Sunday, November 3, 2013

සමනල පියාපතක පිණි බින්දුවක් ( 03 )


2007 ඔක්තෝම්බර් 27 වනදා උදෑසන 8.30 ට  පමණ මාතලේ දෙව්මැදුරේ ලූර්දු ගුහාව අබියස දී උත්තරා‍ගේ දුරකථනයට ඇමතුමක් ලැබිණි. හෘදයාංගම ඇමතුමක්.. ඈ සිටියේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙන්නට මාතලේ ගොසිනි.

''නංගා.. අක්කට පුතෙක් ලැබුණා.. අපට පුතෙක්..''

අසංග සූරියබණ්ඩාරගේ උද්දාමයෙන් පිරුණු හඬ අපට පුතෙක් යැයි පවසනුයේ ඒ පුතා උත්තරාගේත් බව හැ‍ගෙන පරිදි ය. අක්කා යැයි පැවසූවද ඒ ඔහුගේ බිරින්දෑ නිශා ය. තම බිරිඳ උත්තරාගේ වැඩිමහල් සහෝදරියක බව දැනෙන හැගෙන සේ කතා කරන්නට ඔහු සැමවිටම පරිස්සම් වූයේ ය. ඒ උත්තරාට නොරිදෙන්නට ය. රිදුම් ලබන්නටම උපන් හිතක් වචනවලින් සැනසිය නොහැකි බව ඔහු කවදාවත් තේරුම් ගත්තේ නැත.

''පුතෙක්.. කවදද? ''

'' මේ දැන් අටයි දහයට... ඔයාට තමයි ඉස්සරලාම කියන්නෙ..''

දුරකථනය විසන්ධි විය. උත්තරා සතුටත්, දුකත් අතරමැදි අවිනිශ්චිත හැඟුමක සිරගත වූවා ය. සතුට ඔහු පියෙකු වීම ගැන ය.  දුක ඒ පුතාගේ අම්මා තමන් නොවීම ගැන ය.

''මූණ ඇඹුල් වෙලා.. කාගෙන්ද කෝල් එක..'' දිනේෂ් මල්ලි ඇසුවේ බොහෝ ළෙංගතුව ය.

''අසංග අයියා... තාත්තා කෙනෙක් වෙලාලු..'' උත්තරා සිනාවක් පැළද ගන්නට වෙර දැරුවා ය.

''කවදද?''

''අද..... මේ දැන් ලු.. මට ලු ඉස්සරලාම කියන්නෙ..'' එවර නම් සිනාව ගිලිහී කඳුළු උනමින් තිබිණි.

''මේක නම් පුදුම ආදර කතාවක්.. පිරිමියෙක්ගෙ ජීවිතේ තාත්ත කෙනෙක් වෙනවයි කියන්නෙ අක්කේ.. ඒ තමයි වැදගත්ම අවස්ථාව.. ඒ වෙලාවෙ මුලින්ම ඔයාව මතක් වෙනවා කියන්නෙ එක පැත්තකින් ඒ මනුස්සයට ඔයාව ඇත්තටම අතිවිශේෂයි.. අනික් පැත්තෙන් ඒ මනුස්සයා ඔයාට පුදුමාකාර විදියට ගරු කරනවා..'' 

ආදරයේ කුරුසියත් කර දරාගෙනම උත්තරා දෙව්මැදුර තුළට පිවිසියා ය. දණින් වැටුණා ය. අන් බොහෝ අවස්ථාවල මෙන් ම කඳුළු සිරකර ගත යුතු විය. හැමදාමත් සිටියේ පිරිවර සෙනග සමගිනි. නිදහසේ අඬන්නට අවස්ථාවක් උදා වූයේ නම් ඒ බොහෝ කලාතුරකිනි.

''මේ බන්ධනයෙන් හිත නිදහස් කර ගන්න මට උදව් කරන්න ජේසුනී..''
...................

