පිටු

Friday, June 8, 2018

එය වේදනාකාරීයි තමයි ඇත්තටම....


Her, Him, The other පූර්ව ප්‍රචාරක දැන්වීමක්...

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම ත්‍රිමූර්තිය විසින් නිර්මාණය කළ ‘‘තුන්දෙනෙක්‘‘ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ප්‍රදර්ශනය වූ දා අශෝක හඳගම කථා කළ අවස්ථාව...

..........

‘‘අපි යුද්දය මොකුත් සිද්ද නොවුණා සේ අමතක කරන්න හදනවා. එහෙම යුද්දයක් තිබුණෙ නෑ වගේ ඉන්න හදනවා. හැබැයි ඒ අමතක කිරීම් ඇතුළෙ, යටකිරීම් ඇතුළෙ අපි විශාල ගිනි පුපුරක් යට කරනවා. ඒ ගිනි පුපුර නිවල දාන්නෙ නැතුව යටකරල දානවා. ඒක තමයි ඇත්තටම අපි පහුගිය කාලෙ අත්වින්දෙ. යුද්දෙ ඉවරවෙලා දශකයක් ගෙවෙන්නත් කළින්, ඒ යුද්දය පටන්ගත්ත මූලික ආකෘතියෙ ගැටුම් ටිකක් මේ රටේ නිර්මාණය වුණා. අම්පාර, තෙල්දෙණිය. යටගැසීමේ ප්‍රතිඵලය තමයි ඒ.
උදාහරණයක් හැටියට යුද්දෙ ඉවරවෙලා දැන් අවුරුදු දහයක්. තව දහයක් යන්න ඕන නෑ, පහක් ගියාම යුද්දයේ අත්දැකීම් නැති, පොඩ්ඩක්වත් අත්දැකීම් නැති තරුණ පරම්පරාවක් මේ රටේ ඉන්නවා. යුද්දය කියන්නෙ එක්තරා හේතුවක ඵලයක් විතරනෙ. මේ ඵලය තමයි කඩල දාලා තියෙන්නේ. නමුත් ගහ එහෙම්මම තියෙනවා. ඒ ගහ ගළවල දැම්මෙ නැත්නම් මේ ඵල නැවත නැවත හට ගැනීමට නියමිතයි.

ඇත්තටම මේ චිත්‍රපටිය සංහිඳියාව පිළිබඳ චිත්‍රපටයක් නෙවෙයි. සංහිඳියාව මේ රටට ඇවිල්ල තියෙනවා අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉම්මු කියන පණිවිඩය ගේන චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපටය මේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන ප්‍රශ්න කරන චිත්‍රපටයක්. ඇයි අපිට සංහිඳියාව ඇතිකරගන්න බැරි වෙලා තියෙන්නෙ කියන ප්‍රශ්නය එකක්. අනෙකාව තේරුම් නොගන්නා තාක්කල් මේ විදියට ප්‍රශ්නය ජයගන්න හම්බවෙන්නෙ නෑ. මේ චිත්‍රපටය හරහා අපි ප්‍රශ්නය යට ගහන්න නොදී ප්‍රශ්නය අභිමුඛ වෙන්න අරිනවා. එතකොට එය වේදනාකාරීයි තමයි ඇත්තටම. වේදනකාරීයි තමයි, ඒ තුවාලය පෑරෙනවා තමයි. නමුත් පාරල තමයි හොඳ කරන්න වෙන්නේ. පාරල හොඳ කළේ නැත්නම් ඒක යටින් කුණු වෙනවා. ඊට වඩා දරුණු ව්‍යාධියක් විදියට තමයි ඊට පස්සෙ එන්නෙ. ඒ නිසා තමයි අපි මේ චිත්‍රපටිය මේ විදියට කළේ.

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම 

ඔයගොල්ලො දන්නව ඇති, අපි විමුක්ති, මම සහ ප්‍රසන්න යුද්ද කාලෙදිත් යුද්දයේ තියෙන ආදීනව මොනවද, යුද්දය ගමේ වටිනාකම්, ජීවිතවල වටිනාකම් වෙනස් කරපු විදිය ගැන චිත්‍රපටි කරපු කට්ටිය. ඒ හින්දා අපි දේශදෝහීන්, ජාතිද්‍රෝහීන් විදියට විශාල චෝදනාවලට ලක්වෙච්ච කට්ටිය. එහෙම වෙලා තමයි හිටියෙ. යුද්දය ඉවරවුණාට පස්සෙත් අපිට කියන්න කතාවක් තියෙනවා. යුද්දය ඉවරවුණාට යුද්දය අපි දිනල නෙවෙයි ඉවර වෙලා තියෙන්නෙ. පිටිපස්සෙ සහෝදරයා කිව්වා අපිට යුද්දය විසින් අහිමිකිරීම් ගොඩක් හිමිකරල තියෙනවා කියල. අහිමිකිරීම තමයි අපිට හිමිවෙලා තියෙන්නෙ. වෙන මොකුත් අපි දිනාගත්ත දෙයක් නෑ. ඉගෙනගත්ත පාඩමක් නෑ. ඒ පාඩම ඉගෙනගන්න තමයි මේ චිත්‍රපටි කරන්නෙ.

