Thursday, January 22, 2015

සිරගත නොවූ සිතුවිලි





‘‘කවිය යනු එය ලියන්නාට ඉතාම ආත්මීය දෙයකි. කවිය බොරු නොකියයි. සැබෑ කවියෙකු නිරුත්සාහයෙන් තම සත්‍ය ඇතුළාන්තය හෙළිවීමට ඉඩහරිනු මිස ව්‍යාජ අදහස්වලින් තම නිර්මාණ සැරසීමට උත්සාහ ගන්නේ නැත.


හෝ චි මිං වැනි මිනිසුන්ට බුද්ධිය සහ සංවේදීතාව යනු දෙකක් නොව එකකි. ඔහුගේ ප්‍රසිද්ධ ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් අතර රහස් දොරවල් නොතිබුණි. වේදනා මුසු අත්දැකීමක් යනු ඔහුට ක්‍රියාත්මක වීමට මෙන්ම කාව්‍යමය ප්‍රකාශනයකට ද කෙරෙන ඇරයුමක් විය.”

- ෆාන් නුආන්

ජුලියස් පුචික්ගේ පෝරකයේ සටහන් , ඈන් ෆ්‍රෑන්ක්ගේ දින පොත කියවන විට හදවත පෙළූ කම්පනීය හැඟුම තවමත් මතකය. ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථා දිනපොතක සටහන් වනුයේ අවමව නොවේද? බොහෝ විට දිනපොතක සටහන් වනුයේ වේදනාව, හුදකලාව, සාංකාව වැනි අතිශය සංවේදී හැඟුම් ය. අප දිනපොතට වඩාත් සමීප වනුයේ සමාජ ජීවිතයෙන් බැහැරව හුදකලා වන විට ඇති වන සාංකාබරිත හැඟීම් මුදාහැරීමේ මඟක් ලෙස ද? දිනපොත යනු සන්තානගත සියුම් හැඟීම් දරා සිටින්නාවූ ස්නේහවන්ත මිත්‍ර සන්ධානයක්ද?

හුදකලාවේ සාංකාවත්.... චමත්කාරයත්, විප්ලවීය අරමුණු බිඳ දමන්නට ලොවක්ම එරෙහිව පෙළ ගැසෙන විට එක් ධෛර්යවන්ත මිනිසකුගේ හදවතෙහි පැන නගින සුවහසක් අපේක්ෂාත් පිළිබඳව කියැවෙන අපූරු දිනපොතක් ඇසුරට ලැබිණි. සාමාන්‍ය දිනපොතකටත් වඩා හදවතට සමීප වෙමින් හදවතේ සියුම්ම පටක පවා කම්පනය කරන්නට මෙකී දින සටහන් සමත් වන්නේ එය ලියැවී ඇත්තේ කවියෙන් බැවිනි.

රෝස මලක් විකසිත 
වෙයි මුකුලිත වෙයි
නිමක් නැතිව එය
පිපෙයි යළිත් මැළවෙයි

එනමුත් සුසුවඳ
මැදිරි තුළට එළඹෙයි
සිරකරුවන්ගේ
ළතැවුල් පුබුදාලයි...



වියට්නාම් විප්ලවයේ සදාඅනුස්මරණීය පෙරගමන්කරු හෝ චි මිං චීනයේ සිරගතව සිටි වසරක පමණ කාලය තුළ දින සටහන් ලෙස ලියා තැබූ කවි එකතුව ( Prison Diary ) ලක්ශාන්ත අතුකෝරල විසින් අපේ බසින් අපේම ආත්මීය ප්‍රකාශනයක් ලෙස කියවාගන්නට ‘‘සිරගත නොවූ සිතුවිලි නමින්‘‘ අප හමුවේ තබා ඇත.



‘‘සරත් කල රාත්‍රිය“ විප්ලවීය සිරකරුවකු ඇස ගැටෙන අයුරු...

තුවක්කු ගෙන
මුරකරුවෝ
නැගිට සිටිත්
ගේට්ටුවෙහි

සදත් කැටුව
වලා තීරු
ළැසි ගමනින් යයි අහසෙහි
මෙහෙයුමකට පිටත්ව යන

යුද්ධ ටැංකි ඇණියක් මෙන්
මකුණෝ දනි පනි ගා යති

රැස් වන සහ විසිරී යන
මදුරු රෑන් පවා නියම
සටන් ගුවන් යානා මෙනි....


පරිවර්තනයක් යැයි නොදැනෙන තරමට කවිය සිංහල අකුරු සමග මනාව සුසංයෝගී වී ඇත. “පරිවර්තනයේදී මිය යන්නේ කවියයි.“ යන ප්‍රකට අදහසට ලක්ශාන්ත අභියෝග කර ඇති බව චූලානන්ද සමරනායක සිය පසුවදන තුළ සදහන් කරයි. එය අතිශයෝක්තියක් නොවන බව මගේද හැගීමයි.

පරිවර්තක විසින් එක්කර ඇති සවිස්තරාත්මක පෙරවදනත්, පරිශිෂ්ටය ලෙස එක් කර ඇති ෆාන් නුආන්ගේ සටහනත් හෝ චි මිං ජීවන පතිපදාව, ජීවන ගමන්මග ගැඹුරින් ස්පර්ශ කරන්නට අත්වැලකි.

