පිටු

Friday, August 16, 2013

පොල් අතු කන්‍යාරාමයේ සඳ සමග ගෙවුණු රැයක්



මිනිසි අසිරි

සරල, චාම්, පේ‍්‍රමණීය දිවියක් ඇසුරේ ලද හැකි නිරාමිස සුවය කොතරම්ද? එවන් ජීවිත බොහෝ ගණනක් ඇසුරු කරන්නට ලැබීම කොතරම් භාග්‍යයක්ද? මමද එවැනි භාග්‍යවන්තයින් අතර එක් අයෙක් වෙමි. සිතේ නිදන්ගතව ඇති සදා නොමැකෙන සොඳුරු මතකයක් අද ඔබ හමුවේ දිග හරින්නේ මෙවන් සොඳුරු ගැහැණුන්, මිනිසුන් තවමත් අප අතර සිටිනවා නොවේද යන අප‍්‍රමාණ සංතුෂ්ටියත් සිත්හි දරාගෙනය. 

පොල් අතු කන්‍යාරාමයේ සඳ සමග ගෙවුණු රැයක්

මතකයේ හැටියට ඒ 2010 වසරයි. සිකුරාදා දිනයක වරුවක නිවාඩුවක් ලබා පුත්තලම් බසයකට නැගුණේ සති අන්තයේ පවත්වන ළමා වැඩසටහනකට සම්පත් දායකත්වය ලබා දීමේ අරමුණෙනි. මදුරන්කුලිය හන්දියෙන් බහින විට ඔර්ලෝසුවේ කටු,  පහේ ඉලක්කම අල්ලන්නට ලැසි ගමනකය. මා තවත් දුර යා යුතුය. බසයක් පෙනෙන්නට නැත. වටපිට විමසා බලා හෙමිහිට කුඩා කඩයකට ගොඩ වීමි. කරුණාවන්ත පෙනුමක් ඇති මුස්ලිම් මුදලාලි කෙනෙකි. මා යා යුතු ඉසව්වද, යන්නේ කුමකටද කියා බසයක් පිළිබඳව විමසා බැලීමි. 

‘‘ දැන් බස් එකක් ගියත් යන්නෙ මගට. මං මිස්ට ත‍්‍රීවීල් එකක් කතා කරල දෙන්නං.. ඒ පැත්තටම යන ආගමේ ළමයෙක්. බයවෙන්න දෙයක් නෑ’’ ආගමේ ළමයෙක්ගේ යහපත්කම පිළිබඳව සහතික වන්නේ මුස්ලිම් මිනිසෙකි. කොතරම් අපූරුද මේ අන්‍යෝන්‍ය අවබෝධය. 
සහසම්බන්ධතාවය. හාත්පසින් අඳුර කුර ගාමින් එන විට මට බියක් නොදැණුනා නොවේ. නමුත් මනුෂ්‍යත්වය පිළිබඳව මා තුළ ඇති සහජ ඉව කිසිවිටක මා අපේක්‍ෂා භංගත්වයට පත් කර නැත. ඒ බව නැවතත් උර ගා බලන්නට අවස්ථාවකි. මම එකඟ වීමි. යහපත් අරමුණූ කරා යන විට දෙවියන් පිටු පාන්නේ නැතැයි මම අදහමි. සිත තුළ පෙරළි කරන චකිතයකින් යුතුව වුවද මම සුහද කතාබහකට මැදි වෙමින්, නාඳුනන ඉසව්වක වගතුග දෙනෙතින් විමසමින් සැහැල්ලූ වන්නට උත්සාහ ගතිමි. කිසි දිනක නොගිය මගක, නාඳුනන අයකු සමග යන විට බියක් ඇති වීම සාධාරණ යැයි සිතා සැනසුණෙමි. වරින් වර දුරකථනය තුළින් ඇසෙන කන්‍යා සොයුරියගේ දයාන්විත හඬ සිතට අස්වැසුමක්ම විය. 

ත‍්‍රීවීලය දිගු දුරක් ගෙවා කන්‍යාරාමය ඉදිරිපිට නතර විය. දුර හා සසඳන විට අය කළේද ඉතා සාධාරණ මුදලකි.  සිනා ඉහිරෙන මුහුණින් අප පිළිගත් කන්‍යා සොයුරිය සහ ත‍්‍රීවීල් සොයුරා අතර සංවාදයෙන් මට දැණුනේ ඔහු කන්‍යාරාමයේද හිතවතෙක් බවයි. 

‘‘මෙන්න අපේ දුප්පත් මාලිගාව..’’ කන්‍යා සොයුරිය පැවසුවේ තමන්ගේ නිවස පෙන්වමිනි. මා ඉදිරියේ ඒ සුන්දර දසුන වේ. මා දකින්නට පෙරුම් පුරමින් සිටි දසුන. පොල් අතු කන්‍යාරාමය. මුහුදුකරයේ අසිරිය විහිදන සුදු වැලි තලාව මැද එය අහිංසක ලෙස නැගී සිටී. හාත් පස පැල පොල් ගස්ය. වටේට පොල් අතු අසුරා, වහළයට පොල් අතු හෙවිල්ලා ඇති කන්‍යාරාමය සැබෑවටම මාලිගාවකට වඩා සුවපහස් බවක් දැනවීය. 



