Thursday, December 5, 2013

සමනල පියාපතක පිනි බින්දුවක් 06


‘‘මොනාටද අයියෝ පාලකයො වෙනුවෙන් ඕපදූප හොයන්නයි, අහිංසකයො පස්සෙ පන්නන්නයි උසස්වීමක්.... මදිද මේ තරම් කල් දුක් වින්ඳා.. දැන් ඔය ඉන්න විදියට ඉඳල පෙන්ෂන් අරන් හෙමිහිට අයින් වෙන්න...”

ජීවිතේ කඩඉම් ප්‍රශ්නයකට උත්තරයක් බලාපොරොත්තුවෙන් කලකට පසු දෙනෙත් උත්තරා ඇමතු විටෙක ඇය උත්තර බැන්දේ එලෙසිනි.

‘‘ඒ කතාවත් ඇත්ත? මටත් ඇති වෙලා.. තේරුමක් නෑ.. ” 

දෙනෙත් ඇගේ උත්තරය අදහා ගත් සෙයකි. පිළිතුර සමග ම සුසුමකි. උදම් අනන සුවිසල් ජයග්‍රහණයක් කෙළවර ශුන්‍ය වූ හැඟීමක් පමණම ද ශේෂය. තමන්ට තමන්ම අහිමි වන තරමට යුද්ධය හා බැඳී සිටි සොල්දාදුවෙකි ඔහු.

කතා නොකරන්නෙමැයි කොතෙකුත් සිතා සිටිය ද ඔහුගේ ඇමතුමකට පිටු පෑ නොහැකි සියුම් හුයක් නොබිඳී තවමත් ශේෂව ඇතැයි ඇය සිතන්නේ විස්මයෙනි.

‘‘මට මේ වගේ දෙයක් කතා කරන්න වෙන කවුරුවත් නෑ..” එසේ කියන විටක ඉතින් නොරිස්සුම් වන්නේ කෙලෙසින්ද?

සතියකට දෙකකට පසු නැවතත් දෙනෙත්ගෙන් ඇමතුමකි.

‘‘මම ලොක්කව මුණ ගැහිලා කිව්වා මට මේ පත්වීම භාර ගන්න බෑ කියල... අකමැත්තෙන් මේ ව‍ගේ වැඩක් කරන්න බෑ..  එහෙමනම් අකමැතියි කියල ලියුමක් දෙන්න කිව්වා... ඉතින් මම ලියුමක් දීල ආවා.. ” 
උත්තරාට පුදුම සිතුණි.... ඈ කීවේ සිතට ආ දෙයකි. එය ඔහුගේ වෘත්තීමය ජීවිතයට කෙසේ බලපානු ඇත්දැයි ඈ දුරදිග සිතා බලා නොතිබිණි. ඇගේ මතය  ජයග්‍රහණය කරවන්නට ඔහු සිතුවේ ඇයි?

''තවමත් මා ඔබේ සීනියර් ඇඩ්වයිසර් ද? ...'' එසේ අසන්නට පොපියන සිත ඇය වෑයමෙන් සඟවා ගත්තාය.

වත්මන හීතලට හිත මත මිදෙමින් පවතී. අතීත රසබර මතකයක උණුහුමින් හිත හිනා ගැස්විය හැකිනම් කදිම ය. ඉදින් උත්තරා ‘‘යකඩ සපත්තුවා” සොයා අතීත සක්මනකට පාවඩ එළන්නීය.

.........................................
යකඩ සපත්තුවා..

උත්තරා නින්දෙන් පිබිදුණේ තිගැස්මෙනි. ඈ මෙතෙක් හිස තබා සුවසේ නිදා උන්නේ නන්නාඳුනන පිරිමි උරහිසක බව වැටහෙන විට දැණුනු අසරණ බව වදනින් විස්තර කළ නොහැක. බස් රථය සිසාරා පැතිර ගිය ගී හඬ මැඩගෙන නැගුණු යෙහෙළියන්ගේ හිනා හඬ දෙසවන පැටළුණේ සිත කේන්තියෙන් පුරවමිනි. ඇය නිලුපුලී දෙස බලා රැව්වාය. උත්තරා නින්දට වැටෙන විට අසුනේ කෙළවර උන්නේ නිලුපුලී ය. ඈ කොයි මොහොතේ නැගී සිටියාද, නාඳුනන ජ්‍යෙෂ්ඨ උත්තමයා කොයි මොහොතේ එහි වාඩි වූවා ද උත්තරා දන්නේ නැත.

