Tuesday, September 2, 2014

හදවතක මිදුම වූ.... කවියක විඳුම...



සොඳුරු ආලේපන ගැල්වුවද, කෙතරම් හැඩ වැඩ වූව ද මේ ගෙන්දගම් පුර අඟනගේ දහවල් ගිනියම, දුහුවිල්ල, කන්කරච්චලය දැරීම නම් පහසු නැත. එය එසේ වන නමුදු සිය කුළුඳුල් කාව්‍ය එකතුව විසල් බෑගයක තැන්පත් කොටගෙන, අගනුවර ගිනිගත් දහවලක පොත් හළෙන් පොත් හළට පාද සක්මනේ යෙදෙන කවි මානවකයකු මෑත දිනෙක මට හමුවිය. එක් අතකින් සෝබර දසුනකි. තවත් අතකින් කවියට අනුරාගී හදින් නේක දුක් උහුළන කවි හිත් පිළිබඳ සෙනෙහස දල්වන්නකි.

.............

මෑත පළ වූ කවි පොත් රැසක්ම මා සතු ය. අතවත් නොතබා උහු හුදකලාවම පසුවෙත්. කවි පොතක් අතට ගන්නට නම් හිත බෙහෙවින් නිස්කලංක විය යුතුය. යාන්ත්‍රික ජීවිතය තුළ අහිමිව ඇත්තේද ඒ සංහිඳියාවම ය. උණුසුම් කෝපි කෝප්පයක් සමඟ ගේ ඉදිරිපිට සිමෙන්ති පඩියේ වාඩි වී උදෑසන හෝ සැඳෑ පවනැල්ලක පහස විඳිමින්, එසේත් නැතිනම් සඳ පහන් රැයක හුදකලාවම  කවි පොතක දැහැන්ගත වන්නට ඇත්නම් අපූරු ය. මසකට වරක්වත් අහසට පුරහඳ හිමි වේ. නමුත් කරුමයට එවැනි නිස්කලංක දවස් ජීවිතයට උදා වීම අතිශයින් විරලය.
...........

කවිය ගැන ලියන්නැයි ඇරයුම් ලැබේ. නමුත් කවියට අත තබන්නට මම බිය වෙමි. ඒ කවිය විඳින්නට මිස කවි ලියන්නට හෝ කවියකට විවරණ සපයන්නට මා පොහොසත් නැතැයි සිතන බැවිනි. කවියට කොතරම් නම් පෙම් කරන්නේද එබැවින්ම කවියට අවැඩක් වන ඉස්පිල්ලක් පාපිල්ලක් තරම හෝ මාතින් ලියැවේය යන සිතුවිල්ල කවි පොතක් ගැන ලියන්නට පෙළඹෙන සිත උදාසීන කරවයි.

...........

මගේ කවි කතා එබඳු ය.

අපමණ කවි ලියවුණද, අපමණ කවීන් සිටියද, කවි පොත් එළිදැක්වුණද කවියේ සැරිසැරුම අගනුවර ආශ්‍රිත හුදකලාව ම සිදුවන කාර්යයක් බවට පත්ව ඇතැයි සිතේ.  නූතන කවිය සමාජගත වීම අතිශයින් මන්දගාමී ය. උපතට, විපතට, සතුටට, දුකට, කෙතට, කමතට,ගමනට බිමනට, වෙහෙසට අස්වැසිල්ල, වැඳුමට, පිදුමට, අරගලයට මෙකී නොකී සැමෙකට කවි කියූ, ලියූ පරපුරක වර්තමාන ඛේදවාචකය.....

..........


කවි පොත් නොවිකිණෙන බවද සුලබ අදහසකි. එවැනි වකවානුවක කවියට නෑකම් කියන අපුරු පොතක් ඇහැ ගැටිණි. ඒ ආධුනික සහ ප්‍රවීණ කවීන්ගේ කවි එකතුවක් පිළිඳව දයාර්ද හදවතකින් විමසා බැලූ කාව්‍ය විමර්ශන කෘතියකි.  කවි පොත් පවා නොවිකිණෙන සමයක,  කවිය ගැන මෙවන් විවරණයක් කෘතියක් ලෙස පළ කරන්නට කාලය, ශ්‍රමය කැපකිරීම ප්‍රශංසා කටයුතු නොවන්නේද? එකී විවරණයත් බොහෝ දුරට ආධුනික කවීන්ගේ කාව්‍ය නිර්මාණ දෙස අවධානය යොමු කරවන්නක් වූ කල!!!! 

