රාගම දුම්රියපළ පසුකොට
අගනුවර දෙසට ඇදෙන දුම්රියේ දකුණුපස කවුළුවෙන් මේ දිනවල නිරන්තරයෙන් දිස්වන දසුනකි.
වගුරු බිමට මායිම්ව හිස් බිම්කඩ මත කාලවර්ණ
ඉටිකොළයෙන් ආවරණය කළ කුඩා පැල්පත් කිහිපයකි. නිරුවත් දරුවන් ඔක්කේ ගසාගත් අඳුරු
පැහැ වෛවාරණ ඇඳුමින් සැරසුණු ගැහැණුන් ය. තැන තැන උක්කුටිකයෙන් වාඩි වී විට හපන, කට
කියවන මිනිසුන් ය. තැන තැන දුව ඇවිදින ළමා ළපටින් ය.
ස්වර්ණවන්නියේ
වල්ලිඅම්මලාගේ ඥාති සනුහරයේ අය විය යුතුය.
දන්නා හඳුනන අයකු දුටු සේ මසිත ළෙංගතුකමකින් පිරී යයි.
'කොතරම් නිදහස් නිවහල් ජීවිතද'
මම සිතමි...
නිදහස් නිවහල් මිනිසුන් යනු
මේ මහපොළව මත තවදුරටත් යථාර්ථයක් විය හැකිද?????? ක්ෂණිකව මසිත මට ම සරදම් කරයි.
සයිමන් ට 'සංසාරාරණ්‍යයේ
දඩයක්කාරයා' මුණගැසෙන්නට බොහෝ කලකට පෙර 'ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා' මුණ ගැසෙන්නට
ඇතුවාට සැක නැත. නමුත් ස්වර්ණවන්නියේ වල්ලි අම්මලාගේ කතන්දරය නොපළ කෘතියක් ව කඩදාසි
ගොනු අතර හුදකලා කර තබන්නට ඔහු තීන්දු කර ගත්තේ මන්දැයි ගැටලුවකි.
''ස්වර්ණ
වන්නියේ වල්ලි අම්මලා'' කියවමින්, බැදෙමින්, විස්මපත් වෙමින්, ආනන්දයෙන්,
අවබෝධයෙන් පහන් වන සිත් දකිමින් සමහර විට ඔහු ඉන්නා තැනක සිට මන්දස්මිතයක් නගනු
නිසැක ය. සමහරවිට ඒ ගැන වගේ වගක් නැතුවා වන්නට ද හැකිය.
''ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා''
කර්තෘ - සයිමන් නවගත්තේගම
..............................
'' මුත්තම්මා...
ඒක නෙවෙන්නං මයෙ නම.. අම්ම අප්ප තියාපු නමක් ගමක් ගැන නිච්චියක්
නෑ නොවැ..
අපේ රැහේ උරුම කරුම හන්දා සිද්දවෙන කරුණු කාරණා ගැන සහසුද්දෙන් බෝම ලකේට
කතාන්දරයක් ලියාලා තියෙනවා නොවැ සයිමන්
උත්තමයා.. උන්නැහේ ඒක පොරසිද්ද කොරල නැතුවලු කළින්... දඩයක්කාරයින්ගෙ කතා තරමට
හිත් ගත්තෙ නැතුවා වද්ද? එහෙම හිතාලන්නත් අමාරුයි නොවැ. මේ තරම්ම ආදර කරුණාවකින්
අපේ රැහැ ගැන ලියාල තියෙන අපූරුව දැක්කම...
රැහේ බලපුළුවන්කාරි මං කියලයි හැමෝම කියන්නෙ.. මහී
කාන්තාවට තරමටම රැහේ උන්ගෙ ගවුරවේ මට ලැබෙනවා. ගෑණු පරානයකට නායකකොම දීගෙන,
ඇහුම්කන්දීගෙන වැඩ කොරන මෙහෙව් මනුස්ස කොට්ටාසයක් මිහිපිට ඉන්නවද තව... ගනිච්චියක්
නෑ මට නං ඕන්න... විසේසෙන් ඔය කුලවන්ත ඇත්තො අතරෙ..
