Friday, September 19, 2014

රහස් කවුළුව අබියස හෘද සංවාදය




රහස් කවුළුවෙන් එබී හිඳිමි. ඒ කෞශල්‍ය කුමාරසිංහ ගේ ඇරයුමට ය. කොතරම් නොහොබිනා ඇරයුමක්ද?

කෞශල්‍ය කළු ද, සුදු ද කියාවත් මා දන්නේ නැත. පොත ගන්නට හිතුණේ සමීපතමයකුගේ නිර්දේශය ඉහළ මට්ටමක තිබුණු බැවිනි.

‘‘වෙනස් වැඩ කරන එකෙක්.. පොත අරන් බලන්න.. හොඳ වේවි..” 

එකී නිර්දේශයටත්, මගේ මුදලටත් අවැඩක් නොවූ බව නම් සහතිකය. 

............

‘‘සිසිරයේ රැයක මගියකු නම්” කියවන විට අප විටෙක කතුවරයාගේ හිත අස්සේ ය. තවත් විටෙක අප ඔහුගේ ඇහිපිය යට වාඩි වී සිටින්නේ යැයි සිතෙන තරමි. විටෙක එකී කථකයා අප රූකඩයක් සේ නටවන්නේ යැයි සිතෙන නමුත්, ඉන් මිදීමේ අපහසුතාවක් ද ඇති වේ.

කෞශල්‍ය අප රහස් කවුළුව අබියසට කැඳවන්නේ ද එබඳුම දහම් ගැටයකිනි. ඉනික්බිති මට ගැළවුමක් නොවීය.මෙහි අපුර්වත්වය ඇත්තේ මෙකී කතා ලතාවේ යැයි සිතේ. 

සමාජ ස්ථර කිහිපයක දෝලනය වෙමින් ගලාගෙන යන කතාව එක් එක් ස්ථරයන් පෙළන මානසික, අධ්‍යාත්මික, සමාජයීය අර්බුදයන් රහස් කවුළුව අසල එබී හිඳින අප හමුවේ තබයි. සමස්තය ගැන අදහසක් කියන්නට තවම කල්වේලා වැඩි ය.

දැන් බොහෝ අකමැත්තෙන් 188 වැනි පිටුවේ නතර වී පසෙකට වී හිඳිමි.

‘‘රහස් කවුළුවෙන් එබෙන්න.” - කෞශල්‍ය කුමාරසිංහ
ආත්ම ප්‍රකාශන - මිල රු. 450.00

...................

‘මේ රහස් කවුළුවෙන් එබෙන්න' නවකතාව කියවන අතරතුර මුහුණු පොතේ ලියා තැබූ සටහනක් ඒ... 

දැන් මම පොත කියවා අවසන්... ඒ ගැන කියන්න දේ බොහොම ඇතත් ගැඹුරු කියවීමකට ලිවීමකට යන්න තරම් ජීවිතය නිදහස් නෑ... හද සසල කළ බොහෝ පිටු අතර මතකයෙන් නොගිළිහෙන සංවේදී සංවාදයක් ඔබ සමඟ බෙදා ගන්න කැමතියි...

යමු අපි 164-165 පිටුවලට....

...........

‘‘මට දැං තේරෙනවා උතුරෙ දෙමළ ගෑණු මරාගෙන මැරෙන බෝම්බකාරියො වුණේ කොහොමද කියල.” පද්මිගේ දෑස් දැන් කල්පනාවෙන් බරවන්නට වෙයි. ඇගේ ස්වරය ස්ථාවරය.

‘‘මොකද මහලොකු සිංහල බෞද්ධ ගෑනිට හිටි ගමං කොටි ගෑනු මතක් වුනේ..”


‘‘ඕක මං පුංචි කාලෙ ඉඳන් තේරුං ගන්න හදපු දෙයක් බං. කොහොමද කෙල්ලෙක් කාගෙවත් බලකිරීමක් නැතුව ඇඟේ බෝම්බයක් බැඳගෙන මරාගෙන මැරෙන්න ඉදිරිපත් වෙන්නෙ කියලා. ඒත් ඊයෙ අර බැරියර් එක ගාව බැටන් පොලු පාරවල්, වතුර පාරවල් කාගෙන ඉන්නකොට මට හිටිගමන් ඒක තේරුං ගියා. ඒක හරි අමුතුයි. හරියට නිකං නිවන් අවබෝධ වුණා වගේ දෙයක්. මෙච්චර කාලයක් මට හරිම දුරස්, මට කොහොමටවත් අයිති නෑ කියල හිතපු දෙයක් හිටි ගමන් මගෙම වුණා වගේ. ඒ වෙලාවෙ ඉතිහාසෙ පුරාම මරාගෙන මැරිච්ච හැම ගෑණියෙක්ම මතක් වෙලා මගෙ ඇස්වලට කඳුළු ආව බං...”


