පිටු

Tuesday, May 23, 2017

දැය දිනුමට පැද යන නැවියා...

Haruyo Morita ගේ ජපන්  සිතුවමකි... 

කෘෂි සංචාරක කර්මාන්තය මට එතරම් සමීප මාතෘකාවක් වුණේ නැහැ. නමුත් 2011 වසරේ ‘එක ගමක් - එක නිෂ්පාදනයක්‘ OVOP - One Village One Product සංකල්පය ගැන අධ්‍යයනයක යෙදුණු ඔයිටා පළාතේ  දින තුනක සංචාරය අතරතුර අපූරු අත්දැකීම් රැසක්ම ජීවිතයට එකතු වුණා. මේ ගැන ලිවීම අතපසු වෙලා තියෙද්දි කොළඹ ගමයගේ ගොවිපළක සංචාරය ගැන පළ වෙන ලිපි පෙළ ‘ලියනු.. ලියනු‘ කියල හිත කොනහන්න ගත්තා.

ජපානයේ කියුෂු දූපතේ එක් පළාතක් ( Prefecture) තමයි ඔයිටා. අපි ශිකොකුවල ඉඳල කියුෂු ගියේ ෆෙරි එකක. ෆෙරි කියන්නෙ කුඩා ප්‍රමාණයේ නැවක් කියලයි මං හිතන්නෙ. ඒකත් සුන්දර අත්දැකීමක් ජීවිතේ පළමුවරට විඳින්නට ලැබුණු.  






බස් රියෙන්, නැවෙන් සහ නැවතත් බසයෙන් දවසක වෙහෙසකර ගමනක් අවසානයේ අපි හැන්දෑවෙ පහට විතර ඔයිටාවල OVOP ප්‍රධාන කාර්යාලයට ආවා. ගිමන් හරින්න ලැබුණු පුංචි කාලයකින් සහ හරිත තේ කෝප්පයිකින් පසුව හරියටම හයට සමාරම්භක වැඩසටහන පැවැත්වුණා. ජපානය එහෙමයි. වැඩේට තමයි මුල් තැන. කාලය ගැන සැලකිලිමත්. ‘අද මහන්සියි හෙට කරමු.‘ එහෙම කතා නැහැ.





සමාරම්භක වැඩසටහනේ මුල්ම කතාව කළේ OVOP වැඩසටහනේ නිර්මාතෘ මොරිහිකෝ හිරමට්සු මහත්මා.1978 වසරේ මොරිහිකෝ හිරමට්සු (  Morihiko Hiramatsu ) ඒ පළාතේ ආණ්ඩුකාරවරයා වෙද්දි ඔයිටා කියන්නෙ ඉතාම දුප්පත්, දුෂ්කර පළාතක්. කාන්තා ප්‍රතිශතය වැඩියි. ඔහු ඔයිටා දියුණු කරන්න උපරිමයෙන් කැපවෙලා වැඩ කළා. ඒ එක් ප්‍රයත්නයක් තමයි OVOP - One Village One Product සංකල්පය. ගමින් ගමට අනන්‍ය වූ කෘෂි නිෂ්පාදන, අත්කම්, චිත්‍ර, කැටයම් මූර්ති වැනි සාම්ප්‍රදායික කලා නිර්මාණ අගය වටිනාකමක් එකතු කරල වෙළඳපළට නිකුත් කරන්න ජනතාව ධෛර්යමත් කළා. 

ජනතාවගේ ශ්‍රමයට මුල් තැනක් දුන්නු මේ වැඩසටහන දියත් වුණේ බොහෝ විට සාමූහික ක්‍රියාකාරකම් ලෙස. මේ සඳහා දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය වගේ මූලික පහසුකම් රජය මගින් ලබා දුන්නා. රජය සම්බන්ධීකරණ කටයුතු කළා. නමුත් මූලික වගකීම පැවරුණේ ගමේ ජනතාවට. ජනතාව රජය මත යැපුණෙ නැහැ වගේම, රජය අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම, මූලික පහසුකම් සැලසීම මිස ජනතාවට උඩින් සිට සහන සැපයීම වැනි වැඩක් කළේ නැහැ. මේ වැඩසටහනේ ඉතාම වැදගත් දෙය දෙපයින් නැගී සිටින්නට අවශ්‍ය දිරි දීම කියල මං හිතන්නෙ.


