Tuesday, December 2, 2014

හදවතේ සිරවූ ඉකිබිඳුම - Japanese Wife


මෙවර  මාසික සිනමා දැක්මෙදි තිරගතවුනේ අපර්ණා සෙන්ගෙ “ජපන් බිරිඳ.  හරිම සංවේදී, මානුෂීය, ආදරණීය, සුන්දර සිනමා සිත්තමක්.

‘‘මේ චිත්‍රපටය ඉවසිල්ලෙ බලන්න ඕන. මන්දගාමී ගතියක් දැනේවි. හැම රූප රාමුවක්ම වැදගත්. මනුෂ්‍ය සම්බන්ධතා ගැන, ආදරය ගැන සියුම් විදියට කතා කරන චිත්‍රපටයක්.

සංස්කෘතික වෙනස්කම්, ආගමික වෙනස්කම්.... මේ වෙනස්බව යහපත් දෙයක්. එය ලෝකය සුන්දර තැනක් බවට පත්කරනවා. නමුත් ඒ නිසා ඇතිවන බෙදීම් නරකයි. එය ලෝකයේ පැවැත්මට හානිකරයි.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් පෙන්වා දුන් මං ලකුණු ඔස්සේ හදවත් දොරටු විවර කර, අපර්ණා සෙන්ගේ සිනමා සිත්තමට හද මත සැරිසරන්නට ඉඩ හැරියා. ඒ සැරිසර විසින් ගෙත්තම් කළ සිතුවිලි වියමනයි මේ...

චිත්‍රපටය ආරම්භයේ ඉඳන්ම මගෙ හිතේ ඉකිබිඳුමක් හිරවෙලා තිබුණා. ඇස් තෙත් වෙවී තිබුණා. ඒ මියාගි මමයි කියල මට හිතුණා. වෙලාවකට මම ස්නේහමෝයි වගේ. වෙලාවකට සන්ධ්‍යා වගේ. ඒ චරිත අතර මට මාවම පෙනෙන්න දැනෙන්න ගත්තා. වැඩියම දුක ඒ නිසාමද මන්ද?

හදවතටම කතා කරන අතිශය සංවේදී රූප රාමු වියමනක්. ඉසියුම් සිනමා ගෙත්තමක්.

ස්නෙහමෝයි බෙංගාලෙ. මියාගි ජපානයෙ. දෙන්නගෙ ආදරය පැවතුණේ ලිපි හරහා. ඉඳහිට දුරකථනයෙන් වචන කිහිපයක් එයාල හුවමාරු කරගත්තා. කවදාවත්ම හමුවුණේ නැහැ. එයාල විවාහ වෙන්නෙත් එකිනෙකා වෙනුවෙන් කැප වෙන්නෙත් ලිපි තුළින්මයි. ඒක මහ පුදුම ආදරයක්. එහෙම ආදරයක් තියෙන්න පුළුවන්ද කියල කෙනෙකුට හිතෙන්නත් පුළුවනි. 


දෑසින් නොදකින, දෑතින් නොඅල්ලන, හුස්ම පොදක් නොවැටුණ ශරීර දෙකක් අතර හදවත් හමුවීමක් තියෙන්න පුළුවනි. සමහර විට ජීවිතේ කිසිම දවසක හමුනොවන බව දැන දැනත් එවැනි ආදරයක් පවතින්න පුළුවනි. ඒ ප්‍රේමය ඒකපාර්ශවීය නම් ජීවිතේ හරිම දුෂ්කර වේදනාත්මක ගමනක් වේවි. නමුත් ස්නෙහමෝයි, මියාගි අතර ප්‍රේමය වගේ අන්‍යෝන්‍ය බැඳීමක් පවතිනවනම් කටුක ජීවිත ගමන වුණත් ධෛර්යයෙන් දරාගන්න හැකිවේවි. ආත්මයෙන්ම කැපවෙන්න හැකි වේවි.

