කෙටිකතාව පිළිබඳ මගේ හැඟුම්
මෙබඳු ය.
එය ඉතා සියුම් සාහිත්‍යමය ප්‍රකාශනයකි.
කවිය තරම්ම සියුම් භාව ප්‍රකාශනයකට වුව ද පිවිසීමේ හැකියාව ඇති සාහිත්‍යාංගයකි. නවකතාවෙන්
ජීවිතයේ සමස්තය හෝ විසල් පදාසයක් පුළුල්ව නිරූපණය වන විට කෙටිකතාව ජීවිතයෙන් අංශුවක්,
පැතිකඩක් සියුම්ව ග්‍රහණය කොට ගනියි. ඒ
හරහා ක්ෂණික, ප්‍රබල ආලෝක ධාරාවක් ජීවිතයට එල්ල කරයි.
විටෙක එය කම්පනයකි.
තිගැස්මකි. විටෙක සුසුමකි. හෘද රිදුමකි. තවත් විටෙක ආනන්දයකි. සංහිඳියාවකි. කෙසේ
නමුත් සාර්ථක නිර්මාණයක් නම් අවසන එය ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයකට යා හැකි ප්‍රඥාවේ
පහන් දල්වන්නකි.
කෙටිකතාව පිළිබඳ එබඳු වූ මගේ
හැඟුම් සමග සමපාත වන කතා එකතුවක් සුන්දර රස්තියාදුවක අතරමග මා අතපත් විය. ඒ අනුරසිරි හෙට්ටිගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන ''චේ කෝ සහ තවත් කතා'' ය. විප්ලවයේ සොඳුරු පෙර
ගමන්කරු ''චේ'' පිළිබඳව අංශුමාත්‍ර හෝ දැනීමක් ඇති කවරෙකු වුව ද ආකර්ෂණය කළ හැකි
නමක්, සහ පිටවැස්මක් කෘතිය සතු බව බැලු බැල්මට වුව පෙනේ.
ඔහු පළමු කෙටිකතා සංග්‍රහයෙන්ම
සම්මානනීය කෙටිකතාකරුවකු ලෙස නමක් දිනා ඇත්තෙකි. පළමු කෙටිකතා සංග්‍රහය වන ''සිංහබාහු
එනකං'' හදිසියෙන් කියවා එසැණින්ම අන්සන්තක වූ නිසා ඒ පිළිබඳ වැඩි දෙයක් ලිවීමට හෝ
සන්සන්දනාත්මකව ඔහු කෙටිකතාව තුළ ආ ගමන පිළිබඳව සාකච්ඡා කිරීමට තරම් මතකය නිරවුල් නැත.
නෙත කඳුළු නැංවූ ''මං ජානකගෙ
තාත්තා'' වඩාත් මසිත පැහැරගත් කතාව ය. සිත පැහැර ගත්තාට වඩා සිත පෑරුවා යැයි කීම වඩා
උචිත ය. එය එතරම් ම අනුවේදනීය ය. වඩාත් අනුවේදනීය වන්නේ උතුරු දකුණු භේදයකින්
තොරව මේ ඉරණමට මුහුණ දුන්, මේ මොහොත වන විටත් මුහුණ දෙන මිනිසුන් බොහෝ වන බැවිනි. අනාගතයේ
තව කොතෙක් නම් විය හැකි ද?
''අපි කොහේද යන්නෙ?''
නන්නාඳුනන වුන් ලෙසින් මහමග
යනෙන යුවළක් අතරින් ගැහැණිය පුරුෂයාගෙන් අසන ඒ පැණයෙන් කතාව ආරම්භ වේ. කතාව අවසන්
වන්නේත් එම වැකියෙනි. එකී කතාවද අතික්‍රමණය කරමින් කෘතිය ආරම්භයේ සිට අවසානය
දක්වාත්, ඉන් නොනැවතීත් සහෘදයා තුළ නින්නාද නගන පැණයක් බවට එය පත් වනු වැළැක්විය
නොහැකිය.
''අපි කොහේද යන්නෙ?''
