Sunday, August 16, 2015

තරු අතරින් මිහිමත බට කන්‍යාව ......... තාරා


යුද්දෙ දින්නා......... කවුද?

අපි.....!!!! කවුද කියල අහන්නෙ ?

අපි!!!... කවුද අපි...!!! අම්මේ දකුණෙ හැම සිංහල ගමකටම මිනී පෙට්ටියක් ආවා.. දෙමල කොල්ලො කෙල්ලො කී දෙනෙක් නම් මැරෙන්න ඇත්ද? දැන් කවුද අපි... හැම දුප්පත් පවුලකටම මිනියක් ලැබුණා. කවුද යුද්දෙ දින්නෙ...? කවුද අපි...?
.........

කවදාද එන්නේ සමිඳුන් සොයා
අත්හැර දමන්නේ පාපේ මායා
නැත්දෝ දැනෙන්නේ එතුමන් දයා
කවදාද එන්නේ සමිඳුන් සොයා....
( මම කැමතිම ගීතිකාවක්...)

නෑ සිස්ට මම මේ කල්පනා කළේ ලෝකෙ හරි පුදුමයි නේද? මිනිස්සු වෙනුවෙන් කතා කරන, මිනිස්සු වෙනුවෙන් වැඩ කරන කෙනාවම කුරුසෙ ඇණගහල මරනවා. ඊටපස්සෙ ඒ ඇණ ගහපු මිනිස්සු විසින්ම අර මනුස්සයව දේවත්වයට ඔසවනවා....

ලෝකය ස්වභාවයෙන්ම නරුමයි නන්දිතා. ඒ නරුමකම තියෙන්නෙ අපේ යහපත පරීක්ෂා කරන්න. අපිම තමයි ඒක හොඳ අතට හරවගන්න ඕන..
........
මං ආසයි. ජීසස්ට..
ඇයි?
එයා හරි කෙළින් පිරිමියෙක්..
........

අඳුර මැදින් එළිය ගලනවා
කඳුළු මැදින් සිනහ නගන දා
අතහරින්න එපා පුතේ .. දාලා යන්න එපා
බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා
ළං වී මට යාච්ඤාවෙහී........... කතා කරනවා
වෙන් වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා...
( ළමා නිවාසයේ දරුවන් සමග නන්දිතා ගයන ගීතිකාවේ හඬ........)
.........

තමුසෙට ෂුවර්ද මේ අපි ඇත්තටම ජීවත් වෙනවා කියල...
ඔව් .. ඇයි
ෂුවර්ද?
ඔව්...
කොහොමද හරියටම කියන්නෙ...... මේක කාට හරි පේන හීනයක් වෙන්න බැරිද?
...........

කොහොමද නන්දිතා
හොඳක්ම නෑ එරන්ද....... මං ඔයාට ආදරේ කළානෙ.. ඒ හින්ද හිතට අමාරුයි...
අපි එදා වෙච්ච දේවල් අමතක කරමු.
ඊට පස්සෙ ?
මට ඔයාව නැති කරගන්න බෑ....
මං ඔයාට එහෙම කළේ නෑ...
...........

එයා හොඳ කෙනෙක්.. ඒත් ඒක හරියන්නෙ නැහැ අම්මේ.... මට ඕව වැඩක් නෑ...... මං ඔය මැරීගෙන ලව් කරන්න කැමති නෑ අම්මේ.. මං හිතන විදියටත් ඉඩක් තියෙන්න එපෑ.. එහෙම නැත්නම් මට එතන ඉන්න බෑ..

එහෙම ඉතින් ඔයා හිතන විදියටම හිතන අය හම්බෙන්නෑ

එහෙම හිතන්න තරම් මං මෝඩ නෑ.. නැත්තං ඉතින් මං ඔයත් එක්ක ඉන්නෙ..

ඒ කිව්වෙ..

නෑ ඉතින්.. අදහස් ගැලපිලායැ අම්මත් එක්ක මේ ඉන්නෙ අවුරුදු 25 ක් තිස්සෙ

ඕන කුදයක් ගහගනින්

අම්මේ............ එන්නකො...
............