තව සහෝදරයෙක් ඇහුවා ජාතිවාදය පිළිබඳ පාඩම, සිංහල අධිපතිවාදය පිළිබඳ පාඩම අපිට කියල දෙනවා කිව්වා. මං ඒ ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ, විමුක්තිගෙ චිත්‍රපටියෙ ඇතුළෙ එන්නෙ ඒ කතාව විමුක්ති ඒ ගැන කතා කරයි. විමුක්තිගෙ චිත්‍රපටයෙ එනවා කොහොමද භාෂාව ඉගෙනගන්න ව්‍යාපෘතියක් ඇතුළෙ සිංහල උත්තමවාදය කියන එක උගන්නන්නෙ. ළමයෙක්ගෙ මනසට දාන්නෙ කියන එක. ඒ චිත්‍රපටය ඇතුළෙ තියෙන්නෙ ඒක. අපේ හෘද සාක්ෂිය පිළිබඳ අපි කාටත් තියෙනවා ගැටලුවක්.

ප්‍රසන්න තමන්ගෙ චිත්‍රපටිය ඇතුළෙ නගන ප්‍රශ්නය ඒක. අපේ හෘද සාක්ෂියට විවෘත වෙන්න ඉඩදෙන එක. අපේ හෘද සාක්ෂියට කතා කරන්න ඉඩදෙන එක. අපි කොහොමහරි චිත්‍රපටි හදමින් අපට දැනෙන දේ කියනවා. නමුත් දෙමළ ජනතාවට අවස්ථාවක් ලැබිල තියෙනවද, දෙමළ සිනමාකරුවන්ට අවස්ථාවක් ලැබිල තියෙනවද තමන්ගේ පැත්තෙන් තමන්ගේ දේ කියන්න. මේ සිංහල සමාජයට කියන්න. එහෙම අවස්ථාවක් ලැබිල නෑ. එහෙම වෙනවනම් ඒක අපි පිළිගන්න සූදානමකුත් නෑ. දැන් අපේ වීරයොයි ඒගොල්ලන්ගෙ වීරයොයි අපට දෙන්නෙක්. අපේ වීරයා සමරන්න පුළුවන්, ඒගොල්ලන්ගෙ වීරයා සමරන්න බෑ. එහෙමනෙ දැන් මේ රටේ තියෙන්නෙ. ඒගොල්ලන්ගෙ දේ ප්‍රකාශ කරන්න ගත්තම අපි කොච්චර සූදානම්ද මේ ප්‍රකාශනයට ඇහුම්කන් දෙන්න. තියන ගැටලුව ඒක. ඒ නිසා ඒ සමාජයෙන් ඒ කතාව ඇවිල්ල නැහැ. අපි තමයි ඔවුන්ගෙ කතාව කියන්නෙ. ඒත් අපි නෙවෙයි කියන්න ඕන එයාල. ඒගොල්ලන්ට ඒ අවස්ථාව දෙන්න ඕන. ඒක දීල තියෙනවද කියන ගැටලුව අපිට තියෙනවා.‘‘

Her චිත්‍රපටයේ හඳගම සහ කේසා යශෝ සොයා යන ගමනේ දර්ශනයක් 


Him චිත්‍රපටයේ එල්ටීටීඊ සාමාජිකයකුගේ පෙරභවය ගැන කියන දරුවා... 

The Other චිත්‍රපටයේ අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය සොයා කොළඹට ආ දමිළ වැන්දඹු තරුණ කාන්තාව සහ දමිළ මව පොලිසියේ සිටින රූප රාමුවක්.... 


      

Friday, June 1, 2018

අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රිය

ගිනිබත් වන පොත්...


( වෙබ් කොලමක් ලිවීමේ ඇරයුමක් ලදිමි. ‘‘ඒදන් උයනේ මෙහා ඉමේ...‘‘ නම එයට තබන්නට අදහස් කළෙමි. මේ ඒ කොලම වෙනුවෙන් මා ලියු පළමු ලිපියයි. වෙබ් අඩවිය අද එළිදක්වන්නට නියමිතව තිබිණි. කෙසේ නමුත් මේ ලිපිය එළිදැකිය යුතු දවස නම් අද ය. අද ජුනි පළවෙනිදා ය. )