2012 වසරේ මකරන්ද සාහිත්‍ය උළෙලේදී ජනගත වූ ‘‘මකරන්ද කව් සරණිය, තෙවැනි වෙළුම ට පෙර කී විවරණය සපයන්නේ ජයසිරි අලවත්ත විසිනි. ඒ ශ්‍රමයේ මුද්‍රිත ඵලය ‘මකරන්ද කාව්‍ය විමංසා කෘතියයි. මේ පිළිබඳව අදහසක් ලියා තැබිය යුතු යැයි සිතුණේ එකී ශ්‍රමයට සහ කාව්‍ය ළැදි හොඳ හිතට ගරු කිරීමක් වශයෙන් පමණක් ම නොවේ. ආධුනික කවීන්ගේ මෙන්ම, කාව්‍ය රසිකයින්ගේ ද අවධානයට ලක් විය යුතු කෘතියක් යැයි සිතන බැවිනි.

සමිත බී අටුවබැන්දෑල, විජය නන්දන පෙරේරා, ජයන්ත නිමල්සිරි, රුවන් බන්දුජීව, නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ට්, ළහිරු කිතලගම, යනූෂා ලක්මාලි, විපුලි නිරෝෂණි හෙට්ටිආරච්චි, දේ.වි. ගාල්ලගේ... මේ මකරන්ද කාව්‍ය විමංසා කෘතියට තෝරා ගත් නිර්මාණවල හිමිකරුවන්ගෙන් කිහිපදෙනෙකි.  කවි, කිවිඳියන් 53 දෙනෙකුගේ නිර්මාණ 70 ක් අඩංගු මකරන්ද කාව්‍ය සරණියෙන් කතුවරයාගේ විමසුමට බඳුන් වන්නේ කාව්‍ය නිර්මාණ 31 ක් පමණි. ඒ ඔහුගේ පෞද්ගලික විඳීම තුළ සිදු කළ තෝරාගැන්මක් බව පෙරවදනේ සඳහන් වෙයි. ඔහු ලියා ඇත්තේ ඔහුට ‘වැදුණු කවි පිළිබඳව ය. ඒ වැදීම හුදු වැදීමක් ම නොව හෘදයාංගම විඳීමකි.

කතුවරයා කවියේ හොඳ හෝ නරක විනිශ්චයට ලක් කරන්නට ඉක්මන් නොවෙයි. ඒ වෙනුවට ඔහු කවියේ පදයෙන් පදය විමසමින් ඒ පිළිබඳව තම විඳීම අප වෙත ගෙන එයි. ඒ විඳීම තුළ අගය කළ යුතු තැන අගයයි. විඳිය යුතු තැන රස මතුකරයි. සදොස් තැන පෙන්වයි. නිදොස් වන්නට අදහස් ගෙනෙයි. නිර්මාණය උසස්තලයට පත් කරන්නට යෝජනා ගෙනහැර දක්වයි. දෙන්නම් බැටේ විචාර කලාවෙන් බැහැරව අතිශය හෘදයාංගම අයුරින් ඔහු මෙකී කටයුත්ත සිදු කරයි.

කවියේ සෞන්දර්යාත්මක භාව ප්‍රකාශනය මතු නොව, එතුළින් මතුවන සමාජ විග්‍රහය කෙරෙහිද කතුවරයා අපගේ අවධානය යොමු කරවයි. ඔහු කාව්‍ය විවරණය සමඟම වර්තමාන සමාජයේ පැවැත්ම සම්බන්ධ විවරණයකටද මග පාදා ගනියි. යහපත් සමාජයක් පිළිබඳව කතුවරයා තුළ දැල්වෙන අපමණක් අපේක්ෂාවන් පිළිබඳව එකී විමසුම් ඇස අපට ඉඟිකරයි. එනිසාම මෙය හුදෙක් කාව්‍ය විමසුමක් පමණක්ම නොවී ජීවිතය සහ සමාජය පිළිබඳ විමසුමක් බවටද පත් ව තිබේ.

