Thursday, May 18, 2017

පමා වී සමා අයදින මසිත අසරණය...

ඉටි පහනක් දල්වා ගත් දරුවෙක්...
පින්තූරය ලාල් ලක්ෂ්මන්

‘‘තරංගි නංගි ලිව්ව සුධාකරන්ගෙ කවිය ගැනත් මං කතා කරන්න කැමතියි විපුලි කතා කළ තැනින් චුට්ටක් එහාට.  වරදකාරී හද රිදුම, දැන් මේ හෘද සාක්ෂිය රිදෙන එක නම් හොඳයි. රිදුන්නැති එක ලොකු ගැටළුවක් තමයි.  පසුව හෝ රිදෙන එක හොඳයි. මම මේ කවියට ආදරය කරන්නෙ මුල්ලිවයික්කාල්වලින් පසුව හෘද සාක්ෂියක සටහනක් විදියට. අපි දන්නවා මුල්ලිවයික්කාල් කියන්නෙ අපේ රටේ සංකේතයක්.

යුද්ධය ආරම්භ වන මුල්භාගයේ මට මතකයි අපේ රටේ කවියො, ගීත රචකයො මහා මානව දයාවකින් ඒ ගැන ලිව්වා. හැබැයි යුද්දය අවසන් වුණායින් පස්සෙ ඒ ප්‍රේම කවි හුඟක් නැති වුණා. ප්‍රේමයත් මට පේන්නෙ නන්දිකඩාල් කලපුවෙ ගිලුණා වගේ. මොකද එතකන් අපට පේනවා උතුරු දකුණු ප්‍රේම ගීත තොගයක්. පිච්ච මල් සුවඳ ගැන, 83 ගැන අපේ මහා කවියා රත්න ශ්‍රී කියනවා ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්, රත්න ශ්‍රී ගෙ සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී.. ඒවා විශිෂ්ට නිර්මාණ. හැබැයි ඒ නළලේ තිලක තියන කිරිල්ලි නැතිවුණායින් පස්සෙ ගීතයක් උපදින්නෑ. නළලේ තිලක තියන කිරිල්ලිව එහෙට ගිහිල්ල හමුවුණාම ( ඈ නඩේසන්ගෙ බිරිඳ. ඈ සිංහල කාන්තාවක්) ඇය හමුවුණාම එදා ඇතිවෙනවනෙ කම්පනයක්. ඒ කම්පනයෙන් ඒ ගීතය ලියවෙනවා. නමුත් ඊට වඩා ප්‍රබල කම්පනයක් ඇති වෙන්න ඕන නැද්ද ඒ නළලේ තිලක තියන කිරිල්ලි යුද්ධය අවසානයෙදි අහිමි වුණාම. එතකොට අපට කොච්චර කම්පනයක් ඇති වෙන්න ඕනද? එතනදි ලංකාවෙ කවි සිත, කලා සිත එක තැනක ගල්වෙනවා.

මේ කවියට මං කැමති වෙන්නෙ අන්න ඒ ගල් හිත දැන් ටික ටික හරි බුරුල් වේගෙන එනවා කියන අදහසින්. ඒක හොඳයි. ඒක අවශ්‍යයි. සංහාරයෙන් පසු ලියවෙන කවි කියල සත්හඬේ කවි පිටුවක් යනවා. ඒකෙ විවිධ අර්ථයන් තියෙනවා. මෙතනදි මේ සුධාකරන් කියන දෙමළ දරුවා, යෞවනයා ගැන හිතල තමයි ඇය මෙහෙම කියන්නෙ.

දෑස් ගැඹරෙහි කෙවෙන මැතිරිල්ල
විස හී සර හිතේ ඇමිණිල්ල
දෙදරවා ළය මවා කැළඹිල්ල
උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල...

