Tuesday, December 3, 2013

පන්සලේ පියතුමාගේ නත්තල් ගී පෙළහර




නත්තල කියූ සැණින් හිතේ මැවෙන්නෙ විචිත‍්‍රවත් සිත්තමක්... හදවතට දැනෙන්නෙ සිහිල් සුළං රැල්ලක් හමා එන්නාක් බඳු නවෝදයක්... කෙනෙකුට නත්තල් සමය විනෝද සාගරයක් විය හැකියි.. නමුත් මට නම් එය සිත නිවා සනහන අසිරිමත් සුයාමයක්.. සැබෑ නත්තල ආදරයයි.. සාමයයි.. සංහිඳියාවයි.. එය සරල විය යුතුයි. මනුෂ්‍යත්වයෙන් පිරි යා යුතුයි.

නත්තල විචිත‍්‍රවත් කරන අංග අතර නත්තල් ගීතිකාවට, කැරොල් ගායනාවලට හිමි වෙන්නෙ සුවිශේෂී ස්ථානයක්.. සැබවින්ම වසර දෙදහසකට එපිට ජේසු බිළිඳා උපන් ඒ සොඳුරු රැයෙත් ගීතිකා හඬ අහස පුරා රැව් පිළි රැව් දුන්නා. දෙව් පුතුගෙ උපත ගැන මුලින්ම ගීතිකා ගායනා කළේ තණබිම්වල බැටළු රැල සමගින් තනි වෙලා උන්නු එ‍ඩේරුන් වෙතට ආව දේව දුතයො.. ඒ ගීතය බයිබලයේ ලූක්තුමාගේ සුවිශේෂයේ සඳහන් වෙන්නෙ මෙලෙසින්...

''අති උසස් තන්හි දෙවිඳුන්ට මහිමය ද
මිහිපිට දේව ප‍්‍රසාදය ලත් ජනයා අතර
සාමය ද වේවා...''



කිතුනු ජන වන්දනාවේ ගීතිකාවට හිමිවෙන්නෙ සුවිශේෂි තැනක්.  ''වරක් ගැයීම දෙවරක් යැදීමක්'' බවත්, එය දෙවියන් වහන්සේට දිය හැකි උතුම්ම ප‍්‍රශංසාවක් බවත් ඔවුන් අදහනවා. එනිසාම ගීතිකා ගායනය කිතුනු ජීවිතයේ උපතේ සිට මරණය දක්වා සෑම සුවිශේෂ අවස්ථාවකදීමත්, සෑම වන්දනා කටයුත්තකදීමත් අනිවාර්යයෙන් බද්ධ වන්නක්. ගීතිකා කියන්නෙ දේව වන්දනාව සහාම වෙන් වුණ ගායනා විශේෂයක්. ගීතය පොදු රස වින්දනය වෙනුවෙන් නිර්මාණය වන්නක්.. නමුත් දැන් ගීතිකාවත්, ගීතයත් එකිනෙක වෙන් කර හුනාගත නොහැකි තරමටම එකිනෙකට සම්බන්ධ වෙලා..

ඉන්දියාවේ සිට පැමිණි ගරු ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා සිංහල ගීතිකාවට ප‍්‍රවේශයක් ලබා දී තිබුණත්, සිංහල කිතුනු ගීතිකාව හෙළ බස් වහරින් සරල සුගම කර දේව වන්දනාවට නව මුහුණුවරක් දෙන්න ප‍්‍රමුඛ වූ අය අතර ගරු මර්සලින් ජයකොඩි පිය නාමය අද්විතීයයි. 

උඳුවප් මහ එළඹෙන්නෙම නත්තල් ගීතිකා, ගීත නිරන්තරයෙන් රැව් පිළි රැව් දෙමින්.. අද අප අසන, ගයන, විඳින ඉමිහිරි බැතිබර නත්තල් ගීතිකා අතර ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචනා කරන ලද ගීතිකා සුවිශේෂ අනන්‍යතාවයකින් පෙනී හිටිනවා.. ඒ ගීතිකා හරිම සරලයි... විචිත‍්‍රයි.. අසිරිමත්... සොබාදහම සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතිනවා. ඇත්තෙන්ම එතුමන්ගේ නත්තල් ගී නොමැති තැන නත්තලත් හිස් වගෙයි.

