Wednesday, October 1, 2014

පුංචි පුතු මගේ..............


යුවනෙක පුතා හත වසරෙ. එයා පොත් කියවන්න හරිම ආසයි. ඉතින් අම්ම එයාව හැමදාමත් පොත් ප්‍රදර්ශනයට එක්කරන් යනවා. මේ වතාවෙ නම් අම්ම අත සල්ලි නෑ. ඒත් එහෙමයි කියල පුතාට පොත් අරන් නොදී ඉන්නත් අම්මට බෑ. කොහොම හරි මාසෙ වියදම ගැට ගහගන්නවා කියල හිතාගෙන අම්මා යුවනෙකවයි, එක වසරෙ ඉන්න එයාගෙ මල්ලිවයි එක්කරගෙන පොත් ප්‍රදර්ශනයට කොළඹ ගියා.

‘‘පුතාල කැමති පොත් තෝරගන්න. මේ සැරේ අම්ම අතේ වැඩිය සල්ලි නෑ හොඳද? අම්මා පුතාල දෙන්නට කිව්වා.

මල්ලි ඉක්මණින්ම පුංචි කතන්දර පොතක් තෝරගත්තා. ‘‘මං ගත්තා. මට ඇති. එයා කිව්වා.

ලොකු පුතා යුවනෙක පොත් තෝරන දිහා අම්ම බලන් උන්නෙ හරිම ආසාවෙන්. එයා පොතක් අතට ගන්නවා. කවරය දිහා හොඳින් බලනවා. පොත හරවලා පසුකවරයේ සටහන කියවනවා. පොත පෙරළලා අතරින් පතර කියවල බලනවා. ඉන්පස්සෙ මිලත් බලනවා.. පොත ගන්නවද නැද්ද කියල එයා තීරණය කරන්නෙ ඉන්පස්සෙ.

මෙහෙම පොත් තෝරමින් යද්දි යුවනෙක පුතාට  ලස්සන වසිලිස්සා හමුවුණා. ලස්සන ගණකම් කවරය, ඇතුළ පාට පාට පින්තූර. පුතාගෙ හිත ගියා ඒ පොතට. ඒත් මිල රුපියල් හයසීයක්...

‘‘මං මේ පොතේ බාගයක් කියවල තියෙනවා.. එයා අම්ම දිහා බලල කිව්වා.

‘‘කමක් නෑ පුතා කැමති නම් ඔය පොත ගන්න අම්ම කිව්වෙ පුතාගෙ දීප්තිමත් ඇස් දිහා බලමින්.

‘‘මේ පොත ඉස්කෝලෙ පුස්තකාලෙ තියෙනව අම්මෙ.. මට ඉතිරි ටිකත් ඒකෙන්ම බලන්න පුළුවන්.. එහෙම කියපු යුවනෙක ලස්සන වසිලිස්සා ආපහු පොත් රාක්කෙන් තියල මිල අඩු පොතක් වෙත හැරුණා.

‘‘එයා පරිවර්තනවලට හරිම ආසයි. රුසියන් පොත්වලට ගොඩක්ම... ඒත් ගත්ත පොත් රුපියල් දෙසීයට අඩුයි. මට පව් කියල හිතුණා. මං අතේ සල්ලි නෑ කියල දන්නවනෙ. පස්සෙ දවසක අරන් දෙන්න ඕන... අම්මා එයාගෙ යාළුවෙක් එක්ක කිව්වෙ සතුටයි, දුකයි කලවම් වෙච්ච හැඟීමෙන්...

..............

දරුවන්ගෙ හිත් තේරුම් ගන්න, ආදරය කරන, ගරු කරන වැඩිහිටියන් වගේම, වැඩිහිටියන් තේරුම් ගන්න, ආදරය කරන, ගරු කරන දරුවන් සිටින ලොවක් කොයි තරම් සුන්දර වේවිද?


අද ලෝක ළමා වැඩිහිටි දිනය....... 


31 comments:

  1. අද දවසට හරියටම ගැලපෙන ලිපියක් කියෙවුවේ දැනුයි.

    ReplyDelete
    Replies
    1. අද විතරක් නෙවි හැමදාම ආදරය පිරුණු දවසක්ම වේවා...

      Delete
  2. අම්මා ආසයි පුතා පොත් කියවනවට. ඒත් ගොඩාක් පොත් අරන් දෙන්න අම්මට සල්ලි නැති එකයි දුක.

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා...... දැනටමත් දරුවන් වෙනුවෙන් ගොඩක් දේ කරන අම්ම කෙනෙක්නෙ....

      මං පුංචි කාලෙ හෝඩි පොත ඇරුණම අම්ම, තාත්තා කතා පොත් අරන් දීල නැහැ. පුස්තකාලෙන් යාළුවන්ගෙන් තමයි මම ඒ කාලෙ පොත් කියෙව්වෙ.. එහෙම වුණයි කියල කිසි අඩුවක් වෙලා නැහැනෙ....

