Friday, October 25, 2013

සමනළ පියාපතක පිනි බින්දුවක් ( 02)


''අවුරුදු දාසයක්ම මං අදහන් ඉල තියෙන්නෙ බොරුවක්නෙ කියල දැන ගත්තම මට උන් හිටි තැන් අමතක උණා... වචනෙකින්වත් හිත නොරිද්දන්න පරිස්සම් වුණු මං පණ වගේ ආදරය කරපු මනුස්සයත් ඒ බොරුවේ කොටස්කාරයෙක් කියල දැන ගත්තම ...? මං ආයෙ මේ ලෝකෙ කාවවත් විශ්වාස කරන්නෙ කොහොමද?

 උත්තරා කීවේ හැඬුම්බරව ය.

''ඕක අමතක කරල දාන්න. කොලුකාලෙ කොලුකමට කරන වැඩ..'' මම කීවෙමි.

''ඇත්ත... මට තේරෙනවා. ඒත් ඒ කොලුකමට මං මහ මෝඩ විදියට ජීවිතෙන්ම වන්දි ගෙවල තියෙනවා. හරියට සමනල සංධ්වනියෙ වගීශ වගේ...'' ඇය සුසුමක් මුදා හැරියාය.

''තාමත් ප්‍රමාද නෑ උත්තරා.. දැන්වත් ජීවිතෙන් පැනල යන්නෙ නැතිව ජීවිතේ අළුතින් පටන් ගන්න.'' යාවජීව මිත්‍රත්වයේ නාමයෙන් මට ඇගේ ජීවිතය සම්බන්ධ වගකීමක් ඇත.

''ඔන්න කිව්ව කතාවක්... කොයි තරං කිව්වත් කවුරුත් තේරුම් ගන්නෑ.. මේ ජීවිතෙන් පැනල දුවනව නෙවෙයි. ජීවිතේ හොයාගෙන යනවා. මං කැමති ජීවිතේ. හොයාගෙන යනවමත් නෙවෙයි, මේ තමයි මං හෙව්ව ජීවිතේ. මට මං වෙලා ඉන්න පුළුවන් ජීවිතේ...''

...........................................

බටහිර තූර්යවාදක කණ්ඩායමේ පුහුණු කටයුතු නිම කළ අසංග සූරියබණ්ඩාර කැඩෙට් කාමරයට පිවිසියේ පාසල් වියේ සුන්දර මතකයන් සිතින් පිරිමදිමිනි. ඔහු උසස්පෙළ හමාර කර පාසලින් නික්මුණේ ඉකුත් වසරේ ය. ඒ වන විට තූර්යවාදක කණ්ඩායමේ නායකයාව සිටි බැවින් පාසල් සමය නිම වූ ගන්ධබ්බ අවධියේ පුහුණුකරුවකු ලෙස නැවත පාසල් පැමි‍ණෙන්නට නිල අවසරය ලැබී තිබිණි.

'' මොකද මේ කට්ටිය නිධානයක්වත් හොයා ගෙනද?''

කැඩෙට් කාමරයේ කොලු නඩය වට වී ඇස ගසාගෙන උන් ඉලක්කය ‍තෝරා පහදා ගන්නට අසංගට මද වෙලාවක් ගත විය.

''හල්ලෝ ...... අංසග අයියා... කෝමද?'' දෙනෙත් කෑ ගැසුවේය. '' ලියුමක් ඇවිත් කෙල්ලෙක්ගෙන්.. කවිකාරියක්ගෙන්... පෙන් පෑල්.. පෙන් පෑල්... අපි ‍මේ ඒක බල බල හිටියෙ..'' ඔහු අසංග වෙත ලියුම පෑවේ ය. පැහැදිලි අත්අකුරින් ලියූ කෙටි ලියමනකි.

'' ලියුමක්!!!! කවිකාරියක‍්ගෙන්!!!! තමුසෙට..!!!'' අසංග‍‍ගේ ඇස් නළලේ ය.

'' මේකනෙ අසංගයියා... පහුගිය සෙනසුරාදාවක රේඩියෝ එකේ වැඩසටහනක් අහ අහ උන්නා අක්කා... ඒකෙ කවිත් කියෙව්වා. මේ කෙල්ලගෙ කවිය අමුතු තාලෙ එකක්. 'ජීවිතය අනුන්ගේ දුක නිවන ගීතයක් වෙන්න' ඔන්න ඔය වගේ කතාවක්. එඩ්‍රස් එකත් කිව්වා. ඉතින් මං ලියුමක් දැම්මා. ඊයෙ උත්තරයක් ඇවිත් තිබුණා...'' දෙනෙත් ගේ නෙත් ආඩම්බරයෙන් දිලිසෙමින් තිබිණි.

