Monday, December 8, 2014

ඉර හඳටත් එළිය දෙමූ...


‘‘වියරුවට එරෙහිව වීදියේ විරෝධය” දේශපාලනික වැඩක් වගේම බිම් මට්ටමේ සාමාන්‍ය ජනතාවට කතා කරන්න සිවිල් සංවිධාන එකතු වෙලා කරන කලා කටයුත්තක්, සංස්කෘතික වැඩක් තවත් පැත්තකින්. කොටුවේ පැවති වීදියේ විරෝධයට සහභාගි වුණාම දැණුනා කාලෙකට පස්සෙ සාමාන්‍ය ජනතාවට දේශපාලනිකව ආමන්ත්‍රණය කරන්න හොඳ ක්‍රමෝපායන් ටිකක් එක්රැස්ගෙන කියල. වීදි නාට්‍ය, ගීතය, අවන්ත ආටිගලගේ කාටුන් චිත්‍ර ප්‍රදර්ශනය, අදහස් ලියා තබන දැන්වීම් පුවරුව, රාවය මගින් සංවිධානය කළ මහජන විරෝධතා පෙත්සම, ඒ අතර කෙටි කථන.........

මේ වැඩේට ගීතයෙන් පණ පෙව්වෙ ජයතිලක බණ්ඩාර සහෝදරයා.... ඔහු හැමදාමත් වීදියේ අරගලයත් එක්ක හිටිය සැබෑ මනුස්සයෙක්.. සැබෑ කලාකරුවෙක්..
වැස්ස වගේ ඇද හැලෙමූ
සුළඟ වගේ එකට ඉමූ
මූද වගේ මුතු බඳිමු
ඉර හඳටත් එළිය දෙමූ...

රතු තොල් විදහා මුදු මුහුණේ
අපටයි ගහවැල සිනාසුණේ
දරුවන් වඩමින් ළය මඬලේ
අපටයි මිහිමවු කතා කළේ...

අහස හඬන හඬ ඇහෙන හිතක්
පොළව හඬන හඬ දැනෙන ගතක්
සෙනෙහස උතුරා ගලන ලොවක්
උදාකරමු අපි අපේ ලොවක්...

මේ ගීතයට අපි ආදරය කළේ අපේ නව යෞවනයෙදි.. ඒ ගීතය අපි ආදරයෙන් පිරුණු මිනිසුන් බවට පත්කරන්නට උත්තේජන සැපයූ ගීතයක්. එදා සිට අද දක්වාම බියෙන් අත්මිදෙන්නට ඇරයුම් කරමින්, හඬක් නැති මිනිසුන්ට හඬක් වෙමින් ගැයූ ඒ ආදරණීය මිනිසාට එප්පාවලදි එල්ල වූ මැර ප්‍රහාරය අපි තදින්ම හෙළා දැකිය යුතුයි. ජයතිලක සහෝදරයාට පහර දෙන ආකාරය දැක්වෙන ඒ වීඩියෝ දර්ශනය කඳුළුබර සංවේගාත්මක මතකයක්. නිරායුධ අහිංසක මිනිසෙකුට මෙලෙස පහර දෙන්නට හැකි බලයෙන් හිස උදුම්මාගත් නරුම නොමිනිසුන්ටම මිස අන්කවරෙකුටද?

ඊයේ (07 වෙනිදා ) සවස එම විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන, කලාකරුවන් එක්ව මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කළ කතාව අතිශය සංවේදී, ඇස කඳුළු කැන්දන කතාවක්. එය මගේ මතකයේ හැටියට සංක්ෂිප්ත කරන්න පුළුවනි මෙහෙම.

‘‘මට පහර දීම දරාගන්න පුළුවනි. ගුටිකන්නට සිදුවීම මට වේදනාවක් නෙවෙයි. නමුත් මට පහර දෙන මිනිස්සුන්ව මෙහෙයවන බලවේගයේ දෑත් ශක්තිමත් කරන්නෙ මගේ ගීතවලට සංගීතය නිර්මාණය කළ රෝහණ වීරසිංහ කියල දැනෙන එක මට දරාගන්න අමාරුයි.............

මාව බිම පෙරළගෙන පයින් ගැහීම මට දරාගන්න පුළුවනි. ඒත් මට පහර දෙන මිනිස්සුන්ට  මා එක්ක එකම වේදිකාවෙ ගී ගැයූ දිවුල්ගනේ ශක්තිය දෙනවා කියල සිහිවෙන එක මට දරාගන්න අමාරුයි....

ඒ මිනිසුන් අසභ්‍ය වචනයෙන් බැණවදිමින් අපහාස කළ එක මට දරාගන්න පුළුවනි., නමුත් ඒ අපහාස වචනවලට ජවය සපයන්න එදා මට ගීත ලියූ මහින්ද චන්ද්‍රෙස්කරත් දායක වෙනවා කියල සිහිපත් වෙන එක මට දරාගන්න අමාරුයි.....”


