Monday, February 23, 2015

තටු බිඳුණු සමනලයෙකුගෙන් අතුල් පහරක්





ඒ ගල් පහර වැදුණෙ මූණට ම. නෑ... හිසට ම. නෑ.. පපුවට ම.. ම්හ්.... සකල සර්වාංගයට ම.. 

දෑස් නිලංකාර වෙලා, මුළු ලෝකය අඳුරකින් වැහිල තිබුණා මොහොතක්. ඒ සා කම්පනයක්, තිගැස්මක් ඇති කරමින් රූප රාමුවක් නැවතුණ තැනක් ගැන පෙර මතකයක් ඇත්තෙම නැති තරම්. 

නාග්රාජ් මංජුලේ ගේ Fandry ( ඌරා ) නිමාවෙන්නෙ කට්ට කළුවර ලෝකාන්තයකට අපව තල්ලු කරමින්. අන්ධකාරයෙන් ආලෝකයට එන්න, මොලේ හෙල්ලෙන්න වදින බරපතල ප්‍රහාරයක් ඒ.  ආලෝකය දකින්න අපට ඇරයුම් කරන්නෙත් සන්තානගත අන්ධකාරයට දමා ගසන ඒ ගල්ගෙඩි පහර විසින්මයි. 

කම්පනීය හදගැස්ම මන්දගාමී රිද්මීය ලතාවකට කෙමෙන් සෙමෙන් අවතීර්ණ වෙද්දි,  මනස ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ දුගී දුප්පත් ගමක, කුල පීඩනයෙන් හෙම්බත්වෙලා උන්නු මිනිස් ප්‍රාණීන් කිහිපදෙනෙක් එක්ක හෘද සංවේදී සංවාදයකට එකඟ වෙලා තිබුණා.


ජබියා....... 

සමනලයෙක් තරමට අහිංසක නව යෞවනයෙක්. ගැටවර දීප්තියෙන් බැබළෙන රවුම් ඇස් දෙකත්, පොපියන සිනහවත් එකතුවුණු දැකුම්කළු කාලවර්ණ රූපකාය, උදා ඉරු එළියේ බබළන විල් දියතලයක් තරමටම පැහැදිලියි. සිරියාවයි. ඒත් ඒ සිරියාවට බැබළෙන්න ඉඩදෙන බිමක නෙවෙයි ඔහු ඉපදිලා තිබුණෙ. ජබියා අයිති වුණේ අස්පර්ශිත කුලහීන පරපුරකට. දුප්පත්කම, නූගත්කම වගේම කුල පීඩනයත් ඒ ගමේ මනුස්සකම ගිලගෙන ඇති බවකුයි පෙණුනෙ. ජබියාගේ පවුලෙ රැකුණෙ ඌරන් අල්ලා මස්කර ගම්මානයට ලබා දීමෙන්. කූඩ මලු වියා උපයා ගන්නා සොච්චම් මුදලින්. 

කරුමය උරුමය ලෙස භාරගත් පවුලක ඉපදුණත් ජබියාට ලස්සන හීන තිබුණා. ඉගෙනගන්න, රැකියාවක් කරන්න, ප්‍රේම කරන්න, ලස්සනට ජීවත්වෙන්න.. ඕනෑම යෞවන හිතක උපදින සිහින.. නමුත් අස්පර්ශ කුලයක උපන් පවට ජබියාට හීන දකින්නවත් අවසරයක් තිබුණෙ නැහැ. 

ඔහු පාසල් යනවා. ඉගෙනගන්නවා. හැකි උපරිමයෙන් පවුලේ බරටත් උරදෙනවා. කුලවන්ත අපහාස, උපහාස, රිදවුම් නැමුණු හිසින් විඳ දරාගන්නවා. මිත්‍ර සන්ධානගතව ජීවිතය විඳිනවා. මල් හී සර පහර වැදිල ඒ යොවුන් හදවතත් ගැහෙන්න ගන්නවා. නිසංසලේ ඔහු ඒ පෙම් සිතුවිලි විඳගන්නවා. ඒ අතර අපමණක් හීන එක්කාසු වෙනවා. 


ඇය ශාලු. කුලීන පවුලක දැරියක්. ඒ ඇස් ඉස්සරහ ප්‍රේමණීයව පෙනී සිටීම ජබියාගේ සිහිනයක්. ඒ සිහිනයට පණ දිය හැකි කිසිම අත්වැලක් පේන මානෙක නැහැ. ඔහු මිථ්‍යා විශ්වාසයක පිහිට පතන්නෙ ඒ නිසා යැයි හිතන්නට පුළුවන්. හරියට ලංකාවෙ අපි ඉනා බේතකින් කෙනෙකුගේ හිත දිනාගන්න හැකි වේයැයි හිතන්නා වගේ.