ගුරු පාරේ සිට කන්‍යාරාමයට යන මග දෙපස මඤ්ඤොක්කා ගස් සරුසාරෙට වැඩී ඇත. වම් පසින් පොල් අතු සෙවිලි කළ ගිම්හාන නිවසකි. ඒ වටා ලී බංකුය. ගමේ ළමුන්ට අකුරු උගන්වන පන්ති කාමරයත් එයමය. දකුණු පසින් දුරට වන්නට කුඩා දෙව් මැදුරකි. එයට පිටුපසින් කුඩා පොල් අතු මඩුවකි. මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම් ඉගෙන ගන්නට ගමේ යෞවනියන්, දැරියන් එකමුතු වන ගෘහ විද්‍යාගාරය එය බව පසුව දැන ගන්නට ලැබිණි. ඉදිරිපස නිරාවරණව පැවතියද කන්‍යාරාමය පිටුපසින් පොල් අතු තාප්පයකින් වට වී ඇත. 

කන්‍යාරාමය වටා මල් පඳුරුය. එළවළු, පලා වගාවන්ය. ඉදිරිපස ඉස්තෝප්පුව නිරන්තරයෙන් සිහිල් මුහුදු සුළං රැල්ලෙන් ආසිරි ගැන්වේ. ඇතුළත කාමර දෙකකි. කුඩා සාලයේ පසෙක පුස්තකාලයකි. සාලයෙන් පිවිසිය හැකි පුංචි පල්ලියකි. පල්ලියේ බිමද මුහුදු වැල්ලය. කුඩා පුදසුන හොඳින් මදින ලද ගස් කොටයකි. දවසක් වුවද භාවනාවේ යෙදෙන්නට හැකි නිසංසල තැනකි. 

මුළුතැන්ගෙයද පිළිවෙලය. පාසලේ උගන්වන්නේ, දහම උගන්වන්නේ, මිනිසුන්ගේ දුකට සැපට දුව ඇවිදින්නේ, පල්ලියේ වැඩ කරන්නේ, වගා කරන්නේ, උයා පිහා ගන්නේ කන්‍යා සොයුරියන් විසින්මය. ගමන බිමන පාපැදියෙන්ය. එවන් කන්‍යාරාම වේද, එවන් කන්‍යා සොයුරියන් වේද සිතීමද අසීරුය. නමුත් එය සත්‍යයකි. මා අත් දුටු සත්‍යයකි. 

ළෙංගතුකම, සතුට, සිනහව මැද රාත‍්‍රිය එළඹුණේ සඳත් තනිවට කැන්ද ගනිමිනි. පාළොස්වක පොහොය ආසන්නය. නෙරළු තුරු හිස් මුදුන සඳ එළිය තැවරුණු, සුදු වැලි මිදුල මත සඳ එළිය රටා ඇඳි, සිහිල් සුළං රැලිවලින් නිබඳවම පිරිමැදුණු ඒ සුන්දර රැය වර්ණනා කරන්නට තරම් මගේ දුප්පත් අකුරු සවිමත් නැත. සොබාදහම නම් කලාකරුවා ඉදිරියේ අපි කුරා කුහුඹුන් නොවේද?  

අපි බොහෝ වේලාවක් එළිමහනේ කතා බහ කරමින් සිටියෙමු. පසුදින වැඩසටහන සැලසුම් කළෙමු. මගේ ළබැඳි යෙහෙළිය වූ පැවිදි සොයුරියගේ කාමරයට පිවිසි විට තවත් අසිරියකි මා හමුවේ. එය එක් කවුළුවක් පමණක් ඇති ඉතා කුඩා කුටියකි. කුඩා ලෑලි ඇඳකි. ඒ මත චීත්තයක් එළා ඇත. ඇඳ, මේසය, පුටුව සහ කුඩා සූට්කේසය එපමණි ඈ සතු භෞතික භාණ්ඩ. පැලලි බිත්තියේ ඇද ඇති ලණුවක ඇඳුම් කැඩුම් කිහිපයක් දමා ඇත. මේසය මත ඈ සතු වටිනාම සම්පත් පිළිවෙලට අසුරා ඇත. ඒ බයිබලය සහ පොත් පත් එකතුවයි. 

‘‘ නංගා ඔයා ඇඳේ නිදා ගන්න...’’ ඈ මට පවසන්නීය. 

‘‘ නැහැ නැහැ සිස්ට ඇඳේ නිදා ගන්න. මට බිම පැදුරක් දාල දෙන්න.’’ මම කියමි. 