................

මේ ටික කියවන් යද්දි මගෙ ඇස්වලටත් කඳුළු ආවා. ඒ සංවාදය හරිම ලස්සනට ගොඩනගල තියෙනවා. ඇස්වලට ඇඟිල්ලෙන් අනිමින්, හිත්වලට කතා කරන තාලෙට.

..............

‘‘උඹට හිතෙන්නෙ නැද්ද ඒ ගෑණුනේග ඇඟේ බෝම්බ බැඳල තියෙන්න නැතුව ඇති කියලා.”

‘‘එහෙනම් පිපිරුවෙ අහවල් එකද?”


‘‘අවුරුදු ගාණක් තිස්සෙ දරාගන්න බැරි දුකක් දරාගෙන ඉන්න හදන ගෑණියෙකුගෙ ඇඟ ඇතුළෙ ඉබේම බෝම්බයක් හැදෙන්න පුළුවන් සඳා, අමුතුවෙන් බෝම්බ බඳින්න දෙයක් නෑ. ඒත් ඒ බෝම්බෙ පුපුරන්නෙ තවත් අහිංසක මිනිස්සු ගාණක් මරාගෙන. පත්තිනි අම්මා එයාගෙ වම් තනේ කඩල ගහපුවම මදුරාපුරේම ගිනිගත්තා....”


...............

‘‘මගෙ අයියල තුන්දෙනෙක් අතුරුදහන් වෙලා සඳා.” ඇගේ ස්වරය යළිත් දුබලය. හැඬුම්බරය.

‘‘තුන්දෙනෙක්?” සඳාගේ ස්වරයේ සේම මුහුණේද ප්‍රශ්නාර්ථයක් ඇත.


‘‘මුලිම්ම ලොකු අයියා අසූනමේ කලබල කාලෙදි... පස්සෙ පොඩි අයියා අලිමංකඩදි... දැන් මගෙ කමල් අයියා කොළඹ දි...”


...............

ලාංකීය තාරුණ්‍යය මුහුණ දුන්, මුහුණ දෙන සදාතනික අරගලය මේ සංවාදය ඇතුළෙ තියෙනවද? නැත්ද? තාරුණ්‍යයේ අර්බුදය කියන්නෙ සමස්ත සමාජයේම අර්බුදය මිස අන් යමක්ද?

හදවතින් අහල බලන්න... 

කෞශල්‍යගෙ ආරාධනයට රහස් කවුළුවෙන් එබුණම කෙළින්ම හිතට කතා කරන කතන්දර දෙකක් තියෙනවා. එකක් තිවංකගෙ කතන්දරේ.. අනික පද්මිගෙ කතන්දරේ. මේ කතන්දර එක්ක බැඳිල තව බොහොම ජීවිත තියෙන බව ඇත්ත.

තිවංකගෙ කතන්දරෙන් පද්මිගෙ කතන්දරේ යට යයි ද කියල බයක් මට තියෙනවා. මට අනුව පද්මි කියන්නෙ මගේ පන්තියෙ නියෝජනය. මගේ ජීවන අරගලයෙ කැඩපත‍. මගේ හෘද ස්පන්දනයෙ අනුවේදනීය ගැස්ම... තිවංකගෙ කතාව මට ඈතයි වගේ දැණුනට මං දන්නවා එහෙම නොවන අය බොහොම ඇති... ඒත් පද්මි කියන්නෙ මට දුරස් කෙනෙක් නෙවෙයි.. වෙලාවකට ඒ මමම යි...

තිවංකගෙ කතන්දරේ නවතින තැනට මං කැමතියි. ඇත්තටම ඒ නැවතුමක් නෙවෙයි, මද අස්වැසිල්ලක්... ලිංගික තෘෂ්ණාව, ලිංගික ඊර්ෂ්‍යාව අතික්‍රමණය කරන මානව සම්බන්ධතා, ප්‍රේමයේ නව මානයක් සොයා යන මානව සම්බන්ධතා අත්‍යවශ්‍යයි මේ මහපොළවට.... කුහකකම් දළුදමන අන්ධකාරයට... 

