Monday, November 3, 2014

‘සුදු හිම පලස‘ මත හිරි වැටුණු හදවත....



සීතල හිමිදිරිය ය. ගම්බිම් බලා යනු පිණිස දුම්රියක් අපේක්ෂාවෙන් මම පාළු දුම්රියපළේ අසුනකට බර වී සිටිමි. ශුන්‍ය වූ හාත්පස  තුන් සිත සාංකාවෙන් පුරවාලනු දැනේ. ඒ සාංකාබරිත සිතුවිලි පළවා හළ යුතු ය. නො එසේ නම් නිම් නොවන සිතුවිලි සැරිසර හදවතද සීතලෙන් හිරිවට්ටනු නිසැක ය.

අත ගැටෙනුයේ කෙටි කතා පොතකි.  සුදු හිම පලස මතින් ඇවිද යන්නට කෙරෙන ඇරයුමකි. ඉදින් ඒ ඇරයුමට හිස නමමි.

........

‘‘ලියන්න හැකි නිසාම නොව, සමාජ ගත කළ යුතු එමෙන්ම සමාජයට වැඩදායක යමක් කියන්නට ඇති නිසාම ලිවීමය, සැබෑ නිර්මාණකරුවාගේ කාර්යභාරය විය යුත්තේ. පුෂ්පා රම්ලිනී එම වගකීම නිවැරදිව වටහා ගත් ලේඛිකාවකි.” ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා ගේ වචන තුළ මොහොතකට නතර වෙමි. සැබවින්ම මනුෂ්‍යත්වය, ආදරය දල්වාලීම ලේඛණ කලාවේ ප්‍රමුඛ කාර්යභාරය විය යුතුයැයි මම ද අදහමි.

ලේඛිකාවගේ හෘද කම්පනයේ නිධාන කතාව ද, අදාළ දේශයේ පසුබිම පිළිබඳව මාලනී ගෝවින්නගේ තබන සටහනද හිත කළඹන විට දුම්රිය පැමිණෙන සංඥා නාදය හාත්පස නිශ්චලත්වය සොරා ගන්නට විය. අන්‍ය මගීන් අනුව යමින් මම ද දුම්රියට ගොඩ වැදී හුදකලා ඉමක අසුන් ගනිමි.

සිත තවමත් සුදු හිම පලස මත ය. දැහැන නොබිඳිණි. මීනා ද, සරුංගල් ලුහුබඳින්නා ද පැමිණ මා පසෙකින් අසුන් ගත්හ. කළුද සුදු දැයි නොදන්නා ඇෆ්ඝනිස්ථානු දේශය කෙරෙහිද, එහි කප්පරක් දුක් විඳින ගැහැණුන්, ළමා ළපටින් කෙරෙහි ද, නිමක් නොවන යුද්ධයෙන් වැනසී ගිය ඇෆ්ගන් පරිසරය, සංස්කෘතිය කෙරෙහිද මසිත ප්‍රේමය දල්වා ලූ මුල්ම සාමාජිකයෝ ඔවුහු නොවෙත් ද?

..........

දැන්......... පුෂ්පා රම්ලිනී සුදු හිම පලසක් මවා මා මුළා කරමින් හිඳින්නීය. මුදු සුමුදු සිහිලසක්ද, නෙත සනහන පිවිතුරු ධවල නිම්නයක් ද දකිනු රිසින් ඇවිද ආ මම වේදනාවෙන් ගල්ගැහී හිඳිමි. සුදු හිම පලස මත ගල් ගැහී ඇති මානව පැවැත්මේ ඛේදනීය සලකුණු ඇස ගැටීමෙනි. හිම මත ඇත්තේ කඳුළු ය. දහඩිය ය. රුධිරය ය. මළ මිනී ය. ඒ ඇෆ්ගන් කතුන්ගේ  ය.  දියණියන්ගේ ය. සිත වේදනාවෙන් කීරි ගැසෙයි. දෑසට කඳුළු නැගෙයි.



