Monday, January 5, 2015

අළු අහස යට.......



මං උන්නෙ තනියම. තට්ට තනියම. මුළු ගේ පුරාමත් තිබුණෙ ඒ හීතලට මිදුණු තනිකම. අතින් අල්ලල හැඩතල මනින්න පුළුවන් විදියෙ ගල්ගැහුණු හුදකලාවක්. ඒ මදිවට වැස්ස. දවස පුරාම එක සීරුවට. හුස්ම ගන්නත් ඉඩක් නොදී අහසට. දරාගන්නම බැරි දුකක් මුදාහරිනවා වගේ අඳුරු වළාකුළු කඩන් වැටුණා මහපොළවට වැහි බින්දු වෙලා. පෙඟුණු පාන් ගෙඩියක් වගේ පොලව. අඩිය තියද්දි රබර් සෙරෙප්පුවත් යට කරගෙන චිරි චිරි ගාලා වතුර ඉල්පුණා ඇඟිලිකරු අතරිනුත්. සමහර වෙලාවට මඩ. එළියට බහින්නවත් හිතක් තිබුණෙ නෑ. මං ගෙටම වෙලා උන්නා ගෙට උණු ගෑණු ළමයෙක් ගාණට. කිසි සද්දයක් නැතිව. හිත හිත.

දවස් ගාණක් වැස්ස. එක දිගට. එක හුස්මට. එක තානයට. වෙනසක් නැතිව.

චිරිබිරි ගාන දියබත් තණ බිස්ස වගේ හිතත් තෙත් වෙවී තෙත් වෙවී තිබුණා. හිත පුරා නෝක්කඩු වැස්සක්. ඒත් ඇහි පියන් යට තෙතක් තිබුණෙම නැති තරම්. මේ තරම්ම ඇස්වලට වධ දෙන එක සාධාරණ නැහැ. හිත ගිවිසුමක බැඳිලද මන්දා. හිත ටොන් ගාණක් බරට දැනෙද්දි ඇස් මහා හුදකලාවක ඇලිල ගැලිලා උන්නෙ වගේ වගක් නැතිව. කම්මුල්වලට වස කම්මැලි ගතියක් දැණුනා නිකමටවත් හිනාවක් දකින්න නැතිව.

අස්සෙ සාලෙ හරි මැදම නත්තල් ගහයි. ගවලෙනයි. කොහෙත්ම ගැළපුණේ නෑ. නත්තලක් තිබුණද කියලවත් මතක නැති ගාණට හෝන්දු මාන්දු වෙච්ච ලෝකයක් මැද්දෙ නත්තල් ගහ විතරක් දිලිසි දිලිසි තිබුණා. දියබත් වුණ නත්තල අතීතයට එකතු වෙලා දවස් දෙකක්ම ගෙවිලා තියෙද්දිත්.

ජනේලෙන් වැස්ස දිහා බලන් ඉඳල ( කොච්චර වෙලාවක්ද මන්ද) ආපස්සට හැරෙද්දිම මට පෙණුනෙ නත්තල් ගහ. ඒක හරියට මට අයිති නැති වෙනත් ලෝකයක් වගේ. මට අයිති නැති මොකක්දෝ උත්කර්ෂයක් අයිති කරගෙන උජාරුවට ඉන්න නත්තල් ගහ ගැන මට දැණුනෙ ඉරිසියාවක්. ගවලෙන නං දුප්පත් පාටයි. ඒත් නත්තල් ගහ........ ?  

මං එක සැරේටම තීරණය කළා ඒ සරුවපිත්තල වෙස්තට්ටුව සාලෙන් අයින් කරල දාන්න. හැමදාම තිබුණ පාළු පාට තමයි සාලෙට හරියටම ගැළපෙන්නෙ. හැමදාම තිබුණ වගේ.... හ්ම්....

නත්තල් ගහේ සැරසිලි එකින් එක අයින් කළා. කළින් අවුරුද්දෙ ඒ සැරසිලි දාලා තිබුණු කවර එහෙමම තිබුණා. මේ අවුරුද්දෙත් ඒ කවරවලටම ඒ විදියටම අයින් කළ ලටපට එකතු කළා. දිලිසෙන රැලි පටි එක් කවරයක. පාට පාට බෝල, රිදී පාට සීනු තවත් කවරයක. කඳුළු බින්දු අමුණල හැදුව වගේ පේන මුතු පට පෙට්ටියක. ඒ පෙට්ටිය මුතුපට ගනිද්දි ලැබුණු පෙට්ටියමයි. පෙට්ටිය වටේ ගැට ගැහුව රිදී නූලත් ඒ එදා නූලමයි. නත්තල් ගහ අකුලල පත්තර කඩදාසියකින් ඔතල දාර ඉරුණු කඩතොළු පෙට්ටියට දැම්මා. ඒ පෙට්ටියත් අවුරුදු ගාණකට කළින් නත්තල් ගහ ගෙනා පෙට්ටියමයි.

