Wednesday, February 26, 2014

සුබ මංගලම්....


දසවසකට එපිට අතීතයේ දවසකි. නිස්කලංක රාත්‍රියකි. පොල්වත්ත දෙව්අ‍රණ මධ්‍යස්ථානයේ පැවති ළ.ක්‍රි.වී.  ජාතික කමිටු හමුවක පළමු රැය ය. ලංකාව හතරදිග් භාගයෙන් පැමිණි ළෙංගතු සිනා මුහුණු දක්නට ලැබිණි.

'' අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරද්දි නමින්, ගමින් විතරක් දැන ගැනීම විතරක් මදි. ඊට එහා ගිය ගැඹුරු අවබෝධයක් එකිනෙකා ගැන තියෙන්න ඕන. අපි ආරම්භයක් ගනිමු. අපි අපි ගැන කතා කරමු. අපේ ජීවිත ගැන කතා කරමු.''

පියතුමා වැඩසටහන් පෙළගැස්ම හදුන්වා දුන්නේය. තුණ්ඩු ඇදීම මගින් අධ්‍යාත්මික ජීවන පංගුකාරිත්වයට අයෙකු තෝරා ගැනීමට අවස්ථාව සැලසිණි. සමාන අංක හමුවුණු අයට සමීපව කතා කරන්නට අවැසි තරම් කාලයක් ලැබිණි.

මට හමුවුණේ ඇය ය. ස්වර්ගීය සැලසුමකට නතු වූ දෛවෝපගත හමුවක් ම විය හැකි ය.

අපි එළිමහනට පිවිසියෙමු. එය තාරකා දිදුලන සිහිලැල් රාත්‍රියකි. දෙව් අරණ ගෙමිදුලේ වූ විසල් අඹ ගස පාමුල තණ නිල්ලෙහි වාඩිගත් අපි ජීවිතේ පළමු වතාවට එකිනෙකාගේ දෑස් දෙස විමසිල්ලෙන් සැලකිල්ලෙන් බැලීමු.

සිනාවෙහි, කතාවෙහි, හැසිරීමෙහි සංයමය නිරන්තරයෙන් බිගන්නා දාංගල් කෙල්ලක ලෙසිනි ඇය මා සිතේ නැවතී සිටියේ. ඉන්පෙර සැබවින්ම ඈ මසිත දිනූ යුවතියක් නොවීය.

''මං ඔයාට පොඩ්ඩක්වත් ආස නැහැ ඒ දවස්වල. මහ පණ්ඩිත ආඩම්බර කෙල්ලෙක් කියල මං හිතන් උන්නෙ." මා ගැන ඈ සිත ඇඳී පැවතියේ එබඳු සිත්තමක් බව පසුකලෙක ඇය සිහිපත් කළේ කොක්සන් සිනාවක් සමග ය.

එය හුදු කතාබහක් පමණක් නොවුණි. හදවතේ වාන් දොරටු මුළුමනින්ම හැර දැමුණි. 

නම, ගම, පවුල, ළ.ක්‍රි.වී.ය, පරිසරය, දේශපාලනය සමග දිගට ඇදී ආ කතාබහ ප්‍රේමය අබියස සමාධිගත වූයේ නොසිතූ විරූ ලෙස ය. ළ.ක්‍රි.වී.ය ළමුන් හා බැදී පැවතුණු බැවින් යෞවන ප්‍රේමයට නිරන්තර සංයමය රැකගන්නට සිදු වේ. ආදර කතන්දර අඩුවක් නොවූවත් ඒ ගැන එළිපිට කතාබහ සිදු නොවූ තරම් ය. නමුත් ඒ නිස්කලංක රාත්‍රියේ හද දොරටු විවර කරන්නට කිසිදු බාධාවක් නොවිණි. ඉතින් අපි අපේ ප්‍රේම කතාව දිග හැර ගතිමු.

ඉරණම්සහගත ලෙස එකී කතාව ගෙතී තිබුණේ එකම ලතාවකට ය.

සිත් බැඳී තිබුණේද, බිඳී තිබුණේද, රිදී තිබුණේද එකම විදියට ය. එකම කඳුලකි. එකම සුසුමකි. එකම රිදවුමකි. අප සිත් නොබිදෙන මිත්‍රත්වයකින් බැදෙන්නට එයම ප්‍රබල හේතුවක් වූවා විය හැකිය. රෑ මැදියමත් මැදිහත්ව අපේ කතා අසා සිටියේය.