ඒ හිම පලස ම විටෙක සඳ දියෙන් නැහැවී යන්නේ ය. ප්‍රේමයෙන් ආතුරව ද, ප්‍රේමයේ අසිරියෙන් මුසපත්ව ද හදවත පැහැර ගන්නේ ය. ඉදින්, හද දවන සුසුම ක් සමඟ ම මනුෂ්‍යත්වය සහ ආදරය පිළිබඳ නොවියැළුණු අපේක්ෂා දහසක් ද පොදි බැඳගෙන සුදු හිම පලස මතින් ඇවිද යමි. රිසි නම් ඔබටත් එක් විය හැකිය.

.........

ඇෆ්ඝනිස්ථානය යුධ බියෙන්, මර බියෙන් තොරව නිදහසේ හුස්මක් ගන්නට වාසනාව නොලද දේශයකි. බල අරගලද, ඉස්ලාම් මූලධර්මවාදයද, ත්‍රස්තවාදයද, දරිද්‍රබවද වඩාත්ම අසරණ කර ඇත්තේ කාන්තාවය. අන්තවාදී ආගමික මතවාදයන් හිසින් වැළඳගත් බොහෝ පවුල් තුළ ගැහැණිය යනු සතෙකුටත් අන්ත ජීවිතයක් උරුම කරගන්නියකි. ඇය හුදු අළෙවි භාණ්ඩයක්ම පමණි. අළෙවියෙන් පසුව ඇයට සිදුවන්නේ වහළියක සේ මෙහෙ කිරීමට ය. ඒ දුක්බර ඉරණම සුදු හිම පලස මත සිය ජීවිතය දිගහරින බොහෝ ස්ත්‍රීන්ගේ නිහඬ වැළපිල්ල තුළ දෝංකාර නංවයි.

මෙවැනි අන්තවාදී මුග්ධ මිනිස් කැලක් රජයන දේශයක සැබවින් ම ‘‘දෙවියන්ද අසරණ ය.” දෙවියන් අසරණ වූවද නස්රීන් සිය ජීවිත වටිනාකම් අත්හරින්නට සූදානම් නැත. ළාබාල වියේ සිටම ජීවිතය ගෙවුනේ යුද්ධය සමඟින්ම වුව, සන්තකය අහිමිව අනාථ කඳවුරක ගාල් වී සිටින්නේ වුව ඈ තවමත් ජීවිතයට ළෙංගතු ය.

‘‘රුසියානුවන්ගෙන් පස්සෙ මුජහිදීන් කාරයො. රුසියානුවො නම් පිටදේශක්කාරයා. මුජහිදීන්කාරයා, අපේම රටේ අපේම සහෝදරයො. ඉවක් බවක් නැතිව සහෝදරයන්ට එරෙහිව සහෝදරයො මරාගන්නවා. පුදුම අවමානයක්.. පුදුම බලලෝභයක්... ඊට පස්සෙ තලේබාන්කාරයො. එපා කරපුම හැත්තා. උන් අපිට ඉස්කෝලෙ යන්න තහනම් කළා. ටී.වී. එළියට විසි කළා. මොනතරම් නස්පැත්තිදායක කාල පරිච්ඡේදයක්ද ඒක...”

ඈ සිතන්නීය. සිය කටුක ජීවිතය පසෙක තිබියදී ඇය කඳවුරේ දරුවන්ට අකුරු කියා දෙන්නීය. කුරාණය කියා දෙන්නීය.


.....

ස්ත්‍රී හදවතක ස්වභාවයෙන් උපදින ප්‍රේමණීය හැඟීම් සිය සිත් ගත් පෙම්බරයාගේ උණුසුම් පපුතුරෙහි දැවටී මුදා හරින්නට නොහැකි වන ලෙස, ඇය දහසක් නීතීරීති තහංචි බැමිවලින් බැඳ දමා ඇති සමාජයක එකී ප්‍රේමය ස්ත්‍රී හදවතක් සමඟ පෑහී ‘‘සුදු හිම පලස” මත ගලා හැලෙන විට අප ඒ කෙරෙහි උරණ විය යුතුද? වැන්දඹු ෂෆිනාස් මෙන් ම අප්‍රකාශිත ප්‍රේමයෙන් දැවෙන අස්රා ද සමලිංගිකයින් යැයි ජුගුප්සාවෙන් පළවා හැරිය යුතුද? කතුවරිය එවැන්නකට ඉඩක් තබා නැත. ඔවුන් කෙරෙහි මහත් වූ දයාවකින් සිත වෙළී යයි.

