Friday, October 31, 2014

පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්




ඊයෙ දිනපොතේ ලියා තැබූ සටහන අද තරුරසියට ගන්න හිතුණා.

උණුහුම් සුසුමක්
ගින්දර වගේ
මේ මෙතැන
සුන්බුන් අතර
තාත්තා කෙනෙකුගේ...
බොර පාට මඩ වතුරෙ
අර අතන
ඉකිබිඳින
අව පාට කඳුළු බිඳ
අම්මා කෙනෙකුගේ

දර ඉපල්ලක් වගේ
කෘශ ගැහුණු
තේ කහට ඇඟිලි තුඩු
හීතලට ඉරිතැළුණු
වියපත්
මිත්තණියගේ...

මළ බැඳි යකඩ තහඩුව යට
මව් උණුහුමක් නැතද
දිලිසෙන සිනා පොද
සිඟිති කිරි කැකුලගේ...

නාය ගිය පපුකුහර
පිරෙන තුරු
හුස්මක් ගන්න සැනසුමෙන්
පස් කන්ද යට
තවම නිවනක් නෑ වගේ...


පස් කඳු යට වැළලුණු මිනිසුන් ගැන මහා කම්පාවක් දවස පුරාම....

ගිය වසරෙ ක්ෂේත්‍ර චාරිකාවකදි නාය යෑම නිසා ඉවත් කළ පවුල් පදිංචි කළ ගමක් මුණ ගැහුණා. පර්චස් විස්සයි, රු.50000 යි, තහඩු ටිකකුයි ඒ මිනිස්සුන්ට ලැබිල තිබුණෙ.. අටවාගත්ත ගෙවල්වල වුණත් ඒ මිනිස්සු සතුටින් උන්න බව දැණුනා ලැබුණු පර්චස් විස්සක ඉඩම ගැනත්, මහපාරට කිට්ටුවෙන් ඉන්න ලැබීම ගැනත් සෑහීමෙන්. ඒ ගමත් තිබුණෙ කන්දකම තමයි.. ඉහළට යන්න යන්න දුෂ්කරයි. ඒත් ඒ අමාරුකම් ගණනකට නොගැනෙන්නෙ උන්නු තැන්වලට වඩා මේ ලැබුණු තැන හොඳ නිසා වෙන්න ඇති...

පස්කඳුවලට යට වුණ මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක ඉඩමක් ගෙයක් දොරක් ලැබුණනම් නොයා ඉන්නෙ නැහැනෙ...
අනික අපේ රටේ මේ කරන නාස්තිකාර වැඩවල හැටියට දුප්පත් මිනිස්සුන්ට පහසුකම් සලසන්න බෑ කියන එක අපායගාමී මහා බොරුවක්... ධනවතුන්ටයි, පිටරට සමාගම්වලටයි ඉඩම් විකුණන, බදු දෙන හැටියට මේ දුප්පතුන්ට බිම් අඟලක් දෙන්න බැහැයි කියන එකත් ඒ වගේම මහා බොරුවක්.. ඇත්තම ඇත්ත කතාව නම් මේ රටේ පාලකයින්ට දුප්පතුන්ගෙ ජීවිත ගැන කිසිම වගකීමක් නෑ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ප්‍රාදේශීය දේශපාලන නායකයින් වගේම රාජ්‍ය නිළධාරිනුත්, ආගමික නායකයන් වගේම අපිත් ඇතුළුව සමස්ත ජනතාවත් මේ අභාග්‍යසම්පන්න ඛේදවාචකවලට වගකිව යුතුයි පැහැදිලිවම...

මේ සම්බන්ධයෙන්ම ඉවාන්ගෙ ලිපිය හරිම වැදගත්.. කරුණු රැසක් එක්තැන් කරල තියෙනවා. ඔහු මේ කියන කතාව නම් ලංකා පොළොව මත බැහැර කළ නොහැකි සත්‍යයක්...
‘‘ආදරණීය සොයුරනේ ඔබ සැමට මතු උපදින ආත්මයක මෙවන් විපතක් නොවේවා, පොම්පේ ජනතාවට හිමිවූ ගෞරවය ඔබට කිසිදා හිමි නොවනු ඇත, තව සති දෙකකින් සියල්ල අමතකව යාවි ,නැවත මෙවැන්නක් සිදුවනතුරු.“

.................

පවුලෙ අය නැතිව තනිවුණ දරුවන්ගෙ ඉරණම මොන වගේ වේවිද? පව් ළමයි. වැඩිහිටි අය කොහොම හරි ජීවිතේට මුහුණ දේවි.. ඒත් වැඩියෙන්ම අසරණ වෙන්නෙ ළමයි. කටුකම ජීවිතයක් උරුම වෙන්න වැඩි ඉඩක් තියෙන්නෙ දරුවන්ට...

මූලිකවම මේ දරුවන්ගෙ සහ වැඩිහිටියන්ගෙ මානසික සුවපත්වීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් වෙන්න ඕන. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂාව වගේම ඒකත් හරිම වැදගත්..