‘‘ නෑ ළමයො ඔයා මේ ඇඳේ නිදා ගන්න. වැඩටත් ගිහිල්ල, මේ තරම් දුරකුත් ආවට පස්සෙ කොයි තරම් මහන්සිද? මට තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරලා අනිත් සිස්ටත් එක්ක මම එයාගෙ කාමරේ නිදා ගන්නම්...’’ ඒ පැහැදිලි කිරීමෙන් පසුව තව දුරටත් වාද කරන්නට සිතක් නොවිණි. සැබවින්ම වෙහෙසක් දැනෙමින් තිබිණි. ඇහි පිය නිදි කිරමින් තිබිණි. 

‘‘ ජනේලෙ වහන්නද? ’’ ඇය නැවතත් කාරුණිකව විමසන්නීය. 

‘‘ ඇරල තියමු නේද? හොඳ හුළඟක් එනවා’’ සැබවින්ම මා එසේ කීවේ හුළඟට ලෝබකමින් පමණක්ම නොවේ, විවෘත කවුළුවෙන් පෙරී එන සඳ රැස්වලට ලෝබ කමිනි. කවුළුවෙන් එපිට වළා ඇතිරිලි මත නැළවෙන සඳ මට පෙනේ. වෙහෙසකර දිනක සුව නින්දකට ආසිරි ගෙනෙන්නට සමත් මෙවන් දසුනක් තවත් වේද

කන්‍යාරාමය ගැනත්, පැවිදි සොයුරියන් ගැනත් අපමණ සෙනෙහසින් සිතුවිලි ගඟුලක ගිලී සිටින විට කොයි මොහොතේ නින්ද මා කරා ආවාදැයි නොදනිමි. ? රෑ මැද මා නැවත අවදි වන විට ඇඳ වටා මදුරු දැල දමා තිබිණි. ඇඳ පාමුල එලූ චීත්තයක් මත ඒ දේවදූතිකාව සුව නින්දකය. සඳ තවම අවදියෙනි. අවට නිසංසල බව බිඳින්නට නොසිතුණි. ලෑලි ඇඳට වඩා බිම කොතරම් සුවදායක ඇත්දැයි සිතමින් මම නැවතත් සෙමෙන් දෙනෙත් පියා ගතිමි.

‘‘ අනේ සිස්ට ... ඔයා බිම නිදාගෙන ඉද්දි මට හරි දුක හිතුණා. ඇහැරවන්නත් ලෝබ හිතුණා. ’’ පසුදා උදෑසන මා එසේ කියන විට ඇය සුන්දරව හිනැහුණාය.

‘‘ මම හැමදාම බිම නිදා ගන්නෙ නංගෝ. බිම හරි සනීපයි.’’ 

‘‘ අපරාදෙ මටත් බිම නිදා ගන්න තිබුණනේ...’’ 

‘‘ ආයෙම ආවම නිදා ගන්නකො.. මේ අපේ ගෙදර ආව මුල්ම දවසනෙ...’’ ඇය කීවාය.




ඉන්පසු කිහිප වරක් මම එහි ගියෙමි. කුටියේ බිම පමණක් නොව, ළමා ළපටි රැසක් සමග ඉස්තෝප්පුවේ බිමද නිදා ගත් දවසක් අතීත පොතේ ඇත. පොල් වතුවල, දුම්කොල වගාවන් වල, මුහුදේ රස්සා කරන දුප්පතුන් පිරිවරාගෙන නැගී සිටි ඒ පොල් අතු කන්‍යාරාමය කොතරම් ආදරයක්, සැනසුමක්, නිදහසක් විහිදෙව්වාද? කොතරම් ළමා ළපටින්ගේ ජීවිතවලට ආලෝකයක් වූවාද? සැබවින්ම එහි දේව රාජ්‍යය යථාර්ථයක්ව බැබළිණි. 

අද ඒ කන්‍යාරාමය නැත. එහි සිටි මගේ හිතවත් කන්‍යා සොයුරියන් වෙනත් ප‍්‍රදේශයන්හි සේවාවන්වලය. නමුත් ඒ සොඳුරු මතකය සදා නොමියෙන ලෙස මගේ මතකයේ රැඳී ඇත. එවැනි සරල දිවි පෙවෙතක් සිතට කොයි තරම් අස්වැසුමක්ද?     


( කැඩපත සගරාවේ මිනිසි අසිරි ලිපි පෙළ සදහා ලියන ලද්දකි. )



























Monday, August 12, 2013

සහනයේ ස්නේහය..සහ.. රිදුම් දෙන ප්‍රේමය



උදෑසන සිහිළැල් මිහිදුම් සළුවකින් වැසී ඇත. කුරුළු කෙවිල්ලන්ගේ කිචිබිචිය හාත්පස නිස්කලංකයද.. හිතේ සැහැල්ලුවද කිතිකවයි. හේතුවක් නොදන්නා මන්දහාසයකින් හිත පිපෙයි. සිතුවිලි ර දෙයි.

පුස්තකාල බිම සන්සුන් හුදකලාවක වෙළී ඇත.

‘‘කවි වැඩමුළුව කොතනද තියෙන්නෙ?” ‍කහපැහැ මල් ඇතිරිල්ලේ හැඩතල ඉරටු ඉදල් පහරින් මකා දමමින් සිටින කොලු ගැටයකුගෙන් මම විමසමි.