හයහතර දන්නා කාට වුව කියවා තේරුම් ගත හැකි සරල බසක් භාවිත කර තිබීම ද අගය කළ යුතු ය. කවිය පිළිබඳව වන විමසුකමට මහා භාෂා හරඹ අවැසි නොවේ. එය කාව්‍ය රස වින්දනයට බාධාවක් මිස අත්වැලක් නොවේ. කතුවරයා ඒ පිළිබඳව මනා අවබෝධයෙන් සිය විඳුම ලියා දක්වා ඇත.

ජයසිරි අලවත්තගේ මකරන්ද කාව්‍ය විමංසා කෘතිය කවි ලියන, කවි කියවන සැමගේ අවධානයට ලක්විය යුතු කෘතියකැයි සිතමි. කවියට ඇලුම් කරන, කවිය විඳින්නට කැමති, නමුත් කවි තේරුම් ගන්නට අපහසු යැයි මැසිවිලි නගන පාඨකයන්ට කවිය විඳින්නට අවැසි මගහසර තෝරා පහදා ගන්නටද මෙමගින් යම් රුකුලක්, මගපෙන්වීමක් ලැබෙනු ඇත.

මගේ විඳීමේ පහසුව තකා මෙලෙස යෝජනා කරනු  කැමැත්තෙමි.

කවිය පිළිබඳ විවරණය සැපයීමට පෙර සම්පූර්ණ කවියම මුද්‍රණය කොට තිබුණේ නම් අගනේ ය. මේ විවරණය තුළ අපට හමුවන්නේ තැනින් තැන විමසුමට බඳුන් වන කවියේ කොටස් ය. මකරන්ද කව් සරණිය අත පොවන මානයේ නොවන්නේ නම් සමස්ත කවිය පිළිබඳව අදහසක් ලබා ගැනීම අසීරුය. කවිය ඇස ගැටෙන්නට සලස්වා අනතුරුව එකී කවිය පිළිබඳව විමසුම පළ කළානම් මැනවයි සිතේ.

කවියේ මාතෘකාව සහ නිර්මාණකරුගේ නම ද ඇතුළත් පටුනක් වී නම් තවත් අගනේ ය.

2012 වසරේ පළ වූ කාව්‍ය එකතුවක් බැවින් මේ විවරණය සපයන්නට පමා වූවා වැඩි යැයි සිතේ. මේ වන විට ඒ කවි පිළිබඳ මතකය රසික සිත්මතින් හේදී ගොස් තිබෙන්නටද ඉඩ ඇත. පමාවට බලපෑ හේතු කාරණා, ප්‍රායෝගික ගැටලු පෙරවදනේ සඳහන් වන බැවින් සහෘද හදවතේ සමාවට ඉඩක් වෙන්වනු ඇත.

කෙසේ නමුත් මෙලෙස කවිය ගැන තම විඳුම ලියා තබන්නට සිතීම වාසනාවකි.  සියල්ල රුපියල් සත තුළින් තීරණය වන මෙවන් සමාජයක කවිය පිළිබඳව වන එකී ලියැවිලි කෘතියක්ව පළ කරන්නට කාලය ශ්‍රමය කැප කිරීම ම ඓශ්චර්යයකි.  ජයසිරි අලවත්ත සහෘදයාට මාගේ ප්‍රණාමය....

ඔහු මකරන්ද කාව්‍ය විමංසා කෘතිය හරහා මෙබඳු පැනයක් නගනු මට ඇසේ. මට දැනේ.

කවියට පෙම් බඳින අප වත්, කවිය වෙනුවෙන් කවියේ උන්නතිය වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම් ලාංකීය කවියට කාගේ පිළිසරණක්ද?

