පිටු

Tuesday, July 2, 2013

පුණ්‍යානුමෝදනා





මගේ කාර්යාලීය මිතුරියක දෙවැනි වර මවක වූයේ පසුගිය ඇහැල මහේදීය. මව අධිරුධිර පීඩනයෙන් ‍පෙළෙන්නට වූ බැවින් මාස හත සපිරෙන්නටත් පෙර නොකල්හිම ගැබ පීරා මෙලොවට කැඳවූ දියණිය ජීවිතය දිනන්නට තරම් වාසනාවන්ත වූයේ ද සොයිසා කාන්තා රෝහලේ නිශානි ලූකස් වෛද්‍යවරිය සහ අනෙකුත් වෛද්‍යවරුන්ගේද, හෙදි සොයුරියන්ගේද, කාර්ය මණ්ඩලයේද අප්‍රමාණ කැපකිරීම් සහ සොයා බැලීම් මැදය.  

දියණියට වසරක් පිරෙන්නට ආසන්න‍ වන මේ මොහොතේ රෝහල් කාර්ය මණ්ඩලයට තුති පුදන්නට කවි පෙළක් ලියා දෙන්න යැයි ඇය මවෙතින් ඉල්ලීමක් කළාය. පහත දැක්වෙන්නේ මවිසින් ඇමිණූ පද පෙළයි. එය  කියවා ඇ‍ගේ ඇස්වලින් ගලා ගිය කඳුළු ගඟ දූ ඉපදෙන්නට රෝහලේ සිටියදීත්, දූ ඉපදුණු පසුව මාස තුනක් පමණ රෝහලේ සිටියදී ත්, ඉන් අනතුරුව ඇය අසනීප වන සෑම මොහොතකමත් ගලා ගිය කඳුළු ග‍ෙඟ්ම දිගුවක් නොවේද? මට සිතිණි.

කිරිකැටි සිහින සැබෑ කර දෙන්නට දිව රෑ නොතකා වෙහෙසෙන වෙද හෙද පරපුරේ සැමට උපහාරයක් ලෙස  මෙය ලියා තබමි.

සුවහසක් සිහින පොදි මැද
සුපිපුණු කිරිකැටි සිහිනය
සිඟිති මල් කැකුලක්ව
මෙලොවට වැඩිය දින
නොකල්හිම ගිළිහී යාද
සන්තානයම ගිනිගත් මොහොතක....

අත්තටු බිඳුණු පැතුමට
ජීවන හුස්ම පිඹිමින්
අපමණ සෙනෙහසින්
දිව රෑ නොතකමින්
ඇය මලක් සේ පුබුදු කළ..
ද සොයිසා කාන්තා රෝහලේ
නිශානි ලුකස් වෙදැදුරුතුමිය ඇතුළු වෛද්‍යතුමනි,
මෙත් සිතැති හෙදි සොයුරියනි,
කාර්යමණ්ඩලයේ සියල්ලෙනි,

ඔබේ ළෙංගතුකමට
අපමණ කැපකිරීමට
බැතිමල් පුදන්නට
වදන් සවිමත් වේද කොයි ලෙස....

වීනු තිලංසා දියණිය සමග
ගෙවෙන ජීවිත වන්දනාවේ
සිනා මල් පිපෙන
සෑම මොහොතක් පාසාම
පුණ්‍යානුමෝදනා වේවා....
ඔබට.... ඔබ සැමට....

සාහිත්‍යයෙහි කෙළ පැමිණියෙකුට මිස අන් කෙනෙකුට නොතේරෙනු ඇතැයි මිතුරියගේ ගෙදර එක්කෙනා පැවසූ බැවින් මෙය ඉතාම සරල වාක්‍යාංශ කිහිපයක් බවට පත් කර දුන්නද මා සිත් ගත්තේ මුලින්ම අකුරු ඇමිණූ ඉහත පදපෙළයි.

