Friday, January 31, 2014

නේහා!!!




නේහා!!!

මම හෙමිහිට ගුරු පාර දෙසට විවෘත ව ඇති කවුළු තිරපට මුදාහැරියා. කෘතිම ළදළු පත් සලුවෙන් සැබෑ හරිත ඇතිරිල්ල වැසී ගියා. ''නපුරි'' හිතුවක්කාර සුළං රැල්ලක්  නෝක්කාඩුවක් පාමින් ‍කවුළුවෙන් රිංගාවිත් ඉදිරි දොරින් පිටවුණා. 

මා පැමිණ ඇති බව දැණුනොත් ඈ නිසැකවම නිවසට ගොඩ වේවි. ඇගේ කතා කෝච්චියට ගොඩ වෙන්නට මටත් සිදුවේවි. ඉන්පසුව මට මාවත් අමතක වී යාවි. තවමත් මම ගෙට ගොඩවුණා විතරයි. කරන්නත් වැඩ එමටයි...  හි‍තේ ඇඳගත්ත ද‍වසේ සැලැස්ම අවුල් කර දමන්න ඇගේ එක වචනයක් වුණත් ප්‍රමාණවත්. මම ඒ බව දන්නෙ අත්දැකීමෙන්. ඉකුත් සති අන්තයේ ඇඹරැල්ලා මාළුව අඟුරු ‍ගොඩක් වුණෙත්, බත කරකුට්ටං වුණෙත්, මා ඇගේ වදන් ඔස්සේ දිග දුර ගමනක් ගොස්  අතරමංව සිටි නිසයි !!! 

අනේ ආගන්තුක සුළං රැල්ල.. නුඹ කොහොමද ඒ අතීත කතා දන්නෙ?

මොනව වුණත් නේහා හොඳ කෙල්ල..

ගිරවියක් වගේ තොරතෝංචියක් නැතිව කියෙව්වත් ඒ කියවිල්ලෙ මොකද්දෝ අමුතු හිත් ගන්න ලතාවක් තියෙනවා.. හිත් ගන්න කතාවකුත් තියෙනවා. වෙලාවකට මට මාවම කියවගන්නව වගේ දැනෙන්නෙ. මට ම‍ නොතේරෙන මගේ හිතේ කතා ඇගේ කතාබස් එකේදි අමුතු සිරියාවක් පිරියාවක් ඇතිව පෙනී හිටින්න ගන්නවා. ඉතින් මට උන්හිටි තැන් අමතක වෙන එකත් අරුමයක් නෙවි.

ඈ අරන් එන්නෙ ආදර කතන්දර.. පුංචි පැටවුන් ගෙ ලෝකෙ ලස්සන හීන .. ඒත් ඇගේ ඇස්වලින් වෑහෙන ඇගේ ම ආදරයක් මට හංගනවාද කියලා ළඟකදි ඉඳන් මට හිතෙන්න අරන්.. කිසිවක් නොදන්නා ගාණට මං ඉන්නෙ ඒ මහ රහස හංගගෙන කිචිබිචි ගාන ඇගේ අහිංසක දාංගලය හදවතින්ම විඳිමින්.

නමක් නැති, පොළව උඩ ඉන්න බව දැනෙන, හරි අපූරු හීන කුමාරයෙක් ඇයට ඉන්නවා. මට එහෙම හැඟෙනවා.. ඒ තරම් බොළඳ හිතක මේ තරම්ම සුවිසල් ආදරයක් උත්පාද වුණේ කොහොමද? වෙලාවකට මට පුදුමත් හිතෙනවා. 

නේහාගෙ ඇවතුම් පැවතුම් හුඟක් සමාන කලබලකාර පුංචි ළදැරියකට. ඇය ළඟ ඔබ උන්නොත්, ඊළඟ මොහොතේ ඇය කුමක් කරයිද කියලා ඔබට අනුමාන කරන්න බැරි තරමට, ඇගේ සිතිවිලි වෙනස් වෙනවා. මුහුදු රැල්ල වගේ.. මහා බර සාර කතා කියන අතරම ඇය නිතරම කටට දාගන්න දෙයක් හොයන්නෙත්, රස කෑමක් නැති වීම ගැන දොස් නගන්නෙත්, මේ ගෙදර ඇගේ යැයි හැඟෙන ගණනට..