තරුණයව යුද්ධයට පසු දකිනකොට, ‘අනේ මේක ඉවරයි‘, ‘යුද්දෙ ඉවරයිකියල අපි යම් සැනසිල්ලක උන්නනෙ, ඒ සැනසිල්ල උදුරගන්නවා. ඇත්තටම එහෙම සැනසෙන්න පුලුවන්කමක් නෑ මේක අස්සෙ. මෙලෝ සැනසිල්ලක් නෑ. මොකද යුද්දයට හේතු වෙච්ච කාරණා තාමත් එසේම තියෙනවා. ඒ බවට සාක්ෂිකාරයො තමයි දැනට ඉතුරු වෙලා උතුරෙ ඉන්න හැම කෙනෙක්ම. ඒ නයින් පාර දිගේ ගිහිල්ල නටබුන් බැලුව කාගෙවත් සැනසිල්ල කැඩුණෙ නෑ. දකුණෙ ඉඳන් උතුරට ගිය ආතල් කැඩුන්නෑ. ඒගොල්ලන්ට ආතල් ම තමයි ලැබුණෙ ඒ පාර දිගේ ගිහිල්ලා. 

නමුත් ඒ පාරෙන් එහාට ගිහිල්ල සුධාකරන්ල හමුවෙනකොට, අනූදාහක් වැන්දඹුවො හමුවෙනකොට ඇත්තටම ආතල් කැඩෙනවා. ඒගොල්ලන්ව හමුවෙන්න ඕන, එතකොට තමයි මේක කැඩෙන්නෙ. දැනෙනවා ඒ ප්‍රශ්න එහෙම ම තියෙන බව. ආයෙ අපට යුද්ධයක් එන්න පුලුවන්. උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ලදකුණේ සමාජය, සිංහල සමාජය යම් සැනසිල්ලක් ලැබුව නම් ඒ සැනසිල්ල උදුරගන්න සැනසිල්ලක් බවට පත්වෙනවා මේකට අදාළ ඊළඟ වැඩ ටික උනේ නැත්නම්. ඒ නයින් කාපට් පාරෙ නටබුන් හෝ ඒ විශිෂ්ට ජයග්‍රහණයේ සැමරුම්, සුන්දරත්වය බලන්න යන මිනිහෙක් කිසිවක් දකින්නෙ නෑ. නමුත් කවියෙක්ට ඒ දුර යනකොට එයාට දකින්න පුලුවන් බොහෝ දේ තියෙනවා.‘‘

- මහින්ද නාමල් - තරු ඇස් රහස් කතිකාවේදී (2016.06.05 මීගමුව)


වරදකාරී හද රිදුම
==========

සුධාකරන්

දෑස් ගැඹරෙහි කෙවෙන මැතිරිල්ල
විස හී සර හිතේ ඇමිණිල්ල
දෙදරවා ළය මවා කැළඹිල්ල
උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල...

මාවිල් ආරු නෙත් වසා ලූ ඇසිල්ලේ
නොනිදා රෑ තුන්යමේ තුන් සිතම දැවිල්ලේ
දුරකථන සුසුමටත් ඇසිපියන් සෙවිල්ලේ
සුසුම් ගිනි මැවී ඇස් බොඳවුණා ඇසිල්ලේ...

ඇමිණිලා තිබූ හිත සොල්දාදු හදවතක
නිවී යුද ගිනි සිනා මැවෙන දින ගැන්නාට
උතුරුකර ගිනි හුළඟ මුසුව ආ විලාපෙක
කඳුළු කැටි කැටි වැටී ළය තෙමුණි සීරුවට...

කාකි නිල කබායේ තරු කුමට මගෙ ලොවට
හදේ තෙත මුදනු මිස ගිනි හුළඟ නිවෙන්නට
දිනපතා මතුරනා ජපමාල පන්තියට
ඉහිරුණිද මෙත් සිහිල අවි දැරූ දෑතකට...

ඒත් මට දැනෙන්නෙම වැරදියි වගේ මම...  

ඇද වෙවී මුව ඇදෙන සිනා ඉර බියකරුය
ගින්දරයි ඇසේ තෙත ලෝ දියක පෙරහුරුය
සන්සුන්ව දිගු කරන සුරත සීතල දැඩිය
පමා වී සමා අයදින මසිත අසරණය...


තරු ඇස් රහස් 42-43 පිටු


ඒ කතාවෙන්ම තවත් කොටසක්...