.....

මළපොතේ අකුරක් නොදන්නා, අවම වශයෙන් සිය උපන්දිනය පවා නොදන්නා, මව් සෙනෙහසද අහිමි ‘‘අවමානය” හි අනීසා අවසන නෙත කඳුලක් නැංවීය. බුර්කාවෙන් සැඟවී පවතින සිය සුන්දරත්වය ප්‍රථම වරට ඡායාරූපයකට කැටි කොට ගන්නා ඇය දකින සුන්දර සිහින, ඇගේ නපුරු සොහොයුරාගේ  අතින් ගිනි උදුනේ දැවී යන විට මම ද හදවතින් වැළපුණෙමි. ඇගේ අනෙකුත් අනන්ත අප්‍රමාණ ජීවන අපේක්ෂාවන්ට අත්වන ඉරණමත් එයම නොවේද?

.....

ජීවිතයේ එකම එක වතාවක් සිය සිත් ගත් තරුණයා මුණගැසීම වෙනුවෙන් ජීවිතයෙන්ම වන්දි ගෙවූ අමිනා ඇගේ ලේ වැකුණු මුහුණ මතකයෙහි සිත්තම් කර සැඟවී ගියාය.

‘‘උඹට ප්‍රශ්න අහන්න අයිතියක් නෑ, මෝඩ කෙල්ල. මුල්ලා ඇෆ්ගන් රුපියල් ලක්ෂයක් මට ගෙනැල්ලා දුන්නා. ඉතුරු ලක්ෂෙ උඹව කසාද බැන්ද දවසට දෙන්න පොරොන්දු වුණා. උඹලව අපි හදන්නෙ විකුණන්න කියල උඹලා දන්නෙ නැද්ද? අපි හදන බැටළුවන්ගෙයි උඹලගෙයි කිසිම වෙනසක් නැහැ....”

දුප්පත්කම කතුන්ගේ දුක්ඛිත තත්වය දෙගුණ තෙගුණ කරලන්නේය. ඇති හැකි පවුල්වල දැරියන් මෙතරම්ම අසරණ වන්නේ නැත. නුගත්කමට, අයුක්තියට, අසාධාරණයට, පීඩනයට උල්පන්දම් දෙන පන්ති විෂමතාවය පිළිබඳ යථාර්ථයද සුදු හිම පලස මත සංවේදීව සටහන් වී ඇත.

‘‘මේ සියලු කරදර හිරිහැර විඳුමට සිදු වන්නේ දුගී දුප්පතුනට මිස අත මිට සරු අයට නොවේ.”

.......

නාත්තණ්ඩියේදී දුම්රියෙන් බැස ගතිමි. හීතල හී තුඩු ඇමිණි පෙළන්නේ සිරුර පමණක් නොවේ. වෙනදාට නම් බසයක් එන තුරු බෝ ගස යට රැඳී සිටින මිනිත්තු කිහිපය සිත නිවන සුළු ය.  නමුත් අද, සිත තවමත් සුදු හිම පලස මත හිරි වැටීගෙන ය.

අධ්‍යාත්මික සංහිඳීම වෙනුවෙන් කළින් කළ පහළ වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් පෙන්වා දුන් ධර්ම මාර්ගයන් මිනිසුන් පෙළීම වෙනුවෙන් මේ සා මුග්ධ ලෙස යොදා ගැනෙන්නේ නූගත්කම නිසාද? බල ලෝභය නිසාද? පුරුෂ ලෝකයේ සදාතන බල අරගලය වෙනුවෙන් තව කොතෙක් නම් ගැහැණුන්, ළමා ළපටින් අසරණයින් තම ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද?

ධර්මද්වීපය යැයි නම් ලද ලංකා පොළවේ අනාගත ඉරණම ද මෙවැනිම ඛේදවාචකයක් වීමේ ලකුණු පහළ වෙමින් තිබේ. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපිය යුතු තරමට ප්‍රබල වන තුරු බලා සිටින්නේ බලය මිස මනුෂ්‍යත්වය වැදගත් යැයි කිසිවකුත් නොසලකන නිසා බව සිතන්නට සිදුවීම ම ඛේදයකි.

