Wednesday, October 22, 2014

කාල සටහනක කඳුළු



කඳුළුවලටත් කාලසට‍හනේ ඉඩක් වෙන් කරන්නයි වෙලා තියෙන්නෙ. ඒ ඉඩ තියෙන්නෙ රාත්‍රියෙ විතරයි. ඒකත් දහයෙන් පස්සෙ.. අඬන්න තැනක්, නිදහසක් උරහිසක් නැති එකත් අවාසනාවක් තමයි වෙලාවකට‍...
ඇස් කඩාගෙන උණුහුමට කඳුළු පිටපනින්න දඟලද්දි ඇහි පිය ගගහ මං කඳුළු ගඟ නවත්ත ගත්තා. හරියටම දහයෙන් පස්සෙ මම යි මගේ කඳුළුයි විතරයි කාමරේ.....

හැඟීම්වලට වටිනාකමක් නැති තැනක, කඳුළු වලට වටිනාකමක් ලැබීමෙන් ඵලක් තියෙනවද? පපුවෙ හරි මැදටම පිහියෙන් ඇනල දැන් ඔය ලේ ගැල්ම ඇඟිලි තුඩින් නවත්තගන්න කියල ඉල්ලන එක කොයි තරම් සාධාරණද?

මං ඇයි මෙහෙම අඬන්නෙ.. මට මං එක්කම කේන්තියි. කඳුළුත් එක්කම නැගිටල සුනේත්‍ර‍ගෙ අලුත් කෙටිකතා පොත ‘රතු කමිස සහ වෙනත් කතා අතට අරන්  ආයෙම මං ඇඳට වැටුණා...

ආරාමයේ තනිවුණු අනෝමා එක්ක මගේ හිතත් සන්සුන් වුණාද මන්දා. ඇස් පියවෙද්දි ඇස්වල කඳුළු වේලිලා තිබුණා. හිත නම් තාම අඬනවා. ඒත් පොතක් කියන්නෙ සැනසුමක්...

සුනේත්‍රගෙ ප්‍රේම පුරාණය මතක් වුණා මට. මං තාමත් වැඩියෙන්ම කැමති සඳුන් ගිර ගිනිගනියි නවකතාවට. ඒත් සුනේත්‍රගෙ හැම පොතකටම මං කැමතියි. ඒ ලිවිල්ලේ තියෙනවා මගේ හිත අල්ලන ඉල්ලන ලතාවක්.

....................

ඒ ඊයෙ රාත්‍රිය‍‍‍‍‍‍‍‍‍.....

ජනේලෙට උඩ හතරැස් කවුළුවෙන් ඉර එළියත් එබිකම් කරද්දියි ඇහැරුණේ. අද දීපවාලි. මං තව ටික වෙලාවක් ඇස් පියාගෙනම උන්නා හිත හෙමිහිට ඇස් අරින බව, රාත්‍රියේ නැවතුණු තැන ඉඳන් කතාව පටන්ගන්න බව තේරුම් ගනිමින්... උදෑසන වතාවත් සිද්ද වුණේ පුරුද්දට. මළ ගිය ආත්මයක් වගේ මම මං ඇතුළෙම ජීවයක් හොයමින් උන්නෙ... වරින් වර පෑරෙන හිතේ තුවාලෙට තනියෙන්ම සාත්තු සප්පායම් කරගන්න දැන් මට පුරුදුයි. ඉක්මණින්ම සුවපත් වේවි මං මගෙ හිත සැනසුවා.

දේව මෑණියන්ගෙ සුරුවම ළඟ සුපුරුදු විදියට ඉද්ද මල් දෙකක් තියද්දිත් මං ජේසු අම්මගෙන් ඇහුවෙ “මං වැරදිද? ව්‍යාජයක්, වධයක් නොවන මනුෂ්‍ය සම්බන්ධතාවයක් පවත්වගන්න මං මොනාද කරන්න ඕන...මට තියෙන්නෙ පුංචි හිතක්.. ඒ හිතට දරන්න බැරි තරම් බරක් මට දෙන්න එපා අම්මේ.....” කියල.