Add caption



අපේ වැඩමුළුවෙ ආරම්භක කතාව කළේ ඒ ආණ්ඩුකාරවරයා. ඒ වන විට ඔහු 87 වියැතියි. ඔහු අට වතාවක් ඔයිටා පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වෙමින් වසර 24 ක් එම තනතුරේ සේවය කරල තියෙනවා. ජපානයේ වැඩිම කාලයක් ආණ්ඩුකාර තනතුර දැරූ පුද්ගලයා විදියටයි හැඳීන්වුණේ.  

‘‘බාහිරින් එන ව්‍යවසායකයො පාඩු ලබද්දි ගම අත්හැරල යනවා. නමුත් ගමේම සම්පත්, ශ්‍රමය, කැපවීම තුළ ගොඩනැගෙන ව්‍යාපාර පවතිනවා. ඒවට ගමෙන් එහාට ජාත්‍යන්තර මට්ටම දක්වාම වුණත් වර්ධනය වෙන්න පුළුවන්. එදාට වඩා තාක්ෂණය දියුණු අද කාලෙ ඒකට ලොකු ඉඩක් විවෘත වෙලා තියෙනවා. නිෂ්පාදනවලට අගය වටිනාකමක් එක් කළ යුතුයි. මිනිස්සුන්ට අවශ්‍ය දැනුම ලබා දිය යුතුයි. ග්‍රාමීය ප්‍රදේශවල පුහුණු පාසල් ඇති කළ යුතුයි. තරුණ පරපුර දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ගම දියුණු කරන්න ඕන ගමේ සම්පත් සහ ගමේ ශ්‍රමය... රජය විදියට අපි ඒකට අවශ්‍ය මඟපෙන්වීම සහ ශක්තිය වෙන්න ඕන...‘‘

මොරිහිකෝ මහතාගෙ කතාවෙ කොටසක් එය.  OVOP වැඩසටහන ආරම්භක සමයේ මුහුණ දුන්න ගැටලු, කඩාවැටීම්, ඒ වගේම සාර්ථකත්වය, ක්‍රමයෙන් පළාත සංවර්ධනය වීම ගැනත් ඔහු කතා කළා.

OVOP වැඩකිරීමේ පරමාදර්ශ විදියට ඔවුන් සලකන්නේ මේ කාරණා.

Think globally - Act Localy
Independence and Creativity

මුල් කාලයෙදි ආණ්ඩුකාරවයා පැය 24 ම වැඩ කරලා තියෙනවා. සියලුම ප්‍රාදේශීය රාජ්‍ය ආයතන එයට පූර්ණ සහයෝගය දෙමින් එක් වෙලා. මේ කියන කාලය ඔයිටා කියන්නෙ ප්‍රවාහන, සන්නිවේදන, තාක්ෂණික වගේ පහසුකම් අවම වූ නොදියුණු දුෂ්කර පළාතක්.

OVOP වැඩසටහනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරල තියෙන්නෙ කාන්තාවන්. ගම්වල ඇති කළ කාන්තා කණ්ඩායම් තමයි තමන්ගෙ ගම්මානයේ නිෂ්පාදන අගය වටිනාකමක් එකතු කරල වෙළඳපළ දක්වා ගෙන යන වැඩකොටස ඉටුකළේ. එක් එක් කාලවලදි ගම්වල හැදෙන එළවළු, පළතුරු මේ විදියට කාන්තා කණ්ඩායම් අතින් සකස් වෙලා වෙළඳපළට යැවුණා. මේ කතන්දරේ අහන් ඉද්දි මට මතක් වුණේ අපේ රටේ කාලෙන් කාලෙට ගස් යට වැටිල නාස්ති වෙලා යන කොස්, දෙල්, අඹ, දෙහි, කොමඩු වගේ පළතුරු... එළවළු...