ඇයට බොම්බයි මොටයි සීනුව ඕනෙම ඈතකදි හඳුනා ගන්න පුළුවන්. ඕනෙම කඩේකට ගිය ගමන් නේහාට ඕනෙ කරන්නෙ මැද චොක්ලට් වැඩි ඩෝනට් එකක්. ඒ තරම් සැහැල්ලු ළදැරියක් වැනි ඇය මගේ ළඟටම වෙලා හංගගෙන රසවිඳින හරස් පද ප්‍රහේලිකාව විසඳගන්න මම උත්සාහ කරනවා. සමහරවිට මගේ කතාව මට ම කියන කැටපතක චරිතය ඇය රඟනවාද කියලාත් මට හිතෙන තරම්.

'' මම කෙනෙක්ට ආදරේ කරනවා නම් ඒ කෙනා ළඟ ඉන්න මම ආසයි... එයා ආසා කෑමක් හදා දෙන්න.. වයින් වීදුරුවට ගිහිං අයිස් කැට දෙකක් දාන්න.. මම ආසයි.. එයාගෙම දරු පැටියෙක් හදලා.. එයා තරම්ම සුන්දර මනුස්සයෙක් කරලා ලෝකෙට දෙන්න ආසයි අක්කි. මම කවදා හරි ආදරේ කරන්නෙ, රීප්ලේස්මන්ට් එකක් හොයන්න නැති, පිරිමි කම උතුරන පිරිමියෙකුට විතරයි...අක්කි.. එහෙම කෙනෙක් ගැන අයිති කරගන්න ආසාවට වඩා දැනෙන්නෙ මහ පුදුම ගෞරවයක්.. ආඩම්බරයක්.. එහෙම කෙනෙකුට මම වගේ කෙනෙක් ආදරේ කරන්න තරම් වටින්නෙ නැති වෙන්න පුළුවන්... හැබැයි එහෙම කෙනෙක්ට මම ආදරේ කළොත්, මම හරි ලකී අක්කි.. ලෝකෙම ඒ ගැන එයාට දොස් කියන්න ගත්තොත්, මම මුළු ලෝකෙටම කියනවා...ආදරේ කළේ මම විතරයි කියලා.. කාටවත් බෑ එයාට දොස් කියන්න.. මම එයාට ආදරේ කරන්න වටින තැනට පත් නොවුණොත් වරද මගේ මිසක්.. එයාගෙ නෙවෙයි''

හුස්මක් පවා නොගෙන ගලාගෙන ආ ප්‍රේමණීය වදන් පෙළගැස්ම අතරතුර විරාමයක්.. දීර්ඝ සුසුමක්... ඈ මගේ නෙත් තුළ කිමිදෙයි. මම මගේ සිත තුළ ම කිමිදෙමින් සිටිමි.. මං තවමත් ඒ කතන්දර මතක් කරන්නෙ හිත හිරි වැටෙද්දි. කවුද කියල හිතා ගන්න බැරි වුණත් මේ හීන කුමාරයෙක් වෙන්න බෑ... කවුද කියන පැනය ළග හිත නතර වෙද්දි මතක් වෙන ඇස් දෙකක් ගැන මහා ලෝබකමකින් මගෙ හිත ඇවිලෙනවා.. ඒත් මට දැනෙනවා ඇගේ හීන කුමාරයා සහ මට මැවෙන ඇස් දෙක අතර කොහෙත්ම සම්බන්ධයක් නැති වග. ඉතින් හිතේ ඇවිළිල්ල වෙව්ලිල්ල වියැකිලා සැනසිල්ලක් දැනෙනවා ‍නොදැනිම.

''ඔයා හරි වාසනාවන්තයි නංගි..'' 

''ඇයි?''

''ඔයා ආදරේ ගැන ලස්සනට හිතනවා... ඒ තරම්ම ලස්සනට කවදා හරි ආදරේ කරාවි.. මට ඉරිසියත් හිතෙනවා..''

