මම සාමාන්‍යයෙන් ගෙදර යන්නෙ සති
අන්තයේ.... පහුගිය සති අන්තයේ ගමට ඇතුල් වෙද්දිම
කලබලයක් ගාණයි.. නංගිලගේ ගේ වත්තෙ සෙනග පිරිලා... බැකෝ එකකුත් එනවා.. හැමෝගෙම මුහුණුවල දුකක්
තැවරිලා... මමත් ගෙදර යාම පැත්තකින් තියල එතෙන්ට ළං උණා.. අපේ අයියලගෙ ( බාප්පගෙ පුතා ) වැස්සි මැරිලා... පුංචි පැටියට තවම
මාසයක් පිරිලත් නැහැ... අයියගෙ දූල දෙන්නයි.. වටේ පිටේ පොඩ් එව්වො
ටිකයි ඉකි ගගහ අඩනවා...
බලන් ඉන්න අමාරුම දේ තමයි පුංචි පැටිය උම්බෑ
කියල කෑ ගගහ අම්ම වටේ කැරකෙන එක.. හරියට පුංචි දරුවෙක්
අම්මේ කිය කියා අම්මව හොයනව වගේ... තාම කිරි බොන වයසේ
පුංචි පැටියනේ....
බැකෝ එකෙන් වත්ත පහළ ලොකු වලක් කපන්න ගත්තා....
මම දෝණිත් ( නංගිගෙ චූටි දුව. අවුරුද්දයි මාස 08 යි එයාගෙ වයස... ) වඩාගෙන එතෙන්ට ළං උණා...
අනේ පව් අනේ....තැත්තා පව් අනේ..... දෝණි චූටි කටින්
කියනවා.. එයාට දුක පුංචි පැටිය කෑ ගහන විදියට... “ අතගාන්න... අතගාන්න ” එයා මට කියනවා... හැබැයි ළඟට ගියාම මගේ බෙල්ලෙ එල්ලෙනවා... පැටියට ළං වෙන්නෙත්
නැහැ..... බයගුල්ලි...
ඔන්න බැකෝ යන්ත්‍රය වල කපල ඉවරයි.. ඉන්පස්සෙ වැස්සි
අම්මගෙ කඹේ බැකෝ එකේ අතේ ගැට ගහල හෙමිහිට ඇදලා වලට දැම්මා... අනේ පව් පුංචි පැටිය
වළ ලඟටම ගිහින්
උම්බෑ කියල කෑ ගහනවා... “ අනේ අම්මේ
මාව දාල යන්න එපා කියනවා ” වගේ... හැමෝගෙම ඇස්වල කඳුළු... පොඩි කට්ටිය නම් ඉකි ගගහ අඬනවා... කොළු පැටව් ටික වහු පැටියව අල්ල ගත්ත... නැත්නම් ඌ අම්මගෙ
වලට පනිනවා...
චූටි අක්කගෙ පුතත් තාම
පුංචියි.. අපේ
දෝණිත් තාම මරණය කියන්නේ මොක්කද දන්නෙ නැහැ.... මේ පුංචි හිත්වලට මොනා දැනෙයිද දන්නේ නැහැනෙ... ඒ නිසයි මම කිව්වෙ.. “ හොරු ගෙනියයි කියල
තැත්තව හංගනවා..’’ කියල...
භූමදාන වැඩ ඉවරයි.. පෙරපර සන්දි ගැලපීමේ
කතා වටයකින් පස්සේ අපි විසිරිලා ගියා...
“ හොරු ගෙනියයි... අලට දම්මා...” ඉන්පස්සෙ දෝණි හැමෝටම
කියනවා... “ ඔව් දැන් තැත්තව කාටවත් ගෙනියන්න බැහැ...” දෝණිට පිළිතුරුත්
ලැබෙනවා....
