පිටු

Thursday, October 16, 2025

සංජීවනී රූපසිංහගෙන් 'ආකාශගංගාවරෝහණ'


(2025.10.12 ඉරිදා සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහයේ පළ වු සංවාද සටහනයි.)

ලාංකේය සැරිසර ආඛ්‍යාන සාහිත්‍යය, එසේ නැත්නම් සංචාරක අත්දැකීම් ලියැවුණු ග‍්‍රන්ථ ප‍්‍රමාණාත්මකව බහුල නොවූවත්, විචිත‍්‍ර අන්තර්ගතයකින් හෙබි කෘති අල්පයක් සහ එබඳු කෘති රචනා කළ ලේඛක, ලේඛිකාවන් කිහිපදෙනෙකු මතකයට නැගේ. එම කෘති අතරට අලූතෙන් ම එක්වන කෘතිය ‘‘ආකාශ ගංගාවරෝහණ’’ ඉන්දීය චාරිකා සටහන් කෘතියයි. කතුවරිය සංජීවනී රූපසිංහ ය. ඇයගේ චාරිකා සටහන් එකතුව සැරිසර ආඛ්‍යාන සාහිත්‍යයට නවමු අත්දැකීමක් එක් කරනු නිසැක ය. දර්ශනය සහ කලාවන් පිළිබඳව ඈ තුළ වන වියත් බව ද, ඇගේ මානුෂවාදී චින්තනය ද, ලේඛන කෞශල්‍යය ද මෙම සැරිසර සටහන් එකතුවට වඩා ගැඹුරක් සහ  අසිරිමත් සෞන්දර්යයක් එක් කර ඇත. 

2025.10.13 දින ‘‘ආකාශ ගංගාවරෝහණ’’ කෘතිය කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජවිද්‍යා පීඨ මණ්ඩල ශාලාවේ දි එළිදැක්වෙන අතර සංජීවනිය සමග මෙම සංවාදය එකී චාරිකා සටහන් සම්භාෂණය නිමිති කරගනිමිනි. 


01. ''ජීවිතය, දර්ශනය සහ නිර්මාණය පෝෂණය වෙන්නේ රස්තියාදුවෙන්” ඔබ ‘‘ආකාශ ගංගාවරෝහණ’’ කෘතියේ පෙරවදනෙහි ලා සඳහන් කරනවා. මේ ගැන පැහැදිලි කරන්න. 

ජීවිතය පරිණත වෙන්නේ අත්දැකීම් තුළින් කියලා මං හිතනවා. අපිට ලෝකයේ ඇවිදීම තුළින් බොහෝ අත්දැකීම් ලැබෙනවා. සුබවාදී මෙන්ම අසුබවාදී. ලස්සන මෙන්ම අවලස්සන. සතුට වගේම දුක. ඉතා උස කඳු මුදුන් වගේම පහළ නිම්න. වරප‍්‍රසාදිත මිනිස්සු වගේම ආන්තීකරණය වූ මිනිස්සු. ඒ අත්දැකීම් අපිව පෝෂණය කරනවා. ජීවිතය දරා ගන්න උගන්වනවා. අලූතෙන් හිතන්න අවස්ථා දෙනවා. සමහර දේවල් පිටකරන්න  ඕන වෙකවා. අපි ලියනවා අපි අඳිනවා. මේ ඇතුලේ ආපහු ජීවිතය තියනවා. විඳීම විඳවීම තියනවා. නිර්මාණ බිහි වෙනවා. ඒවා ඇතුලේ දර්ශනය තියනවා. මේක චක‍්‍රයක් වගේ. අන්තර් සාපේක්ෂයි. එකකින් එකක් ජනිත වෙනවා. සංචාරය තුළින් අත්දැකීම් ලබනවා. ඒවා නිර්මාණ වෙනවා. නිර්මාණ තුළින් ඇතැම්විට දර්ශනය පහළ වෙනවා. අත්දැකීම් තුළින් දර්ශනය පහළ වෙනවා වගේම ඒවා කියන්න නිර්මාණ සිද්ධ වෙන වෙලාවල් තියනවා. ඒකයි මං කිව්වේ මේ සියල්ල අන්තර් සාපේක්ෂයි කියලා. 


02. ‘‘භාරතය නම් ප්‍රේමයයි. ප්‍රේමය නම් භාරතයයි.’’ පළමු සැරිසර සටහන ඇරඹෙන්නේ එලෙස. ඔබේ මේ භාරත දේශයට වන ප්‍රේමයට සුවිශේෂ හේතු තියෙනවද ? 