      Delete
    2. සේම් හියර්... මටත් අපේ අම්මා කඩෙන් නං පොත් අරං දුන්නේ නැහැ. හැබැයි කොළඹ මහජන පුස්තකාලේ ස්ථිර පදිංචිකාරියක් තරමට පත් කරලා තිබුණේ. අම්මා වැඩ අහවර වෙලා එනකම්, මං ඉස්කෝලේ ඇරිලා එහෙට වෙලා ඉන්නවා. මුල් කාලේ පොත් කියෙව්වාට වඩා නිදිය ගත්තා පොත් බදාගෙන. පස්සේ පස්සේ නිදියන්න මතක් වුණේවත් නැති වුණා. :)

      Delete
    3. අපේ අම්මත් පුස්තකාලෙ ගියා... මමත් ඒ පස්සෙන් ගිහින් ළමා පොත් කියවන්න හුරු වුණා. අපේ ගමේ පුංචි පුස්තකාලෙ ලස්සන ළමා පොත් ටිකක් තිබුණා...

      දැන් පුස්තකාලෙත් නැහැ.. ළමා පොතුත් නැහැ.. මං හිතන් ඉන්නෙ ගෙදරම පුංචි පුස්තකාලයක් පටන් ගන්න ළමයින් වෙනුවෙන්...

      Delete
  3. Replies
    1. අදටත්... හැමදාටමත්...

      Delete
  4. බට්ටම බට්ටා කාලේ ඉඳන්, නුවර ළමා පුස්තකාලේ කියන්නේ අපි තුන්දෙනාගේ සිහින පාරාදීසයක්! පොත් අතරේ අතරමං වෙන්න අපිට සති අන්තේ දවසක්ම අපේ අම්මා වෙන්කරලා දීල තිබ්බ. දැන් වගේ ටියුෂන් දිව්ව ළමයි නෙවෙයි අපි. ඊට පස්සේ මහජන පුස්තකාලේ අතරමං වෙලා උන්නා. අදටත්, පුස්තකාලයක් පහුවෙනකොට මහා කැසිල්ලක් හැදෙනවා.... සල්ලි වලට අරන් ගෙදර ගෙනියලා කියෝනවට වඩා මට ආස පුස්තකාලේ වරුවක් විතර රස්තියාදු වෙලා පොත් අතරේ ඇවිද ඇවිද පොතක් දෙකක් තෝරාගෙන යන්න. ගොඩේ පොරක් නේ මං !

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි එහෙම.. ඒත් දැන් කාලයත් එක්ක සටනක්නෙ කරන්නෙ...

      අපි හැමෝම ගොඩේ පොරවල් තමයි බලන් ගියාම...

      Delete
  5. අම්ම තාත්ත වැඩිහිටියන්ට ගරුකරන, වැඩිහිටියන් තේරුම් ගන්න අයනම් අනිවාර්යයෙන් දරුවනුත් ඒ ආදර්ශ ගන්නවා..

    දරුවො දෙන්නට ම නැති දා නැති බවත් ඇති දා ඇති බවත් තේරුම් කරල දීල නිසා ඒ අය කරදරකාරයො වෙලා නෑ.. ගොඩ වෙලාවට අපේ නැති බැරි කම් ඒ අයට දැනෙන්න දෙන්නෙ නැති උනාම තමා කරදර වෙන්නෙ අපටම....

    ReplyDelete
  6. වසනාවන්ත දරු දෙන්නෙක් හා අම්මා කෙනෙක්.
    ස්කෝලේ කාලෙන් පස්සේ පුස්තකාලෙකට ගිහින් නැහැ.පොත් ඉල්ලං කියවන්න තරමට පොත් කියවන යාළුවොත් නැහැ.:(ඉතින් කියවන්න අසා කැමති පොතක් තිබ්බොත් මිලදී ගෙනම තමයි කියවන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ පොත් අරන් දෙන්න කෙනෙක් උන්නෙ නැහැනෙ.. ඒවටත් හරියන්න දැන්නම් මමත් පොත් ගන්නවා. පුංචි කාලෙ මගඇරුණු ළමා පොත් වුණත් අරගන්නවා...

      පොත් අස්සෙ කරක් ගගහ ඉද්දිනෙ ඔයාව මුණගැහුනෙත්...

