පිටු

Friday, July 26, 2013

ලොකු නංගී...






''ලොකූ" ඇය මා අමතන්නීය. 

''ලොකූ'' මම ද ඇය අමතමි. සැබවින්ම ඈ ලොකුය. ආත්ම විශ්වාසයෙන්, ධෛර්යයෙන්, ජීවිතාවබෝධයෙන්, මානව දයාවෙන් පිරිපුන් සුවිසල් හදවතකි ඈ සතුව ඇත්තේ. 

ඈ මගේ ලොකු නංගීය.

සති දෙකකට වරක් පමණය, මම ගමේ මගේ නිවසට යන්නේ. ( මගේ කියන්නේ ආත්මාර්ථයෙන් නොවේ. නමුත් සැබවින්ම එය තනියෙන් සිටින අ‍පේ ගෙදරය. ) ගෙමිදුලට වන් විගස සිත සුවදායක මිහිරියාවක වෙලී ගිලී යයි. 

උඳුපියලිය යාය හරිත සළුව දිග හරිමින් මිදුල පුරා සක්මන් කරයි. සුළඟට පාවී එන තේක්ක මල් උඳුපියලිය යායේ ලැගුම් ගන්නේ හරිත සළුව පුරා මුතු අහුරක අසිරිය අතුරමිනි. සීනියාස්, දවල්කුමාරි, දාස්පෙතිය, අටපෙතිය, කහපැහැ තාරකා මල් ලෝබ නැතිවම මල් ගවසාගෙන හිඳියි. අඹ පැළය දළුලා ‍යෞවනයට පියමං කරයි. ඇඹරැල්ලා පැළය සිඟිති ගෙඩි පොකුරක් දරා සිටින්නේ කුළුදුලේ දරුවකු හුරතල් කරන මවක් මෙනි. සති දෙකකට පෙර පල්ලියේ මංගල්‍යය දින මිල දී ගෙනා සමන්පිච්ච පැළයද සිටවා ඇත. ඇය මල් කැකුළු දරා හිනැහෙන්නීය. 

මේ සියල්ල  ලොකු නංගීගේ වැඩ ය. පැළ සිටවන්නේ, රැක බලා ගන්නේ ඈ ය. රස විඳින්නී, සුව විඳින්නී මා ය. 

'' මේ මල්වල නම දන්නෙ නැහැනෙ.. ඉතින් මං නමක් දා ගත්තා. 'තාරුකා මල්' '' ලොකු නංගීත්, චූටි දෝණිත් මමත් එක්ව සිට වූ කහ මල් පාත්තිය අසල හිඳ මම කියමි. 

'' ඔව් ඉතින්.. කැමති නමක් දාගන්න එකනෙ තියෙන්නෙ. මල්වලට නම් දැම්ම කියල කවුරුත් නඩු දාන එකක්යැ.'' ලොකු නංගී සීරියස් වෙමින් කියන්නීය. මගේ සිනහව පිට පනියි. අපි දෙදෙනාම එක්ව සිනාසෙන්නෙමු.

නිවසක් ඇතත් ගමේ ගිය විට ඉවුම්පිහුම් නැත. කෑම බීම සපයන්නී ලොකු නංගී ය. උදෑසන අවදි වීමට පමා වුවහොත් ''ලොකූ'' ඇය ගෙමිදුලේ සිටම කෑ ගසන්නීය. ඒ හිමිදිරි තේ කෝප්පය වෙනුවෙනි. තේ එක සමග අවම වශයෙන් මාරි විස්කෝතුවක්වත් වරදින්නේ නැත. 

'' දැන් අම්මට බලා ගන්න ළමයි දෙන්නෙක් ඉන්නව නේද සෝනු'' තේ කෝප්පය ලැබෙන තුරු කුස්සියේ වාඩි වී වල්පල් දොඩවමින් හිඳින අතර මම නංගිගේ එකම පුත්‍ර රත්නයෙන් විමසමි. පුතුද හිනැහෙයි. සැබවින්ම ලොකු නංගී මා රැක බලා ගන්නේ තවත් දරුවකු රැක බලා ගන්නාක් මෙනි. 

