග්ගය‘, ‘කන් පෙති මත‘ සුලබව අච්චාරු වුණු ජීවිතවල කතාන්දර වුණත් සිත් ගන්නා වියමන්.  


ලංකාවේ සාහිත්‍ය ඇතුළෙ කෙටි කතාවට ලැබෙන්නෙ අඩු ලංසුවක්. ඒ අතරත් කෙටි කතාකාරිනියන් අතේ ඇඟිලිවලින් ගනින්න පුලුවන් තරමට දුර්ලභයි. ඒ අතරට ‘අච්චාරු සහ තවත් කතා‘ සමඟ විරාජිනීගෙ ආගමනය බලාපොරොත්තු දල්වන බව අවිවාදයෙන්ම කියන්න පුළුවනි. කාංචනාගෙ ‘කර්මක්ෂ‘ වගේම විඳින්න පුලුවන් කතා එකතුවක්.  

විරාජිනී - මුහුණු පොතින් අරගතිමි. 
  
සන්ථව ප්‍රකාශනයකි. මිල රු.250.00

30 comments:

  1. අච්චාරු පෙන්නලා මාව මුලා කරා කියල තරහ ගියාට.......... රසවත් ඔත්තුවක්නේ.. හරි.... මම ගන්නවා හෙට අනිද්දම

    ReplyDelete
    Replies
    1. චෝරු වුණ ජීවිත ගැන චුරු චුරු කතා චාරු චාරු රහට...

      Delete
  2. හොදයි ස්තුතියි.. ඊළග වතාවේ ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. සන්ථව ප්‍රකාශකයින්ගෙන් කොමිස් එකක්වත් ඉල්ලගන්ට ඕන...

      Delete
  3. කෙටි කතා පොත් ගන්නේ මම සාපේක්ෂව හරි අඩුවෙන්.හැබැයි මේ ගමන නම් කෙටි කතා පොත් තුනක් විතර තියෙනවා අර ගත්තු කියවන්න.මේ පොත හොයා ගත්තොත් එකත් ගන්නවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. හොඳ කෙටි කතා පොත් එනවා. ඒ ගැන සංවාද ඇතිවෙන්නෙ අඩුවෙන්. ඒකයි ප්‍රශ්නෙ.

      Delete
  4. වයසට ගියත් අච්චාරු දැක්කම පිස්සු හැදෙනවා.....

    ReplyDelete
    Replies
    1. අච්චාරුවලට වයස් භේදයක් නෑනෙ...

      Delete
  5. දුන්න හෝඩුවාවට නිති තුති දෙනවා
    ගන්න පොත කියා හිත මට වද දෙනවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අරන් බලන්න... ස්තූතියි.

      Delete
  6. මම අච්චාරු කන්නේ නෑ...
    හෙහ්.. එනවා මෙතන කෑම ගැන ලියන්න.... !
    පොත් දැන් හීන විතරයි...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රංගී මටත් දැන් දැන් පොත් හීන පමනයි. මම කියවන එක අතහැරිච්ච මිනිහෙක්. ඒක අපරාධයක්. මම බ්ලොගට සහ තව දේවල්වලට ලොල් වෙලා. ඒකත් අපරාධයක්. ඒත් එක එක මිනිසුන්, එක එක ජීවන රටාවල්වලට කැමති වෙනවා. වයසත් එක්ක අපි ගුලිවෙනවද කියලත් මට හිතෙනවා. රංගි වයස නැහැ මම තරම්. ඒත් ඕකද මන්දා හැමෝටම වෙන්නේ...

      Delete
    2. Aru - ටෙලි ඩ්‍රාමා බැලීම අඩු කරන්න!

      Delete
    3. බූරු බබේ අච්චාරු කන්නෙ නැත්නම් ඉර පායන්නෙත් නැති වෙයි...

      Delete
  7. එහෙමත් නොවේ. අද කාලය ගත කරන්න opportunities වැඩි වෙලා. ඉස්සර පොතක් අතට ගත්ත වෙලාවට දැන් ෆෝන් හරි ටැබ් හරි ලැප් එක හරි අතට ගන්නවා. Facebook, blog, news, gossip website පැත්තෙ ගිහිං එද්දි කාලය ගිහිංම දන්නෙ නෑ. නැත්නම් film එකක් බලන්න ගන්නවා. අර ගත්තු පොත් මිටියක් තියෙනවා. කියවන්න අතට ගැනෙන්නෙ කලාතුරකින්. මම නං උන්න ගමන් සේරම පැත්තකට දාල පොත් ගුල්ල වෙනවා..

