පිටු

Tuesday, June 18, 2019

ම'පෙම්බරා පෙමින් නහවන විට මා



රාත්‍රිය එළඹ ඇත නැවතත්
මුදා හළෙමි මා සේද වරළස
උරතලා මතුයෙහි
විදාහළෙමි වටොරද
‘‘කියන්න මට, ඇත් ද කිසිවක් මා තුළ
ආදරබර නොවන?‘‘

බඳ පටියෙන් බැමි ලා සුරුවම් කර නැත වැඩිමනත්
මගේ ගවොම,
බලන්න කවුළුවෙන් ඔබ යැයි
පැවසූ කල්හි ඔබ මට,
ළෙල දී විහිදියේ නම් ගවොම් සාය හැම නිතර
දොස් නැගිය යුතු ඒ වසන්ත සුළඟට...

නග්න අතු ඉති සසැලී
සැණෙන් හමනා පවනේ
සන්ධ්‍යාව කළඹයි.
'පෙම්බරා පෙමින් නහවන විට මා
උදාරම් වෙමි, මගේ තුරුණු රූ සිරියෙන්..



It is night again
I let down my silken hair
Over my Shoulders
And open my thighs
"Tell me, is there any part of me
That is not lovable?"

I had not fastened my sash over my gown
When you asked me to look out the window
If my skirt fluttered often,
Blame the spring wind

The bare branches tremble
In the Sudden Breeze
The twilight deepens.
My lover loves me,
And I am proud of my young beauty


Tzu Yeh ( 3rd - 4th Centuries)
China
Translated from the Chinese by Kenneth Rexroth and Ling Chung



ත්සු යේ...  සිව්වන සියවසේ චීනයේ, මධු හලක සේවය කළ ගේෂා ස්ත්‍රීයක බව කියැවේ. ඈ ලියූ කවි ද මධු විතක් සේ මන්මත් කරන සුලු ය. ශෘංගාරාත්මක ය. අව්‍යාජ ය. සරල ය. සුන්දර ය.

අධිරාජ්‍යවාදී සාහිත්‍ය කලා සම්ප්‍රදායන් තුළ මෙබඳු කාව්‍ය මාර්ගයන්ට, කවි කිවිඳියන්ට පිළිගැනීමක් නොවූ බව සඳහන් ය. නමුත් පසුකලෙක සාමාන්‍ය ජන ජීවිතය තුළින් මතු වූ මෙවන් අනුරාගී කවි දහරා පාඨක අවධානයට ලක් ව තිබේ.

අවන්හලක මෙහෙ කරන යුවතියකගේ ජීවිතය සුවපහසු වී යැයි සිතිය නොහැකිය. දෛනික දිවි පැවැත්මේ කටුක ස්වරය පරදමින්, වඩා යහපත් ජීවිතයක් පිළිබඳ ත්සු යේ දුටු සුබ සිහින  ඇයගේ කාව්‍යයෙහි ජීවය වී තිබේ. ආදරයෙන් පිරි සුන්දර ජීවිතයක් පිළිබඳ සුබ සිහින අත්නොහළ කිවිඳියකි ඈ. සියවස් ගණනාවකට එපිට සිටි ඇයගේ කාව්‍ය සංකල්පනා අදත් ස්ත්‍රී සංවේදනාවන්හි සාරය කැටිකොට ගන්නේ යැයි සිතමි.  

මේ කවිය මට හමුවන්නේ Women poets of the world කෘතියෙනි. මේ කෘතිය මට හමුවන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ පුස්තකාලයේ පොත් බැහැර කිරීම සඳහා වූ පොත් සල්පිලකිනි. මුල් පිටුවේ මුද්‍රා සටහන අනුව ලෝක කිවිඳියන් සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව මේ අගනා ග්‍රන්ථය සමාජ විද්‍යාඥයන්ගේ සංගමයට පිරිනමා ඇත්තේ උතුරු කැරොලිනාවේ ඩක් සරසවියෙනි. දැන් ඒ මාහැඟි කෘතිය මා සතු වීම අප්‍රමාණ සතුටකි.