බයිසිකලයට නැගුණු පසුව උත්තරා කිරිල්ලියකි. වෙල් යාය, ගංගොඩ මැදින් පාසල නිම වී නිවස දක්වා එන සැතපුම් හතරක පමණ දුර ඈ ඉගිලෙන්නේ එකම වේගයෙනි. එය අපමණ සැහැල්ලුවෙන් පිරි ගමනකි. දන්නා කියන මුහුණුවල සිනාවෙන් හිත පිරිමැදෙන, ගහකොල, ඇල දොල, මල් පියලි, කුරුල්ලන් පවා ළෙංගතුකම් පාන අපූරු ගමනකි. කිසිදු බරක්පතළක් නැති සන්සුන් හදවතක් හිමි ව තිබු කොතරම් සුන්දර කාලයක් ද? නැවත හසුකර ගත නොහැකි තරම් දුරකට ඒ අතීතය නික්ම ගොසිනි.

පහ වසර ශිෂ්‍යත්වය සමත් වූ වේලේ තාත්තා අරන් දුන් රෝද දෙකේ වාහනය ඇයට මහමෙරකි. ඒ දවස්වල එය අළුත්ම අළුත් ය. නමුත් මධ්‍ය විද්‍යාලයේ බයිසිකල් සියයක් පමණ නවතා තබන දිගු කොරිඩෝරයේ පැරණිම බයිසිකල් කිහිපය අතර ඇගේ බයිසිකලය සැබවින්ම අසරණ දසුනකි. ඇය එය ගණනකට නොගත්තා ය. උසස්‍ පෙළ පන්ති ඇරඹීමෙන් පසුව උත්තරා බස්රියෙන් මධ්‍ය විද්‍යාලයට ගියේ එකම සතියක් පමණ ය. බස් ගමන තිත්ත විය. ඇය සුපුරුදු වාහනයට මාරු වූවා ය. රස්තියාදුවක් නැත. නිදහස් ය. නිවහල් ය.

යන එන ගමනේ නම් ලකුණු කළ යුතු ස්ථාන දෙකකි. ඒ මහ ගෙවල් ය. අම්මාගේ සිංහල බෞද්ධ මහ ගෙදර මුලින්ම හමුවන්නේ ය. උත්තරා නම ඇයට ලැබුණේ ඒ නිවසිනි. ලොකු මිණිබිරියට ඒ නම තැබිය යුතු ම බව අත්තම්මා පවසා ඇත. උත්තරා ඉපදී මුලින්ම නිවසට ගෙන ආ දිනවල මැස්සන් පන්නන්නට කිරි අත්තා වේවැල්වලින් වියා දුන් මැහි තටුවත්, ඇය මුල්වරට නෑවූ හිල් පොල්කටුවත් ඒ නිවසේ සුරැකි කෞතුක භාණ්ඩ අතර විය. එකී මහගෙදර තවමත් ලොකු මිණිබිරිය හුරතල් කරන්නේ ‍ඇය පොඩි දැරිවියක ලෙස සලකා‍ගෙන ය. ඒ හුරතලයට ඇය ද මහත් සේ ලෝබ වූවා ය.

සන්ධ්‍යා භාගය වන විට ආලින්දයේ පඩිය මතට වී උත්තරා එන තුරු දෑස් දල්වා හිදීම අත්තම්මාගේ දෛනික රාජකාරියක් බවට පත් වී ඇත. එදින නිවසේ සෑදු කුමන හෝ කෑමක ඇගේ පංගුව හෝ අඩුම තරමේ වෙරළු ගෙඩියක්, නෙල්ලි ගෙඩියක් තරම දෙයක්වත් වරදින්නේ නැත.

''මොකෝ ලොකු පුතේ ඔය... රතු කොඩි දාගෙන..''

