Tuesday, November 26, 2013

සමනල් පියාපතක පිනි බින්දුවක් (05)


සපුමල් සුවඳක් සේ...


‘‘යකඩ සපත්තුවා ගැන ලියන්න කළින් සපුමල් සුවද ගැන ලියන්න ඕන... උත්තරා පවසන්නීය.

‘‘ඇයි?”‍ මම අසමි.

‘‘ඒ මතකෙට මං හරිම ආදරෙයි... නත්තල් හීතල වගේ හරිම සුවදායක හැගීමක් දැනෙන්නෙ. ඒ තරං දේකුත් නෙවෙයි.. ඒ වුණාට සරසවි මතක අතර සුන්දරම මතකයක්...”

..........................

‘‘ කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ.. ක්‍රිස්තියානි සංගමයත් එක්ක මගෙ වැඩි ගණුදෙනුවක් තිබුණා. කැම්පස් යන්න කළිනුත් සමාජ වැඩ එක්ක හිටියනෙ.. කොළඹ ආගන්තුක තැනක් උණත් යොවුන් එකතුවෙන් දැන අඳුන ගත්ත අක්කල, අයියල කීප දෙනෙක්ම ඒ වෙද්දි කැම්පස් එකේ හිටිය නිසා ක්‍රිස්ටියන් සොසයිටි එකෙන් ගැළවෙන්නත් බැරි වුණා.. ඕනම කැම්පස් එකකට යන්න ලකුණු තියෙද්දිත් මං කැළණිය අංක එකට තේරුවෙ වෙන මොනවත්ම නිසා නෙවෙයි මාව බලා ගන්න ඔය අයියල අක්කල ටික උන්නු නිසානෙ... මං වගේ පිස්සු කෙල්ලෙක්..

දවසක් ක්‍රිස්තියානි සංගමෙන් ලෑස්ති කළ පූජාවකට යමින් උන්නා මං.. තෙල් බැම්මෙ වාඩි වෙලා හිටියා දන්න අයිය කෙනෙක්... ඒ කාලෙ ශිෂ්‍ය සංගමේ සභාපති. අපේ යොවුන් එකතුවට බැහැලම වැඩ කළ කෙනෙක්.. පස්සෙ එයා විප්ලවකාරයෙක් වෙලා අපේ වැඩවලින් ඈත් උණා...

ඉතින් මං ඇහුවා ‘‘අයියෙ, පූජාවට යන්නෙ නැද්ද?” කියල. 

‘‘පූජාවලට ගියාට වැඩක් නෑ බං.. පූජා වෙන්නෙ නැතිව..” 

ඔන්න දුන්න උත්තරේ. කතාව ඇත්ත. ඒත් ඉතින් එක එක්කෙනාට පූජා වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනෙ. මං හිතුවා විතරයි. කිව්වෙ නැහැ. ඕක කිව්ව නම් තර්ක කෝටියයි. මං ආස නැහැ වාද කරන්න. මං ආස හිතන්න.. ලියන්න... මගෙ පාඩුවෙ ඉන්න...

පස්සෙ කාලෙක මම ක්‍රිස්ටියන් සොසයිටි එකේ වැඩවලින් ඈත් උණා. මටම තේරුණා එතන පූජා තියනව මිසක පූජා වෙන්න දෙයක් නැති බව.. ඊට වඩා වැඩ එක්ක සම්බන්ධ වෙලා උන්න නිසාද මන්ද මට එතන වැඩවල හරි හිස් ගතියක් දැණුනෙ.

මතක් උණ නිසා කිව්වට  ඔය කතාව සපුමල් සුවඳට කොහෙත්ම සම්බන්ධයක් නෑ.

ඉතින් පළවෙනි අවුරුද්දෙ නත්තල සමරන්න කැරොල් ගී වැඩසටහනක් තමයි සංවිධානය උණේ. කීප සැරයක්ම ප්‍රැක්ටිස් තිබුණා.. එක එක තැන්වල. පැවිලියන් එකේ, ජිම් එකේ, තරුවෙ... තරුව කිව්වෙ තරුවක හැඩේට තිබුණ බිම් කොටසක, තරුවක හැඩේටම මල් වවල තිබුණ නිස්කලංක තැනක්... ගිටාර් එකක්, බොංගෝ එකක්, එකෝඩියන් එකක් තමයි වාද්‍ය භාණ්ඩ උණේ..

