පිටු

Wednesday, September 17, 2014

මිතුදම්, මනුදම් යා කරනා කවිකම්...

by Beatrice Cloake

‘‘තරු, කවි කුටියෙ විස්තරේ කියවලා හිතුණා, දුර බැහැරින් ඇවිත් පොත් තියල ගිය අයගෙන් ‍අඩුවෙන් විකුණුනු පොත් වලින් කීපයකට මුදල් දෙන්න. මට ඔයාගෙ බැංකු ගිණුමක නම අංකය ශාඛාව එවන්න, මම රු. 5000ක් විතර දාන්නම් ඔයා අඩුවෙන් විකුණුනු පොත් වලින් අරගන්න.

මේක ප්‍රසිද්ධ කරන්න ඕනෙ නැහැ....

තරුට සුදුසු විදිහට වියදම් කරන්න. ගන්න පොත් ඔයාගෙ ළක්‍රිවි සම්බන්ධ කණ්ඩායම් වලට බෙදා දෙන්න තරු.”


මේ ලියමන ලැබුණෙ සයිබර් තැපෑලෙන්.. හරියටම කවි කුටියේ ආරම්භක දිනය ගැන මගේ මූණුපොත් සටහන දැම්මට පසුදින.. මේ තියෙන්නෙ ඒ සටහන.

‘‘ඒ පොත් ප්‍රදර්ශනයේ ආරම්භක දවස. දහවෙනිදා උදේ නිරායාසයෙන්ම මම මුලින්ම ඇවිදගෙන ගියේ කවි කුටිය හොයාගෙන.. අනේ ඒ යද්දි ලස්සනට හදපු කුටිය විතරයි.. සඳුන්, මහින්ද, මහින්දගෙ ප්‍රිය භාර්යා අර්බුදයකට මැදි වෙලා උන්නෙ පොත් තියන්නෙ කොතැනද කියල හිතාගන්න බැරිව.... ජයසිරි අලවත්ත සහෝදරයත් එකතු වුණා... ලොකු උන්නැහේ ඇවිත් යනකල් මේසයක්, රාක්කයක් ලබා ගන්න විදියක් නැතිලු.... ඒ වෙද්දි කවි කිවිඳියන් පොත් අරගෙන එමින් උන්නා. ඒක හරිම සංවේදී දසුනක්...
දුර බැහැර ඉඳන් ආව ළාබාල, තරුණ, වැඩිහිටි, මහලු කවි කිවිඳියන් කවි පොත් බෑගයෙන් අරන් අතට දෙද්දි පුදුමාකාර සෙනෙහසක්, ගෞරවයක් දැනෙනවා.. කොයි තරම් මදිපුංචිකම් සිද්ද වුණත් තවමත් කවියට පෙම් බඳින අපමණ මිනිසුන් සිටීම ගැන....

ආපනශාලාව ඉදිරිපිට රවුම් මේසයක වාඩි වෙලා අපි එන පොත් බාර ගත්තා. පොත් බාර දෙන්න ආව විපුලි නිරෝෂණී කිවිඳිය එතැනදිම මුල්ම කවි පොත මිල දී ගත්තා. එ් මංජුල වෙඩිවර්ධන සහෝදරයගෙ ''නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක''‍‍‍‍‍‍‍‍‍........
මේ වෙද්දි නඳුන්, පියන්කාර ඇතුළු තවත් කිහිපදෙනෙක් එකතු වෙලා උන්නා.
යාම්තම් මේසයක් ලැබුණෙ පිරිවර සේනාව එක්ක ‍මහා රජතුමා ආපසු වැඩම කළාට පසුව.... ඉතින් අපි කවි පොත් ටික පිළිවෙලක් කරගත්තා. කවි පොත් සල්පිල වැඩ පටන්ගත්තා. 
................

මේ වෙද්දි නිතරම කවි කුටිය ළඟ රසික, සහෘද හිතවතුන් පිරිලා.. ඒ ගැන සතුටුයි. කවි ගැන ඇල්ම නොමැරී පණ ගැහෙන හැටි දැක්කම‍‍‍....

රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ සෞම්‍ය ගේ 'හැටේවත්තෙ මග්දලේනා', විද්‍යෝදය, ගොඩගේ සම්මාන දිනූ රුවන් ගේ 'මීළඟ මීවිත' ඇතුළු ආධුනික, ප්‍රවීණ කවි කිවිඳියන්ගේ කවි පොත් රැසක් කවි පොත් සල්පිලේ තියෙනවා.... දු දරුවන් සඳහා ළමා කවි පොත් තෝරගන්නත් හැකියි. කාව්‍ය විචාර, රස විඳිීම් කෘති කිහිපයකුත් තියෙනවා...

මේ ඇරයුම කවියට හිතැති ඔබට....

කවි පොත් සල්පිලට ඇවිත් යන්න එන්න................. කැටපත් පවුර අසලමයි. කවියක් ලියා කැටපත් පවුරේ රඳවන්නත්, කවි කියවා රස විඳින්නත් වෙලාවක් වෙන් කරගෙනම එන්න...”

2014 සැප්තැම්බර් 13

............

කවියට පෙමැති, කවි ලියන, කවිකාර සොඳුරු සහෘදයා එවූ රු. 5000 ක මුදලත්, පුස්තකාලයක් වෙනුවෙන් පොත් ගන්න ලැබුණු මුදලත්, තරුරසී නිත්‍ය පාඨකයකු වන විදෙස්ගත මිතුරෙක් එවා තිබුණු මුදලත් අරගෙන ඊයෙ සවස් වරුවෙ මං පොත් ප්‍රදර්ශන භුමියට ගියේ.

දකුණු පස අතුරු දොරටුවෙන් ඇතුල් වෙලා කවි කුටිය පැත්තට ඇවිද ගෙන යද්දි අහම්බෙන් දැක්කෙ මුල්ම දවසෙ කවි කුටියට පොත් අරන් ආව වයස්ගත මිතුරන් දෙදෙනා ඇවිද යන ආකාරය.. නැමුණු හිසින්, වෙහෙසපත් මුහුණින්... පිටුපසින් දුවල උරහිසින් අල්ලලයි මං ඒ දෙන්නව නවත්ත ගත්තෙ.. හෙවණකට අරන් ගිහිල්ලයි කතාව පටන් ගත්තෙ.. ඒ තරමට දුක හිතුණා මූණු දකිද්දි.

‘‘අංකල්, එදා කවි කුටියට පොත් දැම්ම නේද? ඉතිරි පොත් ගන්නද ආවෙ...” මට මතක තිබුණා මුල්ම දවසෙ දැනුවත් කිරීම. ( 16 හවස ඇවිත් විකුණුනු පොත්වල සල්ලිත් අරන් ඉතිරි පොතුත් අරන් යන්න.....)

ඒ මුහුණුවල ඇඳුණෙ කණස්සල්ලක්...

‘‘එක පොතක්වත් විකිණිලා නැහැනෙ... අපි දෙන්න මේ කතා වුණේ පොත් ටික බෙදල දාල යමුද කියල කාට හරි. වැඩක් නෑනෙ තියාගෙන. කවුරු හරි කියවයිනෙ...”
‘‘අංකල් ඔයාල දෙන්නගෙම කවි පොත්වලින් දෙක ගානෙ දෙන්න. අපි පුස්තකාලෙකට පොත් ගන්නවා.” මම එහෙම කිව්වම හීන් හිනාවක් ඇඳුණා ඒ මූණුවල.. ඒ කවි පොත් විස්සම ගන්න තිබුණනම් කොයි තරම් හොඳද කියල මට හිතුණා...

ස්වර්ගීය සැලැස්මක් වගේ අහම්බෙන් මට එයාලව දකින්න ලැබුණෙ. එහෙම නොවුණා නම් එක පොතක්වත් නොවිකිණීම ගැන කණස්සල්ලෙන් මහලු කවි මිතුරන් දෙන්නා අත්තනගල්ලටත්, තිහාරියටත් පිටත් ව යාවි...
එකක්වත් නොවිකුණුනු පොත් අතරින්, පොත් ගත්තා වුණත් මේ සංවේදී කවියන් ගැන ඇති වූ මහත් සංවේගයක් එක්කයි මම කවි කුටියට ගොඩ වැදුණේ...

