Saturday, November 29, 2014

ආදරණීය තෙල්මා


‘‘මගේ තෙල්මා! ඔහු රහස් ස්වරයෙන් කීවේය. ‘‘කිසි දෙයක් ඉතුරු වෙලා නෑ. ජීවත් වෙන්න හිතෙන කිසිදෙයක් ඉතිරි වෙලා නෑ. ආදරය විනා!

‘‘හැමදේම තියෙනවා ආදරය තුළ. ආදරය තුළ! හැමදේම! ඈ මෘදු හඬින් පිළිතුරු දුන්නාය.

එය සැබෑවක්මද? ආදරය උදෙසාම ජීවත්වන්නට වටනේද? ඒ උදෙසාම මිය යන්නට වටනේද? ජීවත් වන කෙටි කාලය තුළ එහෙ මෙහෙ යන ඡායාවන් අතර අපට බදා වැළඳ ගත හැකි එකම යහපත් දේ එය පමණද? විවිධ දෑ කරමින් පසුකරන විවිධ අවදිවලින් පසු, අපේ ජීවිත, පොර බදින ඝන අන්ධකාරයේ දිලිසෙන ආලෝකය එයමද?

676 පිටුව
.......


තෙල්මා අතට ගත් පළමු දවසෙම ( ඔක්තෝම්බර් 24 ) පසුකවරයෙත් සඳහන් වන ඉහත අවසන් ඡේදය මගේ සිත් ගත්තා. එදින මා ඒ ගැන දිනපොතේ සටහනක් තැබුවා. එය අවසන් වුණේ මේ විදියට..

‘‘ඇත්තටම ඒ ආදරය තමයි. එය එක පුද්ගලයෙකුට පමණක් සීමා වු ආදරයක් නෙවෙයි. තමන්ට, සමාජයට, පරිසරයට... සමස්ත ජීවිතයටම කෙනෙකුගේ හදවතේ ගැඹුරින්ම උපදින ආදරය. ඒ තමයි අඳුරේ පොරබදින අපිට පාර කියන එකම පහන් එළිය. ඒකටම තමයි මනුස්සකම කියල කියන්නෙත්.

තෙල්මා අවසන් පිටු කිහිපය කියෙව්වෙ අද... මාසයක් විතර මම සර් පිලිෆ් - තෙල්මා ආදර අන්දරයත් එක්ක ගත කරල තියෙනවා. සති අන්තයේ නිස්කලංක පැය කිහිපයකදි විතරයි මට ඈ හමුවුණේ. ‘‘සියල්ලෝ සතුටින් විසිර ගියහ.” පන්නයේ වැදගැම්මකට නැති සාම්ප්‍රදායික කතාවක් කියල පැත්තකින් තියන්න නොහිතෙන හේතු කිහිපයක්ම තියෙනවා. තෙල්මා මගේ සිත්ගත්තෙ ඒ නිසයි.

මමත් ඇයට ආදරය කළා සර් පිලිෆ් වගේම. ඒ ආදරණීය බවට, උදාරබවට, මුදුසුමුදු ගැහැණුකමට ඇලුම් නොකර ඉන්නෙ කොහොමද?

නෝර්වේ දේශයේ ගැමි සංස්කෘතික පසුබිම... පරිසරය...වෙනස් අත්දැකීම් ගොන්නක්. දෙස් විදෙස් සැරිසරට අතිශය ඇලුම්වන මගේ හිතට මෙවැනි පොතක් වුණත් රස මදිරාවක්...

කාව්‍යමය සොබාදහම් වර්ණනා කෘතියට එක්කරන්නෙ පාළොස්වක සඳක් තරම් එළියක්...

අටලෝ දහම සමඟ පෑහුණු ගැමි සුවඳ එක්පසෙකින්, එංගලන්තය කේන්ද්‍ර කරගත් වික්ටෝරියානු සුචරිතවාදී කුහක පැවැත්ම තවත් පසෙකින්... ඒ අතර නොපෑහෙන දීගයේ ඇද සෙවණැලි යටින් ගලා හැලෙන අසීමිත ප්‍රේමය..