පිං පඩි දීමට එහා ගිහින් මධ්‍යම සහ පළාත් ආණ්ඩු මිනිස්සුන්ව ඒකරාශි කරල මේ වගේ නිෂ්පාදන ක්‍රියාවලියක් හදන්න මූලික පහසුකම් ලබා දෙනවනම් කොයි තරම් හොඳද? දැනටමත් ලංකාව පුරා ස්වශක්තියෙන් මෙවැනි වැඩවලට අත ගහපු මිනිස්සු ඉන්නවා. ඒ අයට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් වෙළඳපල සම්බන්ධතා ගොඩනගාගන්න උදව් කරන්න පුලුවන් නම් හොඳයි. දෙවෙනි ලෝක යුද්දයෙන් නැත්තටම නැති වුණු ජපානය ගොඩනගන්න මධ්‍යම රජය සහ පළාත්, ප්‍රාදේශීය රාජ්‍ය ආයතන කැපවෙලා තියෙන්නෙ අන්න ඒ විදියට.


මේ තියෙන්න මුරුක්කු හදන තැනක්. ඒවයේ නම ‘‘කරින්තෝ‘‘. පටන් අරගෙන අවුරුදු 27 ක් 2011 වෙද්දි. ගෘහණියන් විදියට ඉතාම දිළිඳු අඩියක හිටි කාන්තාවන් කුඩා කණ්ඩායම් විදියට එකතු කරල විවිධ නිෂ්පාදන පටන් අරගෙන තියෙනවා. මේ කරින්තෝ නිපදවීම අදටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගමේ ගෙවිලියන් 07 දෙනෙක් තමයි මේ තැන පවත්වගෙන යන්නෙ. ඔවුන් සේවා මුර ක්‍රමයට මෙහි වැඩ කරනවා. ආදායම සමව බෙදා ගන්නවා. ආදායම බෙදාගනිද්දි වැඩ කළ පැය ගණන සැලකිල්ලට ගන්න බවයි කියවුණේ. 

ඒ වගේම පාසල් සිසුන්ට පැමිණ වැඩ කරමින් අත්දැකීමක් ලබන්නත් අවස්ථාව සලසල තියෙනවා. මේ කාන්තා එකමුතුවට පැවරිලා තියෙන තවත් කටයුත්තක් තමයි ගමේ මහලු අය ගැන සොයා බැලීම, ඔවුන් රැක බලා ගැනීම. ඒ වගේම ආගමික කටයුතු සංවිධානය. මේව ව්‍යාපාරික කටයුත්තට අමතරව ඔවුන් ඉටුකරන පොදු සමාජ සත්කාරයන්... 
  
මුරුක්කු වර්ග තුනකින් ආරම්භ කරල දැනට වර්ග 10 ක් නිෂ්පාදනය කරනවා. ඒවායේ විශේෂත්වය තමයි කෘතිම රසකාරක, වර්ණකාරක භාවිතා නොකිරීම. හැම අමුුද්‍රව්‍යයක්ම සපයා ගන්නෙ තමන්ගෙ වගාවෙන්. ඔවුන් වර්ණ ගන්වන්න යොදාගන්නෙ හරිත තේ, කෝපි, බ්ලූ බෙරි, වට්ටක්කා වගේ දේවල්. රස ගන්වන්නෙ සීනි, මී පැණිවලින්. 

ඔවුන් තමන්ගෙ නිෂ්පාදන OVOP ආයතනයට භාර දෙනවා. අලවි කටයුතු සිදුවෙන්නෙ එතනින්.

‘‘අපි නිතරම විශ්වාස කරනවා අපේ කරින්තෝ තමයි හොඳම. පාරිභෝගික තෘප්තිය අපේ ආදායම..‘‘ එදා අපට හමු වූ වතනබේ තෙරිකෝ සන් තමන්ගෙ ව්‍යාපාරය ගැන කිව්වෙ එහෙම.


