Thursday, October 31, 2013

රස්තියාදු ගමනක අතරමග ග්ලැඩියේටර් ප්‍රේමය





( සති දෙකක විතර ඉඳන් කම්මැලිකමට ටික ටික ලිව්ව සටහනක්.. )

කාලෙකින් රස්තියාදු සටහනක් ලියන්න බැරි උණා.. සති අන්තෙ ගමේ දුවන සිහියෙන්මයි ඉන්නෙ.. ඒ නිසා රස්තියාදු ගමනක් යන්නත් බැරි උණා... සෙනසුරාදා දවසම චූටි මිමීගෙ අත්අඩංගුවට පත්වෙන එක තරම් වටින දෙයක් තවත් නැහැ මට මේ දවස්වල... ඒ හුරතල් වයස අල්ලල නවත්ත ගන්න පුළුවන්කමක් නැහැනෙ. ඒ හින්ද සෙල්ලම් බත් උයන්න, සෙල්ලම් පොත් කඩේ දාන්න, කතන්දර කියන්න, බයිසිකල් පද්දන්න, සින්දු කියන්න, සින්දු දාගෙන නටන්න, තවත් අප්‍රමාණ විකාර වැඩ කරන්න මම්මයි දුවයි එකතු වෙන සතිඅන්තේ එකම දවස මග ඇරගන්න ලෝබයි මට. 

සෙල්ලම් පොත් කඩේ වෙලාවකට මම මුදලාලි. වෙලාවකට එයා මුදලාලි. තාම අකුරු කියවන්න බැරි උණත් පොතක් ඉල්ලුවාම පින්තූර දිහා බලල දෙන්න එයා දන්නවා. ඒ පුංචි මුදලාලි නෝනගෙ කඩේ හැම පොතක්ම තුනයි. කල්පකාලයක් මං පරිස්සම් කරපු කතා පොත් ටික අරගෙන එහෙ මෙහෙ විසිකරද්දි නම් පපුව හෝස් ගාල යනවා.. මොනා කරන්නද ඒත්.. ඒ මුදලාලි නෝනා වසයි.. මං කියන දෙයක් අහන්නෙ නෑ.... 

බයිසිකල් පද්දවන එක තමයි අමාරුම වැඩේ. කොන්ද කැඩෙනකල් තල්ලු කරන්න වෙනවා.. ‘‘අයියෝ... සංසාරේ....” බයිසිකල් පැද්දිල්ලෙ කෙළවරක් නැති තැන දවසක් මං කිව්වා... ‘‘සංසාරෙ එපා වෙනවා නේද?” ඇදල පැදල එයා මගෙන් අහනවා. ‘‘කාගෙද?” මං ඇහුවා. ‘‘ඔයාගෙනෙ” ඇස් බෝල කරකවල දෝණි මට කියනවා. අනේ ඇත්තට දැන් කාලෙ පුංචි උන්ගෙ ඇඟ හැමතැනම මොලේ. 




ගමේ නොයන සති අන්ත ශනිදාවල ඉතින් සිඟිති බෝල ඇස් දෙකක් හිතට එබි එබී වධ දෙනවා.. මම්මියෝ, අම්මී සමහර වෙලාවට ලොකූ කියන සිහින් කට හඬක් ඇහෙනවා...දැනෙනවා...  කැරලි කෙහෙරැලි සුසුමක එතෙනවා.. පැංචියක්ව තුරුලට අරගෙන ඇති වෙනකල් උම්මා දෙන්න නොහැකියාවෙන් හිත සොවින් බර වෙනවා... 

අම්ම ළග නැති උණාම, අම්මව මතක් වුණාම හැඬුම්බර වෙන චූටි දෝණිගෙ අසරණ ඇස් දෙක දැක්කම පුදුමාකාර දුකක් දැනෙන්නෙ... අඩුතරමෙ මේ පුංචි පැටව් ඉස්කෝලෙ යනකල්වත් අම්මලට එයාල එක්ක ඉන්න අවස්තාවක් තියෙනවනම් කියල හිතෙන වාර අනන්තයි... එහෙම ආර්ථිකයක්, සමාජයක්, අධ්‍යාත්මයක් ගොඩනැගීම මේ රටේ නම් හීනයක්ම තමයි.. 

