Tuesday, July 16, 2013

ජීවිතයෙන් දවසක්...






'' ටොරිංටන් බහින්න.. ටොරිංටන් බහින්න..'' උදෑසන බවවත් නොසලකා කොන්දොස්තර කරච්චල් කාක්කකු ‍සේ කෑ ගසයි. 

නිදහස් චතුරස්‍ර මාවතේ දී මම බසයෙන් බැස ගනිමි. අරුණැල්ල හෙමි හෙමින් අඩි තියා පැමිණියද උදෑසන තවමත් සිහිලැල්ය. තාප්ප වැටකඩුළු අහිමිව නිරුවත් වූ කුරුඳුවත්ත පොලිසියේ ධවලවර්ණ සිනහව එක්වරම නෙතට හසු වේ. සුවිසල් සොහොන්ගැබක් සිහි ගන්වන ඒ දසුනින් නෙත් මුදා ගනිමි.

නිදහස් මාවතේ නිද‍හසේ පා‍ වෙමි. පා පැදියෙන් සරඹ දක්වන ‍පොඩි උන්ට ඉඩ දී පා පැදි මං තී‍රුවෙන් අච්චුගත කළ කොන්ක්‍රීට් කැට මතට පිවිසෙමි. සීමා මායිම් නැති තණ නිල්ල නෙතට සඳුන් සිසිල අතුරමින් හිඳියි. තාප්ප, වැට කඩුළු, මායිම් බිඳුණු අවකාශය සිහිලෙන් නහවමින්, තුරු ලිය ළා දළු සමග කෝලිත්තම් පාමින් මඳ සුළං රැළි හමා එයි. නිදහසේ සරන්නට සුළඟට ඇති හිමිකම  අපට කොයින්ද? සුළග වුවද චරපුරුෂ සේවයක නොයෙදෙන්නේ යැයි කාට නම් කිව හැකිද?

අසිරිමත් තණ බිස්සේ හිතුවක්කාර ගහකොළ මුදා හළ වියළි කේන්තිය රැස් කරමින් හිඳින ළාබාල රණ විරු‍වෙක් නොදැමුණු හිනාවක් පිරිනමයි. 

නිදහස් චතුරස්‍රය ඈතින් දිස් වේ. චතුරස්‍රයක නිදහස යනු හුදු වදනක්ම පමණක් නොවේදැයි සිත කොඳුරයි. මම ජාතික පුස්තකාලය දෙසට හැරෙමි. පා පැදි මං තී‍රුවේ චොපර් බයිසිකලයක නැගී එන්නේ කිළිටි කමිසයකින් සැරසුණු හීන්දෑරි කොලු පැට්ටෙකි. සිනාවෙන් පිපිරෙන්නට තරම් වන දෑසකි. සිනා පිරි මුවකි. අහිංසක වත මඩලකි. බයිසිකලය ඔහුගේම නම් කොතරම් අපූරුදැයි මට සිතේ. එවැනි බයිසිකලයක, මෙවැනි මං තීරුවක යාමට උරුමයක් ඇති බවක් බාහිර රූපයෙන් පළ නොවේ. එනිසාම ඒ සිඟිති සතුට මටද බෝ වෙන්නාක් වැනිය. 

 මුරකුටියේ හිඳ බලා සිටින වැඩිහිටි මුවගටද ඒ සිනහව බෝ වේ. තවමත් මෙලෙස හදවතින්ම සිනා සෙන්නට හැකි වීම කොතරම් අපූරුද? 

පුවත්පත් අංශයට නික්මෙමි. හුරුපුරුදු සුවඳක් සොයා ඉපැරණි පත්ඉරු අතර සැරිසරමි. ඒ අතර සුපුරුදු නම් ගම් ද හමු වේ. 

සොයුරු ‍ලේඛකයෙකුගේ මග හැරී ගිය කවි හිතක ඇස නතර  වේ.  

කවියක් නොවූ ආවේග පෙළක්

ගොළුබෙල්ලන් වෙමු අපි

කාගෙ හෝ පයකට

පෑගෙන තුරා පමණක්

ජීවත් වෙන



කිසිදාක

පණ පිටින් හමු නොවුණු

මිත්‍රයෙක් නිදයි පස් පිඩැලි යට



ජනේලෙන් එපිට

පුංචි කොල්ලෙක්

තාලයට කවියක් කියයි

උගේ පා යටත් බිම් බෝම්බයක්

කාටවත් ඒ ගැන වගක් නැති



දුම් වැටියක් මිලට ගන්නා මුදලින්

ටොපි හය හතක් හෝ චොකලට් පෙත්තක්

මිලට ගත හැකියි

එහෙත්

දුම්වැටි මිලට ගැනීමේ පුරුද්දෙන්

නොමිදෙමි.



ටොපි චොකලට් මිහිරියි

ජීවිතයට ඇලුම් උපදවයි

ගොළුබෙල්ලන් නම් අප

කාගෙ හෝ පයකට

පෑගෙන තුරා පමණක් ජීවත් වෙන

ටොපි චොකලට් කුමට?