''මොනාද අද උයන්නෙ.. මං මොනාද කරල දෙන්න ඕන.." ඈ ඉවුම්පිහුම් කටයුතුවලට සූදානම් වන විට මම අසමි. 

''ඔයා පොතපතක වැඩක් කරගන්න.. ලියන්න.. තුන්දෙනෙකුට උයන එක මහ වැඩක්යැ..'' ඈ පවසන්නීය. පොල් ටිකක් ගෑම, ගොටුකොළ ටිකක් කඩා දීම වැනි වැඩක් හැර අන් යමක් මා අතින් සිදු නොවේ. 

මම නිවසට වී පාඩුවේ සිතමින්, කියවමින්, ලියමින් සිටින විට කන්නට දෙයක්ද සමග හකුරු කෑල්ලක් තේ කෝප්පයක් රැගෙන ලොකු නංගී එන්නේ ඇගේ තේ කෝප්පයද සමග ය. අනතුරුව අපි තේ බොමින් පොතපත, ජීවිතය, පරිසරය ගැන සංවාද වෙමු. 

'' ඇයි අර වත්ත එහෙම් පිටිම්ම පිච්චිලා ගිහින්. '' හාත්පස නිල්ල පවතින විට වේලී කර වී ගිය ඇස් මානයේ වන ඉඩම් කෑල්ලක් පෙන්වමින් මම අසමි.

''අනේ මන්ද මේ මිනිස්සුන්ට පිස්සු.  කැලෑ තෙල් ගහල. ළිංවලටත් එනවනෙ ඔය වහ. අනුරාධපුරේ වකුගඩු ලෙඩෙන් මිනිස්සු මැරෙන්නෙත් වගාවලට ගහන තෙල්‍ පෝර හින්දලු. ගොවිතැන්බත් කරල ජීවත් වෙන මිනිස්සු නේද? කොහොම මහපොළව විනාස කරනවද මන්ද?''

ලොකු නංගී පවසන්නී කෝපයෙනි. ඈ මහා පරිසරවේදිනියකි. ගහකින් වැටෙන කොළ පවා ගස මුලටම එක් කරනවා මිස කිසිදිනක පුළුස්සා දමන්නේ නැත. විසි ගහන, කැති ගහන කැලය පවා ගස්වලට ‍පොහොර වන්නට ඉඩ හරින්නීය. පැළ සිටුවා ආදරයෙන් රැක බලා ගන්නාක් මෙන්ම ඇය පැළ සමග කතා කරන්නීය. ''ගහකොලවලටත් ආදරේ ඕන. එයාල එක්ක කතා කළාම සරුසාරෙට හැදෙනවා. ඵල දරනවා..'' ඇය සිතන්නී එලෙසිනි. 

ඇගේ නිවස අසල කුරුළු ලෑල්ලකි. දිනපතා එහි එන ලේන්නුය. කුරුල්ලන්ය. ඒ ලොකු නංගීගේ මිතුරු මිතුරියන් ය. 

මා ලියමින්, කියවමින්, හීන දකිමින් හිඳින අතර නිවසේ අපමණක් වැඩ ද කරමින් ඇය පොත් කිහිපයක් ද කියවන්නීය. අනතුරුව අපි පොත් ගැන කතා බහ කරන්නෙමු. පොත් සම්බන්ධ ඇගේ විචාර අපූරුය. ඒ විචාර ඇගයීම් මතුවන්නේ පොත් කියවීමෙන්ම ලද දැනුමෙන් මෙන්ම ජීවන අරගලයෙන් ලද පන්නරයෙන්ය. 

'' ඔයත් ලියන්නකො පොතක්...ඔයාගෙ ජීවිතේමත් පොතක් වගේනෙ.. ඒ ගැන ලියන්න... අපි පබ්ලිශ් කරමු.'' සිරගෙයක්, කඳුළු ගගක් වූ විවාහ දිවියෙන් විමුක්තිය ලද ඈ දැන් ගෙවන නිස්කංලක දිවිය සිහිපත් කරමින්  මම පවසමි.  