එකෝඩියන් එක ප්ලේ කළේ සයන්ස් ෆැකල්ටියෙ අයිය කෙනෙක්... විශේෂයෙන් එයා මතක හිටින්න හේතු කීපයක්ම තිබුණා. එකක් එයා බෞද්ධ.. අනික හැමදාම ඇන්දෙ හම ගිය ඩෙනිමකුයි, නිල් පාට ටී ෂර්ට් එකකුයි.. රබර් සෙරෙප්පු දෙකක් තමයි දැම්මෙ.. දුප්පත්කමටද, ෆැෂන් එකට ද මන්ද? 

බොහොම නිශ්ශබ්ද්දයි. හිනාවක් නැති තරම්... කෙට්ටු තළෙළු නූස් ශරීර කූඩුවක මේ තරම් ගාම්භීර බැල්මක් පිහිටන්නෙ කොහොමද? මට වෙලාවකට පුදුමත් හිතුණා... ඇස්වලින් තමයි කතා.. අනික එකෝඩියන් එක ප්ලේ කරන්න ගත්තම ඇස් දෙකත් වැහිලා. ඒ වෙලාවට කතා කරන්නෙ සංගීතය.. පුදුම විදිහට දැනෙනවා හිතට.. 



අපි ගීතිකා ප්‍රැක්ටිස් කරල ඉවර වුණාම සින්දු කියනවා.. මං වැඩියක්ම සංගීත සාදෙට සම්බන්ධ නොවුණත් අහගෙන ඉන්නවා... හිත නිවෙන සින්දු... එතන උන්න හැමෝම සංගීතය රස විඳින්න දන්න අය... ඒ එක දවසක තමයි සපුමල් සුවඳ ඇවිත් හිත ළග නතර වුණේ...

සපුමල් සුවදක් සේ සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ..

ආස සින්දුවක්...ඒත් ගොඩක්මත් නෙවෙයි... මමත් හෙමිහිට මුමුණමින් හිටියෙ... එකෝඩියන් එක හිත හිරිවට්ටන විදියට වාදනය වුණා.. ඒ ඇස් පියවිලාමයි තිබුණෙ.. ඔන්න සින්දුවෙ දෙවෙනි කොටස පටන් ගනිද්දි හැමෝගෙම කටවල් වැහිලා... මගෙ හඬ විතරයි ඇහුණෙ... මම විතරයිද මන්ද සම්පූර්ණ සින්දුවම දැනන් උන්නෙ...

හැන්දෑ වලාකුලේ .. අටවක හද මඬලේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා..
මා පමණයි දුටුවේ....

ක්ෂණයකින් ඇස් ඇරුණා.. ඒ බැල්මට මාව සීතල වෙලා ගියා.. ඒත් සින්දුව නවත්වන්න හිතුණෙත් නෑ... ආයෙම ඇහිපිය වැහුණා... මං ගීතයටම සම වැදුණා..

ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ
සවනත සනහා මා ලඟ උන්නා
රැය පමණයි දුටුවේ...

අන්තිමට  සපුමල් සුවඳ අපි දෙන්න විතරක්ම වෙලා අනික් හැමෝම සුවද විඳින්නො වෙලා තිබුණා..

සපුමල් සුවදක් සේ යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා
ඇයි මුළු ලොව දුටුවේ...

ගීතය අවසන් වුණේ අපේ ඇස් හමුවෙලා... මං තිගැස්සුණා ඇත්තටම... හිනා පොදක්වත් නැති හිත කීරි ගැහෙන එහෙම බැල්මක් කවදාවත්ම මට මුණ ගැහිල තිබුණෙ නැහැ.