 “පඩිපෙල නැගල උඩ තට්ටුවෙ කෙරවලේම හෝල් එකේ” අඳුරු දත් පෙළ පෙන්නා සොඳුරු සිනාවක් පාන ඔහු පිළිවදන් දෙයි.

මම සිනහවකින් තුති පුදා පියගැටපෙළ වෙත පිවිසෙමි. පියගැටපෙළ ඉස්මත්ත හුදකලා දිගු කොරිඩෝරයකට විවර වේ. ඈත මෑත කිසිවකුත් නොපෙනේ. ‍හාත්පස නිසලබව බි දමන්නට ලෝබ සිතින් මම හෙමිහිට පා තබා ඇවිද යමි. කොරිඩෝරයේ මැද දී හදවතේ ඇණවුමකට හිස එස වේ. කවුරුන්ගේ හෝ දෑස් බැල්මකට මා ඉලක්කයක් වී ඇතැයි සිතේ. නිවැරදිය.

සහනයේ ස්නේහයේ පිළිරුව කො‍රිඩෝරයේ කෙළවර යකඩ වැටට බර දී බලා හිඳියි. අපේ දෑස් හමුවෙත්ම ඔහු අත වනයි. සිනාවත දල්වාගෙනම මම පය ඉක්මන් කරමි.

“දිග පාළු කොරිඩෝ එකේ ලතාවට ඇවිදගෙන එද්දි හරිම කලාත්මකයි. චිත්‍රපටියක රූප රාමුවකට තිතට හරියනවා..” ඔහු සැනසිල්ලේ වදන් ගොනු කරයි. ඒ හ ගැඹුරුය. තැන්පත්ය. ළෙංගතුය. හිත පහන් වී යයි. ‍

‍මසිතේ නින්නාද නගන එක් ප්‍රේම පාරමිතාවක හැඩතල වර්ණ ගැන්වෙන්නේ ඔහුගෙනි. නමුත් ඒ බව ඔහුම නොදනියි.

ඒ ප්‍රේමය අපේය යන හැඟුමිනි. අයිති කර ගැනුමේ තෘෂ්ණාවෙන් තොරය. සිත නිවන ප්‍රේමයකි. සහනයේ ස්නේහයකි.

තවත් ප්‍රේම පාරමිතාවක් ඇත. ඒ ම‍ගේ ය යන හැගුමිනි. තෘෂ්ණාවෙන් බර ය.  සිත නිරන්තරයෙන් රිදුම් දෙවන ප්‍රේමයකි.

එක් ප්‍රේමයක් ස පහනක් වැනිය. දුර සිට සැනහෙන්නට සකිරණක් වුව ප්‍රමාණවත්ය.

නමුදු අනෙක් ප්‍රේමය හද කුටියටම කැදවා දල්වා තබා ගැනුමට රිසි පහනක් වැනි ය. ඒ එළිය මටම පමණක් විය යුතු යැයි සිතේ. 

සිතක අරුමය....

“ඉතින් කොහොමද අයියෙ?” මම විමසමි.

“ඊයෙ ගෙදරින් පිට වෙච්ච ගමන නංගියා. පුත්තලමෙ ළමයින්ට වැඩක් තිබුණා. හැන්දෑවෙ මීගමුවෙ තරුණ කණ්ඩායමකට කතා කරන්න තිබුණා. රෑ එහෙමම යාළුවෙක්ගෙ ගෙදර නැවතුණා. උදේ ‍මේ වැඩේට ආවා.”

කුටුම්භයක හිමිකාරයෙක් වුව ද සමස්ත කුටුම්භයන්හි සැනසුම සිය හිසින් දරා ගත්තකු සේ නිරන්තර ගමනටම දිවි කැප කළ අයෙකි ඔහු. රබර් සෙරෙප්පු දෙකත්, හම් බෑගයත් පාට පිච්චුණු කලිසම, කමිසයත් සමග ඔහු එංගලන්තයේ මහාරාජිණියට වුව ආදරය, ජීවිතය ගැන කියා දෙන්නට නොපැකිළව යනු ඇත.

“අක්කා හොද නිසා හොදයි. ගෑණියෙකුට ලේසි නැහැ ඔයා වගේ පිරිමියෙක් එක්ක ජීවත් වෙන එක...”

සිනාවක් සමග මා එලෙස කීවද සිත කියන්නේ වෙනෙකකි. මානව දයාවෙන් පිරි එවන් මිනිසකු වෙනුවෙන් හදවතින්ම කැපවන්නට ඇත්නම් කොතරම් අපූරුද? එකී දිවිය කුරුසියක් වුව කම් නැත. එකසිතින් උර දරාගෙන කපාල කන්ද වුව නගින්නට හැකිය.