ගෑණු පරානෙකට මොන තරං ගවුරවයක් අපේ රැහේ ඇත්තො අතර තියෙනවද කියල මේ පුස්තකේ බලාපු කෙනෙකුට තේරුම් යාවි...
ගෑණු පරානෙකට මොන තරං ගවුරවයක් අපේ රැහේ ඇත්තො අතර තියෙනවද කියල මේ පුස්තකේ බලාපු කෙනෙකුට තේරුම් යාවි...
''
හදුන් කිරිපැණියෙන් හත්දවසක් පුරා දිය නාලා පේවස් වුණත් මාස් සුද්දියෙන් සුද්ද වෙන
ගෑණු පරානකාරියක් තරමට පිරිමියෙකුට නම් මේ සම්මජ්ජාතියෙ සුද්දවන්ත වෙන්නට බැරුවා
ය. ''
කුවේණි අම්මයෙ පිහිටෙන්, රත්නවල්ලි අම්මයෙ කරුණාවෙන්
අපිත් ඉතින් දිවි ගැටගහගන්නව නොවැ. මට ඉතින් මේ ඔක්කොම මයේ කුසේ උපන් දරුවො ගානයි.
පරම්පරා ගාණකට අම්ම වෙලා අන්තිමේ මුත්තම්මා වෙලා කුවේණි අම්මගෙ පිහිටාරස්සාව
ඉල්ලගෙන, රත්නවල්ලි දේවතාවුන්ගෙ ඇස් මායිමේ රැහේ උන් රැක බලාගෙන ඉන්න එක නෙවැ නහින
දෙහින කාලෙ එකම තන්තෝසෙ...
මට යාංතමට වගේ මතකයි, ඔය සයිමන් උත්තමයා ලියාල ඇති
වගවිත්ති.. එක වංගියක් දිවි දෝසෙ කැටල රැහේ උපන් ගෙයිම බිළින්දො මියෑදෙන්න ගත්තා. වල්ලි අම්මත් අපේ කුප්පායම අතෑරල වෙන අහකට වැඩම
කොල්ල තිබුණා. අන්තිමට වැදූ ගෙයි මියෑදුණේ බංටිගෙ කුළුදුල් දරු පැටියා.. ඒකා කැලේ
ගහල ආවයින් මනත මං තීන්දු කොලා ඒ කුප්පායම අතෑරල යන්ට.. අපේ උන් ඉතින් එක පයින්.
''....
මෙහෙම පාරට තොටට බහින්නට සිද්ද වෙන එක තරම් සන්තෝසදායක දෙයක් ගාඩි රැහේ ඇත්තන්ට මේ
ලෝකේ තවත් නම් නොවීය. තවලම ඔවුන්ගේ සහජ පැවැත්ම විය. මහී කාන්තාවගේ ඇඟපත උකුල හරහා
කූඹි රැළක් මෙන් පේළියක් සැදී සංචාරය කිරීම කූඹි රැළකගේ අසිරිමත් සොබාවය වගේ ම
ගාඩි රැහේ ද අසිරිය වීය.....
