නොපිරුණු බණ්ඩි ගෙඩියකින් මැවුණු හිනාවක්...
ඒ 1999
අවුරුද්ද... අපේ ළමා සංවිධානයේ වාර්ෂික තේමාව දැනුවත් කරමින් ලංකාව පුරා දීර්ඝ
චාරිකාවක යෙදුණු අපේ කණ්ඩායමේ නවාතැන්පළ වුණේ පොළොන්නරුව දෙව් මැදුර. පොළොන්නරුව
අවට ළමා සමිතිවල දරුවන්ට වාර්ෂික තේමාව දැනුවත් කිරීමයි එදින සිදු වුණේ... ඒ වසරේ
තේමාව වුණේ '' හිමිකම් සුරකිමු ළමා අපේ " යන්නයි... අපි උදේ වරුව පුරාම ළමයින්ට කියා දුන්නා ආදරය,
අධ්‍යාපනය, ආහාර, රැකවරණය, පිළිගැනීම, අගය කිරීම වගේ දේවල් තමයි පුංචි අපේ හිමිකම්
කියලා.. ඒ දේවල් අපට හිමි වෙන්න ඕන වගේම අනිත් අයටත් ඒ හිමිකම් ලබා දෙන්න අපි
මහන්සි වෙන්න ඕන කියලත් අපි දරුවන්ට කියා දුන්නා... තමන් වගේම තවත් පුංචි යාළුවන්ට
හිමිකම් ලබා දෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියල අපි ගීත, නාට්‍ය ජවනිකා,
කතන්දර උදව් කර ගනිමින් පැහැදිලි කරන්න උත්සාහ කළා... මේ වෙද්දි ඇත්තටම තේමාව
දැනුවත් කිරීමේ වැඩසටහනත් එක්ක අපි හොද හැටි පදම් වෙලා හිටියෙ.. පියතුමා ඇතුළුව
අපි හතර පස්දෙනාගේ කණ්ඩායම ඇස් බැල්මකින් උණත් ඊළගට එන්න ඕන අදහස , ගීතය,
ජවනිකාව, විරාම අභ්‍යාසය මොකක්ද කියල දැන ගෙන උන්නා...
වරුවක
වැඩසටහනක් ඉවර වෙනවා කියන්නෙ හොද ගණන්... ඒත් මේ වගේ වැඩසටහනකදි මොන තරම් මහන්සි
දැණුනත් ආරම්භයේ ඉඳන් අවසානය දක්වා ඉඳීම අපේ වගකීමක්...
කොහොමින්
කොහොමින් හරි දවල් කෑම වේලාව එළඹුණා. සාමාන්‍යයෙන් ආහාර වේලකට කළින් අපි අත්
පිරිසිදු කර ගන්න හැටි, ආහාර ගනිද්දි පිළිපදින්න ඕන සිරිති විරිත් වගේ කාරණා ගැනත්
කියා දෙනවා. ඒ වගේම කෑම ගන්න කළින් අදහන දහම සිහි කරලා, ඒ කෑම වේල
හදන්න උදව් වුණු හැමෝම මතක් කරල, කන්න නැතිව බඩගින්නෙ ඉන්න අයවත් සිහි කරලා
පැතුමක් කරනවා... පැතුමක් කියන්නෙ යැදුමක්. යාච්ඤාවක්. අපේ ළමා එකමුතුවල හැම ආගමකම
ළමයි ඉන්න නිසයි අපි පොදුවේ පැතුමක් කරන්නේ.....
ඉතින්
පුරුදු විදියට දැනුවත් කිරීම්, පැතුම් හෙම ඉවර වෙලා අපි ළමයින්ට කිව්වා කණ්ඩායම්
විදියට කෑම කන්න කියල. ඒ වෙද්දි කණ්ඩායම් බෙදලා තිබුණෙ... එක් එක් ළමා සමිතිවල
ළමයි මිශ්‍ර වෙන විදියට. කෑම බෙදා හදාගෙන කන්න නිසයි කණ්ඩායම් විදියට වාඩි වෙලා
කෑම ගන්න කියන‍්නේ... එතකොට දුප්පත් සරල බත්පතකට උණත් වැඩි යමක් එකතු වෙනවනේ....
අපි කෑම
කන්න යන්න කළින් ළමයි වටේ රවුමක් යන්නෙ එයාලගෙ බෙදා හදා ගැනීම කොහොමද කියල
බලන්නයි. මේ වගේ සොයා බැලීම්වලදි ඇස්වලට කඳුළු එන අත්දැකීම් ලැබිලත් තියෙනවා.