කළු පැහැති කුරුල්ලකුගේ අලු තමන් සිත්ගත් අය මතට හෙළීමෙන් ඒ හදවත දිනා ගත හැකි වේය යන මිථ්‍යාව හඹා යන ජබියා ගැන විටෙක දැනෙන්නෙ දුකක්. අනුකම්පාවක්. සිහිනය සහ යථාර්ථය අතර වෙනස කොතරම් විශාලද? ඛේදනීයද? සිනමා සිත්තම ඇරඹුමේ සිට අවසානය දක්වාම ඒ ඛේදනීය යථාර්ථය සංකේතවත්ව දිගහැරෙනවා.  

හිත කැළඹුව එවන් එක් සිදුවීමක් මේ. ජබියා තමන්ගෙ යාලුවත් එක්ක අයිස් පැකට් වෙළඳාමෙ යනවා. පා පැදියෙන්. එක් දවසක පාපැදිය පසෙක නවත්තල දෙන්නම සුරතල් සතුන් විකුණන්න තියෙන තැනක ගැවසෙනවා. කූඩු කරපු කුරුල්ලො, ලස්සන මාළු බලමින්. නිදහසට වැටකොටු බැඳ මිල කළ සුන්දරත්වය. ඒ මිල ගෙවන්න හැකියාවක් ජබියලගෙ පන්තියෙ අයට නැහැ. ඒ අයගෙත්, ඔවුන්ගෙ සිහිනවලත්, ඒ කූඩු කළ සතුනුත් අතර වෙනසකුත් නැහැ.  ඒ අතරෙදි පසුපසට එන ලොරියකට යටවෙලා ජබියාගෙ බයිසිකලය කුඩුපට්ටම් වෙන දසුන හරිම වේදනාකාරීයි. ප්‍රේමණීය සිහිනයක් හඹා යන මේ ගැටවරයා තුළ ඉන්න අහිංසක දරුවා මතු වෙන්නෙ ඒ මොහොතෙදි. ඔහු පැය ගාණක් ඉකිබිඳිමින්  හඬා වැටෙනවා. ඒ අවස්ථාව ජබියාගෙත්, ජාතිය, ආගම, කුලය, පන්තිය නිසා පීඩාවට පත්වෙන සියලු මිනිසුන්ගේත් ජීවිත ඉරණමේ පිළිබිඹුවක් වගේ. 


ප්‍රේමණීය හිනයක වෙලෙමින්, නැහැවෙමින් ගම පුරා දුව ඇවිදින යෞවන මනමාල රවුම් ඇස් කෝපයෙන්, ද්වේශයෙන් ඇවිලුණේ කොහොමද? ඒ දැකුම්කළු වුවනත නිරන්තරයෙන් රැඳුණු අහිංසක පෙම්පාට වියැකුණේ කොහොමද? ඒ වෙනුවට වෛරීය වේදනාවක් පැලපදියම් වුණේ කොහොමද? මේ බව දැනගන්න Fandry බලන්නමත් ඕන නැහැ. වසර ගණනාවක් ඇවිලුණ, දසදහස් ගණන් ජීවිත විනාශ කළ, මනුෂ්‍ය සම්බන්ධතා සුනුවිසුණු කළ, ජාතිවාදයට ගිනි පිම්බ අපේම අතීතයට එබිල බැලුවත් තේරුම් ගන්න පුළුවනි.

සමනල සිහිනයක සැරිසරමින් උන්නු ජබියා අතට ගල්දෙන්නෙ සමාජය. ගල් ගහන්න ඔහු උසිගන්වන්නෙ සමාජය. දශක ගණනාවක් ලාංකීය සමාජය භීතියෙන් ගල්ගැස්වූ ත්‍රස්තවාදය බිහිකරන්නෙත් එවැනිම සමාජ ක්‍රියාදාමයකින් නොවේද? මේ සිනමා සිත්තම මත තබා අපට අපගේම සමාජය, අපගේ අතීතය, වර්තමානය, අනාගතය කියවා ගත හැකියි. 

නිදහසින් පසුව බිහිවුණු හිතුවක්කාරී දේශපාලන ක්‍රියාකලාපයන් නිසා, සමාජය මනුෂ්‍යත්වයෙන් පිරෙනු වෙනුවට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, කුලවාදයෙන්, පක්ෂ පාට පන්තිවාදයෙන් හිස උදුම්මාගත් ජරාජීර්ණ සමාජයක් බවට පත්වීමයි සිදුවුණේ. එහි ප්‍රතිඵලයි ත්‍රස්තවාදය, මැර පාදඩ දේශපාලනය, දූෂණය, භීෂණය, වංචාව....... මේ බව ගැඹුරින් තේරුම් අරගෙන අවංකවම කැපවන සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට ලාංකීය සමාජයම එක් විය යුතු මොහොතක Fandry හරහා අවදි කරන හෘදය සාක්ෂියේ හඬ හරිම ප්‍රබලයි. අප එයට සංවේදී විය යුතු තීරණාත්මක කාලයක් මේ. 

