Wednesday, April 26, 2017

නුඹේ සිහිනය මගේ සිහිනය පරාජිත නැහැ පුතේ


ළදරු ජේසු වඩාගෙන සිටිනා මරියාවන්ගේ දසුනකි.

( බාලොලි ලොලි කියලා ගීතය පිළිබඳව http://jesustodaysl.org වෙබ් අඩවියට ලියූ ලිපියකි. )

ගැහැනියක ස්වකීය ජීවිතයේ ලබා ගන්නා උත්තරීතරම පදවිය මව් පදවිය බවට විවාදයක් නැත. ඇය ජීවිතයේ ලබන උතුම්ම සම්පත ඇගේ දරුවන් නොවන්නේද? ඇය ද එබඳුම අම්මා කෙනෙකි. නමුත් සාමාන්‍ය මවකගේ වගකීමෙන් එහා ගිය විශ්වීය වගකීමක් භාරගන්නට ඇයට සිදුවිය. ‘‘මේ මම ස්වාමින්වහන්සේගේ දාසිය වෙමි. ඔබ කී වචනය ලෙස මට සිදුවේවා.‘‘ කියමින් ස්වර්ගීය කැමැත්ත මේ මහපොළව මත යථාර්ථයක්ව ජනිතකිරීමේ වගකීමට උර දුන් ඇය කිසිවිටෙක ඒ වගකීම පැහැර නොහැරියාය.

By Larry Mullins and Joan Batson Mullins
ග්‍රේබියල් දේව දූතයා යොවුන් මරියාට දර්ශනය වූ අවස්ථාව  - ඇය දේව පුත්‍ර ජේසුගේ මව වීමට තෝරා ගෙන ඇති බව ප්‍රකාශ වෙන්නෙ මේ අවස්ථාවෙදි....

මානව විමුක්තිය උදෙසා මනුෂ්‍යත්වය ගෙන පැමිණෙන්නාවූ දේව පුත්‍රයා කුස දැරීමේ වගකීම එකසිතින් බාර ගත් ඇය කෙබඳු නිර්භීත ගැහැනියක් විය යුතු ද? පියෙකු නැති දරුවකු කුස දැරීම බරපතල සමාජ අපරාධයක්ව තිබියදී පවා ඒ සා ධෛර්යයක් පෙන්වීම සැබවින්ම විස්මිතය.  ඇය එතරම්ම දේව ආදරයෙන්, මානව දයාවෙන් පිරිපුන් ධෛර්යවන්ත ගැහැනියක විය.

ඈ මරියාවන්ය. ජේසුස්වහන්සේගේ ආදරණීය අම්මා ය.

බාලොලි ලොලි කියලා පිදුරු ගොඩේ තියලා
නැළෙව්වා නුඹ විශ්මයෙන් මම රුදුරු ඒ රෑ යාමේ
මතක පොත පෙරළේ දිව්‍ය සිත මතුයේ
නුඹේ සිහිනය මගේ සිහිනය පරාජිත නැහැ පුතේ
පරාජිත නැහැ පුතේ...

අධිරාජ්‍යයක නියෝගයක් පිළිපදිනු පිණිස ජන සංගණනයක් වෙනුවෙන් දුර බැහැර ගෙවා නාඳුනන කුඩා නගරයකට ආගන්තුකයින් ලෙස ඔවුහු පැමිණියහ. ඒ වනවිටත් විළිරුදාවෙන් පෙළෙමින් සිටි ගැබිණි මරියා සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ ජුසේ වෙනුවෙන්  කිසිදු නවාතැන්පළක ඉඩකඩ නොවුණි. අවසන කුඩා ගවහලක් සිය පුතුගේ තිඹිරි ගෙය කොටගත් ඇය ඒ කටුක එලෙසින්ම විස්මිත රැයේ සිය පුතු නළවන්නට ඇත්තේ කොතරම් දයාර්ද්‍ර හදින් විය යුතු ද? එලෙසින්ම සිය පුතුගේ අනාගත මෙහෙවර පිළිබඳ සුවහසක් සිහිනයන්, අපේක්ෂාවන් මෙන්ම සාංකාවන්ද ඈ සිත තුළ පෙරළි කරන්නට ඇත.

