පිටු

Monday, January 2, 2017

ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා




ඔහු
සිහින විලේ නිලුපුලී පැතුම් ජලාශයේ
ඔබ කා නමින්ද පිපුණේ මල් මානවිකාවී
ඇය
කැකුළු වියේ දිනිඳුනී සුපෙම් උදානයේ
ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා

ඔහු
ඔබද මගේ පහන් තරුව
කොහේ සිටද ආවේ පායා
ඇය
ගිමන නිවන අරණ සොයා
ආවෙමි දුර සසර සැරිසරා

ඔහු
දැහැන බිඳින රුවැති කැකුළ
ඔබද මගේ පාළු මාවතේ
ඇය
දෙහද පතන සෙවණ සොයා
ඈතට යමු සිහින මාරුතේ... 


 විඩාපත් සිතුවිලි තවදුරටත් බරක් කර නොගනු රිසියෙන් පුංචි තිරයේ ඉහළට පහළට යමින් සිටියදී  රිදී ටීවි හි ‘‘සුදෝ සුදු‘‘ දිග හැරෙමින් තිබිණි. එය නිමාවත්ම ඇරඹුණේ චිත්‍රපට ගී වැඩසටහනකි. එහි දෙවන ගීතය ඇරඹෙත්ම, අනූපමා 1978 යැයි  තිරයේ සඳහන් වූයෙන් මම විමසිලිමත් වීමි. ඒ විවෘත ආර්ථිකයත් කරපින්නාගෙනම මා උපන් වසර බැවින් ඒ වසරේම උපන් අනූපමා ගැන කුහුලක් උපන් බැවිනි. වැව් දියෙහි ඔරුවක නැගී ගී ගයන්නාවූ යුවළ කවුරුන්දැයි පැහැදිලි වන්නට පෙරම ගීතයේ සංගීතය මසිත පැහැරගති. මම ගීතයෙහි ගිලී ගියෙමි. ඉහතින් දැක්වූයේ ඒ අනූපමා චිත්‍රපටයේ ගීතයයි.

ගීතයෙහි පද පෙළ සරල ය. සිලිටි ය. ඒ පද පේළි මතින් ප්‍රේමණීය රසඳුන් ගල්වන්නේ සුමධුර ස්වර සංයෝජනය යැයි සිතමි. වික්ටර් රත්නායකයන්ගේ ගැයුම් මෙන්ම ඔහු අතින් නිමැවූ ස්වර රචනාද මියැසි සෞන්දර්යයෙන් අගතැන් වන්නේය, එහි සැකයක් නැත. එයටම සරිලන ප්‍රේමණීය හඬ පෑහුමකි, ජෝති - ලතා. හදවතින්ම විඳින්නට හැකි ගීතයකැයි සිතමි.  

ඉක්බිති ගීතයෙහි වගතුග සොයා සැරිසැරුවෙමි. මේ ගීතය එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල චිත්‍රපටයක් වෙනුවෙන් ගැයූ පළමු යුග ගීතය බව දැනගන්නට ලැබුණේ එවිටය.  සංගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගෙනි. ගේය පද රචනය මා බෙහෙවින් කැමති, ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශගෙනි. අනූපමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.  


 ජෝතිගේ මා බෙහෙවින් ආදරය කරන තවත් ගීතයකි, සරා සඳේ... එහි පද රචනයත් කුලරත්න ආරියවංශයන්ගෙනි. මෙවර පොත් ප්‍රදර්ශනයේ දී ‘‘සම‘‘ කුටියට ආ පොත් අතර කුලරත්න ආරියවංශයන්ගේ ගේය පද රචනා ඇතුළත් පිනිබර මලක් කෘතියද, සංයුක්ත තැටි හතරකින් යුත් ගීත 80 ක පිනිබර මලක් ගී ගොනුවද මිල දී ගන්නට හැකි විය. කොතරම් මධුර, මනෝහර, හෘදයාංගම ගී එකතුවක්ද!!! හිත නිවී සැනහෙන ගී දහරකි.