කොක්සන් සිනාවකට නිහ හසරැල්ලක් කදිමට යා වී තිබුණි. ගැඹුරට පෑහි තිබිණි. එදවස ඇරඹී වර්තමානය හරහා අනාගතයට ඇදී යන අප මිත්‍රත්වය සැබවින්ම දිව්‍යමය  අසිරියකි. 



මනුෂ්‍යත්වය පිළිබව දුර සිට ගනු ලබන පූර්ව නිගමන කොතරම් අසාධාරණ ද? අයුක්ති සහගත ද? අනෙක් අතකින් මනුස්සකම යනු කොයියම්ම මොහොතක හෝ සිය ඓශ්චර්යයෙන් විකසිතව ලොවක් එළිය කළ හැකි දීප්තිමත් තාරකාවක් නොවේද?

ඇගේ සමාජ විෂය කාන්තාව, දේශපාලනය වන විට මගේ සමාජ විෂය ළමුන් හා නව යෞවනය සමග බැඳී පැවතිණි. ඇය උද්ඝෝෂණ, පෙලපාලි, පිකටින්, කාන්තා ප්‍රශ්න, කම්කරු ප්‍රශ්න හා ගැටෙන විට මම ළමුන්, නව යෞවනය, දෙමව්පියන්, කලාව සාහිත්‍යය සමග නිස්කලංක ගමනක යෙදුණෙමි. නමුත් අපේ මිතුදමට එයින් කිසිදු බාධාවක් නොවීය. මේ ගෙන්දගම් පොළවේ විඩාපත් වන සිත සනසා ගන්නට ඇගේ නිවහන මට සෞම්‍ය ‍ස්නේහයේ නවාතැනක් ම විය.

ඉදින් මැදින් මහේ පළමුවැනිදා මගේ ආදරණීය යෙහෙළිය මනාලියක ලෙස පුදසුන අබියසට පිවිසෙන්නී ය.  


ආදරණීය කුමී....... ලෝකයම ගැන ස්නේහයෙන් දුව ඇවිද්ද හිතකට කුටුම්භය කුඩා වැඩි වේවි ද? එය එසේ නොවේවා. ඒ මගේ පැතුමයි. 

සුවිසල් ප්‍රේමයක පෙළහර නව යුගදිවියටත් ආශිර්වාදයක් ම වේවා..


......''''''''''......



( මැදින් මහේ පළමුවැනිදා ‘‘තරුරසී  ගේ දෙවෙනි උපන්දිනය යි.  නමුත් ඒ වෙනුවෙන් විශේෂ යමක් ලියා තබන්නට අවකාශ නොලැබෙනු ඇත. මටත්, තරුරසීට ත් ආදරය, ධෛර්යය දුන් සැමට හදවතින්ම තුති. ) 

Sunday, February 23, 2014

රූප රාමුවක ඇමිණුනු හිත


ස්ටෙප්ස් නිම්නයද මේ ....!!!!
නැහැ.. එය නොවෙයි.. එවැනිම වූ හරිත නිම්නයක්... නිම්නය මැද හුදකලා අසුනක්.. එමත හුදකලා නොවූ හදවත් දෙකක්...

ප්‍රේමයෙන් ඇවිළී ගිය හදවතින් ඇය... ප්‍රේමයෙන් නිවී ගිය හදවතින් ඔහු...

විසල් තැන්න පුරා දිගෑදී සිටින දිගු අන්ධකාර සෙවණැලි.. සැනෙකින් ඔවුන් ඒ තුළ ගිලී යාවි දැයි අවිනිශ්චිත බියක්... නමුත් නිම්නය පුරා නිසොල්මන්ව වැතිරී සිටින උණුසුම් අව්රැල්ල.. සන්සුන් ඉරියව්වක සිල්වත් දැහැනක...

නිම්නය පුරා නිම්නාද නගන ගී හඬක්... වි‍ටෙක ළයාන්විතයි.. විටෙක තියුණුයි...

ගයන්නේ ඇය.. වයන්නෙත් ඇය.. ගයන්නෙත් වයන්නෙත් හදවතින්මයි ඇය..

ඈ වෙත ම දැල්වුණු ඔහු ‍දෙනෙත.. හිත පත්ළම එක මිටට ගත හැකි තරමට පැහැදිලි නිසල විල් දියක්...