එදයින් පස්සෙ මං ඒ ඇස් හොයන්නත්, ඒ ඇස් මාව හොයන්නත්,  අපේ ඇස් හමුවෙද්දි ඉක්මණින්ම මං ඇස් හංග ගන්නත් පටන් ගත්තා... ඒක සෙල්ලමක් වගේ.. මට බය හිතුණෙ අසංග අයියට වෙන් වෙලා තිබ්බ හිතේ ඉඩ වෙන කෙනෙක් අයිති කර ගනියි කියල... එහෙම වෙනව දකින්න මට ඕන උණේ නෑ.. ඒ හින්ද මං ගොඩක් මහන්සි උණා හිත පරිස්සම් කර ගන්න...

එදා සැරේ අපේ කැරොල් වැඩසටහන තිබුණෙ කොළඹ අවට ළමා නිවාස කීපයක... වැඩිහිටි නිවාසෙක.. උදෙන්ම පිටත් වෙන්න නියමිතව තිබුණේ.. 

යාම්තමට මීදුමෙන් වැහිල තිබුණු දෙසැම්බරේ සීතල උදේක සුදු සාරියත් ඇඳගෙන මං බස් රථය ළඟට එද්දි එකෝඩියන් ඇස් දෙකත් ඇවිත් උන්නා.. එදා නම් නිල් ඩෙනිමට සුදු කමිසයක් ඇඳලා.. රබර් සෙරෙප්පු දෙකටත් නිවාඩු දීලා... වෙනස් ලස්සනක්.. එහෙමට කඩවසමක් නොතිබුණත් මගේ හිතේ ලකුණු පුවරුවෙ ඉහළින්ම රැ‍දෙන්න පුළුවන් ගති ලක්ෂණ ගොඩක් ඒ කතා කරන ඇස්වල තිබුණා. ඒ හින්දමයි මට ගොඩක්ම බය හිතුණෙත්...

මං තෙල් බැම්ම ළඟට එද්දිම ඔහු නඩයෙන් මිදිල මං ඉදිරියට ආවා.. ඇස් හීනි කරල ගැඹුරු හුස්මක් මුදා හැරල හෙමිහිට මෙහෙම කිව්වා..

‘‘ලස්සනයි..” 

ජීවිතේටම කතා කළ එකම වචනය... ඒ වචනයට වඩා බැල්මටයි මං බය වුණේ.. මට හිනාවෙන්නවත් මතක් වුණේ නෑ.. මොහොතකින් මං සීතල අයිස් කුට්ටියක් වෙලා.. 

එතනින් එහාට මං කොයි තරං ඒ බැල්ම මග ඇරියද කියනවනම් අන්තිමට මටම ඒක වදයක් වුණා. හවස් වෙද්දි කතා කරන ඇස් වුණත් තරහෙන් පිපිරි පිපිරි තිබුණා.. ආපසු ගමනෙදි යන්නං කියන්නෙත් නැතිවම මගදි බස් එකෙන් බැහැල යද්දි නම් මට අතින් අල්ලල නතර කර ගන්න තරම් හිතුණා.. ඒත් හිතට හයියක් තිබුණෙ නෑ... යන අයට යන්න ඇරල බලා උන්නා මිස කවදාවත් බලෙන් නතර කර ගන්න සිරිතක් මට තිබුණෙත් නෑ... එදත් එහෙමයි...අදත් එහෙමයි..

ඉන්පස්සෙ ඉඳහිට සරසවි බිමේදි හමු වුණත් මං දැක්කෙ ද්වේෂය පිරුණු නපුරු ඇස් දෙකක්.. මන්දා සමහර විට මට හිතුණ හැටි වෙන්න ඇති.... ඊටත් ටික කාලෙකට පස්සෙ මං දැක්ක ගෑණු ළමයෙක් එයාගෙ අතේ එල්ලිලා සරසවි කන්ද නගිනවා.. එදා නම් පුංචි දුකකුත් දැණුනා..

