Sunday, November 10, 2013

සමනල් පියාපතක පිණි බින්දුවක් ( 04 )



''මං ඔයාට කතා කරන්නත් හිතන් හිටියෙ..'' උත්තරා කීවේ ඇමතුම පිළිගනිමින් සිදු කළ ආචාර සමාචාරවලට අනතුරුව ය.

''ඉතින් හිත හිත හිටියෙ.. කතා කරන්න එපායැ..'' දෙනෙත් උත්තර බැන්දේ සැහැල්ලුවෙනි.

''හිතට නිදහසක් තිබුණෙ නෑ... මට දැන ගන්න ඕන තව විස්තර ටිකක් මේ කතාවෙ.. ඔයාගෙ පැත්තෙන්.. මගේ පැත්තෙන්ම විතරක් ලියන එක අසාධාරණයිනේ...'' 

උත්තරා කතාව කීව ද මේ ඇගේ කතාව පමණක්ම නොවන්නේය.  හරි නම් දෙනෙත් මෙන්ම අසංග ද විමසා බැලිය යුතුය. නමුත් අසංග අද කොහේ, කොතැනක ඇත්ද? සිහිනෙකින්වත් ළං විය නොහෙන දුරක බව පමණක් ඇය දනී. මතකයේ කෙටී ඇති අසංගගේ දුරකථන අංකය වුව ස්පර්ශ කරන්නට හිත් නොදේ.

''ඕන නම් මම ලියලම දෙන්නම්..'' දෙනෙත් කියන්නේ උත්තරා ලියනා කතාවේ තමන්ගේ කොටස ගැනය.

''ඒක වඩාත්ම හොදයි.. ''

''ඔය පොත ලිව්වම.. උත්සවයක් තියෙනවනේ.. ඉන්වයිට් කරන්න මටත්. හරිනම් මටයි  පොත පිළිගන්වන්න ඕන...''

''හා..!!!! පිළිගන්වන්නම තමයි වටින්නෙ... ඔයාට විතරක් නෙවෙයි, දෙන්නටම.................. පිස්සුද අනේ.. මගේ ඔ‍ලමොට්ටලකම් පොතක් කරල හැමදාම බල බලා ඉන්න පුළුවන්ද? යාළුවන්ගෙන් බේරෙන්න බැරිකමට කතාවක් ලියනව විතරයි... අනුන්ගෙ කතා ලියනවට වඩා ‍ලේසියි තමන්ගෙම කතාව ලියන එක..''

........................................

කොක්කක් නැති ආඩම්බරකාර කෙක්කක්.......

විසිඑක්වෙනි සියවස එළිපත්තේ උත්තරා සරසවියගේ බැල්මට හසුවූවා ය. ‍කොලොම් තොට පිරිසි දන්නා පුංචි කෙනෙකු සමග මුල්ම දවසේ ඈ සරසවියට ආයේ අම්මාත් සමගිනි. නමුත් ගමන අතර මග බසයෙන් බසින්නට සිදු වූයේ උත්තරා ‍ නොනවත්වාම හිත පිරුණු චකිතයත්, බියත් මුවින් පිට කරන්නට වූ නිසාය. බස් රථයටම අප්පිරියාවක් වන තරමට ඇය වමනය ගොඩක් බවට පරිවර්තනය වී සිටියාය. අපායට යන්නට මිස සරසවි යන්නට සුදුසු තත්වයක් නොවූයෙන් දන්නා හුනන නිවසකට ගොඩ වී ඇුම් මාරු කරගන්නට සිදු විය.

''මෙයා මේ මලක් වගේ හැදිලා.. අනේ මන්ද කොහොම කොළඹ ඉදියිද කියල''

පුංචි කීවේ පසුකලෙක මව්පිය සෙනෙහසින්ම උත්තරා රැක බලා ගත් එකී නිවසේ අම්මාට ය. නමුත් ඒ මල එකී සති අන්තයේම නාඳුනන ජ්‍යෙෂ්ඨ උත්තමාවියක් පසුපස කොළඹට විත් ගම්පියස කරා යා හැකි බසය නවත්වන තැන සොයා ගත්තාය. ඉදින් තනිකම විසින් ලබා ‍දුන් ධෛර්යයෙන් ඉන් බොහෝ කලක් පසුවීත් ඇය නිරුපද්‍රිතව කොලොම්පුර ජීවත් වූවා ය. ගම්මැදි මිනිසුන් සතර මහ අපාය යැයි සිතමින් මේ හැටි ම අගනගරයට බිය වන්නේ මන්දැයි උත්තරාට තවමත් සිතා ගත නොහැක. ඇය කො‍ලොම් පුරයේත් නිදහසේ සැරිසැරුවාය. අඩුවකට තිබුණේ බයිසිකලය පමණි.