....මහ
පොළවෙහි යම් තැනෙක පැල්පත් හදා තාවකාලිකව වුව ද කුප්පායමක් වශයෙන් පදිංචි වූ විගස
අතීත වර්තමාන අනාගත සියලු පව් කන්දරා ඒකරාශිව බරක් වන්නේය. මහී කාන්තාවට බරක් නොවී
ඇගේ දිග පළල කය හරහා ගමන් කරනා විට ගාඩි කුප්පායමේ හැමදෙනා ඔවුන්ගේ සියලු දැඟලිලි,
පෙරළිලි අතර වුව ද බරක් නොවනා සැහැල්ලු උකුලක් මත දඟලන දුවා දරුවන් පරිදි
සැහැල්ලුවට පත් වෙන්නෝ ය. "
ඔය යන ගමනෙදි නොවැ මාකඩුවාව ඇත්තො මුලිච්චි උනේ. උන්දෑ
පරදේසක්කාර උත්තමයෙක්ට විනේ කැටල සුදු උත්තමයන්ට කොරෝද විරෝද පාලා ආණ්ඩුමට්ටු වෙලා
යන ගමනෙදි තුන්පත් රැලකට අහුවෙලා හොදටෝම අරෝබලත් වෙලයි උන්නෙ.. උන්නැහැගෙ
කුලමාන්නෙට හිත් අමාරු නොගෙන අපි උන්දැගෙ පරාණෙත් ගළෝල ඇත් පැට්ටෙකුගෙත් දිවි ගලෝල
දිවි දෝසෙන් මිදුණ නෙවැ.. රැහේ එකාලට රොස්පරොස් දොඩාපු මාකඩුවාව ඇත්තන්ට මං කියාපු
දැනමුතුකම් හෙම සයිමන් උත්තමයා ඔය යස අගේට ලියාල තියෙන්නෙ.
''.....
පොළෝ මහී කාන්තා මෑණියන්ගේ අනික් ඔක්කෝම වගේ සැප සම්පත්, උන්නාන්සේගේ කුසෙන්
බිහිවෙන දේවල්, අමුර්තෙ වගේ ගලාගෙන එන රත් ඕජස්, මුතු මැණික් වටින සම්පත්, ඔය
ඇත්තොලා පොර කකා උදුරගෙන බෙදාහදා ගන්නවා. පොළෝ මෑණියන්ට රිදව රිදව, පාරව පාරව, පොළෝ
කොටල බලාත්කාරෙන්... උන්දැගෙ තනවලින් ඉබේ ගලන කිරි බොන්නේ නැතුව මුළු තනේම කපල කනව
වගේ තණ්හාවට ඔක්කෝම බදා ගෙන හපා කනවා. හංගාගන්නවා අටුකොටුවල....
........
ඩිංග ඩිංග ඉහගෙන කනබොන එව්වා අමෘතෙ වාගෙ කොරාගෙන මොන මහිත්තුවකට ද ඕව වැට බැදගෙන
බෙදාහදාගෙන අයිති කොරගෙන ඉන්නෙ. අයිති කොරගෙන ඉන්න හින්ද නේද පරදේසෙන් නැව් නැගල
එන මිනිස්සුන්ට හිට ඔව්ව ගැන කෑදරකමක් ඇති වෙන්නේ? ඉතින් දෙගොල්ලකට බෙදිල හැදිල
යුද්ද, කොරෝද කර ගන්නවා... "
ඔය අල්ලපනල්ලෙම තමයි ඇතින්නට යට වෙලා බංටි කෙල්ල
මියෑදුණෙ... ඈ දිවි දුන්නෙ රැහැ වෙනුවෙන්. පස්සෙන් පහු මාකඩුවාව ඇත්තොත් උහුලාගෙන ඇවිත්...
ඇවිත්... අපි ආයෙම වාඩිලෑවෙ රත්නවල්ලි දේවතාවුන් වහන්සෙ වැඩම කොල්ල උන්න, අද ඔය
ඉනාමලුව කියල පොරසිද්ද වෙලා තියෙන ඉසව්වෙ.. එතනින් එහාට සිද්ද කෙරිච්ච එව්ව පොතේ
ලියවිලා නැතුව ඔන්න.. තම තමන්ගෙ නැණනුවණින් හිතාගන්ට හැකි නෙවැ..