නත්තල් ගහ ඇඳුම් වැටේ යට  තට්ටුවෙ. සැරසිලි බෑග අල්මාරියෙ. කළින් අවුරුදුවලත් ඒව තිබුණෙ එතනමයි. එහෙමම යි.

ළියෙ වැස්ස. තාමත් වැස්ස. කෙළවරක් නැති වැස්ස. වැස්ස... වැස්ස....

ඉන්පස්සෙ ගවලෙන. ගවලෙනේ සුරුවම් එකින් එක අරගෙන ඉටි කවරවලට දැම්මා. ඒ කවරත් කළින් ඒවමයි. ගවලෙනේ පිදුරු ටික අවුරුදු දෙකක්වත් පරණ ඇති. නෑ, අවුරුදු තුනක්. ඔව්. අවුරුදු තුනක්. ගෙට ගෙවදුණාට පස්සෙ ආව තුන්වැනි නත්තල මේ. පිදුරු, මුල්ම නත්තලට ගෙනා පිදුරු. ගවලෙන් බඩු පෙට්ටිය... ඒත් ඒ පරණ පෙට්ටියමයි. සුරුවම් ටික පිදුරු අතර දවටල පෙට්ටියට දැම්මා. පෙට්ටිය කුස්සියෙ කබඩ් එකට දැම්මා. කිසි වෙනසක් නැහැ. කළින් අවුරුදුවල වගේමයි.

නත්තලක් ආවෙ අපරාදෙ වගේ හැඟීමක් මට දැනෙමින් තිබුණා.

තේක්ක කොල උඩට හුදකලා වැහි බින්දු වැටෙමින් තිබුණා. තට්... තට්... තට්...

සාලෙ මැද එකතු වුණු රොඩු බොඩු එකතු කරල එළියට දාලා ගින්නක් අවුළුවන්නයි මට ඕන උණේ. ගිනි පෙට්ටියත් තෙත් කැවිලා. ගිනිකූරු දෙකට තුනට නැවිලා කැඩිල බිඳිල ගියා මිස ගිනි පුළිඟු ඇබින්දක්වත් මතු වුණේ නැහැ. උත්සාහය අත්ඇරල දමල මං අහස දිහා බලන් උන්නා.

අහස බුම්මගෙන. කඳුළු ඉවර වෙලා වගේ. අළු අහසෙ සුදුමැලි ලපයක් තිබුණා ටිකක් විසාලෙට. ඒ ඉර වෙන්න ඕනෙ. ඉස්පිරිතාල ඇඳක දිගාවෙලා ඉන්න ලෙඩෙක් වගේ සුදුමැලි ඉර අහසෙ වැතිරිලා උන්නා.  

මතුමක සංඥා දල්වමින් දුරකථනය හඬ නැඟුවා. මගේ ඇස් දුරකථන තිරයෙ මොහොතක් නැවතිලා උන්නා. සතුටක්වත්, දුකක්වත් මොකක්වත් දැණුනෙ නැහැ. නත්තල් දවස පුරාමත් බලන් උන්නා තමයි. ඒත් දැන් නත්තල ගෙවිලා දවස් දෙකයි.

‘‘සුබ නත්තලක්...” එහා ඉමෙන් ඇසුණා. මං උත්සාහ කළා හිනාවෙන්න. හිනාවෙන්න ඒ තරම්ම අමාරුද? හිත නිකම්ම නිකං හිස් කඩදාසියක්. එතන කවියක් තියා කඳුළක්වත් තිබුණෙ නෑ. පිටසක්වලින් ආව කවුදෝ කෙනෙක් වගේ මට මාව ම දැනෙමින් තිබුණා. 

‘‘එසේම වේවා..“ මට එහෙම කියවෙන්න ඇත්තෙ පුරුද්දට. 