‘‘සොරි..”

‘‘ආ....... ඒකට කමක් නෑ..” නිදිබර දෑසින් ඔහු හිනැහුණේය.

පාන්දර පහත් පසු වී ඇත. දැන් බස් රථය සරසවියට ආසන්න වෙමින් පවතින බව වටින් පිටින් පෙනෙන මං සලකුණුවලින් ඇය වටහා ගත්තාය. සරසවි පැමිණ නවක වධ සමයේම ඔවුන්ට වලස්මුල්ල ප්‍රදේශයේ මළ ගෙදරක යන්නට සිදු වූයේ නේවාසික යෙහෙළියකගේ පියාගේ මළගම වෙනුවෙනි. අලුත් නැවෙන් ගොඩ යන බලාපොරොත්තුවෙන් මෙවැනි ගමන්බිමන්වලට ස්වකැමැත්තෙන්ම බොහෝ ජ්‍යේෂ්ඨ උත්තමයන් සම්බන්ධ වන බව උත්තරා දැන ගත්තේද මේ ගමනින් පසුව ය. තෙල් බැම්ම මත නැංගුරම් ලාගෙන නවකයින් වාත කරන, තෙල බෙදන, දුෂ්ට බැලුම් හෙලන ජ්‍යෙෂ්ට උත්තමයන් අතුරුදහන් වී තිබිණි. සිටියේ ප්‍රේමණීය සහෝදරත්වය උතුරා පිටාර ගලන වැඩිහිටි සහෝදරයන් සමූහයකි. ජ්‍යෙෂ්ඨ උත්තමාවියන් නම් සිටියේ  නේවාසිකයේ ගජේට එක් වූ පිරිසෙනුත් කිහිප දෙනෙක් පමණි. අන් සියල්ලෝ නවකයෝය.

තෙල් බැම්ම අසල නවත්වන ලද බසයෙන් අවමංගල නඩය බැස ගන්නා විට උදෑසන අරුණැල්ලද ඉඟි බිඟි පාමින් තිබිණි.

‘‘අන්න උඹට උරිස්ස දන්දුන්න ශ්‍රද්ධාවන්තයා බලන් ඉන්නවා.. තැන්කියු කියල වරෙන්..” නිලුපුලී සිනා පිටවනු වළකන්නට අසීරු වෑයමක ය.

‘‘පිස්සු..” උත්තරා කේන්තියෙන් පැවසුවද ආපසු හැරී නොබලා ඉන්නට නොහැකි විය. සැබවින්ම ඔහු බලාගත්වනම ය. සුව නින්දකට උරතලය පරිත්‍යාග කළ මිනිසෙකුට සිනාවකින්වත් කෘතගුණ නොසැලකීම අමනුස්සකමකි. එකී සිතුවිල්ල ම ඈ මුවගට ගෙන දුන්නේ සිනාවකි.

‘‘ආව් ආව් කෙල්ල ගොඩ ගියා... ” ඒ තවත් යෙහෙළියකි.

‘‘අනෙ අම්මේ ගෝරිල්ලෙකුට රිලා පැටියෙක් ජෝඩු කළා නම් ඔයිට වඩා අපූරුවට තියෙයි. ” උත්තරා කීවේ ඒ සද්දන්ත රූපකාය පිළිබඳව ඇති වූ තිගැස්මෙනි.

ඔහු යකඩ සපත්තුවා වූයේ කෙසේද? උත්තරාගේ සිත අතීතයට දිවෙයි. දිනෙක ඔවුන් දේශන නිම වී පැමිණෙන විට තවත් පිරිසක් සමග ඔහු ඉදිරියෙන් යමින් උන්නේය. පැළඳි සපත්තු යුවලේ පිටුපස රිදී පැහැති පිත්තල පටි දෙකක් විය. ඒ මන්දැයි උත්තරා දන්නේ නැත. 

''අන්න මිනිහ යකඩ පටිකාරයෙක්..'' බෞතිස්මය සියල්ලටම කට ඉස්සර කර ගන්නා නිලුපුලීගෙනි. ඒ පිත්තල පටි සහිත පාවැස්ම නිසා එදා සිට  ඔහු අප අතර හැදින්වුණේ යකඩ පටිකාරයා, යකඩ සපත්තුවා  නමිනි. ඒ බව නොදත් ඔහු දිනපතා පැළදියේ ද ඒ සපත්තු කුට්ටමම ය.