එතුමන් ලියු ප‍්‍රසිද්ධ නත්තල් ගී කිහිපයක්... 

සීනු හ`ඩින් ලොව පිබිදෙනවා

නත්තල දොර ළඟ හිනැහෙනවා

ගවහලකට තරුවක් යනවා

අහසට පොළව ගැටේ...



තරු එළියේ කඳු වැටියේ

බෙත්ලෙහෙමේ මංගල එළියේ

මල්වැසි වසිනු පෙනේ...

......................................

රැයක අඳුර දුරුවෙලා මුළුම අහස තරුවෙලා

පොඩි තරුවක් හිරු වෙලා මහඟු මඟුලෙකී

කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා

සැම තැන හිම ඉහිරිලා මහඟු මඟුලෙකී..



සීතත් ඇත.. ගීතත් ඇත..

රැයකුත් ඇත ගෙයකුත් නැත

ගව්වක් දුර යන්ටත් ඇත දරුවකු සොයලා

සැනසුම නැත උණුසුම නැත

මව්රුවනට පුතෙකුත් ඇත

යමු යන්නට ගොස් එන්නට

ඒ පුත බලලා.....


.........................................

රෑ තරු බබළනවා... මල් පිපිලා වාගේ

එළියෙන් නැහැවෙනවා.. මල් වැහැලා වාගේ



රැව් පිළි රැව් දෙනවා...

ගීත නාද වාගේ....ගීත නාද වාගේ....

බිලිඳකු හිනැහෙනවා.. මුහුදක රැළි වාගේ...

................................


බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා

ලස්සන බිළිඳෙක් මල් වගේ

මවගෙ ළයේ සුරතල් විඳින්නා

මුතු වැනි රූ සපුවයි ඇගේ



ජය ජය ජය සිරි... ජය මංගල සිරි

මංගල ආසිරි අත් වේවා....

මෙලොවට මේ නත්තල් දිනේ...

මේ ගීතිකා විමසන විට වුව පැහැදිලි වන්නේ අප වෙතින් බොහෝ දුර බැහැර දේශයක සිදු වූ නත්තල් උපත, තවත් අතකින් බටහිරකරණය වීමෙන් විකෘති වූ නත්තල අප සිත් තුළට සමීප කරවන්නට, අපේම අත්දැකීමක් කරවන්නට එතුමා සිංහල බස මනාව හසුරුවන ආකාරයයි.. සරල සුගායනීය රිද්මය එතුමාගේ පද ගැළපීමේ ම කැපී පෙනෙන ලක්ෂණයක්...

නත්තල ලාංකීය පොළව මත සුපුෂ්පිත කරන්නට එතුමා නත්තල් ගීතයෙන් කළ මෙහෙවර ප‍්‍රශංසනීයයි. ඒ සඳහා අපේ පරිසරය, ගැමිකම හා මුසු වු අපේම හදබසක් එතුමන් නිර්මාණය කර ගන්නවා. එයට උදාහරණ කීපයක් මෙන්න.

දින දින දොරකඩ කිරි ඉතිරේවා

මල් මී වද වේවා...

තොල තොල ගානේ කිරි පැණි බේරී

දිවිය මිහිර වේවා...

සීදේවිය ඇගෙ වීණාවත් ගෙන

ඔබට ළඟා වේවා...



නත්තල් ඇති තුරු මුළු දිවියම එක

වසන්තයක් වේවා...


.................................

වනබැද්දේ.. නිල්තැන්නේ.. කහවන් මල් පීදේ

රැස් දිස් වී.. රන්වන් වී.. සුළෙඟ් රැළි පෑදේ

හෙල් බෑවුම් අතරේ... දිය සීරාවන් වෑහේ

ඒ කිංකිණි නාදේ.. ජය රඟපෑමට සෑහේ....
..................................

ඔබ වෙත එමු මල් අරගෙන බෝවිටියා මල්

සෙව්වන්දි හා අරලිය මලිතිය ලිය මල්

වැටකේ මල් දුනුකේ මල් කොර කහ රත්මල්

වතුසුදු මල් කටරොළු සල්මල් ජේසු බිළිඳුනේ...‍‍

.............................