........

මහා සෙනඟක් නොවූ බස් රිය නිවී සැනසිල්ලේ ගමන් ඇරඹීය. නෙත ද සිත ද එවැනිම අස්වැසිල්ලක වෙළී ගියේ ‘‘උණුසුම් ශීතල” රැගෙන ආ ප්‍රේමයේ උණුසුම සමගිනි.

අමානුෂික නීතිරීතිවලට මිස මනුෂ්‍ය හැඟීම්වලට කිසිදු ඉඩක් නොමැති බිමක ‘‘උණුසුම් ශීතල”, ‘‘බුර්කාවෙන් එපිටට” ජීවිත කතා මහත් ම අස්වැසිල්ලකි. සතිස් සහ ෆරීමාගේ අප්‍රකාශිත ප්‍රේමය වේදනාවක් වන විට අමල් කෙරෙහි වන සර්දාර් ජීගේ ආදරය යථාර්ථයක් වන ලකුණු පහළ වීම සැනසුමකි. සැබවින්ම අමල් මා අබිමුව කැටපතකි. මගේ සිතුම් පැතුම්, චර්යාවන් මම ඈ තුළ දකිමි. ඉදින් අමල් ප්‍රේමය තුළ නිවීම මගේ සැනසුමට හේතු වීම අරුමයක් නොවේ.

‘‘බුර්කාවෙන් එපිටට” නව ලොවක් පිළිබඳ අපේක්ෂාවන් දළුලන අයුරු නිරූපණය කරයි. දිල්බර් ජාන් ගෘහණියගේ භුමිකාවෙන් එහා ඡන්ද අපේක්ෂිකාවක බවට පත්වන්නේ ඇගේ ආදරණීය සැමියා ඉක්බාල්ගේ ද මඟපෙන්වීම මත ය. ඉක්බාල්ගේ දැනුවත් බවද, මානුෂීය බව ද ඇයට සවියක් ම විය. මැතිවරණ ක්‍රියාදාමය තුළ ඇයට නොයෙක් දුෂ්කරතා විඳින්නට සිදු වුව ද බුර්කාවෙන් එපිටට විහිදුණු අළුත් ගමන් මගක් පිළිබඳව විශ්වාසය දිල්බාර් ජාන් තුළ නොනැසී පවතියි. අප්‍රමාණ පීඩාවක් තම ස්ත්‍රීත්වය යටපත් කරමින් පවතින්නේ වුව මෘදු බවින්ද, ධෛර්යයෙන්ද, ආදරයෙන්ද පිරිපුන් නස්රීන්, දිල්බර් ජාන්, සාෆියා, ෆස්මා වැනි කාන්තාවන් මනුෂ්‍යත්වයට ආශිර්වාදයකි.
 
ප්‍රේමය ලොව වෙනස් කරන බව පිළිගන්නට තරම් පුරුෂ ලොව නිහතමානී වන්නේ නම් මේ ලොව මීට වඩා සුන්දර තැනක් වනු නොඅනුමානය. ගැහැණුන්ට සහ දරුවන්ට නිවී සැනසිල්ලේ හුස්මක් ගන්නට ඉඩක් ලැබෙනු ඇත.

ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය තුළ වුව ද කාන්තා නියෝජනය බෙහෙවින් අවම ය. පාදඩයින්ට, මැරයින්ට මිස මහත්මාවරුන්ට ඉඩක් නොවන වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ ස්ත්‍රීත්වයේ ගරුත්වය රැකගෙන කටයුතු කිරීමේ අපහසුව නිසාම දැනුවත්, උගත් සංවේදී කාන්තාවන් දේශපාලනයෙන් දුරස්ව සිටින්නේ යැයි සිතීම අසාධාරණ නොවේ. ජනප්‍රියත්වය, පාරම්පරික උරුමය හෝ අන් හේතුවක් මත දේශපාලනයට පිවිසෙන කාන්තාවන් වුවද පුරුෂ ලෝකයේ අතකොළු වනු මිස ස්වාධීනව කටයුතු කරන්නට ඉඩක් ඇති බවක්ද නොපෙනේ. මෙය ඛේදනීය තත්වයක් නොවේද?