සාදුකට කැඳ ඉල්ලන

දරුවන්ට

මුදලාලිලා

පතුරොම් නොමිළයේ දෙති.



යුධ පුවත් තලුමරා අවසන

මිනිස්සු

දොර වසාගෙන

නිදියහන් වැද

කකුල් පටලවා ගනිති.



හැම පෑනක්ම

වඳ ගැහැණියක් වැන්න

කවි ලියන මගේ මිතුරන්ට

පුංචි ආරාධනාවක් කරන්නට හිතාගෙන ඉමි.



හැම සාක්කුවකම

පෑනක් නොවෙයි

පිස්තෝලයක්

රුවා ගත යුතුයි

අනුන්ට වෙඩි තබන්නට

නොහැකි නම්

පිස්තෝ‍ලයේ තොල්වල පහස

තම තමුන්ගේ

කන්මුලට තබා විඳ ගත යුතුයි.

අනුර කේ. එදිරිසූරිය
2002.01.27 රාවය මංජරිය

හෘද සාක්ෂිය ප්‍රශ්න කරන තවත් කවියක් ඇස් කොනිත්තයි. මෙ’කව එදාට මෙන්ම අදටත් වලංගු නොවේද?

යාපනේ අඹ

දකුණුලකෙන් පේවීගෙන

නාගදීපෙට වන්දනාවේ එන

මහත්වරුනි, ගන්න මේ අඹ

ගන්න, නෝනාවරුනි මේ අඹ



කර්තකොලොම්බම් මේ අඹ

ලැබුණේ නැති කොළොම් තොටට

ගන්න, මහතුනි මේ අඹ සැක හැර

නීරස නොවෙයි සහතිකයි. මේ අඹ

යාපනේ අපේ ජීවිතය තරමට



අනේ මහතුනේ මේ අඹගස් යට

අපේ ලේ කඳුළු සේසත යට වී ඇත.

පලා ආ විට ප්‍රාණය අතට ගෙන

අනේ, අපිට සෙවණ දුන‍්නේ මේ අඹ ගස්ය.



කපා දෙන්නං පළුවක්

රස බලන්නට මහතුන්ට

කකා යන්න, එපා සල්ලි

අනේ අපිටත් දෙන්න මහත්වරුනි

ජීවිතය ටිකක් හුස්ම ගන්න......


සාමිනාදන් විමල්
2002.08.25 රාවය මංජරිය

එදවස රාවය අදට වඩා පිරිපුන් යැයි මට සිතේ. සාහිත කලා ඇසුරටම වෙන් වූ මංජරිය  හරබර රස ගුලාවකි. මකරන්දය කවි රොනින් බරය. අද මකරන්දයෙහි රොන් සිඳී ගිය ලෙසකි. අතීතයේ රාවය අතපත් සැණින් පෙරළා බලන්නේ කවි තීරුවය. දැන් එය දෙවෙනි තු‍න්වෙනි තැනට වැටී, මකරන්දයෙන් ඇස මගහැරී යන අවස්ථා වැඩි වෙමින් පවතී. 

අතීත මුද්‍රිත අකුරු අතර සොඳුරු සැරිසර නිමවා මම ජාතික පුස්තකා‍ලයෙන් පිටවෙමි. 

නිදහස් චතුරස්‍ර මාවතේ සිට, නෙළුම් නොපිපෙන නෙළුම් පොකුණ අද්දරින් වැට කඩොළු බිඳ අත පය දිගැර හිරි අරින විහාර මහාදේවිය පසු කරමින් මරදාන දෙව් මැදුර දක්වා පා ගමනින් ඇවිද එමි. භෞතිකව බිඳ දමන සීමා මායිම්,  පවුරු පදනම්, වැට කඩුළු ඊට වඩා සියදහස් ගුණයක් දැඩිව නැගී හිඳිමින් අධ්‍යාත්මික, මානසික සිර කඳවුරු ඉදි නොකරන්නේද? 

ළ.ක්‍රි.වි. පියසෙදිත්, කන්‍යාරාමයෙදිත් සොයුරු සිත් මුණ ගැසෙමි. අපමණ ආදරයක සිසිලස විඳිමි.

මරදාන මරිය කඩේ මග හැර යාම පහසු මුත් පොත්කඩ මග හැර යා නො‍හැකිය. පොත් අතරේ නෙත් අතරමං වේ. නමුදු පසුම්බිය කරබාගෙනම හිඳියි. මාසික පඩිපත ලැබෙන දිනය ගැන සිහි කැඳවයි. පොත් අත ගා බලා ආපසු හැරී එමි. 

දුම්රිය ලැසි ගමනකය. සිත අතීත කතාබහක මතක සුවඳ අවුස්සමින් හිඳියි. විටක සිතුවිලි දුකින් බර වේ. තවත් විටෙක සිත පොපියා සිනහවක් මුව මත නළියයි. මම වටපිට බලා වත මත පිපි සිනහව සිත මත සතපා හුරතල් කරමි. 

සැඳෑ අඳුරට පෙර නිසංසලේ... නවාතැනේ ගිමන් නිවේ.

දුරකථනය නද දෙයි. ඒ ඔබ යි.