.................

දුම්රිය නැළවිල්ලට හිතේ සැනසිල්ල පළා යන්නෙ නොදැනීම. කඳුළු අළුත් වෙවී ඇස් තෙත් වුණා. පුංචි කාලෙත් මං එහෙමනෙ. “මේ ළමය හිත හිත අඬනවනෙ.. මගේ කඳුළු නවත්තගන්න බැරි බව දන්න නිසාම ගෙදර අය මගේ හිත නොරිද්ද ඉන්න පරිස්සම් වුණා. අදටත් එයාල එහෙමයි. ඒත් ලෝකයාට මගේ හැඟීම් වැදගත් නැහැ.. ඒ නිසා මගේ හිත පරිස්සම් කරගන්න ඕන මම මයි. ඒකට තියෙන්න එකම එක විසඳුමයි. හැකි තරම් රිදෙන බි‍‍ඳෙන බැඳීම්වලින් දුරස් වෙලා ජීවත් වෙන එක.

අළුත් වෙන කඳුළුත් එක්ක හෙමිහිට ඇවිදගෙන එද්දියි සූරිය පොත් හල ඇහැ ගැටුණෙ. “යශෝධරා” පොත ගැන මූණූපොතේ සටහන  මතක් වුණේ එවෙලෙ. මං පොත්හලට ගොඩවුණා.

“අද නම් සල්ලි නෑ මල්ලි... මම යශෝධරා බලල යන්න ආවෙ.. පොතත් අරගෙන පු‍ටුවක වාඩිවෙන ගමන් මං කිව්වා. පොතේ පසුවදනත් බලල අතරින් පතර පිටු කිහිපයක් කියෙව්වා. පඩි ලැබුණම ගන්න ඕන හිත කිව්වා. ලස්සනයි වගේ. 

සිදුහත් බුද්ධත්වය කරා යන ගමන වෙනුවෙන් යශෝධරා කළ කැපකිරීම සුළුපටු නැහැ. ඒ වෙනුවෙන් ඇය කොයිතරම් කඳුළු කන්දරාවක් හිතේ ම හංගගන්න ඇත්ද? ආපසු කිසිවක්ම බලාපොරොත්තු නොවී ඇය හදවතින්ම ආශීර්වාද කරන්න ඇති... ඒත් හිතේ අප්‍රමාණ වේදනාවක්, තනිකමක් පොදි කකා තියෙන්නත් ඇති. සිදුහත්ට තමන්ගෙ අරමුණ මිස යශෝධරාගෙ කඳුළු වැදගත් නොවෙන්න ඇති... ඉතිහාසය පුරාම ස්ත්‍රී පුරුෂ ලෝකයේ ඇලීම්, ගැටීම්, බැඳීම් ගලාගෙන යන්නෙ එහෙම තමයි.  ‍

යශෝධරා, මරියා, වෙරෝණිකා, පිලාර් මගේ හිතේ සැරිසැරුවා. චිංචි මානවිකාවන්ගෙ, මර දුතිකාවන්ගෙ විප්‍රකාර පිරුණු ලෝකයක ගැහැණියක් තුළින් ය‍ශෝධරාවක්, මරියාවක් අඩුම තරමෙ වෙරෝණිකාවක්වත් දකින්න බැරි වෙන එක මගේ වරදක් නොවන බව හිත කියන්න ගත්තා.

කාලයට ඉඩ දීලා නිහඬව ඉන්නම්. මම මට ම පොරොන්දු වුණා.

ආනන්ද අමරිසිරි පරිවර්ථනය කළ මාකේස් සංකථන පොතත් තිබුණෙ යශෝධරා ළඟමයි. අතට අරන් පෙරළල බැලුවා. අතරින් පතර පිටුවක් දෙකක් කියෙව්වා. ඒකත් ගන්න හිතෙන පොතක්... පොතේ අන්තිමට එකතු කරල තියෙන පින්තූර ටිකත් වටිනවා.

