Tuesday, April 2, 2013

තාත්තලාටම ඇයි හෘදයාබාධ




මං පුංචි කාලෙ ඉ‍‍ගෙන ගත්ත, නොමැකෙන්නම හිතට කා වැදුණු කාරණාවක් මේ.. 

ළ.ක්‍රි.වී. යෙ ( ළමා ක්‍රියාකාරී වීරයෝ ) වසරක තේමාවක් තියෙනවා ''සලකමු මව්පිය බැතියෙන් සැමදා'' කියල. පුංචි කාලෙ මේ තේමාව ක්‍රියාත්මක වුණ අවුරුද්දක තාත්තලගෙ ආදරය ගැන කියා දුන්න පියතුමෙක් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්...

'' ඇයි වැඩිපුර තාත්තල හාට් ඇටෑක්වලින් මැරෙන්නෙ..?''

''අම්මලට හාට් ඇටෑක් හැදෙනව අඩුයි... හාට් ඇටෑක් නැත්නම් හෘදයාබාධවලින්, පපුවෙ අමාරුවලින් වැඩිපුරම මිය යන්නෙ තාත්තල...'' 

අපි පුංචියි... හාට් ඇටෑක් කියන වචනෙ ගැනවත් තේරුමක් තිබුණෙ නැහැ.. ඒ හින්ද දෙන්න උත්තරයක් හිතට ආවෙත් නැහැ... 

''තාත්තල ගොඩක් මහන්සි වෙලා වැඩ කරන හින්ද?'' එක් ළමයෙක් කිව්වා මතකයි...

'' අම්මල හිතේ දුක, කේන්තිය කෑ ගහල අඬල දොඩල පිට කර ගන්නවා... ඒත් තාත්තල හැමදේම හිතේ හිර කරගෙන තනියම විඳවනවා... දරුවො උණත් වැඩිපුර ආදරේ අම්මට, ළං වෙන්නෙ අම්මට, හැමදේම කියන්නෙ අම්මට... ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙත් අම්මට.. 

ගොඩක් වෙලාවට තාත්තා දරුවන්ගෙන් ඈතයි... තාත්තව අපි දකින්නෙ සැරපරුෂ කෙනෙක් විදියට.. ඉතින් පවුල ඇතුලෙ තාත්ත තනිවෙනවා.. තනියම ගොඩක් දේවල් දරා ගන්නවා.. ඒ පීඩනය දවසක පිපිරෙන්නේ හෘදයාබාධයක් විදියට වෙන්න පුළුවන්... ඉස්සර කියන්නෙ ළය පැලිල මැරුණා කියල... ළය පැලෙනව කියන්නෙ මේ විදියෙ මරණයකට තමයි... 

තාත්තට ළං වෙන්න.. තාත්තව තේරුම් ගන්න උත්සාහ කරන්න... තාත්තටත් දැනෙන්න ආදරය කරන්න... වැඩ ඇරිල ආවම ළගට ගිහින් කතා කරන්න. මහන්සිද අහන්න... තා‍ත්තේ ‍තේ එකක් හදල දෙන්නද අහන්න... තාත්ත එක්කත් කතා කරන්න... එයාටත් ඇහුම්කන් දෙන්න. තාත්තල අම්මල වගේ ආදරේ පිටට පෙන්නනව අඩුයි. ආදරේ තියෙන්නෙ හිත ඇතුළෙ. ''

තවත් බොහෝ දේ පියතුමා කියා දුන්නා මතකයි... තදින්ම හිතට වැදුණෙ තාත්තට ආදරේ කරන්න, තාත්තට ඇහුම්කන් දෙන්න, තාත්තව තේරුම් ගන්න කියපු කතාව..

හදිසියෙම මේ මතකය අළුත් වුණේ ඊයෙ හැන්දෑවෙ සිදු වුණ දෙයක් නිසා.. ළ.ක්‍රි.වී. කාර්යාලයේ වැඩ කරන නංගියෙකුගේ තාත්තා හදිසියෙම නැති උණා.. වැඩ ඇරිල කෝච්චියට දුවන අතරෙ මේ පණිවිඩය ලැබුණම මං හිතුවෙ අප්‍රේල් පළමුවෙනිදා රැවටීමක් කියල.. ඒත් කතාව ඇත්ත කියල දැණුනම මමත් ආපහු හැරිල ඉස්පිරිතාලෙටම ගියා...

ලංකාව හතරවටේ ළ.ක්‍රි.වී. පවුලේ බොහෝ පියවරුන්ගෙ අවමංගල්‍යයන්ට සහභාගි වෙලා තිබුණ උණත් මේ මරණය හිතට දැනෙන්න බලපෑව කාරණා කිහිපයක්ම තියෙනවා... 

