Monday, August 10, 2015

දෙහි ගෙඩියෙන් ලොව දිනු ගමක්.. උමජි මුරා

අවන්අහලේ ආලින්දය

ආර්ථික සංවර්ධනය ගැන කතා බහක් ඇහෙන හැම අවස්ථාවකම මගේ හිත ඇදෙන්නෙ ජපානයට.. 2011 වසරේ ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම කියන තේමාව යටතේ ජපානයේ පැවති පුහුණුවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ශිකෝකු දූපතේ ටකමට්සු නගරය ආසන්නයේ අයගාවා කියන සුන්දර ගොවි ගම්මානයේ පැවති OISCA පුහුණු මධ්‍යස්ථානයෙදියි මේ පුහුණුව පැවැත්වුණේ. පාඨමාලාවට නියමිත අධ්‍යයන චාරිකාවන් අතර ඔයිටා දිස්ත්‍රික්කයේ ‘‘එක් ගමක්- එක් නිෂ්පාදනයක්‘‘ (One Village One Product) ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල අධ්‍යයනය කරන්නට ලැබුණු අවස්ථාව හරිම සුවිශේෂීයි..

කෘෂි සංචාරක කර්මාන්තය,  කාබනික ගොවිපළවල්, ආහාර නිෂ්පාදන ආයතන, අවන්හල්, සාම්ප්‍රදායික කර්මාන්ත, බොන්සයි මධ්‍යස්ථාන, වයින් නිෂ්පාදනාගාර  මේ වගේ බොහොමයක් තැන්වලට යන්නත්, අධ්‍යයනය කරන්නත් අවස්ථාව ලැබුණා...

ජපානය කාර්මික අතින්, නවීන තාක්ෂණය අතින් ඉතාම දියුණු තලයක තියෙන රටක් වුණත් එහි කෘෂිකර්මාන්තයට ලැබෙන්නෙ අද්විතීය ස්ථානයක්. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මහත් කැමැත්තක් දක්වන ඒ නිසාම රස ගුණ පිරි පෝෂ්‍යදායී ආහාර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන රටක් බව පැහැදිලිවම දකින්නට ලැබෙනවා. ‘ආහාර කියන්නෙ ජීවිතය‘ අපට අධ්‍යයනය කරන්නට ලැබුණු සෑම ආහාර නිෂ්පාදන ආයතනයක්ම, ගොවිපළක්ම, අවන්හලක්ම මේ ආදර්ශ පාඨය අනුගමනය කරමින් ආදර්ශමත් සේවාවක නිරත වනවා.

මුදලට වඩා මුල් තැන දෙන්නෙ ජීවිතයට.. පරිසරයට...  

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මහා පරිමාණ වැඩ ගැන හිතන අපිට, ලංකාවේ තරම් ස්වාභාවික සම්පත් පවා නැති, දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ නැත්තටම නැති වෙලා ආයෙම මුල ඉඳන් ගමනක් ආරම්භ කළ අද ලෝකයේ දියුණුම රටවල් අතර ඉන්න ජපානයෙන් ඉගෙනගන්න බොහෝ පාඩම් තියෙනවා. විශේෂයෙන්ම අපේ ගම්පළාත්වල ඇති සම්පත් උදව් කරගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි කර්මාන්ත සහ සාම්ප්‍රදායික කර්මාන්ත දියුණු කරන විදිය ගැන, මේ කර්මාන්ත දෙස් විදෙස් සංචාරක කර්මාන්තය සමඟ බද්ධ කරන ආකාරය ගැන ජපානය අපට අපූරු අත්දැකීම් කියා දේවි.   

සකුරා දේශයේ සුන්දර අධ්‍යයන චාරිකාව තුළ ලැබූ එක් අත්දැකීමක් මෙලෙස ඔබ හා බෙදාගන්න කැමතියි.

ෆයින් තුරු යායෙන් වටවුණු යෂුදා ගඟ අද්දර උමජි මුරා ගම්මානය.......