ප්‍රශ්නාර්ථ, විස්මයාර්ථ, කොමා මිස නැවතුම් තිතක් දකින්නට රිසි නැති දෙහෝරාවකුත් හරි අඩක් වූ හෘද සංවාදය අ‍තරේ දවස වියපත් වෙමින් තිබේ. කඳුළු.. සුසුම්.. රිදුම්.... සිනාවන්.. අතර අපමණ අපේක්ෂා, අභියෝග ඔබේ වදන් අතරින් ගලා විත් හදවත සිඹියි. 

ඔබේ ඇස් නොදකිමි. සිත ම දකිමි. ඔබේ වත නොදකිමි. සිත මත පොපියන බලාපොරොත්තුවේ පහන් එළි ම දකිමි. 

ඔබේ හදවත ‍මගේ ජීවිතයේ සදාකාලික නවාතැන්පළ විය යුතු නැති බව ඉඳුරාම පවසන ඔබේ ප්‍රේමණීය හදවතම විනිවිදිමි. 

ඉදින් මේ අතිශය සුන්දර, පිරිපුන් දවසක් නොවේ යැයි කාට නම් කිව හැකි ද?

මම සැනසිල්ලේ දෙනෙත් පියා ගනිමි.

2013.07.13

10 comments:

  1. අර ප්‍රේමනීය හදවත තියෙන්නේ දුරු රටක වෙන්නැති කියලා මට හිතෙනවා...
    ඒක නෙමෙයි..මොකක්ද අර අන්තිමට දාල තියෙන දිනය ? අද 16 වෙනිදනේ?

    ReplyDelete
    Replies
    1. ඒක වැරදීමක්.... මට දින පටළැවිලා... මම මේ සටහන ලිව්වෙ 13 වෙනි සෙනසුරාදා... ස්තුතියි සුභා පෙන්නා දුන්නට...

      Delete
  2. හිමිදිරි උදයක ලස්සන සැබෑව වින්දා වගේය...
    මේ ලියන විලාසය ගොඩාක් සිත් ගත්තා.

    ReplyDelete
  3. කවදත් වගේ මගේ හිත ඇදිලා යන ලියවිලි රටාවක්.... සැහැල්ලුවක් දැනුනා.

    ReplyDelete
  4. අපූරු රටාවක්...ඇත්තටම ගොඩක් ලස්සනයි..අද ඉස්සෙල්ලම බාරට මේ පැත්තට ගොඩවැදුනේ..සුභ පැතුම්...!

    ReplyDelete
  5. පසුගිය සිකුරාදා පදනම් ආයතනයේ නිරංජලා සරෝජිනියගේ සහ අබේගේ ගී තැටියක් නිකුත් වුණා .හරියටම 4 පටන් අරන් 6 ට අවසන් වු සැඳෑවක්. කාලෙකින් පසු හමුවු මිතුරකු සමග කතාබහක යෙදෙමින්රේස්කෝස් පිටිය සහ කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිට ජාතික පුස්තකාලය පසුපසින් ඇති පදික මංතීරු දිගේ සැඳෑ සක්මනක යෙදුනා මිත්‍රයා එක්ක. ඒවෙලාවේ මට දැනුනේ මෙන්න මේවගේ සිතුවිල්ලක්

    "නෙක උයන් වතු මැදින් හමා යයි
    නව මන්ද මාරුතේ.
    සොදුරු මේ අප පැතුම් සු‍පිපෙනා
    හිති මිතුරු වූ වසත් කාලයයි"

    ඇත්තටම ඒ ගීය වගේම එහෙම හැඟීමක් හිතට දැනුනා පාලු මංතීරු දිගේ ඇවිදිද්දි.

    ReplyDelete
  6. දවස ගෙවුන හැටි ලියවිල්ල නම් හරි අපූරුයි.
    ඔබට නම් අපූරු වෙන්න ඇත්තෙ පැය දෙක හමාරෙ ඇමතුම වෙන්ටැ :).

    ReplyDelete
  7. //ඔබේ හදවත ‍මගේ ජීවිතයේ සදාකාලික නවාතැන්පළ විය යුතු නැති බව ඉඳුරාම පවසන ඔබේ ප්‍රේමණීය හදවතම විනිවිදිමි. //

    බොහොම අගෙයි තරූ ලියවිල්ල. කවි වලටත් වඩා මගේ සිත්ගත්තේ මග වැනුම.

    ReplyDelete
  8. අපුරු ලියවිල්ලක්. මගේ නම් වැඩිපුරම සිත ගියේ මෙන්න මේතැනට....

    //ඔබේ ඇස් නොදකිමි. සිත ම දකිමි. ඔබේ වත නොදකිමි. සිත මත පොපියන බලාපොරොත්තුවේ පහන් එළි ම දකිමි.
    ඔබේ හදවත ‍මගේ ජීවිතයේ සදාකාලික නවාතැන්පළ විය යුතු නැති බව ඉඳුරාම පවසන ඔබේ ප්‍රේමණීය හදවතම විනිවිදිමි. //

    ReplyDelete
  9. සොඳුරු ලියවිල්ලක්....

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...