''උඹල ශිෂ්‍යත්තෙ පාස් වෙලාද කැම්පස් ආවෙ''

තෙල් බැම්ම මත වාඩි වී සිටි ජ්‍යෙෂ්ඨ උත්තමයන් එසේ ඇසුවේ උත්තරා ඇතුළු නඩයෙනි. අහඹු ලෙස වුව උත්තරාගේ නේවාසික කුටියට එක්තැන්ව සිටියේ දොඩම් ගෙඩි දෙකක් තරම උස නැති අමුම අමු ගොඩේ කෙලි රෑනකි. කැකිරාව, ඇඹිලිපිටිය, ආනමඩුව, අකුරැස්ස, අම්බලන්ගොඩ ඇතුල් ගම්වලින් පැමිණ සිටි ඔවුන් සමග උත්තරා කදිමට පෑහුණාය.

ඒ වන විට කවියක් නිසා දැන හඳුනා ගත්, නමුත් කිසිදින ඇස නොගැටුණු පෑනෙ මිතුරු ඇසුරට වසර තුනක් ඉක්ම ගොස් තිබිණි. උත්තරා අමතක කර දමන්නට උත්සාහ කළ ලියුම් ගනුදෙනුව සැහැල්ලු උණුසුම් මිත්‍රත්වයකින් වරින් වර  අලුත් කරන්නට දෙනෙත් සමත් වී තිබිණි. විටෙක හිත සලිත කරවන සින්දු කෑලි අමුණා එවූ ලිපිවලින් වෑහුණ සෙල්ලක්කාර ගතියට උත්තරාගේ පෑන මුනිවත රැකි නමුදු පිට පිට එන ලියුම් කිහිපයකට පසුව ඇගේ සිත නැවතත් දයාන්විත මිත්‍රත්වයකින් පිරෙන්නට පටන් ගනී. එදා මෙන්ම අදත් ඒ මිත්‍ර බන්ධනය නොමියැදී පවතින්නේ සැබවින්ම දෙනෙත්‍ ගේ උවමනාව මත මිස උත්තරාගේ කැපවීම මත නම් නොවන බව සහතික ය.

හෘදයාංගම සහෝදරත්වයකින් වදන් ගොනු කළ අසංග ගේ මටසිලිටි ලියමන් ලීලාව ඇගේ සිත වඩ වඩාත් පැහැර ගනිමින් තිබිණ. අනුන්ගෙන් පැහැර ගත් ලිපිනයක හිමිකාරියක් වෙනුවෙන් එතරම්ම සංයමයෙන් අකුරු කරන්නට ඔහුට හැකි වූයේ කෙසේද? එතරම්ම සහෝදරාත්මකව වදන් ගොනු කළ හැකි වූයේ කෙසේ ද? උත්තරා පසුකලෙක දැන පහදා ගත් අන්දමට ඒ ව්‍යාජයක් නොව ඔහුගේ පිරිපුන් හදවතේ සැබෑ සංයමය යි. සැබෑ මනුෂ්‍යත්වය යි.  එය උත්තරාට මතු නොව කා හට වුව ද නෙවෙනස්ව පිරිනැමෙන දයාවකි.

සැබවින්ම ඈ සරසවි කන්ද නැග්ගේ ඒ වටකුරු අකුරු පිළිබඳව හද පුරා ගත් නිහ ප්‍රේමයක් ද සමගිනි. එනිසාම අත්වැල් පටලා සරසවි බිම පුරා ඇවිද යන, කොන්ක්‍රීට් බංකු මත ළං ළංව ‍කොුරන පෙම්වත් කුරුලු ජෝඩු අංශුමාත්‍රව හෝ ඇගේ සිත සලිත කළේ නැත. මිතුරියන් පෙම්වතියන් වෙද්දී, ප්‍රේමය පිළිබද තො‍රතෝංචියක් නැතිව දොඩමලු වෙද්දී උත්තරා මුනිවත රැක්කාය. සටහන් අතර කවි ලීවා ය. ලියුමක් එන තුරු ඇඟිලි ගැන්නා ය. දවසින් දවස රණවිරු පෙම්වතියකගේ හීනයකට පාට තේරුවාය.