ඔහුට වගේම අපටත් ඇත්තටම දරාගන්න අමාරුයි, ස්වයං නිර්වින්දනයට පත්වූ එහෙම නැත්නම් ස්වයං මෝහනයට පත් වූ මාධ්‍ය සහ කලා ක්ෂේත්‍රෙය් සහෘදයන්ගේ ක්‍රියාකලාපය. තමන් දරන මතවාදය වෙනුවෙන් පෙනී හිටින්න ඕනෑම මනුස්සයෙකුට අයිතියක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් තමන්ගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් මුළුමහත් සමාජයක්ම අගාධයට ඇද වැටෙන එක දැක දැකත් නොදකින, අස අසාත් තේරුම් නොගන්න මිනිසුන් මහත්ම ඛේදවාචකයක් නෙවෙයිද?

මෙවර රාවයේ චන්ද්‍රරත්න බණ්ඩාර ආදරණීය රෝහණ හෙවත් ඉස්සර රෝහණට ලියූ ලිපියත් කියවන එක වටිනවා මේ එක්කම....



උපුල් සේනාධිරි සහෝදරයාගේ ‘‘මෙමල් කළඹම ඔබ සතු” කාව්‍ය ග්‍රන්ථය ගැන සංවාදයක් 05 වෙනිදා පුවත්පත් මණ්ඩලයෙදි පැවැත්වුණා. අපි ස්තුතිවන්ත විය යුතුයි මේ කටයුත්ත සංවිධානය කරන හැමදෙනාටම.

නමුත් අප්‍රමාණ දුකක් දැණුනා මට සහභාගි වූ පිරිස දැකීමෙන්. සංඛ්‍යාත්මකව ගත්තත් 12 ඉක්මවූයේ නැහැ. කවි කිවිඳියන් කියන්නට සිටියේ සෞම්‍ය සඳරුවන් පමණයි. උපුල් සහෝදරයාගේ දෑස් නොපෙනීම වාසනාවක් කියල මට ඒ මොහොතේ හිතුණා. දෑස් පෙණුනත් අද බොහෝ කලාකරුවන් සැබවින්ම අන්ධයින් නොවේද?

ඒත් කොළඹ අවට සිටින කවි කිවිඳියන්ට පුංචි කැපකිරීමක් කරල මේ මොහොතට සහභාගි වෙන්න තිබුණ නේද කියල මගේ හිත කියනවා... මෙයත් නිර්වින්දනය වූ සංවේදීබවට තවත් උදාහරණයක්ද?

6 comments:

  1. //දෑස් පෙණුනත් අද බොහෝ කලාකරුවන් සැබවින්ම අන්ධයින් නොවේද? //

    උන් අන්ධ නෑ උන්ට හොඳට පෞද්ගලික වාසිය පේනව

    උන්ව විශ්වාස කරන රසිකයන්ගේ පෙනීම ගැන නම් සැකයක් තියනව

    ReplyDelete
    Replies
    1. කලාකරුවන් ගැන කවදත් ලංකාවෙ මිනිස්සු අතර ලොකු ගෞරවයක්, ආදරයක්, පිළිගැනීමක් තිබුණා.. ඒක මේ මිනිස්සු බොහොම නරක විදියට තමන්ගෙ වාසියට පාවිච්චි කරනවා...

      ඇත්ත.. බහුතර රසික ප්‍රජාවත් අන්ධයි තමයි....

      Delete
  2. තරු අක්කා කියන දේ ඇත්ත.තමන් දරන මතය වෙනුවෙන් පෙනි ඉන්න ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනවා.කලාකරුවන්ට වුනත් ඒ අයිතිය තියෙනවා.නමුත් තමන්ගේ පුද්ගලික ශුඛ විහරණය උදෙසා මුළු මහත් සමාජයක්ම විනශය කරා මෙහෙයවන්න සංවේදීකියන කලාකරුවන්ට පුළුවන් වුනේ කොහොමද කියන එක ප්‍රශ්නාර්තයක්.

    ReplyDelete
  3. කලාකරුවා කියන්නෙ සමාජ වගකිමක් ඇති කෙනෙක්. ජයේ අයියා ඒ මිනිසුන් අතර මානව ගුනයෙන් පිරි මිනිසෙක්. ඔ ජයේ අයියා වෙනුවෙන් තැබූ සටහන තරු ඔබේ සටහනත් ඒ වගේමයි

    ReplyDelete
  4. තරූ ඇත්තෙන්ම අපි නිර්වින්දනය කරනු ලැබූ ශරීර විතරයි ඉංග්‍රීසියෙන් කිව්වොත් zombies ලා වගේ. ඔබේ මේ සටහන මගේ ඇසට කඳුලක් ගෙනාවා .

    ReplyDelete
  5. අපේ මිනිස්සු කැමතියි ස්වයං නිර්වින්දනය වෙන්න..
    එහෙව වුණත් එහෙම නොවුණ වගේ පෙන්නන්න.
    ඒත් වැඩ කරන්නෙ සොම්බිලා වගේ
    කියන එකට හා
    පස්වාන් දාසකට බුදු වෙන්න බය බෝයි දේවයන් වාන්ස
    කියාගෙන මයි ඉන්නෙ

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...