අසංග‍ ගේ ඇස් ලිපියේ අකුරු අතර හැල්මේ ගමනක ය.

'' මේ කෙල්ල තමුසෙට වැඩිය වැඩිමල් නේ...'' මිට මෙළ වු අතින් උදරයට ආදරණීය පහරක් ගසමින් අසංග කීවේ ය.

'' අවුරුද්දක්නෙ අසංග අයියා .. ඒක මොකක්ද? අනික ජොලියටනේ. මොකෝ බඳින්නයෑ..''

''දෙනව මට මේ එඩ්‍රස් එක. බලමු  ලියුමක් දාලා...''‍

''අහුවෙනවනේ... එකම ඉස්කෝලෙ කියල දැන ගත්තම.''

''ගාණක් නෑ.. මම දැන් අවුට්නෙ.. අපි දෙන්න නොදන්න ගාණට ඉමු..''දෙනෙත්ගේ ඇද අකුරුවලින් ලියැවුණු නන්නාඳුනන්නියගේ ලිපිනය අසංග සූරියබණ්ඩාර අත පත් වූයේ ‍එලෙසිනි.

අවාසනාවට ( වාසනාවට ද විය හැකි ය.) ඒ උත්තරා ගේ ලිපිනය ය.

1997 නවම් මහේ දවසක සැබෑවටම සිදු ව තිබුණේ එය ය. නමුත් 2013 වප් මහේ 23 වන දා සැඳෑව වන තුරු උත්තරා අදහා ගෙන සිටි සත්‍යය අනෙකකි.

....................................................

2013 ඔක්තෝම්බර් 24
හුදකලා නවාතැන් කුටියේ සිට අකුරු කරමි.

හිතවත් දෙනෙත්,

ගෙවුණු ජීවිතයෙන් හරි අඩක්ම මං ගිලිල උන්න මායාවෙන් මාව එළියට ඇදල දැම්මට ස්තුතියි. පමා වෙලා හරි. ජීවිත කාලයක් බලන් හිටියෙ, සදාකාලයටම මටම දඬුවම් පැනෙව්වෙ මේ තරම් බොරුවක් වෙනුවෙන් බව දැන ගත්තම මට මං ගැනම කේන්තියි. මං මොන තරම් මෝඩ මොට්ටියක්ද? කරුමයේ උරුමයකට වෙන්න ඇති අපි අහම්බෙන් දැන අඳුනා ගත්තෙ.

‘‘මං ඔයාගෙ අතකින්වත් අල්ලල නෑ..” ඔයා කියනවා.

‘‘මං ඔයාව පරිස්සම් කළේ මලක් වගේ.. ” අසංගයියා කියනවා.

මොකක්ද මේ කතාවල තේරුම? ඔයාට ඕනම මිනිහෙක් කිසිම ප්‍රශ්නයක් නැතිව සින්නක්කර අයිතියට ලියා ගන්න පුළුවන් කියන එකද?

කෙල්ලෙකුට කරන්න පුළුවන් ලොකුම විනාසෙ අහවල් වැඩේ කියලද ඔයාල හිතන්නෙ? තවත් මනුස්සයෙක්ව විශ්වාස කරන්න බැරි විදියට, තවත් මනුස්සයෙකුට ආදරය කරන්න බැරි විදියට හිතක් කඩල බිඳල දාන එක අපරාධයක් නෙවෙයිද?

මං කාලයක් ඔයා වෙනුවෙන් බලන් හිටියා.. ආදරයක් තිබිලම නෙවෙයි. මනුස්සකමට, යුතුකමක් විදියට...

ඔයා දැන් මා වෙනුවෙන් බලන් ඉන්නවා. ආදරේට නෙවෙයි. විකල්පයක් නැති කමට.

ගැහැණියක්, මිනිහෙක් ආත්මීයව බැ‍දෙන්න මේව සාධාරණ හේතු නෙවෙයි. ඒ නිසා ඔය බලා හිඳීමේ තේරුමක් නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ මං අපේ මිත්‍රත්වය භුමදාන කළා කියන එක නෙවෙයි.

අසත්.... පුරුෂ බන්ධනවලින් නිදහස් වෙලා ගෙවන මේ ජීවිතේ අප්‍රමාණ සැහැල්ලුවක්. අතීත මතක ඉඳහිට හොල්මන් කරල සුසුමක් පිටවුණත්...

අතීතය කඳුලක් බව ඇත්ත. ඒ කඳුලින් ජීවිතේ වර්ණ දිය කරල ලස්සන සිත්තමක් අඳින්න දැන් මට පුළුවන්... ඒ දිහා හිනාවකින් බලන්නත් පුළුවන්.. මායාවක කෙළවර තියෙන්නෙ අපායේ දොරටුව වෙන්නත් පුළුවන්.. ස්වර්ගයේ දොරටුව වෙන්නත් පුළුවන්..... ඒක තීරණය වෙන්නෙ තම තමන්ගේ කැමැත්ත උඩ.... 