පරිවර්තනය සඳහා මා තෝරා ගත් ත්සූ යේ ගේ මෙකව ඉහත කී කෘතියෙහි ඇත්තේ රෝමානු ඉලක්කම් තුනක් යටතේ ය. එය එකම කවක් ද වෙන් වෙන් කවි තුනක්ද යන්න පැහැදිලි නැත. අන්තර්ජාලයේ මේ කවි පදවලට මුලින් සහ පසුවට ද තවත් කවි පන්ති දෙකක් ඇත. එබැවින් දීර්ඝ කවි පන්තියක තෝරා ගත් කවි කිහිපයක් වීමට ඉඩ ඇතැයි සිතමි.

මා ඉංග්‍රීසි බසෙහි හසළ දැනුමැත්තියක නොවේ. මෙකවෙහි සදොස් තැන් වේ නම් ඒ මගේ කඩු සටනේ දුබල බවට සාක්ෂි වේ. කාව්‍ය පරිවර්තනය කවි ලිවීම තරම්ම සුන්දර මෙන්ම දුෂ්කර කටයුත්තකැයි සිතමි. නමුත් කාව්‍ය ලොවෙන් වසංව පවතින කිවිඳියන් පිළිබඳවත් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳවත් යම් තරමකින් හෝ කතා කළ යුතු යැයි හැඟුණ නිසා කවියක් දෙකක් පරිවර්තනය කිරීමට උත්සාහ කළෙමි.

මේ එක් පරිවර්තනයකි. එහි සාර්ථක, අසාර්ථක බව, සදොස් තැන් සහ යෝජනා ඔබෙන් අපේක්ෂා කරමි. කවිය පරිවර්තනයෙන් පසු යොමුකළ කිහිප දෙනා අතරින් එය නිවැරදි මඟකට ගන්නට උවමනාවෙන් සහය පළ කළේ හෂිත අබේවර්ධන සොයුරා ය. කවියේ මා නොදුටු ඉසව් සොයා පහදා ගන්නට ඔහු දුන් සහය වැදගත් විය. සමහර ඉංග්‍රීසි වචන සඳහා වෙනත් සිංහල වචන සොයන්නැයි යෝජනා කරන අතර ම, ‘‘ඔරිජිනල් කවියක් විදියට වෙනම විඳින්නත් පුළුවන්‘‘ කියා කීම සතුටකි.  මීට අමතරව ගූගල් පරිවර්තකගේ ද, මධුර ශබ්ද කෝෂයේ ද සහය ලබා ගතිමි.





14 comments:

  1. පරිවර්තනය කරලා තියනවා ලස්සනයි. පොත ගැන විස්තරෙත් හොඳයි

    ReplyDelete
  2. ලස්සනයි තරු අක්කේ.මුලින්ම හිතුනේ තරු අක්කාගේ කවියක් කියලා.

    ReplyDelete
    Replies
    1. පුංචි පරිවර්තන ප්‍රයත්නයක්... ස්තුතියි මල්ලි.

      Delete
  3. Correction: ගේෂා ජපානෙ

    ReplyDelete
    Replies
    1. ගේෂාව එන්නෙ ජපානයෙන් තමයි. අන්තර්ජාලයේ එක් තැනක ත්සු යේ හඳුන්වන්නත් ඒ නම යොදා තිබුණා. ඒ නිසයි මම ඒ යෙදුම ගත්තෙ. ස්තුතියි ප්‍රා

      Delete
  4. අවුලක් දැනෙන්ඩ අපි දන්නවැයි ඔය කඩු හටං
    මට නං හිතට ඇල්ලුව ආයිබං..
    :-D
    නියමයි තරු අක්ක. ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. කඩු සටනට නෙවෙයි කවියට ඇති ඇල්ම නිසයි මේ වැඩේ කරන්න හිතුණෙ.

      Delete
  5. අක්කගේ කවියේ පරිවර්තනය මරු..
    ඒ වගේම පසු සටහන හරිම ලස්සනයි. ස්තූතියි මේ තොරතුරු වලට...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...