“ඇත්ත... අවම වශයෙන් භක්තිය වගේ හැගීමක්වත් නැතිව ගැහැණියකට අමාරුයි එහෙම කැපකිරීමක් කරන්න. විශේෂයෙන් මං වගේ ගෙයක් දොරක් නැති තාලෙට ජීවත් වෙන මනුස්සයෙක් වෙනුවෙන්... ඒ අතින් මං මාර විදියට අගය කරනවා අපේ නෝනෙව...දරුවන්ගෙ වැඩ, ගෙදර වැඩ, තනියම කරගහගෙන අඩුම ගාණෙ ඇණුමක් බැනුමක් රැවුමක් ගෙරවුමක්වත් නැතිව ධෛර්යය දෙන එක... ඒක හරිම අධ්‍යාත්මික වැඩක්. ” ඔහු හිනැහෙමින් පවසයි. දෑසේ ආදරය දිදුලයි. පතිනිය වෙනුවෙන් උපන් සෙනෙහස... ඔවුන්ගේ ප්‍රේමය නමින් උපන් ගෞරවයෙන් මසිත ද පිරීතිරී යයි.

“ පිරිමියෙකුට ලේසියි.. ගෙදරින් පිටවෙන එක.. ඒත් ගෑණියෙකුට ඒක අමාරුයි. බැන්දොත් බැඳුණාම තමයි. දරුවෙක් ලැබුණට පස්සෙ ඉතින් ලෝකෙම දරුවා. තවදුරටත් සමාජයට ආදරය කළ ගැහැණිය ඉතිරි වෙන්නෙ නැහැ... මට දරුවෙක් හිටිය නම් මම කවදාවත් ඒ දරුවා දාල සමාජ වැඩට එළියට බහින්නෙ නැහැ. එහෙම තමයි සිද්ද වෙන්නෙ...”

“ඒක ඇත්ත. මං දන්න ඉතාම හොද සමාජ ක්‍රියාකාරිනියො විවාහයත් එක්ක සාම්ප්‍රදායික කාන්තාවගෙ භූමිකාවට කොටු වෙලා නැති වෙලා ගියා. මෙහෙමයි, කාන්තාව ස්වභාවයෙන්ම පිරිමියා මත යැපෙනවා. එහෙම නැතිව නිදහස්ව ස්වාධින ඉන්න පුළුවන් අය අඩුයි. යැපීම වරදක් නෙවෙයි. ස්වාධීනව ඉදීම වරදකුත් නෙවෙයි. වඩා වැදගත් තමන්ගෙ හිතට එකගව පරිපූර්ණව ජීවත් වෙන එක... මාතෘත්වය ප්‍රබලයි පීතෘභාවයට වඩා. තාත්ත කෙනෙක් දරුවෙක් අත් හැරියත් අම්ම කෙනෙකුට අමාරුයි ඒක කරන්න. පිරිමියගෙ විප්ලවය ගෙයින්එළියෙ වෙද්දි ගැහැණියගෙ විප්ලවය ගේ ඇතුළෙ සිද්ද වෙන්නෙ ඒ නිසයි. මේ කාරණා දෙකම එක වගේ වැදගත් සමාජයේ ඉදිරි ගමනට...”

ඇයි බදින්නෙ නැත්තෙ? කවද හරි තනිවෙනව නේද? සාම්ප්‍රදායික ප්‍රශ්නමාලාවේ කඩුතුඩු ඇණ කිසිදිනක හදවත නොපාරන ඔහු සියුම් නහරවලට එන්නත් කළ හැකි සුවසහනයේ වචන පමණක්ම තෝරා බේරා අමුණන්නේ කෙලෙසදැයි විටෙක සිත විස්මපත් වේ.

සරණබන්ධනයෙන් බැදෙන ගැහැණියකට සමාජය තුළ සම්මත ගොඩනැගුණු රාමුවක් ඇත. බොහෝ කාන්තාවන් ඒ රාමුව තුළට යන්නේ ස්වකැමැත්තෙන්මය. බිරි, ගෘහණිය, මව යන භූමිකාව ඒ රාමුගත වීම සාධාරණීකරණය කරන සාධකය. 

සෝර්බා වර්ගයේ පිරිමින් සිටිය හැකිය. නමුත් සෝර්බා වර්ගයේ ගැහැණුන් සිටිය හැකිද?  පූර්ණ නිදහස අත්විදින්නට නම් සියලුම බැදීම්වලින් වියුක්තව සිටිය යුතු නොවේද? මේ සත්‍යය දැන දැනම සිත ඇලෙන්නට බැදෙන්නටම රිසි වන්නේ ඇයි.... ?

ස්නේහය පිරීගිය ඔබෙ නයන නිල් පොකුණ
දිය නිලන වැසි සමයේ රැල් නගා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර...

කවි කතාබහ ඇරඹී ඇත. වස්සානයේ කවි පද මුව අගින් වෑස්සේ. සමස්ත ලොව වෙත ස්නේහයෙන් පිරී ගිය නිල් නයන දිදුළයි. ගලා එන සෑම වදනක්ම තුළම දිවමතුරක් මෙන් ජීවිතයට ඇති ආදරය දැවටී ඇත. මම කවිය තුළ දැහැන් ගත වෙමි.