ටෙලි කතා හිතා මතාම බැහැර කරන කාලයක විශේෂයෙන් තාරා බැලුවෙ නාමල්ගෙ තිර රචනයක් නිසා. නාමල් ජයසිංහගේ ලියවිලි, නිර්මාණ සියුම්ව, සමීපව හිතට කතා කරනවා. ඔහු ලියූ ග්ලැඩියේටර් ප්‍රේමය සහ තවත් නිර්මාණ කීපයක්ම ඇහැ ගැටිල තියෙනවා. මේ කොදෙව් පොළවෙ කටුකම අත්දැකීම්වලින් නිරන්තරයෙන් ඇවිළෙන හිතක පීඩාව වගේම ජීවිතය ගැන දකින වෙනස් සුන්දර සිහින පිරුණු නිර්මාණ ඒවා........

තාරා......... ලස්සනයි. මං කැමතියි. විශේෂයෙන්ම නන්දිතාට මං හරිම කැමතියි. එයා හරිම විවෘතයි. ආදරණීයයි. අවංකයි. කෙළින් කතා කරනවා.

ජේසුගේ ජීවිතය ගැන, ක්‍රිස්තියානි විමුක්ති මාර්ගය හා බැඳුණු ප්‍රේමයේ දැක්ම ගැන නාමල් තුළ වන පැහැදීම තාරා තුළින් මතු වෙන විදියටත් මං කැමතියි.

හැම ඉරිදාම රෑ 8.30 කණිසමට ස්වර්ණවාහිනි තිරයෙන් තාරා හමුවෙන්න හැකි වේවි....

තිරරචනයේ, දෙබස්වල සුන්දරත්වය ප්‍රබලව රූප රාමු තුළින් මතුවෙන්නෙ නෑ කියලත් හිතෙනවා. අධ්‍යක්ෂණය, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය පවතින ටෙලි කතා කලාවෙන් බැහැර වෙනසක් කරන්න සමත් වෙලා නැහැ. හිතට මදි... සංගීතය සිත් ගන්නවා. නාට්‍යයට එයින් ලැබෙන්නෙ එළියක්..

කඩුල්ල, ඇහි පිල්ලමක් යට, දඬුබස්නාමානය වගේ ටෙලි කතාවලින් ලැබුණු ආනන්දනීය ආශ්වාදය ලබා දෙන්න සමත් ටෙලිනාට්‍ය බිහි නොවීම නම් කණගාටුවට කාරණයක්..

තවමත් විකාශනය වෙලා තියෙන්නෙ කොටස් හතරක් පමණක් නිසා ‘‘තාරා‘‘ ගැන පූර්ව නිගමනවලට එළඹීම අසාධාරණයි. කෙසේ නමුත් මෙගා ටෙලි මාලාවක් නොවී වෙනස් සුන්දර නිර්මාණයක් වේවා.. ඒ මගේ පැතුම...




Friday, August 14, 2015

දෙමට පොතු කකා කට හම ගියා නොවේ...

පඩිපෙලක අතැර දමා ගොස් තිබූ පත්‍රිකාවක්


වැඩ නිම වී කඩිමුඩියේ පැමිණෙන විට කොල්ලුපිටිය ඉස්ටේසමේ පත්‍රිකා බෙදන කොලු නඩයක් ඇස ගැටිණි. දේශපාලන කයිකතන්දරයක් විය හැකි බවට පුර්ව නිගමනයෙන් මම ඔවුන් මගහැර ආවෙමි. පුරුද්දක් ලෙස මෙලෙස ඇඟේ ගසනා කොල කැබලි නොගන්නේ පරිසරයට අනවශ්‍ය බරක් එක්කිරීමට ඇති අකමැත්තෙනි.