පාස්කු නිවාඩුවට පස්සෙ බලංගොඩ ඉදල දුව ඇරලවන්න ආව තාත්තා ළ.ක්‍රි.වී. කාර්යාලය ඇතුළෙදිමයි අවසන් හුස්ම පොද පිට කරල තියෙන්නෙ... මේ පළමු වතාව අපි එවැනි අත්දැකීමකට මුහුණ දුන්න. 

අනික දූලා හතර දෙනෙක්ගෙ තාත්තා කෙනෙක්අවුරුදු 53 දි මේ නොඑන ගමන් යන්නෙ.. එක දුවෙක් විතරයි විවාහක. මරණය දැන ගත්ත ගමන් මගේ හිතට ආවෙ කෙල්ලො තුන්දෙනා... මොන දේ උණත් ජීවිතේට මුහුණ දෙන්න ඕන තමයි. නමුත් මුලදිම මේ තත්ත්වය බාර ගන්න එකම කොයි තරම් අමාරුද? 

ගල්ගැහිල වගේ කඳුලක්වත් හෙලන්නෙ නැතිව, කා එක්කවත් කතා නොකර ඉස්පිරිතාලෙ බිත්තියට වාරුවෙලා හිටිය ඒ තාත්තගෙ දෙවෙනි දූ දකිද්දි මටත් හිතා ගන්න බැරි උණා මොකද කරන්න ඕන කියල... 

ඒ තාත්තා දැනගෙන ඉඳල නැහැ.. තමන්ට හැදෙන්නෙ හෘදයාබාධයක් බව. එක් වතාවකුත් මේ වගේම පපුවෙ කැක්කුමක් හැදිල තිබුණත්බෙහෙත් බීල තියෙන්නෙ ගෑස්ට්‍රයිටීස් කියල. අසනීප ගණන් අරගෙනත් නැහැ.... 

නොදැනුවත්කමත්, ‍නොසැලකීමත් මේ වගේ ඉක්මන් සමුගැන්මකට හේතුවක් උණාද? 

ඒ වගේම දූල ගැන මොන තරම් බලාපොරොත්තු කන්දරාවක්, බරක් හිතේ තියෙන්නත් ඇද්ද? 

පිරිමි අයට වැඩි පුර හෘදයාබාධ ඇති වෙන එකට වෛද්‍ය විද්‍යාත්මකව බලපාන වෙනත් හේතු තියෙන්නත් පුළුවනි. ඒත් අතීතයේ දවසක පියතුමා කියා දුන් කාරණයත් බලපානව ඇති කියල මට හිතෙනවා... 

කොහොම උණත් ඒ කතාව මට මගේ තාත්තව තේරුම් ගන්න, ළං වෙන්න, ආදරේ කරන්න මග පෙන්නුවා... 

තාත්තලට තනි‍ වෙන්න නොදෙන්න අපි එයාලට ළං වෙන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන... 



24 comments:

  1. ලිපිය නං කියෙව්වා ඒත් මේකට උත්තරයක් කියන්නනං විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. නලින් දූල දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක්නෙ... අපේ තාත්තා දවසක් කිව්ව වාහනේ යන වෙලාවක සඳ තරු මල් ගීතය ඇහුණම එයා වාහනේ නවත්තල සිංදුව අහනවලු.. එදා මට හිතුණා තාත්ත මේ නොකියා කියන්නෙ දුවල ගැන හිතේ තියෙන මහමෙරක් තරං ආදරේ නේද කියල.. .

      Delete
  2. මේ ලිපිය නම් හරිම සංවේදී තරුරිසි ..තාත්ත කෙනෙක්ගේ
    දුක් වේදනාවන් පපුවේම හිර වෙනවා..මීට වඩා දේවල් නම්
    ගොඩක් තියෙනවා කියන්න ..තාත්තෙක්ගේ දුක ගැන පුළුවන්
    නම් මෙතනින්මෙතනින් බලන්න..හිතට එන දේත් කියන්න ආවොත් ...

    ReplyDelete
    Replies
    1. මම ඔබේ ලිපිය බැලුවා..එය හරිම සංවේදී ලිපියක්.. මගේ අදහසත් කියලම ආවා...

      Delete
  3. මේ ගැන කියන්ට යමක් හිතට එන්නේ නැති තරම්. අප්පච්චි මතක් වෙන හන්දා වෙන්ට ඇති.:(

    ReplyDelete
    Replies
    1. අර නංගිලා ටිකයි. අම්මයි නිසල වුණු තාත්තා වටේ ඉදන් විලාප දෙද්දි මටත් කියන්නෙ මොනාද කියල හිතා ගන්න බැරි හිස් ගතියක් දැණුනා...