විටක ඇය පේර ගෙඩියක් හෝ කටට දා ගන්නට අන් යමක් රැගෙන එන්නීය. කොස් ඇට තම්බා ගෙනෙන්නීය. තැම්බූ කොස් ඇට මිරිස් ගලේ තලා එයට මිරිස්කුඩු, ලුණු දමා පදම් කර පසුව ගැඹුරු තෙලේ බැද රස අහරක් සාදන්නීය. මීවිත සප්පායම් වන අයකුට නම් කදිම කටගැස්මකි.
''ලොකූ.. රෑට රොටියි ලුණු මිරිසුයි... හා ද? '' මම අසමි. ඇය හිස සලන්නීය.  රාත්‍රියට පුතාත් මමත් වාඩි වී හිඳිමු. උණු උණු රොටී කදිම ලුණුමිරිස සමග වරදින්නේ නැත. 

''ලොකූ හෙට උදේට කොළකැඳ හදමුද?'' ඉල්ලීම මගෙනි. පසුදින හිමිදිරියෙම වට්ටියත් අතින් ගෙන ඇය වත්ත පුරා සැරිසරනු දකින්නට ලැබේ. මම ද ඇය පසුපසින් යමි. ‍ඉරමුසු, වැල්පෙනෙල, පොල්පලා, කරපිංචා ඇති තැන් දන්නේ ඈ ය. මා දන්නේ ගොටුකොළ තිබෙන තැන් පමණි. ඒ වත්ත පුරාම ගොටුකොළ යහමින් ඇති නිසා මිස මගේ දක්ෂකමක් නිසා නොවේ.

පලා සොයමින් යන අතර මම මගේ සිහින ඇයට පවසමි.

'' පතහට එහා පැත්තෙ.. කොස් ගහ යට තමයි පුස්තකාලයක් හදන්න කියාපු තැන. අගල තව ටිකක් පළල් කරල පාලමක් දැම්මම ලස්සනයි. රවුම් ගොඩනැගිල්ලක් පත්තිරිප්පු හැඩේට. වටේට කණු දාලා වහළයක් ගහන්න ඕන... එළියෙ තමයි පුටු මේස දාන්න ඕන. ලියන්න.. කියවන්න... ඇතුළ බිම වාඩි වෙන්න... '' මම සිහින හැඩ කරමි.
'' හීන තමයි ඉතින්... දෙයියො තමයි දන්නෙ කවදා හැබෑ වෙයිද කියල '' දිගු හුස්මක් හෙළා මම පවසමි. 

'' ඕන හැටියෙ හීන දකින එකනෙ තියෙන්නෙ.. මොකෝ සල්ලි යන එකක්යැ.. අනික හීන තමයි කවද හරි හැබෑ වෙන්නෙත්. '' ලොකු නංගී හිනැහෙමින් කියන්නීය. 

'' අම්මේ .. ඔයත් දැන් හරි හරි කතානෙ කියන්නෙ.. පොත් බලල දියුණු වෙලා...'' මම ද ඇගේ හිනාවට එක් වෙමි. 

දිනක් මිතුරෙකු සමග මගේ පුස්තකාල සිහිනය බෙදා ගත් විට '' ඒ ඉඩම කාගෙදැ''යි ඔහු ඇසුවේය. ''ලොකු නංගිගෙ'' මම කීවෙමි. 

''කීයක් විතර ගෙවන්න වෙයිද ඉතින් ඉඩමට?'' 

'' ඒ මොකටද? ලොකු නංගිගෙනෙ. දැන් ඔය මං ගේ හදල තියෙන පර්චස් විස්සත් එයාම තමයි මට දුන්නෙ. සතපහක්වත් අරන් නෙවෙයි.. එහෙමයි මගේ නංගි..'' මම කීවෙමි. සැබවින්ම ඈ එහෙමය. ''මගේ කියල ඉඩම් නැහැ. තියෙන්නෙ අපේ ඉඩම් '' ඈ කියන්නේ එලෙසිනි. 


රාත්‍රී ආහාරයෙන් පසුව ඇය මා නිවසට ඇරලවන්නට පැමිණෙන්නීය.

