අපි උන්නෙ අලුත්
රැකියා ස්ථානයේ වටපිටාවට හුරු වෙමින්. එක්වනම
ජීවිතේ සිදුවූ බරපතල වෙනස භාර ගනිමින් එක්තරා අවුල්සහගත බවක, නොසන්සුන් බවක ගැලී
උන් කාල වකවානුවක්.
මාත් එක්ක දමිල සොයුරු
සොයුරියන් කිහිපදෙනෙක් අලුත් තැනට ඇවිත් උන්නා. මින් පෙර එකම රැකියා ස්ථානයේ සේවය
කළත් අපි එකිනෙකා දැනහඳුනාගෙන හිටියෙ නැහැ. ඉන් එක් දමිල සොයුරියක් වැඩ භාරගත්තෙ අප
සැමටම පසුව. අළුත් රැකියා පියසෙ ඇයට වාඩිවෙන්න නිශ්චිත අසුනක් තිබුණෙ නැහැ. මුල්
දවස් කිහිපයේ තැනින් තැන වාඩිවෙන්නට ඇයට
සිදුවුණා. විටින් විට තමන් වාඩි වී සිටි අසුනෙන් ඉවත්වෙලා වෙනත් තැනකට යන්න වුණාම
ඇයටත් වඩා දුක හිතුණෙ මට.
‘‘කමක් නෑ තරංගි.. කොහේ
හරි කමක් නෑ, වර්ක් කරන්න තැනක් තිබුණම ඇති... මට පුරුදුයි. නයින්ටීන් නයින්ටි ඉඳල
අපි ඩිස්ප්ලේස්. තැන තැන තමයි ජීවත් වුණා. තාම අපේ ඉඩම්වලට යන්න බෑ. කන්කසන්තුරේ
හයි සෙකියුරිටි සෝන් එකේ අපේ ගෙවල්. අවුරුදු විස්සකින් දැකල නෑ.. මේක මොනාද?”
ඇය කිව්වෙ ඇස්වල කඳුළු
තියාගෙන හිනාවෙමින්.
‘‘ඔයාල කැමති නැද්ද
මෙහෙ පදිංචි වෙන්න..”
‘‘මෙහෙ පර්ච් එක කීයද?
අපි කෝම මෙහෙ ඉඩම ගන්නද අප්පා. යේක අපේ ඉඩම සෙල් කරාගන්න පුළුවන් උනා නම් බලන්න
තිබුණා.”
මගේ මෝඩකමට ඇහුව ප්‍රශ්නෙ
ගැන මට දැණුනෙ ලැජ්ජාවක්. අපි කොයිතරම්
සරල විදියටද ගන්නෙ ජීවිත කාලයක්ම විඳෙව්ව, තවමත් නිමාවක් නැති උතුරු නැගෙනහිර
සහෝදර ජනතාවගෙ ප්‍රශ්න.
..............................
‘‘අවුරුදු තිහක්
යුද්දෙ හින්ද නැති වුණ හැමදේම අමතක කරන්න පුළුවන්. අපේ ස්වාමිපුරුෂයො, දෙමව්පියො,
සහෝදර සහෝදරියො ඒ හැමෝමත් අමතක කරන්න පුළුවන්. ඒත් අපිට අපේ දරුවො අමතක කරන්න බෑ. අපේ
දරුවන්ට මොකද වුණේ කියල හිතද්දි හැමදාම අපි පිච්චෙනවා. අම්ම කෙනෙකුට දරුවෙක් අමතක
කරල ජීවත් වෙන්න බෑ. සිංහල වුණත් දෙමල උණත් මුස්ලිම් උණත් අම්මල එහෙමයි. ”
අපි උන්නෙ
විහාරමහාදේවියෙ එළිමහන් පියසක. වෙනදට වඩා නිදහස් හැඟීමක් දැණුනා. පැය ගාණක් ඇදුණ
කතාබහට කාකි නිල කබාවලින් කිසිම බාධාවක් එල්ලවුණේ නැහැ. ඒ නිදහස් අවකාශය ඇතුළෙ අපේ
කතාබහ යොමු වෙලා තිබුණෙ උතුරු නැගෙනහිර කාන්තාව මුහුණ දෙන ප්‍රශ්නවලට. දරුවන්
අහිමි වූ මව්වරු, වැන්දඹු මාතෘ මූලික පවුල්, ළමා මව්වරු, ආර්ථික ගැටලු නිසා ගණිකා
වෘත්තියට යොමු වූ කාන්තාවන්....
දකුණේ කාන්තාවන් මුහුණදෙන සාමාන්‍ය ගැටලු පවා
දෙතුන් ගුණයක වැඩි බරකින් උතුරු නැගෙනහිර කාන්තාව මත පැටවී තිබෙනවා. දමිල,
මුස්ලිම්, සිංහල භේදයක් නැතිවම. ඒ අතරත් යුද්දය නිසා පීඩාවට පත් දමිල කාන්තාවගේ
ගැටලු අතිශය බරපතලයි. පුරුෂ පාර්ශවයේ බල අරගල අතර හැමදාමත් පීඩාවට පත් වුණේ ගැහැණුන් සහ දරුවන්...
දරුවන් අතුරුදහන් වූ
අම්මලා තුන්දෙනෙක් අපේ කතාබහට එක්වෙලා තිබුණා. උතුරු නැගෙනහිර සහෝදර ජනතාවගේ ප්‍රශ්න
සම්බන්ධව දකුණේ අසංවේදි බව ගැන කතාබහ අතර තුර එක්විටම ඒ අම්මලා ගමන් මලුවලින්
තමන්ගෙ දරුවන්ගෙ ඡායාරූප එළියට අරගත්තා.