හොරොව්පතානෙ හමු වූ පුංචි එකෙක්ගෙ කෑම පෙට්ටියක බතල අල දෙකකුයි, පොල් ටිකකුයි තිබුණා....
තවත් පොඩි එකෙක් ළඟ බත් ටිකකුයි වැටකොළු කෑලි දෙක තුනකුයි තිබුණේ. සරු බත්පතක්
තිබුණේ බොහොම කලාතුරකින්. ඒත් බෙදා හදා ගනිද්දි මේ අඩුපාඩුකම් බොහෝ දුරට මැකිලා
දුප්පත් බණ්ඩියකට උණත් රස බත් කටක් ලැබුණා...
මෙදත්
සුපුරුදු විදියට අපි කෑම කන දරුවො වටේ ඇවිදිමින් ටිකක් හොයා බැලුවා... මමයි,
නිලන්ති අක්කයි.. එක කණ්ඩායමක් ළඟ නතර උණාම දැක්කෙ හරිම දුක්බර දසුනක්. පුංචි
දුවෙක් පත්තර කඩදාසියක පාන් පෙති දෙකක් ඔතාගෙන ඇවිත් තිබුණා පොල් සම්බෝල ටිකක්
එක්ක. ඒ කණ්ඩායමේම බත්, නූඩ්ලස් වගේ සරු කෑම වේලක් හිමි දරුවනුත් හිටියා....
"
පුතේ ඔයා යාළුවන්ට පාන් පෙත්තක් බෙදල දෙන්න... සම්බෝලත් එක්ක පාන් හරි රසයිනේ..
" පුංචි දැරියට අපි කිව්වා.
"
ඔයාලගෙ කෑමවලිනුත් ටික ටික යාළුවට දෙන්න. බෙදා හදා ගෙන කන්න ඕනනේ.. " අනිත්
අයටත් කිව්වා.. දැරිය බොහොම ලස්සනට හිනා වෙලා පාන් පෙත්තක් බෙදා දුන්නා.. දරුවො
කීප දෙනෙක්ගේ මූණු වෙනස් උණා. එක්කෙනෙක් ඉක්මණින් පාන් කෑල්ල පැත්තකට කළා.
එක්කෙනෙක් තමන්ගේ බත් එක කිට්ටු කළා කන්න කියල.. ඒත් ඒ මූණෙ හිනාවක් තිබුණෙ නැහැ.
අපි දෙන්න ටිකක් ඈතට උණා. අර චුටි බඩට බත් කටවල් කිහිපයක් ලැබුණා. ඒත් පාන් කෑලි
කවුරුවත් කෑවෙ නැහැ. ඒවා කුණු කූඩෙට ගියා.. පස්සෙ පොඩ්ඩි ටැප් එකට අත් දෙකම අල්ලල
වතුර උගුරු කිහිපයක් බොනව පෙණුනා...
" පව්
අපි නිසා පොඩි එකීට පාන් පෙත්තත් නැති උණා." අපි උදේ ඉඳන් කතා කළ දේවල් හුළඟට
ගහගෙන ගිහින්ද? ඇයි පුංචි හිත් මේ තරම් දරුණු. ඇති නැති පරතරය මල් කැකුළුවලටත්
විස පුරවනවද?
අපි
වෙනුවෙන් සරු ආහාර වේලක් සූදානම් වෙලා තිබුණා.. ඒත් නිලන්ති අක්කටයි, මටයි හිතට
අමාරුයි. අර පුංචි දැරිවි මැවි මැවී පෙණුනා.. කෑම බෙදා ගෙන අපි එළියට ආවෙ
පොඩ්ඩිවත් ළං කර ගෙන බත් කටක් කවන්න හිතාගෙන.
අනේ පව්
පුංචි එකී සීසෝ පදිනවා... හරිම ලස්සන හිනාවක් ඒ මුණෙ ඇඳිලා තිබුණා.... බාගෙට
පිරුණු බණ්ඩි ගෙඩියට ඒ හිනාව උදුර ගන්න බැරි වෙලා.... අපි අත වැනුවා.. හෙමිහිට
සීසෝ එකෙන් බැහැලා ඈ අපි ළඟට දුවගෙන ආවෙත් ඒ හිනාවෙන්මයි.... ලොකු පෙරැත්තයකින්
පසුවයි බත් කටවල් දෙක තුනක් කවන්න පුළුවන් උණේ...