මන්ද යත් ඒ වන විට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර ලුතිනන්වරයෙකි.

ඇය උසස් පෙළ නිම කර තාවකාලික රැකියාවක නියුතුව සිටියදී, ලිපියක සේයාවක් හෝ නැතිව ගෙවුණු මාස කීපයකට පසු දියතලාව ගුවන් හමුදා පුහුණු කවුරකින් උත්තරා නමට ලිපියක් ලැබි තිබිණි. අසංග සූරියබණ්ඩාර ගුවන් හමුදා සිහිනය සපුරා‍ගෙන ය.

''මං වගේ කෙනෙකුට හමුදාව ගැළපෙන්නෙ නෑ නංගා... වෙලාවකට හිතෙනවා ඇයි මම මෙතෙන්ට ආවෙ කියලත්..'' වරෙක ඔහු ම ලියා එවා තිබිණි.

පුහුණු කාලය අතරතුර හුදකලා යාන්ත්‍රික දිවියට උත්තරාගේ අතකුරු අස්වැසිල්ලක් වූ බව පෙනෙන්නට තිබිණි. කුලමල පවුරු පදනම් අබියස බි වැටුණු ප්‍රථම ප්‍රේමයේ සුන්බුන් අතර සැරිසරමින් සිටි පරාජිත පෙම්වතාගේ දුක්ගන්නා රාළ වන්නටත්, සුව සහනයේ දූතිකාව වන්නටත් උත්තරාට හැකි වී තිබිණි. ඒ කුලමල පවුර අසලම දිනෙක තමන්ටත් කඳුළු ගනින්නට සිදු වේ යැයි ඒ මොහොතේ ඇය සිතුවේ නැත. එතරම්ම ජීවිතය ගැන බරක්පතලක් ඇයට තිබුණේත් නැත.

දෛවය රතු එළි දල්වන මුත් එය නොතකමින් කඳුලු සයුරටම පැන මියෙන්නට හදන්නේ මෝඩකමට ම මිස අන් කුමකට ද? ඒ මෝඩකම යැයි අර්ථ ගැන්වෙන්නේ සියල්ල නිම වී සන්සුන් හදකින් අතීතයට එබී බලන වර්තමානයේ මිස එදවස නම් නොවේ. එසේ නම්... එදවස? පණ පුදන්නට වුව හැකි පරමාදර්ශී ප්‍රේමයකි. ජීවිතයම වුව කැප කළ හැකි උත්තම ප්‍රාර්ථනාවකි. ''අනේ මං වගේ මෝඩ අංගනාවක්'' උත්තරා විටෙක තමන්ට ම සරදම් කර හිනැහේ.

ඉදින් සිව් වසක් ඉක්ම ගිය තැන ඇය සරසවි කන්ද බැස ආයේ ද පෙම්වත් සුරතක ස්පර්ශය නොලද හුදකලා කිරිල්ලක ලෙසිනි. කොක්කක් නැති ආඩම්බරකාර කෙක්කක් ලෙස ඇය තනිපංගලමේ ම සරසවි බිම සැරිසැරුවා ය.

''පුදුමයිනෙ.. අවුරුදු හතරක් කැම්පස් එකේ ඉලත් කොල්ලෙක් අල්ල ගත්තෙ නැති එක.. අඩුතරමෙ කොල්ලෙක් යාළු වෙන්නවත් ඇහුවෙ නැද්ද? '' පසුකලෙක විමසන බොහෝ දෙන හමුවේ උත්තරා සිනාවක් මුදා  හැර නිහඩ වන්නී ය. තලු මරන්නට සරසවි රස කතා නැතුවාම නොවේ.

''ඇයි යකඩ සපත්තුවා .......!!!'' එය තවත් රසබර මතකයකි.

......................................................