නාඳුනනවුන් ලෙස එකම මග ගිය
ද, ඔවුන් ජීවිත කාලයක් එක් ව දිවි ගෙවූ අඹුසැමි යුවළක් බව පසක් වනු යේ කතාව අගදී
ය. ''අපි කොහේද යන්නෙ?'' නිශ්චිත පැණය අසන මොහොත වන විට අඹුසැමියන් ලෙසද, මව්පියන්
ලෙස ද ඔවුන් දිගු දුෂ්කර, කටුක ජීවිත ගමනක් එක් ව පැමිණ තිබිණි. එකී ගමනේ අවාසනාවන්තම,
කාලකණ්නිම මොහොත මෙකී පැනය අසන මොහොත බවට පත්ව තිබෙන්නේ අහම්බයකින් නොවේ. 80 වැඩ
වර්ජනයෙන් රැකියාව අහිමිව දරු තිදෙනෙක් සමග ජීවිතය දිනන්නට නොනවතින කටුක අරගලයක
ජීවිතය පුරා නිමග්නව සිටි වීරසිරි සහ නාලනීගේ එකම පුතා අහිමි වීම ඔවුන් මුහුණ දුන්
දිගුකාලීන ඛේදවාචකයේ උච්චතම අවස්ථාවයි.
පුතා යනු ඔවුන්ගේ ජීවිතයේ
උත්තම සිහිනයක් සැබෑවීමක් නොවීද?
'' අන්තිමේදි ඔයා මට පුතෙක් දුන්නා...''
''මම...? ඒක ඔයා මට දුන්න
තෑග්ගත්..''
''ඔව් මේ අපේ
බලාපොරොත්තුවක්..''
පිටුව 23
ඒ මල්ඵල දරන සිහිනය දෙස
ඔවුන් පැතුම් දල්වමින් බලා සිටියා නොවේද?
''දරුවා කොච්චර
වෙනස්වෙලාද?''
''ගාම්භීර පෙනුමක් දැන්
තියෙන්නෙ..''
''ලෙනින්ගේ වගේ ද?''
''ඊටත් වැඩි''
''මට බයයි ඒයි..''
පිටුව 26
ඒ සිහිනය දකින්නට ඔවුන්ට
අයිතියක් නැතිද? එම සිහින බලහත්කාරයෙන් උදුරා ගැනීම කෲරකමක් ම නොවේද?
'' මහත්තුරුනේ ජානක.. ඒ අපේ
පුතා..
.. පහුගිය ශිෂ්‍ය අරගලයෙදි අතුරුදහන් වෙච්ච ජානක මගේ පුතා.. ඒ මගේ එකම පුතා. මේ ඉන්නෙ එයාගෙ අම්මා. පුතා තමයි අපේ ජීවිතේ.....කෝ අපේ පුතා..
... සමාජයේ හැමෝටම තියෙන්නෙ එකම අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම් අසාධාරණ විදිහට යටපත් කරගෙන ඉන්න මිනිස්සුන්ට විරුද්ධව හඬ නගන එකත් මිනිස් අයිතිවාසිකමක් මහත්තයො. ආණ්ඩුවක් පත් කරගන්න එක වගේම ආණ්ඩුවකට විරුද්ධ වෙන එකත් මිනිස් අයිතියක්. ජානක මගේ පුතා.. එයා පාවිච්චි කලේ අන්න ඒ අයිතිය.. ඒක අපේ පුතා අපෙන් පැහැර ගන්න තරම් වැරුද්දක් නෙමෙයි........''
පිටුව 28
ජානකගේ තාත්තා නැතිනම් වීරසිරි දුම්රියපළ ඉදිරිපිට සිට මගතොට යනෙන මිනිසුන් අමතා කරන මේ කතාවටත් වඩා මගේ හිත පෑරවූයේ ඔවුන් දෙදෙනා අතර පණ ගැහෙන නිහඬතාවයයි. ජීවිතකාලයක් එක්ව විඳි දුක් කන්දක උච්චස්ථානයේ ඔවුන් පෙළන අවිනිශ්චිත අන්ධකාරයයි.
දශක දෙකක ජීවිත අත්දැකීම් අරපරිස්සමින් තෝරා බේරා ගනිමින්, කතාව ගොනු කරන්නට කතුවරයා සමත් වී ඇත. කෙටි වේදිකා නාට්‍යයක් නරඹන්නාක් වැනි හැඟීමක් සජීවී අත්දැකීමක්, කම්පනයක් සිදුවීම් පෙළගැස්ම තුළ නිරායාසයෙන්ම මතු වෙයි.
''ගැහැණු ළමයාගේ දවස'' අනාගත කාලයක තබා අරඹන කෙටි කතාවකි. අතිධාවනකාරී සංවර්ධන පෙළහරක කෙළවර උදාවෙන අනාගතය මේ යැයි කියන්නට මෙනි. එකී අනාගතය කතාව තුළ ප්‍රබලව මතු නොවෙයි. ඒ වෙනුවට අප්‍රමාණ ගැහැණු ළමයින් අවප්‍රමාණ පහසුකම් මැද අපරිමාණ දුක් කන්දරාවක් විඳිමින් ජීවිතය අහුලන වෙළඳ කලාපයේ එක් යුවතියක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි. එස්.ඒ. 99 ලෙසින් හැඳින්වෙන ඇය සහ මාර්ගෝපදේශක අතර හුවමාරුවන ලියුම් ගණුදෙනුවක හැඩයෙන් කතාව විකාසනය වේ. එකී ලියුම් ගණුදෙනුව විටෙක අපූර්වත්වයක් ඇති කළ ද විටෙක ඒකාකාරී බවක් ද දනවයි.