‘‘කාලය ඉක්මගිහින් නිසා අපි කතාබහට ඉඩදෙමු. මම තවත් කවි කිහිපයක් ගැන කතා කරන්න හිතුවා. නමුත් කාලය ඉක්ම ගිහින් නිසා එය අත්හරිනවා. මම කතා කළේ එක් විෂය ධාරාවක කවි නිසා ඉතාම පෞද්ගලික අනුභූතියක් ගැන කතා කරන්න හිතුවා. අපට මේ සමාජයෙන් වෙන්වෙන්න බෑ කියන එක පෙන්වන පුංචි කවියක්.

මැයි මහේ මල් වැස්ස අදත් ඇද හැලෙනවා
ගාලු මුවදොර පිටියෙ ඔබත් ඇති හිතෙනවා
ඇසිල්ලක හෝ ඒවි දෑස් මඟ බලනවා
අපි අපේ නොවන බව ඒත් හිත දන්නවා

මේක අතිශය පෞද්ගලික කාරණයක්. ගාලු මුවදොර පිටියෙ විජයග්‍රහණයේ යුද සැමරුම තමයි තියෙන්නෙ. පෞද්ගලික සම්බන්ධයක් තියෙන තමන් ආදරය කළ කෙනෙක් එතන ඉන්නවා. සොල්දාදුවෙක්. නිමිත්ත තමයි ඒක. ඇසිල්ලක හෝ ඒවි දෑස් මග බලනවා. ඇය යනවා ගාලු මුවදොර පිටියෙ මේ සැමරුම බලන්න. එයා යන්නෙ යුද ජයග්‍රහණය සමරන්න නෙවෙයි. එයා ආදරය කළ කෙනා ඇසිල්ලක හෝ මේ පෙරෙට්ටුවෙ ගමන් කරයි, දකින්න ලැබෙයි වගේ බලාපොරොත්තුවක්.

රුහිරු කඳුළැලි ගඟක පාවෙලා ආ ජයට
ආ වඩන සැමරුමක නැගුණ වෙඩි හඬ සැරට
විඩාපත් වත පිපුණි වැහි අඳුරු අහස යට
නිලැති නිල ඇඳුමෙ තරු දිලිසුණා ස්නේහයට...

මේ යන ආදරවන්තිය දන්නවා මේක විජයග්‍රහණයක් නෙවෙයි. ඒ නිසා මම එන්නෙ නෑ මේක බලන්න නෙවෙයි, පෞද්ගලික ජීවිතේ කාරණා අස්සෙ ඇයට ඔහුව දකින්නත් ඕන. මං කියන්නෙ මේ දෙක අතර තමයි මනුෂ්‍යත්වය තියෙන්නෙ. මනුෂ්‍යත්වයේ ගැටුම තියෙන්නෙ. ඇය එය බලන්න යන්නෙ මහ විජයග්‍රහණයට ආවඩන්නියක් ලෙස නෙවෙයි. මං මෙතනදි කියන්න උත්සාහ කළේ අතිශය පෞද්ගලික අනුභුතීන් පවා සමාජයේ පොදු අත්දැකීමෙන් තොරව විවරණය කරන්න බෑ කියන එක. ‘මම කියන්නෙ මුළු සමාජයමයි. ඒකෙන් තොරව ‘මම කෙනෙක් හොයනවනනම්  අපිට ඇත්ත මම කෙනෙක් ලැබෙන්නෙ නැහැ. ‘‘


15 comments:

  1. අද උදේ එක පුද්ගලයෙක් කිව්වා "බලන්න අද යුද්ධයක් ඉවර වෙච්චි දවසක් කියලා කාටවත් මතක නැහැනේ" කියලා.ඔහු එක කිව්ව විදියට මම කැමතියි.නැතිනම් සමහරු කියන්නේ "අද යුද්දේ දින්න දවස" කියලානේ.යුද්දේ දින්නේ නැහැ යුද්දේ ඉවර වුනා විතරයි කියලයි මම හිතන්නේ.

