Sunday, October 13, 2013

සමනල පියාපතක පිනි බිඳුවක්...


පූර්විකාව

ඈත ආකාශයේ සරන සාඩම්බර රාජාලියකු අහස මෙතරම් සුවිසල් යැයි නිම් ඉම් නැති ගගන පුරා හිතුවක්කාරීව සැරිසරමින් මට ඔච්චම් කරමින් හිඳී. හිටිවනම පාත් වී හිස් මුදුනට සීරුවෙන් තුඩ තබා කොනිස්සයි. මොලය පෑදෙන පිණිස ලු. ඉස්පිල්ලක්, පාපිල්ලක් වෙනස් වුව ද කඳුලු පිරෙන ඇස් දෙකක් හිමි බව නොදැන නොවේ.

රිදවන්නට හෝ පළිගන්නට නොවන බව දනිමි. සෙනෙහසිනි.

කෝෂයෙන් මිදුණ සැණින් අරුණැල්ලෙ තටු පිරිමදින සමනලියක බව අමතක වීද? සුළං කෝඩයකටවත් අසු වී නැති සමනල පියාපත් ඉහිට පිනි වැස්සකින් තෙත් වුණා පමණි. එයම පිටාර ගලන කඳුළු ගක් කොටගෙන කාලයක් තටු හකුළාගෙන විස්සෝපයෙන් පසු වූයෙමි. ඔලමොට්ටලකමක හැටි!!!  ජීවිතේ විස්මිත සුන්දරත්වය ද ඒ ඔලමොට්ටලකම් ම ය.

ඉදින්, සමනල පියාපතක දැවටුණ පිනි බින්දුවක් ගැන ලියා තබමි. ඇහැකණ පියාගෙන සිටින්න යැයි රාජාලියාගෙන් කාරුණිකව ඉල්ලමි. ඈත අහසේ සරන්නට තරම් පියාපත් සවි වූ දිනෙක නිසැකව ම ඔබ සොයා එමි. සූදානම් ව සිටින්න.  අඩු නැතිව දැඩි දඬුවම් දෙන වඩු මඩුවකි මගේ හදවත. මඩු පල්ලියේවත් ඉතින් ඔබට සරණක් නම් නැත.  

මේ හාත්පස දැවටෙමින් කිචි බිචි ගාමින් නිරන්තරයෙන් කතන්දර අයදින ළාමක කිරිල්ලියන් වෙනුවෙනි.

............................


‘‘නංගා.. කොහෙද ඉන්නෙ...

‘‘ඔෆිස් එකේ...

‘‘දැන් ඕෆ් වෙනව නේද?

‘‘ඔව්... ”

‘‘මම හෙඩ් ක්වාටර්ස් ඉන්නෙ.. තව ටිකකින් කටුනායක යනවා.. ඔයාට මා එක්ක යන්න පුළුවන්...”

උත්තරා මොහොතක් කල්පනා කළාය. කල්ප කාලෙකට පසු ආ ඇමතුමකි. දුරකතන තිරයේ සටහන් වූ අංක දහයේ හුරුවට ආත්මයම තිගැස්සුණ බව සැබෑය.  ජීවිතයේ කලක් පණ දෙවැනි කොට පෙම් කළ මිනිසාය ඒ... ජීවිතයේ ලැබූ සුපිරිසිදුම, අව්‍යාජම ආදරයේ උල්පතය ඒ.... සත්‍යය එය විය නොහැකි වුවත් අදටත් උත්තරා එය අදහන්නීය. එය සත්‍යය ම වී නම් වලව් පෙලපතක කුලවන්ත දරුවන්ට මවක් වීමට ඉඩ තිබුණු බව සිහිපත් වන විට මුවගත් මද සිනාවකි. සිත පුරාමත් මද සිනාවකි. ඒ සරදමට ය. හිත් දෑළවරින් හැගුම් දෙගොඩතලා ගලනුයේ  වගවාසගම් විමසා නොවේ. කොතරම් කරුමයක් ද? ආයෙම සිහිනෙකින්වත් සිංහල බෞද්ධ කුල කුමරෙකු කෙරෙහි පෙමක් ඇති නොවේවා යැයි ඇය ඉත සිතින් පතන්නී ය.

කෙසේ නමුත් ඒ අතීතයේ දවසක... අතීතයෙන් ආ ළෙංගතු ඇමතුමකි.