.....

නරුම සිත් ඇති ඇෆ්ගන් පිරිමින් කෙරෙහි ඇති වන අප්‍රසාදය යම් තරමකට හෝ සමනය වන්නේ ඉක්බාල්, සර්දාර් ජී වැන්නවුන්ගේ මානුෂික බව නිසාවෙනි. අපි ඒ පුරුෂ ලෝකයේ නොදැමුණු අහංකාරයටද, නූගත්කමටද, අන්තවාදී බවට ද අනුකම්පා කළ යුතු යැයි සිතමි. මෙවැනි නරුම අධිපතිවාදී, හිංසාකරී සමාජයක් යහමග ගැන්වීම කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු විය යුතුය. එය මෛත්‍රීයෙන්, ප්‍රේමයෙන් මානුෂිකව සිදු කරන පෙළඹවීම, මගපෙන්වීම, දැනුවත් කිරීම තුළ අත්දැකිය යුතු දෙයක් මිස, අවි බලයෙන් සිදු කළ නොහැකි දෙයක් බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ද, සියලු ජාත්‍යන්තර සංවිධානද තේරුම් ගත යුතුයැයි සිතමි. ඇෆ්ගන් දේශය තුළ එවැනි මැදිහත් සේවයක නියැළෙන්නට ලැබීම කතුවරිය ලද භාග්‍යයකි. එයින් නොනැවතී ඇය තම අත්දැකීම් මුද්‍රිත කෘතියක්ව අප අත තබනුයේ මානව ප්‍රේමයෙන් අප හදවත් දල්වා ලනු රිසින් නොවේද? 


......

සුදු හිම පලසෙන් නික්මී ඇෆ්ගන් දේශ සීමාවෙන් මෙපිට, ඉන්දු සයුරේ මුතු කඳුළෙහි ස්ථානගතව නිස්කලංකයේ සිතන විට  අපේ ස්ත්‍රීත්වය වාසනාවක් යැයි නොසිතෙන්නේ නම් පුදුමයකි. ඒ සා මහත් පීඩනයක් අප මත පැටවී නොතිබීම වාසනාවකි. නමුත්, මෙබඳුම අසාධාරණයන්ට, පීඩනයන්ට, වේදනාවන්ට හසුවන ගැහැණුන් අප අතරත් කොතෙක් නම් වේද? ඔවුහු එකවර මරා දැමෙන්නේ නැත. මැරි මැරී ජීවත් වන්නහුය. මුවින් නොබැණ සියලු පිරිපත උහුළන්නහු ය.  

ලාංකීය කාන්තාවට ප්‍රසිද්ධියේ ගල් ගසන්නේ නැත. වෙඩි තබන්නේ නැත.  පුලුස්සා දමන්නේද නැත. නැතුවාමත් නොවේ. මරා දමන්නේ සිරුර නොව ආත්මය ය. ගල් ගසන්නේ, වෙඩි තබන්නේ, පුලුස්සා දමන්නේ ඇගේ හදවතය. කීතු කීතු කොට දමන්නේ හදවත ය. ලේ ගලන්නේ හදවතින් වන බැවින් නොපෙනෙනු ඇත. ධනය, බලය, කුලය, ආගම, සම්ප්‍රදාය, සංස්කෘතිය ආදී වූ සීමා මායිම්, තහංචි තුළ බුර්කාවක් නොපැළඳිය ද ලාංකීය ගැහැණියද සිරකාරියකි. ඒ සීමා මායිම් බිඳගෙන ඉගිළී යාමේ නිදහස ඇයට ඇත. නමුත් ඇය පිළිගන්නට මානව දයාවෙන් පිරුණු අහසක් අප සතු වේ ද යන්න ගැටලුවකි.

.......