මකරන්ද කාව්‍ය විමංසා
ජයසිරි අලවත්ත
නැණිල ප්‍රකාශන

රු. 250.00 

16 comments:

  1. //කවි පොත් නොවිකිණෙන බවද සුලබ අදහසකි.// එවන් සමයක මේ මසුරන් වැඩකි!

    ReplyDelete
  2. සටහන දැක්කම ආස හිතුනා.. පොත් ප්‍රදර්ශනෙත් එන එකේ වේටින් ලිස්ට් එකට දාන්න ඕන.. අක්කට කියන්න දැන් අරයට කියලා අර ගත්ත පොත්ම තියෙනවා බර ගානක් ගෙන්න ගන්න..

    ReplyDelete
    Replies
    1. හොඳම දේ ඔයා ඇවිත් අරයවත් අරන්, පොත් ටිකත් අරන් යන එක...

      Delete
  3. ලස්සණයි. මම ගෙන්නගන්ට හදන්නේ නවකතා...:)

    ReplyDelete
    Replies
    1. ඔයා කළින් කළ පරිවර්තනයත් පොතක් වුණානම් හොදයි....

      අලුත් කතාව නම් තවම කියවන්න බැරි වුනා...

      Delete
  4. ජයසිරි අලවත්ත සහෝදරයා ලියා එවූ කවිය....
    =============================

    අනගි ය විචාරක්ෂිය
    අනගි ය මතුකර ලීම
    සදොස

    මේ
    නිදහසට කරුණු නොව
    යථාවය

    මගහැරුණි පටුන
    කමාවන්න ගැත්තාට

    එකතු නොකළේ
    කවියෙන් කවිය
    වර්ධනය වන බැවිනි
    පත් ඉරු ප්‍රමාණය

    වර්ධනය වන විට පත්ඉරු
    ඉහළ ය බරපැන
    ඉහළ යන විට බරපැන
    පතිතවන්නේ එබර
    පසුම්බියට ය පාඨකයාගේ
    ... ???

    ReplyDelete
  5. වටින පොතක් වගේ, එතෝ කොළඹ යුගයේ කවිය මරනාසන්නයි, ඔක්සිජන් දීලාවත් ගොඩගන්න හැකි උනොත් හොඳයි, මේ වෑයම අගය කරමි.

    ReplyDelete
    Replies
    1. කවිය මරණාසන්න නැහැ... කවිය මිනිස්සු අතරට යනව මදි... කවිය ගැන කතාබහ ඇති වෙනවා මදි කියලයි මට හිතෙන්නෙ...

      Delete
  6. පොත් කියවීම සහ මිලදීගැනීම දැන් නම් බොහෝ අඩුවෙලා

    ReplyDelete
    Replies
    1. අපරාදෙ.... එක අතකින් පසුම්බියට පහසුවක් වෙන්න ඇති..

      Delete
  7. වටිනා ලිපියක්. එහි ඇති කවි කිහිපයක් මෙහි සටහන් කළා නම් වටී :)

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ කවි තිබුණෙ නැහැ.. කවි කොටස් තමයි තිබුණේ....

      Delete
  8. තරු රසීව මුන ගැහෙන්නනම් ෂුවර් එකටම ඉන්න තැන දැන් දන්නවා

    ReplyDelete
    Replies
    1. ඒ කොහෙද? ජාතික පුස්තකාලෙද?

      Delete
  9. කවියට මිලක් නැත්තේ කවි රසකාමීන් ගේ රසංකුර මැරිලා ගිහින්වත්ද ?

    එදා රන්දිකා අක්කාගේ පොත එළිදක්වන උත්සවයෙදී තරු අක්කා හමුවෙන්න තිබ්බ අවස්ථාවක් මග හැරුනානේ.මම ආවේ පරක්කු වෙලා.එතකොට උත්සවය ඉවරයි.රන්දිකා අක්කා කිවා තරු අක්කා ඇතුලේ ඉන්නවා.කථා කරන්න යන් කියලා.ඒ කතා කරන්න එනකොට තරු අක්කා ගිහින් හිටියා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...