ජන සංගණනය සඳහා බෙතේලෙහෙම් නුවරට එන ගැබිණි මරියතුමිය කොටළුවකු පිට නැගී
ඇයගේ ස්වාමිපුරුෂයා ජුසේතුමා සමඟින්

කුසට නුඹ ආ දා පටන් අපමණක් නින්දා
මාත් සමඟින් දරා ගත් පුත
මාත් එන්නම් නඟිමු මේ හෙල
කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් 

.... මම ඒ මොහොත සිතෙහි ඇඳ ගනිමි. ලේ වැකි සිරුරින්, කුරුසියේ බරින් පීඩිතව ඇදෙන තරුණ ජේසු පසෙකින් ගමන්ගන්නා මරිය මව්තුමියගේ රුව වේදනාවක් ජනිත කරයි. දරන්නට අසීරු වේදනාව ළය තුළම සිර කරගෙන ඇය ස්වකීය පුත්‍රයාට ධෛර්යය දෙන්නීය.....   

තම පුතු කුස පිළිසිඳි දා සිට ඈ මුහුණ දුන්නේ ගැහැනියකට, මවකට උහුළා විඳ දරාගත හැකි ඉරණමකට නම් නොවේ. දරුවකු කුස දරන බව දැනගත් විට විවාහ බස් දී සිටි තරුණයා ජුසේ පවා රහසින් ඇය අත්හැර දමන්නට සිතීය. ඒ වැළකුණේ දිව්‍යමය මැදිහත්වීමකින් බවට සුභාරංචිය පවසයි. පිළිසිඳගැන්මේ සිට කල්වාරි ගිරි හිස කුරුසියෙහි මරණය දක්වාද, ඉන්පසුවද තම පුත්‍රයාගේ ජීවිතය හා බැඳී සිටි මරිය මාතාව ඒ ධර්මදූත මෙහෙවර සාක්ෂාත් කරගන්නට අපමණ මෙහෙවරක් ඉටුකළාය. ඇගේ මව්ගුණය දිව්‍යමය වන්නේ, මහත් ඉවසීමෙන්, කැපවීමෙන්, දරාගැනීමෙන්, නොපසුබස්නා හැඟීමෙන් ඈ සිදුකළ මෙහෙවර තුළය. 

ජීවිත අරගල හමුවේ පසුබස්නා තම දරුවන්ට මෙලෙස ධෛර්යයක් වන්නට අද අපේ මව්වරුන්ට හැකියාවක් ඇත්ද? ස්වාර්ථය පසෙකලා සමස්ත සමාජය වෙනුවෙන් මෙහෙවරක නියැලෙන තම දරුවන්ට ආශිර්වාද කරන්නට අද අපේ මව්වරුන් පෙළඹේවිද? අප ගැඹුරින් සිතා බැලිය යුතුය. 

නොදැන උන් පුතුනේ සඳුන් ගස තැලුවේ
සුවඳ ගව් සිය පැතිරෙනා බව
මම දනිමි පුතුනේ
නුඹ මැරී වැටෙතත් බීජයක් ලෙස මැයි
දළු දමා මහ ගසක් වන බව
මම දනිමි පුතුනේ...

