ස්ටෙප්ස් නිම්නයද මේ ....!!!!
නැහැ.. එය නොවෙයි.. එවැනිම වූ හරිත නිම්නයක්... නිම්නය මැද හුදකලා අසුනක්..
එමත හුදකලා නොවූ හදවත් දෙකක්...
ප්‍රේමයෙන් ඇවිළී ගිය හදවතින් ඇය... ප්‍රේමයෙන් නිවී ගිය හදවතින් ඔහු...
විසල් තැන්න පුරා දිගෑදී සිටින දිගු අන්ධකාර සෙවණැලි.. සැනෙකින් ඔවුන් ඒ
තුළ ගිලී යාවි දැයි අවිනිශ්චිත බියක්... නමුත් නිම්නය පුරා නිසොල්මන්ව වැතිරී
සිටින උණුසුම් අව්රැල්ල.. සන්සුන් ඉරියව්වක සිල්වත් දැහැනක...
නිම්නය පුරා නිම්නාද නගන ගී හඬක්... විටෙක ළයාන්විතයි.. විටෙක තියුණුයි...
ගයන්නේ ඇය.. වයන්නෙත් ඇය.. ගයන්නෙත් වයන්නෙත් හදවතින්මයි ඇය..
ඈ වෙත ම දැල්වුණු ඔහු දෙනෙත.. හිත පත්ළම එක මිටට ගත හැකි තරමට පැහැදිලි
නිසල විල් දියක්...
නිම්නය පුරා ගලා ගිය ඇගේ හඬ කෙමෙන් කෙමෙන්... සෙමෙන්.. සෙමෙන් මන්ද ස්වරයකට
අනුගත වෙමින් ඈත අවකාශයේ හුදකලාවට මුහු වී සැඟවී යනවා... ප්‍රේමණිය වූ මුනිවර
සංයමයකින් ඔහු සුරත ඈ හිස මත.... ඒ නෙත් තුළ සරැලි නංවන ස්නේහය,
ඈ නිසාද?
ඇගේ ගීතය නිසාද?
ඇගේ ප්‍රේමය නිසාද?
සෙමින් පෙමින් ඇදී එන ඔහු සුරතට මැදිවන ඇගේ වමත.... ඇහිපිල්ලමක දුරක් පමණයි
තුරුළු වන්නට පුළුල් පපුතුරට.. නමුත් ඇය සෙමින් තම අතැඟිලි මුදා ගන්නවා... නෙතින්
ගිළිහෙන කඳුළු සීරාවක් කොපුල් නිම්නය දිගේ නැවතුමක් නොදකින නිසොල්මන් ගමනක...
''එපා..'' ඉකියකින් මිදුණු සුසුමක් සමඟ ඇගේ වෙව්ලුම් ස්වරය...?
''ඇයි?''
''දන් නෑ... ඔයා
හොඳයි.. හුඟක් හොඳයි.. ඇත්තමයි ඔයා හොඳ කෙනෙක්...''
ඒ හාම සිහින් ඉකිබිඳුමක් මන්ද ස්වරයෙන් ඇරඹී හාත්පස නිස්කලංකය කලම්බනවා...
දෙඅතින් මුහුණ වසාගන්නා ඈ කඳුළු වැස්සක දිය වී යනවා...
''ඇයි මේ?'' හැමදාමත් වගේ අදත් ඔහුට කියවන්න බෑ ඇගේ හිත...
'' දන්නෑ.. මං හොඳ
නෑ... මං හොඳ කෙනෙක් නෙවෙයි.'' ඉකිබිඳුම අතරින් මතුවන හද බිඳුම..
.............................
සදාතනිකව හිත අල්ලගත් රූප රාමුවක් එය...
සදාතනිකව හිත කළඹන කඳුලක් එය...
උනුන් කෙරෙහි සුවිසල් ප්‍රේමයක් හද දරා සිටියදීත්, උනුන් සිත් හඳුනා ගන්නට නිමේෂයක නැවතුමක් නොලැබූ
අතීතයකින් උරුම වූ කඳුලක් එය...