හැම දවසකම
අවසානෙ අපි දවසේ කළ කී දෑ ගැන විග්‍රහයක් කරනවා. පල්ලියෙ ඉස්තෝප්පුවෙ වාඩි වෙලා
රජරට හුළෙඟ් සිහිල විඳ ගනිමින් එදත් අපි සුපුරුදු විදියට අපේ දවසේ මෙහෙවර ගැන
පසු ඇගයුම් සාකච්ඡාවක නිරත උණා... නිලන්ති අක්කයි මමයි අපේ අත්දැකීමත් බෙදා
ගත්තා... '' අර පොඩ්ඩිගෙ කතාව " ඒ ගැන කතා බහ බොහොම දුරට ඇදුණා...
" අපි
මේ තරම් මහන්සි වෙලා කාලය ශ්‍රමය කැප කරලා කරන දේවල්වල ඇත්තටම ප්‍රතිඵලයක්
නැද්ද?" අපේ ප්‍රශ්නෙ උණේ ඒකයි...
'' අපි
බලාපොරොත්තු වෙන නව ලෝකෙ එක දවසින් ගොඩ නගන්න බැහැ නංගි... ඒකට කාලයක් ගත වේවි...
" බර්නි අයියා කිව්වා.. " අද අපි කියන මේ දේවල් මේ පුංචි අය වැඩිහිටි උණ
දවසක හරි මතක් වේවි. එක සිතුවිල්ලක් එක ක්‍රියාවක් හරි වෙනස් වේවි... හැම දෙයක්ම
වෙනස් නොවුණත්, මුළු ලෝකයම යහපත් නොවුණත් අපිට පුංචි හරි වෙනසක් කරන්න පුළුවන්...
"
"බාලයන්
තුළින් නව ලොවක් " ඒ අපේ ළමා සංවිධානයේ ( ළ.ක්‍රි.වී. - ළමා ක්‍රියාකාරී
වීරයෝ ) දැක්ම.. දර්ශනය... දරුවන්ගේ අධ්‍යාත්මික වෙනස, ඒ තමයි අපේ පැතුම..... සැබෑ
කර ගන්න අමාරු පැතුමක්... ඒත් ඒ නිසාම උත්සාහය අත් හරින්න බැහැනෙ... මට මතක් උණේ
ජවහර්ලාල් නේරු තුමාගෙ ප්‍රසිද්ධ කියමනක්....
" අපි
ශ්‍රේෂ්ඨ අරමුණක් උදෙසා කැප වී සිටින පුංචි මිනිස්සු වෙමු. අපගේ අරමුණෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය
නිසාම ඒ ශ්‍රේෂ්ඨත්වයෙන් බිදක් අප වෙත ද ආරෝපණය වෙයි..."
පසුවදන........
දර්ශනය -
" බාලයන් තුළින් නව ලොවක්"
පැතුම -
" ක්‍රිකි්‍රයාකාරිත්වය පදනම් කර ගත් භෞතික හා මානව වෙනසක් තුළ ළමුන්ගේ අධ්‍යාත්මික
වෙනසක් ඇති කිරීම
ළ.ක්‍රි.වී.
ආරම්භ උණේ 1954 වසරේ.. ඒ ප්‍රංශ ජාතික ගරු පීලික්ස් මෙවල් පියතුමාගේ අදහසක් ලෙස...
ජාති,
ආගම්, කුල භේද කිසිවක්ම නැති අපේ ළමා ව්‍යාපාරය අවුරුදු 5 - 15 ත් අතර සියලුම
ළමුන්ට විවෘතයි...
මම ළ.ක්‍රි.වි.
දරුවෙක් වුණේ 5 වසරෙ ඉද්දි... ඉන්පස්සෙ මම මගේ ළමා සමිතියටම අනුශාසක කෙනෙක් උණා
1997 වසරෙදි... එදා ඉඳන් අද දක්වාම මම ළ.ක්‍රි.වි. අම්මගෙ දරුවෙක්.. ළ.ක්‍රි.වී. ය
මම සලකන්නෙ මගේ දෙවැනි අම්මා විදියට.. ජීවිතය දකින්න, විඳින්න මම පුරුදු උණේ ළ.ක්‍රි.වී.
ය තුළින්... ඒ නිසාම මම ළ.ක්‍රි.වී.යට ණයගැතියි... ඉතින් ළ.ක්‍රි.වී.ය තුළ මා ලද
බොහෝ අත්දැකීම් ඔබ හා බෙදා ගන්නට රිසියි.. ඒ සඳහා හැකි අයුරින් ඉදිරියේ දී මගහසර
පාදා ගන්නම්.....