කවි කුටියෙන් 30% ක වට්ටමට අඩුවෙන්ම අලවි වුණු පොත් තෝර දුන්නෙ කවි මිතුරන්මයි.. හරියටම පොත් 39 ක්. එයින් කවි පොත් 14 ක් බේරුවල අපේ සහෘද පිරිසක් විසින් පවත්වාගෙන යන පුස්තකාලයට ඊයෙ හැන්දෑවෙම බාර දුන්නා. ඉතිරිය කළුතර ‘යොවුන් පියවර’ පුස්තකාලයට ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

කවියට පෙම් බඳින මේ දයාවන්ත හිත් ගැන අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන්න...

..............

විදෙස්ගතව සිටින ‘තරුරසී’ සහෘදයෙක් පොත් ලැයිස්තුවක් සමග මුදලක් එවා තිබුණා. එයින් මුදලක් වෙන් කර තිබුණා මටත් පොත් ගන්න. වෙසක් පුන් පොහෝ දා කිලිනොච්චියේ ආනවිළුන්දාන්වල දරුවන් සමග ගත කළ දවසේදී අපි පොරොන්දු වුණා පුස්තකාලයක් හදාගන්න උදව් වෙන බවට. ඉදිරි දිනෙක ඒ දරුවන් පොත් ගන්න කොළඹ එන්නට නියමිතයි. මා වෙනුවෙන් පොත් ගන්න එවූ මුදල ඒ දරුවන් වෙනුවෙන් වැය කරන බව මගේ මිතුරාට කියා යැවූ විට ඔහු එවූ පිළිතුර මේ...

‘‘ අර ළමයින්ට 5000 වෙන්න අවශ්‍ය ඉතුරු මුදල මගෙන් දාන්න... ඉතුරු සල්ලි වලින් පොත් ගන්න.

අපේ එදිනෙදා ජීවිතයෙදි අපිට ඔය වගේ සිද්ධි මුණගැහෙනවා අඩුයි. සමහර වෙලාවට හිතෙනවා අපි ඒ දේවල් වලට තියන සංවේදී බව නැතිවෙලා ගිහිල්ලද කියලා. මෙහෙම වත් උදව්වක් කලේ නැත්නම්, ඕක හිතලා මතලා කෙරෙන්නේ නෑ.

ඒ නිසා ඒ සල්ලි වලින් ළමයින්ගේ පොත් අවශ්‍යතාවය සම්පූර්ණ කරලා ඉන්න.

තරූටත් අඩුම ගාණේ එකම පොතක්වත් ගන්නවා නම් මම කැමතියි. ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කරපු "මායාවාස" හරි "විසේකාරි" හරි පොත කියවලා නැතිනම් මගෙන් සුළු තෑග්ගක් විදිහට ගන්න.”

ස්තුතියි ඔබට... මම මායාවාස ගත්තා.
........

‘තරරුසී’ ජීවිතේට අලුත් දොරටුවක් විවර කර දුන්නා. ඒ දොරටුවෙන් ඇතුල් වෙද්දි මා එක්ක අත්වැල් බැඳගන්න අධ්‍යාත්මිකව පොහොසත් මිත්‍ර සමූහයකුත් හමුවුණා... ‘තරුරසී’ ජීවිතේ සුවිශේෂ සංධිස්ථානයක් වෙන්නෙ ඒ නිසයි.

පොත් කතා තව බොහෝමයි... විටින් විට ලියා තබන්නම්.

19 comments:

  1. මම හිතන්නේ අලවිකිරීමට අමාරුම පොත් වර්ගය වෙන්න ඇති කවි පොත්. හැබැයි ඔය මහා ලොකු මහාප්‍රාණ ලියන්නේ නැතිව. කවියෙන්ම දිග කතාවක්, සමාජ සිදුවීමක් හරි දෙයක් විස්තර කරලා පොතක් ගැහුවා නම් සමහර විට ප්‍රගතියක් තියේවි.

    ReplyDelete
    Replies
    1. කවිය මේ විදියට ලියන්න කියල උපදෙස් දෙන්න අමාරුයි. කවි පොත් විකුණා ගැනීම ප්‍රශ්නයක් තමයි. නමුත් වැඩි අවධානයක් ලැබුණු ඉතා හොඳ නිර්මාණ තියෙන කවි පොත් අලෙවි වෙනවා..

