මිනිසි අසිරි
සරල, චාම්, පේ‍්‍රමණීය දිවියක් ඇසුරේ ලද හැකි නිරාමිස සුවය කොතරම්ද?
එවන් ජීවිත බොහෝ ගණනක් ඇසුරු කරන්නට ලැබීම
කොතරම් භාග්‍යයක්ද? මමද එවැනි
භාග්‍යවන්තයින් අතර එක් අයෙක් වෙමි. සිතේ නිදන්ගතව ඇති සදා නොමැකෙන සොඳුරු මතකයක්
අද ඔබ හමුවේ දිග හරින්නේ මෙවන් සොඳුරු ගැහැණුන්, මිනිසුන් තවමත් අප අතර සිටිනවා නොවේද යන අප්‍රමාණ
සංතුෂ්ටියත් සිත්හි දරාගෙනය.
පොල් අතු කන්‍යාරාමයේ
සඳ සමග ගෙවුණු රැයක්
මතකයේ හැටියට
ඒ 2010 වසරයි. සිකුරාදා
දිනයක වරුවක නිවාඩුවක් ලබා පුත්තලම් බසයකට නැගුණේ සති අන්තයේ පවත්වන ළමා වැඩසටහනකට
සම්පත් දායකත්වය ලබා දීමේ අරමුණෙනි. මදුරන්කුලිය හන්දියෙන් බහින විට ඔර්ලෝසුවේ කටු, පහේ ඉලක්කම
අල්ලන්නට ලැසි ගමනකය. මා තවත් දුර යා යුතුය. බසයක් පෙනෙන්නට නැත. වටපිට විමසා බලා
හෙමිහිට කුඩා කඩයකට ගොඩ වීමි. කරුණාවන්ත පෙනුමක් ඇති මුස්ලිම් මුදලාලි කෙනෙකි. මා
යා යුතු ඉසව්වද, යන්නේ කුමකටද
කියා බසයක් පිළිබඳව විමසා බැලීමි.
‘‘ දැන් බස් එකක්
ගියත් යන්නෙ මගට. මං මිස්ට ත්‍රීවීල්
එකක් කතා කරල දෙන්නං.. ඒ පැත්තටම යන ආගමේ ළමයෙක්. බයවෙන්න දෙයක් නෑ’’ ආගමේ ළමයෙක්ගේ යහපත්කම පිළිබඳව සහතික වන්නේ
මුස්ලිම් මිනිසෙකි. කොතරම් අපූරුද මේ අන්‍යෝන්‍ය අවබෝධය.
සහසම්බන්ධතාවය. හාත්පසින්
අඳුර කුර ගාමින් එන විට මට බියක් නොදැණුනා නොවේ. නමුත් මනුෂ්‍යත්වය පිළිබඳව මා තුළ
ඇති සහජ ඉව කිසිවිටක මා අපේක්ෂා භංගත්වයට පත් කර නැත. ඒ බව නැවතත් උර ගා බලන්නට
අවස්ථාවකි. මම එකඟ වීමි. යහපත් අරමුණූ කරා යන විට දෙවියන් පිටු පාන්නේ නැතැයි මම
අදහමි. සිත තුළ පෙරළි කරන චකිතයකින් යුතුව වුවද මම සුහද කතාබහකට මැදි වෙමින්,
නාඳුනන ඉසව්වක වගතුග දෙනෙතින් විමසමින්
සැහැල්ලූ වන්නට උත්සාහ ගතිමි. කිසි දිනක නොගිය මගක, නාඳුනන අයකු සමග යන විට බියක් ඇති වීම සාධාරණ යැයි සිතා
සැනසුණෙමි. වරින් වර දුරකථනය තුළින් ඇසෙන කන්‍යා සොයුරියගේ දයාන්විත හඬ සිතට
අස්වැසුමක්ම විය.
ත්‍රීවීලය
දිගු දුරක් ගෙවා කන්‍යාරාමය ඉදිරිපිට නතර විය. දුර හා සසඳන විට අය කළේද ඉතා සාධාරණ
මුදලකි. සිනා ඉහිරෙන මුහුණින් අප පිළිගත්
කන්‍යා සොයුරිය සහ ත්‍රීවීල් සොයුරා අතර සංවාදයෙන් මට දැණුනේ ඔහු කන්යාරාමයේද
හිතවතෙක් බවයි.