මං පුංචිම කාලේ ඉඳන් එහෙම ආදරයක් පැලපදියම් වෙලා තිබ්බා හිතේ. ඒක ආවේ බුද්ධාගමෙන්, රාමායනයෙන්, මහාභාරත කතාවලින් වෙන්න  ඕන. ඒ හැම එකේම පසුබිම වුණේ භාරතය. මං ඒවා එක්ක චිත්ත රූප මවාගෙන ඇවිද්දා. පස්සේ කාලේ ඉන්දියාවේ මහා වනාන්තර මැදින් යද්දී මං හරිම මනෝමය ලෝකයක සැරිසැරුවා. අර පුංචි කාලේ හිතෙන් මවා ගත්ත එක ඇතුලේ. හරියට පුංචි කාලේ කන්න ආස අයිස්චොක් එකක් වගේ. එහෙම එකක් අදත් කනකොට අපි යම් අතීතකාමයක වින්දනීය නිමේෂයන් ගත කරනවා. ඉන්දියාවත් මට පොඩි කාලේ මවා ගත්ත ලෝකයක්. සාහිත්‍යමය අතීතකාමයක් ඒක. ඒක ඇතුලේ ඉන්න ගෑණු මිනිස්සු මන් දන්න අය කියලා මට හිතෙන්නේ.



03. අතීතයේ මවාගත්ත ඉන්දියාවයි, ඔබ සැබවින් දුටු ඉන්දියාවයි අතර වෙනසක් තියෙනවද? 

මගේ මේ සංචාරක සටහන්වලට ගත්තෙ දකුණු ඉන්දියාවෙදි ලද අත්දැකීම්. උතුරු ඉන්දියාවේ අත්දැකීම් වෙනම කෘතියකට ගන්න අදහස් කරනවා. දකුණු ඉන්දියාව කියන්නේ වංචාව ¥ෂණය පිරුණු තැනක්. දුප්පත්කම ඉහවහා ගිහින්. ඒ වගේමයි අධික පෝසතුන්. ඇති නැති පරතරය ඉතා විශාලයි. ඒ ඔක්කොම එක්ක තමයි මම ඉන්දියාව විඳින්නේ. අතීත මතකවල චමත්කාරය එක්ක මේ කටුක සමාජ යථාර්ථයත් මට හමුවෙනවා. අපේ රටෙන් ගිය මිනිසුන්ගෙන් ලක්ෂ තිහක් විතර ඉන්නවා පුදු කෝට්ටෙයි, මධුරෙයි නීලගිරි වගේ ප‍්‍රදෛ්ශවල, අධික දරිද්‍රතාවයෙන් මිරිකෙමින්. අවම වශයෙන් ගමටම එක වැසිකිලියක්වත් නැතිව සමහර ප‍්‍රදේශවල. මේ වගේ දුක් විඳින මිනිසුන් ගැන ලෝකයට කියන්න සාධාරණය ඉල්ලන්න මට  ඕන. මගේ ඇවිදීමෙත්, හැදෑරීමෙත්, ලිවීමෙත් එක් ප‍්‍රධාන අරමුණක් තමයි ඒ. 


‘‘ජෛන තීර්ථංකරවරු යනු දිනූ තැනැත්තන් හෙවත් ජින බවට පත් වූවන් ය. ඔවුන් නිගණ්ඨයන් යයි නම් කරන්නේ නිර්-ග‍්‍රන්ථ හෙවත් ගැට රහිත අය වන නිසා ය. කිසිම ලෞකික බැ`දීමක් ඔවුන්ට නැත. සියලූ බැ`දීම්වලින් ඔවුන් විනිර්මුක්ත ය.’’

- පිටුව අංක 47


04. ඉන්දීය සැරිසර තුළ ඔබට හමුවන අපූරු තිළිණයක්. ජෛන දහම සහ සංස්කෘතිය. ලෝකයේ ඉපැරණිම ආගම් අතර ජෛන ආගමට හිමිවන්නේ මොනවගේ තැනක්ද ? 

ජෛන කියන්නේ ලෝකයේ ඉපැරණිම ආගමක්. ඒකට ඵෙතිහාසික පුරාවිද්‍යාත්මක සාක්ෂි තියනවා. ඒක අහිංසකම මිනිසුන්ගේ ආගමක්. ගොඩාක් දෙනෙක් කියනවා අන්තවාදයක් කියලා. ඒත් අපි භෞතික ලෝකය තුළ නොදන්න ගොඩාක් ගූඪමය දේවල් ඒ තුළ සැගවිලා තියනවා. මං දැක්කා අධික සීතලේ ඇඳුමක් නැතිව යන සාධූවරු. ලස්සන ගෑණු ළමයි ඉදිරියේ ලිංගිකව උත්තේජනය නොවී සිටින නිරුවත් මුනිවරු. මේ අති දුෂ්කර පිළිවෙත් ඔවුන් තාමත් පුරනවා.