බයිසිකලයෙන් බැස විසේ ගමනින් ගේ පිටුපසට දුවන උත්තරා දෙස බලා අත්තම්මා විමසන්නීය. උත්තරා යන ගමනේ ම හිස හරවා සුදු ගවොමේ පිටුපස රැලි අතර දෑස රඳවන්නී ය. බයිසිකල් ගමනෙන් මාසයකට වරක් හිමි වන සුපුරුදු රතු රෝස මල් ලකුණ.. කිසිසේත්ම වළක්වා ගත නොහැකි හදිසි අනතුරකි.

''  අද නරක දවසක් අත්තම්මේ... '' ඈ සුදු ග‍වොමේ රැලි සලා දමා හිනැහෙන්නීය. දිවීම නම් නතර නොවන්නේ ය. ඇය ආපසු අත්තම්මා අසලට පැමිණෙන්නේ කුස දැරූ බරත් හෑල්ලු කර ගෙන පේර ගහේ අතුපතර සොලවා, නෙල්ලි ගසේ සුවදුක් සොයා බලා අනතුරුව ය.

''අද මොනාද?''

''උදේ රොටී හැදුවා..'' අත්තම්මා පිගානේ වැසුම් ඇර රොටිය ඈ අත තබයි. පොල් යහමින් දමා අත්තම්මා හදන රොටී අමුතුම රසකි. ඇය ඒ රොටියට අසීමිතව පෙරේත බව පවුලේ ප්‍රසිද්ධ රහසකි. රොටී සප්පායම් වෙමින් සිටින විට කිරි අත්තා පහළ වේ. ඉදින් රතු කොඩි සගවා ගෙන දුවන්නට වේලාවයි. උත්තරා අතින්, කටින් ගත් රොටිය සමග බයිසිකලයට ගොඩවන්නේ වේගයෙනි. අත්තම්මා කට වසා ගෙන හිනැහේ.

''මං යනෝ.... ''

නැවතත් කිරිල්ලිය ඉගිල්ලේ.. ගමනේ ඇය වඩාත් කැමතිම වෑ කන්ද උඩින් යන මොහොතට ය. වැවේ නෙළුම් හිග වන්නේ මහා පෑවිල්ලකටම පමණි. මානෙල්, ඕලු ද හිග නැත. අමතර පන්ති නිම වී එන සැදෑවක නම් වෑ කන්ද පහළින් ඈතට ඇදී යන වෙල් යාය ද, ඊට එපිටින් පොල් ගස් ගොන්න ද සැදෑ හිරු එළියෙන් නැහැ වී ඇති අයුරු බලන්නට ලස්සන ය. වෑ කන්ද ගුරු පාර හා යාවෙන්නේ පිටවාන අසලිනි. වැව වාන් දමන කාලයට ගුරු පාර හරහා නොනැවතී වෙල් යාය දෙසට ගලා බසිනා දියදහරකි. වෑ කන්ද බැස එන බයිසිකලය ඒ මැදින් පියඹා යන්නේ ක්‍රීස් ගාමින් දෙපසට දිය දහරක් විහිදුවමිනි.

අනතුරුව හමුවන පොල් වත්ත මැද ඇය නම් ලකුණු කළ යුතු අනෙක් මහගෙදර හමුවන්නේ ය. ''රෝසරී ද සිල්වා'' කොටසේ හිමිකරුවන් වසන්නේ එහිය. ඒ දුටුවනම උත්තරාගේ සිත බරපතළ හැගීමකින් පිරී යනු වැළැක්විය නොහැක. වත්ත මායිම හමුවන තැන සිටම බයිසිකලය වුව සන්සුන් උවැසි ගමනකට වෙස් මාරු කර ගනියි. වඩාත් හැන්දෑ වූ දිනක් නම් ඒ නිවසට උඩින් ඉගිලී යන්නට ක්‍රමයක් වී නම් කොතරම් හොදදැයි අනිවාර්යයෙන්ම ඇයට සිතෙන්නට ගනියි.

'' ඔයා තමයි පවුලෙ වැඩිමලා.. ලොකු අක්කා.. ඔයා හොදට හිටියොත් තමයි අනිත් අයත් ඔයා දිහා බලල හැදෙන්නෙ..''