ගුල්ඩ්මාර්ගේ (තෙල්මගෙ තාත්තා) ඕඩින් දේව ඇදහිල්ල. එය මුළුමනින්ම සොබාදහමේ අපූර්වත්වයත් එක්ක බැඳී පවතින දහමක්. හැම දහමකම හරය රැඳි උතුම්ම දහම සොබාදහම. එය අවිවාදාත්මකයි. මට ඒ ඇදහිල්ලට හිස නමා ගරු කරන්න හැකියි. සාගර සොහොනේ ලෝහිත ආදාහනය එය කොතරම් අමුතුද? එවැනි ජීවිත සමුගැන්මකට ධෛර්යයක් මිනිසුන් තුළ වේ නම්...!!!!

තම විරූපි, අඟුටුමිටි රූපකාය හේතුවෙන් අප්‍රකාශිත ප්‍රේමය සමඟ ජීවිතයෙන් සමුගන්නා සිගාර්ඩ්.. එය එසේ විය යුතුද? මගේ සිත විපිලිසරයි. අවම වශයෙන් ඔහු තේරුම්ගන්නට, අනෙකාගේ සතුට වෙනුවෙන් පරිත්‍යාගී වීම ද ප්‍රේමයම බව පහදා දෙන්නට කිසිවෙකු සිටියේ නම්? අසරණ සිගාර්ඩ්!!

තෙල්මා කුතුහලයෙන් පිරුණු ආකර්ශණීය කතාවක්. කාව්‍යාත්මකයි. ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයෙන් අවුලමින් පාඨකයා ඇද බැඳ තබාගන්නවා.... සමහර ඉරිදා දිනවල පොත පසෙකින් තියල ආපහු යන්නත් මට ලෝබ හිතුණා....

තෙල්මා මගේ හිතේ ඉඩක් වෙන් කරගත්තෙ ඉහත කී අපූර්වත්වයන් නිසයි.

තෙල්මට පණ දෙන්නෙ මාරි කොරලි. ( 1855 - 1924 ) ඇගේ නවකතා රොමාන්තිකවාදී විදේශීය මායාවන් කියලත් විචාරකයො හැඳින්නුවලු. ඉතින් මොකෝ. රොමෑන්තිකම නොවුණත් අපි හැමෝම ඉන්නෙ මායාවන්වල ඇලිල ගැලිල නෙවෙයිද?


පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ.... ආශිර්වාද ප්‍රකාශනයක්. 

5 comments:

  1. මේ පොත අම්මා ගාව තිබුණා මතකයි. :)

    ReplyDelete
    Replies
    1. දූ කියෙව්වෙ නැද්ද තාම.

      Delete
  2. ගිය අවුරුද්දේ බිනර මාසේ ගත්තු "මාගම් සෝලිය"කියවා ඉවර කෙරුවේ පහුගිය සතියේ.පොතක් රස විඳිමින් කියවන්න තරම් මානසික /කායික නිදහසක් නැහැ.ඒ අතින් තරු අක්කා හරිම වසනාවන්තයි.

    කියවන්න අසා කතාවක් වගේ.මේ පොතේ මිල කියක් විතර වෙනවාද තරු අක්කේ ?

    ReplyDelete
    Replies
    1. පොත් කියවන්න නිදහස ලැබෙන එක නම් වාසනාවක් තමයි මල්ලි.

      මම මේ පොත ගත්තෙත් ප්‍රදර්ශනයෙදි. හත්සිය ගාණක් මිල මතක හැටියට.... 30% ක වට්ටමක් ලැබුණා..

      Delete
  3. kalpana ambroseMay 5, 2015 at 3:43 PM

    මේ පොත කියවද්දි මම ඉස්කෝලෙ 7, 8 පන්තියෙ විතර. මට දැනුනෙත් මෙහෙමමයි. කියවපු සියක් දහසක් පොත් අතර මට තෙල්මා සුවිශේෂයි. නෝර්වේ ගම්බද කඳු අතර උපදින ,ගලා යන, අභියෝගයට ලක්වෙන මේ ආදර අන්දරය කවදාවත් අමතක වෙන්නෙ නෑ. පොත නිසා ඉපදුණු අද වන තුරු හිතින් අත් නොහැරිය හීනයක් සහ ආසාවක් තියෙනවා. ඒ තමයි නෝර්වේ කඳු අතර ඇවිද යන එක. ඒ හීනය මට දුන්නෙ තෙල්මා....
    තරුරසී ට තුති...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...