පහුගිය සතියෙ ( මේ කියන්නෙ ඔක්තෝම්බර් 16 - 20 දින ගැන ) එක නිවාඩුවක් දැම්මම දීර්ඝ සතිඅන්තයක් උදා වුණා. ඉතින් හිතුණා පොඩි රස්තියාදුවක යන්න. වෙන්නප්පුව පැත්තෙ. එහෙ ඉන්නවා මං එනකල් ඇඟිලි ගනින අම්මෙක්, මගේම අම්ම වගේ. චූටි දුවෙක්.. මගේම දුවක් වගේ. තව තාත්ත කෙනෙක්, මල්ලි කෙනෙක්. එහෙ හිටියා තව මගේම නංගි කෙනෙක්. දැන් එයා ඉන්නෙ දුර රටක. ඉස්සර කාලෙ හිතේ හැටියට අඬන්න ඕන උණාමත්, කල්පනා කරන්න ඕන උණාමත්, දුක කියන්න ඕන උණාමත් මං එහෙ යනවා. දැන් නම් යන්නෙ දුක අහන්න. සතුට බෙදා ගන්න. එකම දුව ළඟ නැති අම්මට දුවෙක් වෙන්න. අම්ම ළඟ නැති චූටි දුවට අම්ම වෙන්න.... 

‘‘අද මගේ තරංගි නැන්දි එනවා” නෙතු දුව උදේ නැගිටල තියෙන්නෙ එහෙම කියාගෙන. එදා නිවාඩු දවසක්.. ඇයත් දවසම ගෙදර.. උදේ වරුවම ළමා සමිතියෙ ළමයි ඇවිදින් නාට්‍යයක් පුරුදු වුණා. රීට නැන්දා ගෙදර කරන ළමා සමිතියට දැන් අවුරුදු විස්සකටත් වැඩියි. ඒ නම් සැබෑම ළ.ක්‍රි.වී. පවුලක්. 

පුංචි උන් පුරුදු උණේ මහදැනමුත්තගෙ කතාවක් වාර්ෂික නේවාසික වැඩමුලුවේ ගිනිමැලය වෙනුවෙන්. මමත්, ශානක මල්ලිත් දර්ශන වාරයක් නරඹල පුංචි පුංචි උපදෙස් ටිකක් දුන්නා... ( ශානක මල්ලි කියන්නෙ එහෙ ඉන්න මගෙ මල්ලි... එයා ළඟදිම දක්ෂ වේදිකා නළුවෙක් වෙන පෙර ලකුණු තියෙනවා. අපි හමුවුණාම කතා කරන්නෙත් නාට්‍ය, පොතපත, සින්දු ගැන තමයි...) 

හවස්වරුවෙ නෙතුයි මමයි ගියා තවත් ළ.ක්‍රි.වී. පවුලේ හිතමිතුරන් ටිකක් මුණ ගැහෙන්න ලංසිගම. කට්ටිය වෙන්නප්පුව දිසාවේ නේවාසික වැඩමුලුවට සූදානම් වෙමින් හිටියෙ. වැටවල් හදනවා, බිම හෝදනවා.. පුටු ගේනවා.. තණකොල කපනවා.. වැසිකිලි හෝදනවා.. වැඩ කෝටියයි.. මේ විදියට වැඩ කළ සුන්දර අතීතයක් මටත් තිබුණ නේද? 

නේවාසික සති අන්තයක් කියන්නෙ ළමා සමිති කීපයක ළමයි එකතු කරල කරන දින දෙකක වැඩසටහනක්.. මමත් පුංචි කාලෙ එහෙම නේවාසික වැඩමුළුවකට සම්බන්ධ උණා මතකයි... ජීවිතේ මුල්වරට ළමයි ඉදිරියෙ විවිධ වැඩසටහන් කළෙත්, කුස්සියට වෙලා පළමු වතාවට මාළු කැපුවෙ, මැල්ලුම් ලිව්වෙ, දැලි නාගෙන මහා කල්දේරම් හේදුවෙ, සීයකට විතර කෑම බීම හැදුවෙ, අම්ම කෙනෙක් වගේ දරුවො බලා ගත්තෙත් මේ වගේ නේවාසික වැඩමුළුවලදිමයි.. එවැනි දවස් ආයෙ කවදාවත් එන එකක් නැති වෙයි..