This comment has been removed by the author.
ReplyDeleteපිට රටින් ඩොලර් ගෙන්නගෙන ළමයි වෙනුවෙන් කියලා අඬබෙර ගහලා තමන්ගෙ සාක්කුව වැඩි කොටසක් පුරවගෙන කරන මහා පරිමාණ වැඩවලට වඩා ඔයා කරන පුංචි දේවල් හරි වටිනවා ශිරාන්... මම හිතන්නෙ ලෝකය යහපත් තැනක් කරන්න පුළුවන් මේ විදියට හිතන අයට තමයි... අතින් වියදම් කරගෙන මිනිස්සුන්ට සේවය කරන එක මෝඩකමක් වගේ කෙනෙකුට පේන්න පුළුවන්.. ඒත් ඒ හරහා ලැබෙන ජීවිත අවබෝධය, ආත්ම තෘප්තිය, ආත්ම ශක්තිය වගේ දේවල් මිල කරන්න පුළුවන්ද? ඔයාගෙ මේ අදහස්වලට බොහෝම ස්තූතියි ශිරාන්...
ReplyDeleteහ්ම්......... එක හුස්මට කියවගෙන ගියා. ඔය වගේ දේවල් මට කොච්චර දකින්න කියවන්න ලැබෙනවාද.
ReplyDeleteමමත් මේ වගේ ලිපියක් ලියන්න හිටියේ ඔයා මූලික හරය මෙතෙන ලියලා තියන නිසා මම ලිපියක් ලියන්න ඕනි නෑ කියලා හිතුනා. මට හිතෙන දේවල් ටිකකුත් පහලින් ලියන්නම්කෝ.
ඇත්තටම මගේ මතය නම් දෙමාපියන් විසින් පොඩි දරුවන්නට නියමිත වයසට එන්නත් කලින් "අරයා එක්ක ඉන්න එපා, මෙයා එක්ක කතා කරන්න එපා සහ තව එක එක විෂබීජ" ලමයින්ගේ ඔළුවට දානවා. සමහර පොඩි ලමයි කියන කරන ඒවා දැක්කහම මට හිතාගන්න වත් බෑ මේ ලමයිද කියලා.
මමත් පොඩි ලමයින්ගේ චර්යා රටාවන් ගැන අවධානයෙන් හිටියත් මේ වගේ ලිපියක් කියෙව්වමයි. ගොඩක් වටිනවා.
මටත් සමහර දේවල් දැක්කහම ගොඩක් දුක හිතෙනවා, කඳුළු වලට නුපුරුදු මගේ ඇස් වලට කඳුළු එන්නැතුව විතරයි. මීට අවුරුදු 10-15 කට කලින් තිබුණු පන්ති භේදය නැති අපේ ලමා කාලය දැන් කාලේ ලමයින්ගෙන් මෙච්චර ඉක්මනට ඈතට ගියෙ කොහොමද කියලා හිතෙනවා.
මටත් පොඩිකාලේ ගොඩක් අඩුපාඩු තිබිලා නෑ. ඒ වුණත් මොනවා හරි දෙයක් ලැබෙන්නෙ නැති වෙනකොට තිබිච්ච දුක මට තාම මතකයි. ඒක නිසා මම අදටත් හොඳටම ඉරිච්ච සපත්තු දාගෙන යන ලමෙක්ට සපත්තු දෙකක්, ෂොපින් කවරෙක පොත්ටික ගෙනියන ලමෙක්ට පොඩි බෑග් එකක්, බඩගින්නෙ ඉන්න ළමෙක්ට කෑම ටිකක්, ෂොපින් කවර අලවගෙන සරුංගල් යවන ලමෙක්ට සව්කොළයක් නූල් පන්දුවක් වගේ මට පුළුවන් විදිහට පොඩි උදව්වක් කරලා මම පුදුම සතුටක් ලබනවා. ඒ සතුටනම් මගේ මුළු ජීවිත කාලෙම තියෙයි කියලා හිතෙනවා.