Monday, January 12, 2015

අනේ අපිටත් දෙන්න මහත්වරුනි ජීවිතය ටිකක් හුස්ම ගන්න......





සන්ධ්‍යාව කොටුව දුම්රිය නැවතුම අබියස එකත්පස්ව බලා හුන්නේය. ඒ ජනවාරි 06 වන දා ය. ලසන්ත වික්‍රමතුංග සහ උතුරු දකුණු ඝාතනය වූ අනෙකුත් මාධ්‍යෙව්දීන් සැමරුම ඡන්ද උණුසුම මැද ම සිදු විය. එහිදී යාපනයේ සිට පැමිණි මාධ්‍යෙව්දියකු කළ කතාව කම්පනීය හැඟුමක් සමඟ සිතේ සනිටුහන් විය. ( සමාවෙන්න ඔහුගේ නම අමතකය. සඳට නෑකම් කියන නමකි.)

‘‘මා එක්ක තව කීපදෙනෙක් ලසන්ත සැමරුමට සහභාගි වෙන්න කොළඹ ආවා. නමුත් තර්ජන නිසා අතරමැදදි එයාලා ආපහු හැරුණා. නමුත් අපට මඟපෙන්වූ, පුරෝගාමී වූ ලසන්ත වැනි මාධ්‍යෙව්දීන් වෙනුවෙන් පැමිණිය යුතුමයි මම හිතුවා. ඒ නිසා මේ අවස්ථාවට සහභාගි වුණත් ඇත්තටම මගෙ හිතෙත් බයක් තියෙනවා. දැන් ආපහු යන්නෙත් මම බයෙන්. ඒත් මම මගේ යුතුකම ඉටුකරන්න අද මෙතැනට ආවා.“

කතාව නිම වූ සුළු මොහොතකට පසු සෙනග අතරින් රිංගා ඔහු නික්ම යන අතර මුව රැඳි සිනාවට පිළිතුරු සිනාවක් දෙන්නට හැකි වීම සතුටකි.මට ඔහු ගැන දැණුනේ අපමණ ගෞරවයකි.

........................

අද කාර්යාලයේ මුස්ලිම් සගයෙක් මා වෙත පැමිණියේය.

‘‘තරංගි මිස්, මටත් විශේෂ ආරාධනාවක් තියෙනවා. පාප්වහන්සේ එන මීටින් එකකට. මට විස්තර හොයල දෙනවද එතන වෙන්නෙ මොනවද කියල...“

අන්තර්ජාලය පිරික්සා බැලීමි. ඒ පාප් වහන්සේ සමඟ 13 සැදෑවේ පැවැත්වෙන අන්තර් ආගමික නායක හමුවක් බව පහදා දුනිමි.

‘‘තරංගි මිස් බලන්න... ඔයාලගෙ පාප් වහන්සේ පිළිගන්න අළුත් නායකයෙක් ලැබුණා. හොඳ නායකයෙක් ලැබුණා. ඒක හරියට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබුණ වගේ...“

ඔහු සිනාසෙමින් පැවසීය. වටපිට බලා හෙමිහිට ය. ඒ දෑස්වල නලියන වාර්ගික භේදයන්ගෙන් තොර යහපත් සමාජයක් පිළිබඳ අපමණක්  බලාපොරොත්තු හඳුනානොගන්නට තරම් අසංවේදී නොවෙමි. මන්දයත් අලුත්ගම වාර්ගික ගිනි ඇවිලෙන විට ඒ දෑස්වල ඇවිළුණු බිය ද මා හොඳින්ම වටහා ගෙන සිටි බැවිනි. 

....................

මූණුපොත තුළ අතීත සක්මනක යෙදෙන විට 2013 නොවැම්බර් මස මවිසින් ඔබ හා බෙදාගත් සාමිනාදන් විමල් කවියාගේ සංවේදී කවියක් ඇස ගැටිණි. 

සාමිනාදන් විමල් දමිල කවියාගේ හෘදයාංගම කවියක්...
2012.08.25 රාවය මංජරිය


යාපනේ අඹ  
--------------

දකුණුලකෙන් පේවීගෙන
නාගදීපෙට වන්දනාවේ එන
මහත්වරුනි, ගන්න මේ අඹ  
ගන්න, නෝනාවරුනි මේ අඹ

කර්තකොලොම්බම් මේ අඹ  
ලැබුණේ නැති කොළොම් තොටට  
ගන්න, මහතුනි මේ අඹ සැක හැර  
නීරස නොවෙයි සහතිකයි.
මේ අඹ යාපනේ අපේ ජීවිතය තරමට

අනේ මහතුනේ මේ අඹගස් යට  
අපේ ලේ කඳුළු සේසත යට වී ඇත 

පලා ආ විට පොරෝනය අතට ගෙන  
අනේ, අපිට සෙවණ දුන්නේ මේ අඹ ගස්ය

කපා දෙන්නං පළුවක් රස බලන්නට 
මහතුන්ට කකා යන්න, එපා සල්ලි  
අනේ අපිටත් දෙන්න මහත්වරුනි
ජීවිතය ටිකක් හුස්ම ගන්න......


.............