ඒකපාර්ශවීය ප්‍රේමයක් වෙනුවෙන් ආත්මයෙන්ම කැපවෙන්න බැරි බව එයින් අදහස් වෙන්නෙ නැහැ. සන්ධ්‍යා තමයි එයට හොඳම උදාහරණය. තාරුණ්‍යෙය් අරුණැල්ලෙදිම වැන්දඹුවක් වූ ඇය පුංචි පුතාවත් එක්කරගෙන ස්නෙහමෝයිගෙ නැන්දගෙ හෙවණට එන්නෙ ඇය කරුණාවේ දෙවඟනක් වගේ මනුස්සකමින් පිරී ඉතිරුණු ගැහැණියක් නිසා. වැන්දඹුවකගේ සාම්ප්‍රදායික ජීවන උරුමයට අභියෝග කරන්න තරම් ශක්තිමත් ගැහැණියක් ඇය.

ඈත තියෙන ඉර හඳ ගැන පැතුම් පුරන අපිට ජීවිතේ බොහෝ වෙලාවට හිත ළඟම දැල්වෙන පුංචි පහන් එළි නොපෙනී යනවා. අපිම හදාගන්න මායාමය සිහිනවල ඇලිල ගැලිල ඉද්දි ජීවිතේ යථාර්ථය අපෙන් ඈත් වෙලා යනවා. මහපොළවෙ පයගහල ජීවත් වෙන්න තියෙන අවස්ථාවන් අහිමි වෙලා යනවා. ස්නෙහමෝයිට සන්ධ්‍යාගෙ ආදරය නොදැනෙන්නෙ, නොහැඟෙන්නෙ ඔහු යථාර්ථයට පිටුපාල සිහිනමය ප්‍රේමයකින් මෝහනය වෙලා ඉන්න නිසාද කියලත් මට හිතෙනවා. අධිසංවේදී හදවත් ඇත්තන්ට මුහුණ දෙන්න සිදුවෙන අත්වැරැද්දක් මේ.

කොහොමවුණත් සන්ධ්‍යාට ස්නෙහමෝයි කියන්නෙ පරම පවිත්‍ර ප්‍රේමයේ දිව්‍යමය පිළිරුව. ඇය ආරම්භයේ සිට අවසානය දක්වාම ඒ ආදර දෙවොලේ දේවදාසියක් වෙනවා. කිසිම අවස්ථාවක ඒ දෙවොල ආක්‍රමණය කරන්න උත්සාහ ගන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ සිහිනමය ආදරයත්, ස්නේහමෝයිවත් රැකගන්න ඈ උත්සාහ දරනවා. ඒ ප්‍රේමයේ තවත් පැතිකඩක්. අයිතියක් නොපතන, කාරුණික ඇල්මක් බැල්මක් වුණත් හදවතම පුරවන පරිත්‍යාගී ස්නේහයක්, ඉරිසියාව බිඳක්වත් ගෑවිලා නැති. එහෙම වෙන්න නම් කොයිතරම් පොහොසත් අධ්‍යාත්මයක්, ගැඹුරු ආදරයක් තියෙන්න ඕනිද?

රෝගීව සිටියදී අවසන් හුස්ම ගිලිහෙන්න කළින් ස්නෙහෙමෝයි ‘මියාගි‘ කියල සන්ධ්‍යගෙ අත අල්ලල පපුවට තුරුළු කරගනිද්දි එතෙක් හදවතේ හිරවුණු ඉකිබිඳුම කඳුළු දෙපේළියක් වෙලා ගලාගෙන ගියා. අවසන් දර්ශනයෙදි සන්ධ්‍යා මියාගිව ආදරයෙන් පිළිගනිද්දි, නිවසට.. කාමරයට කැන්දන් යද්දි ආයෙම ඇස්වල කඳුළු වේලිලා හිත සැනසීමකින් පිරුණා.

අතිශය පිරිසිදු පිළිවෙල ස්නේහමෝයිගෙ කුටිය ඔහුගේ ආදරයේ ස්මරණයන් සමඟ කිසිම වෙනසක් සිදුනොවී හුදකලා සන්සුන් බවකින් පිරී තිබෙන බව අපි දකින්නෙ මියාගිගෙ ඇස්වලින්. ප්‍රේමයෙන් පිරුණු මනුෂ්‍ය සම්බන්ධතා ජීවිතය මත තැන්පත් කරන ශාන්තිය, නිවීම, සන්සුන්බව ඒ අවසන් රූප රාමුව තුළ ගොනු වී ඇතැයි මට හිතෙනවා.