      කවියට ආදරය කරන කෙනෙක් විදියට මම කවි පොතක් මිල දී ගන්නත් උත්සාහ කරනවා. කවිය ගැන සංවාදයක් ඇති විය යුතුයි... සමාජයේ...

      Delete
    2. මකසි කියන්නේ ඔය කවි කොළ මුද්‍රණය කරන්න කියලයි,

      මරු සිරා ගැන,
      දැරීය පැහැරගෙන යාම ගැන,
      ඩීසී-8 ගුවන් යානය සප්ත කන්‍යාවට කඩා වැටීම ගැන,
      මතුගම සමන් කුමාර ගැන,
      වදකහ සුදිය ගැන,

      අන්න ඒ වගේ ඒවා.

      Delete
  2. කවියට මිලක් නැත්තේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්.කවිය විකාශනය වීමේ ගැටළුවක්ද මන්දා.
    කොහොම වෙතත් එදා තරූ අක්කා හඳුනා ගන්න ලැබීමනම් අපමණ සතුටක්..:)

    ReplyDelete
    Replies
    1. සතුටුයි මල්ලි අඳුනගන්න ලැබීම... ඔයා කතා නොකරන්න මට අඳුනගන්න නම් බැහැ....

      Delete
    2. කවිය අමිල යි මල්ලි... ආත්ම ප්‍රකාශනයකට මිලක් නියම කරන්න අමාරුයි. ඒත් ඉතින් දැන් නොවිකිණී, නොවිකුණා පැවැත්මක් නැහැනෙ. කවියටත් ඒ ඉරණම ම තමයි.

      Delete
  3. තරු අක්ක වගේම යාලුවෝ ..සන්තෝසයි ... පොත් ප්‍රදර්ශනේට මං දවස් දෙකක්ම ගියා ගියේ රෑ වෙලා . දවාලක ගියානම් අනිවා ඔයාව හම්බවෙන්න ඕන කියලා මට මතක් වුනා

    ReplyDelete
    Replies
    1. පින්වන්ත යාලුවො.... සතුටුයි.

      Delete
  4. මාත් මතක විදියට කවි පොත් හතරක් ගත්ත...ඒත් තරුකිව්ව වගේ කවියට ඒ තරං කැමති අය අඩුයි...
    අපි වගේ කවි පිස්සො ඇරෙන්න... හුගක් අය කවිය සයිබරේ ඉතුරු කරල නිහඩ වෙන්නෙ ඒ හන්දවෙන්න ඇති...
    අනික තමා ටිකක් හරි ප්‍රසිද්දධ නැත්තං එයාගෙ කවි පොතට පිළිගැනීමකුත් නෑ...

    ReplyDelete
  5. අර මහළු මිතුරන් දෙදෙනා හැරී යන අන්දම ගැන ලොකු දෙයක් මට හිතුනා.. වැඩේ ‍හොදයි.. හැමෝටම එකලෙස සාර්ථක විය හැකි නම් මේ ලෝකේ පවතින්නෑ කියන එක හොදට මතක තියාගන්න තරු..

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත... එකම කවියෙක්ගෙ වුණත් හැම කවියක්ම සාර්ථක වෙන්නෙ නැහැ.

      Delete
  6. කවිය මාකට් වෙන් නැත්තේ කවියේ තවමත් රහ තියෙන නිසා, එකේ මාකටින් රහ ආපු දාට කවිය මාකට් වෙයි, සත 5ක් ඊල පොර කකා ගත්තු කවි කොළ වල තිබ්බ රහ අද කවියේ තියෙනවද කියන එක ප්‍රශනයක්, ඒ අතින් කොළඹ යුගයේ කවිය අසාර්ථකයි කියලා හිතෙනවා, ජී බී සේනානායකයන් හදුන්වා දුන් නිදහස් කවි කලාව හුගක් ඕලාරික මත තියෙන උන් අතට ගිහින් අර්ථ රසයට වඩා කාමය, විස්තර වරුනාව වගේ දෙයක් තමා ඉදිරියට ආවේ, ඒ අතරේ කවියත් එක්ක උඩුගම් ගියේ කිහිප දෙනයි, ඒ අතර ගුණදාස අමරසේකර, මොනිකා රුවන්පතිරණ, විමල් දිසානායක, මහගම සේකර, මීවන ප්‍රේමතිලක, එච් ඇම් කුඩලිගම වගේ ය විශේෂයි. කවිය කාලෙන් කාලෙට මොඩිෆයි වෙනවා, එතින් මාකට් වෙන එක මාකට් වෙනවා. එකම දුක කවි කියෙව්වට එක රස විදින පිරිස අඩු වීමයි. එතනයි ප්‍රශ්නේ.