ඉස්ටේසමේ පඩි නැග එන විට දුටු දසුනින් කැළඹීමක්, දුකක් සේම කෝපයක්ද දැනිනි. මිනිසුන්ගේ පයට පෑගි පෑගී තිබුණේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි උද්ඝෝෂණයේ දී මිය ගිය හලාවත ඇන්ටනීගේ මළගම දවසේ ඔහු ගේ දියණියගේ කඳුළු පිරි මුහුණ ය. තම දරුවා වඩා ගත් තාජුදීන් ගේ මුහුණ ය. පානීය ජල ප්‍රශ්නයේදී රතුපස්වල මිය ගිය දරුවන්ගේ මුහුණු ය.  

ඡන්ද ගොඩ වැඩි කරගන්නට අලෙවි වන කඳුළු.. අලෙවි වන මළ සිරුරු.. මේ කිනම් පාපයක් ද? මේ අපරාධවල සත්‍යය ජනතාව දැන ගත යුතු බව සැබෑ ය. වගකිව යුත්තන්ට දඬුවම් ලැබිය යුතු බව සැබෑ ය. නමුත් ඒ සිදුවිය යුත්තේ නීතියට අනුකූල සදාචාර සම්පන්න ක්‍රමවේදයකට මිස ඡන්ද ගුණ්ඩුවක් ලෙසින් නම් නොවේ.


මෙම පත්‍රිකා වෙනුවෙන් කළ මුදල් නාස්තිය, එයින් සිදුවන පරිසර හානිය සුළු කොට තකන්නේ කෙසේද? අකමැති දෙයක් නොගෙන සිටින්නට තරම් ප්‍රතිපත්තියක් නැති, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන් අතට ගන්නා දෙයක් අනවශ්‍ය නම් කුණු බක්කියකට දමන තුරු ළග තබාගන්නට තරම් සංයමයක්, අධ්‍යාත්මික දියුණුවක් නැති මිනිසුන් සමග මොන යහපාලනයක්දැයි විටෙක මට සිතේ.

අලුත් පාර්ලිමේන්තුවක් පමණක් නොව අලුත් ජනතාවක් ද අපට අවශ්‍ය ය.
දුම්රිය අසුන මත දමා ගොස් තිබියදී රැගෙන ආවෙමි.

...............

මැතිවරණ නම් මහා කන්දොස්කිරියාවකි. මෙතරම් තාක්ෂණය දියුණු කාලයක මැතිවරණ ක්‍රියාවලියක් වෙනුවෙන් මාසයකට අධික කාලයක් වෙන් කිරීම පාපයකි. මේ සඳහා වියදම් කරන මුදල් කන්දරාවෙන් සමාජ යහපත වෙනුවෙන් කොතරම් වැඩ කොටසක් ඉටු කළ හැකිව තිබිණි ද?
ඉදිරියේදී අවම කාල සීමාවක් ප්‍රචාරක වැඩ සදහා වෙන් කොට, වියදම් කරන මුදල් සම්බන්ධයෙන් පවා සීමා පැනවිය හැකි නම් අගනේය. 

දරුවන්ගේ ජීවිතවලට ප්‍රබලව බලපාන විභාග සමයන්හිදී ඡන්ද පැවැත්වීමට ද තදින්ම විරුද්ධ විය යුතු ය. මේ කන්කරච්චල් මැද දරුවන් නිස්කලංකයේ පාඩමකට හිත යොමන්නේ කෙසේද?

ඉන්නා තරම් හොරුන්ට, අපරාධකාරයින්ට නාම ‍යෝජනා දී සුදුස්සන් පාර්ලිමේන්තුවට පත් කර එවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීම කොතරම් සාධාරණද? සුදුස්සන් සඳහා පමණක් නාම යෝජනා ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු ය. 

මේ රාවය ලිපිය බලන්න. ඕස්ට්‍රෙිලියාවේ පක්ෂ අපේක්ෂකත්වය ලබා දෙන ක්‍රමවේදය...

මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වන කාලයක මේ පිළිබඳ අවධානය යොමු වේවා.  