සති අන්තයේ නිවහනේ හුදකලාව සිටියදී නැවත නැවතත් සුදු හිම පලස පෙරළා බැලීමි. ලිවිය යුතුය, සිත එක්තැන් කරගතිමි. මේ ඔබ කියවනුයේ එහි ප්‍රතිඵලයයි.

......

කෙටි කතාව නම් වන සාහිත්‍ය ෂානරය ‘සුදු හිම පලස’ මත කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි සොයන්නට මම උත්සුක නොවීමි. සරල සුගම බස්වහර සුදු හිම පලස ට අප ඇද බැඳ තබා ගනියි. කතුවරිය සිදුවීම් පෙළගස්වන ආකාරය අතිශය සංවේදී ය. මානව දයාවෙන් අනූන හදවතක කම්පනය මේ සියලු කතාතුළින් රළ නගන්නේ යැයි සිතමි.

මා සෙවූයේ ජීවිතයයි. මට හමුවූයේද ජීවිතයයි. වඩා වැදගත් වන්නේ කතුවරිය අප හමුවේ දිගහරින මානව ජීවිතයේ ඛේදනීය තත්වය හඳුනාගනිමින් එය සුඛාන්තයක් බවට පත් කරලීම සඳහා අපට ලබා දිය හැකි දායකත්වය කුමක් යන්න විමසා බැලීම යැයි මම විශ්වාස කරමි. එය හුදු රසවින්දනය ඉක්මවා ගිය ප්‍රඥාවබෝධයකින් තොරව සිදු විය නොහැක්කක් යැයි මට සිතේ.

එසේම, ස්ත්‍රී ඇසකින් විනිවිදින ස්ත්‍රී ජීවිතවල කතාන්දරය පොදු මනුෂ්‍යත්වය සමඟ උර ගා බලන විට සමස්ත සමාජයේ උන්නතිය වෙනුවෙන් කාන්තාවගේ ආදරයට, කරුණාවට, මුදු ගුණයට, ධෛර්යසම්පන්න බවට ලබා දිය හැකි දායකත්වය කොතෙක්ද යන්නත් පැහැදිලි වේ.


ඇෆ්ගනිස්ථානයේ රාවා සංවිධානය බිහි කළ ‘‘මීනා” ගේ ජීවිතයද මේ සමඟ ම කියවන්නැයි අවසන් වශයෙන් සිහිපත් කරමි.

10 comments:

  1. මේ පුෂ්පා රම්ලනී විසින් පරිවර්තනය කළ එකක්ද නැත්නම් ඇයගේම නිර්මාණ ඇතුළත් පොතක්ද ? කියවන්නට බලා හිඳිමි

    ReplyDelete
    Replies
    1. ඇයගේම නිර්මාණ ඇතුළත් පොතක් අයියේ...

      Delete
  2. තරුරසි.....සටහනට ස්තූතියි!!

    Thousand splendid suns ..by Khaled Hosseini කියවලා බලන්න. ඇෆ්ගන් කාන්තාව විඳින කටුකත්වය.

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන නිසාම මෙවැනි පොත් කියවීම ටිකක් ඈත් කරලයි තිබුණෙ... ස්තුතියි අරූ... කියවන්නම්.

      Delete
  3. තරූ මං ඔය පොත අතට ඇරගෙනත් ආපහු තිබ්බ...
    ඇයි මංද මට එවෙලෙ ආපහු තියන්න හිතුනෙ කියල ඒත් අනේ මංද
    දැං නං හිතෙනව ඇයි මම ඒකආපහු තිබ්බෙ කියල
    අපුරුවට සටහන් කරල තියෙනව
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මමත් මේ පොත කියවීම අතපසු කරමින් උන්නෙ.. මුස්ලිම් අන්තවාදය නිසා දුක් විඳින කාන්තාවන් ගැන ලියැවුණු පොත් බොහොමයක් කියවල ඒ පීඩනය දරාගන්න බැරි නිසා.. අපේම ලේඛිකාවකගෙ අත්දැකීම් එක්ක ලියැවෙන නිසා මේ පොතත් කියවල බලන්න වටිනවා...