හිත මහ පුදුම ය. ඇළුනොත් ඇළුණාම ය. ගළවා ගැනීම ලෙහෙසි නැත. අනන්ත අප්‍රමාණ දුක්ඛ වේදනා ගිරි දුර්ගයක කෙළවර සන්සුන් ව, නිරවුල් ව පැවති සිත ආයෙමත් පිස්සිගේ පලා මල්ලක් වී ඇත. 

කවුරුන් හෝ වැරදිකරුවන් කොට විත්ති කූඩුවට නංවන්නට උත්තරාට අවැසි නැත. වැරදිකාරිය තමන් ම බව ඈ දනී. සැමවිට ම ඇය විත්තිකූඩුවට නංවන්නේ තමන්වම ය. තම හදවතම ය. දඬුවම් පමුණුවා ගන්නේත් තමන්ටම ය. ජීවිතාන්තය දක්වාම බරපතළ වැඩ සහිතව හුදකලාව තුළ සිර ගත කළද, මේ හදවත නම් හැදෙන පාටක් නැත. 

16 comments:

  1. කියෙව්වා කියලා විතරයි කියන්න පුළුවන්. ඒ තරමටම මාව සසල කරලා.

    ReplyDelete
    Replies
    1. සමාන හදගැස්මක්...

      Delete
  2. හොල්මන්ද පොල්කොළ කිව්වලු...
    ලියවිල්ල පස්ට......
    මට කොහේ හරි මග ඇරිලා වගෙයි.මුල ඉදලම බලන්න ඕන.
    මෙය නිර්මාණයක්ද?සත්‍ය කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. පුදුමයි මග ඇරුණා.. දැන් කාර්යබහුල බ්ලොග් අඩවියක හිමිකාරයෙක් වෙලානෙ නේද?

      නිර්මාණයක් ඇත්තටම... සත්‍යය හා මායාව අතර දෝලනය වන...

      Delete
  3. ගොඩක් හොදාාාාාාාායි.තරු නැන්දා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුතේ.. ඒත් ඔයා දැන්ම මේ කතා කියවන්න එපා... හොදේ...

      Delete
  4. /////හිත මහ පුදුම ය. ඇළුනොත් ඇළුණාම ය. ගළවා ගැනීම ලෙහෙසි නැත//////

    හරි තැනක ඇළුණොත් ගලවන්න ඕනෙත් නැහැ,

    කියවා රස වින්දෙමි.

    ReplyDelete
    Replies
    1. ''හරි තැනක ඇලුණොත් ගලවන්න ඕනෙත් නෑ..'' කතාව ඇත්ත...

      වැරදි තැන්වල ඇලෙන නිසානෙ මේ හැටිම දුක්..

      Delete
  5. කතාවේ ඊලගට මොකක් වෙයිද කියලා හිතන්න ට්‍රයි එකක් දුන්නත් හරි යන්නේ නෑ.. ඒ හන්දා බලමුකෝ නිදහසේ තරූ අක්කම ලියනකන්...

    ReplyDelete
    Replies
    1. අවසානය නම් අනේ මන්ද? මමත් දන්නෙ නෑ තාම...

      Delete
  6. අපරාදෙනේ උත්තරා කැම්පස් කොල්ලෙක් අල්ල ගත්තේ නැත්තේ? අපිට හොඳ ආදර කතාවක් බලන්ට තිබ්බා එහෙමනම්...:)

    මුණ නොගැහුණු ආදර කතාවල රසය වැඩියි. ආදරයත් වැඩියි තරූ...

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත පොඩ්ඩි...

      ''නෙලාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන...''

      Delete
  7. මටත් කියන්න තියෙන්නේ මිකතාව ලියා අවසන් කරලා
    "''ඔය පොත ලිව්වම.. උත්සවයක් තියෙනවනේ.. ඉන්වයිට් කරන්න මටත්"
    කියලම තමයි.
    අන්න එදාට තමයි මේ රසවත් මතක තවත් රසට ලියවෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේ කතාව නැතත් වෙන කතාවක් හරි පොතක් විදියට පළ වෙන දවසට දයා අයියට අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා...

      Delete
  8. ගොඩක් ලස්සන කතාවක්. ආසාවෙන් කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුංචි කුමාරි....

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...