යුද්ධය නිම වී වසර නමයකි. නමුත් ප්‍රශ්නය තාම එතැන ය. බෙදුම, බිඳුම, රිදුම තාම එතැන ය. තිස් වසක යුද්ධයෙන් ගැඹුරු තුවාල ලත් හදවත් මතු නොව සමාජය ද සුවපත් කරන්නට අසමත් වූ රාජ්‍යයකි අප. යුද ඉතිහාසයේ මහා මිනිස් සංහාරයන් හා සමානවම අතිශය දරුණු සහ අමානුෂිකම ඛේදවාචකය වන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ශත වර්ෂ ගණනක් පැවති මහා දැනුම් සම්භාරයක් එක රැයින් ගිනිබත් කර දැමීමය. 1981 මැයි 31 වන දා රාත්‍රීයේ එසේ බල ලෝභී මුග්ධයින්ගේ ජාතිවාදී ගින්නෙන් දැවී යන අවස්ථාවේ ලක්ෂයකට ආසන්න වටිනා පොත් ද, දුර්ලභ අත් පිටපත් ද සහිත නිධානයක් වූ යාපනය පුස්තකාලය ලංකාවේ මතු නොව සමස්ත ආසියාවේම පැවති දැවැන්ත පුස්තකාලවලින් එකකි.

විනාශයට පත් වූ පුස්තකාලය

එදා ඒ පුස්තකාලය ගිනිබත් වූ දා රැයේ යාපනය නගරයේ එක් නිවසක, අළු වී යන දැනුම් සම්භාරය පිළිබඳ වේදනාවෙන් දැවි දැවී පණ ගැහුණු ශ්‍රේෂ්ට හදවතක් විය. පත් ඉරු දැවී නගිනා දුමාරය ඒ හදවතේ සෑම නහරයක්ම අවුරා, පුපුරුවා දැමුවා නිසැකය. ජූනි පළමුවනදා රැයේ අසීමිත වධ ගාවිනා විදි එකී ළය පැලී ඔහු මියැදී සිටියේය. ඒ වන විටත් යාපනය පුස්තකාලයේ දැවුණු පොත් පත් අතරින් දුමාරය ඉහළ අහසට නගිමින් තිබිණි. ඒ අවසන් හුස්ම පොද ද දැවුණු දැනුම් ගබඩාවේ අවසන් හුස්ම හා එක්වන්නට ඇත. 

ඔහු කවුද? මංජුල වෙඩිවර්ධනගේ ‘‘සුළගට අවනතව‘‘‘ කාව්‍ය සංග්‍රහයේ  ‘‘දාවිත්‘‘ කවියෙහි පසු සටහන ඔහු හඳුන්වා දෙන්නේ මෙලෙසිනි.  

සටහන - ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා යාපනයෙන් බිහිවූ භාෂා පඬිවරයෙකි. ‘ඉන්දු ආර්ය භාෂා’ සහ පොදුවේ  ‘භාෂා නිරුක්තිකය’ පිළිබඳ සුවිශේෂම ප්‍රාමාණිකයා වූ ඔහු භාෂා තිස් තුනක් දැන සිටි අතර අඛණ්ඩව යාපනය පොත්ගුල කේන්ද්‍රකරගනිමින් භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණේ ය. 1947-51 අතරතුර ඉන්දියාවේ හා යුරෝපයේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි කරන වකවානුවල ඇරුණු කළ ඔහු 1936 සිට ඉගැන්නුම් කටයුතු කළේ තමන් ද ආදි ශිෂ්‍යයෙක් වූ යාපනය සාන්ත පැට්‍රික් විදුහලේ ය.  එය, යාපනය පුස්තකාලය අසල තිබීම ඔහුගේ අඛණ්ඩ භාෂා අධ්‍යනයන්ට මහත් පහසුවක් සහ පිටිවහලක් විය.

1981 මැයි 31වැනි දා රාත්‍රියේ, දකුණේ දේශපාලකයන් ඇතුළු මිලිටරි යාන්ත්‍රණය විසින් යාපනයේ කීර්තිමත් පුස්තකාලය, එහි තුළ වූ අනූ දහසකට අධික පත-පොත, අත්පිටපත්, පුස්කොළ පොත් සමඟ ගිනිබත් කළ සිද්ධියෙන් අතිශය කම්පාවට පත්වූ ඔවුහු හෘදයාබාදයෙහි වෙලී ජූනි පළමුදා රාත්‍රියේ තම කුටියේ තම යහනෙහිම මිය ගියහ.

කවියේ ඇරඹුම යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයකු වන එම්. ඒ. නුහුමාන් විසින් දෙමළ බසින් රචිතව ඉංග්‍රීසියටද, පසුව සිංහලටද නැගුණු ‘‘බුදුන් ඝාතනය කිරීම‘‘ කාව්‍ය පන්තියෙනි.

සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙන
උන් වහන්සේ ඝාතනය කළහ
-           එම්. ඒ. නුහුමාන්


දාවිත්

මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත්
කැටපෝලෙ ළෙලවාන ගොලායත් බිම දැමූ දාවිත්
ගීතාවලිය පුරා වේදනා  කවි ලියූ දාවිත්
නුහුමානුවන් ලියූ කවිය ළඟ ඔබ සොයමි දාවිත්

බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟුණ දාවිත්
ඉන්දු නිම්නය දිගේ යාපනෙට ආවාද දාවිත්
යාපනය මොන තරම් වරනැඟෙන කඳුළක්ද දාවිත්
ඒ දිදුළ දුක් කඳුළ ලත් දෙමළ නෙත් සඟළ දාවිත්

නාගදීපය වැඳන් එන අතර සැදැහැවත් අලි ඇත්තු
යාපනේ පොත්ගුලේ  වැඩ උන්නු සම්බුද්ධ වැඳගත්තු
අලි ඇත්තු අතර උන් ‘අතිමහත් බහුතරය’ වැදගත්තු
සැඟවිලයි ඉන්නැත්තෙ පිස්තෝල කරකවන බැතිමත්තු

බැතිමතුන් යළිඳු ඒ වෙසක් මහ අවසාන රෑ විත්
මුනි බඳට වෙඩි තියනු ඔය ඇසින් දුටුවාද දාවිත්
පොත් ගුලට ඇතුළුවන එ පියගැටපෙළ ළඟට නෑවිත්
නිදි කුටියෙ කවුළු දොර විඳ තැවුල විඳ ගනිමි දාවිත්

ලේ විලක් මැද තිබුණ සම්බුද්ධ ඒ නිමල බඳ
ඇදගෙන ගිහින් දමා දසදහස් පොත් අතරමැද
තුඟු සිරුර සඟවලා පොත් වලින් චිතකයක් බැඳ
ගිනි අවුළුවනු පෙනී පුපුරා ගියෙද ඔබගෙ හද?

නිසලවුණු හද පතුළ සඟවගෙන එළි නොදුටු ශාස්ත්‍රය
හද නිනද නැඟුණාද ඒ සිඟාලෝවාද සූත්‍රය
ඔබ මතක නැති හදින් හද තබමි මේ මතක මාත්‍රය
අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රිය


මංජුල වෙඩිවර්ධන
2014 ජූනි

Rev. Fr. HS David (PhD) an etymologist spent much time researching at the library. Upon hearing the library was set ablaze, the aggrieved priest died in his sleep that night
Nation.lk

බයිබලීය ඉතිහාසය තුළ සඳහන් වන දාවිත් කතා පුවත , දාවිත් රජ විසින් ලියූ බවට සඳහන් වන බයිබලයේ එන කාව්‍යමය ග්‍රන්ථය ‘‘ගීතාවලිය‘‘, බාබෙල් කොත සම්බන්ධ සිදුවීම සහ එයින් නිපන් විවිධ භාෂා පිළිබඳ අතීත කතාව ඇතුළු මේ කාව්‍යයට පදනම් වී ඇති ඉතිහාසය, පුරාවෘත්ත සහ පුද්ගල චරිත දන්නා හඳුනන අයෙකුට කවිය වඩාත් ගැඹුරින් විඳීමට අලුත් දොරටු විවර වනු ඇත.

යාපනය පොත්ගුල කේන්ද්‍රකරගනිමින් අඛණ්ඩව භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණු, ‘ඉන්දු ආර්ය භාෂා’ සහ පොදුවේ  ‘භාෂා නිරුක්තිකය’ පිළිබඳ විද්වතෙකු වූ, භාෂා තිස් තුනක් පමණ දැන සිටි ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟී, යාපනේට ආ බව සඳහන් කිරීම කොතරම් සංවේදී, අර්ථපූර්ණ අවස්ථාවක්ද? කවිය තුළ සහෘද සිත වඩාත් කම්පනය කරන තැන එතැන යැයි සිතමි. ඉතින්, දාවිත් පියතුමා, නැත්නම් ඩේවිඩ් පියතුමා ළය පැළී මිය යාම අරුමයක් නොවේ.

ප්‍රතිසංස්කරණය කළ යාපනේ පුස්තකාලය 

පසුකලෙක කලා කටයුත්තකට යාපනයට ගිය ධර්මසිරි බණ්ඩාරනායකයන් පුස්තකාලය තුළට කැඳවා ගිය පුස්තකාලයාධිපති, සිංහල පොත් රාක්ක පෙන්වා ඇත. මාටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වැනි ලේඛකයන්ගේ කෘති ඇතුළු සිංහල පොත් රැසක් එහි තිබී ඇත. ඒ පොත් පෙන්වා ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි.
‘‘අපේ පුස්තකාලෙට ගිනි තියලා ගිනි දළු අහසට නගිද්දි, අපි මේ පොත් බේරගත්තා.‘‘

ඒත් දාවිත් පියතුමනි, ‘‘අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රියමයි.‘‘.... මේ මනුස්ස හදවත් ගිල ගත් රෑ අඳුර කවදා නම් නිමා වේවිද?