      Delete
  7. ඒ පාඩම අම්මට වඩා වටින්නෙ පුතාටමයි
    පැදුරේ නිදියන්ට, වේලක් බඩගින්නේ ඉන්න වුණා වුණත් දුකක් දැනෙන එකක් නෑ ඒ හිතට
    එතකොට තමා නිර්මාණශීලී බව සකසුරුවම් බව අවදි වෙන්නේ
    රටවලුත් එහෙමයි - සම්බාධක දාල තිබ්බ කාලේ දකුණු අප්‍රිකාවේ ගොඩක් නව නිපැයුම් වුණා

    ReplyDelete
    Replies
    1. ඉතාම වටිනා අදහසක්.....

      Delete
  8. අද දවසට ගැලපෙන පෝස්ට් එකක් තරුරසී..

    පොත් කියන්නේ ගැලවෙන්න බැරි ඇබ්බැහිවීමක්....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ‘‘පොත් කියන්නේ ගැලවෙන්න බැරි ඇබ්බැහිවීමක්....‘‘
      ඇත්ත...... ස්තුතියි..

      Delete
  9. පුංචි උනත් හරිම ලස්සන ලිපියක්. තරු අක්කගේ හැම ලිපියක්ම හරිම සංවේදියි.

    ReplyDelete
  10. මට මගේ කුඩා කල මතක් කර දුන් ආදරණීය ලියමනක් තරූ අක්කා ! අම්මා අතේ සල්ලි නැති නිසා ඉවසන් හිටි පුංචි ඉල්ලීම් සහ ආසාවන් කොයි තරම් ද ?... සොඳුරු ලියමනක් ... ඇත්තටම දරුවන්ට කුඩා කල සිටම අන් අය, දෙමාපියන් ගැන හිතන්න පුරුදු කිරීම තුලින් ඔවුන් පරාර්ථකාමී දරුවන් වෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම ඉල්ලන්නවත් දැනුමක් තිබුණ බවක් මට මතක නැහැ නංගි.... අපි ජීවත් වුණේ නගරයෙන් ඈත... ලැබෙන දෙයකින් සෑහුණා මිස පොතපත හරි වෙන දෙයක් හරි ඉල්ලන්න දැනුමක් තිබුණෙත් නැහැ...

      Delete
  11. ළමා දිනේට ලස්සණ ළමා හදවතක් ගැන ලියලා. තරූගේ හැම කතාවක්ම හරිම ලස්සණයි තරූ...සමහරවිට ඒවා විඳින්ට විතරයි පුලුවන්. වචනෙන් විස්තර කරන්ට බෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.... දැනෙනවනම් ඒ ඇති... විස්තර නොකළට කමක් නෑ...

      Delete
  12. මටත් හිතෙන්නේ ලමයින්ට කියවන්න පුරුදු කරන්න පටන් ගන්න ඕන තැන පුස්තකාලය. අපේ තාත්තා අපි තුන්දෙනාවම එක්ක ගිහින් වරකට එක පොත ගානේ අරගෙන ආවා. පොඩි කාලේ අපිටම කියලා පොත් තිබ්බෙ බොහොම ටිකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ළඟපාතක පුස්තකාලයක් තියෙනවනම් ඒක හරිම වාසනාවක්.. නමුත් ලංකාවෙ බොහොමයක් ගම්වල පුස්තකාල නැහැ. අනික් පුස්තකාල තිබිල විතරක් වැඩක් නැහැ.. කියවීමේ සංස්කෘතියක් ඇති කරන්න ගම් මට්ටමින් වැඩ සටහන් කරන්නත් ඕන...

      Delete
    2. අපේ ගමේ පන්සලට හැම මාසෙම තුන් වෙනි ඉරිදාට දහම් පාසල ඇරෙන්න ඔන්න මෙන්න තියා එනව ජංගම පුස්තකාලෙ.. ඒ අතින් අපේ දරුවො වාසනාවන්තයි.. මාසෙට පොත් දෙකක් දෙනවා.. ඒත් ඒකෙනුත් ප්‍රයෝජන ගන්නෙ නැති අය ඉන්නවා.. දුකයි ඒ දරුවො ගැන.. :(

      Delete
  13. දැන් පුස්තකාල වලට යන එක නතර වේගෙන එන කාලයක් වගේ, හැබැයි කියවන්න් පුරුදුවෙන්න හොඳම තැන පුස්තකාලය, ළමා දිනේටම ගැලපෙන ලිපිය රසි අක්කේ

    ReplyDelete
  14. අපේ රටේ පුස්ථකාලයකසාමාජිකයකු වන්නට ඇති අසීරුව.. මිනිසුන් පොත් වලින් ඈත් කරන්න එක හේතුවක් කියලා මම හිතනවා. - මන්දාකිණි-

    ReplyDelete
    Replies
    1. එක නම් සහතික ඇත්ත මන්දාකිණි.සමහර පුස්තකාලවල සාමජිකත්වය ගන්නවාට වඩා පහසුවෙන් පිටරටකට විසා ගන්න පුළුවන්.

      Delete
  15. හරියටම හරි ;-)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...