පිටු

Saturday, September 19, 2015

සසැලී සසැලී අස්සන් ‍යෙදු අද දවස...


පොත් ප්‍රදර්ශනය ඇරඹිණි. රාජ්‍ය නායකයන්ට තවමත් සාමාන්‍ය පාඨකයන් ලෙස පැමිණ නිදහසේ පොතක් පතක් පෙරළා බලා කැමති පොතක් රැගෙන යන්නට තරම් වාසනාවක් නැතිකමේ අවාසනාවට සම්මාදම් වෙමින් පොදු ජනතාව නඟන මැසිවිලි අසමින්, ආරක්ෂක අංශයේ හිතවතුන්ගේ සමාවට සහ පමාවට හේතුකාරණවලට ඇහුම්කම් දෙමින් ඇරඹුණු උදෑසන ජීවිතේ අපූර්වතම දවසක් බව නම් සැබෑ ය.

මගේ කුළුඳුල් කවි පොත මුල් වරට අලෙවිය සඳහා ඉදිරිපත් කළ දවස අදයි. ඒ ප්‍රමුඛව තරු ඇස් රහස් ප්‍රකාශයට පත් කළ සම ප්‍රකාශන ආයතනයේ K 306 සම පොත් කුටියේ දී ය.

අද තරු ඇස් රහස් මුල්ම කවි පොත මිල දී ගත්තේ ශක්තික ය. තමන්ගේ පොතක් මිල දී ගන්නා සමීප සගයෙකු ඒ කෘතිය පෙරළා අත්සන පිණිස අත තබන විට ඇති වන ප්‍රීතිමත් තිගැස්ම මුල්වරට අත්වින්දෙමි. අපමණ සතුටකි. හිත මිතුරන් සම කුටිය සොයා ආයේ නෑගම් එන්නාක් බඳුව ය. හිතුවාට වඩා තරු ඇස් අතර අත්සන තබන්නට සිදු විය. එය ප්‍රීතියකි සැබවින්ම. ඒ සෑම මොහොතකම සුරත මෙන් ම හද ද සසැලිනි. මන්දැයි නොදනිමි. මෙතෙක් කල් නොයෙක් නොයෙක් දෑ ලීව ද, නොයෙක් තැන්වල පළ විණි ද පළමු පොත යනු නව උපතක් යැයි සිතේ.

ඔබ මට දක්වන  ස්නේහයට ගෞරවණීයව හිස නමමි. නමුත් මා කෙරෙහි පවතින බැඳීම් පසෙක තබා නන්නාඳුනන අයෙකුගේ කවි කියවා විචාරය කරන්නාක් මෙන් තරු ඇස් රහස් කියවා පිළිබඳ අදහස් දක්වන මෙන් ආදරණීයව ඉල්ලමි.

................

සම පොත් කුටියේ ඔබ කැමති පොත් බොහොමයක් ඇති. ඇවිත් බලන්නැයි ඉල්ලමි. නිවාඩු දවස් බැවින් අද සහ හෙට මම ද එහි රැඳෙන්නෙමි. ආසන්නයේම ඇත්තේ රංජි අයියාගේ අගහස් පොත් නැවතුම ය. පොත් ප්‍රදර්ශනයට එන්නේ නම් K ශාලාව මඟ නොහැරීම වාසියක් වනු ඇත. ආශිර්වාද, ආකර්ශා, වාසනා ඇතුළු කුටි රැසක් එහි ඇත. කවි කුටිය මෙන්ම සාහිත්‍ය සංවාද මණ්ඩපය ඇත්තේද K ශාලාව අසල ය.

.................

මෙවර කවි කුටියේ සන්ථන ප්‍රකාශන කවි පොත් වෙනුවෙන් 40% ක වට්ටමක් හිමි වන අතර සෙසු සියලුම කවි පොත් වෙනුවෙන් 30% ක වට්ටමක් හිමි වනු ඇත. මෙවර සම්මානිත ටිම්රාන්ගේ ‘‘යන්නං චන්දරේ‘‘ ඇතුළුව සම්මානිත කවි පොත් රැසක් ද, නව සහ පැරණි කවි පොත් ද එහි දී හමුවනු ඇත.

කවි කිවිඳියන් රැසක් කවි පොත් සල්පිලේ දී හමුවිය. දැන් මම ත් ඒ අතර ඉන්නවා නොවේදැයි සිතන විට සිතට සතුටක් දැනේ. නමුත් පොතක් පළ කළ පමණින් කෙනෙක් කවියෙක් හෝ කිවිඳියක් වන්නේ නැත. එකම එක කවියක් වුව සැබෑ කවි ගුණයෙන් පිරිපුන්ව අකුරු අතර හුස්ම ගන්නේ නම් පොත් නැත ද හෙතෙම කවියෙකි.

..................