වර්ග දහයක කරින්තෝ නිෂ්පාදන
එක් අයකුට, එක් වරකට රස විඳිය හැකි ප්‍රමාණයෙන් ඇසුරුම් කර තිබෙනවා.

පුහුණු වැඩමුළුවෙ ආරම්භක දේශනය කළ මහාචාර්යවරයා කිව්වෙ ‘අපේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත්. ඒ නිසා දේශපාලනයේ මොන විදියෙ වෙනස්කම් වුණත් ජපානය  වැටෙන්න ඉඩක් නැහැ‘ කියලයි. මේ කතාවෙ කොයිතරම් දුරට ඇත්තක් තියෙනවද කියල නම් මම දන්නෙ නැහැ.

කෘෂි සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ජපානයේ ගොවි ගෙදරක ලැබූ අත්දැකීම ගැන මීළඟට තමයි ලියන්න වෙන්නෙ. ලියන්න පටන් ගත්තෙ ඒ ගැන වුණත් පොඩි පඳුරු තැලිල්ලක් තමයි සිද්දවුණේ.  

21 comments:

  1. මේවගේ කථා කියවන්න ලැබෙන එකත් හිතට සහනයක්. බොහොම ස්තූතියි තරු රසී

    ReplyDelete
    Replies
    1. මේ දේවල් අහද්දි, දකිද්දි දුකක් දැනෙනවා, මේ තරම් සම්පත් තියෙන අපේ රටේ දියුණුව වෙනුවෙන් මිනිස්සු එකමුතු කරන්න බැරි ඇයි කියල... පක්ෂ දේශපාලනයයි, ප්‍රතිපත්තිගරුක දේශපාලකයන් නැතිකමයි මේ විනාසෙට මුල කියල මට හිතෙන්නෙ.

      Delete
    2. මම ඒකෙ අනික් පැත්ත. ලෝකෙ කොහෙ හරි හොඳ දෙයක් වෙනවනම් මට සන්තෝසයි.

      Delete
  2. අයි අයියෝ අපි දන්නෙවත් නෑනෙ මේ ළඟටම ඇවිත් ගිහින්නෙ.
    ඔය ශිකොකුවලට ටිකක් ඉහලින්නෙ අපෙ ඒරියල් එක.

    ReplyDelete
    Replies
    1. 2011 නෙ ආවෙ. ඒ කාලෙ මං බ්ලොග් ලියන්නෙ නැහැ. මගේ පුංචි සටහන් පොතටයි, පින්තුර එකතුවටයි පින්සිද්ද වෙන්න මේ තොරතුරු තාම හිතේ ඇඳිල තියෙනවා. ඒ කාලෙ බ්ලොග් එක තිබුණ නම් දවසට එක ලිපිය ගාණෙ ලියන්න තිබුණා...

      අපි ඔසාකාවලින් තමයි ශිකෝකුවලට ගියේ... ඔයාල කොහෙද ඉන්නෙ...

      Delete
  3. අර මම කියුවේ රත්නපුරේ වැඩේ.. ඒකත් මේ වගේම ලොකු ප්‍රොජෙක්ට් එහෙක කොටසක්නේ.. ගමේ මිනිස්සුන්ට වෙළඳපලක් හදල දෙන්න තමයි කරන්නේ.. ඔයාට පුළුවන් ඕනෙනම් ඒකට මග පෙන්වන්නියක් විදියට එකතු වෙන්නත්.. අත්දැකීම් තියාගෙන හැංගිලා ඉන්න දෙන්න බෑනේ.. :)

    ReplyDelete
    Replies
    1. මම මේ පුහුණුව අවසානයේ කළේ Love green - Enjoy Farm life කියල ප්‍රසන්ටේෂන් එකක්. අනික අපි ගිය තවත් ගමනක් අවසානයේ ඒ ගම සම්බන්ධ කරගෙන අපේ පොජෙක්ට් එකක් ප්ලෑන් කරන්න කිව්වම මම කළේ River Tourism ප්‍රොජෙක්ට් එකක්... ඒව ඉතින් හීන වගේ ලස්සන වුණත් කරන්න පුලුවන් මරු වැඩ. ඔයා වැඩේ පටන්ගන්නකො අනිවාර්යයෙන් උදව් කරනවා... මමත් ආසම වැඩක්... ඒකනෙ උනන්දු කළේ.