පාලන තන්ත්‍රෙය් ද, රාජ්‍ය තන්ත්‍රෙය්ද දූෂණ අපරාධවලට යොමු වූ අයට නිසි අධිකරණ ක්‍රියාවලියක් තුළින් දඬුවම් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයකි. දේශපාලඥයන්, රාජ්‍ය නිළධාරීන් අතින් ජනතාවට එරෙහි අපරාධ සිදුනොවන්නට නීතිරීති ශක්තිමත් කිරීම මෙන්ම අධ්‍යාත්මික දියුණුවක් ඇති කිරීම ද අත්‍යවශ්‍ය ය. නීතියෙන් පමණක් මනුෂ්‍යත්වය බිහිවන්නේ නැත. අපරාධවලට දඬුවම් කිරීම මෙන්ම අපරාධ සිදුවන්නට ඇති ඉඩකඩ අහුරා තැබීම ද, සදාචාරසම්පන්න ජීවන රටාවක් වෙනුවෙන් මිනිසුන් පෙළඹවීම ද  වැදගත් ය.

මාධ්‍ය ගැන නම් කතා කරන්නට දෙයක් නැති තරමට ම අප්‍රසන්න ය. ආචාර ධර්ම සුරකින මාධ්‍ය භාවිතාවක් පිළිබඳ සිහින බොඳ නොවන්නට බලපෑම් කිරීම පුරවැසි වගකීමකි.

මැතිවරණ නීති ක්‍රියාත්මක වීම කෙරෙහි නම් සතුටු විය හැකි වාතාවරණයක් පවතී.
..........

අපි ත් යහපාලනයට කඩේ ගියෙමු. ඒ අන්ත දුෂිත ඒකාධිපති මහින්ද පාලනයට තිබූ බරපතල විරෝධය හේතුවෙනි. නමුත් මේ අප අපේක්ෂා කළ යහපාලනය නම් නොවේ. ඒ සිහිනයට තවත් බොහෝ දුර බව ඉතා පැහැදිලි ය. යහපාලනය යනු අපට නම් පක්ෂයක් හෝ පුද්ගලයෙක් නොවේ. සරල, සුන්දර, මානුෂික ජීවන ක්‍රමයකි. එය රටේ ඉහළම තනතුරේ සිට මහමඟ යදින්නා තෙක්ද, මන්දිරයේ සිට පැල්පත තෙක් ද ගලා යා යුතු මනුෂ්‍යත්වයේ ජීවන දහමකි.

කලාකරුවන් ද, සිවිල් සංවිධාන ද, සංවේදී මිනිසුන් ද සිටිය යුත්තේ දේශපාලඥයන්ට මුහුණ ලා පොදු ජනතාව සමඟ බව මම විශ්වාස කරමි. දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ට ද, අපට ද අයත් වගකීම නොවේ. බලයේ සිටින්නේ කුමන පක්ෂය වුව ද අප පෙනී සිටිය යුත්තේ, අභියෝග කළ යුත්තේ පාලන ක්‍රමයේ ද, සමාජයේ ද යහපත් වෙනසක් වෙනුවෙනි.

ඒ වෙනස් සමාජය තුළ තවදුරටත් ඇන්ටනීලාට, නිමලරාජන්ලාට, තාජුදීන්ලාට මරණය අත් නොවිය යුතුය. කිසිවෙකු අතුරුදහන් නොවිය යුතු ය. ඉසප්‍රියාලා, විත්‍යලා මෙන්ම අහිංසක දරුවන් ද දූෂණය නොවිය යුතු ය. සන්ධ්‍යක්කලා, යාපනේ මන්නාරමේ අම්මලා, යුක්තිය ඉල්ලමින් තැනින් තැන රස්තියාදු නොවිය යුතු ය. 71, 89, 2009 නැවත උදා නොවිය යුතු ය. මහා මන්දිරයේ මෙන්ම මහ පාර අගුවේත් සැනසීමේ බත් කටක් කන්නට නිදහසක් තිබිය යුතු ය.

මගේ, අපේ යහපාලන සිහිනය එවැන්නකි. නමුත් බොහෝ දේශපාලඥයන්ට එවැනි සිහින ගැන වගක් නැති බව පැහැදිලි ය. එනිසාම අපට කරන්නට ඇති අරගලය දිග්ගැස්සෙනු මිස මේ මැතිවරණයෙන් පසුව වුව ද නිමාවක් නොවනු ඇත.