දිව්‍ය මන්තරයක් තරමට ඒ වාක්‍යය හදවතේ පැලපදියම් වූයේ කුඩා කල සිට ම නිරන්තරයෙන් අසන්නට සිදු වූ නිසා ය. තවමත් හිතින් අතු ගා දමන්නට නොහැකි වූ උපදේශ පාඨය මහා පවුරක් වී හිත වටා අගුළු දමා ඇතැයි ඇයට සිතුණේ වරක් දෙවරක් නම් නොවේ. තාත්තා‍ගේ සිංහල කතෝලික මහ ගෙදරත් අසීමිත ආදරය හිමි වූ ලොකු මිණිබිරීට ඒ වන තෙක් තිබුනේ ඇත්තෙන්ම ආදරයම පිරී උතුරා ගලන ජීවිතයක් නොවේද?

''අද බහින්න විදියක් නැතෝ... මං යනෝ..'' ළිඳ ළඟ සිටි නැන්දාට ඇසෙන්නට කෑ ගැසූ උත්තරා අත වනා සමු ගත්තාය. රහස අරුමයක් නොවූ නැන්දා කිංකිණි සිනාවකින් සමුදුන්නාය.

නිවස හමුවන්නට පොල්වත්ත මැද පිහිටි ගමේ කුඩා පල්ලියත්, තවත් කුඩා වෙල් යායකුත් පසු කළ යුතු ය. උත්තරාගේ නෙත සිත පිනවන ගම්මැදි චාරිකාවේ සුන්දරම ස්ථාන දෙකකි ඒ.

''ෂිහ්..'' ගෙමිදු‍ලේම තාත්තා ..

උත්තරා නිවස ඉදිරි දොර අසලම හෙමිහිට බයිසිකලය පෙරළා දමා පස්සෙන් පස්සට ගොස් වහාම ගේ ඇතුළට පැන ගත්තාය. ඉදහිට උදාවන අරුමයක් නොවන මේ ගෙට ගෙවදීම දන්නා තාත්තා සිනාමුසුව පැමිණ බයිසිකලය කෙළින් කරන බව උත්තරා දනී.

''අන්න අද කවිකාරිට ලියුමක් ඇවිත් තිබුණා..'' අම්මා දොර රෙද්ද අතරින් හිස පොවා කියත්ම උත්තරා අනියතව තිගැස්සී ගියාය. ඇය සුදුගවොම උරහිසින් පන්නා දැමුවේ විස්මපත් දෑසිනි.

''කාගෙන්ද?''

''කොල්ලෙක්ගෙන්..''

''මට?''

''නැතුව මටයැ.. අර රේඩියෝ එ‍කේ ගිය කවිය අහල ලියුමක් එවල .. මං පොත් මේසෙ උඩ තිබ්බ ඔන්න.. ''

යට ගවුම පිටින්ම උත්තරා ලියුම අතට ගත්තාය. අම්මා ලියුම කඩා කියවා තිබිණි. සරසවියට එන තෙක්ම ආ සෑම ලියුමක්ම මුලින්ම බැලුවේ අම්මා ය. කොතරම් විරෝධතා ව්‍යාපාර දියත් කළත් පලක් නොවිණි.

දෙනෙත් ගේ කුරුමිණි අඩු අකුරුවලින් වැරදියට ලිපිනය ලියැවුණු ලිපිය ගෙදරටම පැමිණ තිබිණි. තම ඉරණම තීන්දු කිරීමේ බලයක් ඒ ලිපියට ඇතැයි එදා උත්තරා සිහිනෙකින්වත් සිතුවේ නැත.

එයට මාසයකට පසු නිවැරදිව ලිපිනය සටහන් වූ ඒ මටසිලිටි හදවත තරම්ම මුදු සුමුදු අත් අකුරින් ලියවුණු අසංග සූරියබණ්ඩාරගේ ලිපිය ද උත්තරා අත පත් විය. එය දුටුමතින්ම මේ නම් එකම ඉසව්වක එකම පාසලක සෙල්ලක්කාර සතරකන් මන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය යුතු යැයි උත්තරාගේ සිත නිරන්තරයෙන් කොඳුරන්නට විය.