මනුෂ්‍යත්වය, යුක්තිය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයකු පවතින සමාජ, දේශපාලන, ආගමික අධිපතිවාදයට එරෙහි ද්‍රෝහියකු සේ හංවඩුගැසීම අදටත් අඛණ්ඩව සිදුවන්නකි. තරුණ ජේසුට කුරුසියේ මරණය උරුමවනුයේ අන්කිසිවක් නිසා නොව එකල පැවති සමාජ, දේශපාලන, ආගමික අධිපතිවාදයට ඔහු පෙන්වා දුන් මානව විමුක්තිය පිළිබඳ පණිවිඩය දරන්නට නොහැකි වීම හේතුවෙනි. ඒ වටා රොද බැඳි මිනිසුන් තම පැවැත්මට අභියෝගයක් වන බව ඔවුන් වටහා ගත් හෙයිනි. නමුත් සඳුන් ගස තලා දැමූවට එහි සුවඳ විහිදෙනු වළකනු හැකිද? තලන්නට තලන්නට වානේ පන්නරය ලබන්නා සේ, තලා පෙලා දමන විට වඩ වඩාත් සඳුන් සුවඳ පැතිරෙන්නා සේ පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ජේසුස් වහන්සේ ගෙන ගිය දූත මෙහෙවර තවදුරටත් මුවහත් වන්නට විය. එය මරාදැමීමෙන් වුව නවත්වනු හැකි වූ ගමනක් නොවීය.

ජේසුතුමාගේ ගෝලයකු වන ජුවාම් සහ මග්දලාහි මරියා සමඟ කල්වාරිය නඟින මරියතුමිය

ජේසුතුමන් මරාදැමීමෙන් පසුව බියපත්ව, තැන තැන සැඟව සිටි සමූහයාට ඉක්බිති ශක්තියක් වූයේ ද මරියාවන්මය. සෙනග රොක් වූයේ ඈ වටා ය.

කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් ....

කුස පිළිසිඳි දා සිට ම, මෙලොව එළිය දුටු දා සිටම තම පුතුට පැවරී ඇති විශේෂ දූත කාර්යයට ඔහු සූදානම් කරන්නට ඇත්තේ මරියාවන් විසින් බවට සැකයක් නැත. මරියතුමියගේ උදානගීතය මැනවින් විමසා බලන විට, තම පුතුට පැවරෙන කැඳවීමේ කාර්යභාරය කුමක්ද, එහි බරපතල බව කෙබඳුද? ඒ සඳහා තමාට පැවරී ඇති සමාජ වගකීම කුමක්ද යන්න පිළිබඳව ඇය මනා අවබෝධයකින් පසු වූ බව පැහැදිලිය. මව සහ පුතු අතර වූ මේ සුවිශේෂ බැඳීම, අන්‍යෝන්‍ය අවබෝධය, දිරිගැන්වීම මානව විමුක්තිය වෙනුවෙන් ජේසු තරුණයා ගෙන ගිය අරගලයට පන්නරයක් වන්නට ඇති බව නිසැකය.

යට කී සියලු ජීවන අරුත්, සමාජ දේශපාලනික අරුත් මනාව කැටි වන සේ මේ ගීතයෙහි අධ්‍යාත්මය වදන් බවට පත් කළේ මහින්ද නාමල් සොයුරා විසිනි. මහින්ද නාමල් විසින් රචිත, ගරු ඇන්ටන් ජයනන්ද පියතුමාගේ ස්වර සංරචනයෙන් අරුත් ගැන්වුණු, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හඬින් ගැයෙන මේ ගීතය හුදු ගීතයක අරුත ඉක්මවා, විශ්වීය හැඩරුවක් ගන්නේ එහි එන මානව විමුක්තිය පිළිබඳ පරිණත දැක්ම සමඟිනි. එය මරිය මව්තුමියගේ පාර්ශවයෙන්, එසේත් නැත්නම් පීඩිත මිනිසුන්ගේ අරගලය වෙනුවෙන් ස්වකීය පුත්‍රයා කැප කළ අම්මා කෙනෙකුගේ පාර්ශවයෙන් ලියැවී තිබීම වඩාත් හෘදයාංගම අපූර්වත්වයක් ජනිත කරයි.