සෙනසුරාදා දවසම අයියගෙ දූල දෙන්නයි.. එයාලගේ සෙල්ලම් නඩේ
යාළුවො ටිකයි වහු පැටිය වටේමයි... කිරි පොවනවා... තණකොල කවනවා.. ඒත් පැටිය සැරින් සැරේ
උම්බෑ කියල කෑ ගගහ අම්මගෙ වළ වටේ කැරකෙනවා... පහුවෙනිදා පාන්දරත් වහුපැටිය
ගොඩක් කෑ ගැහුවළු... නංගි කිව්වා... පව් ඉතින් පැටියට
බඩගිනි දැනෙනවත් ඇති.. අම්මගෙ උණුසුම නැතිව තනිකමක් දැනෙනවත් ඇති...
ඉරිදා උදේ හරිම දුක හිතෙන වැඩක් උණේ... පැටිය අහල පහල ගෙවල්වල
ඉන්න හරක් ළඟට කෑ ගගහ යනවා.. අම්මව හොයනවා ඇති.. ඒත් කිසිම තැනකින්
පැටියට හොඳ පිළිගැනීමක් ලැබුණෙ
නැහැ... පැටියගෙම කිරි අම්මත් හොම්බෙන් ඇනල පැටියව
එළවල දැම්මා.. පුංචි හරි කරුණාවක් ලැබුණේ අනුල නැන්දලගෙ
වස්සගෙන් විතරයි.... අයිය කෙනෙක් ලැබුණට පැටියගෙ හිත පිරුණෙ නැහැ
වගේ... ඌ ආයෙමත් කෑ ගගහ
අම්මව හොය හොයා යන්න පටන් ගත්තා.... පොඩි උන් ටිකත් වහු
පැටියගෙ පස්සෙන් යනවා...
හවස මං ආපහු එන්න එද්දි පුංචි යාළුවො ටික
වහු පැටියට ගෙයක් හදන්න මහන්සි වෙනවා... ලී දඬු දෙක තුනක් හිටවලා.. පැටියත් බිම වැතිරිලා
ඉන්නවා.. අම්මව හොයලම මහන්සියි වගේ.... පැටිය ගැන නම් හරිම
දුකයි.. ඒත් මේ පුංචි කට්ටියගේ එකමුතුකමයි, ආදරයයි දකිද්දි
සතුටකුත් දැනෙනවා... මේ මනුස්සකම් වැඩිහිටියො වෙද්දිත් තිබුණොත්
හොඳයි......
“ අනේ පැංචෝ, අම්ම ගියේ ආපහු එන්න
පුළුවන් ගමනක් නෙවිනේ.... ඒ නිසා මේ පුංචි යාළුවන්ගෙ ආදරෙන් සැනසිලා
හිත හදාගෙන ජීවිතේට මුහුණ දෙන්න..”
මේක කියවලා නම් ගොඩක් දවස්
ReplyDeleteඅද තමා කමෙන්ට එකක් දාන්න හිතුවෙ
ඇත්තටම සංවේදී කතාවක්.
ඔබට ජය
ගම වටේම අම්ම හොය හොයා ඇවිද්ද වහු පැටියට දැන් අම්ම කෙනෙක් ලැබිල ඉන්නවා... ඒ අම්ම පැටියට කිරිත් දෙනවා... වදපු අම්ම විගේම හදපු අම්මත් වටිනවා නේද? පුංචි උන් ටික එකතු වෙලා කණු හතරක් හිටවලා, පොල් අතු දාලා හදපු පැටියගෙ ගේ දැන් පාළුවට ගිහින්... මොකද පැටිය දැන් ඉන්නෙ අළුත් අම්ම ළඟ..
Deleteමගේ බ්ලොග් කියවල මුලින්ම අදහස් පළ කළේ ඔයා.. සතුටුයි.. ස්තූතියි..
සත්තුන්ට වුණත් මව සෙනෙහස දැනෙන එක අරුමයක් නෙමේ
ReplyDeleteඇත්ත මල්ලී.... තාමත් පැටිය ඉන්නෙ එයාම හොයා ගත්ත අළුත් අම්ම ළග..
Deleteඇත්තටම මේක කියවල මම සංවේදී උනා 🥺🥺
ReplyDelete