අපි මිදුලේ හිඳ රාත්‍රී සිරි විඳින්නෙමු. කණාමැදිරි රැඟුම් බලන්නෙමු. කතාබහක යෙදෙන්නෙමු. සිහිල් සුළඟ හමායයි. කෘතිම විදුලි පහන් නැති බැවින් අන්ධකාරය මැකෙන්නේ සඳ එළියෙන් හෝ තරු එළියෙන්ම පමණි. ලොකු නංගී ආපසු යන්නට පෙර විදුලි පන්දම අල්ලා නිවසේ අහුමුළු පරීක්ෂා කර බලන්නීය. ඒ මගේ සර්ප බිය තුරන් කරනු සදහාය. හොල්මන් අවතාරවලට නැති බියක් සර්පයින් කෙරෙහි වන්නේ ළමා වියේදීම බාප්පා සර්පයකු දෂ්ට කර මිය යාම හිතේ හොල්මන් කරන නිසා වන්නට පුළුවන. මුල්වරට මරණය පිලිබඳ හැඟීමක් ඇති වූයේ එදිනය. බිම හැපි හැපී වැළපෙන නෑසියන්ගේ දුක් අ‍දෝනා ජීවිත ගමනේ මුල්වරට ඇස ගැටෙන බියකරු මතකය එය ය. ඉතින් අදටත් සර්පයින් දැක්ම බියෙන් වෙව්ළුවා හරින, උන්හිටි තැන් අමතක වන මහත්ම කරුමයක් වී ඇත. 

''දැන් හරි...ඔයා දොර වහගන්න... රෑට උවමනාවක් උණොත් කෝල් එකක් දෙන්න... ජේසු පිහිටයි... ගුඩ් නයිට්..." රාත්‍රියේ කියවන්නට පොතක් හෝ පත්තරයක් ගෙන ඇය ආපසු යන්නීය. 


''හැමෝම අහනවා.. මේ තරං ආර්ථික ප්‍රශ්න තියෙන කාලෙක කොහොමද ජීවත් වෙන්නෙ කියල. සමෘද්ධි නියාමක කියනවා.. ස්වයං රැකියාවක් පටන් ගන්නලු. ණය අරන් දෙන්නංලු.'' ලොකු නංගී කියන්නීය.

''ඉතින් හොඳයිනෙ... ගෙදර ඉන්න එකේ ඔයාට මොනා හරි කරන්න පුළුවන්නෙ.'' මම ද එය අනුමත කරමි. 

'' පුතා පොඩිකාලෙ නම් මමත් නැහුණා රැයක් දවාලක් නැතුව. ඒත් දැන් එහෙම දුක් විඳින්නෙ මොකටද ලොකූ. ලැබෙන තරමට ජීවත් වෙනවා. ජීවිතේ වෙනුවෙන් කියල නැහෙන්න මං කැමති නෑ. මේ අවුරුද්ද දෙක දෝණිව බලා ගන්නවා. ඉන්පස්සෙ මොනා හරි බලනවා...'' ඈ නිවී සැනසුණු ස්වරයෙන් පවසන්නීය. 

මේ දිනවල පොඩි නංගීගේ දියණිය ‍මොන්ටිසෝරි ගෙන යන්නේ, නංගී වැඩ ඇරී එනතුරු දියණිය රැක බලා ගන්නේ ලොකු නංගී විසිනි. ඉඩ ලද විට මහගෙදර ගොස් අම්මාගේ වැඩවලට සහය දෙන්නී ද ඈ මය. කොතරම් වැඩ කන්දරාවක් කළ ද ඈ කිසිවිට මැසිවිලි නොනගන්නීය. වෙහෙස බවක් නොපෙන්වන්නීය. නිරතුරු සිනාවෙන්ම පසුවන්නීය. කෝප ගන්නේ නම් ඒ අකටයුත්තක්, අසාධාරණයක් හෝ පුතාගේ හිතුවක්කාරකමක් වෙනුවෙන්ම පමණි. 

පල්ලියේ සන්ක්‍රිස්තියන් ඇය ය. දහම්පාසලේ ප්‍රධාන දහම් ගුරුද ඈම ය. ගමේ පොදු වැඩවලදී ද ඈ ඉදිරියෙන්ම සිටින්නීය. 

ඒ මගේ ‍ලොකු නංගී ය. එවැනි ලොකු නංගිලා තවත් සිටීදැයි මා දන්නේ නැත. 

මට නම් ඇගේ ජීවිතය කියවා නිම නොවන මහා පොතකි. 