රත්න ශ්‍රී සොබාදහම විනිවිදින අපූරුව. ජීවිතයට ඇති ආදරය... වස්සානය කවි පන්තියේ අකුරක් අකුරක් ගාණේ සොබාදහමට, ජීවිතයට මෙන්ම හේමමාලිට ඇති සෙනෙහසද මතු වනුයේ...

‘‘....... දහස් ගණන් දරුවන් අතුරුදහන් වෙද්දී අපේ කලාකෘතීන් ඒ ගැන කඳුලක් හෙළුවාද? අසාධාරණය තුළ ජීවත් වන විට මිනිසා සාහසික වෙයි. එවිට ඔහු මර්දනය කිරීමෙන් අසාධාරණ ගොඩට තවත් අපරාධයක් එකතු වනු ඇති බව අපේ නවකතා, කෙටිකතා, කවි, චිත්‍ර,ගී, සින්දු නොකියන්නේ ඇයි?

මේ අයුක්තිය ගැන එක් කතාන්දරයක්වත් එක් ගෙදරක ඇත.

එක් ගමක දුක් විඳින නවකතා සිය ගණනකි. කෝපයෙන් පිපිරෙන කෙටිකතා සිය ගණනකි. රැව්පිළිරැව් නංවන ගී සින්දු කවි දහස් ගණනකි.

කලාකරු නැති බැරි මිනිහාගේ කටහ විය යුතුය.දුකෙහි ස්වර නාදයත්... අයුක්තියෙහි දී විනිශ්චයකාරයාත් විය යුතුය.....

එස්.ජී. පුංචිහේවා මහතාගේ දේශනයක් ඇසුරින් ගොනු කළ කලාකරුවකුගේ වගකීම සම්බන්ධ අගනා කතාවකි ඒ. ඔහු එය විස්තර කරනුයේ තුන්සිතම කම්පනය කරවමිනි.

‘‘ඔබ ලියන්නෙ ඉතාම පුංචි දෙයක් වෙන්න පුළුවන් .. ඒත් ඒ පුංචි දේ උණත් ලොකු හැඟීමකින් ලියන්න.. වගකීමකින් ලියන්න... ලියන්නෙ මිනීමැරුමක්, සියදිවි නසාගැනීමක් ගැන වෙන්න පුළුවන්. ඒත් ඒ තුළිනුත් කිසියම් ජීවිත අර්ථයක් උත්පාදනය කරන්න උත්සාහ ගන්න. ජීවිතයට ආදරය කරන මිනිස්සු නැති වටපිටාවක ඔබ ජීවිතයට ඇති අප්‍රමාණ ආදරයෙන් ලියන්න. ඒ වෙනුවෙන් බලපෑමක් කරන්න අවම උත්සාහයක්වත් දරන්න....

ලිවීම කලාත්මක වැඩක්, සෞන්දර්යාත්මක වැඩක් වගේම දේශපාලනික වැඩක්. මිනිස්සුන්ගෙ චින්තනය වෙනස් කරන්න බලපෑම් කරන්න පුළුවන් ලේඛකයෙකුට. කවියෙකුට.

ඔහු පවසයි. කලාකරුවන්ගේ වගකීම හිත පුරා මහමෙරක්ව පතිත වෙද්දී රිදුම් දෙන ප්‍රේමයේ දෝංකාරයක්ද හදවත තුළින් මතු වේ.

෴෴
‘‘මට ඕන ඔබ ලියන දේවල් ඇතුළෙ බරපතළ ගෑනියෙක් දකින්න...” සමනල් හීන ගෙත්තම් කරමින් උන් කවි හිතට ඉලක්කෙටම වෙඩි තැබූ වචන...

‘‘ජීවිතේ බරපතළ අත්දැකීම් නැති කෙනෙකුට බරපතළ ලියන්නියක් වෙන්න අමාරුයි... ” මට මගේ පාඩුවෙ ඉන්න ඉඩ දෙන්න යැයි මම නොකියා කියමි.

‘‘ ගින්දරට පිච්චෙන බව දැනගන්න ගිනි තියා ගන්නම ඕන නැහැ. ඒකට තමයි ඇස්,කන් දීලා තියෙන්නෙ. මොළයක්, හදවතක් තියෙන්නෙ. සංවේදී, විවෘත ගැහැණියක් වෙන්න.. ලියද්දි ඔයිට වඩා බරපතළ විදියට හිතන්න...”
෴෴

කවිය... කලාව සමගම දවස වියපත් වේ. සමුගන්නට මොහොතය. යන්නම් කියන්නට ඉඩක් නැත. කවි කැමැත්තෝ වට කරගෙනය. මම ඈත සිට අත වනා සමුගනිමි. හමුවීම සතුටකි. නමුත් වෙන්වීම දුකක් නොවේ. තෘෂ්ණා සිතක් නොමැති කල හිත සැහැල්ලු වන තරම....

මාවතට පිවිසි විගස දුරකථනය අතට ගෙන බලමි. හැළහොල්මනක් නැත. සිත වේදනාවෙන් බර වේ. මෙතෙක් සිත පැවති සැහැල්ලුව පළා යන්නේ අසුරු සැණිනි.