සුරංගනා කතාවක් වගේය කියාල හිතාලා මේ කතන්දරේ හෑල්ලුවෙන්
තකන්නෙ මකන්නෙ නැතුව, සොබාවදරුමයා එක්ක පෑහුණ අපේ රැහේ වගවිත්ති තේරුම් බේරුම් කොර
ගන්නය කියලයි මං ඔය ඇත්තන්ගෙන් ඉල්ලන්නෙ... අපේ විස්වාස, රැහේ රීති ඔය ඇත්තන්ට අමුතු
දේවල් වෙන්ට ඇති. ඒත් සිහි බුද්ධියෙන් හිතල මතල බැලුවොත් කාරිය තේරුම් පැහැදුම්
යාවි ඒවයෙත් ගතයුත්තක් තියෙන විත්තිය...
වල්ලිඅම්මගෙ නාමෙන් පුරන තන්තරයක් ගැනත් සයිමන් උත්තමය ලියාල ඇති... මේ විදියට...
වල්ලිඅම්මගෙ නාමෙන් පුරන තන්තරයක් ගැනත් සයිමන් උත්තමය ලියාල ඇති... මේ විදියට...
''
මේක අපේ රැහේ පරම්පරාවෙන් පරම්පරාවට සිද්ධ වෙන්නාවූ බරපතළ කාරණාවක්... එක
පෙකණිවැලකින් රැහේ ඔක්කෝම නෑදෑයෝ බැඳිලා දැවටිලා ඉන්නකොට අම්මා, තාත්තා, පුතා දූ
නංගි, මල්ලි අක්ක විදියට එක ම ලේ, එක ම චක්කරේට කැරකෙනවා. කන්න දහ පහළවක් විස්සක්
තිහක් යනකොට ඒ චක්කරේ එකට බැදිච්චි එක ම නැඹ වැලේ ලේ අමියා වෙනවා. ආගන්තුක
බලසම්පන්න පෙකණිවැලක් මේ චක්කරේට වසී කොරගෙන එක්කහු කොරල බැදගන්ඩ ඕන... ''
වගවිස්තර කියවලාම බලන්ට... පුරාණෙ ඉදන් එන චාරිත්තර
වාරිත්තරවල ඇත්ත යුත්ත තේරුම් පැහැදුම් යාවි. ඕව ඔක්කොම සොබාවදරුමයා එක්ක ගැටගැහිල
තියෙන කාරණා වෙච්චි.. අලුත් පන්නෙ ඇත්තන්ට
හරියාවිද මන්ද?
ඔය අතරෙ ඇති ගම්ගෙවල් ඔල ඇත්තො, රට පාලනේ කොරන ඇත්තො
ගැනත් යම් යම් කතන්දර.. ඔක්කෝම එකට එක්කාසු කොරල, අපෙත් නැණනුවණ පාදන අගේ ඇති
කතන්දරයක් වියලා නොවැ...
ඔය ඇත්තන්ගෙ බාසාවයි, අපේ බාසාවයි සාරසුබාවට කවලම්
කොරාලා ලකේට මේ කතාන්දරේ ගොතල තියෙනවා. අපේ රැහැ ගැන මහා ආදර කරුණාවකින් බැලුම්
නොලා මෙහෙව් කතාවක් ලියනව බොරු...
පස්සෙන් පහු සයිමන් උත්තමයා ලියාපු පුස්තක
බොහෝම බරසාරයි කියාල මං අහල තියෙනවා... මේ කතාන්දරේ නම් කාට කාටත් හිසේ ඇම්මක්
නැතුව කියවා ගන්ට ඇහැක් වේවි...
ඔය හිංගල පොතපත කියෝනව කියන ඈයො සයිමන් උත්තමයගෙ පොතපත
මගාරින්න නාකයි. හරි අරුම පුදුම ලිවිල්ලක් නෙවැ උන්නැහැට තියෙන්නෙ.. එහෙව්
ලියන්නෙක් මේ සම්මජ්ජාතියෙ පහළ වේද හිතන්න අමාරුයි... දේශදේශාන්තර බාසාවලට දැම්මොත්
කාරිය හෙම නම ගිය පුස්තක එක්ක එක පෙළට හිටීවි .. හා නැද්ද මං අහන්නෙ... ''
බලමු තරූ කියවල ම....