ඒත් අදටත් ‘‘සපුමල් සුවඳක් සේ” සින්දුව ඇහෙද්දි මට නත්තල් සීතලයි, නත්තල් ගීතිකායි, එකෝඩියන් වාදනයකුයි, හිත හිරි වට්ටන බැල්මකුයි මතක් වෙනවා.......... ඒ වගේම නත්තල ආවම සපුමල් සුවඳ මතක් වෙනවා.. ”

උත්තරා හෙමිහිට සුසුමක් මුදා හැරියාය. ඈ මුව රැඳුණේ මන්දස්මිතයකි.

‘‘සුසුමක් වුණත් සුවඳයි නේද? සපුමල් සුවඳ වගේ” අතීත මතක අවුස්සන හදවතින් ඇය විමසන්නීය.

‘‘ඔයා හරිම පිස්සු කෙල්ලෙක්... ” හදවත පිළිවදන් දෙයි. උත්තරා හදවතට ම දිනුම දී උත්තර නැති සුසුමකට ගිළිහෙන්නට ඉඩ දෙන්නීය. 

...................................................

ඔබ වෙනුවෙන් නොලියන්න යැයි ද, මා ලියන දේ තුළ ඔබ සිටිය යුතු නැතැයි ද ඔබ ම පවසයි.

ඉදින් මට මා පවා අහිමි වෙයි.

සිතුවිලි වියළී යයි. අකුරු ඇද වී යයි. වචන පටළැවී යයි. ජීවිතයම පිළිතුරක් සොයා ගත නොහැකි තේරවිල්ලක් බවට පත් වෙයි.

ඉදින් සියල් ජීවන ප්‍රශ්නාර්ථ මැද, ඔබ ද තුන් තේරවිල්ලක් කොට ගෙන අනවරත අරගලයක නිමග්නව සිටිමි.

එයින් මිදෙන්න යැයි නොපවසන්න. ඔබේ ගමනට අබ මල් රොනක බාධාවක් නොවන බවට පිළිණ දෙමි.

ජීවිතය හිස්ම හිස් කඩදාසියක් වනවාට වඩා හරස් පද ප්‍රහේළිකාවක් වීම අගනේ නොවේද?  මට මා ජීවත් වන බව දැනෙමින් තිබේ.. අන් කවරදාටත් වඩා දැනෙමින් තිබේ.. 

එය ම ප්‍රමාණවත් නොවේද?



25 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එකම කොමෙන්ටුව දෙපාරක් පෝස්ට් කරලා ඒකයි එකක් අයින් කරේ...

      Delete
    2. එකම කොමෙන්ටුව දෙපාරක් පෝස්ට් කරලා ඒකයි එකක් අයින් කරේ...

      Delete
  2. හරිම ලස්සණ සංවේදී කථාවක් තරෑ. මම දැන් වැඩිය මේ වගේ කථා කියවන්නේ නෑ. වයසෙ වැරැද්දද කොහේද? මම මුළින්ම මගේ හදවතටම වදින්න කියවපු ආදර කථාව තමයි සන්නස්ගලයන්ගේ කුමාරියක් ඇවිත් ගියා කථාව. ඒක මගේ ජීවිතයටත් ඒ කාළේ සම්බන්ධ වෙලා තිබුණා. ඒත් ඔයාගේ කථාව මම ආසාවෙන් කියෙව්වා. තව තව ලියන්න. අපි එන්නම් කියවන්න...

    ReplyDelete
    Replies
    1. සන්නස්ගලගෙ ඔය කියන කතාව මං බලල නැහැනෙ....

      ජීවිතේට සම්බන්ධ කතාවක් කියවද්දි, ගීතයක් අහද්දි ඒක වෙනස්ම විදියට දැනෙනව තමයි... මේ වගේ කතා වැඩිය නොකියවන කාලෙක වුණත් මේ කතාව වෙනුවෙන් කාලය වෙන් කරන එක සතුටක්...