'' මට මගේ කන්‍යාභාවය මහ බරක්. ඒක පාදඩයන්ගේ කාලකණ්නි සතුටට උගස් කරන්න මං කැමති නෑ. මං ගැන නරක විදියට හිතන්න එපා. මං ඉල්ලන්නෙ මේ බරින් වැදගත් විදිහට.. ඒ කියන්නෙ මගෙ හිතේ ගෞරවයක් ඇති වෙන විදියට නිදහස් වෙන්න මට උපකාර වෙන්න කියල..''
කෙටිකතාව තුළ වඩාත් කම්පනයක් ඇති කරන අවස්ථාව මෙය බව කිව හැකිය. යුවතියක වෙතින් මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වන්නට තරම් බලපෑමක් සමාජය වෙතින් එල්ල වීම කොතරම් ඛේදනීය ද?
2018 අප්‍රේල් 05 වෙනිදා මහල් හතළිහකින් සමන්විත තරු අටේ හෝටලයේදී මැදිවියේ විදේශිකයකුට තුරුළුව සිටින එස්.ඒ. 99 නැවත කථකයාගේ ඇස ගැටෙන විට ඇය වෙතින් මුදා හැරුණු අපහාසාත්මක සිනාව සමස්ත සමාජය වෙතම එල්ල කරන විරෝධයක් වැනිය. අද වෙළඳ කලාපය තුළ ශ්‍රමය සූරාකෑමට, ලිංගික සූරාකෑමට ලක්වන යුවතිය හෙට අපට හමුවන්නේ කැසිනෝ පුරවරය තුළ විය නොහැකිද? ඇගේ කන්‍යාභාවයට ඩොලර්වලින් ලංසු තැබෙන දිනය වැඩි ඈතක නොවිය හැකිය.
‘‘13 ප්ලස්” වත්මන් දේශපාලන සංස්කෘතිය සමීප සිතුවමකට නතු කර ගත් කෙටිකතාවකි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ 13 ප්ලස් ගැන මළපොතේ අකුරක් නොදන්නා දේශපාලඥයා අතින් දැරියක දූෂණය වීම මෙන්ම එය ඔහු සිහිපත් කරන සැහැල්ලු විලාසය අද ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේ ම කැඩපතකි. ඉහළ පාලන තන්ත්‍රයේ ආශිර්වාදය ඇතිව බලයට පත් වීම යනු අපරාධ, දුෂණ, වංචා සිදු කරන්නට බලපත්‍රයක් ලැබීමක් බඳුය. එහි ආනිසංස කොතෙකුත් අසමින්, දකිමින් , විඳවමින් සිටින්නේ වුව එවැනි දූෂකයන් අතටම නැවත නැවතත් බලය පවරා දීමට තරම් ස්වාර්ථයෙන් මෙහෙයවන සමාජයක් පැවතීම කුමන පාපයක් ද?
යහපත් සමාජයක් පිළිබඳ සමාජවාදී සිහිනයක ජීවිත කාලයක් ගෙවා දැමූ මිනිසකු පවුල් සංස්ථාව තුළ යුතුකම් වගකීම් පැහැර හැරි අසමත් මිනිසකු ලෙස අසරණ වන විට, දේශප්‍රේමී සමාජයක දේශද්‍රෝහියකු ලෙස කොන් වන විට තමාගේ ම හෘද සාක්ෂිය ඝාතනය කර දැමීමේ සංවේගයෙන් සිදු කරන පාපොච්චාරණය ‘‘අපරාධකරුවකුගේ පාපොච්චාරණය” කෙටිකතාවේ තේමාව යි. එය පවතින කටුක යථාර්ථයෙන් කිසිවිට බැහැර නොවූව ද දීර්ඝ තරමක් වෙහෙසකර පාපොච්චාරණයකි.