ReplyDeleteසුරස ප්‍රකාශන... මිල රු. 400/-
Deleteසයිමන් නවගත්තේගමගෙ සියලුම පොත් අළුතින් මුද්‍රණය වෙලා තියෙනවා සුරස ප්‍රකාශන විදියට...
මං අත උස්සං ඉන්නේ ! (ප්‍රශ්නයක් අහන්ඩ තියෙනවා.)
ReplyDeleteනවගත්තේගම මහත්තයා නැති වෙලා අවුරුදු ගණනාවක් ගිහිනුත් පොත් පල උනා නේ ද ? ඒවා ලියලා තියෙන්නේ නවගත්තේගම මහත්මයාම නෙමේ කියලා අදහසක් තියෙනවා නේද ?
එහෙම කතාවක් නම් මට අහන්න ලැබිල නැහැ මල්ලි... දන්නා කියන කෙනෙක් ඇත්නම් අදහස් දක්වාවි...
Deleteමේ පොතත් නොපළ කෘතියක් කියල තමයි පළ කරල තියෙන්නෙ...
//වගුරු බිමට මායිම්ව හිස් බිම්කඩ මත කාලවර්ණ ඉටිකොළයෙන් ආවරණය කළ කුඩා පැල්පත් කිහිපයකි. නිරුවත් දරුවන් ඔක්කේ ගසාගත් අඳුරු පැහැ වෛවාරණ ඇඳුමින් සැරසුණු ගැහැණුන් ය.//
Deleteමේ කියන්නේ රාගම කිට්ටුව ඉන්න අහිකුණ්ඨක අය ගැන වෙන්ඩෝන.. :)
ඔය පොත නං කියවලා නෑ.. මම ටික කාලෙකට උඩදි සංසාරාරණ්‍යය අසබඩ කියෙව්වා... බරසාර පොතක් ඒකත්.
රාගම කිට්ටුව ඉන්න අය ගැන තමයි...
Deleteසංසාරාරණ්‍යය අසබඩ, සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, සාපේක්ෂණී, ක්ෂිර සාගරය කැළඹීණ... මේව තරමක් බරසාර පොත් තමයි.... ඕනෙම නම් කතන්දරයක් වගේ උඩින් කියවගෙන යන්නත් පුළුවනි....
මම තාම සයිමන්ගේ පොත් කියවලා නෑ. ඒත් එයාගේ දරුවෝ කීවා ආපහු පොත් ඔක්කොම අලුතෙන් ගැහුවා කියලා. කීවේ ඊයේ. ඉතින් මම හිතන්නෙ නෑ වෙන අය ලියපුවා කියලා. ( මේක මෙතනට සම්බන්ද නෑ ඒත් මම පොත් කියවලා නෑ කීවාම මට ඒවා දෙන්නම් කියලා කීවේ ඊයේ)
Deleteස්තුතියි රංගි මේ කතාබහ ගැන කිව්වට...
Deleteදෙසැම්බර් ආවම ගොඩක් තියෙනවා ගන්න.
ReplyDeleteඔබයි,කකයි තමා පොත් හෝඩුවාවල් දෙන්නේ...
තෑන්ක්ස් තරු...
මගේ හිතට හරියන පොත් අනිත් අයටත් අල්ලල යාවිද දන්නෙ නැහැ අයියෙ... අනික ගොඩක් වෙලාවට මම ලියන්නෙ පොත ගැනත් නෙවිද මන්ද?
Deleteපොත කියවන් යන අතර මගේ හිතට දැනෙන දේ... ඒක කොයි තරම් දුරට පොතට සාධාරණයක් ඉටු කරනවද මන්ද?
පොත් කියවන්න තියෙන ආසාව වැඩි වෙනවා මේවා දැකලා.අපිට කොහෙන්ද පුසෝ මාළු.
ReplyDeleteකියවන්න උවමනාව තියෙන කෙනෙකුට පොත් හොයා ගන්න මාර්ග නම් තියෙනවා නේද? පූසගෙ මාළුවලට කෑදරකම් නොපා මාළු අල්ලගන්න විදියක් ගැන කල්පනා කරන්න....