''අපිට ලෝකෙ ආදරය කරන්න උගන්වන්නෙ නෑ. වෛර කරන්නයි කියාදෙන්නෙ. හැමෝම බයයි, ආදරය වෛරයෙන් කෙළවර වෙයි කියලා..... බල කරන්න.. අයිති කරගන්න දඟලන්න හො නැහැ අක්කි. නිල් මානෙල් මල් අයිති විලටයි. නෙළුවොත් තියන්න පුළුවන් දවසයි.. මම මල විලේ තියලා විඳිනවා...ළඟට ගිහින් ඉඹිනවා සුවඳ විිනවා. මේ මල මගෙයි කියලා ලෝකෙට කෑ ගහන්න මට ඕනෙ කරන්නෙ නෑ.. ආදරේ කරන්න ඕනෙ එහෙමයි.''

අන්න ඒ සුන්දර,‍ ප්‍රේමණීය කතාබහ දිග්ගැහුණු දවසෙ තමයි මගේ ඇඹරැල්ලා වෑංජනය අඟුරු ‍ගොඩක් වුණේ.. බත කරකුට්ටං වුණේ...

.......................................

''අක්කී...''

පෙරදි නම් අක්කී කක්කී තරමට අප්‍රියකාර වදනක් වුවත් ඇය ඒ මත තවරන අතිමහත් ස්නේහය නිසාම දැන් දැන් එය සුපුරුදු සුන්දර ආමන්ත්‍රණයක් විදියට මගේ සරල සිංහල ශබ්දකෝෂයට එක් වෙලා.

'' ඔන්න බලන්න.. මං හිතුවා ඔයා ඇවිත් කියල''

ඈ ගෙට ගොඩවුණේ හිනා මල් යායක් සාලය පුරාවට හලාගෙන.. හරියට මගේ හිම මල් යාය වගේ.. ( දැන් ඉතින් තවදුරටත් පොඩිසිඤ්ඤමරං මල් නෑ.. දනපති නට්ටං, ලොක්කං නට්ටං නෑ... හිම මල්.. හිම මල්.. හිම මල්.. )

''ඔයා හරියට දිවැසිවරියක් වගේනෙ..'' මං කිව්වෙ විස්මය ඇස් අස්සෙම හංගගෙන.. වහංවෙලා ඉන්න හැදුවට කොහොමද මාව හොයා ගන්නෙ මේ හැටියෙන්..''

''මට සුවඳ ආවා...'' 

''සුවඳ?''

'' හ්ම්... ඔයා පත්තු කරන හඳුන්කූරුවල සුවඳ.. ගව්ගාණක් ඈතට එනවානෙ.. ''

''ආ....හා.. ඒ සුවඳටයි පුංචි සමනලී ඇදුණෙ එහෙනම්...'' 

''මං හිතන් උන්නෙ අක්කි හෙණණණ රැඩිකල් චරිතයක් කියල... '' 

ඈ කියන්නෙ සුරුවම් කූඩුව වෙත ම දැල්වුණු දුඹුරු සුන්දර නෙතින්. එහි පහන් සිළුව මඳ පවන් රැල්ලක් එක්ක සියුමැලි නර්තනයක.. ඉද්ද මල් පීරිසිය වටේ කැරකෙන සඳුන් දුම් රැල්ල කවුළුවෙන් එපිටට ගලාගෙන යන බව මං දැක්කෙ එවෙලෙ.. සතිඅන්තයේ පමණක්ම විවර වන දොර කවුළු අතර හුදකලා වුණු ගෙට සිරියාවක් එන්නෙ අතුපතු ගාලා, අස්පස් කරල, මේ වතාවතටත් ඉඩ දුන්නට පස්සෙ කියලයි මට හිතෙන්නෙ. එය භාවනාවක් වගේ හිත එක්තැන් කරන සුන්දර වැඩක්.. කවියක් ලියනව වගේ.. සිත්තමක් අඳිනව වගේ... හිත නිවෙනවා.. සැනසෙනවා.. 

රැඩිකල් නොවන වැඩ ගොන්නට ඈ දාගන්න ඇත්තෙ එය වෙන්න ඇති.

'' මං රැඩිකල් චරිතයක් කියල හිතුවෙ ඇයි?''

'' නෑ ඉතිං මෙහෙම තනියෙන් නිදහසේ  ජීවත් වෙන එක.. තමන් කැමති තැනක යන එන එක.. තමන් කැමති විදිහෙ වැඩ කරන එක......''

ඇය තව තවත් මගේ රැඩිකල් කමට උදාහරණ එක්කරන්නට සැරසෙයි.