‘‘ හා මං එන්නම්.... කොතනද ඉන්න ඕන...” දෙවරක් හිතන්නට අවැසි නැත.  ඇයට ඔහු විශ්වාස ය. ඒ අවසන් හමුවීමෙන් පසුව වසර ගණනක් ඉකුත් වී ඇතත් අදටත් ඒ විශ්වාසය බිඳී නැත.

‘‘ලේක්හවුස් එක ළග ඉන්න..”

‘‘ හා ”

ලේක්හවුසිය පාමුළ බෝගන්විලා මල් පඳුර අසල කල්පයක් බලා උන්නා සේ දැණුනු මුත් අඩ හෝරාවකට වඩා නොඉක්මිණි. ‘‘ආදරයේ පළමු පාඩම බලා හිඳීම ” සන්තියාගෝ නම් සැරිසරන්නා හිතේ පැලපදියම් කළ ආප්තෝපදේශයකි. ජීවිත කාලය පුරාමත් කළේ ඒ පළමු පාඩමේ නැවතී බලා හිඳීම වන බැවින් සන්තාපයක් හිතේ අහුමුල්ලක හෝ නොවූ බව සැබවි. පළමු පාඩමෙන් ඔබ්බට යන්නට තවමත් නොහැකි වූ බව ද සත්තකි. තනිමග රස්තියාදු ගැසීම නුහුරු කටයුත්තක් නොවුණත්, තනිවම මග කොණක නැවතී හිඳීම නුහුරුම කටයුත්තක් බැවින් උත්තරාගේ හිත තිබුණේ නොසන්සුන්ව ය.

හීන් සීරුවේ පාවී ආ පියාසර නිලදරු මෝටර් රථය දෙපා මුල ම නතර විය. උත්තරා පිටුපස අසුනට බර වූවාය. ඉදිරි අසුනේ උන් ඔහු ද රියෙන් බැස විත් පිටුපස ආසනයටම බර විය. සද්දන්ත කුලයේ හස්තිරාජයකු මෙනි.  නමුත් දිලිසෙන ඇස් දෙක අයිති අවිහිංසක ළමා වියකට ය. තරු දිලිහෙන නිලැති නිල ඇඳුම වෙනුවට සැහැල්ලු කමිසයකි. ඔහු හිස අසුන් ඇන්දේ රඳවා ගත්තේ දෑස් ඈ වෙත ම යොමු ව තිබිය දී ය. එහි දැවටී තිබුණේ මහා හිස් බවකි. හුදකලාවකි. තෙතමනයකි. ඔහු වමතින් නළල පිරිමැද ගත්තේ අසීමිත හිස කැක්කුමක විඩාව නෙතින් පළ කරමිනි.

‘‘ඇයි?” ඇය ඇසුවේ මුවින් නොවේ. දෙනෙතිනි.

කිසිවක් නොපවසාම ඔහු විදේශ ගමන් බලපත්‍රය සමග ගුවන් ප්‍රවේශ පත්‍රය ඈ අත තැබීය. උත්තරා හීන්සීරුවේ එය පෙරළා බැලුවාය.

‘‘අවුරුදු දෙකක පුහුණුවකට යන්නෙ... ඇමරිකාවට... ” ඇගේ වමත දැඩිව ග්‍රහණය කර ගත් සුරත උණුසුම්ය. ළෙංගතු ය.

‘‘ඇයි කළින් නොකිව්වෙ..” එවැනි පැනයක් අසන්නට නිල අයිතියක් නැති බව දැන දැනම රිදුණු හිත පිට පැන්නේය. ඇය හිස ඔසවා ඒ දෑසෙහි ඇලුණාය. ඇසින් ඇස උතුරා ගලා හැලුණේ සෙනෙහසම ය. හදවතේ හිමිකමක් තමන් සතු වුව ද, අන්සතු ශරීර කූඩුවක ඇස්වලින් පිට පනින ස්නේහ ගංගාවක කිමිදී මියැදී යන්නට උත්තරාට හිත හදා ගන්නට බැරි ය. ඈ ඉවත හැරුණේ එබැවිනි.