වෙනසක් වෙනුවෙන් ඡන්දය භාවිත කළ උතුරු නැගෙනහිර ජනතාවට කොටි ලේබලය ඇලවීම කොතරම් පාපයක්දැයි මට සිතේ. මට මේ දෙමළ මුස්ලිම් ජනතාව පිළිබඳව දැනෙන්නේ මහත් ගෞරවයකි. සෙනෙහසකි. ඔවුන් ඉල්ලා සිටින්නේ බියෙන් සැකෙන් තොරව නිදහසේ හුස්මක් ගත හැකි යහපත් සමාජයක් නොවේද? 

ඔවුන් සමඟම දකුණේ අපිත් ඉල්ලන්නේ එයම නොවේද? මානව ගරුත්වය, නිදහස සුරැකෙන සමාජයක්...!!!! ආර්ථිකය කටු ඔටුන්නක් නොවන ජීවිත පැවැත්මක්..!!!!

‘‘අනේ අපිටත් දෙන්න මහත්වරුනි
ජීවිතය ටිකක් හුස්ම ගන්න.....“

22 comments:

  1. ඔය හිතේ තියන මනුස්සකම සදාකල් හද රැඳේවා.....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. මනුස්සකමද මන්දා.. මට මේ වගේ දේවල් හරියට දැනෙනවා... මිනිස්සුන්ගේ හිත්වල බය, කම්පනය, වේදනාව, පීඩනය දැනෙන හිත් කවදාවත් මනුස්සකමට එරෙහිව යන්නෙ නැති වේවි...

      Delete
  2. ගොඩක් දේවල් හිතට එක් කල ලිපියක් තරූ....:(

    ReplyDelete
    Replies
    1. මේ දිනවල ලැබූ අත්දැකීම්වලින් දෙකක් විතරයි පොඩ්ඩි මේ...

      Delete
  3. උතුරු කොනේ නුඹ හිනැහේ

    ගීතය හැමෝටම හදවතින් ගායනා කරන්න පුළුවන් දවසක් එනකම් බලාගෙන ඉමු

    ReplyDelete
    Replies
    1. ඒ දවස උදාකරගන්න එක අපි හැමෝගෙම වගකීමක් මල්ලි. දැන් ඒ ගැන හිතන්න පුංචි අවකාශයක් විවෘත වෙලා තියෙනවා කියල මට හිතෙනවා මල්ලි.

      Delete
  4. ඔබ සිතන ලෙස සිතන අය ලංකාවේ සියලු ප්‍රදේශවල බහුතරය වීම තමයි ලංකාවේ අනාගතය සුබ වීමට මාර්ගය

    ReplyDelete
    Replies
    1. බහුතරය බෙදීම් නැති සහෝදරත්වයෙන් පිරුණු සමාජයක් කරන එක අපි හමුවේ තියෙන ලොකුම අභියෝගයක්......

      Delete
  5. Replies
    1. සමහර කතා මාරයි.. වගේම වේදනාත්මකයි... හැඟුම්බරයි.

      Delete
  6. අපේ අාචාරය................. ප්‍රණාමය..................

    ReplyDelete
  7. ජාතිය කියන වචනෙත් සිංහල දෙමල මුස්ලිම් වගේ වචනත් නැතිවෙනවා නම් මම කැමතියි

    ReplyDelete
  8. පාප් වහන්සේ එනකොට අළුත් ජනාධිපති කෙනෙක් ඉන්නේ කියලා මුලින්ම කිව්වේ දීමූ. ජයරත්න මහත්මයා... :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියවුණා නේද? ඇත්තටම එහෙම වේවි කියල නම් හිතන්න නැතුව ඇති...

      Delete
  9. මිනිස්සුන්ගේ හිත් වල දැන් ඉස්සර වගේ ආගම් බේද කිසි දෙයක් නෑ.. හැමෝටම ඕන නිදහසේ ඉන්න.. සමහරු තමයි තාම ඕවා අවුස්ස අවුස්ස දඟලන්නේ.. ලංකාවෙන් පිට ඉන්න අපි හැම ආගමක මිනිස්සු එක්ක ඉන්න විදිහට ඒ මිනිස්සු දැන් පරණ දේවල් අමතක කරලා කියලා හොදටම තේරෙනවා..

    ReplyDelete
  10. බය වෙන්න එපා අක්කේ වසන්තය එනවා,ජාතිවාදය අවුස්සන්නේ අවස්ථාවාදී,බංකොලොත් දේශපාලකයෝ.උතුරේ ඉන්නෙත් මේ අපි වගේම මිනිස්සු බව අමතක කරලා කටයුතු කරලා පැරදුනායින් පස්සේ විකාර කියවනවා.ඊලග ජන්දෙන් ඔය ජාතිවාදීන්ට,නාමික දේශප්‍රේමීන්ට පාඩමක් උගන්වන්න ඕනේ.

    ReplyDelete
  11. හෘදයාංගමයි...

    ReplyDelete
  12. හිතට දැනෙන සටහනක් තරූ.මේ සැරේ යාපනේ ගියාම ගත්ත ෆොටෝ එකක් එක්ක මම මේ ලින්ක් එක මූණු පොතට එකතු කරා

    ReplyDelete
  13. හරිම ලස්සනයි... අක්කෙ.. එක හුස්මට කියෙව්වා.. :)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...