ඉඳ හිට තෙල් බැම්ම මත සිට නෙතට නෙත මුණ ගැසුණු බැල්මක්, යෙහෙළියන්ගේ කවට වදනක් හැරුණු විට එය දුරදිග ගිය කතාවක් වූයේ නැත. අසංග සූරියබණ්ඩාර සිටියේ හදවතම අරක් ගෙන ය. ඉදින් ගෝරිල්ලෙකුට වෙට්ටු දමන්නට හදවතක් ඉතිරිව තිබුණේ නැත.

සරසවියේ පළමු වසර ගෙවී යමින් තිබිණි. සිදු වූ එකම වෙනස නිවසේ ලිපිනය වෙනුවට නේවාසිකයේ ලිපිනය අසංග අතපත් වීමත්, අම්මාගේ මැදිහත්වීමකින් තොරව මුලින්ම ලිපිය විවර කරන්නට උත්තරාට අවසර ලැබීමත් ය. ඉදින් දිනෙන් දින... හසුනෙන් හසුන දෙහදක් යා වෙමින් තිබිණ.

දෙවන වසර ආරම්භයේ අළුත් සිසු පිරිස පිළිගන්නට ළහි ළහියේ සූදානම් වන කාණ්ඩයට උත්තරා මැදි වූයේ නොදැනුවත්වම ය. සරසවි බිම තුළම නේවාසිකව සිටීමත් කවියට සහ සිත්තමට ඇති ඇල්මත් නවක නම්නීකරණ වැඩසටහනේ සංවිධාන කටයුතුවලට සම්බන්ධ වන්නට සුදුසුකම් වී තිබිණි. ඇය නම් නවක වධයක් කියා දෙයකට මුහුණ දී තිබුණේම නැති තරම්ය. 

උත්තරා සරසවි කන්ද නැග ආයේ කවිමල් යායක් මැදිනි. ගුරු ගීතයේ දුයිෂෙන් ‘‘වසන්තය ළග එනවා සත්තයි” කියමින් උන්නේය. රත්න ශ්‍රී, පරාක්‍රම කොඩිතුවක්කු වැන්නවුන්ගේ කාව්‍යමය චින්තාවලී උදා අරුණලු සේ මග දෙපස ආලෝකමත් කළේය. නවක පිරිස පිළිගන්නට ගීතමය සන්ධ්‍යාවන්, දේශන, නාට්‍ය ආදී වූ රසබර අත්දැකීම් පෙළ ගැසී තිබිණි. නවක වධය ගැන හිත මත පැටවී තිබූ මහා බර දින කීපයකින්ම වියැකිණි.

ඉදින් අළුත් නැව පිළිගන්නට එවැනිම සුන්දර අත්දැකීම් ගොන්නක් මහා ශිෂ්‍ය සංගමය හා දෙවෙනි වසර සිසුන්ගේ දායකත්වයෙන් සූදානම් වෙමින් තිබිණි. සිත්තමක වර්ණ තවරන්නට, කවියකට වදන් ගොනු කරන්නට උත්තරා ද සම්මාදම් වූවාය. එකී කාර්යබහුල දින කිහිපයේ ඔවුන් නැවතී සිටි‍යේ සරසවි බිමෙන් දුර බැහැර වූ නේවාසිකාගාරයක ය. සැන්දෑ වූ දිනවල නේවාසිකය දක්වා යුවතියන් ගේ පරිස්සමට ආ තරුණ නඩයේ යකඩ පටිකාරයා ද විය.

''පව් බං... හැමදාම ගෙනත් අරින්න එනවා... වචනයක්වත් කතා කරපං.." නිලුපුලී කීවේ වරක් දෙවරක් නම් නොවේ.

'' මං එන්න කිව්ව ද? අනික මං නිසාම එනව කියල කියන්නෙ කොහොමද?''

''ඉතින්, කතා කළාම ගෙවෙනවද?''

''නෑ........ බලාපොරොත්තු ඇති වෙනවා. බලපං දකිද්දිත් බය හිතෙනවනේ...''

'' ඒ වුණාට හරි සීරියස් පාටයි... කවදාවත් කෙල්ලෙක් එක්ක කතා කරනවවත් දැකල නෑ..''

''ඒකම තමයි වැඩියම බය..'' උත්තරා හිනැහුණේ කට කොණිනි.

කරුවලේම අත කොනිත්තා නිලුපුලී කට වසා ගත්තාය.