    මේ කවි දෙකෙන් කෙලින්ම අදහස යන්නේ දෙවෙනි කවියේ, එත් අර්ථ රසය තියෙන්නේ පළමු කවියේ නේද

    සිසි වන වූවන ඉඟ සුඟ ගත හැකි මිටින
    නිසි පුළුලුකුල රිය සක යුරු තිසර තන
    දිසි රණ ලියෙව් රූසිරි යුත් මෙපුරඟන
    ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවගන

    සුදු පෙම්වතිය කිරි බින්දුව සුවඳ පිඩ
    කැටයම් විසුල යටගවුමින් වැටුණු හැඩ
    දියදම් ඉසුර වැනි හැට්ටය කිමද උඩ
    මෙතරම් නැගුනේ ඇයි පියයුරු කැකුළු තුඩ

    කවියෙන කවියට, යුගයෙන් යුගයට එකේ රස වෙනස්, අරුත් වෙනස්, මාකට් වෙන විදියටයි කවි ලියවෙන්නේ, එත් පොදුවේ ගත්තම රස විදිය හැකි සහ නොහැකි කවි බොහොමයි, එකම ගැටලුව කවිය රස විදින්නන් අඩු කමයි.

    ReplyDelete
  7. කවියට ආදරය කරන කෙනෙක් විදිහට දුක හිතුණා....

    ReplyDelete
  8. මං හිතන්නේ කවි ලිවිය යුත්තේ ආත්ම තෘප්තිය සඳහාය කියායි.
    ඒ කවි අන් අය සමග බෙදා ග්නට අවශ්‍ය නම්, ඒ සඳහා ඒ අන් අයට දඩ ගැසීම අසාධාරණයි. බෙදා ගත යුත්තේ නොමිලේ, එක්කෝ බ්ලොග් එකක, පත්තරයක දාන්න. පොත් මුද්‍රණය කළොත් නොමිලේ බෙදා දෙන්න.

    සැපයුමක් තිබුණු පලියට ඉල්ලුමක් එන්නේ නෑ කවි වැනි නිර්මාණ සඳහා!

    ReplyDelete
  9. මමත් කවියට පට්ට ආදරෙයි.. හොඳ කවියට කොහොමත් තැනක් තියෙනවා.. මම කොයි දේත් වගේ රැඩිකල් දේට කැමතියි. හිතේ කෙටූ ටැටූ පොත ගැන ඔත්තුව දුන්නේ බස්සි. මම පොතක් අරගෙන එක හුස්මට කියෙව්වා. පස්සෙ පොත් අස්ථානගත් උනා. අර ප්‍රසිද්ධ ක්‍රමයට. මට පොත් ප්‍රදර්ශණේ එපා වෙලා තියෙන්නේ. ඒ නිසා එතනින් ගන්න ගියේ නෑ. ඊයේ මරදානේ හැම පොත් සාප්පුවටම ගියා. පොත නෑ. අද බුකියේ දැම්මාම මනෝරාම කිව්වා සන්නගේ සාප්පුවේ බලන්න කියලා. ආයෙත් අද පොත ගත්තා.. හොඳ කවි පොත් වලට තියෙන මාකට් එක ඒකෙන් පෙනවා..

    මටත් හිතෙන්වා මගේ කවි පොතක් ගහන්න..

    ReplyDelete
  10. සාහිත්‍යය වැනි රසවත් අර්විථවත් විෂයක්, විෂය නිර්දේෂයෙන් ඉවත් කළ රටක සංවේදී මිනිසුන් ඇතිවෙයිද?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...