'' ඒක හුදකලාවට තියෙන කැමැත්ත නැත්නම් ජීවිතයත් එක්ක අරගල කරන්න තියෙන බය වෙන්න බැරිද? රැඩිකල්කම කියන්නෙ ඊට වඩා වෙනස් ගැඹුරක් තියෙන ජීවිත පැවැත්මක් නංගා..'' 

''බය!!! ඔයා බයගුල්ලියක්ද? ආ......?? හරි පුදුමයිනෙ. '' ඇගේ දෑස් විස්මයෙන් විසල් වෙයි.

ඈ දැන් වයින් කළ බෝනික්කියක් මෙන් සිනාසෙයි.. ඒ සිනාව මට ද බෝවෙන්නාක් වැනි ය..

''මොනා උණත් එක දෙයක් මට පැහැදිලියි.. අක්කි තනිවෙලා නෑ..'' ඈ පවසන්නෙ නළල රැලි ගන්වමින්, ඇසක් ඉඟිමරමින්.. දෙතොල් පෙති නටවමින්...

''ඔයා කොහොමද එහෙම හරියටම කියන්නෙ..?'' මටවත් මෙතෙක් සොයා ගත නොහැකි වූ... ම‍ගේ තනි නොතනිය මනින මිම්ම ඇය සොයා ගත්තේ කෙසේද?

''ඉතිං ඔයා ලියන කියන හැමදෙයක් ඇතුළෙම මහා ආදරයක් තියෙනවානෙ. මේ ගේ පුරාමත්, හැමතැනකමත් ආදරවන්ත මනුස්සයෙක් ඉන්නවා. පෙනී නොපෙනී.. මට ඒක හොඳටම දැනෙනවා අක්කි.. '' 

 ඇගේ ඇස් රැස් මවමින් තැන තැන විසිරී ඇති පොත්පත්, ලියකියවිලි වෙත සැරිසරයි. රාමුගත සිත්තමක ඈත දුරක දැල්වුණු දෑසක් වෙත පාවී ස්ථානගත වෙයි.

ඈ නම් වඩාත් ගැළපෙන්නෙ රහස් ඔත්තු සේවයකට කියලා මට හිතුණා.

'' ඈත දුරක දෑස පාවෙලා... ගොළුවීලා ඔහේ තනිවෙමු....''

මේසය මත ‍ඇති පොතක පිටු පෙරළමින් ඈ ගයයි.. මාතින් එහි පදපේළි සම්පූර්ණ වෙන්නෙ නිතැතින්ම...

''.. පාළු ලොවක... ඈත දුරක දෑස පාවෙලා... ''

'' අක්කී..''

''ම්ම්...''

'' දන්නවාද අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ ඇයි කියලා?''

'' ඇයි?''

''ආදරය දෙන්න.. හැබැයි ආදරය අරන් යන්න නම් නෙවෙයි.. අපිව ළං කරගන්න අය ඕනම මොහොතක ඈතට යන්න, කියලා අපිට නිදහස දෙන්නෙ ඒකයි. ඒත් ඒ හුඟක් අය ඒ නිදහස දිගේම අපිව අයිති කරගනීවි.. අපි ඒ අයගෙ පැත්තකින් ඉඳන්, ඒ අයගෙ ජීවිත පුරවන්න ඕනෙ.. හැබැයි ඒ අය අපි ළඟ ඉඳියි කියලා බලාපොරොත්තු වෙන්නෙ නැතුව... කොයි තරම් නිදහසක් දුන්නත් ඒ අය නිසාම අපි අනිත් ජීවිත වලට වඩා හිර වෙලා.. 

...ඒ ආදරෙන් මිදිලා හුස්මක් ගන්න එකත් එක වෙලාවකට වේදනාවක් අක්කි...''

ඈ වත පුරා බැරෑරුම් බවක් පැතිර යයි.. සිනාසෙන දෑසේ යළිත් රහසක ලකුණක්.



ඇසිල්ලකින් ඈ සුසුමක් හෙළයි. ඉතින් කුමක් නම් කියන්නද? උගුරෙහි යමක් හිර වී ඇතිවාක් මෙනි. කුටියේ කවුළුවෙන් ඈත දුරක පාවුණු දෑස ය. ඈ තවදුරටත් කතා කරන්නේ මට නොවේ.. ඇයටමයි. ඇගේ හිතටමයි.. ඒත් ඒ මම ගැනයි. මට හිතෙන්නෙ එහෙමයි.