26 comments:

  1. අපරාදේ වෙනස් කළේ...කෙසේ වෙතත් ඒ වගේ උතුම් මිනිසුන් අප අතර සිටීම වාසනාවක්....

    ReplyDelete
    Replies
    1. තවමත් වැඩේ නිමි නැහැ.. බලමුකෝ....

      ඇත්තටම එවැනි උතුම් මිනිසුන් ඉන්නවා වෙද හෙද සේවයේ.. ඒ අය කැපී පේන‍්නෙ නැහැ...

      Delete
  2. අද නම් මොනා කියන්නද මන්දා..
    චූටි දෝණිට සුබ උපන්දියක් වේවා කියන්නම්...

    ReplyDelete
    Replies
    1. චූටි ‍දෝණිගේ උපන්දිනේ ජූලි 26...

      අම්මයි තාත්තයි දැන් ඉදන්ම ලෑස්ති වෙනවා දෙවෙනි වර දූට ජීවිතය දුන්න නෑසියන් බැහැ දකින්න එදිනට ද සොයිසා කාන්තා රෝහලට යන්න.....

      Delete
  3. ඒ වගේ වෛද්‍යවරු හෑ හෙදියොත් මේ වගේ කලගුණ දන්නා දෙමව්පියනුත් වාසනාවන්..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.... නොමේරු දරු සිගිත්තෙක් රැක ගන්න ලොකු කැපකිරීමක් කරනවලු ඒ අය...

      හැබැයි ඒ බව මතක තියෙන, අගයන දෙමව්පියො නම් හරි අඩුයිලු.. බොහෝ දෙනෙක් හිතන්නෙ එයාලගෙ රස්සාව, ඒකට පඩි ගෙවනවා කියලනේ...

      මේ කළගුණ සැලකීමත් හරි වටිනවා...

      Delete
  4. අය්යෝ... මේක කියවන්න සාහිත්‍යයේ කෙලපැමිණෙන්න ඕනද තරු.. මේ මමත් හොදටම රසවින්දේ..

    ReplyDelete
    Replies
    1. මං වටේ ඉන්න අනිත් යාළුවොත් දැන් මං දෙන කවි පොත් කියවල කවිය ගැන යමක් කමක් දන්නවා.. එයාලත් කීවෙ ඒ මේ කවි පෙළ තේරුම් ගන්න අමාරු නැහැ කියල.... කට්ටිය හිනා වුණා අපිට තේරෙන්නෙ දැන් එහෙනම් අපි සාහිත්‍යයෙහි කෙළ පැමිණිලා ඇති කියල...

      නාලක අයියා අදහස් කළේ සරලව සිද්ධිය ලියල, ස්තුති කරන්න කියන එක...

      Delete
  5. ගෙදර එක්කෙනාගේ සිත අවුල් වෙලා තියෙන්න ඇති ඒ වෙලාවේ.

    ReplyDelete
    Replies
    1. ගෙදර එක්කෙනාට ඕන උණේ රෝහලට එන යන අයටත් දැනෙන තේ‍රෙන විදියට සරලව ස්තුතිය පුද කරන්න.... ඒකත් හොදයි....

      කවියත් එක්ක තාත්තයි, ආච්චිලයි බොහොම සංවේදී වුණාලු... අවුරුද්දක දුෂ්කර ක්‍රියාවක් දරුවා වෙනුවෙන් මේ හැමෝම කළා...


      Delete
  6. ලංකාවෙ හෙද සේවය, දොස්තර වරුන්ගෙ ක්‍රියා කලාපය ගැන නිතරම අහන්න ලැබෙන්නෙ සතුටු දායක පුවත් නෙවේ. ඒ අතරෙ මේ වගේ සේවයන් ඇගයීම අපෙන් සිදු වෙන්න ඕන දෙයක්.මටත් අර කවි තේරුම් ගන්න නං අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ‍දෙයක් ‍වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු කියල හුණුවට‍යේ කතාව නාට්‍යයෙත් කියන්‍නෙ. ඇත්තටම ‍මේ ස්තුතිය ඔවුන්ට හිමි විය යුතුමයි...