ගීතයකට ජීවිතයක් ඇත. අනන්‍ය වූ ආත්මීය සුවඳක් ඇත. පද පෙළ අරුත, ස්වර සංයෝජනය, ගැයුම තුළින් මතුවනුයේ එකී ආත්මීය අනන්‍යතාවයය. එය විටෙක හදවත නිවා සනහාලන මිහිරි සුවයකි. භාවනාවකි. තවත් විටෙක හද මනස කම්පනය කරමින්, බුද්ධි කලම්බනයක් ඇති කරමින් ප්‍රඥාව දල්වාලන්නකි. ‘‘බාලොලි ලොලි ‘‘ ගීතය මේ සියලු රුව, ගුණ. සුවඳ කැටි කොටගත් සමාජ වගකීම විසින් මෙහෙයවන ලද අධ්‍යාත්මයකින් පැන නැඟි අපූර්ව නිර්මාණයක් බව මගේ හැඟීම ය.

ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය - මහින්ද නාමල්
තනු නිර්මාණය - ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා



5 comments:

  1. ජේසුස් වහන්සේ යුදෙව් සමාජයේ ඇති සම්ප්‍රදායයන් අනවශ්‍ය පරිදි විවේචනය කලා.
    මේ නිසා යුදෙව් සමාජය අවුල් වෙලා ඔවුන්ගේ ජාතිකත්වය බිඳවැටෙන තත්වයක් ඇතිවුනා.
    යුදෙව් ජ්‍යේෂ්ඨයන් මෙම තත්වය දැකලා තවත් බලාසිටින්නට නොහැකි තැන ජේසුස් වහන්සේට බොරු චෝදනාවක් නගා ඔහුව මරා දැමීමට කටයුතු කලා.
    ඔවුන්ට වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ. මන්ද ඒ වනවිට යුදෙව් රජු පවා යුදෙව් ජාතිය පාවාදී තිබුනා.
    රෝමානු ආණ්ඩුකාරයා ජේසු මරන්න කැමතිවුනේ නෑ. මන්ද ජේසු වගේ අය යුදෙව් සමාජය තුල සිටීම යුදෙව් ජාතිය පාලනය කිරීමට පහසුවක්.
    එවිට යුදෙව් පූජකවරු අපූරු ප්‍රකාශයක් කලා.
    "ඔහුගේ ලේ අප මතට වේවා"
    එහි අරුත ජේසු මරා දැමීම පාපයක් නම් තම ජාතිය වෙනුවෙන් ඒ පාපය කර තමුන් අපාගතවීමට සූදානම් බවයි.
    එම යුදෙව් පූජකවරු ජාතික වීරයන් පිරිසක්.

    දැන් බුද්ධාගම දෙසට හැරුනොත්.
    බුදුදහමට අනුව බුදුදහමට අනුව යුද්ධ කරනවිට අනිවාර්යයෙන්ම ප්‍රානඝාත අකුසලය සිදුවෙනවා.
    එසේනම් සිංහල ජාතිය වෙනුවෙන් සටන්කරන සිංහල බෞද්ධ රණවිරුවන් යනු ඉහත පූජකයන් මෙන්ම විශාල කැපකිරීමක් කරන හ්‍රේෂ්ඨයන් පිරිසක්.

    ReplyDelete
  2. යේසුස්වහන්සේ පළමුවැනි ප්‍රතිහාර්ය පාන්නේ තමන්ගේ අම්මාගේ ඉල්ලීමෙන්.ඒ අම්මා මරියා විශ්වාස කෙරුවා,දැනන් හිටියා තමන් බිහි කෙරුවේ දේව දරුවෙක් කියලා.යේසුස් වහන්සේ කුරුසිපත් වෙනකොට එතන හිටිය අම්මා යේසුස් වහන්සේ අයෙමත් මරණයෙන් උත්ථානය වෙන කොටත් ඒ විශ්වාසය ඇතිව හිටියා.
    ලස්සන සින්දුවක් තරු අක්කේ.දීපිකාගේ හඩ කොහෝමත් හරි මිහිරියිනේ.පද රචනයත්,සංගීතයත් ඒ වගේම මිහිරියි,අපුරුයි.

    ReplyDelete
  3. හරිම වටිනා අදහස් රැසක් ...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...