කවියෙක් වුණු සිනමාවේදියා කවියක් ලෙසින්ම චිත්‍රපටයේ රූප රාමු එකින් එක පෙළගස්වනවා. සංගීතයෙන්, රංගනයෙන් ඒ කවියට ජීවය දෙනවා. පරිසරයත් චිත්‍රපටයේම භූමිකාවක් වන තරමට තේමාව සමඟ ආත්මීය බැඳීමක් තියෙනවා. මේ සියල්ල එක්ව ගත්තම එය ඇත්තටම අපූරු චිත්‍රපටයක්. අනුවේදනීය චිත්‍රපටයක්. සුඛාන්තමය සමාජ වෙනසක් අපේක්ෂා කරන ශෝකාන්තයක්. ජබියා වැනි අහිංසකයින් අතට ගල් දෙන මේ සමාජ ක්‍රමය විවරණය කරන අතරම, එය වෙනස් කිරීම අපේ වගකීමක් බව බරපතල කම්පනයක්, තිගැස්මක් සමඟ දැනෙන්නට සලස්වන සංවේදී චිත්‍රපටයක්.

අවසන් රූප රාමුව.. එය මනුෂ්‍යත්වය මත බලහත්කාරයෙන් පටවන පීඩනයෙන්, නොමිනිසුන් බිහිකරන්නට පාර තනන සමස්ත සමාජ ක්‍රමයට  එල්ල කරන දැවැන්ත අතුල් පහරක්. 

Nagraj Manjule



15 comments:

  1. ලස්සන පෝස්ට් එකක් අක්කා හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදු නංගි.. දැම්ම සැණින් බලලනෙ ඔයා...

      Delete
  2. කතාවත් එක්ක සම්පූර්ණයෙන්ක එකගයි.. අපි ජීවත් වෙන සමාජයම තමයි මිනිස්සුන්ව බොහෝ දේවල් වලට පොළඹවන්නේ.. හොයාගෙන බලන්න ඕන මේක..

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍රපටියෙදි ඒ කාරණය බොහොම සියුම් විදියටත් ප්‍රබල විදියටත් ගොඩනගනවා මල්ලි. අවසානයේ ඉතිරි වෙන්නෙ මහා කම්පනයක්. තිගැස්මක්..

      Delete
  3. විසඳුම මොකක්ද කියලා හොයාගන්න එක තමා අමාරුම...

    //තටු බිඳුණු සමනලයෙකුගෙන් අතුල් පහරක්// හරිම ලස්සනයි.:)

    ReplyDelete
    Replies
    1. විසඳුම තියෙන්නෙ අපි තුළම තමයි... විශේෂයෙන්ම ආදරය තුළ...

      Delete
  4. අපුරුයි.

    බයිසිකලේ කුඩු පට්ටම් වෙන සීන් එකේදි මතක් වුනේ “සිරිදාසගේ බයිසිකලය“ කතාව.

    ජය.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මට ඔයා කිව්වමයි ඒ කතාව මතක් වුණේ...

      Delete
  5. අගෙයි වර්ණනාව.. කවියෙක්ගේ සිත්තමක් ගැන කවියක් වගේ වැනුමක්. ජබියාගේ රූපසොබාව දශක දෙකකට එහා මගේම අතීතයට මාව අරං ගියා සත්තකින්ම.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කවියෙක් වීම නිර්මාණ කටයුතුවලට කොයි තරම් ජීවයක් එකතු කරනවද කියල හිතෙනවා...

      ජබියාගෙ චරිතයට තෝරගෙන තියෙන ගැටවර නළුවා ඒ චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරනවා.

      Delete
  6. අගෙයි තරූ............................. ඔත්තුවට

    ReplyDelete
  7. පාට,පක්‍ෂ,ජාති,කුල මල.ආගම් වලට බෙදිලා වෙන් වෙලා හිටියත් මිනිස් හිත්වලට ඇතිවෙන හැගීම් වෙනස් වෙන්නේ කොහොමද?
    අහිංසක මල් විසකුරු සර්පයෝ කරවන්නේ අපේ සමාජයම තමයි.

    ReplyDelete
  8. ලස්සන ච්ත්‍රපටයක්.

    ReplyDelete
  9. අපුරු සටහනක් අක්කා :)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...