(හැබැයි මේ වගේ දේවල් වැඩිහරියක් කරන්නේ මම ජීවත් වෙන පලාතේ නම් නෙමෙයි. කලත් කරන්නේ ගොඩක් රහසේ. මොකද මේ වගේ දේවල් වලින් ප්‍රසිද්ධ වෙන්න අකමැති නිසා). ඔයාටත් පෞද්ගලික අත්දැකීම් ඇති, දුකින් ඉන්න ලමෙක්ගේ මූණට හිනාවක් එනකොට ඒ ලමයින්ගේ දිලිසෙන ඇස් දිහා බලන් ඉඳිද්දී අපිට කොච්චර සතුටක් දැනෙනවද කියලා. මටත් මුළු ලෝකෙම ඉන්න ලමයින් සතුටින් තියන්න ආසාවක් නැතුව නෙමෙයි. ඒත් මට පුළුවන් ප්‍රමාණයක් තියනවානේ. ඒක නිසා මම හිතාගෙන ඉන්නේ මට පුළුවන් උපරිමය හම්බ කරලා, දුප්පත් ලමෙක්ටත් කවදා හරි ගොඩක් සල්ලි හොයන්න පුළුවන් තත්වෙට පත්කරන්න ඕනි කියලා. එතකොට ඒකා දන්නවානේ ඇත්තටම දුක් විඳින්නේ කවුද කියලා, ඒ වගේ අයට උදව් කරන්න ඕනි ඇයි කියලා. මට බැරි දවසට මම වගේ හිතලා දුප්පත් අයට උදව් කරන්න තව 10ක් හිටියොත්, මට ඒ හොඳටම ඇති. එහෙම නැතුව එක දවසක දේශනේකින්, අවුරුදු ගානක් ආත්මාර්ථකාමී හිත් එක්ක ජීවත් වෙන පොඩි ලමයින්ගෙ හිත් වෙනස් කරන්න ගොඩක් අමාරු වෙයි සහෝදරී. අපි මේකට පිළියම් හොයන්න ඕනි මේකේ මූල බීජෙ ඉඳන්(මම කිව්වා වගේ දුප්පත් ලමයින්ගේ ඉඳන්). මොකද, දුක් විඳින එකාට තමා ගොඩක් වෙලාවට තවත් ඳුක් විඳින එකෙක්ගෙ දුක හරියටම තේරෙන්නෙ. මේ තියන ආර්ථිකෙත් එක්ක සල්ලි පස්සේ දුවන්න උගන්නන දෙමව්පියෝ, ගුරුවරු එක්ක තියන එකාගේ හිත හදන එකනම් ලේසි වෙන එකක් නෑ. එහෙමත් නැත්නම්, අදාල තැනට ගිහින් තේරුම් ගන්නෙ නැතුව, සුප පහසු තැනක ඉඳගෙන, උඩබලාගෙන, සිහින මාලිහා හද හදා ඉන්න එවුන්ට මේ ලමයින්ගේ ජීවිත වලට එබෙන එක මේ කපේට කරන්න බැරිවෙයි.
හිතුවට වැඩිය ලියන්න වුනා. පොඩි තරහකුත් හිතේ තිබිච්ච හින්දා, මම කිව්ව දේවල් වල වැරදි දෙයක් තියනවානම් කරුණාකරලා තරහා වෙන්න ඒපා හොඳේ.
අහම්බෙන් මේක දැක්කෙ.
ReplyDeleteමෑතකදී මම දැනගත්තු විදිහට මගේ දියණිය යන පුංචි පාසලේ විදුහල්පතිවරයා හුඟක් දවස්වල බඩගින්නේ. ඇතැම් ගුරුවරුත් එහෙමයි. කෑම ගෙනත් නැති දරුවන් එකතු කරලා ඔවුන්ගේ කෑම එක බෙදාගෙන කන්න දෙනවලු.
කාලයත් සමග මේවා වෙනස් වේවි. ඒත් ප්‍රස්නේ මේ යන විදිහට ඒකට කොච්චර කාලයක් යයිද කියන එක.
එහෙම ගුරු දෙවිවරුත් ඉන්නවා තමයි... බඩගින්නෙ ඉස්කෝලෙ එන ළමයි කොයි තරම් නම් ඉන්නවද? බඩගින්න නිවාගන්න දෙයක් වෙනුවට වසවිස වලින් කෑම පෙට්ටි පුරවන් එන ළමයිනුත් ඉන්නවනේ... බෙදා හදා ගැනීම දරුවන්ට පුරුදු පුහුණු කරන්න ඕන.. ඒ වගේම තමන්ගෙ අතින් හදන පෝෂ්ය්දායී කෑම වේලක් දරුවන්ට දෙන්න නූතන අම්මලාව දැනුවත් කරන්නත් ඕන...
Deleteස්තූතියි මේ ලිපිය ගැන අදහස් දැක්වුවාට.. මේ අත්දැකීම මට කවදාවත්ම අමතක කරන්න බැරි අත්දැකීමක්...