ධනවාදයේ කෲර සපත්තුවට පෑගි තැලී පොඩිවී සිටි පීඩිත පන්තියට විප්ලවය මගින් විමුක්තිය උදා කර ගැනීමේ මාවත පෙන්වා දුන් විමුක්ති අරගලයේ ජීවමාන සංකේතයක් බඳු චේ ගුවේරා අද එකී ධනවාදයේම ගොදුරක්ව, වෙළඳ භාණ්ඩයක්ව පවතින ආකාරය ''චේ කෝ'' කෙටිකතාවෙන් මතු කරනුයේ සමාජවාදයේ වත්මන් ඛේදනීය ඉරණම පිළිබඳ හෘද කම්පාවක් ඇති කරමිනි.
''පුංචි සුරංගනාව'' මතුපිටින් ගලා යන ශෝකාන්තයට අමතරව ගැඹුරු අධ්‍යාත්මික කියවීමකට යා හැකි කතාවක් බව මගේ අදහසයි. මෙහි එන පුංචි සුරංගනාව එක් අතකින් තණ්හාව, ආශාව ලෞකිකත්වය නිරූපණය කරන බවක් දැනෙන, හැගෙන අතරම අනෙක් අතකින් ඇස්බැන්දුම් සෞන්දර්යයෙන් අප මුලා කරන ධනවාදයේම සංකේතයක් යැයි ද සිතිය හැකිය. වර්තමාන සමාජ පරිහානිය හා බැඳුණු මානව ඛේදවාචක ගැන සිතන විට, අපත් රිදී යතුරක් ගෙන සුරංගනාවියක් පැමිණෙන තුරු බලා සිටින සුමනේ වැනිම වූ අපස්මාර රෝගී සමාජයක කොටස්කරුවන් බව බැහැර කළ නොහැකි යථාර්ථයක්ව මතුවන්නේ නොවේද?
ජීවත් වන්නට අවැසි මුදල්ම පමණක් යැයි සිතන සමාජයක සියලු හර පද්ධතීන් උඩුයටිකුරුවීම ‘‘සිංහ විලා” කෙටිකතාව තුළ මූලික තේමාව වී ඇතැයි සිතේ. ධනවාදී අර්ථක්‍රමය තුළ ‘‘සිංහ විලා” සුනඛ විලා බවට පත් වීම නම් අරුමයක් නොවේ. මේ අර්ථ ක්‍රමය තුළ නොවිකිණෙන යමක් වේ දැයි ගැටලුවකි. සුනඛ සම්භෝගය පවා මුදල් මවන යන්ත්‍රයකි.
සමස්තයක් ලෙස ගත් කළ ''චේ කෝ සහ තවත් කතා'' වත්මන් සමාජය කැඩපතකින් මෙන් දකින්නට ඇරයුම් කරන කතා එකතුවකි. සියලුම කතා ශෝකාන්තයන් ය. ඛේදවාචක ය. තව දුරටත් ජීවිතය පිළිබඳ සුබවාදී අපේක්ෂා දල්වා ගත නොහැකිද යන පැනය මා සිත මතු වේ.එක් පසකින් ධනවාදයට කත් අදින ජරාජීර්ණ දේශපාලන රටාව විවේචනයට හසු වන අතරම, ඒ හමුවේ යටපත් කරන, යටපත්වන සමාජවාදී, මානවවාදී දේශපාලන මැදිහත්වීම ප්‍රශ්න කරන්නට පෙළඹවීමක් ඇති කරයි.
නිර්මාණකරුවා විසදුම් ඉදිරිපත් නොකරයි. පවතින යථාර්ථය සංවේදීව ප්‍රතිනිර්මාණ කරයි. ඔහුගේ අරමුණ එම යථාර්ථය අප හෘද සාක්ෂියට අභිමුඛ කොට ඉන් එහා යහපත් සමාජයක් වෙනුවෙන් මැදිහත්වීම අප සතු වගකීමක් බව අවධාරණය කිරීම යැයි මම සිතමි.
''කෙටිකතාවෙදි මා අත්දකින බලවත්ම ආකර්ෂණය වන්නේ ඒවායේ ඇති ආකෘතීන් ය.'' කෙටිකතාව පිළිබඳ සිය සිතුම් පැතුම් විවරණය කරන පෙරවදනෙහි ලා කතාකරු පවසයි. එය කතාවේ සමස්තය තුළ විනා හුදකලාව පවතින්නක් නොවන බව ද ඔහු පවසයි. එසේ පවසන ඔහු සමස්තය සමග ගලා යන ආකෘතිය සම්බන්ධව අත්හදා බැලීම් ද සිදු කරයි. සෑම කෙටිකතාවක් ම අන්තර්ගතය හා පෑහෙන වෙනස් ආකෘතික අත්හදා බැලීම් වලට ලක් වී ඇති බව පෙනේ. එය බොහෝ විට සාර්ථකය.