උමජි කියන්නෙ ශිකොකු දූපතේ, අකි පළාතේ, කොචි දිස්ත්‍රික්කයේ පිහිටි හරිත වනගහණයකින් වට වුණු ඉතාම ලස්සන ගම්මානයක්. සුපැහැදිලි නිල් දියවර සමඟ ගලා යන යෂූදා ගඟ ගම්මානයට එක්කරන්නෙ ශෝබමාන සුන්දරත්වයක්. දහසක පමණ ජනගහණයක් සිටින මේ ගම්මානය ඉතාම දුෂ්කර තැනක ඉඳල මහත් කැපකිරීමකින් අද සිටින තත්වයට ඇවිත් තියෙනවා.. අතීතයේ වාහනයකින් යා හැකි මාර්ගයක්වත් නොතිබුණු බවයි දැනගන්නට ලැබුණේ. ගමෙන් 75% ක්ම තියෙන්නෙ කැලෑව. ඒ ෆයින් කැලෑවත් දෙවන ලෝක යුද්දයෙන් පසුව ජනතාව විසින්ම වගා කළ ඒවා.  

මේ ගමේ ප්‍රධාන ආදායම් මාර්ග තුනක් මට දකින්නට ලැබුණා. 

එකක් යුෂු වගාව. යුෂු කියන්නෙ දෙහි කුලයට අයිති  ශාකයක්. දෙහි ගෙඩිය ගමෙන් පිටට යන්නෙ දෙහි විදියට නෙවෙයි. නිමි නිෂ්පාදන විදියට. දෙහි යුෂ, විවිධ පාන වර්ග, ජෑම්, ආලේපන වර්ග සහ වෙනත් විවිධ නිෂ්පාදන විදියට. දෙහි ගෙඩියේ පොත්ත, ඇටය පවා මේ නිෂ්පාදනවලට යොදා ගන්නවා. ඒව හදන්නෙත් ගමේම කර්මාන්ත ශාලාවක. අති නවීන තාක්ෂණ ක්‍රමවේදයන් සමඟ ඉතාම සෞඛ්‍යාරක්ෂිත විදියට. මේ කටයුතුවලට දායක වෙන්නෙත් ගමේ අයමයි.

යුෂු නිෂ්පාදන සඳහා වන දැන්වීම්, පෝස්ටර් සඳහා පෙනී සිටින්නෙත් ගමේ අයමයි. නළු නිලියො නෙවෙයි. ගමේ ගොවියන් වගේම ආච්චිල, සීයලා, පුංචි දරුවො එකතු වෙලා හැදුණු මේ දැන්වීම් හරිම නිර්මාණශීලීයි.  


අවශ්‍ය කරන මූලික පහසුකම් සඳහා ප්‍රාග්ධනය සැපයීම සිදුවෙලා තියෙන්නෙ මධ්‍යම රජයෙන් සහ පළාත් පාලන ආයතන මඟින්. නමුත් දැන් එය ශක්තිමත් ව්‍යාපාරයක් ගම විසින්ම පවත්වාගෙන යන.. අපි අධ්‍යයනය කළ හැමතැනකදිම විශේෂයෙන් දුටු දෙයක් ජපන් කෘෂිකර්ම සහයෝගිතා පදනම (JA) ඉතාමත් ශක්තිමත් නිදහස් සංවිධානයක් ලෙස කෘෂිකර්මය නගා සිටුවීමට දෙන දායකත්වය. උමජිමුරා ගම්මානයෙත් එලෙසමයි. අතරමැදියන් නොමැතිව තම කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ හැකියාව ගොවීන් වෙත ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් 10% -15% අතර මුදලක් ගොවියන් විසින් කෘෂිකර්ම සංවිධානයට ලබා දෙනවා. ආපසු එම මුදල යෙදවෙන්නෙත් කෘෂිකර්මයේ සංවර්ධනයටම වීම සුවිශේෂයි. මෙය ඉතාම සාර්ථක, ඵලදායී ක්‍රමවේදයක්. ලංකාවෙ ගොවි සමිති, සංවිධාන මේ මට්ටමට දියුණු කළ හැකි නම්, දීපව්‍යාප්ත එකම සංවිධානයක් ලෙසට ඒකරාශී කළ හැකි නම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයට තීරණාත්මක බලපෑමක් කරන්න හැකි වේවි...