එය එසේ නොවන බව ඔවුන් දෙදෙනාම පුන පුනා කීවෙන් ඔවුන්ගේ බස් අදහා නොගන්නට තරම් හේතුවක්ද නොවී ය.
.............................

සුනේත්‍රාගේ ප්‍රේම පුරාණයේ නිර්මලා මෙන් සියලු බන්ධනයන් ඉක්මවා යා හැකි නිවහල්, තෘෂ්ණාවෙන් තොර හදවතක් වෙනුවෙන් උත්තරා පෙරුම් පුරන්නීය. නමුත් එවැනි අධ්‍යාත්මයක් සොයා පහදා ගන්නට තරම් ළඳ බොළඳ සිත තවමත් සවිමත් නොවන බව ඇය දනී. හිත පතන්නේම ඇලෙන්නට ය. නැළවෙන්නට ය. ඉදින් සිදුවන්නේම තැවෙන්නට ය. මේ වේදනාවේ කටු ඔටුන්න ගලවා පසෙකින් තබන්නට හැකි වන්නේ කවදාද?

එතෙක් සැනසිල්ලේ දිවි ගෙවන්නට මිලිටරි ආඥාදායකත්වයක් තුළවත්, වචනවලින් හරඹ පානා සොඳුරු ආඥාදායකත්වයක් තුළවත් තමන් සොයන ප්‍රේමය බිඳක්වත් නොවන බව උත්තරා පසක් කර ගනිමින් හිඳින්නීය. සැනසුමේ උල්පත සොයා පහදා ගත යුත්තේ තම හදවත තුළින්ම නොවේද?


17 comments:

  1. කතාව කියවන අස්සේ දෙපාරක විතර ආපහු මුලටම ගිහින් කියවගෙන ආවා. සමහර දේවල් කොයි තරම් නම් එක විදියට අපිට දැනෙනවද?
    මේ අර ගමේ ගේවල් දෙකේ තාම රොටී හෙම තියෙනවද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔය ගමේ එක ගෙදරකයි ගෙදරම රස කෑම හදන්නෙ.. අනිත් ගෙදර ඉතින් කඩෙන් ගෙනා රස කෑම තමයි...

      Delete
  2. 9 - 11 වසර වෙනකම් හිටියේ මිශ්‍ර ඉස්කෝලෙක නිසා ජපන් කොඩිය අපිට හොඳට පුරුදුයි. තව ගෑණු ළමයි දෙන්නෙක් පිටිපස්සෙන් ගාඩ් එක දාගෙන හොස්ටල් එකට එක්ක යන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ කාලෙ නම් අපි අතඇරියේ නෑ, විහිලු කලා ජපන් යනවද කියලා අහලා...

    ReplyDelete
    Replies
    1. ජපන් කොඩි නිසා වුණ අකරතැබ්බ නං කෙළවරක් නෑ.. හැබැයි අපේ පන්තිවල කොල්ලො නම් ඕවට විහිළු කලේ නැහැ.. හැදියාවක් තිබුණ ළමයි තිසරල වගේ නෙවෙයි..

      Delete
  3. //ආදරයේ කුරුසියත් කර දරාගෙනම උත්තරා දෙව්මැදුර තුළට පිවිසියා ය. //
    අපි හැමෝම එක්තරා විදියක කුරුසි කර තියාගෙන යනවා තමයි.

    වෙනස් විදියකට කියාගෙන යන ආදර කතාවක්!!!

    //යට ගවුම පිටින්ම උත්තරා ලියුම අතට ගත්තාය.//
    ලස්සණ යෙදුමක් කියලා හිතුණා. :)

    ReplyDelete
    Replies
    1. වෙනස් විදියක මෝඩ ආදර කතාවක් කියල කියාවි පොඩ්ඩි අන්තිමට...