Friday, May 18, 2018

ආදරයේ ඔන්චිල්ලා... (Swings of Love)




‘‘රන් කෙන්ඳෙන් රනින් තැනූ රන් ඔන්චිල්ලා
අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා...

මා හදේ ගැයෙමින් පැවතියේ ඒ ගීතයයි. ඒ ලුම්බිණි රඟහලේ දී ‘‘ආදරයේ ඔන්චිල්ලා‘‘ සීමිත ප්‍රේක්ෂාගාරයකට මුණගැස්වූ සුන්දර සැඳෑවයි. එහි කාව්‍යාත්මක පිටපත් රචනය මංජුල වෙඩිවර්ධනගේය. ඔහු සිය නිර්මාණ කාර්යය නාමකරණය කරනුයේ ‘එපික් රංග කාව්‍යයක්‘ ලෙසිනි.  මංජුල ගේ කවිකාර රංග රචනාව ඉංගිරිසියට නගන්නී දිලිනි ඊරියවලය. එය වේදිකාව මත සජීවී අත්දැකීමක් බවට පත්වන්නේ එම්. සෆීර් ප්‍රවීණ නාට්‍යවේදියාගේ නිර්මාණ පරිශ්‍රමයෙනි.

‘‘ස්ත්‍රීත්වය සහ ප්‍රේමය‘‘ තේමාත්මය කොට ගත් මෙම රංග කාව්‍යය ලාංකේය ප්‍රේක්ෂාගාරයට නවතම අත්දැකීමක් වනු නිසැකය. ඇත්තේ එකම චරිතයකි. එයට පණ පොවන්නී ඉතාලි ජාතික රංගන ශිල්පිනියක වන ජූලියා ෆිලිප්පෝය. ඔන්චිල්ලාවෙන් ඔන්චිල්ලාවට මාරු වෙමින් ඉතාම නම්‍යශීලීව, හුරුබුහුටිව, රිද්මයානුකූලව ඇය තම භුමිකාවට ප්‍රවිෂ්ට වන්නට සමත් වන්නීය. ඒ චරිතයට ඇය ම මිස, වෙනත් ලාංකේය රංගන ශිල්පිනියක මගේ මතකයට නො නැඟේ.  ප්‍රේමය, ස්ත්‍රීය, ජීවිතය පිළිබඳ ඕෂෝ සංකල්පනාවන්හි ආලෝකය සමස්ත රංගය පුරා විදිහ පැතිර යේ.

‘‘ඔබ මා තුළින් ඔබව දුටුවාදැයි මම දන්නේ නැහැ.
ඒ වුණත් මම මා තුළින් ඔබව දකිනවා...
ඔබට පුළුවන්ද කියන්න,
මට මා තුළින් මා දකින්නට නො හැකිද?

ස්ත්‍රිය වටහා ගන්නට වෙර දරන්නට එපා
ඇයට, ඔව්, ආදරය දෙන්න,
ඔබ කියනවා. 

ඉදින්,
ස්ත්‍රිය වටහා ගන්න
වෙර දරන්නට එපා. 
තේරුමක් නැහැ.

ආදරය කියන්නේ
අයිති කර ගැනීමට නෙවෙයි.

ආදරෙයි නම් ඔබ මලකට
නෙලා ගන්නට එපා ඒ මල. “




තිරය විවර වන්නේම වේදිකාව මත පැද්දෙන ඔන්චිල්ලාවක තනි වී හිඳින යුවතියක පොතක් කියවමින් සිටින අතරතුරය. ප්‍රේක්ෂාගාරය මුළුමනින්ම රංග කාර්යය හා බද්ධවන තුරුම ඇය පොතෙහි නිමග්නව උන්නාය. වේදිකාව පුරා තවත් ඔන්චිල්ලා කිහිපයක් වේ. එහි වර්ණ ගැන්වුම එකිනෙකින් වෙනස් ය. සුදු, නිල්, රතු, දම්, කළු ආදී වර්ණ  ස්ත්‍රී ජීවිතයේ විවිධ ඍතුවල ඇගේ අධ්‍යාත්මික අත්විඳීම් නිරූපණය කරයි. ස්ත්‍රී ආත්මය ආදරයට, අනුරාගයට, ලිංගිකත්වයට, ප්‍රචණ්ඩත්වයට, නිශ්චලත්වයට මුහුණ දෙමින් ගලා යන අයුරු නිරූපණය වන්නේ ඔන්චිල්ලාවෙන්, ඔන්චිල්ලාවට මාරුවෙමින් ඇය ඉදිරිපත් කරන රංගනය තුළිනි.   

ඔබේ ගුරුවරයා කවුද?
ඔබ ඉදිරියේ සිටින පෙම්වතාද? ස්වාමියාද?
මහැදුරාද? නැහැ.
ඒ ඔබේ හෘදය.

ජීවිතය තමයි නිසල විල.
විල් දිය තමයි කැටපත.
ඔබ ඔබ දිහා බලන්න.
හොඳින් බලන්න.
තීක්ෂණ ඇසින් බලන්න.
විනිවිද බලන්න.

