පිටු

Friday, March 30, 2012

තරුගේ කවි නොකවි - 02 -




චැට් නිසා ලියවුණු කවි....

චැට් ගැන සමාජයේ තියෙන්නෙ හොඳ ආකල්පයක් නොවුණත් පරිගණකයක් ඇසුරු කරන වැඩි දෙනෙක් ඉඳ හිට හරි චැට් කරනවා... කම්මැලිකම නැති කරගන්න. පාළුව මකා ගන්න. අළුත් යාළුවො අඳුන ගන්න. සල්ලි හොයන්න... මේ වගේ සාධනීය අරමුණු වගේම පැහැදිලි කරල ලියන්නවත් බැරි අප්‍රසන්න අරමුණු වෙනුවෙනුත් චැට් භාවිතා වෙනවා...

මේ '' අන්තර් ජාල සුහද පිළිසඳර '' ගැන මගේ උපාධි නිබන්ධනයක් වෙනුවෙන් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළා මම 2010 වසරෙ... ''අන්තර්ජාල සුහද පිළිසඳර භාවිත කරන පුද්ගලයින‍්ගේ මානසික හා සමාජයීය චර්යාවන් අධ්‍යයනය කිරීම '' එහෙමයි ව්‍යාපෘතිය මම නම් කළේ... චැට් මගින් අහුඹු විදියට තෝරා ගත් 25 දෙනෙක් ගැන කළ සමීක්ෂණයක් ඇසුරින් තමයි ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළේ... නමුත් එය පරිපූර්ණ නිබන්ධයක් තරමට දුර ගියේ නම් නැහැ. හැබැයි ඒ අධ්‍යයනය නිසා දැන ගත් දේවල්, අවබෝධ කර ගත් දේවල්වලින් පොතක් ලියන්න පුළුවනි.

පොතක්, කවියක් කියවනවා රස විඳිනවා වගේ මිනිස් හදවත, මනසත් කියවන්න පුළුවන්... ඉන්‍ටර්නෙට් චැට් තුළින් උණත් මේ දේ කරන්න පුළුවනි.... චැට්වලදි මුණ ගැහෙන අය කියන්නෙ ඇත්තම නම් නෙවෙයි. බොරු ගොඩක් අතරෙ උණත් යම් යම් සංවේදී කාරණා මතු වෙනවා...  මේ මිනිස් ජීවිත කියවීම... ඕපදූප සෙවීමට එහා ගිය උතුම් අරමුණකින් සිද්ධ වෙන්න ඕන කියන එකයි මගේ අදහස...

වඩා යහපත් ලොවක් හදන්න චැට් මගිනුත් යම් දායකත්වයක් ලබා ගන්න පුළුවන්.... '' ඔබ මේ ලොවට ආදරේ නම්, මුළු ලොවම ඔබටත් ආදරෙයි " කියන ‍මගේ ආදරණීය ජීවිත තේමාව චැට් තුළදිත් රැක ගන්න මම උත්සාහ කරන නිසාම හොඳ හිත් ඇති අය අඳුන ගන්නත්, අඳුන ගන්න අය තුළ ඇති හොඳ ටික වටහා ගන්නත්, හොයා ගන්නත් මට හැකි උණා.... ගන්නම දෙයක් නැති අයත් නැතුව නෙවෙයි.. මනුෂ්‍යත්වයේ අඳුරු අහුමුළු අපි කොයි කාගෙත්  ජීවිතවල නැතිව නෙවෙයිනේ....මේ කතාව චැට් ගැන නම් නෙවෙයි... ඒ ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න වේවි....

චැට් යහළුවෙක් නිසා මාතින් ලියවුණු ගීත රචනාවක්  ගැනයි අද ලියන්න හිතුවෙ....

මැද පෙරදිග රැකියාවක ‍යෙදුණු එක් සොහොයුරෙක් මගේ චැට් යහළුවන් අතර හිටියා.. චැට්වලදි මුණ ගැහුණු යහපත් පුද්ගලයෙක් විදියටයි ඔහු මගේ මතකයේ රැදෙන්නෙ.... ( ඒ යහපත්කම මගේ චැට් ප්‍රතිපත්තිවලට සාපේක්ෂව ගොඩනැගුණක්ද විය හැකියි. ) ඔහු පුංචි දියණියකගේ පියෙක්... ඒ වන විට දියණියට වයස අවුරුදු එකහමාරක් විතර. ඔහු නිතරම දූ පැටිය ගැන කතා කළා... මට ‍‍‍දුවගේ පොටෝ එකකුත් බලන්න එව්වා... මතකයි... දුරු රටක පාළුව තනිකම මකා ගන්න පිළිසඳර කාමරයක මිතු දම් ගොඩ නගා ගත්තත් ඔහු තමන්ගෙ පවුලට ගොඩාක් ළැදිව හිටි කෙනෙක්.... ( අවසර කල් රහස් තැන වරදෙ බැදෙන්නෙ ගැහැණු විතරක්ම නම් නෙවෙයි... ) සංගීතයට වඩාත් ප්‍රිය කළ ඒ සොයුරා ලංකාවෙදි සංගීත කණ්ඩායමකත් වැඩ කළාලු... ඉතින් මේ මතකයත් එක්ක වැඩ ඇරිල යන වෙලාවක බස් එකේදි ආව අදහසක් අනුව මම බස් ටිකට් එකේ මෙහෙම පද ටිකක් ලිව්වා...