සූරිය පොත් හළෙන් පිටතට එද්දි පුදුම විදියට මගේ හිත සන්සුන් වෙලා තිබුණා. ඇස්වල කඳුළු වේලිලා තිබුණා. පොතක් කියන්නෙ ප්‍රාතිහාර්යයක්.... එන ගමනෙ මං හිතින් ලිය ලිය උන්නෙ කතාවක්. එහෙම ලියද්දි කඳුළු නවතිනවා දන්නෙම නැතිව. සමහර විට කතාවක් ගොඩනැගෙන්න එක හුස්මකුත් ඇති. සුස්මකුත් ඇති. හිතින් කතාව ලිය ලියා මං ඇවිදගෙන ආවෙ පල්ලියට.

හරි නිස්කලංකයි. අල්තාරය ඉදිරියෙ දණගහගත්තම ඇස් ඉස්සරහම උන්නෙ ජේසු‍‍..... කුරුසියෙ එල්ලිලා.

“මේ කුරුසෙ මට දරන්න බැරි තරම් බරයි ජේසුනී..” මං ජේසුට කිව්වා.




19 comments:

  1. ///පොතක් කියන්නෙ ප්‍රාතිහාර්යයක්../// එකනම් ඇත්ත .

    ව්‍යාජයක් නොවන මනුස්ස සම්බන්ධතාවයක් පවතිනවද මේ මිහිමත දැන් .... හැම දේම ව්‍යාජවෙලා...

    ReplyDelete
  2. අපි හැමෝම, අපේ ප්‍රතිරූප සමාජය තුල නඩත්තු කිරීම උදෙසා ජීවිතය විඳිනවා වෙනුවට විඳවනවා.

    ReplyDelete
    Replies
    1. විඳවීමෙන් බැහැර වෙන්න මොනවද කරන්න ඕන කියලයි මම හිතමින් ඉන්නෙ.

      Delete
  3. හිත පුදුම විදිහට සසල කළ පෝස්ට් එකක් අක්කේ...ආපසු කිසිවක්ම බලාපොරොත්තු නොවී කරන කැපකිරීම් තමයි බෝසත්කම කියා හිතෙන්නේ... යශෝදරා.. කියවන්නම ඕනේ ඉක්මනින්ම.

    ReplyDelete
    Replies
    1. මමත් යශෝධරා ගන්නවා ඉක්මණින්ම...

      Delete
  4. ////////එක හුස්මකුත් ඇති. සුස්මකුත් ඇති///////
    හුස්මක් අරන් සුසුමක් පිට කරා...ඒත් මට කතාවක් ගොඩනැගුනේ නැහැ. කතා ගොඩක් මතක්වුනා. ආපහු හුස්මක් අරන් සුසුමක් පිට කරා...හුස්ම සහ සුසුම් පමණද ජීවිතේ කියලත් හිතෙනවා වෙලාවකට.

    ReplyDelete
    Replies
    1. හුස්ම ගන්නෙ ජීවිතේ සුසුමක් පමණක් කරගන්න නෙවෙයිනෙ... සතුට තියෙන්නෙ තමන් තුළමයි. අපිටමයි ඒ සතුට හොයාගන්න වෙන්නෙ.

      Delete
  5. //කඳුළුවලටත් කාලසට‍හනේ ඉඩක් වෙන් කරන්නයි වෙලා තියෙන්නෙ. ඒ ඉඩ තියෙන්නෙ රාත්‍රියෙ විතරයි. ඒකත් දහයෙන් පස්සෙ.. අඬන්න තැනක්, නිදහසක් උරහිසක් නැති එකත් අවාසනාවක් තමයි වෙලාවකට‍...//

    ඇත්ත කතාවක්...