      Delete
  4. ඇඩෙනවා :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජවරුත් අඩනවා එහෙනම්..

      Delete
  5. අද උදේ මම දුවව කොලේජ් එකට ඇරවල එද්දී දකුණු කකුලෙ දනහිස ට පහලින් මස් ගොබයේ තැනක ඉදිකට්ටකින් අනිනව වගේ වේදනාවක් වරින් වර දැනුන.මම අහල තිබුන හාර්ට් ඇටෑක් එකක් එද්දී ශරීරයේ ඒ වගේ සියුම් රිදීම් එනව කියල.මේ ගැන කාගෙන් හරි අහන්න ඕන කියල හිත හිත ආවෙ.පැය 1/2ට විතර පස්සෙ අර වේදනාව නැතිව ගියා.දවල් කෑම කන වෙලාවෙ මේ ලිපිය දැක්කෙ.පුදුම දුකක් දැනුනෙ.
    මගේ බිරින්දෑ නම් අක්කව/මල්ලිව [17/10+]නිතරම දැනුවත් කරනව අපේ ජීවිතවල අස්ථිර භාවය.අප නැති වුවත් ජිවත් විය යුතු ආකාරය කියා දෙනව.කොහොමත් අපේ කාලේ වාගෙ දෙමාපිය/දරුවෝ දුරස්ථභාවය විසි කරල,දෙමාපිය/දරුවො මිත්‍රශීලි භාවයක් ඇති වුනොත් ඉතාම ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. හාර්ට් ඇටෑක් වලදී එන්නෙත් ඔහොම රිදීමක් තමයි
      කෙන්ජි..ඒ උනාට ඒක දැනෙන්නේ පපුව පෙනහළු ආශ්‍රිතව..
      ඔයාට උදේ වෙලා තියෙන දේයි හාර්ට් ඇටෑක් වලයි සම්බන්දයක්
      නැහැ..ඒ උනත් පොඩි චෙකප් එකකට යන්න.

      Delete
    2. දෙමව්පියන් දූ දරුවන් මිත්රරශීලී වීම නම් හරිම වටිනවා... මමත් හරිම වාසනාවන්තයි ඒ ව‍ගේ ආදරණීය පවුලක ආදරය ලබන්න..

      Delete
  6. තරුගෙ ලිපිය අද උදේ පාන්දරම නෙතට කඳුලක් ගෙනාවා . ඒ මගේ පියා සිහිපත් උන නිසා . මේ වෙනකොට ඔහු ජීවතුන් අතර නෑ . තාත්තලා බොහෝ වෙලාවට හැගීම් හිත තුල තියාගෙන ඉන්නවා තමයි පිටට නොපෙන්වා . ඒත් මගේ පියා නිතරම සෑම දෙයක්ම මාත් එක්ක කතා කරන්න පුරුදුව සිටියා. ඒ නිසා ඔහුව තේරුම් ගන්න , ආදරෙන් සලකන්න මට පුලුවන් උනා . මම හිතන්නේ අම්මටටත් වඩා මම ඔහුව තේරුම් ගත්ත කියලා . පසු තැවීමක් ඇති වෙන්නෙ නෑ ඒ නිසා ඔහුට සලකන්න බැරි උනා කියලා .

    ReplyDelete
    Replies
    1. මම දවසකුත් ඔයාට කිව්ව වගේ ගිම්.. ඔයා තාත්තට සතුටු වෙන්න පුළුවන් ආඩම්බර වෙන්න පුළුවන් හොද දුවෙක්...

      Delete
  7. හැම තාත්තම දුක දරාගෙන හිනැහෙන නිසා වෙන්න ඇති මෙච්චර වැහැරෙන්නේ..
    සංවේදී සටහනක් තරූ..

    ReplyDelete
    Replies
    1. තාත්තලට ආදරය ලැබෙනව අඩුයි. අම්මලට සාපේක්ෂව...

      Delete
  8. ගොඩාක් පිරිමි එහෙමයි.. ලෝකෙට ඇහෙන්න අඬන්නෙ නෑ.. ඒත් හදවතින් අඬනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම... ඒ හදවතේ හැඩුම තේරුම් ගන්න පුළුවන් දූවරු, කාන්තාවො හරි අඩුයි...

      Delete
  9. පිය සෙනෙහස ගැයෙන මම කැමතිම ගීය මෙතන සඳහන් කරන්න හිතුනා. ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කරපු 'පූජා' චිත්‍රපටයේ තමයි මේ ගීතය එන්නේ. ගායනය - පණ්ඩිත් අමරදේව, රචනය - ධර්මසිරි ගමගේ, සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    චිත්‍රපටියේ ජෝ, කලං, සොමී, දයා අල්විස් රඟපාන දර්ශනත් එක්කම මෙතනින් සිංදුව අහන්න. මේ ගීතයේ දර්ශනත් එක්ක තරූගෙ පෝස්ට් එකේ අදහස අගේට ගැලපෙනවා කියලා මට හිතුනා.