      Delete
  7. ඉහත පැදි පෙළ අගෙයිනේ. ගෙදර එක්කෙනාට නොතේරුණේ මන්ද? දියණියටත් ඔබේ යෙහෙළියටත් වාසනාවන්ත අනාගතයක් වේවා.

    ReplyDelete
    Replies
    1. ‍ගෙදර එක්‍කෙනාට ‍නො‍තේ‍රෙනව ‍නෙ‍වෙයි...නලින්... එයා ‍හොද පාඨක‍යෙක්... රසික‍යෙක්.... එයා හිතු‍වෙ රෝහලට යන එන අයට ‍සාමාන්‍ය ජනතාවට නො‍තේ‍රේවි කියන එකයි..

      ස්තුතියි සුබ පැතුමට... අනිවාර්ය‍යෙන්ම ‍මේ සුබ පැතුම් ම‍‍‍ගෙ යාළුවත් දකිනවා...

      Delete
  8. මේ වගේ මිනිස්සු තාමත් ඉන්නවා කියන එකම සතුටක්.. කවි පෙල ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. වෙද හෙද පරපුරේ යහපත් මිනිස්සු ඉන්නවා අප්‍රමාණව... නමත් මතුවෙන්නෙ නැහැ....

      Delete
  9. ගෙදර එක්කෙනා කිව්ව එක හරි.එතනට විවිද අය එන නිසා තේරුම් ගන්න ලෙහෙසිම විදියට.
    සරල වුවද ගුණාත්මක අතින් ඉතාමත් ඉහලයි පද පෙළවල් සියල්ල.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා අපි මේ වැඩේ තව ටිකක් සරල කළා.... නිර්මාණයක් විදියට මං මේකට කැමතියි... නමුත් අවශ්‍යතාවය වෙනම එකක් නේ...

      Delete
  10. අපිට බොහෝ වෙලාවට මතුවෙලා පෙනෙන්නේ දොස්තරලාගේ වැරදි විතරයි. ලෙඩකට, දුකකට, මේ වගේ අවස්ථාවකට තමන්ම මුහුණ දුන්නහම තමයි ඔවුන්ගේ අගය වැඩියෙන්ම දැනෙන්නේ. ඉතිං ගල්මුල් ම නිතර එල්ලවෙන ඔවුන්ටත්, හිතට සතුටක්, දිරියක් ගෙනේවි මේ කවි පෙළ.

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය වුණත් වැඩි වැඩියෙන් වැරදිම කතා කරද්දි වැරදි දැක්මක් ඉබේම හැදෙනවා.... මං හිතන්නෙ අපි ඒ රටාව වෙනස් කරන්න ඕන... මනුෂ්‍යත්වය බැබළෙන අවස්ථා ගැනත් කතා කරන්න ඕන...

      Delete
  11. හරිම ලස්සනයි.
    වෙනස් නොකළත් මේකෙන් එන තේරුම ඕන කෙනෙක්ට හිතා ගන්න පුලුවන් මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් ඒ කවි පෙළම තමයි තිළිණයට දෙන්නෙත්

      Delete
  12. කවි පෙළ ඇත්තට ම තේරුම් ගන්න පුළුවන් සරල එකක්. හ්ම්ම්, මම නං රස වින්දා හොඳින්.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් සතුටුයි මටත්...

      Delete
  13. ඔබේ කවිය රෝගී දෑස් සුවපත් කරන ඔවුන්ට මල්දමක් වේවා...

    ReplyDelete
    Replies
    1. වෙද පරපුරේ නුගුණ වැඩියෙන් කතා වෙන මේ වගේ කාලෙක මෙවැනි වෛදවරුන් ගැන අහන්න ලැබීමත් වාසනාවක් අයියේ...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...