නාසිසස් වගේ ඔබට ඔබව පේන්න ගන්නවා.
ඔබ දැන් ඔබටම වසඟ වෙමින් ඉන්නෙ.
ඒ ඔබ ඔබෙන් පරිබාහිරව හිදිමින් ඔබ දෙස බලන හින්දා.
නමුත් ඔබට පුළුවන්
ඔබ දෙස බලන්න
ඔබ තුළම හිඳිමින්.
එවිට වසඟයක් නැහැ.


Swings Of Love - ආදරයේ ඔන්චිල්ලා රංග කාව්‍යය සාම්ප්‍රදායික ස්ත්‍රී පැවැත්මේ අර්බුදය සාකච්ඡා කරන අතරම, අර්බුදයට අභියෝග නොකරන ස්ත්‍රී අධ්‍යාත්මය ප්‍රශ්න කරයි. ස්වකීය අධ්‍යාත්මයට විවෘත වෙමින්  ජීවිතයේ සාරය තමා තුළම සොයා යන්නට ඇරයුම් කරයි. 

           
‘‘ආදරය සහ ජීවිතය එකිනෙකින් වෙන් කරන්න බැහැ.
ඔබට නොහැකි නම් ඔබ තුළ සතුට හොයන්න,
කාටද පුළුවන් ඔබ තුළින් සතුට හොයන්න .

ඔබ හැඟුම් සංකීර්ණයක්.
ඉතින් ඔබ අහිංසක වෙන්නෙ කොහොමද?
අහිංසක වෙන්නෙ මොකටද?
ඔබ අහිංසක නම් ඔබ සංකීර්ණ නැහැ.

ඉතින් කෝ ඔබේ ඇත්ත මුහුණ?
වෙස් මුහුණ ඉවත විසිකර ඇත්ත මුහුණ අතට ගන්න.
ඔබේ භාවනාවේ රසවිද්‍යාව විය යුත්තේ ඇත්ත මුහුණයි.“

මංජුලගේ කාව්‍යමය  භාෂා රටාව සරල ව, සිලිටිව ඉංග්‍රීසියට නඟන්නට දිලිනි සමත් වී ඇතැයි හගිමි.  සංගීතය හා බද්ධ වූ නම්‍යශීලී රංග ලාලිත්‍යයද, වේදිකාව පුරා පැතිරුණු ඔන්චිල්ලා අතර සීරුවට ගලා යන රංග වින්‍යාසයන්ද, තේමාවේ අරුත් වඩාත් තීව්ර කරන ආලෝක රටාද ආදරයේ ඔන්චිල්ලා තේමාත්මය සාර්ථකව අප  වෙත සමීප කරවන බව මගේ විශ්වාසයයි. එදා පළමුවරට ලුම්බිණියේ දුටු දර්ශනයෙන් පසුව රටවල් කිහිපයක ආදරයේ ඔන්චිල්ලා (Swings Of Love) රංග ගත විය. මේ වන විට එය තවදුරටත් ඔපමට්ටම්ව ඇති බව නිසැකය.

ඉතින් ඒ, ඉංග්‍රීසි බසින් ගලා යන ආදරයේ ඔන්චිල්ලා (Swings Of Love) මෙවර අන්තර්ජාතික නාට්‍ය උළෙලේ, ලයනල් වෙන්ටඩ් වේදිකාවේ දී මැයි 25 වන දා ප.ව. 7.00 ට රංගගත වනු ඇත.  



මා මුලින්ම සඳහන් කළ ‘‘රන් කෙන්දෙන් රනින් තැනූ“ ගීතය    මුල් ගැයුම ඇන්ජලින් ගුණතිලක සමඟ මල්ලිකා කහවිට විසිනි. ගේය පද රචනය ධර්මසිරි ගමගේ ය. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසිනි. 1971 වසරේ තිරගත වූ ධර්ම ශ්‍රී කල්දේරා විසින් රන් ඔන්චිල්ලා චිත්‍රපටයෙහි ඇතුළත් වූ ගීතයකි. ( තොරතුරු අන්තර්ජාලයෙනි.)

රන් කෙන්ඳෙන් රනින් තැනූ රන් ඔන්චිල්ලා
අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා...

දෑතට බැඳි ලණු දෙපොටයි දෑතින් ගන්නේ
මාල අරුංගල් දෙකණේ තෝඩු වැනෙන්නේ
රෑන කිතුල් මල් වරළයි සුළඟෙ දුවන්නේ
ජීවිතයේ රන් ඔන්චිල්ලාව පදින්නේ...

අහස උසට ආසාවේ අහසට යන්නේ
අහසට යන ගිය සේරම පොළවට එන්නේ
උඩ ගිය අය හති අල්ලා බිමට බහින්නේ
බාල ලියන් රන් ඔන්චිල්ලාව පදින්නේ....