ඉර බැස යන සැඳෑවයි

පියා උදේ මුහුදට යයි

ළදරු දුවක පැදුරෙ නිදයි

නිදයි.. අ`ඩයි.. නිදයි.. අ`ඩයි..



පිපිරි පිපිරි පහන දැවෙයි

වැසි සුළෙඟ් වැටිය නිවෙයි

ගල් තුන උඩ බතක් ඉදෙයි

ලිපේ එළිය ගෙට පහනයි...



දිළිඳු පැලේ ජේසු උපන්නේ.... 



ගරු ජයකොඩි පියතුමා සිංහල වචනවලින් මවන නත්තල සරලයි. සරුව පිත්තල ආටෝපයෙන් වැසී ගිය අද නත්තලට වඩා එය නාගරීකරණය නොවු ගැමි දිවියට බෙහෙවින් සමීපයි.. දරු නැළවිල්ලක අසිරිය ගෙනෙන මේ නත්තල් ගීතය බලන්න...

නැළැවෙන්නේ - නැළැවෙන්නේ

පොඩි පුත නැළවෙන්නේ...

රන් තරුවක් අහසේ බබළන්නේ

ඔබ දෙස හැරි හැරි එබී බලන්නේ

නැළැවෙන්නේ - නැළැවෙන්නේ



නැළැවෙන්නේ - නැළැවෙන්නේ

දොයි දොයි දොයිය බබෝ... දොයියන්නේ

දොයි දොයි - තරු බබළන්නේ - එබී බලන්නේ

නැළැවෙන්නේ - නැළැවෙන්නේ

එතුමා නත්තල් ගීතිකාව මතු නොව සමස්ත හෙළ කිතුනු ගී කෙත අස්වද්දන්නට කළ මෙහෙවර අද්විතීය යි. එහි විවාදයක් නැහැ. නමුත් නත්තලේ අසිරි සිරිය විනා නත්තලේ සැබෑ අරුත මෙම ගීතිකාවලින් නිරූපණය වන්නේද යන්න ගැටලූවක්. නත්තලේ සිදුවීම් පිළිබඳව සෞන්දර්යාත්මක වර්ණනා මිස නත්තල තුළින් පිළිබිඹු වන දේව ධාර්මික, අධ්‍යාත්මික, සමාජයීය ගැඹුර එතුමන්ගේ නත්තල් ගීතිකාවලින් මතු නොවන බව පැහැදිලියි. එය ආනන්දෙයන් ඇරඹී ඉන් ඔබ්බට යා නොහී එතැන්හිම නතර ව ඇති සෙයකි.

නත්තලේ සැබෑ අරුත කැටි කොට ගත් නත්තල් ගීතයක් මුලින්ම අපට හමුවන්නේ නන්දා මාලනියගේ හින්...  එයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්‍ ගේ පද රචනයක්..  ප‍්‍රශංසනීයම කාරණය වන්නේ එතුමන් බෞද්ධයෙක් වීම.  එකී නත්තල් ගීතයේ පද පෙළ මෙලෙසිනි.

ආලේලූයියා... ආලේලූයියා... ආලේලූයියා...


ජේසු ස්වාමි දරුවනේ... ජේසු ස්වාමි දරුවනේ

දුගී පැලේ දිනා මෙලෝ තලේ දිනූ

ඔබේ දහම් තියේ ද දැන් දිව නෙතින් බලන්...



පැල්පතේ හ`ඩද්දි සා දුකින් දුගී ළමෝ

මන්දිරේක සාදයක් ය මිහිරි නත්තලේ

ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්

ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා...



රන් රිදී මැණික් නොවීය ඔබ සමීපයේ

දළ පිලී විනා දුහුල් නොවී ශරීරයේ

මන්ද මේ විලාසිතා දේව මන්දිරේ

යළි ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පෙන්වා දුන් මඟ යමින් දැන් දැන් නත්තලේ සැබෑ දේව ධාර්මික අර්ථය, සමාජමය වටිනාකම කැටි කොට ගත් නත්තල් ගීත විරලව නමුත් නිර්මාණය වෙමින් පැවතීම සුභවාදී අපේක්‍ෂා දල්වයි.

එවැනි නත්තල් ගීත කීපයක් පිළිබව ඉදිරියේදී ඔබ හා අදහස් බෙදා ගන්නට කැමතියි... මේ සුන්දර දෙසැම්බරයේ... 