05. බෞද්ධ දර්ශනය තුළ ‘‘බුද්ධ” සහ ජෛන දර්ශනය තුළ ‘‘ජින” ඔබ හඳුනාගන්නේ කොහොමද? 

ඒක අමාරු ප‍්‍රශ්නයක්. බුද්ධ කියන එක අර්ථකථනය කරන්න නිර්ණායක අඩුයි. බුදු, පසේ බුදු, මහරහත් වගේ ඒවායේ සීමා දක්වන්න අමාරු වගේම ‘ජින’ තත්වය ගැන තියෙන්නෙත් අළු පාට කලාපයක් කියලා මං හිතනවා. අත්දැකීමෙන් ලබන්න  ඕන දෙයක්. ඒක භෞතිකත්වය ඉක්මවා ගිය අවස්ථාවක්. මිනිසුන් විසින් නිර්මාණය කළ භාෂාවකින් එය කියන්නේ කොහොමද. අනික් අපි ඒ තත්වයට පත් නොවී ඒ ගැන මුකුත්ම අපිට කියන්න බෑ. ජෛන මුනිවරුන්ගෙන් මං ඒ වගේ ඒවා ඇහුවා. එයාල කියනවා චිත‍්‍රපටයක් පේනවා වගේ පෙර ආත්ම පේනවා කියලා. ඒත් ඒක කොහොමද විශ්වාස කරන්නේ මට පේන්නේ නැතුව. හොඳම දේ ඒ වගේ ඒවා දන්නේ නෑ කීම. විශ්වාස කිරීමත්, අවිශ්වාස කිරීමත් දෙකම නොකර සිටීම. ඇත්තටම ‘බුද්ධ’ හෝ ‘ජින’ තත්වයන් ගැන මං දන්නේ නැහැ.


තිරුපති සරණං ගච්ඡාමි

‘‘මම ඔබට තිරුපති ගැන කියන්නට පොරොන්දු වීමී. මෙතරම් වංචා කරන, හොරකම් කරන, ජනතාව සූරා කන ජාතියේ මිනිසුන් ආරක්ෂා කරන මෙම දෙවියා සුළු පටු දෙවියෙක් වෙන්නට නම් කොහොමත් බැරි ය. මිනිසුන්් පිස්සුවෙන් යන, පිස්සුවෙන් අදහන තිරුපති දැක බලා ගන්නට මට ද ආසා හිතුණි.’’

- පිටුව අංක 28 


06. ආගමික අනාගමික ලෙසත් මිනිසුන් බෙදෙනවා මෙහෙම බෙදීමක් අව්‍යශද ලෝකයට? 

මම උපතින් බෞද්ධ පවුලක ඉපදෙන්නේ. දහම් පාසල් ගියා, බුදු දහම ඉගෙන ගත්තා. ඒත් මං වත් පිළිවෙත් කිසිවක් කරන්නේ නැහැ. බුදුන් වහන්සේ කියපු දේවල් අනුගමනය කරනවා. හැම ආගමකම එහෙම දේවල් තියනවා. මං කියන්නේ හොඳ දේවල්. අපි අනෙකා වෙනුවෙන් කැප වෙනවා. ඒක බෝධිසත්තව පරමාදර්ශයක්. ඒත් මං පෝයට පංසල් ගිහින් බෝධිපූජා තියනවා වගේ දේ කරන්නේ නැහැ. කොයි තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් කන්න නැතිව හිටියත් මං පන්සල් ගිහින් බෝධි පූජා කරලා නැහැ. පස්සේ කාලේ මං ආගමේ දර්ශනය උගන්වන්න ගත්තා. ඒකට පක්ෂාග‍්‍රාහී නොවන ආස්ථානයක් අවශ්‍යයි. ඒ එක්කම මං කිසිම ආගමක් නැති කෙනෙක් බවට පත් වුණා. මිනිස්සුන්ට හොඳට මනුස්සකම ඉගැන්නුවම ඇති. මගේ ළමයි මං හදන්නේ ආගමක් නැතිව. ආගමකින් සිද්ධ වෙන හොඳට වඩා නරක වැඩි කියලා මං හිතනවා. මිනිස්සු මෝඩයෝ කරනවා. බය ගුල්ලෝ කරනවා. විචාර චින්තනය මොට කරනවා. ඉතිං මොකටද ආගම් කියලා මට හිතෙන්නේ. ආගමික අනාගමික නෙමෙයි මොනම බෙදීමක්වත් මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. ලෝකයට අවශ්‍ය නැහැ. 


