පිටු

Friday, August 26, 2016

පොත් කතා - සාහිත්‍ය මාසෙත් ළඟයිනේ...


‘‘මංඥම්මෙ, මගෙ ශිෂ්‍යත්ව විභාගෙ ඉවරයිනේ..“

උදෑසනම ආ ඇමතුමකි. ප්‍රීතියෙන් උද්දීප්ත කුරුලු හඬකින් කියා සිටියේ දඬුවම්කාර කාලසීමාවක් අහවර වූ වග ය. ඒ මා ඉසත් තැබූ ඥාති පුතෙකි. ( හිස අත් - දෙවියන් ඉදිරියේ දරුවාගේ හිස අත් තබා මව්පියන් තරමට ම ඒ ජීවිතයේ වගකීම භාරගන්නා බවට පිළින දීම - ඔවුන් ඥාන මව්පියන් ලෙස හැඳීන්වේ. මෙය කතෝලික සම්ප්‍රදාය තුළ එන චාරිත්‍රයකි.)

‘‘ආනේ ෂෝක්නේ...‘‘ වගතුග විමසා බලා ‘‘පහුණු ටිකේ ගොඩක් මහන්සි වුණානේ, දැන් ඉතින් හොඳට සෙල්ලම් කරන්න.“ මම කීවෙමි. නමුත් පුතුගේ උවමනාව වෙනකකි.

‘‘මංඥම්මා එනකොට මට කතන්දර පොත් ටිකක් ගේනවද? මට දැන් කියවන්න පුළුවන්..“

මා වැනි මංඥම්මා කෙනෙකුට එවන් සතුටක් තව කොයින්ද?

‘‘මම මේ සතියෙ එන්නෑනෙ පුතේ. ඔයා අපේ පුස්තකාලෙට බැඳෙන්න. ඇතිවෙන්න පොත් තියෙනවා කියවන්න. කෝ දෙන්නකො අම්මට, මං කියන්නම් ඔයාව එක්කරගෙන යන්න කියල.“

මෙවර ශිෂ්‍යත්වෙ ලියූ පැංචා පුංචි කාලෙ‍ෙ
................

අපේ ගමේ දරුවන් වෙනුවෙන් කුඩා පුස්තකාලය ඇරඹුණේ මගේ කවි පොත එළිදැක්වූ ජනවාරි 16 වෙනිදායින් පසුව ය. ආරාධනා පතේ සඳහන්  වූ ඉල්ලීමට අනුව එදින එකතු වූ ළමා පොත් සංඛ්‍යාව 300 ඉක්මවීය. පුස්තකාලය වෙනුවෙන් ලැබුණු මුදලින් ද තවත් පොත් විශාල ප්‍රමාණයක් ගත හැකි විය.





දැන් ඉතින්, ඒ පුස්තකාලයේ පොත් ගනුදෙනු සිදුවන්නේ මෙලෙසිනි.
ළමා පොත් පුංචි පොත් කබඩයක ය. සති අන්තයේ පුස්තකාලයාධිපතිනිය වන මා ගෙදර ඉන්නා විට අහළ පහළ දරුවන්ට, පාරේ යන දරුවන්ට හඬ ගසමි.

‘‘මුතූ පන්ති ගිහින් එන්න, ඔයාගෙ පොත් මාරු කරගන්න.“

‘‘නෙතූ ඔයා ගිය සතියෙ ගත්ත පොත කියවල ඉවරද? ඉවර නම් අරන් එන්න. අලුත් පොතක් මාරු කරගන්න.‘‘

‘‘පුතේ ඔයා අරන් ගිය පොත මාරු කරගත්තෙ නෑ නේද? ඒ පුංචි පොත කියවන්න මේ තරම් කල් යනවද?“

‘‘නංගි දුවල දෙන්නව එවන්න, පොත් මාරු කරගන්න අද මම ගෙදර ඉන්නවා. මං නැති වුණත් හැන්දෑවට ඇවිත් පොත් මාරු කරගන්න පුලුවනි. නංගි ඉන්නවනේ..“

හොඳම දඬුවම ලැබී ඇත්තේ ගෙදර අයට ය. චූටි මිමී හිතෙන හිතෙන වෙලාවට පුස්තකාලයට පැමිණ ලබා ගන්නා පොත් කියවා දෙන්නට සිදුවන නිසා ය. පුස්තකාලයේ සාමාජිකාවක් මෙන් ම පුස්තකාලය වෙනුවෙන් මා සමඟ හරි හරියට වෙහෙස දැරුවේ ද ඈ මය. චන්දු මල්ලී අකුරු කියන්නේ මොනවාදැයි නොදන්නවා වුණත් පොත් ගැන ඇත්තේ අප්‍රමාණ උනන්දුවකි. 

මෙන්න මෙයාකාර අරුම පුදුම පුස්තකාලයකි එය, පින්තූර කිහිපයක් මෙන්න.






මගේ මේ වෑයමට සහය ලබා දුන් හැමටම හදවතින්ම ස්තූතියි කියන්නට මෙය අවස්ථාවක් කරගනිමි. 