‘‘හදිසියෙ හැමදේම ලෑස්ති වුණේ... මං ඊයෙ හිගුරක්ගොඩ ඉඳල ආවෙ... ඔයාව මතක් වුණා.. කියන්න විවේකයක් තිබුණෙ නෑ... කොහොමටත් මං ඔයාට නොකියා ඒ තරං දුර ගමනක් යන්නෙ කොහොමද? ” නෙත කකියමින්, කොපුල් නලියමින් දුක පිටාර ගලන්නට සැරසෙනු උත්තරාට දැණිනි. වේගයෙන් ඇදී යන රථ කවුළුවෙන් එපිට සියල්ල බොඳ මීදුමකින් වැසී ඇතුවාක් මෙනි.  

‘‘සමහර විට මේ අපේ අවසන් හමුවීම වෙන්න පුළුවන්... ඒ හින්ද මට ඔයාව දැකලම මේ ගමන යන්න හිතුණා..”

සුසුමක් පාවී අවුදින් හිත මත පතිත වෙයි.

‘‘ මං එද්දි ඔයා බැඳල තියේවි.... බඳින්න.... අම්ම කෙනෙක් වෙන්න.... මිනිහ කවුරු උණත් කමක් නෑ.. ඔයා වගේ කෙනෙක් අම්ම කෙනෙක් වෙන්නම ඕන. එහෙම නැත්නම් ඔයා මේ ලෝකෙට කරන්නෙ අසාධාරණයක්..”

ඔහු නිතර මුමුණන සුභාශිතය යළිදු සිහිපත් කරවයි. අකාරුණික ලෙස  සිහින මියැදෙන්නට ඉඩ හැරි ඇගේ සිහිනවල සිටි ඇගේ දරුවන්ගේ තාත්තා ම  ඇයට මාතෘත්වයේ උත්තරීතර බව සිහි ගන්වයි.  උත්තරා බුම්මා ගත්තා ය. වෙන දිනක නම් වචනවලින් අඩව්වක් අල්ලන්නට එයම ඇති ය. නමුත් ඒ මොහොතේ එවැන්නකට පවා හිත හදා ගත නොහැකි තරමට ඈ අනපේක්ෂිත වියෝ වේදනාවෙන් විඩාබරව උන්නාය.  

ඉදින් ඒ අවසන් හමුවීමටත් සිව්වසක් ඉකුත් වී ඇත. ඇගේ මාතෘ සිහිනය ද සදාකාලයටම උකුත් වී ඇත.

.....................................

පසුවදන

සමනල් පියාපත්වල ලියැවුණු කතා දහසක් ඇතත් මෙතෙක් නොලියූ කතාවක් ලියන්නට සිතුවෙමි. එකී කතාවේ වග උත්තරකාරිය උත්තරා ය.
එය මුල, මැද, අග මැනවින් ගළපාලිය හැකි කතාවකි. මක්නිසාද යත් මේ වන විටත් ඒ අන්දරය නිමා නොවූ ජීවිත වන්දනාවේ නිමි කතාවක් වන බැවිනි. මතු සම්බන්ධ නොවන බව ඉර හඳ සේ විශ්වාස බැවිනි. 

ජීවිතයේ අතිසුන්දරම ප්‍රේම පාරමිතාව දැන් දැන් දෙවැනි තැනට වැටෙමින් පවතින්නේ වුව, කාලයේ වැලි තලාවේ මිහිදන්ව යා නොදී මතක මන්දිරයේ රැක ගත යුතු සුන්දරම ස්නේහ අන්දරය එය වන බව උත්තරා නිතර නිතර පවසන්නී ය..

දෑතේ දසැඟිලි ඉක්ම වූ වසර ගණනක් පුරා දිවෙන, අතක ඇඟිලිවලින් මිනිය හැකි සොඳුරු හමුවීම් කිහිපයකට සීමා වුණු ඒ ප්‍රේම පුරාණය සිහිවන හැම විටකම දිස්නෙ දෙන පිනිබින්දු  මාලයක සිහිලසින් ඈ වෙළී යන්නී ය. ඒ සිහිලසම විටෙක ඇගේ නෙතු අග කඳුලක්ව මෝදු වන්නේ ය.


ඉදින් මේ ... ඒ කතාව ය. ඔබ දකින්නට රිසි නම් මට ලියා තබන්නට හැකි ය. 

21 comments:

  1. දකින්නට රිසිය .....රසවත් වෙයි..
    හැකිනම් ලියන්න...

    ReplyDelete
  2. ලියන්න ...අපි කියෝනවා...