උමජිමුරා ගම්මානෙදි මට නිතරම මතක් වුණේ දෙහි වාරෙට අපතේ යන, කුණුකොල්ලෙට විකිණෙන අපේ දෙහි................ අඹ, කොස්,දෙල්,මඤ්ඤොක්කා, අල, බතල, තක්කලි....

මේ භවබෝග සම්පත් නිමි නිෂ්පාදන විදියට දෙස් විදෙස් වෙළඳපළ ඉලක්ක කරගෙන ගමෙන් පිටට යවන්න පුළුවන් දැනුම, තාක්ෂණය, කර්මාන්ත ශාලා ගමට දෙන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද? මං හිතන්නෙ මධ්‍යම සහ පළාත් රජයන් අවධානය දිය යුතු වෙන්නෙ මෙවැනි ආර්ථික සංවර්ධනයකට.. ආධාර දීම, ඇට පැළ බෙදා දීම ගමේ ආර්ථිකය තහවුරු කරන්න සමත් නැහැ. එහෙම පුලුවන්කමක් තිබුණා නම් පහුගිය රජය සමයේ දිවිනැගුම හරහා වියදම් කළ අසීමිත මුදල් කන්දරාවෙන් මේ රට සුරපුරයක් තරම් ස්වයංපෝෂිත වෙන්න ඕන.  

ජනසවිය, සමෘද්ධි, දිවිනැගුම......... දිළිඳුකම පිටුදැකීමේ මේ සියලුම සංවර්ධන වැඩසටහන් මේ දූපත ඇතුළෙ අසමත්. හුදු ආධාර දීමෙන්, ණය භාණ්ඩ හා උපකරණ බෙදාදීමෙන් එහාට ගිහින් ස්වශක්තියෙන් නැගී සිටින්න ධෛර්යය සපයන්න ඒ වැඩසටහන් සමත් නොවුණු නිසා දිළිඳුකමට ශක්තිමත් පිළිතුරක් දෙන්න කිසිම රජයකට හැකි වුණේ නැහැ.

අපේ රටේ ආර්ථිකය ගොඩනැගෙන්න ඕන අපේ සම්පත්, අපේ ශ්‍රමය, අපේ සැලසුම් හරහා අපේ දෙස් විදෙස් වෙළඳපළ අපම ජය ගැනීමෙන් කියලයි මට හිතෙන්නෙ.. විදෙස් ආයෝජන මත ම යැපීම තාවකාලික සාර්ථකත්වයක් ලබා දුන්නත් දීර්ඝකාලීනව එයින් රටට යහපතක් සිදුවේ යැයි හිතන්න අමාරුයි.

................

උමජිමුරා ගම්මානයේ අනෙක් ජීවනෝපාය තමයි ෆයින් දැව කර්මාන්තය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව වගා කළ මේ කැලෑව දැන් මහා විසල් ගස් බවට පත් වෙලා. ගස් කැපීම සිදුවෙන්නෙත් පරිසර පද්ධතියට හානි නොවන විදියට. නැවත වන වගාව සිදු කරමින්. ඉතාම කුඩා ලී පතුරකින් පවා ප්‍රයෝජනවත් අලුත් යමක් නිර්මාණය කරන්නටත් ඔවුන් දක්ෂයි. මේ පුංචි ගම්මානයේ කුඩා දැව ප්‍රදර්ශනාගාරය තුළ ඉතාම ලස්සන අපූරු දැව උපකරණ, භාණ්ඩ අලෙවිය සඳහාත් ප්‍රදර්ශනය සඳහාත් තිබෙනවා.





...............