      Delete
  4. ඕනෑම ඛේදවාචකයකට පස්සේ නැවත නැගී සිටීමට අවස්ථාවක් එනවා.ලෝක යුද්ධ දෙකකින් හෙම්බත් වෙච්චි බටහිර රටවල් වගේම දකුණු කොරියාව,චීනය,ජපානය වගේ රටවල් ඒ අවස්ථාව හරියට යොදා ගත්තා ආයෙමත් නැගිටින්න.සමහරවිට ඒ ඛේදවාචකයට මුහුණ දෙද්දී හිටියාට වඩා හොඳට ඔවුන් දැන් ඉන්නවා.ලංකාවේ අපිටත් ඒ වගේ ලැබිච්චි අවස්ථා කියක් නම් මගහැර ගත්තාද ?

    ReplyDelete
    Replies
    1. මේ මොහොත වන විටත් ඒ වගේ වටිනා අවස්ථාවක් මඟහැරගනිමින් ඉන්නවා...

      Delete
  5. රසවත් ලෙස ලියූ අත්දැකීම් අපූරුයි.

    ReplyDelete
  6. මොන තරම් වටිනා දේවල්ද...ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න නංගි

    ReplyDelete
    Replies
    1. මේ එකම ගමනෙ වුණත් තවත් අත්දැකීම් රැසක් තියෙනවා අක්කේ.. එකින් එක ලියන්නම්.

      Delete
  7. +++++++++
    The map looks very interesting.

    ReplyDelete
  8. මේ පුහුණු සැසියෙන් පසුව මේ වගේ දේ අපේ රටට ආදේශ කරන්න ක්‍රමවේද තිබුණේ නැතිද?

    ReplyDelete
    Replies
    1. ආයතන මට්ටමින් කිසිම ඉඩක් ලැබුණෙ නැහැ. නමුත් වෙනත් සමාජ වැඩවලදි මට මේ දැනුම සහ අත්දැකීම්වලින් වැඩක් කරන්න අවස්ථාව ලැබුණා.

      මේ පුහුණුවෙන් පස්සෙ මං ආයෙම කිසිම විදෙස් පුහුණුවක් ඉල්ලුම් කළෙත් නැහැ නලින් අයියෙ... ඒක ඇත්තටම අපරාධයක් කියල හිතුණ නිසා... මම මේ ගැන කළින් ලිපියකත් ලිව්වා.

      Delete
    2. මං අහන්න ආපු ප්‍රශ්නයත් මේකමයි!

      Delete
  9. ලංකාවෙ මුස්ලිම් මිනිස්සු මේ වගෙයි. අපි හිතනවා මුස්ලිම් කාන්තාවෙ ඉහේ හිටං ලෝගුව පොරවගෙන ගෙට වැදිලා ඉන්නව කියලා. නමුත් ඇත්ත කතාව නම් ඔවුන් තමයි වැඩියෙන්ම මේ රටේ රසකැවිලි, කොට කෑම ජාති හදන්නෙ. කාන්තාවො හදන එව්වා පිරිමියා ගෙනිහිං විකුණනවා. ලංතාවෙ මේ ක්‍රමය ඇතිවෙන්න වෙන්න ඕනැ දේ මේ ලිපියෙ අගම ඡේදයෙ ලියවෙලා තියෙනවා. ඒ නැතත් අපිම සංවිධානය වුනොත් කුඩා පරිමාණයෙන් මේ වැඩ කරගෙන යන්න පුළුවන්. එව්වා දවසකදි ලොකු දෙයක් වෙයි.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...