‘‘අපරාධකරුවෙකුගේ පාපොච්චාරණය” දීර්ඝ පාපොච්චාරණයක්/ ආත්මකථනයක් ලෙසින්ම ඉදිරිපත් වී තිබීම තරමක ඒකාකාරී බවක් දනවයි. අනෙක් කෙටිකතා තුළ කලාත්මකව ප්‍රතිනිර්මාණය වන සියලුම පුද්ගල ඛේදවාචක මේ කෙටිකතාව තුළ එකට ගොනු වී ඇතැයි සිතේ.
''...ධාරණාව ආකෘතිගත වී ඇති ආකාරයේ ස්වභාවය විසින් පාඨකයාගේ මනසෙහි ඇති කරනු ලබන ප්‍රඥාවෙන් සපිරි ආනන්දයේ ප්‍රමාණය, නිර්මාණයේ සාර්ථක අසාර්ථක බව තීරණය කරනු ලබනු ඇත. '' - පෙරවදන
සැබවින්ම ආනන්දනීය විය හැක්කේ කතුවරයාගේ කාර්ය සාඵල්‍යය කෙරෙහි ය. ඉන් පිළිබිඹු වන මානව ඛේදවාචක ගැන නම් නොවේ. සෑම කතාවක් ම සමාජ පරිණාමයේ, පරිහානියේ බලපෑම පුද්ගල ඛේදවාචක බවට පත් වෙන ආකාරය පිළිබඳ කම්පනීය තිගැස්මක් ඇති කරයි. එමගින් පුබුදුවන ප්‍රඥාව හෘද සාක්ෂියට බරපතල ලෙස ආමන්ත්‍රණය කරනු නොවැළැක්විය හැකි ය.
එම පුද්ගල ඛේදවාචක පිටුපසින් දැවැන්තව නැගී සිටින සමාජ ක්‍රමය මෙහෙයවන බළල් අත, ගෝලීය ධනවාදයට පෙම් බඳින ජරාජීර්ණ දේශපාලනය ම නොවේද?
මේ පිළිබඳ කුමන ආකාරයේ හෝ මැදිහත්වීමකින් තොරව සිහිනමය නිද්‍රාවක වෙළී සිටිය හැකි ද අප හට?
එසේ සිටීම කොතරම් සාධාරණ ද? එය පාපයක් නොවන්නේද?
''අපි මේ කොහේද යන්නෙ?''
තවත් කෙටිකතා කරුවකු නොවී වෙනස් කෙටිකතා කරුවෙකු වන්නට යත්න දරන අනුරසිරි හෙට්ටිගේ මෙබඳු හද කළඹවන බරපතල ප්‍රශ්න අප හමුවේ තබන බව මට හැගෙයි.
මාත් වැඩියෙන් ආස කරන්නේ කෙටි කතාවට තමයි.. ඒ ප්‍රකාශනයේ අක්කා කියන්න වගේ අමුතුම වෙනසක් තියෙන්නේ..
ReplyDeleteපොත ගැන ඉතින් කියන්න තියෙන්නේ කියවලා නෑ කියලා තමයි ඉතින් අක්කෝ..
මම නම් කෙටි කතා වලට වැඩි කැමැත්තක් නෑ..
ReplyDeleteමම කෙටි කතා දෙකයි කියවලා තියෙන්නේ... එකක් ගුණදාස අමරසේකර මහත්මයාගේ රතු රෝස මල කෙටි කතා පොත... අනෙක අපේ මල්ලිගේ මාමණ්ඩි ලියපු සිත්තරාගේ බිරිඳ කියන පොත විතරයි.. !
මන් කෙටිකතා වලට කැමති උනාට මේ පොතට නම් එච්චර කැමැත්තක් ඇති උනේ නැහැ
ReplyDeleteමන් හිතන්නේ මට කතා තේරුනේ නැති නිසා වෙන්න ඕනේ
ආයි පාරක් කියවන්න ඕනේ
ගොඩක් දවසකින් කෙටි කතා පොතක් කියෙන්වෙ නෑ. දැන් කවියටත් වඩා කෙටිකතාව මතකයෙන් බැහැර වෙලා.අඩුම තරමින් කෙටිකතාවක ස්වරූපය පවා හිතේ රඳවගන්න අමාරුයි.
ReplyDeleteප්‍රකාශක? මිළ? මිළට ගත හැකි තැන්?
ReplyDeleteසදීපා ප්‍රකාශකයෝ. මිල රු. 250/=
Deleteමම ගත්තෙ නුගේගොඩ සරසවි පොත්හලෙන්.. මං හිතන්නෙ අනිත් ප්‍රධාන පොත්සාප්පුවලත් තියෙනවා...