දෙස් විදෙස් සංචාරක කර්මාන්තය සමග බද්ධවෙමින් ආර්ථිකය නඟා සිටුවන්නත් උමජිය විශේෂ අවධානයකින් කටයුතු කරනවා. යෂුදා නදියත් එක්ක සැදුණු අවන්හල් ඉන් විශේෂයි. එය සාම්ප්‍රදායික ජපාන සංස්කෘතිකාංගවලට විශේෂ තැනක් දීල තියෙනවා. ආහාර පාන, නවාතැන්, සංචාර මේ හැමදෙයකදිම ( මෙවැනි ම ගිම්හාන කාලයක ඒ ලැබූ සොඳුරු අත්දැකීම වෙන ම ලිපියක් ලෙස ලිවිය යුතුයි. මගේ පළමු සහ එකම උණුදිය ස්නාන අත්දැකීමත් එක්කම... )






පුංචි කෝච්චියෙන් පුංචි සවාරියක් යන්න ලබා දෙන අවස්ථාවත් අපූරුයි. කෝච්චි පාරක් හදල ගමේ සොබා සෞන්දර්යය නරඹමින් එයින් සවාරියක් යන්න ඉඩ ලබා දී තියෙනවා. ස්වාභාවික ජල බලයෙන් ක්‍රියාත්මක වන අපූරු වාහනයක නැගිල කඳු මුදුනට ගිහින්, කඳු මුදුනේ සිට අවට භූමි දර්ශනය නරඹල ආපසු එන්නත් අවස්ථාව තියෙනවා. යුෂු කර්මාන්ත ශාලාව, යුෂු පර්යේෂණාගාරය, අවන්හල සංචාරක අවධානය දිනාගන්නා තවත් විශේෂ ස්ථානයක්. මෙලෙසින් සංචාරක ආකර්ශණය දිනා ගන්නට නිර්මාණශීලීව ගමේ පරිසරය යොදාගන්නට උමජි ගම්වාසීන් සමත් වෙලා තියෙනවා.






විශිෂ්ඨතම කාරණය වෙන්නෙ සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ගමක් නිර්මාණය කිරීමේ කාර්යයේදී සොබාදහමේ සුන්දරත්වයටත්, පාරිසරික අගයන්ටත් හානියක් නොවන විදියට එය සැලසුම් කිරීමයි. විදේශ විනිමය දිනා ගැනීමේ ප්‍රමුඛ මාර්ගයක් විදියට සංචාරක කර්මාන්තය හිස්මුදුනින් වන්දනා මාන කරන අපි අපේ මේ පුංචි දූපතේ ලස්සනත්, පාරිසරික අගයත් රැකගනිමින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට කටයුතු කරනවද යන්න වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතුයි.  

..............

ජපානයේ අති දුෂ්කර ප්‍රෙද්ශයක දිළිඳුම ගම්මානයක් දියුණු, සංවර්ධිත මට්ටමට ළඟා වුණේ දීර්ඝකාලීන සැලසුම්, පරාර්ථයෙන් පිරි කැපකිරීම්, ගමටත් මිනිසුන්ටත් සොබාදහමටත් ඇති ආදරය - ගෞරවය, අන්‍යෝන්‍ය සහජීවනය නිසා බව මේ සොඳුරු සැරිසැරුමෙදි මැනවින් පැහැදිලි වුණා.

අපේ රටටත් තිරසර සංවර්ධනයක් උදාවෙන්නට නම් ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවලින් එහාට ගිය, දුර දැක්මක් සහිත රටටත්, මිනිසුන්ටත්, පරිසරයටත් ආදරය කරන ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. පාලන තන්ත්‍රයත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයත්, රටේ ජනතාවත් ඒකරාශීව කැපවෙන වැඩපිළිවෙලකින් මිස ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස්වන සහන මලුවලින් නම් මල්වෙඩිල්ලකට එහා ආලෝකයක් ලබා ගන්නට හැකි වේ යැයි සිතිය නොහැකියි. 