      Delete
  3. ඒ කියන්නේ දෙවෙනි පාර්ශවයේ ඉල්ලීමක් හින්දා ඔයා මේක නතර කරන්නද යන්නේ? ඒක නම් කරන්න එපා. ඔයාට ඔයාව කියවගන්න ඉඩ ලබා ගන්න.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ... එහෙම කිසිම බලපෑමක් නැහැ.. හැමෝම කියන්නෙ ලියන්න කියල තමයි.. මට මේ කතාව ලියන්න බෑ කියල හිතෙනවා වෙලාවකට... වෙලාවකට ලියන්න ගළපගන්න අමාරු වෙනවා.. ඒ නිසා පමා වෙනවා....

      දැන් ඉතින් අතරමග නවත්වන්නෙ නෑ... රංගි.. ලියලම දානවා...

      Delete
  4. අර අන්තිමේ තියෙන කොටස නිකන් තේරුණේ නෑ වගේනේ.. ඒක කතාවෙම කෑල්ලක්ද? නැත්නම් තරූ අක්කා කියන්න උත්සාහ කරපු වෙනත් දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. අන්තිම කෑල්ල කතාවට කෙළින්ම සම්බන්ධ නෑ... නෑ කියන්නත් බෑ... ඒක වෙනම කතාවක් මල්ලි...

      Delete
  5. ඇත්තටම නත්තල් සිතල දැනුන කියවගෙන යද්දී තරු...
    නාකි අපෙත් ඇග කීරි ගැහෙන ලියවිල්ල පස්ට අෆ්ෆා..
    ඇත්තට තරු අද පුදුම රසයක් වින්ද කියවල.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වලත් පාන්දරට ඒ වගේම මීදුමකින් වැහිල තියෙනවා.. අමුතු ලස්සනක්...

      Delete
  6. මේක මම තව බ්ලොග් එකක ලිව්වා අද. කලින් කොටස්වල ලින්ක්ස් එකතු කරන්න තරූ.

    ReplyDelete
    Replies
    1. ඊළග කොටසට එකතු කරන්නම් දිලිනි.. සමහර වෙලාවට ඒක හරියට එන්නෙ නැහැනෙ... ඒ නිසයි මම වැඩේ අත ඇරල දැම්මෙ..

      Delete
  7. මේ ටික හිමින් සීරුවේ කියවන්න ඕන.. මම මැදින් කඩා පැනලා තියෙන්නේ... මුල ටික කියවලා නෑ තාම...

    ReplyDelete
    Replies
    1. හදිසියක් නැහැනෙ... හෙමින් කියවල බලන්න...

      Delete
  8. //////‘‘පූජාවලට ගියාට වැඩක් නෑ බං.. පූජා වෙන්නෙ නැතිව..” ///////

    /////ජීවිතය හිස්ම හිස් කඩදාසියක් වනවාට වඩා හරස් පද ප්‍රහේළිකාවක් වීම අගනේ නොවේද? මට මා ජීවත් වන බව දැනෙමින් තිබේ.. අන් කවරදාටත් වඩා දැනෙමින් තිබේ.. ////////

    ඔබම ලියු පදපේලි කිහිපයක් උපුටා දක්වා නිහඬ වෙන්නම්. ඒ බොහෝ සිත් ගත් බව නම් කිව යුතුමය.

    ReplyDelete
    Replies
    1. //////‘‘පූජාවලට ගියාට වැඩක් නෑ බං.. පූජා වෙන්නෙ නැතිව..” ///////

      මේ විදියට කිව්ව සහෝදරයා, අදත් තමන්ගෙ මතවාදය තුළම පූජා වෙමින් ඉන්නවා... ඒක තමයි වැදගත්ම දේ...

      අදටත් අපේ සහෝදරකම නොමැකී තියෙනවා.... හැබැයි අදටත් මම ඔහු එක්ක වාද විවාදවලට පැටලෙන්නෙ නම් නැහැ... ඒත් මට දැනෙනවා සරසවි කාලෙට වඩා ඔහු අද පරිණතයි... තමන්ගෙ මතවාදයේම එල්ලිලා ඉන්නවට වඩා අනිත් අයගෙ අදහස්වලට ඇහුම්කන් දෙන්නත් කැමතියි...