 ආශ්‍රිත ග්‍රන්ථ - 

  • දේශිය නත්තල් ගීතයෙන් මතු වන ජයකොඩි පිය ලකුණ - ගරු බෙනඩික්ට් ජෝෂප් පියතුමා
  • උපතකට ගැයෙන ගී - කිතුසර කණ්ඩායම



17 comments:

  1. මේ දවස්වල පූජාවල් වලදි ඇහෙන ගීතිකා එකතුවක්...
    මේවා ටික අහන්න පුලුවන් විදිහකුත් දැම්මා නම් තමා වටින්නේ.. ගීතිකා කිව්වහම තමා මතක් උනේ අපේ අම්මා මරිය වසර කියලා දෙව්මෑනියන්ගේ ගීතිකා ටිකක් බාගෙන එන්ඩ කීවා. ඒ ටික හොයන්ඩත් ඕන :)

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රසිද්ධ ගීතිකා හැම එකක්ම යූටියුබ් තියෙනව මල්ලි.. ඒත් මම ලින්ක් එක එකතු කරන්නම්...

      Delete
    2. මෙන්න ගීතිකා තියෙන වෙබ් අඩවියක්... ඒ දවස්වල නං මේක අඩේට් උනා.. දැන් නම් එක පෝස්ට් එකක්වත් නෑ..

      Delete
  2. අපි කිතුනුවන් නොවුනත් වෙන්නප්පුව වැනි ගමක කුඩා කල පාසල් යද්දී මමත් නත්තලට ගව මඩුව හදපු පිදුරු සුවද නහයට දැනුන වගේ හැගුන.
    මර්සලින් J පියතුමා ගැන මට තියෙන්නෙ හරිම භක්තිමත් හැගීමක්.
    සුනිල් අයියව කලක් ලගින් ඇසුරු කළා ,හරි සරල මිනිසෙක්.ඒකාලේ තමා ඔවැනි ගීත බිහිවුනේ.
    දැන් එයාලගෙන් ඕව බලාපොරොත්තු වන්න බැහැ තරු.
    දැන් ෂොපින් යනව ඇරෙන්න වෙන වැඩක් නැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. දැන් වෙන්නප්පුවට පුංචි ඉතාලිය කියලනෙ කියන්නෙත්..

      අපේ ගම්පළාත්වල නත්තල නම් ඒ තරම්ම සාර නැහැ කෙන්ජි අයියෙ...... සරලයි.... මං හිතන්නෙ කිතුනුවො අඩු නිසා වෙන්නත් ඇති...

      කලාකරුවන්ගෙ ෂොපින් යාම තරම්ම බරපතළයිනෙ නිහඩ බවත්... ඒත් දවසක ෂොපින් යාම එපා වෙලා නිහඩ බව බිදෙන දවසක් ඒවි කියල හිතෙනවා... ඒ ගැන කතා කර කර ඉදීමට වඩා අපට කළ හැකි දේ කරන එක වැදගත්....

      කොහොම වුණත් මේ ගීතය නත්තල් ගීත කලාවට වෙනස් මගක් පෙන්නල දුන්නා...

      Delete
    2. අද ළමය බොහොම නිදහසේ වගේ...
      නත්තල් නිවාඩු කලින්ම අරන් වගේ.......... :).

      Delete
    3. මේ ලිපිය කළින් ලියල තිබුණ එකක් අයියේ... කැඩපත පත්තරේට.. පොඩ්ඩක් එහෙ මෙහෙ කරල දැම්ම.. නත්තල් මාසෙ ආවට ලියන්නත් බැරි වුණානෙ...

      නත්තල් නිවාඩුවට සතියක්ම ගෙදර ගිහින් ඉන්නයි හදන්නෙ.. ඒ ගැන නම් හිතද්දිත් සතුටුයි...

      Delete
  3. ආගම් භේදයක් නැතුව රසවිඳින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නිර්මාණවලිනුත් මිනිස් හිත් වෙන් කරන පාලම් ඉදි වෙනවෙනෙ... ඒ නිසා භේදයක් නැතිව කාටත් විදින්න පුළුවන් නිර්මාණ බිහිවෙන්න ඕන... අනිත් පැත්තෙන් එවැනි නිර්මාණ රස විදින්න පුලුවන් විදියට මිනිස්සු අධ්‍යාත්මිකව දියුණු වෙන්නත් ඕන...