Deletehttps://www.facebook.com/groups/139639459424837/?ref=br_tf
ReplyDeleteස්තුතියි.... මූණුපොතේ මේ පිටුව මට කළින් හමුවෙලා තිබුණෙ නැහැ...
Deleteමේ පොත නම් කොහොම හරි ගෙන්නගෙන බලනවා...:)
ReplyDeleteහරිම ලස්සණ කතාවක්!!!
මට හිතෙන්නෙ ඔයත් මේ පොතට කැමති වේවි...
Deleteකියවලාම තමයි බලන්න වෙන්නෙ
ReplyDeleteහ්ම්... හ්ම්...
Deleteපොත් නම් ජීවිතෙන් ඈත් වෙලා.. :(
ReplyDeleteඅපරාදෙනෙ... ඉදහිටවත් පොතක් කියවනවනම් වටිනවනේ...
Deleteමේවා හරි නරක වැඩ තරු අක්කා... ළඟ නැති පොත් ගැන ආලය වැඩවීම... දැන් ඉතින් කියවලා බලන්නම වෙනවානෙ..
ReplyDeleteළගපාතකට එන වෙලාවක කතා කරන්න.. මගේ පොත දෙන්නම් කියවන්න.... ඕකට ඉතින් ඔය හැටි නාහෙන් අඩන්න ඕනෙ නැහැනෙ..
Deleteඑයාල ඔය කියන හරියට ටිකක් එහායින් දැන් සතියක විතර ඉදන් ඉදන් ඉන්නවා, දැන් කලින් උන්න තැන්වල ඉන්න එයාලට ඉඩක් නැ
ReplyDeleteමේ අයට සාමාන්‍ය ජන ජීවිතයකට ඇතුල් වෙන්න වේවි.. කාලයක් යද්දි මේ ජන කොටස් නැති වේවි... ලියැවුණු පොත් විතරක් ඉතිරි වේවි...
Deleteඅනේ මන්දා, මේවා දැක්කම හොයාගෙන කියවන්නමයි හිතෙන්නේ.. ඒත් ඉතින් මෙහේ ඉදන් පොතක් හොයනවා කියන්නේ කීයටවත් කෙරෙන්නේ නැති වැඩක් කියලා මතක් වෙද්දී ඉතින්.. කමක් නෑ.. මොනා කියලා කරන්නද?
ReplyDeleteහැමදාමත් පොත් ගැන ලීවම ඔයාගෙ හිත හරි නැහැ... මොකද කරන්නේ....
Deleteනංගිට කියන්නකො පොත් ටිකක් අරගෙන ඔය පැත්තෙ එන කෙනෙක් අතේ එවන්න කියල...
තරූටනම් ඉක්මනින් පොකත් කියවගන්න විවේකයක් කොහොම හරි හොයාගන්නවා. ඒ නිසා කියවන්න වෙලාව නැතිවුණත් ඉඩක් ැබෙන වෙලාවක කියවන්න අරං තියාගන්න එක හොඳයි..
ReplyDeleteකතාව කොයි තරම් රස්වත්ව සයිමන් නවගත්තේගම ලියල ඇද්ද කියල හිතෙන්නේ තරුත් ඒ බසට ලොල් ව මේ පොත ගැන ඒ ගැමි බසින්ම ලියා තැබිමයි
කියවන හැම පොතක් ගැනම ලියවෙන්නෙත් නෑ අයියේ... පොතක් කියවමින් ඉන්න අතර උන්හිටි ගමන් හිතෙනවා මේ ගැන ලියන්න ඕන කියල.. එහෙම හිතෙන පොත් අතරිනුත් ලියවෙන්නෙ කලාතුරකින්....
Deleteමුත්තම්මගෙ භාෂාව ගැන පොඩි අත්හදාබැලීමක් කළේ... නරකම නෑ වගේ..