30 comments:

  1. ෂාහ්... මාරු ට්‍රිප් එකක්නේ ...
    අර මී කුනකින් පොහොසත්ක් වුනා කියපු කතාව ප්‍රයෝගිකව ඔප්පු කරන මිනිස්සු

    ReplyDelete
    Replies
    1. දෙවන ලෝක යුද්දයෙන් පස්සෙ ජපානය දියුණු වෙන්නෙ අප්‍රමාණ කැපකිරීම දහඩිය කඳුළු මැද්දෙ.. මේ ගමනෙදි ඒ අතීතය ගැන හොඳ අවබෝධයක් ලැබුණා... ඇත්තටම ජීවිතේ ලැබුණු සුන්දර ම සංචාරයක්..

      Delete
  2. අපි අතරත් මේ වගේ ප්‍රයෝජනේට ගන්න පුළුවන් දේවල් කොච්චර තියනවද?

    ෂාහ්... මාරු ට්‍රිප් එකක්නේ ...
    අර මී කුනකින් පොහොසත්ක් වුනා කියපු කතාව ප්‍රයෝගිකව ඔප්පු කරන මිනිස්සු

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මාස තුනක අධ්‍යයන කාලය ඇතුළෙ ජීවිතයටම වටිනා බොහෝ කාරණා ඉගෙනගන්න හැකියාව ලැබුණා. හෙමිහිට ඒ විස්තර ලියන්නම්..

      Delete
  3. සුපිරි ලිපිය......අපේ දේශපාලුවෝ මහජනයාගේ මුදල් වියදම් රටවලට ගොසින්....වේස ..සුදු කෙලිනව ...ඔවැනි දියුණු රටවලට තෝරාගත් දක්ෂ නිලධාරීන්ව යවල.......තාක්ෂණ ෆුහුනුවීම් වල යොදවල...අපේ රටේ ක්‍රියාත්මක කරන්න ඕනා.....කොහෙද ඉතින්......හිටං .....

    ReplyDelete
    Replies
    1. හැම වසරකම විශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් පිටරට අධ්‍යයන සංචාරවලට යවනවා. නමුත් ඒවා සංචාර අත්දැකීමට සහ අමතර මුදලක් හොයා ගැනීමට තියෙන අවස්ථාවක් පමණක් බවට පත්වීම කණගාටුදායකයි.

      මම ඒ ගමනෙන් ලැබූ අත්දැකීමෙන් ආයතනය තුළ කිසිම ඵලදායී වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් මම වෙනමම කළ ස්වේච්ඡා සමාජ වැඩවලදි ඒ අත්දැකීම් බෙදාගත්තා. විශේෂයෙන්ම ළක්‍රිවී ළමා සංවිධානයේ අම්මලාගේ සමිතිවල. පුංචි සහනයක් දැනෙනවා ඒ නිසා..

      ඉන්පස්සෙ රජයේ වියදමින් කිසිම අධ්‍යයන චාරිකාවකට සහභාගි වෙන්න ඉල්ලුම් කළේ නැහැ මම. එය ජාතික අපරාධයක් වගේ දැණුන නිසා...

      Delete
    2. ඔබගේ මෙම ප්‍රකාශය ඉතාමත් නිවැරදියි.අධ්‍යාපන චාරිකාවකින් හෝ වෙනත් චාරිකාවකින් පසුව එම නිලධාරියා පූර්ණ වාර්තාවක් තම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කල යුතුයි.එම වැඩසටහනින් ලත් අත් දැකීම් ඒ අත්දැකීම් අපේ රටේ සංවර්ධනයට යොදාගත හැකි ආකාරය පැහැදිලි කරණ වාර්තාවක් විය යුතු අතර එය කුඩා පොතක් ලෙස සකස්කර දිය යුතුය.දැන් මෙම ක්‍රමය ලංකාවෙ කෙරෙනවද මන්ද? මෙම වාර්තා සකස් කර දුන්නත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒවා තුට්ටුවකටවත් ගණන් ගන්නෙ නැහැ. ඒවා ගැන සාකච්ඡා කරන්නෙ නැහැ.නැත් නම් මේ රටේ නිලධාරීන් විදේශ අධ්‍යයන චාරිකා යන හැටියට මේ රට ජපානයට කොරියාවට චීනයට වැඩිය දියුණු ක්‍රමවේදයන් අනුගමනය කරණ රටක් විය යුතුයි.නමුත් අපි ඉන්නෙ කොතැනද? අපිටම ලැජ්ජයි.