චිත්‍රපටයෙ වාර්ගික බෙඳීම්, ජාත්‍යන්තර බල අරගල ගැන ඉඟි සැපයෙන ප්‍රබල තැනක් සරුංගල් තරඟය. ඒ ගැටුම්කාරී රූපරාමු පෙළ අවසන් වෙන්නෙ පුංචි පුල්ටුගෙ දුක්බර මුහුණින්. මනුෂ්‍යත්වයේ ඉරිතැලීම් හරහා නිර්මාණය වෙන ගැටුම්කාරී ලෝකය බිලිගන්නෙ අහිංසක දරුවන්ගෙ අනාගතය නේද? ඒ බව ඉඟිකරන්නෙ අතිශය සියුම් විදියට. භාෂා, සංස්කෘතික, වාර්ගික බෙදීම් අතික්‍රමණය කරමින් මනුෂ්‍යත්වයේ නාමයෙන් එක්ව දිවි ගෙවිය නොහැකිද? ධනය, බලය මුල් කරගනිමින් තරඟකාරිත්වය, වෛරය ද්වේෂය වපුරනු වෙනුවට පරිත්‍යාගය, ආදරය, කරුණාව බෙදා ගත නොහැකිද?


මාෂි, සන්ධ්‍යා, මියාගි ස්ත්‍රීත්වයේ උදාරබවත්, සෞම්‍ය බවත්, ආදරණීය බවත් එක්තැන් කළ අපූරු චරිත. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වගේම ලියුම් බෙදන්නාගේ ඉඳන් පුංචි පුල්ටු දක්වාම වන සියලුම චරිත ආදරවන්තයි. මානුෂිකයි. ඒ මනුෂ්‍යත්වය යම් තරමකින් හෝ බිඳ වැටෙන්නෙ සරුංගල් තරඟයට මැදිහත් වෙන වෙළෙන්ඳා නිසා.

සොබාදහම........ ගඟ, වැස්ස, ඉර එළිය, ගහකොල ඇතුළු සමස්ත පරිසරය චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාවක් තරමටම ප්‍රබලයි. විශේෂයෙන්ම විවිධ හැලහැප්පීම් සතුටු, කඳුළු සමඟ ජීවිතයේ ගලායෑම සංකේතවත් කරන්නෙ ගංඟාව.. බෙංගාලෙ ගැමි පරිසරයේ සුන්දරත්වය අපූරුවට සිනමා සිත්තමට එක්තැන් කරගෙන තියෙනවා..    

ගෝලීය විවෘත ආර්ථිකය තවමත් තියෙන්නෙ මේ ජීවිතවලට එපිටින්. දුරකථනය පවා බොහොම දුරස්. අන්තර්ජාලය ඇහැ ගැටිලවත් නැහැ. විටින් විට නගරයට යන ස්නෙහමෝයි අහම්බෙන් දකින රූපවාහිනී දර්ශන ඔහු වික්ෂිප්ත කරනවා. මේ සා වටිනා මනුෂ්‍ය සම්බන්ධතා, ප්‍රේමණීය බැඳීම් ඇතිවෙන්නෙම, පවතින්නෙම ගෝලීයකරණයේ රුදුරු හස්තයට තවමත් මේ ජීවිත හසුනොවුණු නිසාද?

අන්තර්ජාලය, දුරකථනය, රූපවාහිනිය ආදී වූ නූතන තාක්ෂණික මෙවලම් ක්‍රමෝපායන් හරහා දැන් අපට ක්ෂණික මානව සම්බන්ධතා ඇති කරගත හැකියි. තාක්ෂණය අපේ ජීවිත ආක්‍රමණය කරලද කියලත් හිතෙනවා වෙලාවකට. නමුත් ඒ ක්ෂණික මානව සම්බන්ධතා මෙතරම් ගැඹුරට මුල් අදින්නෙ නැහැ. මෙතරම් හෘදයාංගම නැහැ. ප්‍රේමණිය නැහැ. ඒ වගේම පැවැත්මකුත් නැහැ. එහෙම වෙන්නෙම සොබාදහමෙන් දුරස් වූ  කෘතිම වටපිටාවක මනුෂ්‍යත්වය දළුදමන්න සුදුසු කෙම්බිමක් නැති නිසාද?