ඒ වගේම මව්පියන් නැතිව තනිවුණු දරුවන්, වැඩිහිටියන් වෙනුවෙන් පුංචි ගමක් හැදෙනවනම් හොඳයි. තමන් අනාථය කියන හැඟීම ඇති නොවෙන්න ඒ ගම මැද තනි වුණු දරුවන් වෙනුවෙන් ආරක්ෂිත නිවහනක් ගොඩ නගන්න පුළුවන් නම් වටිනවා. එය නිවසක් මිස ළමා නිවාසයක් නොවිය යුතුයි. තනිවුණ වැඩිහිටියන්ට වුණත් එය යම් තරමක මානසික අස්වැසිල්ලක් වේවි. මෙතෙක් කලක් එකට ජීවත්වුණු ඔවුන්ට ඉදිරියටත් දුකසැප බෙදාගෙන එක්ව ජීවත් වන්නට ඉඩක් ලැබේවි....

විශාලම අවදානමක් තියෙන්නෙ දරුවන්ට. මේ අහිංසක දරුවන්ගෙ අනාගත ඉරණම මෙහෙකාර සේවය බවට පත්වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඒ අනතුරින් දරුවන් ගළවාගන්න නම් ඔවුන්ව රැක බලාගැනීමේ පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මූලිකවම දරුවන්ගෙ මනස හදන්න ඕන. ඊළඟට ඔවුන් දැනුවත් කරන්න ඕන. ජීවත් වෙන්න ධෛර්යය දෙන්න ඕන. ආදරය, රැකවරණය, ධෛර්යය මේ මොහොතෙ දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය සම්පත්.

දරුවන්ගේ අධ්‍යාපන සුරක්ෂිතබව වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමයක් හඳුන්වා දිය හැකියිනෙ. එවැනි සද්ක්‍රියාවකට දායක වෙන්න කැමති මව්පිය ගුණයෙන් පොහොසත් මිනිසුන් අප්‍රමාණව ඉන්නවා. ඔවුන් හඳුනාගෙන අවශ්‍ය සහය ලබා ගැනීමයි වැදගත්....

ඉදිරි දිනක ළ.ක්‍රි.වී. ( ළමා ක්‍රියාකාරී වීරයෝ ) සමඟ මේ දරුවන් මුණගැහෙන්නට නියමිතයි. එහිදී මේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්නට උත්සාහයක් දැරිය හැකි වේවි.

7 comments:

  1. ගොඩක් හොද වැඩක් කරන්න යන්නෙ තරු අක්කෙ. කරන්න යන වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  2. ඒ දරුවන්ගේ අනාගතය නම් දැනටත් අවිනිශ්චිතයි , අනාරක්ෂිතයි රසී අක්කේ , මේ දෙමව්පියන් නැති දරුවන් කියන්නේ ශ්‍රම තැරැව්කරුවන්ට නිධානයක් වගෙයි වතුකරයේ . මේ වෙනකොටත් කෙදෙනේක්ව විකුඉනලාද දන්නේ නෑ. වතුකරය පුරා පැතිරුණු ශ්‍රම වෙළඳාමේ යදෙන තර්ව්කරුවන්ගේ ඉලක්කය අවුරුදු 14 න ඉහල කුඩා දරුවන්, කොතරම් නීති තිබුනත් ඒවා වතුකරයට අදාළ වන්නේ නැතිද කියා සිතෙන තරමට මෙහි ළමා ශ්‍රමිකයින් සඳහා ඉල්ලුමක් පවතිනවා .

    ReplyDelete
    Replies
    1. ජාතික ළමා ආරක්ෂක අධිකාරියක් කියලා එකක් තියෙනවා නේද ?එත් තමාත් හරි වැඩ පිළිවෙලක් මේ දරුවෝ සම්බන්ධයෙන් අරගෙන තියෙනවා කියලා පේන්න නැහැ.නීති කොයි තරම් තිබුණත් ඒවා තියෙන්නේ පොත් වලටම සිමා වෙලා.එකයි කණගාටුව.මේ මල් කැකුළු හොඳට පිපෙනකම් බලා ගන්න එක අපේ වගකීමක්.

      Delete
  3. ඔක්කොටම ඉස්සෙල්ලා මේ දරුවන් බේරගන්න වෙන්නේ මේ නපුංසක මීඩියා වලින්. උන් අපිට චිත්‍රපටි පෙන්නන්න හදනවා මේ ඛේදවාචකය හරහා.

    ReplyDelete
  4. ඇත්තටම ඒ ළමයින්ගේ අනාගතය අපැහැදිලි චිත්‍රයක් වගේ..

    තරූලා කරන්න යන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා..

    ReplyDelete
  5. මතකනේ සුනාමියෙන් බේරුණු දරුවන් සෑහෙන පිරිසක් අතුරුදහන් වීම... ඒ වගේ දෙයක් මෙතැනදී සිද්ධ නොවෙන්න වග බලාගත යුතුයි.

    ReplyDelete
  6. තරූ ඉතාමත් යහපත් අදහසක් - මේ දරුවන් අනාථවීම වළක්වන්නට බැරි වුණා නම් අඩු තරමින් ඒ දරුවන්ට අනාගතයක් වත් හදා දීම යුතුකමක්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...