'' ආදරේ කරන්න තෝරාගන්නවා නම් ඒ ප්‍රති ආදේශකයක් නැති පිරිමියෙක් වෙන්න ඕනෙ..හැම දේම පුළුවන් පිරිමියෙක් වෙන්න ඕනෙ... කවදාහරි එහෙම කෙනෙක් ළඟ නතර වෙන්න... එයා තුළ කවියෙක්, ලේඛකයෙක්, දේශපාලඥයෙක්, මතධාරියෙක්, චින්තකයෙක්, දාර්ශනිකයෙක්.. ඔය කවුරු හරි ඉඳීවි... සමහර විට හුඟක් අය ඉඳීවි.. හැබැයි අපි  හොයා ගන්න ඕන.. එයා ඇතුළෙ ඉන්න කුඩා දරුවාව.. තරහ ගන්න පුංචි කලබලකාරයාව.. මුරණ්ඩු හිතුවක්කාරයාව.. හදවත කිති කවන දඟකාරයාව.. ඉන් පස්සෙ ආදරේ කරන්න ඕන ටිකෙන් ටික.. ඒත් යම් දවසක ඒ බැඳීම අත්හරින්න එයාගෙන්ම බලපෑමක් එන්න පුළුවන්. ඒකට බයවෙන්න නරකයි. ඒක වෙන්නෙ ඒ පැත්තෙන් නම් අත්ඇරෙන්න ඉඩදෙන්න, බයවෙන්න එපා.. දුක් වෙන්නත් එපා.... ඒත් ඒක වෙන්නෙ අපේ පැත්තෙන් නම් ඒක හොඳ නැහැ.. ආයෙත් මතක් කරගන්න. අපි ලෝකෙට ආවෙ ආදරේ කරන්න කියන දේ.... සදාකාලිකව ඉවසන්න... ස්වර්ගය ඔයාට ළං වේවි''

මම ඇස් බිමට බර කර ගනිමි. එහි උණුහුම්ව නළියන කඳුළු කැට පෙරහැරකි. කස පුපුරන්නේ හිත තුළ ය.

ඈ ක්ෂණිකව මා දෙසට හැරෙයි.

''අදත් ඔයාගෙ බත රොස් වීමේ පාපකර්මයට අනුමෝදන් වෙන්න මට බෑ ''

මගේ හිත අවුළුවා තබා ඈ යන්නට සැරසෙයි.. ඉතින් අදත් වැඩක් කෙරෙන්නේ නැති බව සහතිකය. නේහා උන්නා නොඋන්නා කියා දැන් වෙනසක් වන්නේ නැත.

 ''යන්න එපා කෙල්ල. මට පාළුයි.. කයියක් ගහන් වැඩ කරමු ''

 ''ඔය පාළුවට බේත මම නම් නෙවෙයි..''

නෙතින්ද, දෙකොපුලෙන් ද, දෙතොලින්ද, සිනාසෙන ඈ.. පොත් රාක්කයේ  පොත් පේළියක් මත සිය දෑත සිනිඳුවට හුරතල් කරවයි..

''මගේ ලොවට ඔබ වඩිනතුරා...

තරුවක් වාගේ හෙටත් නොපායන

මගේ යොවුන් හද ප්‍රාර්ථනා..''

සිනා බෝ වී... බෝ වී.. බොහෝ වී... කොපුල් නලියනු දැනෙයි. ඉදින් මම, කවුළු තිර හැර දමා මොහොතක් දෑස් පියාගෙනම හිතුවක්කාර සුළං රැල්ලක මුණුමුණුවට සවන්දෙමි.