දේශපාලන ගේම්වලින් නන්නත්තාර වූ සමාජයක සැබෑ විප්ලවයක් වෙනුවෙන් කැප වීම පහසු දෙයක් නම් නොවේ.    




Monday, August 10, 2015

දෙහි ගෙඩියෙන් ලොව දිනු ගමක්.. උමජි මුරා

අවන්අහලේ ආලින්දය

ආර්ථික සංවර්ධනය ගැන කතා බහක් ඇහෙන හැම අවස්ථාවකම මගේ හිත ඇදෙන්නෙ ජපානයට.. 2011 වසරේ ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම කියන තේමාව යටතේ ජපානයේ පැවති පුහුණුවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ශිකෝකු දූපතේ ටකමට්සු නගරය ආසන්නයේ අයගාවා කියන සුන්දර ගොවි ගම්මානයේ පැවති OISCA පුහුණු මධ්‍යස්ථානයෙදියි මේ පුහුණුව පැවැත්වුණේ. පාඨමාලාවට නියමිත අධ්‍යයන චාරිකාවන් අතර ඔයිටා දිස්ත්‍රික්කයේ ‘‘එක් ගමක්- එක් නිෂ්පාදනයක්‘‘ (One Village One Product) ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල අධ්‍යයනය කරන්නට ලැබුණු අවස්ථාව හරිම සුවිශේෂීයි..

කෘෂි සංචාරක කර්මාන්තය,  කාබනික ගොවිපළවල්, ආහාර නිෂ්පාදන ආයතන, අවන්හල්, සාම්ප්‍රදායික කර්මාන්ත, බොන්සයි මධ්‍යස්ථාන, වයින් නිෂ්පාදනාගාර  මේ වගේ බොහොමයක් තැන්වලට යන්නත්, අධ්‍යයනය කරන්නත් අවස්ථාව ලැබුණා...

ජපානය කාර්මික අතින්, නවීන තාක්ෂණය අතින් ඉතාම දියුණු තලයක තියෙන රටක් වුණත් එහි කෘෂිකර්මාන්තයට ලැබෙන්නෙ අද්විතීය ස්ථානයක්. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මහත් කැමැත්තක් දක්වන ඒ නිසාම රස ගුණ පිරි පෝෂ්‍යදායී ආහාර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන රටක් බව පැහැදිලිවම දකින්නට ලැබෙනවා. ‘ආහාර කියන්නෙ ජීවිතය‘ අපට අධ්‍යයනය කරන්නට ලැබුණු සෑම ආහාර නිෂ්පාදන ආයතනයක්ම, ගොවිපළක්ම, අවන්හලක්ම මේ ආදර්ශ පාඨය අනුගමනය කරමින් ආදර්ශමත් සේවාවක නිරත වනවා.

මුදලට වඩා මුල් තැන දෙන්නෙ ජීවිතයට.. පරිසරයට...  

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මහා පරිමාණ වැඩ ගැන හිතන අපිට, ලංකාවේ තරම් ස්වාභාවික සම්පත් පවා නැති, දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ නැත්තටම නැති වෙලා ආයෙම මුල ඉඳන් ගමනක් ආරම්භ කළ අද ලෝකයේ දියුණුම රටවල් අතර ඉන්න ජපානයෙන් ඉගෙනගන්න බොහෝ පාඩම් තියෙනවා. විශේෂයෙන්ම අපේ ගම්පළාත්වල ඇති සම්පත් උදව් කරගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි කර්මාන්ත සහ සාම්ප්‍රදායික කර්මාන්ත දියුණු කරන විදිය ගැන, මේ කර්මාන්ත දෙස් විදෙස් සංචාරක කර්මාන්තය සමඟ බද්ධ කරන ආකාරය ගැන ජපානය අපට අපූරු අත්දැකීම් කියා දේවි.   