‘‘මෙහෙම වෙන්න පුළුවන්ද? මේ ලාංකීය පොළවෙ..” මං කතුවරයාගෙන් ඇහුවා . පොත් ප්‍රදර්ශන භූමියෙදි හමුවුණ වෙලාවක...

‘‘නැත්තෙ නෑ.. එහෙම වුණ අවස්ථා තියෙනවා.. එවැනි පුද්ගල සම්බන්ධතා තියෙනවා.” කතුවරයා හිනාවෙලා කිව්වා. 




කෞශල්‍ය මේ කතා දෙකම අපූරුවට වියනවා.. කතාව ගලා යාම ඇතුළෙ පෑහීමක් මිස වෙන්වීමක් නැහැයි කියල හිතෙන විදියට... අධ්‍යාත්මික අර්බුද පිටුපස තියෙන සමාජ අර්බුද, සමාජ අර්බුද නිසා ඇති වෙන අධ්‍යාත්මික අර්බුද, මේවයින් ගොඩඑන්න කොයි තරම් ශ්‍රමයක් අවශ්‍ය වෙනවද? තනි තනිව පුළුවන්ද? 

මේ ජීවිත හසුරුවන්නෙ ප්‍රේමය ද? ලිංගිකත්වය ද? ඒ දෙකම ද? නිශ්චිත උත්තර හොයන්න මහන්සි වෙනවට වඩා ප්‍රේමයෙන් ජීවත් වෙන්න මං කැමතියි... 

අපේ පාඨක සමාජය තිවංකගෙ කතාව ආදරෙයන් වැළඳගෙන පද්මිගෙ කතාව අමතක කරයිද? ලිංගිකත්වයට එරෙහිව අවි අමෝරාගෙන ප්‍රේමයට විවර වෙන දොරටු වහල දාවිද? එවැනි සාංකාවක් මගෙ හිතේ තියෙනවා... 

එවන් අසාධාරණයක් මේ ලස්සන ගෙත්තමට සිදු නොවේවා කියන එකයි මගේ ප්‍රාර්ථනය. 

13 comments:

  1. මේ සටහන තියල තියෙන විදිහට කතාව කියවන්න හිතුනා , ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔන්න පොත ගත්තා මේ දැන් ... (Y)

      Delete
    2. කියවල බලල ඔයාගෙ අදහසත් කියන්න මල්ලි... කියන්න හෝ ලියන්න...

      Delete
    3. ඉවානය මල්ලිද......තරු ට......හෙක්...හෙක්........
      අඩෝ......ඉවානය...... හෙහ්.....හෙහ්......

      Delete
    4. පෙනුම් නම් මල්ලි වගේ තමයි අයියේ...

      Delete
  2. පොත ගැන බූන්දියෙන් දැක්කට බුක් ෆෙයා එකේදි හම්බුනන් නෑ.. ඒත් හිතෙනව හොයං කියවන්න..
    බලමු අවස්තාවක් ලැබුනොත්

    ReplyDelete
    Replies
    1. නව පරපුරේ ලේඛකයෙකුගෙ මුල්ම නවකතාව විදියට අරන් බලද්දි ඉදිරියෙන් තියෙන කෘතියක් කියල හිතනවා... කියවලම බලන්න....

      Delete
  3. හොඳ පොතක් වගේ, ඔබේ පූර්විකාව සිත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ‍මගේ හිත් ගත්ත පොතක් නිසයි මේ සටහන ලියා තැබුවෙ....

      Delete
  4. කතුවරයා හමු වී පැවසු අහහස් නම් සැබවි...

    ReplyDelete
  5. ස්තුතියි ඔත්තුවට.......... විශේෂයෙන් ම ඒක කියලා තියෙන විදිහට ආස හිතුණා... කොහොම හරි හොයලා කියවනවා................

    ReplyDelete
  6. පොතේ නම හරි අපුරුයි.
    ඇත්තටම මරාගෙන මැරෙන්න බෝම්බකාරියෙක් වෙන්නම ඕනේද ?අපිට බැරිද අපේ හිත්වල තියෙන තවත් අයගේ හිත් වල තියෙන සමහර නරක,නපුරු ආකල්ප මරලා දාන්නට.?

    ReplyDelete
  7. ලස්සනයි වගේ.. බලමු අරගෙන....

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...