‘‘සඳ එළිය සේ සෞම්‍ය වූද, හිරු එළිය සේ ප්‍රභාෂ්වර වූ ද, තරු එළිය සේ විචිත්‍ර වූ ද ගී කන්දක් ලියා ඒ කඳු පාමුළ සැඟව සිටින කුඩා මිනිසෙකි.‘‘ පිනිබර මලක් කෘතියෙහි පසුවදනෙහි ලා සමුද්‍ර වෙත්තසිංහයන් කුලරත්න ආරියවංශ හඳුන්වා දෙන්නේ එලෙසිනි. ‘‘සම‘‘ කුටිය අබියස ඔහු හා දොඩමළු වන්නට ඉසිඹුවක් ලදින් එය කොතරම් සත්‍යයක්දැයි වටහා ගතිමි. සැබවින්ම ඔහු හැලහැප්පීම්වලට අකමැති පාඩුවේ සිටින්නට කැමති නිහතමානී මිනිසෙකි.     

 .......

අද උදෑසන ‘‘දිලි දිලි දිලිසේවි මා දෑසෙ ආලෝකේ‘‘ ගීතය සවන් වැකුණු මොහොතක අප කතා වූයේ ජෝති නම් කිසිදිනක නොමැරෙන ගායකයකු බව ය. සැබවින්ම ඔහු ජෝතිමත් ගායකයෙකි. පුංචිම කාලයේ මා වඩාත් ප්‍රිය කළේ ඔහුගේ ‘රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාන් කිරිල්ලී කොයි‘ ගීතයට බව මතකය. ඒ ඇල්ම ගීතයේ රිද්මය නිසා උපන්නක් මෙන්ම කුරුල්ලන් ගැන කියවුණු ගීතයක් යැයි වූ හැඟීමද එයට බලපාන්නට ඇත. දැනටත් හිතේ ඇඳෙන්නේ ඉගිල යන කුරුලු රෑනක දසුනකි. 



 මගේ ප්‍රියතම ජෝතිමත් ගීත ලැයිස්තුවේ වන ගීත සමුහයකි. මේ එයින් කිහිපයකි. ආනන්දනීය  නව වසරක් වෙනුවෙනි... 

නින්ද නේන රාත්‍රියේ


සල් සපු නා


මේ ගී කාටදැයි   


පාලු සුසානේ ප්‍රේම පුරාණේ


ඔබෙ සැප මගෙ සතුටයි...


10 comments:

  1. ජෝති තාමත් අප අතරෙමයි. ඒක වෙනස්වෙන එකක් නැහැ, අනූපමා බැලුවේ අපි කොල්ලො කාලේ. දයා රාජපක්ෂගෙ චිත්‍ර කතාවට වහ වැටිලා හිටියේ.

    <a href="https://www.youtube.com/watch?v=7yHvg3KIMOQ!>මේකත් අනූපමා ෆිල්ම් එකේම සින්දුවක්.</a>

    ReplyDelete
  2. රත්තරන් සඳක් පායන්නයි....
    මෑත දවස්වල මම ජෝතිගෙ කැමතිම සිංදුව. ඕක කාලෙන් කාලෙට මාරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ රහස නම් මට හිතාගත්තැකි... ඇත්ත මමත් ආස සින්දු ගොඩක් තියෙනවා ජෝතිගෙ.. කාලෙන් කාලෙට හිතට කතා කරන සින්දුවේ වෙනසකුත් වෙනවා...

      Delete
  3. හරිම අගේයි...අදටත් මේ ගී රස මිහිර

    ReplyDelete
  4. සල් සපු නා සිංදුවට මම ඉස්සර ඉඳල මාර කැමතියි. මුලින්ම දාල තියෙන සිංදුව නම් කලින් අහල නෑ..

    ReplyDelete
  5. ජෝති කියන්නේ ලංකාවේ ගීත කලාවේ සලකුණක්.ජෝතිගේ හැම ගීතයකටම අසා නැතත් ප්‍රිය කරන ගීත බොහොමයි.අක්කා දාලා තියෙන "සිහින විලේ නිලුපුලි" සින්දුව නම් ඇහුවේ අදමයි.ලස්සන සරල ගී පද,අපුරුයි.

    ReplyDelete
  6. මට මතකයි මම හතේදි විතර ජෝතිගෙ සින්දු තුන්සිය ගාණක් අතින් ලියලා සින්දු පොතක් හැදුවා.යාලුවො තාම මට හිනා වෙනවා..))

    ReplyDelete
  7. ජෝති තවමත් අමරණීයයි කියන්නෙ එෆ්.එම් එකකට සුසර කළොත් ඇහෙන්නෙම ජෝතිගෙ සිංදු. ඒ තැන ගන්න ගායකයෙක් ආයෙම බිහිවෙන එකක් නැහැ.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...