සකුරා දේශයේ සුන්දර අධ්‍යයන චාරිකාව තුළ ලැබූ එක් අත්දැකීමක් මෙලෙස ඔබ හා බෙදාගන්න කැමතියි.

ෆයින් තුරු යායෙන් වටවුණු යෂුදා ගඟ අද්දර උමජි මුරා ගම්මානය.......



උමජි කියන්නෙ ශිකොකු දූපතේ, අකි පළාතේ, කොචි දිස්ත්‍රික්කයේ පිහිටි හරිත වනගහණයකින් වට වුණු ඉතාම ලස්සන ගම්මානයක්. සුපැහැදිලි නිල් දියවර සමඟ ගලා යන යෂූදා ගඟ ගම්මානයට එක්කරන්නෙ ශෝබමාන සුන්දරත්වයක්. දහසක පමණ ජනගහණයක් සිටින මේ ගම්මානය ඉතාම දුෂ්කර තැනක ඉඳල මහත් කැපකිරීමකින් අද සිටින තත්වයට ඇවිත් තියෙනවා.. අතීතයේ වාහනයකින් යා හැකි මාර්ගයක්වත් නොතිබුණු බවයි දැනගන්නට ලැබුණේ. ගමෙන් 75% ක්ම තියෙන්නෙ කැලෑව. ඒ ෆයින් කැලෑවත් දෙවන ලෝක යුද්දයෙන් පසුව ජනතාව විසින්ම වගා කළ ඒවා.  

මේ ගමේ ප්‍රධාන ආදායම් මාර්ග තුනක් මට දකින්නට ලැබුණා. 

එකක් යුෂු වගාව. යුෂු කියන්නෙ දෙහි කුලයට අයිති  ශාකයක්. දෙහි ගෙඩිය ගමෙන් පිටට යන්නෙ දෙහි විදියට නෙවෙයි. නිමි නිෂ්පාදන විදියට. දෙහි යුෂ, විවිධ පාන වර්ග, ජෑම්, ආලේපන වර්ග සහ වෙනත් විවිධ නිෂ්පාදන විදියට. දෙහි ගෙඩියේ පොත්ත, ඇටය පවා මේ නිෂ්පාදනවලට යොදා ගන්නවා. ඒව හදන්නෙත් ගමේම කර්මාන්ත ශාලාවක. අති නවීන තාක්ෂණ ක්‍රමවේදයන් සමඟ ඉතාම සෞඛ්‍යාරක්ෂිත විදියට. මේ කටයුතුවලට දායක වෙන්නෙත් ගමේ අයමයි.

යුෂු නිෂ්පාදන සඳහා වන දැන්වීම්, පෝස්ටර් සඳහා පෙනී සිටින්නෙත් ගමේ අයමයි. නළු නිලියො නෙවෙයි. ගමේ ගොවියන් වගේම ආච්චිල, සීයලා, පුංචි දරුවො එකතු වෙලා හැදුණු මේ දැන්වීම් හරිම නිර්මාණශීලීයි.  


අවශ්‍ය කරන මූලික පහසුකම් සඳහා ප්‍රාග්ධනය සැපයීම සිදුවෙලා තියෙන්නෙ මධ්‍යම රජයෙන් සහ පළාත් පාලන ආයතන මඟින්. නමුත් දැන් එය ශක්තිමත් ව්‍යාපාරයක් ගම විසින්ම පවත්වාගෙන යන.. අපි අධ්‍යයනය කළ හැමතැනකදිම විශේෂයෙන් දුටු දෙයක් ජපන් කෘෂිකර්ම සහයෝගිතා පදනම (JA) ඉතාමත් ශක්තිමත් නිදහස් සංවිධානයක් ලෙස කෘෂිකර්මය නගා සිටුවීමට දෙන දායකත්වය. උමජිමුරා ගම්මානයෙත් එලෙසමයි. අතරමැදියන් නොමැතිව තම කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ හැකියාව ගොවීන් වෙත ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් 10% -15% අතර මුදලක් ගොවියන් විසින් කෘෂිකර්ම සංවිධානයට ලබා දෙනවා. ආපසු එම මුදල යෙදවෙන්නෙත් කෘෂිකර්මයේ සංවර්ධනයටම වීම සුවිශේෂයි. මෙය ඉතාම සාර්ථක, ඵලදායී ක්‍රමවේදයක්. ලංකාවෙ ගොවි සමිති, සංවිධාන මේ මට්ටමට දියුණු කළ හැකි නම්, දීපව්‍යාප්ත එකම සංවිධානයක් ලෙසට ඒකරාශී කළ හැකි නම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයට තීරණාත්මක බලපෑමක් කරන්න හැකි වේවි...