    ReplyDelete
    Replies
    1. මගෙ අකතාවත් මේකමයි හෙන්රි අලුතෙන් ගත්ත පොත් බොහොමයක් එතනමයි ගෙනාවා වගේම.

      Delete
    2. මොන තාක්ෂණික ගනුදෙනු තිබුණත් මම තාමත් පොත්වලට පළමු තැන දෙනවා... ඒ කියවීම තරම් ගතියක් දැනෙන්නෙ නැහැ පරිගණක තිරයේ කියවීම.

      Delete
  8. මේ පාර ගන්න ඕනේ පොතක් එහනම්. ප්‍රා එවනවා කිව්වා අර පිදෙල් කස්ත්‍රෝ ගේ ජිවිත කතාව. ඊට පස්සේ මහේෂ් හපුගොඩ ගේ පොත. චුලා ගේ පොත් සෙට් එකකුත් තියනවා. තව මස කිහිපයකට සෙට්. තරු ලියපු පොත් ටික තමා නැත්තේ.

    ReplyDelete
    Replies
    1. කතුවරියගේ කුළුඳුල් කෘතිය.. කියවල බලන්න අයියේ... හොඳ මට්ටමක තියෙනවා.

      Delete
  9. මෙච්චර කාලකෙට පස්සේ ගිය වසරේ අවසානයේ දී තමයි දැන ගත්තේ ඇපල් කපලා ලුනු ගම්බිරිස් දාලා මාර රහයි කියන එක!

    ReplyDelete
    Replies
    1. අපොයි ඇත්තටම. රුසියාවේදී අපේ හොඳ බයිට් එකක්නේ වොඩ්ක වලට. ඇපල් හොඳට දුරු මිරිස් දාල සුදුලුනු අබ එහෙම දාල කාරියක් හදන්න. හරිම රහයි. ග්‍රනි ස්මිත් වගේනම් වඩා හොඳයි.

      Delete
    2. ඇපල් අච්චාරුව මාර රසයි... දැන් මෙහෙත් බයිට් එකටත් දෙනවා...

      Delete
  10. චාරුලතා කියා ටෙලියක් තිබුනාලු 1980 අවසන් කාලයේ. ප්‍රධාන චරිතය විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයාවක්. නිලිය මොරීන් චාරුණී මට මතක විදියට.

    මේ චරිතයේ හැසිරීමට, ඒ කාලේ විශ්වවිද්‍යාල සිසුවියන් කෙතරම් අකමැති වුනාද කියනවා නම්, චාරුලතාට කියලා තියෙන්නේ අච්චාරුලතා කියලයි!

    ReplyDelete
    Replies
    1. චාරුලතා මටත් යාම්තමට මතකයි වගේ. මොරින්ද, සුසන්තා චන්ද්‍රමාලි ද උන්නේ...

      සුජානි මේනකා ළමා චරිතයකින් ආවෙත් මේ නාට්‍යෙයන් වගේ මතක.

      Delete
  11. අච්චාරු කියපු ගමන් මට මතක් වෙන්නේ විනාකිරි දාපු අච්චාරු...බලාගෙන යනකොට මේ පොතක් නේ :)

    ReplyDelete
  12. මටත් කියවන්න ලැබෙයි නෙ😃😃

    ReplyDelete
  13. මටත් කියවන්න ලැබෙයි නෙ😃😃

    ReplyDelete
  14. අපූරු ඔත්තුවක්..කියවන්න ඕන ඉක්මනට

    ReplyDelete
  15. අනේ මංදා පොතක් කියවපු කාලයක් මතක නෑ. කොටිම්ම කියතොත් අලුතෙන් යමක්, අලුතින් වචනයක් කියෝපු කාලයක්වත් මතක නෑ. මෙහෙම යතොත් මාව සමාජයෙං කොන්වෙලාම යයි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...