පිටු

Friday, April 12, 2013

එක්, ප්‍රේම කතාවක් ඉකිබිදී.......





''යුග ස්ත්‍රී''  අනුරාධා නිල්මිණී සොයුරියගේ කුළුදුල් කවි එකතුවයි.

''යුග ස්ත්‍රී'' කරලියට වැඩි මුල්ම දවසේ මහජන පුස්තකාලයේදීම ඈ මට හමු විය. ඒ 2011 බක් මහේ 30 ‍වන දා මකරන්ද සාහිත උළලේ දී ය. ඒ මුල්ම දිනවල පිටුවෙන් පිටුව යුග ස්ත්‍රීයගේ කදුල..... සුසුම... සමග මම ද ඒකාත්මික වීමි. ඈ මගේ සිත් ගත්තාය. ඈ මගේ සිත කම්පනය කළාය. ඈ මගේ සිත කියවූවාය.  

 එවන් වූ යුග ස්ත්‍රී ඇසුරු කර වසර දෙකක්ම ගෙවී ගොසිනි. 

අද මෙන් එකල බ්ලොග් ලිවිල්ලක් නොවීය. අන්තර්ජාල ඇසුරක් නොවීය. එනිසාවෙන්ම සිත් ගත් මේ කවි එකතුව ගැන කිසිදු සටහනක් නොලියැවිණි. 

පොත් අල්මාරියේ සකසුරුවමට තැන්පත්ව ගිමන් නිවන්නට ගමේ නොගොස් ''යුග ස්ත්‍රී'' මා සමගම කොළොම් පුරේ නවාතැනේ පොත් අතරට මැදි ව හුදකලාව සිටියාය. එසේ නැවතී බලා හිදින්නේ යම් විටක, යම් කටයුත්තකට අවැසි විය හැකි........ යම් විටක හදවත ස්පර්ශ කළ යුතු යැයි මා සිතන පොත පතය.... 

මේ දවස් ගෙවෙන්නේ සාංකාවෙනි. ළතැවිල්ලෙනි. 

හදවතේ ඇතුළු ගැබටම පිවිස සියුම් හද වෙණ තත් පිරිමැදිය හැකි අළුත් කවියක් ඉව අල්ලමිනි. 

පෙරදා සැදෑවේ නවාතැනේ අතරමංව හුදකලාව සිටින පොත් එකතුව අත පත ගා හදවතේ සාංකාවට පිළියමක් සොයන විට ''යුග ස්ත්‍රී'' හිනැහෙමින් බලා සිටියාය. '' මට හැකි ඔය හිත තේරුම් ගන්න'' කියන්නාක් මෙනි.



අහඹු ලෙස පිටු පෙරළන අතර මේ කවියේ නෙත ද, සිත ද නතර විය.

ප්‍රේම කතාව

සති, මාස, අවුරුදුය ගණින්නට
හමුවීම්, වෙන්වීම් කිසිත් නැත
ආදරය කළා යැයි කියන්නට
නෑකමක්, නමක්, හදහනක් නැත...

අවාරේ හදවතක පිළිසිදී
එහිම වැතිරී දිනෙක මිය ඇදී
මතකයන්, අමතකව යා නොදී
එක්, ප්‍රේම කතාවක් ඉකිබිදී.......

මගේ සාංකාවේ.... ළතැවිල්ලේ නිධාන කතාව මේ කවිය තුළ ගොනු වී ඇතැයි මට සිතේ... නෑකමක්, නමක්, හදහනක් නැති වුවත්, මතකයන් අමතක නොවන අකල් වියෝවක් කොතරම් වේදනාවක් ද?

මීට වඩා අපූරු කවි ''යුග ස්ත්‍රී'' තුළ බොහෝ ඇත. ඒ කවි කියවා අනුරාධා ස්ත්‍රීවාදිනියකැයි අවි අමෝරා ගත යුතු නැත. ස්ත්‍රී පුරුෂ දෙපසේම විවිධ අත්දැකීම්, ඒ හරහා මතුවන සමාජයීය හද ගැස්ම ඇගේ කවිය තුළ හමු‍ වේ.

මිනිසුන් උඩවැඩ

වැට පැන්නෙ
දැන දැනමයි
වැරදිලා නෙ‍වෙයි
වරද්දපු හින්දා....

හොයාගෙන ගියෙ
කවදාවත්ම
හම්බවෙන්නෙ නැති දෙයක්
තාම හොයනවා
උප-නුපන් ගෑනු හැමෝම

ලේ ගලන තොල් අගින්
පිටවෙන්නෙ නෑ
වචන.....
නෙමේ ඇත්ත
තිත්ත ඇත්ත!