උමජිමුරා ගම්මානෙදි මට නිතරම මතක් වුණේ දෙහි වාරෙට අපතේ යන, කුණුකොල්ලෙට විකිණෙන අපේ දෙහි................ අඹ, කොස්,දෙල්,මඤ්ඤොක්කා, අල, බතල, තක්කලි....

මේ භවබෝග සම්පත් නිමි නිෂ්පාදන විදියට දෙස් විදෙස් වෙළඳපළ ඉලක්ක කරගෙන ගමෙන් පිටට යවන්න පුළුවන් දැනුම, තාක්ෂණය, කර්මාන්ත ශාලා ගමට දෙන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද? මං හිතන්නෙ මධ්‍යම සහ පළාත් රජයන් අවධානය දිය යුතු වෙන්නෙ මෙවැනි ආර්ථික සංවර්ධනයකට.. ආධාර දීම, ඇට පැළ බෙදා දීම ගමේ ආර්ථිකය තහවුරු කරන්න සමත් නැහැ. එහෙම පුලුවන්කමක් තිබුණා නම් පහුගිය රජය සමයේ දිවිනැගුම හරහා වියදම් කළ අසීමිත මුදල් කන්දරාවෙන් මේ රට සුරපුරයක් තරම් ස්වයංපෝෂිත වෙන්න ඕන.  

ජනසවිය, සමෘද්ධි, දිවිනැගුම......... දිළිඳුකම පිටුදැකීමේ මේ සියලුම සංවර්ධන වැඩසටහන් මේ දූපත ඇතුළෙ අසමත්. හුදු ආධාර දීමෙන්, ණය භාණ්ඩ හා උපකරණ බෙදාදීමෙන් එහාට ගිහින් ස්වශක්තියෙන් නැගී සිටින්න ධෛර්යය සපයන්න ඒ වැඩසටහන් සමත් නොවුණු නිසා දිළිඳුකමට ශක්තිමත් පිළිතුරක් දෙන්න කිසිම රජයකට හැකි වුණේ නැහැ.

අපේ රටේ ආර්ථිකය ගොඩනැගෙන්න ඕන අපේ සම්පත්, අපේ ශ්‍රමය, අපේ සැලසුම් හරහා අපේ දෙස් විදෙස් වෙළඳපළ අපම ජය ගැනීමෙන් කියලයි මට හිතෙන්නෙ.. විදෙස් ආයෝජන මත ම යැපීම තාවකාලික සාර්ථකත්වයක් ලබා දුන්නත් දීර්ඝකාලීනව එයින් රටට යහපතක් සිදුවේ යැයි හිතන්න අමාරුයි.

................

උමජිමුරා ගම්මානයේ අනෙක් ජීවනෝපාය තමයි ෆයින් දැව කර්මාන්තය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව වගා කළ මේ කැලෑව දැන් මහා විසල් ගස් බවට පත් වෙලා. ගස් කැපීම සිදුවෙන්නෙත් පරිසර පද්ධතියට හානි නොවන විදියට. නැවත වන වගාව සිදු කරමින්. ඉතාම කුඩා ලී පතුරකින් පවා ප්‍රයෝජනවත් අලුත් යමක් නිර්මාණය කරන්නටත් ඔවුන් දක්ෂයි. මේ පුංචි ගම්මානයේ කුඩා දැව ප්‍රදර්ශනාගාරය තුළ ඉතාම ලස්සන අපූරු දැව උපකරණ, භාණ්ඩ අලෙවිය සඳහාත් ප්‍රදර්ශනය සඳහාත් තිබෙනවා.