‘‘ඔයා නිසයි මේ හැමදේම..” එවදන් කඳුලක දවටා ඔහු වෙත දමා ගැසිය හැකිව තිබියදීත් ඇය එසේ නොකළේ
ඇයි? ඔහු විත්තිකරු කොට විත්තිකූඩුවට නංවනු වෙනුවට නිදොස් කොට නිදහස් කර සියල්
වැරදි තමා මත ම පවරාගෙන සදාකාලික දණ්ඩනයට යටත් වුයේ ඇයි?
එය ද නිර්මල සිතක උපදින ප්‍රේමයේ ස්වභාවය..
එවන් වරදකාරී හෘදය රිදුමකින් ජනිත වන්නවූ කඳුළු වැස්සකට හදවතේ වාන් දොරටු විවර කිරීමට ඉඩ හරින්නේ
නැහැ මම නම් කවදාවත්ම...
ඒ ප්‍රතිඥාව මගෙන් මට ම...
.................................
‘‘ආදරය කියන්නෙ සදාකාලික ගවේෂණයක්” ඒ බව මම දැන
සිටියා ජීවිතයෙන්ම.
ඒත් ලැකාන් එලෙස කියා ඇති බව මා හා
පැවසුවේ වෙන කෙනෙක්... ආදරය හඹා යන සදාකාලික ගවේෂකයෙක්.. එකකට එකක් සම්බන්ධ නැති,
නැත්තෙත් නැති මේ සිතිවිලි විවරණය අමුණමින් ඉන්න අතරෙ...
ඒ සදාකාලික ගවේෂණයේ අවසන් ප්‍රතිඵල ය සැනසුම
ද? නැතිනම් රිදුම ද?
කුමක් වුවත් ඒ තමයි ජීවිතය....
ජීවිතය සොයා සැරිසරන නොතිත්
ආශාවෙන් පිරුණු අප වැන්නවුන්ට ඒ සදාකාලික ගවේෂණයෙන් බැහැරව සිටිය හැකිද?
සිටිය හැකි වුවත් ඉතින් එවැනි ඇල්මැරුණු
ජීවිතයක් කුමකටද?
සුන්දරයි. ලගන්නා සුලුයි. මිහිරියි. ඒ වගේම දුක්බරයි. ආදරෙන් පිරුණු හදවතකට ඇර මෙහෙම ලියන්ට බෑ තරු...
ReplyDeleteබොහොම අගෙයි තරූ.. පොඩ්ඩි කියලා තියන දේම තමයි මගේ හිතට ආවේ....
ReplyDelete//ඒ සදාකාලික ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය සැනසුම ද? නැතිනම් රිදුම ද? //
රිදුම තුලින්ම උපදින සැනසුමක්? අනේ මන්දා.... බරපතල ප්‍රශ්න...
//ආදරය කියන්නෙ සදාකාලික ගවේෂණයක්.//
ReplyDeleteසැබවින්ම ඔව් අප ජීවත්ව සිටින තුරුම නොකඩවා කල යුතු ගවේෂණයක්.හැමදාටමත් අවසාන ප්‍රතිපලය කුමක් වුවත්.
මේ ලියවිල්ල කියෙව්වහම මතක් උනේ සන්තියාගෝ නම් සැරිසරන්නාව... :)
ReplyDeleteලස්සන ලියවිල්ලක්..
ඒක නෙමේ.. පුලුවන්ද වචන සියයකින් හිතට වදින ලස්සන නිර්මාණයක් කරන්න.. අභියෝගය භාර ගන්නවා ද ?? :)
අභියෝගය භාර ගන්නම්.. අදහසක් තියෙනවා. ලියා එවන්නම්.. ලස්සනද නැද්ද එය ඔබේ තීරණය...
Deleteහරිම ලස්සනයි
ReplyDelete