    ReplyDelete
  3. දකින්නට විදගන්නට අපි නම් රිසිය.. ලියමු අක්කේ..

    ReplyDelete
  4. කෝ ඉතින් කවද්ද මේක ලියන්න පටන් ගන්නේ?
    මට කම්මැලියි මේක එනකම් බලාගෙන ඉන්න.
    හිත රිදෙන තරමට කඳුළු එන කතා අනිවාර්යෙන්ම කොහේ හරි වචන වෙන්න ඕනේ කියලා අදහන කෙනෙක් මම!

    ReplyDelete
    Replies
    1. ''හිත රිදෙන තරමට කඳුළු එන කතා අනිවාර්යෙන්ම කොහේ හරි වචන වෙන්න ඕනේ කියලා අදහන කෙනෙක් මම!''

      ඒ නං අගේ ඇති ඇදහිල්ලක්... අතීත කදුළු කතා ලියැවුණාම ඒවායෙ කදුළු මැකිලා අමුතු ලස්සනක් පේන්න ගන්නවා... හරියට වැස්සකින් පස්සෙ ගහකොල හේදිල.. ඉර එළියට දිලිසෙන්න ගන්නව වගේ...

      Delete
  5. plzzzzzzzzzz liyanna

    ReplyDelete
  6. හ්ම්.....නොකියූ කතාවක් ..... ලියන්න..ලියන්න

    ReplyDelete
  7. ලියන්න ලියන්න මම නම් කොහොමත් කැමති අක්කා ලියන එවුවා කියවන්න. :)

    ReplyDelete
  8. මේ කතාවේ ඡායා මාත්‍රයක් මීට කලින් කවියක සටහන් වුණා දෝ කියලා මට හිතුණා.... හොයාගෙන බැලුවහම ඡායාරූපය මගේ සිතුවිල්ල හරි බව කිව්වා.

    ReplyDelete
    Replies
    1. තිසරටත් ‍පේන දේවල් හැබෑට...

      Delete
  9. ලස්සනයි... !
    ලියන ස්ටැයිල් එක මල් හතයි. !

    ReplyDelete
  10. ලියන්න. අමුතු විදියක කතාවක් වගේ. කොහොමත් තරූ ගේ රචනා විලාසයට මම කැමති යි.

    ReplyDelete
  11. පුර්විකවට සිත ගියෙමි.කතාවද ඉක්මනින් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ''පූර්විකාවට සිත ගියේය.'' කිව්වනම් තමා නිවැරදි.

      Delete
    2. වරද,නිවැරදි කලාට බොහෝම ස්තුතියි තරු..

      Delete
  12. බරපතල නොවන සරල කතාවක් ලියන්න කියල ඉල්ලීම් ගොඩක් ආවා තරුරසී කියවන යාළුවන්ගෙන්.. විශේෂයෙන්ම කාර්යාලීය මිතුරියන්ගෙන්... උදේ ඉදන් හැන්දෑ වෙනකල් වටේ පිටේ ඉන්නෙ එයාලනෙ...

    ඒ අනුවයි මේ කතාව ලියන්න ගත්තෙ....

    සතියකට කොටසක් බැගින් ලියන්නයි අදහස.... මැසිවිලි නගන්නෙ නැති බවට මං වටේ ඉන්න අය නම් පොරොන්දු වෙලයි තියෙන්නෙ...

    ReplyDelete
  13. හොඳයි තරු ලියන්න. සතියකට එක කොටසක් කියන අදහසට මමත් කැමතියි. දිනපතා දාන ටෙලියකට වඩා සතියකට වරක් බලන ටෙලි මතක හිටිනවා. (අමුතු මිණිස්සු සහ A/L ඉවරයි නම් එහෙම උනේ නැහැ දිනපතා දැම්මත් ) අනේ මන්දා ඔය මට හිතෙන හැටි.

    ReplyDelete
  14. කියන්න දෙයක් නෑ හොඳ අාරම්භයක පරිපූර්ණ සටහනක්. බොහොම සිනමාරූපි බවක් තියෙනවා
    ලියන්න දිගටම

    ReplyDelete
  15. හරිම හැඟුම්බරයි තරු දිගටම ලියන්න .

    ReplyDelete
  16. ලියන්න දිගටම. ලස්සන කතාවක්. සමහර විට මම ඒ කතාවෙ නිශාගෙ පැත්ත ලියන්න හදනව ද මංද...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...