      Delete
  4. අපේ රටේ ඉන්න අයට ඔය වගේ උත්සායකට සහයක් දෙන්න පුළුවන් පාලකයෝ ඉන්නවද එක අතකට.. ඒ අතින් ඒ රටවල් වාසනාවන්තයි..

    ReplyDelete
    Replies
    1. පාලකයින් වගේම පුරවැසියනුත් තමන්ගෙ කාර්යභාරය හරියට ඉටුකරල තියෙනවා... දීර්ඝකාලීන කැපකිරීමක ප්‍රතිඵලය..

      Delete
  5. මේ වගේ අධ්‍යයන චාරිකාවලට කීදෙනෙක් නම් ගිහින් ඇතිද. ඒත් ඒවා ඇසුරින් රටට වූ සෙතක් නම් නැත. පැවති ආණ්ඩු වගේම නිලධාරි පැළැන්තිය ත් වගකීම් පැහැර හැරලා

    ReplyDelete
  6. හි..හි.. ජපානේ යනවා කියල කලින් දන්නවනම් ලස්සන බෝනික්කියෙක් ගෙන්න ගන්නවා..
    දුෂ්ටයා කියල කාඩ් ගහන්නේ නැත්නම් එක ප්‍රශ්නයක් අහනවා..
    //ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම කියන තේමාව යටතේ ජපානයේ පැවති පුහුණුවකට//
    හොඳයි දැන් ගිහින් ඇවිත් කට්ටිය මොනවද කලේ ග්‍රාමීය කාන්තාව සවි බල ගන්වන්න..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම උඩින් කමෙන්ට් එකකට පිළිතුරක් විදියට ලියල තියෙනවා... දුෂ්ටයා නම් තමයි ඉතින්... කොහොම කිව්වත්..

      ‘‘මම ඒ ගමනෙන් ලැබූ අත්දැකීමෙන් ආයතනය තුළ කිසිම ඵලදායී වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් මම වෙනමම කළ ස්වේච්ඡා සමාජ වැඩවලදි ඒ අත්දැකීම් බෙදාගත්තා. විශේෂයෙන්ම ළක්‍රිවී ළමා සංවිධානයේ අම්මලාගේ සමිතිවල. පුංචි සහනයක් දැනෙනවා ඒ නිසා..

      ඉන්පස්සෙ රජයේ වියදමින් කිසිම අධ්‍යයන චාරිකාවකට සහභාගි වෙන්න ඉල්ලුම් කළේ නැහැ මම. එය ජාතික අපරාධයක් වගේ දැණුන නිසා.....‘‘

      Delete
  7. ඔබේ ලිපියෙන් හෝ යමෙක් ජීවිතයට යමක් ගන්නවා නම් එය ඔබේ ගමනට අගයක් එකතු කරාවි.එය කියවන්නට ලැබීම සතුටක්. ඔන්සෙන් ගැන ඔබේ අත්දැකීමත් ලියන්න. එය බොහෝ දෙනෙකුට අළුත් දෙයක් වේවි.

    ජපානය කියන්නෙ අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන් සුන්දර රටක්. කාර්මික රටක් උනත් කොච්චර වනාන්තර තියෙනවද කියලා ඔබ ඔබේ ගමනෙදි දකින්න ඇති. පරිසරයට පුංචිම පුංචි හානියක්වත් වෙන්න නොදී හැමදේම සමබරව රැකගෙන ඔවුන්ගේ අනන්‍යතාව ඉදිරි පරම්පරාවලටත් ඒ විදිහටම ගෙනියන හැටි ඔවුන් උගන්වන්න පටන් ගන්නෙ පෙර පාසැල් වල ඉදන්. හැම පාසැල් පෙර පාසැල් දරුවෙක්ම පංති කාමරය තුල එළවළු පළතුරු, මල් වැනි කුමක් හෝ දෙයක් අනිවාර්යෙන්ම වගා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් කෑම බීම ගැනීමෙදී බත් ඇටයක් තරම් දෙයක්වත් අපතේ නොයවන්නට පවා පරිස්සම් වෙනවා සහ ඒ ගැන කුඩා දරුවන් පවා දැනුවත් කරනවා.
    ජපානයේ සීග්‍ර දියුණුවේ රහස ඔවුන්ගේ දියුණු ආකල්ප සහ කැපකිරීමයි. අපේ රටේ මිනිස්සුන්ට නැත්තටම නැත්තේද ඔය දෙකයි.