‘‘අපිට ඕනෙ එකම එක
දෙයක් දැනගන්න විතරයි. අපේ දරුවො ඉන්නවද නැද්ද කියල විතරක් කියන්න. ඉන්නවනම් එක
මොහොතකට හරි අපිට දරුවො දකින්න ඉඩක් දෙන්න. එකසැරයක් පෙන්නන්න. පෙන්නල තියාගන්න. ඒ
ඇති..”
ඒ ආයාචනය අපේ ඇස්වලත්
කඳුළු පිරෙව්වා.
‘‘අපේ දරුවො ත්‍රස්තවාදී
වැඩ කළේ නෑ. නිකම්ම අල්ලගෙන ගියා. මොනා වුණාද දන්නෙ නෑ... අපිටත් දරුවො ගැන ලොකු
හීන තිබුණා. යුද්දෙ තියෙද්දිත් අපි දහදුක්
වින්දා දරුවො රැකගන්න. එයාලට උගන්නන්න. අපේ දරුවන්ට වුණේ මොකක්ද කියල විතරක්වත්
කියන්න...”
.................
ඒ අම්මලාගෙ කඳුළින් බර
ඉල්ලීම ජාතිවාදය යැයි අරුත් ගැන්විය හැකිද? ජාතිවාදයේ චෝදනාවෙන් හදවතක ඇවිළෙන වේදනාව නොසලකා
හැරීමෙන් සංහිඳීමක්, සැනසීමක්, සහසම්බන්ධයක් ගොඩනගන්නේ කෙසේද?
සත්‍යය යුක්තිය
ඉල්ලා සිටීම ජාතිවාදය යැයි අරුත් ගන්වනු වෙනුවට එකිනෙකාගේ හැඟීම් තේරුම් ගනිමින්
කටයුතු කිරීම වඩා වැදගත් නොවේද?
උතුර දකුණ සැමවිටම
ඇවිළෙන්නේ අනෝන්‍ය තේරුම්ගැනීමේ, සවන්දීමේ, ගරුත්වයේ, ප්‍රේමයේ මුල් සිඳගනිමිනි. දැන්වත්
වෙනස් විය නොහැකි නම් මේ කඳුළු උල්පත් කිසිදා නොසිඳෙනු ඇත. ඒ කඳුළුම තව තවත් අප
එකිනෙකාගෙන් දුරස් කරනු ඇත. උතුරේත් දකුණේත් දේශපාලකයින් වටහා ගත යුතු වැදගත්ම දෙය
මේ කඹ ඇදිල්ලෙන් කාටවත් සෙතක් අත් නොවන බව ය.
මොනවා කියන්නද මන්දා ,සමහර දේවල් වෙනස් වෙයිද කියන එක නම් ?????????????????????????????????
ReplyDeleteඅපි දකින ගැටුම නෙමෙයි ගැටුමක් තුළ තියෙන්නේ. ඒ අපිට පේන්නේ දෙපාර්ශවයම කියන කතාව විතරයි... ඒත් සත්‍ය ගැටුම ඊට වඩා වෙනස්... අපි ඒයයි තේරුම්ගත යුතු...... ඒ තුළ මේ සියල්ල තියෙනවා.. ඒත් අපි ඒක දිහා බලන්න"ෑ.....
ReplyDeleteඅපූරු ළිපියක්.. හැමෝම මේ විදියට හිතනවා නම්.....
ReplyDeleteයුද්දේ ඉවර වෙලා අවුරුදු ගාණක් ගිහින් තිබ්බත් යුද්දෙන් බැටකාපු අහිංසක දෙමළ මිනිස්සු තාමත් අසරණයි.යුද්දේන් පස්සෙ නැවත ඒ වැනි අවාසනාවන්ත සිදුවීම් නොවෙන්නේ අපේ පාලකයෝ පිළියම් යෙදෙව්වේ නැහැ.ඒ වෙනුවට ආයෙමත් ඒ මිනිස්සුන්ව යුද්දෙකට තල්ලු කරන දේවල් කරන්න තමයි මාන බැලුවේ.
ReplyDeleteජාති,කුලමල වලින් බෙදිලා හිටියාට හැමෝම මිනිස්සු කියලා මිනිස්සුම තේරුම් ගත්තු දවසට ලෝකේ මිට වඩා ලස්සන වේවි තරු අක්කේ.
What difference does it make to the dead, the orphans, and the homeless, whether the mad destruction is wrought under the name of totalitarianism or the holy name of liberty and democracy? - Gandhi
ReplyDeleteඅත්දැකීම් ගොඩයි.. චිත්‍රපටියක් වගේ සමහර සිදුවීම් මතකෙට එනවා!.. හැමෝම මෙහෙම හිතනවනම් ඒ මිනිස්සුන්ගේ ඉදිරි ජීවිතේවත් මීට වැඩිය සාර්ථක වේවි.
ReplyDeleteමේ අම්මලාගේ ඉල්ලීම් කිසි සේත්ම ජාතිවාදී නෙවෙයි. ඔවුන් ගැන හිතනකොට දකුණේ හා උතුරේ දේශපාලකයින් ගැන ඇති වෙන්නේ පුදුම කලකිරීමක් . මේ වටිනා ලිපිය ලිව්වාට ස්තුතියි තරූ
ReplyDeleteමොනවා කියන්න ද මන්දා .. හිත රිදුනා :(
ReplyDelete