කොම්පියුටරෙයි, පොත් ටිකයි බදාගෙන ‍මේ ගෙවන ජීවිතේ මොකක්ද කියලත් වෙලාවකට හිතෙනවා.. 

එතැන හිටියා පුංචි පැංචියක් රිදීෂා... ළ.ක්‍රි.වී. පවුලේම දුවණියක්. අපි ආදරේට කියන්නෙ රිදී. නෙතුටයි, රිදීටයි  ඇති වෙන්න වැල්ලෙ සෙල්ලම් කරන්න දීල මං මුහුදු රැල්ලෙ දාංගලේ දිහා බලාන උන්නා. 

ඉර ඈත මුහුදෙ හැංගිලා යන  වෙලාවට ප්‍රාර්ථනාවක් කළාම ඒක ඉටු වෙනවලු. මං එහෙම අහල තිබුණා. ඉටු වීම ගැන කිසිම විශ්වාසයක් නැති බලාපොරොත්තුවක් ඉරත් එක්කම සිතිජයේ හැංගිලා ගියා. ඒක හරියට භාවනාවක් වගේ හිත නිවුණු වෙලාවක්.... 

නිවී සැනහී යාද ජීවිතය යම් තැනක
එතැන්හිම වේ නිවන...

නිවන ගැන මෙලෝ අවබෝධයක් නැති හිරිමල් සන්දියෙ මං ලියපු කවියක එහෙම තිබුණා... මට මතක් උණා...

ආපහු එන අතරෙ ඇස ගැටුණ නොමැකෙන සිත්තමක්.. උල්හිටියාව සුසානභුමිය.. සොහොන්කොත් අතරින් ඉහළ නැගුණු විසල් අරලියා ගස් සුදු පාට මලින් පිරිලා තිබුණා... නොසෑහෙන්න අරලියා ගස්.. නොසෑහෙන්න අරලියා මල්.. මළවුන් වුණත් මුහුදු හුළග එක්ක අරලිය මල් සුවඳ විඳිමින් සමාදානයේ සැතපෙනවා ඇති. පුංචි පැංචි නොහිටින්න කුරුස සලකුණු හිස දරාන අරලිය මල්පෙති යට නිදන මළවුන් අතර සක්මන් කරන්න තිබුණා...  

ජීවිතයේ මගහැරී ගිය දේ අපමණයි. ඒ අපමණක් මගහැරීම් අතර ලිවිම මගහැරුණු එක අපරාදෙ කියල හිතෙනවා.. නමුත් තාමත් ප්‍රමාද නෑ කියන සිතුවිල්ලයි අකුරක් ගළපන්න හරි හිතට ධෛර්යයක් වෙන්නේ... ප්‍රේමය වගේම ''ග්ලැඩියේටර් ප්‍රේමය'' ත් මට මගහැරිලා.. ශානක මල්ලි තමයි නිතරම මතක් කළේ ''අක්කෙ.. ග්ලැඩියේටර් ප්‍රේමය යූ ටියුබ් දාල තියෙනවා බලන්න..'' කියල.. ඉතින් මේ රස්තියාදුව අතර ග්ලැඩියේටර් ප්‍රේමයත් රස විඳින්න කාලවේලාව හොයා ගත්තා.. ලියවිල්ල‍ බොහොම දිග වැඩි වුණා.. ඒ නිසා ග්ලැඩියේටර් ප්‍රේමය ගැන සටහන හෙට...

1 comment:

  1. කමක් නෑ කමක් නෑ...මේ සටහන් ටිකත් රසවත් නේ. එහෙනම් හෙට එන්නම් කො මේ පැත්තෙ ආයෙත්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...