රන් ඔන්චිලි චිල්ල මලේ දුකට අඬනවා
රන් ඔන්චිලි චිල්ල මලේ කඳුළු පිහිනවා
කඩන්න බැරි කටු අකුලක මලක් පිපෙනවා
රන් ඔන්චිල්ලාවේ ගොස් එමල නෙළනවා...



‘‘Swings Of Love - ආදරයේ ඔන්චිල්ලා‘‘ දැන් මුද්‍රිත කෘතියක් ලෙසද මිල දී ගත හැකිය. එහි සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පිටපත් රචනය ඇතුළත් කර ඇති බවද සඳහන් කරනු කැමැත්තෙමි. 



Thursday, May 3, 2018

නැත ලොවේ අන් රසඳුනා!!!

By Vladimir Volegov 


දේශද්‍රෝහියාට ආ ලියුම් දෙකක්

පොතට ලැබෙන ප්‍රතිචාර එක තැනක ගොනු කොට තබා ගැනීමයි මෙහි අරමුණ... දේශද්‍රෝහියා ගැනම කියවල කම්මැලි හිතෙනවනම් අතෑරල දාන්න.

මේ මුල් ලියමන ලැබුණෙ සහෝදර පියතුමකුගෙන්. ඔහු දෙව්සත්හලේ ඉගෙනගන්නා කාලයේ ඉඳන්ම මා දන්නා මල්ලි කෙනෙක්. අපි ළමා සංවිධානයේ එකට වැඩ කළා කාලයක්. ඔහු පියතුමකු වූ පසුවත් ළමා සංවිධානයේ කලින් කලට සේවය කළා. අවංකව වැඩක් කරන, හිත හොඳ, නිහතමානී පියතුමකු විදියට තමයි මගේ මතකයේ ඔහු රැඳෙන්නෙ. ඔහුත් නිර්මල මරිය නිකායට අයිති පියතුමෙක්. ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා සංවිධානය ක්‍රියාත්මක වෙන්නෙත් නිර්මල මරිය නිකාය හරහා. ඒ වගේම නවකතාවේ සඳහන් මයිකල් රුද්‍රිගු පියතුමාත් නිර්මල මරිය නිකායික පියතුමෙක්. බුත්තල සුබසෙත්ගෙදර කියන්නෙ නිර්මල මරිය නිකායෙ පියතුමෙකුට ආගන්තුක තැනක් නෙවෙයි. මේ කරුණු සියල්ලම නිසා මගේ නවකතාවේ පියතුමාගේ හදවතේ රැඳෙන්නට ඇති බව විශ්වාසයි. මේ තියෙන්නෙ ඒ කවියක් වගේ වූ ලියමන...

දයාබර තරංගි අක්කාට,

කියවූයෙමි එක පිම්මට
‘‘දේශද්‍රෝහියාගේ නිමල හද‘‘
පෙම් බැන්දෙමි ඒ හද පොතට
බස් වහරට,
එහි ඇති දැක්මට        
තාමත් සොයනවා
එහි පතුළ, එහි ගැඹුර
කවුද මේ අපි නොදන්න
තරුරසීගේ ආදිත්‍ය
පුදුමයි! තරුරසී ගැන
ආඩම්බරයක් හිතුණා මට
නිමනි කුට්ටමට
ළක්‍රිවී අම්මට
සුබසෙත්ගෙදරට
ඔබත් ආඩම්බර වන්න ඔබ ගැන
ඔද වැඩෙන්නට නම් නොව
තවත් මෙවැනි දේ බිහිකරන්නට
හරිම අගෙයි!
ශු. සභාවේ
සිස්ටර්ගෙ නිකායේ
විමුක්ති දේව ධාර්මිකයින්ගේ
සාම්ප්‍රදායික මිනිසුන්ගේ
සියල් ජාතීන්ගේ
සියල් ආගමිකයින්ගේ
සිත කඩන්නැතුව
හිත රිද්දන්නැතුව
සියල්ල
සම තුල්‍යකරණය
කර ඇති ආකාරය.........



අනිත් ලියමන නමක් නැති ලියමනක්. පුල්ස්කැප් පිටු දෙකක් පුරා ලියා එවා තිබුණා. ඒ ස්වරය ස්ත්‍රී හදවතකින් පැන නගින්නකැයි මට හිතුණා.

2018.04.18

දයාබර තරංගනී සොයුරිය,

මේ මා ලියන පළමු නිර්නාමික ලිපිය වීම ගැන කණගාටුයි. ඒත් මගේ අනන්‍යතාවය ඔබට කීමට තරම් මට ධෛර්යයක් නොමැත.