    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදුබව ලබනා පියවරු වෙසෙනා
    පූජා..... පූජා වේවා...

    මහමෙර වැනි බර සිතින් උහුලනා
    කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදුබව ලබනා පියවරු වෙසෙනා
    පූජා..... පූජා වේවා...

    මව් ඇති දාටත් සෙනෙහස පුදනා
    මව් නැති දාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදුබව ලබනා පියවරු වෙසෙනා
    පූජා..... පූජා වේවා...

    ReplyDelete
    Replies
    1. ඊයෙ ඒ තාත්තගෙ අවසන් කටයුතු ඉවර වෙලා එද්දි රෑ 12 යි... බලංගොඩ තිබුණෙ... අදයි අන්තර්ජාලය පැත්ත බලන්නවත් ලැබුණේ... ස්තුතියි තාත්තල ගැන කතාබහට එක් වුණ හැමදෙනාටම

      Delete
    2. ලස්සන ගීතයක්.. තිසර මේ චිත්රතපටයෙ නේද ජෝ අලුගෝසුවකුගේ චරිතය රග පාන්නේ...

      Delete
    3. ඔව්, ජෝට සිද්ධවෙනවා තමන්ගෙම පුතාව පෝරකයට නග්ගන්න.. ඒක දරා ගන්න බැරුව ජෝ එතනම පපුවේ අමාරුවක් හැදිලා මැරෙනවා.

      http://www.youtube.com/watch?v=jA3XfXdZx8I

      Delete
  10. තරූගෙ කතාවට එකගයි. බොහොමයක් පිරිමි මියයන්නේ හෘදයාබාධවලින්. එකක් පිරිම්යෙක් නිසා දරාගැනීමේ හැකියා තියෙන විට මේක වෙන්නෙ නහැ. ඒත් යම්කිසි කම්පනයක් ඇති වුනාම ඇතිවන රුධිර පීඩනය මේතත්වයට හේතුවෙනවා කියලයි මට හිතෙන්නෙ.

    වෛදයවරු නිරන්තයෙන් කියන එක් දෙයක් තමයි මෙවැනි ලෙඩක් මතුවුණාම "ගෑස්ට්‍රයිටීස්" කියල තාවකාලික ප්‍රතිකර්ම කරන්න එපා කියන එක.

    මෙනව කරන්නද ඒ දරුවන්ට වගේම අපටත් කණගාටුයි

    ReplyDelete
  11. ඒ සිද්දිය මටත් අහන්න ලැබුනා. මං එතකොට ගාල්ලෙ එන්නවත් විදිහක් තිබුනෙ නැහැ.

    ඔයා කියන දේ ඇත්ත අක්කෙ ඔය කාරනේ මටත් ගොඩාක් දැනුන දෙයක් දේශනයකට ගියත් ආදරේ ගැන, දෙමව්පියන්ගැන කතාකරද්දි මමත් ටිකක් වැඩිපුර තාත්ත ගැන කතාකරන්නෙ ඒ නිසා.

    මේ ලගදි හිදිසියේම මට දේශනයකට ආරාධනාවක් ලැබිල ගියා. දේශනේ අතරතුර හරි සංවේදී දෙයක් උනා, අම්ම ගැන කතාකරන වෙලේ හරි හරියට උත්තතර දුන්නු කතා කරපු නංගියෙක් තාත්ත ගැන කතාකරද්දි හරිම නිශ්ශබ්දයි. ඇස් දෙකේ කදුළු පුරෝගෙන හිටියෙ. එවෙලේ ඒක හිතට දැනුනත් ඊට පස්සෙ ඒක එහෙම්මම අමතක වෙලා ගියා. දේශනෙ ඉවර වෙලා මං ආපහු එන්න හදද්දි මේ පුංචි කෙල්ල මං ලගට ආව. එයාගෙ තාත්ත නැතිලු එයාලව දාලා ගිහින්ලු ඉතින් කොහොමද තාත්තට ආදරේ කරන්නෙ කියලා මගෙන් අහනවා. ආපහු ගමන ටිකක් පාමා කරල මං ඒ කෙල්ලගෙ හිතට කතා කරා දාල ගියත් ඒ ඔයාගෙ තත්තනෙ කියන දේ පහදල දෙන්න මට සෑහෙන වෙලාවක් ගත උනත් හිතක් හදන්න පුලුවන් වෙච්ච එක ගැන හරි සතුටක් දැනුනා

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...