...............

දෙස් විදෙස් සංචාරක කර්මාන්තය සමග බද්ධවෙමින් ආර්ථිකය නඟා සිටුවන්නත් උමජිය විශේෂ අවධානයකින් කටයුතු කරනවා. යෂුදා නදියත් එක්ක සැදුණු අවන්හල් ඉන් විශේෂයි. එය සාම්ප්‍රදායික ජපාන සංස්කෘතිකාංගවලට විශේෂ තැනක් දීල තියෙනවා. ආහාර පාන, නවාතැන්, සංචාර මේ හැමදෙයකදිම ( මෙවැනි ම ගිම්හාන කාලයක ඒ ලැබූ සොඳුරු අත්දැකීම වෙන ම ලිපියක් ලෙස ලිවිය යුතුයි. මගේ පළමු සහ එකම උණුදිය ස්නාන අත්දැකීමත් එක්කම... )






පුංචි කෝච්චියෙන් පුංචි සවාරියක් යන්න ලබා දෙන අවස්ථාවත් අපූරුයි. කෝච්චි පාරක් හදල ගමේ සොබා සෞන්දර්යය නරඹමින් එයින් සවාරියක් යන්න ඉඩ ලබා දී තියෙනවා. ස්වාභාවික ජල බලයෙන් ක්‍රියාත්මක වන අපූරු වාහනයක නැගිල කඳු මුදුනට ගිහින්, කඳු මුදුනේ සිට අවට භූමි දර්ශනය නරඹල ආපසු එන්නත් අවස්ථාව තියෙනවා. යුෂු කර්මාන්ත ශාලාව, යුෂු පර්යේෂණාගාරය, අවන්හල සංචාරක අවධානය දිනාගන්නා තවත් විශේෂ ස්ථානයක්. මෙලෙසින් සංචාරක ආකර්ශණය දිනා ගන්නට නිර්මාණශීලීව ගමේ පරිසරය යොදාගන්නට උමජි ගම්වාසීන් සමත් වෙලා තියෙනවා.






විශිෂ්ඨතම කාරණය වෙන්නෙ සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ගමක් නිර්මාණය කිරීමේ කාර්යයේදී සොබාදහමේ සුන්දරත්වයටත්, පාරිසරික අගයන්ටත් හානියක් නොවන විදියට එය සැලසුම් කිරීමයි. විදේශ විනිමය දිනා ගැනීමේ ප්‍රමුඛ මාර්ගයක් විදියට සංචාරක කර්මාන්තය හිස්මුදුනින් වන්දනා මාන කරන අපි අපේ මේ පුංචි දූපතේ ලස්සනත්, පාරිසරික අගයත් රැකගනිමින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට කටයුතු කරනවද යන්න වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතුයි.  

..............

ජපානයේ අති දුෂ්කර ප්‍රෙද්ශයක දිළිඳුම ගම්මානයක් දියුණු, සංවර්ධිත මට්ටමට ළඟා වුණේ දීර්ඝකාලීන සැලසුම්, පරාර්ථයෙන් පිරි කැපකිරීම්, ගමටත් මිනිසුන්ටත් සොබාදහමටත් ඇති ආදරය - ගෞරවය, අන්‍යෝන්‍ය සහජීවනය නිසා බව මේ සොඳුරු සැරිසැරුමෙදි මැනවින් පැහැදිලි වුණා.

අපේ රටටත් තිරසර සංවර්ධනයක් උදාවෙන්නට නම් ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවලින් එහාට ගිය, දුර දැක්මක් සහිත රටටත්, මිනිසුන්ටත්, පරිසරයටත් ආදරය කරන ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. පාලන තන්ත්‍රයත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයත්, රටේ ජනතාවත් ඒකරාශීව කැපවෙන වැඩපිළිවෙලකින් මිස ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස්වන සහන මලුවලින් නම් මල්වෙඩිල්ලකට එහා ආලෝකයක් ලබා ගන්නට හැකි වේ යැයි සිතිය නොහැකියි.