අපි අපේ ආදරණීය හදවත්, මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවත් රැකගන්න ශ්‍රමයක් දැරිය යුතුයි. අද තියෙන්නෙ ඒ සඳහා ධෛර්යය දෙන සමාජයක් නෙවෙයි. එනිසාමයි ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් කැප විය යුතු. හරියට මාෂි වගේ... සන්ධ්‍යා වගේ. ස්නෙහමෝයි වගේ. මියාගි වගේ. පුංචි පුල්ටු වැනි අහිංසක දරුවන් වෙනුවෙන් ආදරයෙන් පිරුණු ලොවක් ගොඩනැගීමේ වගකීම අප සතුයි.


13 comments:

  1. මං දැක්කා බූන්දියෙත් දාල තියෙනවා ෆිල්ම් එක ගැන..
    ඒ වුනාට බලන්නනං යන්න බැරි වුනා..
    විචාරය කදිමයි..
    ෆිල්ම් එක බලන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..

    ReplyDelete
    Replies
    1. හැම මාසෙම අන්තිම ඉරිදා හවස හතරට මීගමුව මාරිස්ටෙලා විදුහලේදි මාසික සිනමා දැක්ම පැවැත්වෙනවා.

      හවස 4 ට චිත්‍රපටය ගැන කතාවක්... 5 ට චිත්‍රපටය ප්‍රදර්ශනය.. අවසානයේ නැවත සංවාදයක්...

      ඇත්තටම හොඳ අවස්ථාවක්... අපර්ණා සෙන්ගෙ අනෙකුත් චිත්‍රපට බලන්නත් ආසාවක් ඇතිවුණා. සුනිල් විජේසිරිවර්ධනගෙ කතාව නිසා....

      Delete
  2. බලන්න හිතෙනවා. ස්තුතියි..

    ReplyDelete
  3. ලියලා තියෙන විදිහට බලන්න අාසා හිතෙනවා.............................. නියමයි........................

    ReplyDelete
    Replies
    1. ශෝකාන්තයක් වගේ පෙණුනට අවසානයේ සැනසිලිදායක හැඟීමකුත් දැනෙනවා...... ඒ වගේම ජීවිතය ගැන, ආදරය ගැන, මනුෂ්‍ය සම්බන්ධතා ගැන පහන් හැඟීමක්...

      Delete
    2. නිර්මාණයක් කියන්නේ ඒහෙම ඒකක් තමයි තරූ............ ඒත් දැන් දැන් දකින්න තියෙන ඒවායේ කිසිම හරයක් නැහැ... සින්දුයි නැටුමුයි තිබ්බාම හරි කියලා හිතාගෙන ඉන්න ජාතියක් තමයි ඉන්නේ....

      Delete
  4. ජැපනීස් වයිෆ් මාත් බැළුවා.. අවංකවම පළවෙනි වතාවේ මම ටිකක් කම්මැලි කමෙන් බැළුවේ.. ඒත් ෆිල්ම් එක ඉවර වෙද්දී හිතට ඒක ගැන මහ අමුතුම හැඟීමක් ආවේ.. ඒ හන්දම ආයෙම ෆිල්ම් එක බැළුවා.. ඇත්තටම හරි සංවේදි හොද කතාවක් තියෙන ෆිල්ම් එකක්..

    ReplyDelete
    Replies
    1. අපට චිත්‍රපටය තේරුම්ගන්න, විඳින්න සුනිල් විජේසිරිවර්ධන මහත්මයගෙ කතාව ලොකු තල්ලුවක් දුන්නා ඇත්තටම....

      ඒ හැම චරිතයක් ගැනම ආදරයක් දැනෙනවා...

      Delete
  5. ලස්සනට ලියල තියනවා. චිත්‍රපටිය බලන්න හිතුන.

    ReplyDelete
    Replies
    1. මේ ලිවිල්ලට වඩා චිත්‍රපටය සුන්දරයි.

      Delete
  6. එකම රාමුවේ කොටු නොවුණු අපුරු චිත්‍රපටියක් වගේ.තරු අක්කාගේ විමසුමත් අපුරුයි.

    ReplyDelete
  7. මාව චිත්‍රපටි බලන්න ඇබ්බැහි කරවපු චිත්‍රපටි 3න් එකක්.මියාගි සහ සන්ධ්‍යා චිත්‍රපටය අවසානයේ එකට හමුවෙන තැන තාමත් එදා වගේම මතකයි මට.
    තරූ හිතට දැනෙන විදිහට මේක ලියල තියනවා.
    ජය වේවා.....

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...