    ReplyDelete
    Replies
    1. ‘‘ජපානයේ සීග්‍ර දියුණුවේ රහස ඔවුන්ගේ දියුණු ආකල්ප සහ කැපකිරීමයි.‘‘

      මේ කතාව ඇත්ත... ඒ කෙටි කාලය තුළ ලැබූ අත්දැකීම් බොහොමයි.. හෙමිහිට ලියන්න ඕන..

      Delete
  8. Replies
    1. මරු කිව්වෙ ........ජපං ගොසින් නැවතුන නැටි එකඩ බොක්ක....
      තරුෂි නංග හොදම අත්දැකීම් තිබෙන කෙල්ලක්.....උම්මා....

      Delete
  9. ඔබ ලද අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ගනිමින් අත්දැකීම් අප සමග බෙදාහදා ගැනීම අගය කළ යුතුයි. හරියට අපවත් චාරිකාවට එක් කර ගත්ත වගේ....

    ReplyDelete
  10. සුන්දරයි අෆ්ෆා............. අැත්තට ම ලස්සනයි... මේවා හොද අාදර්ශ

    ReplyDelete
    Replies
    1. කවුද ඒ ආදර්ශ අනුව වැඩකරන්නෙ කියන එක තමයි ප්‍රශ්නෙ...

      Delete
  11. ශෝක් ගමන... අපේ වගේ රටවල් වල මිනිස්සුන්ට මේවා හොඳ ආදර්ශ...

    ReplyDelete
  12. අර කෙන්ජි කිවුවා වගේ රටේ නම කැත නොකර ආපහු රටට ආපු එකටම ගරුකරනවා ඔබට.

    අපේ රටෙත් මිනිස්සු ඕනම කැපකිරීමක් කරයි තමන්ගේ ජීවිත සාරවත් කරගන්න.ඒත් වෙලා තියෙන්නේ නියමිත මගපෙන්වීමක් නැතිකමයි.

    ReplyDelete
  13. අපුරුයි තරු අක්කේ,
    ලෝක යුද්දෙකින් අර තරම් විනශ වෙච්චි ජාතියක් ආයෙමත් නැගිටපු හැටි කොයි තරම් පාඩම් කියලා දෙනවාද අපිට.අපේ කෘෂි නිෂ්පාදන ගහෙන් කඩා ගත්තු විදියටම ගමෙන් පිට නොකර මේ කියලා තියෙනවා වගේ නිමි නිෂ්පාදන කරලා යවන්න පුළුවන් නම් වෙළෙන්දෝ අතරමැදියන්ගෙන් තැලෙන්නෙත් නැහැ රටේ අපනයන ආර්ථිකයත් දියුණු වෙනවා.

    ReplyDelete
  14. සුන්දර අත්දැකීමක රසය විඳිනා ගමන් හිතට බරක් දෙන ලිපියක්. මේ චන්ද කාලෙට ඉතාම වටිනා පෝස්ටුවක් .ඒත් පක්ෂ පාටවලින් දෑස් අන්ධ කරගෙන ඉන්න අපේ ගොඩක් දෙනෙකුට මේ වගේ කතාවලින් ඇති වැඩක් නෑ . අර පුංචි කෝච්චිය ගැන කියවද්දී ටොට්ටෝ චාන් මතක් වුනා .

    ReplyDelete
  15. සුන්දර ලිපියක්.

    ReplyDelete
  16. සුන්දර ලිපියක්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...