      ඒත් එහෙම සමාජයක් හීනයක්මද මන්ද? නංගි..

      Delete
  4. මමත් නත්තල සැමරැවේ නැතුවට මේ කාලය ලං වෙනකොට හිතට අමුතු පිබිඳීමක් සැණසිලිගතියක් දැනෙනවා. ලංකාවේ ඉන්න කොටත් එහෙමයි. මෙහෙනම් ඉතිං අපි අවුරැද්දට ලෑස්ති වෙනවා වගේ. ඉතිං අපිත් ඉබේම ඒකට ලෑස්ති වෙනවා. ඒත් තරෑ කීයෙන් කීදෙනාද සැබෑ නත්තලේ අරැතවත් දන්නේ. වෙන උත්සව වගේ නත්තලත් වානිජකරණීය වෙලා ඉවරයි. නත්තල් ගස්, සැරසිලි හා නත්තල් සීයා තමයි කරළියේ ඉන්නේ.
    නත්තල් සිංදු වලින් මම ආස බෙත්ලෙහෙම් පුරේ...,
    දිළිඳු ගව ලෙනේ...
    මව් තුරැලේ සැපට නිදයි ජේසු බිළින්දා...
    සාමේ රජින්දා....
    සැමට සුභ නත්තලක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. නත්තල් කාලෙ ළං වෙනකොට හිතට අමුතු පිබිදීමක් ඇති‍ වෙන බව ඇත්ත.. මං හිතන්නෙ පරිසරයේ වෙනසත් එක්ක ඇති වෙන නැවුම් බවක්...

      නත්තලේ හැබෑ අර්ථය තේරුම් ගැනීම කියන්නෙ ඒ දවසෙ ඉපදුණේ මොන වගේ මනුස්සයෙක්ද, ඒ මනුස්සයා මොනාද කළේ කියල තේරුම් අරන් ඒ මග යන එක.. නමුත් දැන් සිද්ධ වෙන්නෙ නම් හාත්පසින්ම වෙනස් දෙයක්... තමයි..

      ස්තුතියි චන්දන සුබපැතුමට..

      Delete
  5. ලාංකීය ගී කෙත අස්වැද්දූ යතිවරයෙක් එතුමා..

    ReplyDelete
    Replies
    1. කිතුනු ගීතිකාවට පමණක් නෙවෙයි සමස්ත සිංහල ගීත සාහිත්‍යයටම එතුමොගෙන් සිදු වූ සේවය අමිලයි...

      Delete
  6. අපිටනම් නත්තල ටිකක් විතර නුහුරුයි....ගමේම ඉන්නේ බෞද්ධ අය නිසා..
    නමුත් ටී.වී. එකෙන් පල්ලිවල ගීතිකා බලලා තියනවා.
    තව නත්තල් ගීත් අහලා තියනවා...
    අර ගෙයින් ගෙට ගිහින් කියන ඒවාට නේද කැරොල් ගායනා කියන්නේ.ඒ අත්දැකීම ලබන්න ආසයි...එහෙම යන්නේ ක්‍රිස්තියානි ගෙවල්වලට විතරද/? බෞද්ධ ගෙවල් වලට එන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ආගම් භේදයක් නම් නැහැ කැරොල් ගායනාවලට.. නමුත් දැන් සමහර කණ්ඩායම් ඇතිහැකි මිනිස්සුන්ගෙ ගෙවල්වලට ගිහින් ගීතිකාවක් දෙකක් ගායනා කරල මුදලක් කඩා ගන්න වැඩක් බවට පත් කරගෙන තියෙනවා කැරොල් ගායනය... මේ වගේ වැඩ නම් හරිම කණගාටුදායකයි...

      Delete
  7. එවන් උතුම් චින්තනයක් සහිත මිනිසුන් අප අතරට නැවත එබී බලන්නටවත් ඒවී දැයි කියා සිතෙන තරමටම සමාජය ව්‍යාකූලය.

    ReplyDelete
  8. නන්දා මාලනියගේ ගීතිකාව හදවතට පුදුමාකාර ලෙස අමතනවා.දැන් නත්තල සල්ලි බලයට යට වෙලා නේද කියලත් හිතෙනවා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...