‘‘මම හද කම්පා කර ගෙන නැවත එන්නට හැරුනෙමි. තවත් ¥පත් බලන්නට යන්නට ආසා කළත් දැන් එයට හිත නො නැමෙයි. මේ මිනිසුන්ගේ ජීවන ඛේදවාචකය දැකීමෙන් මහද හ`ඩා වැටේ.  ආකාශ ගංගාවරෝහණ ඉර රක්ත වර්ණ ව ගිලෙන්නට ද`ගලයි. අපි ආපසු ඔරුවට නැගුණෙමු. ම`ග පෙන්වන්නා දිගට ම හබල් ගෑවේ ය. මට ඇසුණේ ජල තලය කැලතෙන ශබ්දය පමණි.’’

පිටු අංක 21-22


07. ඔබේ රතු කඳු සැරිසර තුළ හඳුනාගන්නවා මිනී මස් බුදින්නන් විදිහට විදිහට නාමකරණය කරලා ආන්තිකරණයට ලක් කර සමාජයෙන් බැහැර කර දැමූ මිනිසුන්. එදත් අදත් මනුෂ්‍යත්වයට එරෙහි මෙබඳු අපරාධ ලොවපුරා සිදුවෙනවා. අපට ඒ වෙනුවෙන් කළ හැකි දෑ මොනවද? 

ඇත්තටම මං දැනට කරන්නේත් ඒ වගේ පර්යේෂණ. හඬක් නැති මිනිසුන්ට හඬක් විය යුතුයි. අපේ මේ මුලූ ජීවිතේම කැපවෙන්න  ඕන මිනිසුන් කුමන හෝ සාධකයක් මුල් කරගෙන බෙදා වෙන් කරන සමාජය වෙනස් කරන්න. ජාති, කුල, ආගම් බේද දුරු කරන්න.


‘මම දැන් ඔබට කියමි. වරංගාව ගැන කියමි. මා ඉන්දියාවේ දුටු සුන්දර ම දසුන් තිබුණේ වරංගාවේ ය. ඒත් මා මේ කියන වරංගාව ඇත්ත වරංගාව නො වේ. මා වචනවලින් අ`දින වරංගාව කිසිසේත් ඇත්ත වරංගාව නො වේ. එතරම් ම ඇත්ත වරංගාව ලස්සන ය. පාළු ය...

...ලොව කොහේ හෝ මා නැවත යන්නට ආසා කරයි නම් ඒ වරංගා ය. යළි යළිත්, යළි යළිත් මම වරංගා යන්නට ආසා කරමි.... වරංගාවේ පොඩි අතුපැලක හිඳ මගේ පශ්චාත් උපාධි නිබන්ධනයක් ලියන්නට මට අවකාශ ලබා දෙන්නැයි මම ස්වාමිජීගෙන් ඉල්ලා යැවුවෙමි.’’

පිටු අංක 150-156 

‘‘ආකාශ ගංගාවරෝහණ’’ පිටු අතර මගේ සැරිසර අවසන් වන විට ඇය මහා භාග්‍යවන්තියකැයි මට සිතෙයි. ඒ භාග්‍යය හුදු සංචාරක ආස්වාදයකින් ඔබ්බට සමාජ ප‍්‍රගමනය සඳහා දායක වන අධ්‍යයනික කාර්යයක් වන බව ද මෙනෙහි වීම හිත සුව දනවයි. 

08. ඉදිරි අධ්‍යාපන සහ ලේඛන කටයුතු ගැනත් කෙටියෙන් සඳහන් කරමු. 

දැනට මම එංගලන්තයේ ආචාර්ය උපාධිය හදාරනවා. ඊට අමතරව මං ජීවත්වන නගරයේ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය නැති කරන්න දස අවුරුදු ව්‍යාපෘතියක් එම නගර සභාව වෙත දීලා, ඒක අනුමත වෙලා තියනවා. එහි වැඩ කටයුතු නොවැම්බර් මාසයේ පටන් ගන්නවා. ශ‍්‍රීමා ශාස්ත‍්‍රි ගිවිසුමෙන් ඉන්දියාවට ගෙන ගිය මිනිසුන් ගැන සිදු කරන පර්යේෂණයක ප‍්‍රධාන පර්යේෂක ලෙස කටයුතු කරනවා. නිර්මාණ ගත්තොත් නවකතාවක් ලියලා ඉවර වෙලා තියනවා. ඒක පළ කරන්න  ඕන. 2010න් පස්සේ කවි පොතක් කරලා නැහැ. කවි ටිකක් තෝරලා පොතක් කරන්න හිතන් ඉන්නවා. ශාස්ත‍්‍රීය පොත් දෙකක වැඩ ඉවර කරමින් යනවා. කාලය තමයි මදි වෙලා තියෙන්නේ මට.