තිලක අයියා මව්බිමට පා තැබූ සැනින් ආවේ පොත් ප්‍රදර්ශනයට ය. තිලක සිත සම කුටියේ තබා අපි වැඩ දහක් අතර වුව සිත් සේ කතා බස් කළෙමු. අසිරිමත් මොහොතකි. සයිබරයෙන් ඇරඹි මිතුදම් සොයුරුදම් මහපොළව මත නොවෙනස්ව හමුවනු දැකීම කොතරම් අපූරුද? නිල්මාණී, අසංග, හරී, උපේක්ෂා, නෙරංජි, හෂිත, සචී ඇතුළුව තවත් නාඳුනන හඳුනන මුහුණු දෑස් අබියස.... සතුටකි...


සති අන්තයේ සහ 24 නිවාඩු දවසේ එහි රැඳී සිටින්නට අදහස් කරමි. පොත් නොගත්තත් ඇවිත් යන්න එන්න. 

15 comments:

  1. තරු ඇස් රහස් අනිවා ගන්නවා. ඒත් ඔබේ අත්සන ලබාගත යුතු නිසා මේ දින දෙකේහෝ 24 එන්න හිතනවා. මේ දවස් තුනේ කතුවරුන් හමුවිය හැකියි. ඔවුන්ගේ අත්සන් ලබා ගත හැකි වේවි කියලා මට හිතෙන්නෙ.

    ReplyDelete
  2. අපිත් එනවෝ අස්සං කරන්න ඉන්ඩෝ

    ReplyDelete
  3. සසැලී සසැලී ගහන අත්සනකින් යුතු පොතක් ගන්න අපිත් එනවලු. :)

    ReplyDelete
  4. සසැලී සසැලී ගහන අත්සනකින් යුතු පොතක් ගන්න අපිත් එනවලු. :) * 2 හික්ස්
    අපි එද්දි නොහිටියොත් නෙව
    හෙක් හෙක්

    ReplyDelete
  5. හෙහ්, සසැලී සසැලී පොතේ අස්සන් කලාට නම් අවුලක් නෑ. වෙන වැදගත් ලිපි ලේඛන වලට අස්සන් කරද්දි සසැලෙන්ට එහෙම එපා ඔන්න. අස්සන ප්‍රතික්ෂේප වෙයි නොවැරදීම හොර අත්සනක් කියල....:)

    ReplyDelete
  6. මටත් තව සතියක් විතර ඉඳලම එන්න තිබ්බේ... එහෙනං සසැලි සසැලී අත්සනක් ගහගෙන එන්න තිබ්බා..

    ReplyDelete
  7. අන්න තරු අක්කේ ඔයාගෙ ‘තරු ඇස් රහස්‘ මුලින්ම වෙරෝනිකා ට... පෝස්ට් එක නෙලුම් යායට දාලා. ගිහින් බලන්න.

    ReplyDelete
  8. කෝ,මට අත්සනක් දීලා නැහැනේ සටහනක් විතරයි.කන අත්සනවත් දුන්නානම් මොකෝ වෙන්නේ.:)

    ReplyDelete
    Replies
    1. ආ මමත් අරයවවත් හම්බ වෙන්ට කලින් මුලින්ම ආවේ අක්කාව හොයාගෙනනේ.

      Delete
  9. හිහී! මාත් අස්සං ගන්ඩ ආවා නෙව. තිලක අයියවයි අක්කවයිත් අඳුන්නලා දුන්නෙ තරු අක්කනෙ. මං අදත් හවස යන්න ඉන්නෙ. "පිටුවහල් පිටු" ගන්න බැරිවුනා.

    ReplyDelete
  10. මමත් ආවනේ අක්කගෙන් අත්සනක් ගන්න... ගොඩාක් සතුටුයි අක්කා වගේ කෙනෙක් මුණ ගැහිලා කතා කරල යන්න ලැබුණ එක. මේ ඉරිදත් එන්න හිටියට කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් බාර දෙන්න තියන නිසා බැරි වෙයි වගේ.
    තවත් කවි පොත් හුඟක් ලියන්න ලැබේවා!

    ReplyDelete
  11. //පොතක් පළ කළ පමණින් කෙනෙක් කවියෙක් හෝ කිවිඳියක් වන්නේ නැත. එකම එක කවියක් වුව සැබෑ කවි ගුණයෙන් පිරිපුන්ව අකුරු අතර හුස්ම ගන්නේ නම් පොත් නැත ද හෙතෙම කවියෙකි.//
    ඇත්තම ඇත්ත කතාව. කවි පොතක් නොවෙයි කවියක් ලිව්ව ගමන් කවියෙක්, කිවිඳියක් වුණා කියල උඩ පනින අය බහුල ලෝකෙක තරුරසීගෙ කතාව හරිම වටිනව.

    ReplyDelete
  12. අැයි සසැලෙන්නේ.................. ගැම්මෙන් ඉන්න..... ජයවේවා....

    ReplyDelete
  13. සුබ පැතුම් අක්කේ...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...