තෘෂ්ණාවෙන් බර ප්‍රේමය සිත පෙළන තරම....





Thursday, August 8, 2013

තුවක්කු මානන තුරු පපුවට හරි කෙළින්...






වසා ගන්න දෑස් තදින්
වසා ගන්න සවන් හොඳින්
පා තබා අපි යමු
දැහැමෙන් සෙමෙන්
නිදිබර අම්බරුවන් සේ...

ඇවිළුණේ ගිනිදැල්
පපුකුහරවල උතුරේ
ලේ පිපාසිත මූණිස්සම්
දඟකැවුණේ මූදුකරේ
කලාපේ... රතුපස්වල

අල්ලපු වැටේ වුව
එයින් කම් කිම?
තවමත් අප සුරක්ෂිතය.

ඇවිද යමු ඉතින්
දැහැමෙන් සෙමෙන්
තුවක්කු මානන තුරු
පපුවට හරි කෙළින්...


ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ සත්‍යග්‍රහයක් ඊයේ සවස කොටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්වුණා.. මෙහිදී මහින්ද නාමල් සොයුරා මතු කළ ඉතා වැදගත් කාරණා කිහිපයක් ඔබ හා බෙදා ගන්නට කැමතියි.

මූලික මිනිස් අයිතියක් වෙනුවෙන් හඩ නැගූ මිනිසුන්ට සන්නාහ සන්නද්ධ හමුදාවක් කැදවා පහර දීම කිසිදු ධර්මයකට අනුමත කළ නොහැකි සහගහන අපරාධයක්...

මියගිය දෙදෙනෙක් අවුරුදු දහඅටට අඩු ළමයින්... වැඩ ඇරී පැමිණෙන ඇගලුම්කම්හල් සේවකයෙක්... අවම වශයෙන්වත් උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අය...

පානීය ජල ප්‍රශ්නයට නළ ජලය ලබා දීම පමණක් මේ ගැටලුවට විසදුමක් ‍නොවේ. දීර්ඝකාලීනව මහපොළවට එක් කරන විෂරසායනිකවලට විසදුමක් ලැබිය යුතුයි. පරිසරයට හානි නොවන සේ කැලිකසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සැකසීම අත්‍යවශ්‍යයි.

මිනිස් අයිතිවාසිකම්ලට මෙන්ම පරිසරයට එරෙහිව සිදුවන අපරාධවලටත් අප හඩක් නැගිය යුතුයි.

දිනෙන් දින මෙවැනි අපරාධ වැඩිවීමට අපේ නිහඩතාවයත් හේතුවක්.. අපරාධ සිදු කරන අයටත් වඩා සමාජයට හානියක් සිදු වෙන්නෙ ඒ දැක දැකත් නිහඩව සිටින අයගෙන්... නිහඩතාවය අනුමැතිය ලබාදීමක්, පෙළඹවීමක් ඇති කිරීමක් ...

අද මිය යන්නේ අනුන්ගේ දරුවෙක්.. හෙට ඒ ඔබේ දරුවා විය හැකියි...

එනිසා අවම වශයෙන් පවුල තුළ, දරුවන් සමග බිරිද ස්වාමිපුරුෂයා සමග හෝ කතා කරන්න. අයුක්තියට, අසාධාරණයට විරුද්ධ වෙන්න. මිනිස්කම වෙනුවෙන්, සොබාදහම වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් හැකි සෑම විටම සෑම තැනම පෙනී සිටින්න.

Friday, August 2, 2013

විප්ලවීය අප්පච්චිගේ පුත්‍ර ස්නේහය




සිඟිති සුරංගනාවිටත් නානාප‍්‍රකාර මව්වරු පියවරු දකින්න ලැබෙනවා. ඒ මව්පියන්ගෙ දරුවනුත් එක එක ආකාරයි. දරුවන් හැදීම වැඩීම විවිධාකාරයි. විටෙක සුන්දරයි. විටෙක අමුතුයි. විටෙක කටුකයි. සිඟිති සුරංගනාවි දන්න එක අප්පච්චි කෙනෙක් ඉන්නවා වාමාංශික දේශපාලන ව්‍යාපාරයක බල කණුවක්. අම්ම නම් බොහොම තැන්පත් සාම්ප‍්‍රදායික අම්ම කෙනෙක්. මේ විප්ලවීය අප්පච්චි දරුවන් සම්බන්ධව ක‍්‍රියා කරන්නෙත් අමුතුම තාලෙට. නිදහස උපරිම දීල තියෙනවා. වැරදි පෙන්නල දෙනවා මිස හරි වැරුද්ද තෝර ගන්න උදව් කරනවා මිස අණපණත් පනවන්නෙ නැහැ. සැරවැරත් නැහැ. දඬුවමුත් නැහැ.  