    යුද්දේ පටන් ගන්නකොට යුද්දේ ගැන සංවේදී වෙච්චි මිනිස්සු ඒ යුද්දේ ඇවිලිලා යනකොට වගේම යුද්දේ ඉවර වුනාට පස්සේත් ඒ පශ්චාත් යුධ සමය සංවේදී වුනේ නැහැ කියලායි මටත් හිතෙන්නේ.එහෙම සංවේදී වෙන්න බැරි වෙන්න ගිය ආණ්ඩුවෙන් මිනිස්සුන්ගේ චින්තනයට බැරියර් පවා දාලා තිබ්බා.

    //මැයි මහේ මල් වැස්ස අදත් ඇද හැලෙනවා
    ගාලු මුවදොර පිටියෙ ඔබත් ඇති හිතෙනවා//

    මේ කවියේ මේ මුල් පද දෙක කියවනකොටම මතක් වුනේ සෝමතිලක ජයමහාගේ "එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා"කියන ලස්සන සින්දුව.

    ReplyDelete
    Replies
    1. එදා වගේම අදත් දෝරෙ ගලන්න වහිනවා කොළඹට...

      යුද්දෙ ඉවරවුණා.. ප්‍රශ්න එහෙමම තමයි මල්ලී...

      Delete
  2. යාළුවෙක්ව කොනිත්තලා සෙල්ලම් බඩුවක් උදුරාගත්ත වගේ තමයි මගේ නම් හැඟීම මේ ත්‍රස්තවාදය නිමාවීම නම්. ඇයි අපිට තාමත් ඒ සෙල්ලම් බඩුව බෙදාහදාගෙන සෙල්ලම් කරන්න බැරි? මගෙන් ඒක උදුරගන්න ඕනේ කියල ඌට කවුද ඉගැන්නුවේ?

    'සිහලු අපේ දෙමලු අපේ - මුස්ලිම් මිනිසුනුත් අපේ
    උන් කඳවුරු බඳින දිනේ - පරයින්ගේ බොටුව කැපේ
    අනාථ රට සනාත වෙයි....'

    ReplyDelete
  3. අදත් හරි වැස්ස.. හ්ම්ම්ම්

    ReplyDelete
  4. ප්‍රශ්නය ඉවරයක් වුනේ භෞතිකව විතරයි. උතුරේ උඩු දුවපු ප්‍රශ්නය විසඳන්න තව හුඟක් කල් යයි. දකුණ තවමත් කියන්නේ එහෙම එකක් තිබුනේ නැහැ කියල නිසා.

    ReplyDelete
    Replies
    1. සංහිඳියාව තාමත් වචනයක් විතරයි.

      Delete
  5. අනික නංගි සයිටම් වගේ ඉතා වැදගත් ප්‍රශ්නයක් තියෙද්දී ඔයා මොනවා කතා කරනවද මන්ද ? අර යාපනේ විශ්ව විද්‍යාලයත් සපෝර්ට් ඒකට.

    ReplyDelete
  6. මා ලියූ ගීතයක් අද පළ කරන්නම්!

    ReplyDelete
  7. මට තාම මතකයි කැලණි තිස්සට කොටි උඩින් ඇවිත් බෝම්බ දාපු වෙලාව. අපොයි අපි බයෙන් හිටියේ අපේ බෝඩිමටත් වැටෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. උඩින් ගොසින් දමනා විට බෝම්බය
      යටින් ඉන්න උන්ටයි ඒ විනාසය
      සැනින් ඇසේ මර හඬ දුක් විලාපය
      කොළොම්තොට ද කිලිනොච්චි ද සමානය

      Delete
    2. ඇත්ත අයියේ... උඩින් ගිහින් බෝම්බ දාන ඒ පිරිිසෙන් කෙනෙක්ආ පහු පරිස්සමට ආවද කියල බයෙන් ගැහි ගැහී උන්නු කාලෙකුත් තිබුණා. කොයි වෙලේ හරි ඇවිත් ඇමතුමක් දෙනකල් නිදි නැතිව ගෙවුණු රෑ කාලවල් තිබුණා. ඒක විඳ දරාගන්නට අමාරු හෘද සාක්ෂියත් එක්ක මහා ගැටීමක් ඇති වුණු දුෂ්කර කාලයක්...

      Delete
  8. ඒ කාලේ මතක හුඟක් ඇවිස්සුන ...අගේ ඇති ලිපියක්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...