අද ඇගේ උපන්දිනයයි. මේ සටහන ඇගේ අසීමිත මනුස්සකමට, සුවිසල් හදවතට පිදෙන උපහාරයයි. 



පොසොන් මාසයේ පැවති චුටි දෝණිගේ උපන්දිනය දා ලැබුණූ තෑගි අතර පුළුන් පිර වූ හුරතල් වලස් පැංචෙක් විය. ලොකු නංගී ඒ වලස් පැංචා ගෙන තුරුල් කර ගත්තාය.

''මං හරිම ආසයි මේ වගේ ටෙඩී බෙයා කෙනෙකුට. ඒත් කවදාවත් කවුරුවත් මට අරන් දීල නෑනෙ.. '' ඒ ස්වරය ජීවිතයේ කප්පරක් දුක් ඉහිළු දිරිය ගැහැණියකගේ නොවේ. සිහින බොඳ වී ගිය කුඩා දැරියකගේ ය.

මට පුදුම සිතිණි. ඈ තුළ එවැනි ආශාවක් ඇතැයි මා කිසිවිටක සිතා තිබුණේ නැත. සෑම උපන්දිනයකටම ඇඳුම් පැළඳුම්, පොත් හෝ මුදල් මිස එවන් තිළිණයක් ලබා දෙන්නට සිතකවත් නොතිබිණි. 

මෙවර ලොකු නංගීගේ උපන්දින තිළිණය ඇගේ ඒ අහිංසක සිහිනය සැබෑ කරලනු ඇත. 


සුබ උපන්දිනයක් ලොකූ.... 

මතු ආත්ම භවයක් වේ නම් මට, මගේ ම සොයුරිය වී ඔබ නැවත නැවත හමුවේවා.... ජේසු පිහිටයි..

30 comments:

  1. ඒ මගේ ‍ලොකු නංගී ය. එවැනි ලොකු නංගිලා තවත් සිටීදැයි මා දන්නේ නැත…..එය නම් සැබෑවක්මය.....තරු..
    මගෙනුත් ඔයාගෙ ලොකු නංගිට සුබම සුබ උපන් දිනයකට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔයාල වඩාත්ම හොදින් දන්න අයනෙ... ලොකු නංගි ගැන.. ඇය හරි පුදුම චරිතයක් තමයි..

      Delete
  2. හරිම සංවේදී සටහනක් තරු,... ලොකු නංගිට මගෙනුත් සුබ පැතුම්....!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබා මං ඇයට කියන්නම්...

      Delete
  3. තරූගෙ ලොකු නංගීට සුභම සුභ උපන් දිනයක් පතනවා. සංවේදී සටහනක්....

    ReplyDelete
    Replies
    1. ලියල ආයෙම බලද්දි මගෙත් ඇස්වලට කදුළු පිරුණා...

      Delete
  4. තවත් ඔහොම නංගි කෙනෙක් ඉන්නවා තරූ අක්කේ.. ඒ අපේ නංගි... ඔය තරම් ප්‍රශ්න, දුක එයාට නැතත් මගේ හැමදේටම ලග ඉන්න මගේ නංගි,...
    අක්කියෝ පොත් ටික එව්වා.. නංගි ලග, ඔයාට ලැබෙන්න සලස්වයි...

    ReplyDelete
    Replies
    1. නදී දරුව,කිමද නිහඩ බවේ රහස?

      Delete
    2. හේතු 2, 3 ක්ම තියනවා, එකක් ලොකු අම්ම විදිහට ගොඩාක් කාර්යබහුලයි... අනිත් පැත්තෙන් ඔෆිස්.. වගකීම් යුතුකම් වලින් ඔලුව පිරිලා... ඒවා මගේ පැත්තට කැප නැති එකත් හිතේ බරක් වෙලා තියනවා.. ආපහු සතියක් විතර ඉවර වෙද්දි බ්ලොග් ලෝකෙට එන්න පුලුවන් වෙයි. මං ගැන හොයල බැලුවට ගොඩාක් ස්තූතියි අයියේ...

      Delete
    3. තවම මම නොලිව්වට පොඩි නංගිත්, මල්ලිත් මේ වගේම තමයි....මල්ලිගෙ නෝනා, පොඩි නංගිගෙ මහත්තය උණත් කිසිම වෙනසක් නැහැ.. අපි හැමෝම එකා වගේ ඉන්නවා.. ඒක ලොකු සතුටක්..