ඒ ගැන අම්මගෙන් බැනුම් අහන වාර නම් අනන්තයි. පුංචි පුතා පහ වසර වෙද්දිත් කියවන්නෙ බරපතළ පොත්. එයා වැඩියම කැමති ඉතිහාස පොත් කියවන්න.  අවුරුදු දහයෙදි අහන්නෙ zzමොකක්ද මේ ජීවිතේ තේරුම@ ඇයි අපි ජීවත් වෙන්නෙ@ ඇයි අපි ඉගෙන ගන්න  ඕනෙ@ZZ ඔන්න ඔය වගේ ප‍්‍රශ්න. 


ඔන්න එයාලගෙ ගමේ පල්ලියෙ මංගල්ලෙ. පල්ලියෙ මංගල්ලයක් වුණාම කඩ වීදි තියෙනවා. මේවයෙ පුංචි ළමයින්ව පිස්සු වට්ටන සෙල්ලම් බඩු අරුමෝසම් බඩු, රසකැවිලි පිරිලා. සමහරු මේ කඩවීදිවලට පල්ලි පොල කියලත් කියනවා. පුතා කොහොම හරි සීයට කන්කෙඳිරි ගාල ලොකු ගාණකට තුවක්කුවක් අරගෙන. 

අප්පච්චිගෙ හිතට හරි අමාරුයි. අප්පච්චි විප්ලවකාරයෙක් වුණාට කවදාවත් දරුවන්ට තුවක්කු අරන් දීල නැහැ. අනික විප්ලවය කියන්නෙ අවිආයුධවලින්ම කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. අප්පච්චි විශ්වාස කරන්නෙ මනුස්සකම ගැන මිස අවි ආයුධ ගැන නෙවෙයි. තුවක්කු අරන් දුන්න කියල සීයට මොනවත් කියන්නත් බැහැ. හිතේ අමාරුව ගැන අම්ම එක්ක කතා බහ කරල අප්පච්චි නිහඬවම උන්නා. අප්පච්චිගෙ නිහඬබව ගුටියකට වඩා දරුණුයි. පුතාට තේරුණා තමන් කළේ වැරැද්දක් බව.


''අපි ඔයාට කවදාවත් තුවක්කු අරන් දීල නැහැනෙ පුතා. තුවක්කුවක් කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. අප්පච්චි කොයි තරම් මිනිස්සුන්ට ආදරේද, මිනිස්සුන්ගෙ ජීවිතවලට ගරු කරනවද කියල ඔයා දන්නවනේ. යහපත් මනුස්සයෙක් ගහකොල සතා සීපාවන්ටවත් හිරිහැරයක් කරන්නෙ නැහැනේ. ඔයා අප්පච්චිගෙන් සමාව ඉල්ලන්න." අම්ම පහදල දුන්නා.


"අප්පචිච් මට සමාවෙන්න. මං ආයෙ මේ වගේ දේවල් ඉල්ලන්නෙ නැහැ." අප්පච්චි තනියෙන් ඉන්න වෙලාවක් බලල පුතා ළං වෙලා කිව්වා.


"ඔයා හිතනවද ඔයා කළේ වැරැද්දක් කියල. තුවක්කුවක් ඔයාට අවශ්‍ය නැහැ කියල." අප්පච්චි ඇහුවා. 


"ඔව් අප්පච්චි දැන් මං මොකද මේ තුවක්කුවට කරන්නෙ" පුතා අප්පච්චිගෙන් ඇහුවා. 


"ඔයාට කැමති දෙයක් කරන්න. ඇයි අපිට තුවක්කු  ඕන නැත්තෙ කියන එක ඔයා තේරුම් ගත්ත නං මට ඒ ඇති." අප්පච්චි කිව්වා.


දවස් කීපෙකට පස්සෙ අප්පච්චි දකිනවා පුතා තුවක්කුව කෑලි කෑලි වලට ගළවලා. ඒ තුවක්කුවේ තිබුණු නිවි නිවි දැල්වෙන ආලෝක බුබුළ සහිත කොටස විදුලි පරිපථයකට සම්බන්ධ කරල අමුතුම සෙල්ලම් බඩුවක් හදාගෙන. එයා තුවක්කුව විසි කරලත් නැහැ. කාටවත් දීලත් නැහැ. නිර්මාණශීලී හැකියාවයි, නැවුම් අදහසුයි එකට එකතු කරල ජීවිත නසන තුවක්කුව ආදරය, සතුට ගෙන දෙන, ජීවිතය අලූත් කරන නිර්මාණයක් බවට පත් කරලා...


සිඟිති සුරංගනාවිටත් හරි සතුටුයි. දරුවන් සම්බන්ධයෙන් වැඩිහිටියන් කටයුතු කරන ආකාරයත් එක්ක දරුවන්ගෙ ක‍්‍රියා කලාපයන්, සිතුම් පැතුම් කොයි තරම් නම් වෙනස් වෙනවද, අර්ථවත් වෙනවද, ලස්සන වෙනවද, අනික් දෙමව්පියනුත් දරුවන් ගැන මේ විදියට අවබෝධයෙන් කටයුතු කරනවනම් කොයි තරම් හොඳඳ, සිඟිති සුරංගනාවිට හිතුණා.