''ආදරයටත් නිදහසේ හමාගෙන යන්න ඉඩදෙන්න හරියට මේ හුළඟ වගේ.. හුළඟ නේහා වගේ... අතින් අල්ලල නවත්තන්නවත්, අල්ලල හිර කරගන්නවත් බැරි තරමට ඇය වගේ.... ඇති වෙනතුරු දාංගල් කරන ඒත් මහා වස්තු සම්භාරයක් ගැඹුරෙම හංගන් ඉන්න මහ මුහුද වගේ... මහ මුහුද නේහා වගේ.. කොච්චර රිදුණත් බලා ඉන්න හිතෙන තරමට සොඳුරුයි.. "

සිතට දැනෙනා ඈ ගැන සිතුවිලි සිත තුළම සවා ගෙන සෙනෙහස පිරුණු මගේ ඇස් ඈ හොයනවා. නේහා තවමත් ඇගේ ලෝකයේ ගීතවත්...  


නිල් පැහැති සෙටින් පටියක් ඉන වටා බැඳී, සොඳුරු ලිහිල් සුදු ගවුමක්.. මල් ඔටුන්නක්..එක්ක ඇයව මවා ගන්න මම උත්සාහ කරනවා. ඇය දුකට පත් හදවත් මත ජීවිතය පුරවන පුංචි සුරංගනාවියක් වගේ. 

දෙවියන් වහන්සෙ එහෙම අයව කලාතුරකින් ලෝකයට එවනවා.




ප.ලි.
කෙටිකතාවක් නොවේ. ස්නේහ වරුසාවක් වන් නේහා ජීවිතයට අත්වැලක් වෙමින්, ස්නේහයට අත්පොතක් වෙමින් හිඳින්නීය.



24 comments:

  1. ලස්සනට ලියපු ලියවිල්ලක්.. අර වගේ ආදරේ කරන ගෑනු හිතකට කොයි පිරිමියාද අකමැති වෙන්නේ.. :)

    ReplyDelete
  2. නේහා ගැන අහන්නෙ නැතුවම බැහැ. එයාට ආදරෙ වෙන්න අරන් මගේ හිත. පුදුම ලස්සන ලියවිල්ලක්.... සහ අපූරු දැක්මක්.... හැබැයි.... මට නේහා ව හොයල දෙන්න...

    ReplyDelete
    Replies
    1. නේහා සුරංගනාවියක්.. ඈ ඉන්නෙ සුරංගනා ලෝකෙ..... මම අහල බලන්නම් ඔයාව බලන්න එන්න පුළුවන්ද කියල...

      Delete
  3. ඔයා ගෙ ලියවිලි හැම දා ම වගේ අපූරු යි නො කියා වෙන මොනව කියන්න ද තරූ?

    ReplyDelete
    Replies
    1. ලස්සන හිත් මුණගැහදේදි ලස්සන ලියවිලි මතුවෙනවා... මට හිතෙන්නෙ එහෙමයි..

      Delete
  4. කාලෙකින් ආවේ මම. ලස්සනයි. ඔයාගෙම රටාවට ඔයාගෙම සිත

    ReplyDelete
    Replies
    1. බින්දි කාලෙකින්.. මම හිතුවෙ දැන් ඔයා තරුරසී පැත්තෙ එන්නෙ නැහැ කියල...

      Delete
  5. අපොයි. මෙයා මොකක්ද කියන්නේ කියලා මට හිතාගන්නම බැරි වුනා. සැබෑ ලෝකේ නම් වෙන්න බෑ මේ තරු ඉන්නේ.
    ඒක නෙමෙයි කෝ අර කතාවේ ඉතිරි කොටස්? තර්ජන වලට බයෙන් ලියන එක නතර කරලා දැම්මද?

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ නොඉන්න තවත් අය ඉන්නව අනේ... නේහත් ඒ වගේ එක්කෙනෙක්...

      ඒ කතාව ලියන්න මට කම්මැලි... කවුරුත් තර්ජනය කළේ නම් නැහැ.

      Delete
  6. ඇතුලේ ඉන්න නේහා හුරුපුරුදු බවක් දැනුනා.

    (දවසක අපේ දරුවා ගැනු ළමයෙක් වුනොත් දාන්න හිටියේ මිට ලගින් යන නමක්. හැබැයි තෙරුම් දෙකම එකයි ^_^. )

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔයත් නේහා වගේ වෙන්න ඇති...

      Delete
  7. මේ ලියලා තියෙන වගේ ආදරය කරන කෙනෙක් ලබන්න මොන පිරිමියද අකමැති.. වෙනස්කම් ඇතුව හරි මට එහෙම ආදරයක් ලැබිලා කියලා හිතෙද්දී සතුටුයි..