2018.08.14 කෙනෙකු මගේ අතට පොතක් දීල කිව්වා ‘‘ඔයා මේ පොතට කැමති වේවි හුඟක්‘‘ කියලා. මං ඉන්නේ කොළඹින් හුඟක් දුර. කොළඹින් බස්රියට නැග්ග මම ඔහු මට කළින් දිනයේ දීපු පොත පෙරළන්න ගත්තා. ‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘‘ මං දන්නෙ නැහැ මට මොනවා වුණාද කියල. මට හිතුණා ‘‘ගුරු ගීතයෙන්‘‘ පසු මා කියවූ හොඳම පොත කියල. ස්තුතියි ඔබට.

ජීවිතේ හරි පුදුමයි. ආදයට ඊට වඩා පුදුමයි. ඇත්තටම මං දන්නෙ නැහැ ඇයි මට මේ පොත ඒ පුද්ගලයා දුන්නෙ කියල. ඔහුගේ ඍජු බැල්මේ තිබුණු දේ කියවන්න මට උවමනා නැහැ. ඒත් එක හුස්මට කියවපු මේ පොත තවත් කෙනෙකුට තෑගි කරන්න මං බලන් ඉන්නවා.

හරි පුදුමයි. මං දන්නේ නැහැ මේ කතාව ඇත්තද කියල. ඒත් මේ චරිත මං හොඳට දන්න හඳුනන අය. පොත මගේම කරගෙන කියවන්න මට ඒක ගොඩක් හයියක් වුණා. මං තුලන ඔයාගෙ පොතත් එක්කම ඇවිද්දා. සිස්ට ක්‍රිස්ටිනා, ෆාද සතී එක්ක මාත් කතා කළා. ඇත්තටම නංගි ඔයා මේ කතාවේ ආදරය වගේම දවියො කවුද කියල ලියන්න දරපු උත්සාහය මගේ වචනයෙන් කිව්වොත් ‘‘පට්ට‘‘.

සමහරවිට මට මේ කතාව මෙතරම් දැනුණේ සිස්ට සෙව්වන්දිගෙයි, මගෙයි ලොකු වෙනසක් නැති හින්දමත් වෙන්න ඇති. එහෙත් මා මේ පොත නැවත කියවීමට දෙන්න යන පුද්ගලයා නැතහොත් මා සිත පැහැර ගත් මගේ චණ්ඩි ජීසස් ආදිට වඩා ටිකක් වෙනස් චරිතයක්. අපේ සිතුවිලි වෙනස් වුවද ‘‘ප්‍රේමය‘‘ නමැති පොදු සාධකයේදී ඔහුත් මාත් එකම සිතුවිල්ලකයි.


මගේ මේ ආදර කථාව ඔබට කියන්නට ඇත්තටම ආසයි. ඒත් එයට කාලයක් නොමැත. ඇත්තටම මට ඕන වුණේ ඔබ ඇගයීමට හා ස්තූති කිරීමටය. ඔබ දන්නවාද මේ පොත මට හරි පුදුම පොතක්. මේ පොත දීපු කෙනා මට ආදරය කරන බව මම දනිමි. ඒත් ඔහු හා ආදරයක් ගොඩනගා ගන්නට මට නොහැක. ඔහු මට ආදරෙයි කියා පැවසීමට ඔබේ පොත යොදා ගත් බව මම හොඳින් දනිමි. එහෙත් මා ආදරය පුදා හමාරය. මේ පොත නොබෝ දිනකින් ඔහු අතට පත්කරන්නට මම සැලසුම් කර ඇත. ඒත් මා කවදාවත් ඔහුට ආදරේ කියාවත්, ඔහු මට ආදරේ කියාවත් නැත. එහෙත් මාද ඔහුද අපේ ආදරය ගැන හොඳින්ම දනිමු. ඔහු කළේ මගේ නළල සිඹ මගේ සිහිනය වෙත යෑමට මා පිටකිරීම පමණි.

විටෙක මට සිතෙනවා අපි දෙන්නා රේල් පීලි දෙකක් වගේ කියල. හැමදාම එකට ඉඳීවි. කවදාවත් ළංවෙන්න බැහැ. සමහරවිට ලන් වුණොත් මගෙත්, ඔහුගෙත් ජීවිතේ වටිනාකම නැති වේවි.

එහෙනම් මම නවතින්නම්. ඔබට ස්තුතියි. මේ වගේ ලස්සන වටින කථා ලියන්න. දෙවියො කියන්නෙ ආදරේ. ඒ දෙවියො ඔයාට මඟ පෙන්නාවි. සමාවෙන්න නම නොකිව්වට. ඔයාට දෙවි පිහිටයි!

....................

ආදරය හරි පුදුමාකාර දෙයක්. ඒක මං දන්නවා. ඒ වගේම පුදුමාකාර ආදර කතාවලින් මේ ලෝකය පිරිල ඉතිරිලා තියෙනවා කියලත් මං දන්නවා. මේ ලියුමත් ඒ වගේ ආදරයක හදගැස්ම වෙන්න ඇති. නමක් නැති මේ ආදරණීය ලියුමටත් ස්තූතියි.