‘‘මම එදා දවසම බිව්වා. මිස් කෝල් එක දැක්කා. කතා කරන්න විදියක් තිබුණෙ නැහැ...‘‘

‘‘ආහ්...‘‘ හිත ගැස්සුණා. සුසුමක් පිට පැන්නා.

කොහොම වුණත් ඒ වෙද්දිත් නත්තල ඉවර වෙලා හුඟාක් කල් වගේ මට දැනෙමින් තිබුණා.

15 comments:

  1. මොනව කියන්නද මංද හිතේ තිබ්බ හැගීම් ඒ වගේම අකුරු කරල වගෙයි මට හිතෙන්නෙ
    හොදයි කියන්නද දුකයි කියන්නද
    අනේ මංද

    ReplyDelete
    Replies
    1. මොකුත්ම කියන්න එපා ඉතින්...

      Delete
  2. ජීවිතේ ගොඩක් දේවල් ඉවර උනාට පස්සේ ඇති වෙන්නේ හිස් බවක්.. බොහොම සාරේට තියෙන සාදයක් උනත් ඉවර වෙලා අන්තිමේදි තියෙන්නේ හිස් බවක් විතරයි !

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලි...

      Delete
  3. //පෙඟුණු පාන් ගෙඩියක් වගේ පොලව. අඩිය තියද්දි රබර් සෙරෙප්පුවත් යට කරගෙන චිරි චිරි ගාලා වතුර ඉල්පුණා ඇඟිලිකරු අතරිනුත්. සමහර වෙලාවට මඩ. එළියට බහින්නවත් හිතක් තිබුණෙ නෑ. මං ගෙටම වෙලා උන්නා ගෙට උණු ගෑණු ළමයෙක් ගාණට.//

    මේ වගේ ලියන්ට පුලුවන් ඔයාට විතරමයි තරූ.

    කමක් නෑ කොහොම හරි සුබ පතන්ට හරි මතක් වුනානේ. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.... සියදහසක් සුබපැතුම් ලැබුණත් අවශ්‍යම පුද්ගලයගෙ සුබ පැතුම නැති වෙද්දි ලෝකෙම නැති වුණා වගේ දැනෙනවා... සාමාන්‍යෙයන් එහෙමයි නේද?

      Delete
  4. වැස්ස වැස්ස වැස්ස ගැනම හැම තැනම ගැන කියලා තියෙන නිසා මට මතක් වුනේ මේ සින්දුව

    අදත් වැස්ස වහින සඳේ
    මතක සුවඳ දැනේ
    මතකද තෙමුනා දෙන්නා
    සීතල වැහි පොදේ

    ලන්දේ කැලෙන් අප දෙන්නා අකුරට ගිය කලේ
    වැස්ස ඇවිත් වන යායම සීතල වූ සඳේ
    මුවා වෙන්න ගස් තිබුනත් තෙමුනා වැහි පොදේ
    අදත් වැස්ස වහිනා සඳ මතක සුවඳ දැනේ

    අදත් ඉතින් වහින දාට තෙමෙමින් වැහි පොදේ
    මගේ හිතේ මතක් සුවඳ අළුත් කරන පැයේ
    වැහි හීතල අවුලාගෙන ගිනි දළුවක් වෙතේ
    මේ වැහි දා අප දෙතැනක එකම වැස්ස වැටේ

    ගායනය - ටී.එම. ජයරත්න

    ReplyDelete
    Replies
    1. මං ආසම සින්දුවක්... ස්තුතියි මල්ලි මතක් කළාට.

      Delete
  5. ගොඩක් හිතන්න දේවල් තියෙනවා. හොඳයි හොඳයි

    ReplyDelete
  6. මේක අත්දැකිමක් නම් වෙන්න එපා..ඒ තරම් දුකයි..
    ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අත්දැකීමක් නෙවෙයි නිර්මාණයක් කියල හිතන්නකො.

      Delete
  7. මොනවා කියන්නද මන්දා.. කාලයක් මගේ හිතේ හිර වෙලා තිබ්බ දෙයක් එලියට පැන්නා වගේ හැඟීමක් ආවේ කියවන් යද්දී..

    ReplyDelete
  8. සමහරවිට නත්තල් නැති දවසක ලැබෙන සුභ පැතුමක තමයි ගොඩක් දේ තියෙන්නේ...

    සීතලේ කියෙව්වේ... වැස්සට තෙමුණත් එක්ක... :)



    ReplyDelete
  9. ගොඩක් දේ ලිියලා.. හැමදාම වගේ ලස්සනයි...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...