      Delete
  4. මට මේ කතාවේ සමහර තැන් තේරුනේ නෑ...
    ඒකට කාරි නෑ.
    ඒක නෙමේ. මාතලේ පල්ලිය කියන්නේ සැන් තෝමස් පල්ලිය නෙහ්.. අර ඉස්කෝලෙත් එක්ක තියෙන්නේ.. මාත් එක දවසක් යාළුවෙක්ගේ දිහෑ ගියහම ඔය පල්ලියටත් ගොඩ වැදුනා. එදා ගියේ ඉංග්‍රීසි පූජාවක්.. ගොළුවා හීනයක් දැක්කා වගේ ඉදලා ආවා :)

    ReplyDelete
    Replies
    1. සෙන් තෝමස්ද නම් මන්ද? මතක නෑ.. කාලෙකට කළින්නෙ ගියේ...

      Delete
  5. හිතට දැනෙන කතාවක්.
    //සුනේත්‍රාගේ ප්‍රේම පුරාණයේ නිර්මලා මෙන් සියලු බන්ධනයන් ඉක්මවා යා හැකි නිවහල්, තෘෂ්ණාවෙන් තොර හදවතක් වෙනුවෙන් උත්තරා පෙරුම් පුරන්නීය. නමුත් එවැනි අධ්‍යාත්මයක් සොයා පහදා ගන්නට තරම් ළඳ බොළඳ සිත තවමත් සවිමත් නොවන බව ඇය දනී. හිත පතන්නේම ඇලෙන්නට ය. නැළවෙන්නට ය. ඉදින් සිදුවන්නේම තැවෙන්නට ය. මේ වේදනාවේ කටු ඔටුන්න ගලවා පසෙකින් තබන්නට හැකි වන්නේ කවදාද?//
    හරි ම අපූරු යි මේ වචන පෙළගැස්ම.

    ReplyDelete
  6. 'මේක නම් පුදුම ආදර කතාවක්.. පිරිමියෙක්ගෙ ජීවිතේ තාත්ත කෙනෙක් වෙනවයි කියන්නෙ අක්කේ.. ඒ තමයි වැදගත්ම අවස්ථාව.. ඒ වෙලාවෙ මුලින්ම ඔයාව මතක් වෙනවා කියන්නෙ එක පැත්තකින් ඒ මනුස්සයට ඔයාව ඇත්තටම අතිවිශේෂයි.. //

    මේක නං ඇත්තම ඇත්ත...

    ReplyDelete
  7. මරු.. වර්තමානෙන් අතීතෙට ගිහිල්ල ආපහු වර්තමානෙට ඇවිත්. ඒත් වෙනසක් දැනුනෙ නෑ...
    මමත් රාජ කුමාරයෙක් නෙවෙයි - ගමේ කොල්ලෙක්

    ReplyDelete
  8. කතාව හරිම ලස්සනයි. ඒත් නිශා දැන ගත්ත නං ඒ දුරකතන අැමතුම ගැන කොච්චර දුකක් හිතට දැනෙවිද?.....

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හරිම ලස්සන කතාවක්නේ. මම කලින් කියවලා තියෙනවා කියලා මතක නෑ. මේක කලින් කොටස්. ආයෙත් මුල ඉදන් බලලා අදහස් කියන්නම්.

    ReplyDelete
  11. තරු අක්කගේ කතාවේ ගලායාම ගැන ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. ආසාවෙන් ඔන්න මේ කොටසත් කියෙවුවා..

    ReplyDelete
  12. ඔබේ රචනා ශෛලිය ගැන නම් කියන්න දෙයක් නැහැ. අපි උත්සාහයක් ගනිමු හොඳ නවකතාවක් එළිදක්වන්න. එවිට මිට වඩා බොහෝ දෙනෙකුට කියවන්න පුළුවන්

    ReplyDelete
  13. ඇයි තරු.....අතරමැද වෙන පෝස්ට් දාන්නේ.....නිකන් අහන්නේ....

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...