මං
උත්තරා

උත්තරා රෝසරී ද සිල්වා


17 comments:

  1. ලස්සන ලියමනක් !

    ReplyDelete
  2. //අතීතය කඳුලක් බව ඇත්ත. ඒ කඳුලින් ජීවිතේ වර්ණ දිය කරල ලස්සන සිත්තමක් අඳින්න දැන් මට පුළුවන්... // පුළුවන් නම් හොඳ යි ඉතින්...) මේ කාව්‍යාත්මක රටාවට මම හරි ම ආස යි.

    ReplyDelete
    Replies
    1. පුළුවන්... පුළුවන්... උත්සාහ කළොත් බැරි දෙයක් නැහැ...

      Delete
  3. // මට මං වෙලා ඉන්න පුළුවන් ජීවිතේ...//

    මේ ජීවිතේ තමා ගොඩක් අය හොයන්නෙත්...ගොඩක් අයට නැත්තෙත්...
    හිතට හීනි දුකක් ගලා එනවා ඔයාගේ මේ කතාව කියවනකොට.

    ReplyDelete
    Replies
    1. ඔයත් ඉතින් පොත්වල කතාවලටත් අඩන කෙනෙක්නේ... ඉන්නකො ඉස්සරහට දුක හිතෙන්නෙ නැති වෙන්න ලියන්නම්...

      Delete
  4. තාම පටන් ගත්ත විතරනේ කිසිවක් තවම හිතාගන්ට බෑ. කොහොමත් රසවත් කතාවක් වන එක නම් විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. රසවත් කරල ලියන්න ඕන අයියේ... පේනවෙන නැත්නම් කට්ටිය අඩනවනේ...

      Delete
  5. "මායාවක කෙළවර තීරණය වෙන්නෙ තම තමන්ගේ කැමැත්ත උඩ.." හරිම අපූරු කියමනක්. ඇත්තනේ, මායාවේ කෙලවර තීරනය කරගන්නෙ අපි අපිමයි.

    ReplyDelete
    Replies
    1. මායාවක ඇලිල ගැලිල ඉදල එකපාරටම ඇත්තට විවෘත වුණාම... ඉන්පස්සෙ කොහෙටද යන්නෙ කියල හිතා ගන්න අමාරුයි... ඒ වෙලාවට තමයි අර සම්මා සති වැදගත් වෙන්වෙන්නෙ..

      Delete
  6. මොනවද කියන්න ඕන කියලා මට හිතාගන්නබෑ. ඒත් ඔයා මේ කතාව ලියලා නිදහස් වෙන්න ඕනේ කියලා නම් මට හිතෙනවා.
    දැනට එපමනයි.
    පස්සේ අපි පශ්චාත් මරණ පරීක්ශණයක් තියමු.

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්.... කතාවක් රංගී...

      Delete
  7. //අතීතය කඳුලක් බව ඇත්ත. ඒ කඳුලින් ජීවිතේ වර්ණ දිය කරල ලස්සන සිත්තමක් අඳින්න දැන් මට පුළුවන්... //

    හුඟක් ලගින් දැනුන වචන ටිකක්.. කතාව කියවගෙන යනවා තරු අක්කේ..

    ReplyDelete
    Replies
    1. අකුරුවලින් ජීවිතේ වර්ණ ගන්වන කෙනෙක්නේ ඔයා... ඒ නිසා තමයි ළගින් දැනෙන්න ඇත්තෙ...

      Delete
  8. "මායාවක කෙළවර තීරණය වෙන්නෙ තම තමන්ගේ කැමැත්ත උඩ.."

    මේක හරියටම හරි. හරියට මත්වෙනවා වගේ වැඩක්. මම මේ කියමනට හරිම කැමතියි. දිගටම ලියන්න තරු රසී.......

    ReplyDelete
    Replies
    1. තුති.... මේ කතාවවත් කෙළවරක් වෙනකල් ලියන්න ඕන...

      Delete
  9. //කෙල්ලෙකුට කරන්න පුළුවන් ලොකුම විනාසෙ අහවල් වැඩේ කියලද ඔයාල හිතන්නෙ? තවත් මනුස්සයෙක්ව විශ්වාස කරන්න බැරි විදියට, තවත් මනුස්සයෙකුට ආදරය කරන්න බැරි විදියට හිතක් කඩල බිඳල දාන එක අපරාධයක් නෙවෙයිද?//

    ඇත්ත.. මේ කතාව ජීවිතේට ගොඩක් සමිපයි කියල හිතෙනවා....

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...