      පොත් ටික එව්වට ස්තුතියි නංගි..

      Delete
  5. තරුගෙ ලොකු නංගාට සුභ උපන් දිනයක් වේවායි පතමි...!
    අවසන් ටික කියවද්දි නම් ඇස් ටිකාක් බොදවෙලා වගෙ අකුරු පෙනුනෙ.

    ReplyDelete
    Replies
    1. ලියල ඉවර වෙද්දි මගෙත් ඇස් බොද වුණා...

      මේ සටහනත් ඔයාලගෙ සුබපැතුම් සියල්ලත් මම ඇයට පෙන්වන්නම්.. එකම ප්‍රශ්නෙ ගමේ ගියාම අන්තර්ජාල පරිගණක නැති එක..

      Delete
  6. තරුගේ නංගිට සුබ උපන් දිනක්වේවා.. කියවන්න අමාරුයි තරු මේ සටහන ඒ තරම්ම සංවේදියි...

    ReplyDelete
  7. ඇත්තටම ඔයා වගේ ලොකු නංගි කෙනෙක් ලබන්ට, ඕනිම අක්කෙක් පිං කරලා තියෙන්ට ඕනි.
    ඔයාට සුබම සුබ උපන් දිනයක්!!! :)

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ පොඩ්ඩි ඇවිත් තියෙන්නෙ.. තාම නිවාඩුව ඉවර නැද්ද?

      Delete
  8. සංවේදී ව විඳ ගතිමි. ඇයට ප්‍රීතිමත් උපන් දිනයක් සහ ආදරණීය ඉදිරි දවසක් ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... ඇයගේ ඉදිරිය සුබ වේවි ඇය ඒ තරම්ම නිදහස් මනසක් තියෙන අපුරු ගැහැණියක්..

      Delete
  9. සුබ ම සුබ සුන්දර ම සුන්දර සියලු පැතුම් ඉටු වන උපන්දිනයක් වේවා ඇයට!

    ReplyDelete
  10. සුභම සුභ උපන්දිනයක් වේව.

    දන්නවද උබල සාර්ථකයි. මොකද කෙල්ලො දෙන්නෙක්ට එකට ඉන්න බැහැ. ඒ අතින් උබල ආදරණීයව ඉන්නව වගේ.. ;)

    ReplyDelete
    Replies
    1. කෙල්ලො දෙන්නෙක් විතරක් නෙවෙයි.. අපේ පවුලෙ කාන්තාවො වැඩියි.. හැබැයි ගැටුම් අඩුයි.. ඇත්තෙම නැති තරම්... මං හිතන්නෙ ඒ තේරැම් ගැනීම ආදරය නිසා..

      Delete
  11. ලොකු නංගී ගැන ලියූ සටහනත් ලොකු නංගීලග් ආදරය අක්කා අතින් පිරවූ සටහනක්.

    ඒ අයට පුංචි උපහාරයක් වගේම අපිත් ඇයට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්තනා කරමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයා අයියේ..

      Delete
  12. ඇත්තටම ඔහොම සහෝදරියො සැබෑ ජීවිතේ ඉන්නවද කියලත් පුදුමයි... මාරයිනේ.......

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තෙ මේ ඉන්නෙ... මට මේ වගේම තවත් නංගි කෙනෙක් ඉන්නවා.. ඒ පොඩි නංගි...

      Delete
  13. ඇවිත් කියවන්නම් රසී හෙට. දැන් නම් යන්න වෙනවා. හදිසියේ දැක්කේ. කයවලා කමෙන්ට් කරන තුරු කමා වුව.

    ReplyDelete
  14. හිතට බොහොම දැනුනු සටහනක් තරු.
    ඔබට මෙන්ම නැගණියටද සුභ පතමි.

    ReplyDelete
  15. සෝනු ලොකු උනාම ලොකු නංගිගෙ ගෙදර එයාට දීල ඔය දෙන්නා ඔයාගෙ ගෙදර ඉන්න..

    ReplyDelete
  16. සුභ උපන්දිනයක් වේවා ඇයට !!!!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...