ශිෂ්‍ය සංගම් කාර්යාලය පිහිටා තිබුණේ ප්‍රධාන ආපන ශාලාවේ කෙළවරක වූ උඩු මහළේය. නවකයින් පිළිගැනීමේ උත්සව මාලාවට ප්‍රදර්ශන පුවරු සදහා කවි පබඳිමින්, කවි තෝරමින්, සිත්තම් අඳිමින් සිටි එක් දිනක පහත මාලය දෙසින් ඇසුණේ මහා ගාලගෝට්ටියකි. ශිෂ්‍ය සහයෝගිතා ව්‍යාපාරයේ සිසුන් ශිෂ්‍ය සංගම් කාර්යාලය වටලා තිබිණි. ආරාවුලේ අගක් මුලක් නොදත් ඉහළ මාලයේ  වැඩවල යෙදී උන් පිරිස නිවාස අඩස්සියට පත් වූහ. ඒ අතර ඉහිළුම් නොදෙන තාරුණ්‍යෙයේ ජවයෙන් මත් වූ පිරිසක් පහළ උන් පිරිස සමග ගැටුමට ආයුධ සොයන්නට වූහ. බියෙන් තැතිගත් කෙල්ලන් රෑන එක පොදියට මුළුගැන්වී උන්හ. ඉහළත් කෑ කෝ ගැසීම් ය. පහළත් කෑ කෝ ගැසීම් ය. කිසිවෙකුත් පසු බසින්නට සූදානමක් නැත.

සිතුවම් පුවරු සඳහා ගෙන ආ රීප්පයක් අතින් ගත් චණ්ඩියෙක් කෝපයෙන් කෑ මොර දෙමින් පහතට බසින්නට සැරසෙමින් සිටියේය. ඔහු නවත්වා ගන්නට කෙල්ලන් රෑනක්ම හතරවටින් එල්ලී පොර බදමින් සිටියහ. ඉහළට ගත් හුස්ම පහළ දමන්නට උත්තරාට අමතක වූයේ ඒ යකඩ සපත්තුවා බව දැකීමෙනි. නිලුපුලී ඇගේ අත මිරිකා ගත් වනම ය. කිහිපදෙනෙකුගේම වැර වෑයමෙන් අත වූ රීප්පය උදුරා ගත හැකි විය. කෝපයෙන් වෙවුලුම් කමින් උන් ඔහු එක්වරම උත්තරා දුටුවේය. එසැණින් ආපසු හැරී අසල කාමරයකට වැදුණේය.

දිගු සුසුමක් හෙලුවේ නිලුපුලී ය.

උත්තරා ඇතුළු පිරිසට පහළ බසින්නට හැකි වූයේ පොලිසිය පැමිණ ආරාවුල සමථයකට පත් කර පැයකට පමණ පසුවය. එතෙක් වේලාම ඔවුහු හතරවටින් වටවූ සිතුවම්, කවි පුවරු මැද තුෂ්ණිම්භුතව නිවාස අඩස්සියේ පසුවූහ.

‘‘මගේ අම්මේ.. ආයෙ නං ඔය යකඩ පටිකාරයා දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා..” නිලුපුලී කීවේ නේවාසිකය කරා ආපසු එමින් සිටියදී ය.

‘‘මං කොහොමටත් බැලුවෙ නෑ.. කට්ටියකටනෙ ඕන වෙලා තිබුණෙ බලවන්න....'' උත්තරා හිනැහුණි. 

'' දැක්කද? කෙල්ලො විසිපහක් විතර එල්ලිලා හිටියා..” නිලුපුලී අවුස්සා දැමීමේ උවමනාව සිත තුළ පෙරළි කරයි.

‘‘ඒ කෙල්ලො විසිපහටම මේච්චල් වුණේ නැති මනුස්සයා එක බැල්මට කාමරේට රිංගුවා පූස් පැටියෙක් වගේ.. මිනිහට ලැජ්ජ හිතුණා... අපිව දැක්කම..” 

මැයි මල් පවා සලිත වන සිනාවකි.

ඉන්කලකට පසු ඇහැක් ඇර බලන්නට හෝ ඔහු සැබවින්ම සරසවි බිමේ වූයේ නැත. පොලිස් නිළධාරියකු ලෙස පත්වීම් ලැබ නික්ම ගිය බව දැන ගන්නට ලැබිණි. විභාග සමයන්හිදී නේවාසිකය ඉදිරි පිටින් යනෙනු දුටුවද උත්තරා ඇස නොගැටී ඉන්නට ප්‍රවේසම් වූවා ය. නමුත් සිව්වසර පුරාම ඔහු සරසවියේ සැරිසැරුවේ නම් තනිවම ය.