කැණිමඩල සුවඳ කර පිපුණු මල් කැකුළ
ඉන්දු සයුර මුතු කොදෙව්වේ....
වැලි කතර තනිව රන් කාසි හොයන
අප්පච්චිගෙ හිත නුඹ ළඟයි දුවේ....

පස්සෙ බෝඩිමට ගිහින් බස් ටිකට් එකෙන් කවි පද ටික දිනපොතට අරගෙන හෙමිහිට හිතල බලල... ඉතුරු පද ටික ඇමිණුවා....

සිතුවිලි සයුරේ කිමිඳී
කිරි සුවඳ සිනා මුතු කැටයක්
අරන් ඇවිත් ඔ‍බගේ...
හිත ළඟින් තියා ගමි...
උණුසුම විඳ ගමි
පාළු නිසල රෑ තුන් යාමේ.......

දිගු ජීවිත වන්දනා‍වේ....
ගිමන් නිවන මුදු පවන් රොදක්
ඈත එපිට මව්බිමේ ඉඳන්
හමා එන තුරා බලා හිඳිමි
ඒ නුඹයි.. නුඹේ රන් සිනා මලයි...
මගේ රත්තරන් දෝණියේ....

විද්‍යුත් තැපෑලෙන් මේ පද පේළි ටික යැව්වම දු පැටියගෙන් දුරස් වෙලා හිටි ඒ අප්පච්චි ගොඩක් සතුටු උණා.. තනුවකුත් දාල ගීතය පටිගත කළා කියල කිව්වත් මට කවදාවත් ඒ ගීතය අහන්න නම් ලැබුණෙ නැහැ... දැන් ඒ දෝණි ඉස්කෝලෙ යනවත් ඇති....


3 comments:

  1. දැන් නම් මට මේ ලිපි ටික දිගටම කියවන්න හිතිලා වගේ. ඔයා ඉහත තැනකදිත් කියලා තියනවා වගේ, අපි කියන දේවල් ප්‍රකාශ කරන අදහස් කියන්නේ මට හිතෙන විදිහට අපි ඉගනගත්ත තේරුම්ගත්ත දේවල් වලට සාපේක්ෂව දරණ මතයක් තමා. මොකද ගොඩක් අය දකින විදිහත් එක්ක අපි දකින විදිහ සම්පූර්ණයෙන් වැරදි වෙන්න පුළුවන්.

    ඔයා කිව්වා නේද පොත් පත් කවි කියවනවා වගේ මිනිස් මනසත් කියවන්න පුළුවන් කියලා. මමත් ගොඩක් උත්සාහ කරන දෙයක් ඒක. මට ඒ පිළිබඳව කිසිම අධ්‍යාපනයක් වත් කියවලා ඉගන ගත්ත දෙයක්වත් නෑ. ඒත් මම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා, මිනිස්සුන්ගේ චර්යා රටාවන් වලින් පෙන්නන මිනිස් හිත, මිනිස්සු කියන බොරු ඇතුලෙ තියන ඇත්ත වගේ දේවල් තේරුම් ගන්න. මම මිනිහෙක් ගැන සිත් කියවීම හරහා ඇත්තටම මෙයා කොහොම කෙනෙක්ද කියලා හඳුන ගත්තහම මට ගොඩක් සතුටුයි මම හරියටම මෙයාව ගෙස් කලානේ කියලා.
    මම කැමතියි මේ පෝස්ට් අස්සෙ මිනිස් මනස කියවන හැටි ගැනත් පොඩි පොඩි ලිපි ටිකක් දානවනම්.

    ඔබට ජය සහෝදරී !

    ReplyDelete
  2. අක්කාට සින්දු ලියන්නත් පුලුවන්නේ

    ReplyDelete
  3. මාත් චෑට් තුලින් හොද මීතුරු මිතුරියන් කීප දෙනෙක්ම හදුනගත්තා . සමහර අයනම් අවුරුදු හය හතක් වගේ මිතුරුදම් තියාගෙන එක වගේම ඉන්නව කියන්නෙ සතුටින් . විශේශයෙන් කියන්න ඕන බොහෝ අය මාව අද වෙනතුරුත් දැක නැති බව .

    …ඔයාට හොදට ගීත ලියන්නත් පුලුවන් බව පේනවා . කොහොම උනත් ඔබ කලාවට ලැදි කෙනෙක් බව ඔබත් එක්ක කතාකල වචනෙන් දෙකෙන්ම මම අදුර ගත්තා . මේ හැකියාවන් ඉදිරියට ගෙන යන්න තරු .

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...