ඒත්,
දූවිල සරොම් ඉඹ ඉඹ
පුජනන මැසිම
තවම වැඩ...!

කළාලෙත්
මහපොළවෙත්
ඇතිරිල්ලෙත්
එකම දේමයි...
''මිනිසුන් උඩ වැඩ
වැළපෙන වත මත
මිය ගිය සද වත
නොබිදී මුනි වත "

''........... විටක මිතුරන්ව සතුරු කර ගන්නා, විටෙක සතුරන්ව මිතුරු කර ගන්නා ඒ අපූරු ගැහැණියට මම කැමතිය. කිසිවක් ම‍ගේ නොවේය යන සිතුවිල්ල තුළම සියල්ල අත හැර යන්න සූදානමින් සිටින තෙතබරිත ඇස්වලටත් මම ප්‍රිය කරමි. මහා හයියෙන් අඩා සැණින් ගල් වන හිතටත්, මිටියාවත සිට මුදුනත විනිවිදින සිතුවිලිවලටත් මම ඇලුම් කරමි.

ලෝකය හා සකල විධ ගැහැණුන් අතර ගණුදෙනුව එයමය.

යුගස්ත්‍රී වෙනුවෙන් වෙනත් පූර්ව කියැවීම් අවැසි යැයි නොසිතමි. මේ සියලු වේදයන් මා කම්පනය කළ ඒවාය. එක්කෝ මගේ නැතහොත් තව කාගේ හෝ හුස්ම ය. ''

අනුරාධා තම කවි‍යේ ආත්මය හදුන්වා දෙන්නේ එලෙසිනි. 



'' එක් අතකින් ඇගේ කවිය කස පහරක් වැනිව රිදුම් දෙයි. තවත් අතකින් එම රිදුම්, තැළුම්, පෙළුම් නිවන ස්නේහී ඖෂධයක් වෙයි...''

පසුවදනෙහි ලා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් අනුරාධාගේ කවිය අරුත් දක්වන්නේ එලෙසිනි.

යුග ස්ත්‍රී පිළිබදව සොයා අන්තර්ජාලයේ සැරිසරන විට මෙම සබැදි හමු විය. වැඩි දුර තොරතුරු අවැසි නම් කියවා බලන්නැයි ඉල්ලමි. කවි කිහිපයක් ගැන හෝ මගේ අදහස් ලියා තබන්නට බැරි තරමට සිතට වෙහෙසය. ''මේ මම ආදරය කරන කවි එකතුවක්'' බව ලියා තබන්නට කැමැත්තෙමි. 


http://www.silumina.lk/punkalasa/20120325/_art.asp?fn=ar12032510
http://www.dinamina.lk/2011/03/16/_art.asp?fn=f1103162&p=1
http://www.divaina.com/2011/08/04/sarasavi%204.html
http://www.divaina.com/2012/02/09/sarasavi%205.html
 


7 comments:

  1. කවි ගැන නම් එච්චර දැනීමක් නෑ...
    නමුත් ඇයගේ ගමනට සුභ පතනව...


    ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබ සැමටත් සුබ අළුත් අවුරුද්දක් වේවා... අවුරුදු නිවාඩුවෙන් පස්සෙ හමුවෙමු..

      ස්තුතියි යසිත්... අනුරාධා ඉන්පස්සෙ කවි පොතක් කළාද දන්නෙ නැහැ.... ඒ ගැන හොයා බලන්න ඕන...

      Delete
  2. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
  3. බොහොම ස්තූතියි පොත්පත් ගැන තොරතුරු බෙදා ගැනීම ගැන. මෙහෙම කියවන්න ලැබෙන දේ අනුව තමයි මම මීළඟට ලංකාවෙන් ගෙන්වාගන්නා පොත්පත් තීරණය කරන්නෙ.

    ඔබටත් පවුලේ සියලු දෙනාටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබ පැතුම් එක් කළ හැමටම...

      Delete
  4. කියවන්නට අපූරු පොතක් වගේ..ස්තුතියි තරූට මේ බෙදාගැනීම ගැන...

    ReplyDelete
  5. අවාසනාවකට මේ රටේ කවිපොත් ලියන තරමට කියවන්න කවුරුත් නෑ.ඒත් මෙවන් කිවිඳියන්ගේ කවිපොත් නොකියවා කොහොමද

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...