‘‘වියට්නාම නිදහස උදෙසා විශ්වාස කළ නොහැකි තරම් අධිෂ්ඨානයකින් අරමුණු සහ පෙරමුණු සකසමින් සිය තරුණ විය විප්ලවයේ ගිනි දලු තුළ මනාව තවාගත් න්ගුයෙන් අයි කුවොක්ගේත්, සටනින්ම දිනාගත් නිදහසත්, මාතෘ භුමියේ පෞඪත්වයත් දිවි දෙවෙනි කොට රකිමින් අලියෙකුගේ කණට රිංගා ගත් කටුස්සෙකු මෙන් ලෝක බලවතුන් සලිත කරන වියට්නාමයක් ගොඩනැගූ හෝ චි මං නමැති අභීත රාජ්‍ය නායකයාගේත් කලබලකාරී පරිපුර්ණ දිවියෙහි නිසොල්මන් මධ්‍ය ලක්ෂ්‍යය ලෙස ඔහුගේ Prison Diary නමැති මෙම කුඩා කවි පොත හැදින්විය හැකිය.”
පරිවර්තක සටහන - 18 පිටුව

කවීන් දහසකගේ පැදි එකතුවක් කියවීම මැයෙන් හෝ චි මං ලියා තබන මෙ කව, කවියෙහි සියුම් භාව ප්‍රකාශනය, සෞන්දර්යය පමණක් නොව සමාජමය කාර්යභාරයෙහි වැදගත්කම පිළිබඳවද නැවත නැවතත් සිතන්නට අප පොළඹවාලන්නේ නොවේද?



පෙර කවියන් රිස්ස වුනේ
සද-මල්-හිම සහ සුළඟෙහි
මීදුම්- කඳු- දිය දහරෙහි
රුසිරු ගායනා කෙරුමයි


එහෙත් අප යුගේ කවිවල
ගොරහැඩි වැකි තිබිය යුතුයි
කවියන් දැන් ප්‍රහාරයට
යන බලමුළු තැනිය යුතුයි...



 ( සූරිය පොතකි. මිල රුපියල් දෙසියයකි. ගමන් බෑගයේ හොවාගෙන කියවමින් සිටින පොත මගේ ඉල්ලීම මත මා අත තබා ගියේ ලාල් අයියා ය. ස්තුතියි අයියේ... )



9 comments:

  1. ස්තූතියි තරු අක්ක ඔත්තුවට
    මේ මාසෙ පඩියට ගන්න පොතකුත් සෙට් වුනා...
    ආයෙ හොය හොය දගලන්නත් ඕන නෑ නෙව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේ පොත හරිම වටිනවා මල්ලි... බොහොම හිතගත්තා මගේ නම්.

      Delete
  2. "හෝ චි මිං" ලොකු දෙයක් කරපු "පුංචි" මිනිසෙක්.
    පොතේ නම තමයි මට ගොඩක්ම හිතට ඇල්ලුවේ තරු අක්කේ.‘‘සිරගත නොවූ සිතුවිලි"සිතුවිලි ඇත්තටම සිරගත කරන්න පුළුවන් නම් අපි නිකම්ම "රොබෝලා" වේවි නේද අක්කේ ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි... අපේ හිත් ඉතින් ඉගිලෙන්නමනෙ බලන් ඉන්නෙ. ඒ නිසා රොබෝල නම් නොවේවි...

      හෝ චි මිං කියන්නෙත් විශ්වයේ ඈත දුර පියාඹන්න තරම් සුවිසල් හදවතක් තිබුණ මනුස්සයෙක්... පුදුමාකාර ධෛර්යයක්... ආත්ම විශ්වාසයක්...

      Delete
  3. //සූරිය පොතකි. මිල රුපියල් දෙසියයකි.// මේ ලඟකදි යාලුවෙක් අරන් එන්න කිව්ව නිසා සිගරට් පැකට් එකක් ගත්තා. රුපියල් 640ක්.. මට මතක විදියට දෙතුන් දෙනෙක් එක්ක පැය 2කට අඩු කාලෙකදි ඒ ටික පුච්චල දැම්ම.

    මට හැමදාම තියෙන ප්‍රශ්නයක් මේක. ලංකාවේ පොත්වල මිල බොහෝම අඩුයි. මෙච්චර වටින පොතක් රුපියල් දෙසීයකට අරං කියවන්නැති එවුන් අල චිප්ස් කාල කෝල බොනව 300ක් දීල.

    කවදහරි මං පොතක් ගැහුවොත් (කවදවත් වෙන එකක් නම් නෑ) අඩුම රුපියල් 1000කින් මෙහා මිල දාන්නෙ නෑ.. එකෙක්වත් නොකියෙව්වත් කමක් නෑ.

    අන්තිම පේලිය නිසා ලිපියේ රස ගැන කියන්න අමතක උනා. සමාවෙන්න බොහොම රසවත්. ඒ වගේම ස්තූතියි දැනුම බෙදා ගන්නවට. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒ තරම් මිල කරන්න එපා. අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද පොත් ගන්නේ.....

      Delete
  4. ස්තූතියි තොරතුරට.. පොත හොයාගන්න උත්සාහ කරන්න ඕනේ.

    ReplyDelete
  5. අගෙයි තරු..............................

    ReplyDelete
  6. ස්තූතියි අක්කේ තොරතුරට.. යාළුවට කියන්න ඕන අරන් එන්න කියලා..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...