සමන් අතාවුදහෙට්ටි මහත්මාට
උපරිම වට්ටමකට පොත් ලබා දුන් මරදාන සුරස පොත් හලට
‘විදර්ශන‘ ප්‍රකාශක ජනක ඉණිමංකඩ සොයුරාට,
‘අගහස්‘ කළු රංජි අයියාට
ලස්සන පුංචි පොත් අල්මාරියක් ගන්නට උදව් උපකාර කළ කළණෙට සහ කළණෙගෙ මිත්‍රයාට,

මගේ කවි පොතකුත් මිලට අරන් මදිවට, තව ළමා පොතකුත් තිළිණ කළ ගම්වාසීන්, නෑ හිතවතුන් ඇතුළු සියලුම ආදරණීයයන්ට
පොත් සඳහා මුදල් තිළිණ ලබා දුන් පොත් ලබා දුන් මගේ සයිබර් අවකාශයේ හිත මිතුරන්ට...

........

කොලු පැටවුන් පොත් දුටු විට ඉගිළ යන්නේ තිත්ත කසාය කෝප්පයක් දුටුවාක් මෙනි. කෙලිත්තියන් නම් පොත් කියවන්නට කැමති බව පෙනේ. පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයෝ ද ඔවුහු ය. දෙගොල්ලන්ම තව තවත් පොතපතට ඇලුම් කරවනා වැඩ ටිකක් කරන්නට සිතා සිටියත්, තවම ඉඩක් නොලැබීම නම් දුකක්. 

13 comments:

  1. සාහිත්‍ය මාසෙත් ළඟයිනේ මමත් ලියන්න හිතන් ඉන්නේ පොතක් ගැන සටහනක්.
    "ඥාන මව්පියන්" ගැන අහලා තිබ්බත් ඒ කවුද කියලා දැනගත්තේ තරු අක්කාගේ සටහනෙන්.

    ReplyDelete
    Replies
    1. ලියන්නට දේවල් බොහොමයි. පහුගිය කාලෙ බ්ලොග් පැත්තෙවත් එන්න බැරි වුණානේ.. බ්ලොක් උණා...

      Delete
  2. පොත් දැක තිත්ත කසාය දැක්කා සේ දිව යන අතර ඒ කොලු පැටවුන් සිතන්නේ මංඥම්මාට මඥ්ඥං ද මන්දා කියා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි... හැබැයි මං ඒ හැමෝගෙම මංඥම්මා නම් නෙමෙයි.. කොල්ලො නම් හීන්සීරුවෙ මගෑරලා යනවා.

      Delete
  3. මම ගියපාර පොත් ප්‍රදර්ශනේ දවස්වලම තමයි මම පඤ්ඤා වෙලා ඉන්න ළමයෙක් සත්ප්‍රසාද ලැබුවේ. මම පොත් 20ක් විතර ගෙනිහින් දුන්නා තෑග්ගට. මට හිතෙන්නෙ ළමයා කෙසේවෙතත් දෙමව්පියන්ගෙ නම් ඒ ගැන මනාපයක් නෑ වගේ. මම ඉතින් හිතුවා කවදාහරි එව්වල අගේ තේරෙයිනෙ කියලා.

    ඔය ළමයි ටිකව පොත් ප්‍රදර්ශනේ බලන්න එක්කගෙන එන්නකො.. :)

    ReplyDelete
    Replies
    1. මේ පුතා (සේනිඳු) සත්ප්‍රසාද ලැබුවෙත් ගිය අවුරුද්දෙ. මමත් එයාට පොත් තමයි දුන්නෙ. එයත් බොහොම ආසාවෙන් පොත් කියවල තිබුණා. ඒ වගේම සේනිඳුගෙ තාත්තත් ඒ පොත් කියවල තිබුණා. අම්මයි, තාත්තයි දෙන්නම සතුටුයි පොත් තෑග්ගට. සමහර දෙමව්පියො ඥාන මව්පියන්ගෙන් මහා බර තෑගි බලාපොරොත්තු වෙනව නම් තමයි. එහෙම දෙන්න ගියොත් නම් මං ඉවරයි. දැනටමත් ළමයි 08, වැඩැහිටි දෙන්නයි...

      Delete
  4. පොත්... ආදරේ කරන වස්තුවක්....

    පොත් අපගේ නෙත් වගේ...

    ReplyDelete
  5. ගොදැක හොඳ වැඩක් අක්කා පොත් කියවන්න පුරුදු කරන ඒක නම්.. අක්කා වගේම පොත් ගුල්ලියක් කරන්න.. :)

    ReplyDelete
  6. පොඩි උන්ට පොතක් කියවන්න පුරුදු කරන එක මොන තරම් වටිනා,සුන්දර දෙයක්ද ?

    ReplyDelete
  7. තරුරසී හරි අපූරු වැඩනේ කරන්නේ, පොත් කියන්නේ අපිව වෙනම ලොකේකට ගෙනියන්න පුලුවන් මායා ජාලයක් මට නම්...

    ReplyDelete
  8. ඔහ්.. පුස්තකාලේ.. මට අමතක වෙලා තිබුනේ විස්තර අහන්නවත්. ප්‍රදර්ශනයෙං තව පොත් ටිකක් අරං දාමු.

    ReplyDelete
  9. වටිනා වැඩක් අක්කා

    ReplyDelete
  10. නියමයි සුපිරි වැඩක් . . !!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...