ඒ දෙනෙත් සමග සියලු සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබුණු කාලයක් බව උත්තරාට මතකය.

................................................

‘‘සියලුම ප්‍රකාශ ලබා දීම අත්හිටුවන්න තීරණය කළා.. ” දෙනෙත් පවසයි.

‘‘ඇයි ?”

‘‘ඔය කතා කරන්නෙ මගේ දුක සැප අහන්න නෙමෙයිනෙ.. ඔයාගෙ කතාවෙ අඩුලුහුඩු පුරව ගන්න..” ඒ නෝක්කාඩුවකි.

‘‘ඔයාට දුකක් නෑ කියල මං දන්නවා.. ඉතින් අමුතුවෙන් දුක සැප හොයන්නෙ මොනාටද?”

‘‘ මගේ සැප ගැන නම් කියල වැඩක් නෑ... අඩුතරමෙ අම්ම තාත්ත නැති වුණ දවසක මට යන්න තැනක්වත් නෑ.. ඔයානං ගේ පොඩ්ඩක්වත් හදා ගත්තා.. අපට අවසර නෑනෙ ඉතින් ඒ ගෙදර එන්න...”

උත්තර බදිනවාට වඩා මුනිවත රැකීම ‍හොද ය. ජීවිත වියමන රටා දමන්නට කියූ ලියූ කොතෙක් නම් වදන් උඩුහුළගට ගසා ගෙන ගොස් ඇත් ද? දුක සැප බෙදාගෙන ළගින් ඉන්නට පැතුම් පිරූ කාලයකුත් තිබුණා නොවේද? ඒ ප්‍රාර්ථනා දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකළේත් ඔහුම නොවේද? 

මේ නිමාවක් දුටු කතාවක් මිස අලුත් ආරම්භයක් ගත යුතු කතාවක් නොවේ. 

‘‘වයසට ගියාම, බලන්න කාත් කවුරුත් නැති වුණොත් එන්න... . හැබැයි දැන් නම් එන්න එපා. අමාරුවෙන් හදා ගත්ත හිතයි, සැනසීමයි නැති කර ගන්න ඕන නෑ මට... ”

උත්තරා කීවේ දැඩි සිතිනි. සිතින්, වචනයෙන් ක්‍රියාවෙන් හෝ අතපසුවීමකින්වත් නැවත හිත මත ගිනි කන්දක් පුපුරනු දකින්නට ඇයට අවැසි නැත. 



මේ ගෙවෙමින් පවතින්නේ ජීවිතයේ ආදරණීයම වසන්තය යි. දෙනෙත්ට වුව ඒ සදහා උරුමකම් කිව නොහැක.





6 comments:

  1. දවසක් මටත් ඔහොම උරහිස්ස බවලතෙකුට දන් දෙන්න සිද්ධ උනා. ඒ උන්දෑ ඔහොම නිදාගෙන හිටියා. මම බහින තැනට ලං උනහම ඔලුව කෙලිං කරලා සීට් එකෙ තිබ්බා. ඒක දැකපු උන්දෑට හිනා... මාත් හිනාවේගෙනම බස් එකෙන් බැස්සා.... :)

    අරහෙම ලින්ක් දාන්නෙපා... එක ගොඩේ වාගේ.. එතකොට ක්ලික් කරන්ඩ අමාරුයි !

    ReplyDelete
  2. වෙනද වගේම රසවත්.
    උත්තරාට තිබුනෙ කතා කරන්න.
    මම හිතුව අන්තිමට හරි වචනයක් කතා කරයි කියල.

    ReplyDelete
  3. \\\ගුරු ගීතයේ දුයිෂෙන් ‘‘වසන්තය ළග එනවා සත්තයි” කියමින් උන්නේය. රත්න ශ්‍රී, පරාක්‍රම කොඩිතුවක්කු වැන්නවුන්ගේ කාව්‍යමය චින්තාවලී උදා අරුණලු සේ මග දෙපස ආලෝකමත් කළේය. නවක පිරිස පිළිගන්නට ගීතමය සන්ධ්‍යාවන්, දේශන, නාට්‍ය ආදී වූ රසබර අත්දැකීම් පෙළ ගැසී තිබි\\\

    මේවා තාම සිද්ධ වෙනවාද?

    ReplyDelete
  4. මට මේ කතා සෙට් එකම මග ඇරිලා.. මම ආයෙ එන්නම් තරූ.. ඇවිත් කියෝලම කමෙන්ට් කරන්නම් :(

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...