    කතාව ඉතින් වෙනද වගේම ලස්සනයි තරූ අක්කේ..

    ReplyDelete
    Replies
    1. සමහර විට මෙවැනි ආදරයක් කරදරයක් වෙන්නත් බැරි නැහැ නේද?

      ආදරය කොයි තරම්ද කියනවනම් මෙන්න දෙන්නම එක සැරේ ලිපිය බලල එක සැරේම කමෙන්ට් කරලා....

      Delete
  8. සුපිරි එකේ හොදම එක....
    >> ''ඔය පාළුවට බේත මම නම් නෙවෙයි..'' << නියම කියමන.

    ReplyDelete
    Replies
    1. පාළුවට බේත තියෙන්නෙ තමන් තුළමයි... මම දැනට තේරුම් අරන් තියෙන සත්‍යය ඒකයි කෙන්ජි අයියෙ... බාහිරින් පාළුව මකාගන්න ගියාම වෙන්නෙ දුක් වේදනා ගොඩ ගැහෙන එක...

      Delete
  9. "ආදරේ කරන්න තෝරාගන්නවා නම් ඒ ප්‍රති ආදේශකයක් නැති පිරිමියෙක් වෙන්න ඕනෙ..හැම දේම පුළුවන් පිරිමියෙක් වෙන්න ඕනෙ... කවදාහරි එහෙම කෙනෙක් ළඟ නතර වෙන්න... එයා තුළ කවියෙක්, ලේඛකයෙක්, දේශපාලඥයෙක්, මතධාරියෙක්, චින්තකයෙක්, දාර්ශනිකයෙක්.. ඔය කවුරු හරි ඉඳීවි... සමහර විට හුඟක් අය ඉඳීවි.. හැබැයි අපි හොයා ගන්න ඕන.. එයා ඇතුළෙ ඉන්න කුඩා දරුවාව.. තරහ ගන්න පුංචි කලබලකාරයාව.. මුරණ්ඩු හිතුවක්කාරයාව.. හදවත කිති කවන දඟකාරයාව.. ඉන් පස්සෙ ආදරේ කරන්න ඕන ටිකෙන් ටික."

    ඔව්, ටිකෙන් ටික... <3 හරිම ලස්සනයි අක්කෙ! කාලෙකින් කියෙව්වෙ පෝස්ට් එකක්. අකුරු පේලි අස්සෙ, ඔය උඩ තියෙන පේලි ටික ඩිංගක් තදටම හිතේ ලියැවුනා.

    ReplyDelete
    Replies
    1. නේහා නම් කියන්නෙ ටිකෙන් ටික ආදරේ කරන්න කියල.. ආදරේ අධිමාත්‍රාව විස වෙන්න පුළුවන් කියල... මට නම් ඒක හරි අමාරු වැඩක්...

      මහා ගොඩක් ආදරේ හිතේ තියාගෙන ටිකෙන් ටික සීරුමාරුවට ආදරේ කරන්න පුළුවන්ද? ඒක ටිකක් පුහුණු කළ යුතු බරපතළ වැඩක්... වගේ...

      Delete
  10. කියවන්නන්ගෙ සිත් වල ආදරය ලස්සනට සිතුවම් කල ලියවිල්ලක්..
    ලස්සනයි ගොඩක් තරු අක්කෙ..

    ReplyDelete
    Replies
    1. ලස්සන හිත් එකතු වුණාම ජීවිතේම ලස්සනයි... +

      Delete
  11. Replies
    1. කුරුලුත් කැමති විදියෙ ආදරයක් මං හිතන්නෙ...

      Delete
  12. නේහා බොහොම අපූරු චරිතයක්නේ. නේහාටත් ගැලපෙනම යාළුවා හම්බ වෙලා තියෙන්නේ. නේහා තොරතෝංචියක් නැතුව කියවන දේවල් වලින් සතුට හොයාගන්න කෙනෙක් ඉන්න බව නේහා දන්නවද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. නේහා මට වඩා ගොඩක් ළාබාල වුණත් තිසර එයා ආදරේ කියන කාරණේදි උපදෙස් දෙන්නෙ නම් පැහිච්ච ආච්චියෙක් වගේ...

      මං ආසයි එයා කියන දේවල් අහන් ඉන්න ඇත්තටම...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...