      Delete
  4. ආදරයෙන් තරූට, ඇෆ්ගන් කාන්තාවන්ගේ ජීවිත ඛේදාන්තයන් හමුවේ මගේ හදවතින් හා දෙනුවනින් ඇද වටුණු කඳුළු වලින් ලියැවුණු සුදු හිමපලසට යළිත් කඳුළු වැටුණේ ඔබ ලියූ සටහන් කියවීමෙන් පසුවයි. මුලින්ම මගේ හර්දයන්ගම ස්තුතිය හද පිරුණු සෙනෙහසින් යුතුව ඔබට පිරිනමන්න මට අවසර. ඔබ සුදුහිම පලසේ සිත්තම් වූ නිර්මාණ දෙස බැලූ අපූරු මානව ප්‍රේමය හා ඇෆ්ගන් ලඳුන් දෙස ඔබේ හදවත අභ්‍යන්තරයෙන්ම දරන ආකල්පයන් මට මෙන්ම හැම ලඳකටම පොදු ඒවා වන්නේ නම් අප මේ ගැන සන්වේදීව කුමක් කළ යුතු දැයි සිතන්නට පෙළඹෙනවා නොඅනුමානය. ඔවුන්ග්වි සපතුවල අපේ දෙපා ඔබා ගෙන බැලියයුත්තේ අපේ රටේ ගැහැනුන්ට නම් එබඳු කටුක අත්දැකීම වලට මුහුණ දීමට සිදුවන් වාතාවරණයක් කිසිම දිනක උදා නොවේවා යන්නයි.
    ලියන්නට බොහොම ඩේ ඇතත් මා ලියූ සුදු හිම පලස ගැන මෙසේ සටහනක් තැබීම පිළිබඳව මගේ හද්වතේ ගැඹුරුම තැනින් පිදෙන ස්තුතිය මෙයින් පුදකරමින් ඔබට ජයම ප්‍රාර්ථනා කරමින් විරාමයක් තබමි.

    ReplyDelete
    Replies
    1. සුදු හිම පලස කියවීම හදවත කම්පා කළා.. දැණුනු හැඟුණු සිතුවිලිවලට සීමා පැනෙව්වෙ නැහැ. ඒ විදියටම ලියා තැබුවා...

      ස්තුතියි ඔබේ ඇසු දුටු අත්දැකීම් අප හා බෙදා ගත්තාට.

      Delete
  5. //ලාංකීය කාන්තාවට ප්‍රසිද්ධියේ ගල් ගසන්නේ නැත. වෙඩි තබන්නේ නැත. පුලුස්සා දමන්නේද නැත. නැතුවාමත් නොවේ. මරා දමන්නේ සිරුර නොව ආත්මය ය. ගල් ගසන්නේ, වෙඩි තබන්නේ, පුලුස්සා දමන්නේ ඇගේ හදවතය. කීතු කීතු කොට දමන්නේ හදවත ය. ලේ ගලන්නේ හදවතින් වන බැවින් නොපෙනෙනු ඇත. ධනය, බලය, කුලය, ආගම, සම්ප්‍රදාය, සංස්කෘතිය ආදී වූ සීමා මායිම්, තහංචි තුළ බුර්කාවක් නොපැළඳිය ද ලාංකීය ගැහැණියද සිරකාරියකි. ඒ සීමා මායිම් බිඳගෙන ඉගිළී යාමේ නිදහස ඇයට ඇත. නමුත් ඇය පිළිගන්නට මානව දයාවෙන් පිරුණු අහසක් අප සතු වේ ද යන්න ගැටලුවකි.//
    well said

    ReplyDelete
  6. පොත අතට අරගෙනත් තියලා, ඒ වෙනුවට ඉමාම්ගේ දියණිය පොත ගත්තා. කොහොම නමුත් ඔය ප්‍රශ්නයේ පැති දෙකක් තියෙනවා අක්කේ. විශ්වාස කරන්න. මම ඒ දෙපැත්ත ම දැක තිබෙනවා. මේ ළඟදී, මේ ගීතයත් එක්ක, අත්විඳින්න සිදු වුණු දේවල් එක්ක සමහර වෙලාවට අපි හිතනවට වඩා දෙයක්, නොදකින පැත්තක් තිබෙනවා කියලා තේරුණා.
    ජය වේවා!!!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...