    ReplyDelete
    Replies
    1. අඩන්න ඕන වෙලාවට අඬන්න බැරි එක කොයි තම් වෙහෙසක්ද කියල මට අනන්ත හිතිල තියෙනවා.

      Delete
  6. පොත් තුල සිටින මිනිසුන්
    නිවී සැනසිල්ලේ
    ඔවුන්ගේ දේ අප හා කතා කරනවා පමණි..
    ඔවුන් අපවෙත කඩා පනින්නේ නැත..
    ඊට අමතරව
    අපේ සිතේ ඇතිදේ
    ඔවුන් හා කතා කරන්නත් අපට පුලුවනි
    නිසොල්මනේ ඔවුන් අසා සිටිනු ඇත..
    අපේ හැඟීම වලට සිනාසෙන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ජීවිතේ ළඟින් සිටින මිනිසුන් එසේ නොවන නිසාම තමයි මේ හැටි දුක්...

      Delete
  7. හැම දුකක්,වේදනාවක්ම පොත් වල පිටු අතරේ වළලන්න පුළුවන් නම්,එත් හැම තිස්සෙම එකත් කරන්න බැහැ නේ තරු අක්කේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට පුළුවන්.. මං ඉතින් පොත් අස්සෙම ඉන්න නිසා වෙන්න ඇති.. මට වගේ පොත් කියවන්න වෙලාව හොයාගන්න අමාරු අයට නම් ඒක අමාරු වැඩක් වෙයි...

      Delete
  8. // “මේ කුරුසෙ මට දරන්න බැරි තරම් බරයි ජේසුනී..” // මේ වචන ටික හිතට පුදුමාකාර විදිහට දැනුනා.

    ReplyDelete
    Replies
    1. දරන්න බැරි වුණත් කුරුසෙ කරට ගත්තට පස්සෙ ආපහු හැරෙන්න බෑ... ඒක හෘද සාක්ෂියට එකඟ නෑ....

      Delete
  9. /* “අද නම් සල්ලි නෑ මල්ලි... මම යශෝධරා බලල යන්න ආවෙ..” */

    කොහොමටත්මුද්‍රණයවෙන හැම "හොඳ" පොතක්ම වුනත් ගන්න සල්ලි තියෙන්නේ කාටද?

    පොත් තමන්ම අයිතිකරගෙන කියනවන්න යන එකයි මේකට හේතුව. ඒක තනාහාවක්. තන්හාය ජායතී ශෝකෝ කියනවා අහලා ඇතිනේ.

    පුස්තකාලවල ඔය පොත් නැද්ද? පොත් කියවන යාලුවෝ ඉන්නවා නම් ඒකත් විසඳුමක්.

    ReplyDelete
    Replies
    1. හැම පොතක්ම සල්ලිවලට ගන්නෙ නැහැ. ගොඩක් හුවමාරු කරගෙන තමයි බලන්නෙ.. ඒත් එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්... ඉතින් මං කැමති පොතක් නම් මටම ගන්න සිද්ද වෙනවා....

      පුස්තකාලෙ යන්න වෙලාවක් හොයාගන්න අමාරුයි... අනික ගමේ පුස්තකාලෙට මේ හැම පොතක්ම එන්නෙ නෑ අයියෙ...

      Delete
  10. යලිත් කියමි,
    ලංකාවේ පුස්තකාලයක සාමාජිකත්වය ලබා ගැනීම ඉතාමත් අසීරු කාර්යකි.ඉතිං කොහොමද පුස්තකාලෙකින් පොත් කියවන්නේ..?

    පිටරටවලදි නම් පොත්10ක් විතර එක පාර දෙනවා මාසෙකට..ඒ කාඩ් එකටම චිත්‍රපටි 10කුත් ගන්න පුලුවන් මාසෙකට. අපි තාම ඒ ගැන හිතලවත් නෑ.. :-(

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...