‘‘මෙන්න අපේ
දුප්පත් මාලිගාව..’’ කන්‍යා
සොයුරිය පැවසුවේ තමන්ගේ නිවස පෙන්වමිනි. මා ඉදිරියේ ඒ සුන්දර දසුන වේ. මා දකින්නට
පෙරුම් පුරමින් සිටි දසුන. පොල් අතු කන්‍යාරාමය. මුහුදුකරයේ අසිරිය විහිදන සුදු
වැලි තලාව මැද එය අහිංසක ලෙස නැගී සිටී. හාත් පස පැල පොල් ගස්ය. වටේට පොල් අතු
අසුරා, වහළයට පොල් අතු
හෙවිල්ලා ඇති කන්‍යාරාමය සැබෑවටම මාලිගාවකට වඩා සුවපහස් බවක් දැනවීය.
ගුරු පාරේ සිට
කන්‍යාරාමයට යන මග දෙපස මඤ්ඤොක්කා ගස් සරුසාරෙට වැඩී ඇත. වම් පසින් පොල් අතු
සෙවිලි කළ ගිම්හාන නිවසකි. ඒ වටා ලී බංකුය. ගමේ ළමුන්ට අකුරු උගන්වන පන්ති කාමරයත්
එයමය. දකුණු පසින් දුරට වන්නට කුඩා දෙව් මැදුරකි. එයට පිටුපසින් කුඩා පොල් අතු
මඩුවකි. මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්
ඉගෙන ගන්නට ගමේ යෞවනියන්, දැරියන්
එකමුතු වන ගෘහ විද්‍යාගාරය එය බව පසුව දැන ගන්නට ලැබිණි. ඉදිරිපස නිරාවරණව පැවතියද
කන්‍යාරාමය පිටුපසින් පොල් අතු තාප්පයකින් වට වී ඇත.
කන්‍යාරාමය
වටා මල් පඳුරුය. එළවළු, පලා වගාවන්ය.
ඉදිරිපස ඉස්තෝප්පුව නිරන්තරයෙන් සිහිල් මුහුදු සුළං රැල්ලෙන් ආසිරි ගැන්වේ. ඇතුළත
කාමර දෙකකි. කුඩා සාලයේ පසෙක පුස්තකාලයකි. සාලයෙන් පිවිසිය හැකි පුංචි පල්ලියකි.
පල්ලියේ බිමද මුහුදු වැල්ලය. කුඩා පුදසුන හොඳින් මදින ලද ගස් කොටයකි. දවසක් වුවද
භාවනාවේ යෙදෙන්නට හැකි නිසංසල තැනකි.
මුළුතැන්ගෙයද
පිළිවෙලය. පාසලේ උගන්වන්නේ, දහම උගන්වන්නේ,
මිනිසුන්ගේ දුකට සැපට දුව ඇවිදින්නේ,
පල්ලියේ වැඩ කරන්නේ, වගා කරන්නේ, උයා පිහා ගන්නේ කන්‍යා සොයුරියන් විසින්මය. ගමන බිමන
පාපැදියෙන්ය. එවන් කන්‍යාරාම වේද, එවන් කන්‍යා සොයුරියන් වේද සිතීමද අසීරුය. නමුත් එය සත්‍යයකි. මා අත් දුටු
සත්‍යයකි.
ළෙංගතුකම, සතුට, සිනහව මැද රාත්‍රිය එළඹුණේ සඳත් තනිවට
කැන්ද ගනිමිනි. පාළොස්වක පොහොය ආසන්නය. නෙරළු තුරු හිස් මුදුන සඳ එළිය තැවරුණු,
සුදු වැලි මිදුල මත සඳ එළිය රටා ඇඳි,
සිහිල් සුළං රැලිවලින් නිබඳවම පිරිමැදුණු ඒ
සුන්දර රැය වර්ණනා කරන්නට තරම් මගේ දුප්පත් අකුරු සවිමත් නැත. සොබාදහම නම්
කලාකරුවා ඉදිරියේ අපි කුරා කුහුඹුන් නොවේද?
අපි බොහෝ
වේලාවක් එළිමහනේ කතා බහ කරමින් සිටියෙමු. පසුදින වැඩසටහන සැලසුම් කළෙමු. මගේ ළබැඳි
යෙහෙළිය වූ පැවිදි සොයුරියගේ කාමරයට පිවිසි විට තවත් අසිරියකි මා හමුවේ. එය එක්
කවුළුවක් පමණක් ඇති ඉතා කුඩා කුටියකි. කුඩා ලෑලි ඇඳකි. ඒ මත චීත්තයක් එළා ඇත. ඇඳ,
මේසය, පුටුව සහ කුඩා සූට්කේසය එපමණි ඈ සතු භෞතික භාණ්ඩ. පැලලි
බිත්තියේ ඇද ඇති ලණුවක ඇඳුම් කැඩුම් කිහිපයක් දමා ඇත. මේසය මත ඈ සතු වටිනාම සම්පත්
පිළිවෙලට අසුරා ඇත. ඒ බයිබලය සහ පොත් පත් එකතුවයි.