නිම්නය පුරා ගලා ගිය ඇගේ හඬ කෙමෙන් කෙමෙන්... සෙමෙන්.. සෙමෙන් මන්ද ස්වරයකට අනුගත වෙමින් ඈත අවකාශයේ හුදකලාවට මුහු වී සැඟවී යනවා... ප්‍රේමණිය වූ මුනිවර සංයමයකින් ඔහු සුරත ඈ හිස මත.... ඒ නෙත් තුළ සරැලි නංවන ස්නේහය,

ඈ නිසාද?

ඇගේ ගීතය නිසාද?

ඇගේ ප්‍රේමය නිසාද?

සෙමින් පෙමින් ඇදී එන ඔහු සුරතට මැදිවන ඇගේ වමත.... ඇහිපිල්ලමක දුරක් පමණයි තුරුළු වන්නට පුළුල් පපුතුරට.. නමුත් ඇය සෙමින් තම අතැඟිලි මුදා ගන්නවා... නෙතින් ගිළිහෙන කඳුළු සීරාවක් කොපුල් නිම්නය දිගේ නැවතුමක් නො‍දකින නිසොල්මන් ගමනක...

''එපා..'' ඉකියකින් මිදුණු සුසුමක් සමඟ ඇගේ වෙව්ලුම් ස්වරය...?

''ඇයි?''

''දන් නෑ... ඔයා හොඳයි.. හුඟක් හොඳයි.. ඇත්තමයි ඔයා හොඳ කෙනෙක්...''

ඒ හාම සිහින් ඉකිබිඳුමක් මන්ද ස්වරයෙන් ඇරඹී හාත්පස නිස්කලංකය කලම්බනවා... දෙඅතින් මුහුණ වසාගන්නා ඈ කඳුළු වැස්සක දිය වී යනවා...

''ඇයි මේ?'' හැමදාමත් වගේ අදත් ඔහුට කියවන්න බෑ ඇගේ හිත...

'' දන්නෑ.. මං හොඳ නෑ... මං හොඳ කෙනෙක් නෙවෙයි.'' ඉකිබිඳුම අතරින් මතුවන හද බිඳුම..

.............................

සදාතනිකව හිත අල්ලගත් රූප රාමුවක් එය...

සදාතනිකව හිත කළඹන කඳුලක් එය...

උනුන් කෙරෙහි සුවිසල් ප්‍රේමයක් හද දරා සිටියදීත්, උනුන් සිත් හඳුනා ගන්නට නිමේෂයක නැවතුමක් නොලැබූ අතීතයකින් උරුම වූ කඳුලක් එය...

‘‘ඔයා නිසයි මේ හැමදේම.. එවදන් කඳුලක දවටා  ඔහු වෙත දමා ගැසිය හැකිව තිබියදීත් ඇය එසේ නොකළේ ඇයි? ඔහු විත්තිකරු කොට විත්තිකූඩුවට නංවනු වෙනුවට නිදොස් කොට නිදහස් කර සියල් වැරදි තමා මත ම පවරාගෙන සදාකාලික දණ්ඩනයට යටත් වුයේ ඇයි?

එය ද නිර්මල සිතක උපදින ප්‍රේමයේ ස්වභාවය..

එවන් වරදකාරී හෘදය රිදුමකින් ජනිත වන්නවූ කඳුළු වැස්සකට හදවතේ වාන් දොරටු විවර කිරීමට ඉඩ හරින්නේ නැහැ මම නම් කවදාවත්ම...

ඒ ප්‍රතිඥාව මගෙන් මට ම...


.................................


‘‘ආදරය කියන්නෙ සදාකාලික ගවේෂණයක් ඒ බව මම දැන සිටියා ජීවිතයෙන්ම.

ඒත් ලැකාන් එලෙස කියා ඇති බව මා හා පැවසුවේ වෙන කෙනෙක්... ආදරය හඹා යන සදාකාලික ගවේෂකයෙක්.. එකකට එකක් සම්බන්ධ නැති, නැත්තෙත් නැති මේ සිතිවිලි විවරණය අමුණමින් ඉන්න අතරෙ...

ඒ සදාකාලික ගවේෂණයේ අවසන් ප්‍රතිඵල ය සැනසුම ද? නැතිනම් රිදුම ද? 

කුමක් වුවත් ඒ තමයි ජීවිතය.... 

ජීවිතය සොයා සැරිසරන නොතිත් ආශාවෙන් පිරුණු අප වැන්නවුන්ට ඒ සදාකාලික ගවේෂණයෙන් බැහැරව සිටිය හැකිද? 

සිටිය හැකි වුවත් ඉතින් එවැනි ඇල්මැරුණු ජීවිතයක් කුමකටද?