      Delete
    2. තරු....මගේ මල්ලි ලියු පොතක් ගැන පනිවිඩයක් එවන්න හිතුනා. ඔබේ ඊමේල් ලිපිනය ගන්නේ කොහොමද?

      Delete
  9. කතාවේ අන්තිම කෑල්ල කියෙව්වහම මටත් හිතුණා කැල්ලක් එකතු කරන්න... :) .. කරුණාකර මෙය මනෝ විකාරයක් පමණක් බව සලකන්න.

    "ඔබගේ මුවින් නික්මෙන වචනයක් පාසා මහා වරදකාරී බවකින් මම දැවෙන්නෙමි.
    ඔබට ඔබ වීමට ඉඩ නොහැර මා කරන්නේ වරදක් නොවේද?
    නමුත් මම ඔබට ඔබව අහිමි කලෙමි.
    වෙන්වී නික්ම ගොස් බොහෝ කල් වුවද ඔබ දැන් මා සතුය...
    හිස් කඩදාසියේ හරස්පද ප්‍රහේලිකාවක් නිමැවූ මම, රුකුල් පද තුල ඔබව සඟවා තබන්නෙමි.
    දැන් අභියෝගය ඇත්තේ ඔබටය.
    හැකිනම් පැමිණ ඔබව සොයාගන්න.
    එවිට ඔබට මාව මුණ ගැසෙනු ඇත."

    ReplyDelete
    Replies
    1. මේ මනෝ විකාරය නම් හරිම ලස්සනයි... මාරයි....

      ''ඇත්තම 'ඔබ' මෙහෙම කියාවිද දන්නෙ නැහැ... හැබැයි ඇත්තම ''ඔබ'' හොයා ගන්න නම් වෙන්නෙ මේ හරස් පද ප්‍රහේළිකාව පුරවාගෙනම තමයි... ඒක ‍ලේසි වැඩක් නම් නෙවෙයි...''

      මම මේ අදහසට හරිම කැමතියි... ස්තුතියි..

      අපරාදෙ තිසර ඔයා ලියන්නෙ නැත්තෙ... අනිත් අයගෙ බ්ලොග්වල කමෙන්ට් ලිවීමට සීමා වෙන්නෙ නැතිව ඔයාගෙ බ්ලොග් එකේ මකුළු දැල් කඩල, දූවිලි පිහිල ගන්නකො...

      Delete
    2. තරුගේ කතාව ගලාගෙන ගියා ලස්සනට නමුත් අවසාන කෑල්ල ජිවිත කතාවක කොටසක් කියල හිතුන....අපුරු යෙදුම් ;අස්සනයි

      Delete
  10. හ්ම්ම් පුදුම විදියට කතාව වින්දා හරිම ලස්සනයි ආකර්ශනීයයි.ඔබ ලියන්නට හරිම හපනියක්.
    නත්තල් සීතලත් එක්ක බැඳුනු හිත රිදවන කතාවක් මටත් තියෙනවා...තවම ලියන්නට හිත හදාගන්න බැරිවුණා.

    ReplyDelete
  11. අපටත් කියවන්න... හිත හැදුණු දවසක ඒ කතාව ලියන්න... සමහර විට ලිව්වට පස්සෙ හිත හැදෙන්නත් ඉඩ තියෙනවා...

    ReplyDelete
  12. "ජීවිතයම පිළිතුරක් සොයා ගත නොහැකි තේරවිල්ලක් "

    ඇත්ත සම්පූර්ණයෙන්ම. ඒත් කවුරුවත් හිතනවද ඔය තේරවිල්ල අතරේ සැඟවුන පිලිතුරකුත් තියනවා කියලා..

    ReplyDelete
    Replies
    1. පිළිතුර තියෙනවා... ඒත් සමහර වෙලාවට ඒ පිළිතුර භාර ගන්න අපේ හිත සූදානම් නැහැ.. අපි හොයන්නෙ වෙනම උත්තරයක්... ඒක ප්‍රශ්නෙට ගැළපෙනම උත්තරය නොවෙන්නත් පුළුවනි...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...