‘‘ නංගා ඔයා ඇඳේ
නිදා ගන්න...’’ ඈ මට
පවසන්නීය.
‘‘ නැහැ නැහැ
සිස්ට ඇඳේ නිදා ගන්න. මට බිම පැදුරක් දාල දෙන්න.’’ මම කියමි.
‘‘ නෑ ළමයො ඔයා
මේ ඇඳේ නිදා ගන්න. වැඩටත් ගිහිල්ල, මේ තරම් දුරකුත් ආවට පස්සෙ කොයි තරම් මහන්සිද? මට තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරලා අනිත් සිස්ටත් එක්ක මම
එයාගෙ කාමරේ නිදා ගන්නම්...’’ ඒ පැහැදිලි
කිරීමෙන් පසුව තව දුරටත් වාද කරන්නට සිතක් නොවිණි. සැබවින්ම වෙහෙසක් දැනෙමින්
තිබිණි. ඇහි පිය නිදි කිරමින් තිබිණි.
‘‘ ජනේලෙ වහන්නද?
’’ ඇය නැවතත් කාරුණිකව
විමසන්නීය.
‘‘ ඇරල තියමු නේද?
හොඳ හුළඟක් එනවා’’ සැබවින්ම මා එසේ කීවේ හුළඟට ලෝබකමින් පමණක්ම නොවේ,
විවෘත කවුළුවෙන් පෙරී එන සඳ රැස්වලට ලෝබ
කමිනි. කවුළුවෙන් එපිට වළා ඇතිරිලි මත නැළවෙන සඳ මට පෙනේ. වෙහෙසකර දිනක සුව
නින්දකට ආසිරි ගෙනෙන්නට සමත් මෙවන් දසුනක් තවත් වේද?
කන්‍යාරාමය
ගැනත්, පැවිදි සොයුරියන්
ගැනත් අපමණ සෙනෙහසින් සිතුවිලි ගඟුලක ගිලී සිටින විට කොයි මොහොතේ නින්ද මා කරා
ආවාදැයි නොදනිමි. ? රෑ මැද මා නැවත
අවදි වන විට ඇඳ වටා මදුරු දැල දමා තිබිණි. ඇඳ පාමුල එලූ චීත්තයක් මත ඒ දේවදූතිකාව
සුව නින්දකය. සඳ තවම අවදියෙනි. අවට නිසංසල බව බිඳින්නට නොසිතුණි. ලෑලි ඇඳට වඩා බිම
කොතරම් සුවදායක ඇත්දැයි සිතමින් මම නැවතත් සෙමෙන් දෙනෙත් පියා ගතිමි.
‘‘ අනේ සිස්ට ...
ඔයා බිම නිදාගෙන ඉද්දි මට හරි දුක හිතුණා. ඇහැරවන්නත් ලෝබ හිතුණා. ’’ පසුදා උදෑසන මා එසේ කියන විට ඇය සුන්දරව
හිනැහුණාය.
‘‘ මම හැමදාම බිම
නිදා ගන්නෙ නංගෝ. බිම හරි සනීපයි.’’
‘‘ අපරාදෙ මටත්
බිම නිදා ගන්න තිබුණනේ...’’
‘‘ ආයෙම ආවම නිදා
ගන්නකො.. මේ අපේ ගෙදර ආව මුල්ම දවසනෙ...’’ ඇය කීවාය.
ඉන්පසු කිහිප
වරක් මම එහි ගියෙමි. කුටියේ බිම පමණක් නොව, ළමා ළපටි රැසක් සමග ඉස්තෝප්පුවේ බිමද නිදා ගත් දවසක්
අතීත පොතේ ඇත. පොල් වතුවල, දුම්කොල
වගාවන් වල, මුහුදේ රස්සා
කරන දුප්පතුන් පිරිවරාගෙන නැගී සිටි ඒ පොල් අතු කන්‍යාරාමය කොතරම් ආදරයක්, සැනසුමක්, නිදහසක් විහිදෙව්වාද? කොතරම් ළමා ළපටින්ගේ ජීවිතවලට ආලෝකයක් වූවාද? සැබවින්ම එහි දේව රාජ්‍යය යථාර්ථයක්ව
බැබළිණි.
අද ඒ කන්‍යාරාමය
නැත. එහි සිටි මගේ හිතවත් කන්‍යා සොයුරියන් වෙනත් ප්‍රදේශයන්හි සේවාවන්වලය. නමුත්
ඒ සොඳුරු මතකය සදා නොමියෙන ලෙස මගේ මතකයේ රැඳී ඇත. එවැනි සරල දිවි පෙවෙතක් සිතට
කොයි තරම් අස්වැසුමක්ද?
( කැඩපත සගරාවේ මිනිසි අසිරි ලිපි පෙළ සදහා ලියන ලද්දකි. )





